උග්ගල් අලුත්නුවර මහ පෙරහර 2017

තමන්ට පමණක් ආවේනික පෙරසිරිත ඔප්නංවන මහ පෙරහරක්

පුරාණ පරම්පරාවල රාජකාරි ඇත්තන් විසින්ම ඉටු කෙරෙන, පුරාණ දේවාලයකට ආවේනික  පෙරසිරිත   දැකීමට අවස්ථාවක් ලැබිය හැකි නම් එය අමුතුම වින්දනයකි.  තම දේවාලය සම්බන්ධව උග්ගල් අලුත්නුවර  පැරැණියන් ගේ අදහස ඔවුන්ගේම වදන් වලින් කියවෙන්නේ මෙලෙසිනි.    “අපේ දේවාලෙ පුරාණෙ  රාජකාරි 99 ක් තිබුණ. ඒත්   දැන් ඒවයින් 40 කට වඩා ඉතුරු වෙලා නෑ. ඒ හන්ද අඩුව පිරිමහගන්නෙ කුලී රාජකාරි වලින් ”  ඔබ විමසුවොත් පැරැන්නන්ගෙන් කියවෙන්නෙ එලෙසයි. එහෙත් මේ ප්‍රකාශ වලින් යමක් නැතිවුන බවක් මෙන්ම යම් හෝ ප්‍රමාණයක්   මේ දක්වා ආරක්ෂා වී ඇති බව ද පුරාණ සිරිත් රාජකාරිවලට ඇති ඔවුන්ගේ බැඳිමද පසක්වෙයි.

ඒ නිසාම මේ උත්සවයේ  පෞරාණික වටිනාකම ඉහළය.  පෙරහරේ පළමු දිනය දෙවියන් යදින බැතිමතුන්ට විශේෂ වූවකි. ඒ “දෙයිහාමුදුරුන් වීදියට වඩම්මන පළවෙනි දිනය” බැවිනි.  ඒ සමගම පුරාණ සිරිත් සම්බන්ධ  කෞතුක රසය සොයන  රසවතුන්ට සේම අධ්‍යයනයේ යෙදෙන විද්වතුන්ට ද මේ දිනය   විශේෂවූවකි. ඒ මේ පළමු දිනය සාම්ප්‍රදායික පෞරාණික චාරිත්‍ර විධි කිසිදු අඩුවක් නොමැතිව ඉටුකරන්නට රාජකාරි ඇත්තන් අකුරටම වග බලාගන්නා බැවිනි.

“නවවැඳුම් වැඳිම” නමැති අපූරු පැරණි සිරිත හා ඒ හා බැඳුනු තවත් අපූරු සිරිත් සමුදායය, මහබඹා නැටීම සහ කෝලක්කාර / නයියන්ඩිකාර පංගු රාජකාරි ඇත්තන් දෙවියන්ට නෝක්කාඩු කියමින් ඉදිරිපත් කරන දැකුම් අත් නැටීම වැනි විශේෂ චාරිත්‍ර  මේ පළමු දිනට පමණක් සීමා වෙයි. මේ දිනය නැකත් වෙලාව නොවරදවා අනුගමනය කෙරෙන බැවින් රාජකාරි ඇත්තන් අතර කිසියම් කලබල ස්වභාවයක් ද දැකිය හැකියි.  සෙසු දිනවල නැකැත් මොහොත  අකුරටම භාවිත කිරීම වෙනුවට සුබ හෝරාවක් භාවිතයට ගැනීම  වැනි ඇතැම් සිරිත් විරිත් හි සුළු කොටස් සම්බන්ධව යම් අඩුවක් ඇති වුවද පැරැන්නන්ගේ මතය වන්නේ ඊට දේව සමාව ලැබෙන බවකි.

එහෙත්  පළමු දින සියලුම චාරිත්‍ර විධි නිසි සේ පැවැත්වීම අත්‍යවශ්‍ය බව රාජකාරි ඇත්තෝ තදින්ම  අදහති. ඒ සඳහා වගකීම මෙන්ම වගවීම ද තවමත් දිටිය හැකියි. මේ නිසාම පළමු දින රාජකාරි ඉටු කිරීමේදී යම් යම් තැන් අමතක වූ  අය සිටිත් නම් සෙසු අය විිසින් විටින් විට ඒවා සිහිපත් කරවමින් ඇතිවන රළු වචන හරඹ දැකීමට ද හැකි වෙයි. මෙවැනි අවස්ථාවල දේවාලයේ සාම්ප්‍රදායික ප්‍රධානීන්; එනම් අත්තනායක මොහොට්ටාල හා සෙසු මොහොට්ටාලවරු, කපු මහතා සහ විදානෙ වරු ආදීන්ගේ  අවේගාත්මක දැඩි ප්‍රකාශයන්ද  දිටිය හැකියි. වසර 40 කටත් අධික කාලයක් තිස්සේ  හැම වසරකම දක්නට හැකි වූ ඒ තත්වය ද පෙරහර සිරිත පැවැත්වීමේ විධී ක්‍රමයක් වැනිය. එහෙත් මෙහි තවත් විශේෂතාවකද වෙයි. මෙවැනි අවස්ථාවල ඇතිවන තරහක් කල්පවත්නේ නොවේ. පෙරහර දියකපන දින එකිනෙකා ඇයි හොඳයි කියා ගනිමින් සමගිය වඩා තහවුරු කරගනිති. එය ද එක් කරන්නේ කිසියම් අලංකාරයක් බව සම්ප්‍රදාය හදාරන්නට වෑයම් කරන්නකුට දැකිය හැකිය.

පෙරහරේ ඓතිහාසිකත්වය

මේ පෙරහර උත්සවය පළමු වතාවට පවත්වා ඇත්තේ ක්‍රි.ව. 1583 දී බව ඉතිහාසගත පුවත් සොයන විට පෙනී යයි.[i]. 1582 දී යාපා මහ රජු තමන්ගේ බාරය ඔප්පු කිරීම පිණිස දේවාලයට නව ගොඩනැගිලි කරවීම අරඹා  ඇත. එය මාස දහයකදී  නිමකර ඇති බවත් එයින් පසු එළඹුන ඇසල මාසයේ පෙරහර කළ බවත් ලේකම් මිටියේ ඇති පුරාණ ලේඛනයේ කියවෙන්නේ පහත සඳහන් අන්දමිනි.[ii]

…………..නැවත ඇසල මස අව අමා මාසය ගතව පෑලවිය ලත් බ්‍රහස්පතින්දා අම්‍රත යෝග වූ පුසේ නැකතින් මෙම දින රෑ වූ විසිතුන් පැයට ඉඳුරු දෙසට අභිමුඛව ඉඹුල්පේ දෙවනැන්නැහැ අතින් මඟුල් කප ප්‍රතිෂ්ටාකර හිඳුවා පහලොස් දවසක් පෙරහර මඟල්ලය සිද්ධ කරවා වදාරමින් නිකිනි මස පුරපසලොස්වක ලත් බ්‍රහස්පතින්දා රෑපාන්දර සිකුරාදාට එලිවෙන වෛතාල වේලාවට නැගෙනහිරට අභිමුඛව සියකපන මඟල්ලය සිධ කොට ජලනිරෝහයෙන් වැඩමකර ආසිරිවාද මඟලං පවත්වා සමහර කළ සේක්වා…..”

එතැන් සිට පෙරහර අඛණ්ඩවම පැවති මුත් ඉතා මෑත දී,  තමන්ගේ මුතුන් මිත්තන් පවසා ඇති ලෙසට, පළමුවතාවට, වසර හතරක් පමණ පෙරහර පැවැත්වීමට නොහැකිව ඇත. 1920 පමණ පැමිණි ජයවර්ධන බස්නායක නිලමේතුමාගේ කාලයේ  පෙරහර චාරිත්‍ර  නැවත අරඹා ඇති බව පැරණි ඇත්තෝ පවසති. අනතුරුව 1933 පැමිණි සිඩ්නි එල්ලාවල බස්නායක නිලමේ තුමා සියලුම පැරණි රාජකාරි හා රාජකාරි පරම්පරාවන් සොයා පිදවිලි ගම්මානවලට පවා  ගොස් පැරණි තත්වය එලෙසින්ම නගාසිටවූ බව ද මෙහි පැරණියන්ගේ ඒක  මතික නිගමනයයි. එතැන් සිට පැමිණි සියලු බස්නායක නිලමේවරුන්ගේ අනුග්‍රහයෙන් මෙන්ම සහායයනේ මේ දක්වාමඒ පුරාණ පෙරහර කෙරෙන බවත් මේ බිම යුද පිටියක්ව පැවති 1989 පවා පෙරහර කරන්නට තමන් සමත්වූ බවත් ඔවුහු පවසන්නේ මහත් ආඩම්බරයෙනි.[iii]

මේ විස්තර අනුව දැනට වසර 434 ක් තිස්සේ මේ ඇසල උත්සවය පවතින බව පෙන්වා දිය හැකිය. එහෙයින්ම මෙය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඓතිහාසික මහා පෙරහරකි.

අමුද්‍රිත පුස්කොල ලේකනයක් වූ සීමාසංකර විනෝදනියේ මේ පෙරහර අාරම්භක වසර පිළිබඳ විස්තර වෙනත් පුරාවිද්‍යාත්මක සාක්ෂි හා පුරාකතා අනුව ද  මේ ඇසල පෙරහර උත්සවය  මහනුවර දළදා පෙරහරටත් වඩා දුරාතීතයක් ඇති බව පෙන්වයි. දළදා වහන්සේ මහනුවරට වැඩමවා ඇත්තේ 1605 දී පමණ වන අතර මහනුවර දළදා පෙරහර ඇරඹී ඇත්තේ ඉනුත් පසුව ය. එහෙත් පළමු රාජසිංහයන් මුළු ලක්දිවම තමා යටතට ගත් වසර වන 1582/83 යනු උග්ගල් අලුත්නුවර  දේවාලය කරවීම[iv] ගොඩනැගිලි කරවීමෙන් අනතුරුව පෙරහර ඇරඹීමත් කෙටිකලකට හෝ රට එකසේසත් වීමත් එකවිට සිදු වූවක් බව සීතාවක යුගය පිළිබඳ නවතම පර්යේෂණ ඇසුරින් අනාවරණය වන ඉතිහාස පුවත් විමසන්නකුට පෙනීයයි[iv]

මේ නව  වැඳුම් වැඳීම් අවස්ථා වේ ඉරියව් දෙකකි  (2015 මහ පෙරහ‍ර අවස්ථාවෙනි )

දැන්වීමේ  සඳහන්  මළුවේ පෙරහර සහ දෙවේලේ පෙරහර යන අවස්ථාවන් ට සහභාගීවිය  හැකිනම්  මේ දක්වා සුරක්ෂිත ඓතිහාසික උරුමය විදහා දක්වන තවත් ආවේනික අංග පැහැදිලිව දැක ගැනීම හා සවන් දීමට හැකියි.  මහා පෙරහර තුළද ඒ සෑම සාම්ප්‍රදායික අංගයක්ම  පවතී. එහෙත් වැඩි අවධානයක් පිටතින් ගෙන්වා සරසන වෙනත් වෘතීය සංස්කෘතිකාංග  විසින් ආකර්ශනය කිරීම නිසා මීට ආවේනික ශාස්ත්‍රීය අධ්‍යයනයක දී දුෂ්කරතා මතු කරයි.  ඒ නිසා මේ දේවාල පෙරහරේ පමණක් පවතින සාම්ප්‍රදායික අංග විශේෂයක් ඇති හෙයින් ශාස්ත්‍රීය අධ්‍යයනයක නියැලෙන්නෙකුට  මේ දින පහලොවම ගත කිරීමට සිදුවේ. මෙහි මළුවේ පෙරහර යනු සාම්ප්‍රදායික රාජකාරි ඇත්තන් පවසන කුඹල් පෙරහර වන අතර දෙවොලේ පෙරහර යනුවෙන් දක්වා ඇත්තේ  පැරැන්නන් පවසන දෙවේලේ පෙරහරම බව සිතිය හැකිය.

මහබඹා තත්පර 30 ක වීඩිෙයා්වකි

ගමේ  තරුණ පෙළ

තම නිජබිම වූ ගම්මානයේ සාඩම්බර උරුමයන් පිළිබඳ ඔවුහු නිතර සාකච්ඡා කරති. අදහස් හුවමාරු කරගනිති. මෙවර ද පෙරහර උත්සවය සාර්ථක කරන්නට බස්නායක නිලමේතුමාට සහ රාජකාරි මණ්ඩලයට ගමේ තරුණ පෙළ සිය සහායයන් සුපුරුදු ලෙස ලබාදෙමින් පාරම්පරික උරුමයේ සාඩම්බරය සුරකින්නට උරදෙනු ඇත.

මහා පෙරහර විනාඩි 27 කට පමණ කැටිකර දක්වන වීඩියෝ ක්ලිපය පහත දැක්වේ (2015 පෙරහරෙනි)

 

පෞරාණික පෙරහර සිරිත් රාජකාරි

මහා පෙරහරට වඩා පුරාණ සිරිත් විරිත් නිරවුල්ව හා බාධා විරහිතව අනාදිමත් කාලයක සිට පැවතගෙන එන දේවාලයේ රාජකාරි, නයියන්ඩි හා කෝලම් නැටුම්, කාන්තාවන්ගේ දිග්ගේ නැටුම් හා අලත්ති තේවා සහ පුරාණ ගායන විධි ද නැරඹීමට හා හැදෑරීමට  ප්‍රයෝජනවත් ඉඟියක් දිය හැකියි. මේ සඳහා පහත දැක්වෙන කුඹල් පෙරහර හා මහපෙරහර අවස්ථා ඉතා වැදගත් වෙයි.

වැඩි අමතර විස්තර  මෙතන ක්ලික් කිරීමෙන් කියවිය හැකියි.

  • කුඹල් පෙරහර :- දේවාල උඩමළුවේ දේවාලය වටා දක්ෂිනාවර්තව ගමන් ගන්න‍ෙමෙය පුන්කලස්පෙරටු කොට ගමන් ගන්නා පෙරහරකි.  පොල්මල් වලින් පුරවන ලද පුන්කලස සශ්‍රීකත්වය හඟවන පාරිශුද්ධ මංගල වස්තූන් සේ පිළිගැනීමක් උඩරට සමාජ උරුමයේ පවතී. මේ කලස් ගෙන යනු ලබන්නේ  සුදු පිරුවටයකින් ආවරණය කරමිනි.  “බඩහැල පංගුවේ රාජකාරි” ඇත්තන්   මේ කාර්යයේ දෙදෙනකු නිරතවෙති.
  • දෙවේලේ පෙරහර :- වචනාර්ථයෙන්ම පෙනී යන පරිදි මේ දිනකට දෙවේලක් ගමන් ගන්නා පෙරහරකි. එකක් දවල් පෙරහර යනුවෙන් ව්‍යවහාර වන අතර අනෙක රාත්‍රී පෙරහර යනුවෙන් ව්‍යවහාර වේ. දවල් පෙරහර යනුවෙන් පැවසුවද එය දහවල් කාලයේ ගමන්ගන්නා පෙරහරක් නොව රාත්‍රිය එළඹුන පසුව වේලාසනින් ගමන් ගන්නා පෙරහරය. (මෙහි සංකේතාර්ථ කුමක්ද යන්න උග්ගල් අලුත්නුවර දේවපුරාණය සම්බන්ධ ලියවෙන මීළඟ ලිපිවල විස්තර වනු ඇත.)

විශේෂ පසු සටහන්

මේ පසන්නෙ 1915 මුස්ලිම් කෝලහාල පැවති කාලය යි අනුමාන කළ හැකිය. ඒ අවදියේ බළන්ගොඩ ප්‍රදේශයේද ගැටුම් කාරී තත්ත්වයන් පැවති අතර ඉංග්‍රීසි ආණ්ඩුව විසින් පෙරහර පැවැත්වීම තහනම් කර තිබිණි.

 

1.උඩමළුව,පූජනීය ගොඩනැගිලි හා පරිශ්‍රය

උග්ගල් අලුත්නුවර පරිශ්‍රය හා එය ගොඩනගා ඇති අන්දම පළමුවරට දකින්නකුට පෙනෙන සැටි මෙහි පැවසෙයි (තත්පර 19 ක වීඩියෝ ක්ලිපයකි) අමුත්තකුට එකවරටම පෙනී යන්නේ තැනි බිමක පස්ගොඩ කර ඒ වටා බැමිබැඳ කරවූ අපූරු නිර්මාණයක් බවකි. ( වඩා හොඳින් තතු සොයන්නකුට   උස්බිමක් වටා තිබූ සෙසු රළු බිම් කොටස් සතරවීදියක් ඇතිවන ලෙස මට්ටමි කරමින්  මැද්දේ ඇකි කඳු මුදුන වටා බැමි බැඳ මුදුනත මළුව සමබිම් කර නිර්මාණය කර ඇති බව පසක්වෙයි. මෙලෙස සකස් කළ බව පාදක සටහන්වල දැක්වෙන  [i] හා [ii] යටතේ දැක්වෙන  පුරාණ ලේඛනයේද කියවෙයි.  ඒ හැර උඩ මළුව පසුව ගොඩකල පසින් සැදුනක් නොව ,පිහිටි බිමක් බව  ඒත්තු  ගැනීමට  මුළුතැන්ගෙයට ආසන්නයේ  කනින ලද පුරාණ දේවාල ලිඳ හා එහි ඉවුරු පිළිබඳ   නිරීක්ෂණය කිරීම  ප්‍රමාණවත්ය.) එහෙත් ආගන්තුකයටකුට  බැලූ බැල්මට  පෙනී යන ස්වභාවය හා සුන්දරත්වයේ අපූරුව හිමිපාණන් වහන්සේ පැහදිලි කළ අවස්ථාව මෙහි දැක්වෙයි.

විශේෂ වදන් හා ව්‍යවහාර විමසුම

  • නෝක්කාඩු කියමින්: මෙහි දී නැට්ටුවන්  සිය දකුණු අත දේවාලය ඉදිරිපසට පමුණුවා ඇති දේවාභරණ දෙසට දිගුකර කරමින් කරන ගායනයේ කියවෙන්නේ දෙවියන්ට දොස් පැවරීමක් වැනි කවියකි .  පහත ඇත්තේ එහි පදමාලාවය.(2015 පෙරහර අවස්ථාවෙනි)
  • අව අමා මාසය ගතව පෑලවිය  : මාසපෝය ට පසු දිනය
  • දෙවනැන්නැහැ : දැනට දෙවනැන්නැහැ යන ව්‍යවහාරය දක්නට නැතත් එම ශබ්දයම ඇති “හෙවනැන්නැහැ” නමැති රාජකාරි පංගුවක් වෙයි. අතේ මුර ආයුධ දරාගෙන බාහිර පිරිස් හැසිරවීමේ බලය ලබන මේ අය හොව්යන් හෙවත් ආරක්ෂකයන් /යුද සෙබලුන් විය හැකියි. ඒ අනුව ඉඹුල්පේ දෙවනැන්නැහැ යනු එවැන්නකු දැයි සිතිය හැකි වුවද මගුල් කප හිදුවීමට ගෙන්වීමෙන් වාස්තුශිල්පීය හැකියාවක් තිබුණු කෙනෙකුදැයි අනුමාන කළ හැකි වෙයිත (දෙවනැන්නැහැ වදන සුමංගල ශබ්ද කෝෂයේ  හෝ ලේඛකයාට හමුවී නැත)  
  • ඇයි හොඳයි කියා ගැනීම : සෑම කෙනෙකුම එකිනෙකාට වැඳ ආචාර කරගැනීම මේ නමි
  • “සියකපන මංගල්ලය” යන යෙදුම ප්‍රමාද දෝෂයකි. එය “දියකපන මඟල්ලය” සේ නිවැරදි විය යුතුය
  • ජලනිරෝහයෙන් : මේ වචනය ජල ක්‍රීඩාවක් විය හැකි බව මහාචාර්ය පුන්චිබණ්ඩාර සන්නස්ගලයන්ගේ නිගමනයකි.එහෙත් ජලය සමග කෙරෙන ක්‍රීඩාවක් වැන්නක් දියකපන අවස්ථාවේ දක්නට නැත. මේ ලේඛනයේ තවත් තැන්වල “නීරෝහී කෙළිය” යනුවෙන් ක්‍රීඩාවක් ගැන කියවෙයි. එය ආයුධ රහිතව කෙරෙන යුද හරඹ වැනි ක්‍රීඩාවක් විය හැකි බව මහාචාර්ය රිසිමන් අමරසිංහයන්ගේ මතය බව පාදක සටහන් [v] යටතේ දැක්වෙන කෘතියේ දැක්වෙයි.
  • ආසිරිවාද මඟලං : දෙවියන්ට ආශීර්වාද කිරීමේ ගායනා ඇතුළු චාරිත්‍ර සමූහයක්ම වර්තමාන දියකපන මංගල්‍ය අවස්ථාවේදී එම පොකුණ අසබඩ මෙන්ම ගෙවදින අවස්ථාවේදී දැනුදු පැවැත්වෙයි.

—————————————————————————————————————-


[i] M4 – සීමාසංකර විනෝදනී පුස්කොල පොත අග පිටු – ලංකා කෞතුකාගාරය කොළඹ

[ii] M4 – සීමාසංකර විනෝදනී පුස්කොල පොත අග පිටු – ලංකා කෞතුකාගාරය කොළඹ

[iii] අභාවප්‍රාප්ත අත්තනායක මොහොට්ටාල වරුන වන ඒ.එම්. එස්. එම්. පුචිබණ්ඩාර මහත් එම තනතුරම දැරූ එමගේ කරුණාරත්න බණ්ඩාර මහතා. එමතනතුරම දැරූ එමගේ කුලසේකර බණ්ඩාර මහතා  සහ දැනටත් රාජකාරි තේවා ඉටුකරන දැනමුතු පැරැන්නන්   හා ගමේ සියලුම දැනමතුඇත්තන්

[iv] මහචාර්ය රිසිමන් අමරසිංහ සංස්කරණය – ඓතිහාසික සීතාවක – “සීතාවක රාජසිංහ රාජ්ජ කාලය” – මානියම්ගම පුස්කොල පොත –   ගොඩගේ පොත් සමාගම 1990

[v] මහාචාර්ය රිසිමන් අමරසිංහ –  සීතාවක උන්නතියේද අවනතියේද සමහර අංශ පිළිබඳ විවරණයක් – කතෘ ප්‍රකාශනය – 1990

10 thoughts on “උග්ගල් අලුත්නුවර මහ පෙරහර 2017

  1. ගුණසිංහ මහත්තයාට බ්ලොග් එක අමතකවෙලා කියලා හිතුනා.
    නවවැදුම්වැදිල්ල කතරගම දේවාලයෙත් කෙරෙනවා නේද?

    කැමතියි

    • ඔව් අසංග ඒත් එය මීට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. මෙහි දී නව වැඳුම් වඳින්නෙ පුරාණයේ සිට පැවත එන අත්තනායක මොහොට්ටාල නිළමේ පරපුරේ වර්තමාන අත්තනායක මොහොට්ටාල නිලමේ. එ් කපුමහතාට වඩා ඉහළින් ඉන්න තනතුරක්. අතීතයේ සිටම සංරක්ෂිතව පැවත එන මේ දක්වාත් සංරක්ෂි. පාරම්පරික ප්‍රධාන විධායක නිලධාරි තනතුර. මෙවැනි තනතුරක් රුහුණු කතරගම නැහැ. මේ පිළිබඳ විස්තර ඉදිරියේ දී ලියවෙනවා. ඔබ දැඩිව අවධානය දී මේ පිළිබඳ විමසීම මහත් සතුටක්. විදේශයක සිටිමින් මුහුණ දෙන කාර්බහුල බවත් දකුණු අතේ පැවති පුංචි ආබාධයකුත් නිසා පමා වුනා පමණක් මිස අත්හැර ගියේ නැහැ.

      කැමතියි

    • ප්‍රදේශීය පාලකයකු බව මගෙත් සිතිවිල්ල වී තිබුණා ප්‍රදීප්. එහෙත් සලසා ඇති විධිවිධාන හා ගොඩනැගිලි අනුව එය ප්‍රාදේශීය ප්‍රධානියකු කළ බවට සැකයක් මතුව තිබුණා. වැඩි දුර කරුණු විමසද්දී 1582 පළමු රාජසිංහයන් මහසෙන් දෙවියන්ට මැදගම දේවාලයක් කර ඇති බව මානියම්ගම පුස්කොල ලේඛනයේ ඇති බවත් පළමු රජසිංයන්ට එකල යාපා යන නමක් (ටිකිරි රජ්ජුරු බණ්ඩාර යාපා) ව්‍යවහාරයේ තිබෙන්නට ඇති බවත් සිතන්නට කරුණු ලැබුණා. මේ ගැන වැඩි විස්තර මෙම ලිපියේ දැක්වෙන ලින්ක් එක මගින් ගොස් කියවා බලන්න. ඉදිරි ලිපිවල මේ ගැන වැඩි විස්තර ලියන්නට අපේක්ෂා කරමි. විමසීම ගැන ස්තුතියි ප්‍රදීප්

      කැමතියි

        • අපි දෙදෙනා මේ පිළිබඳ සංවාදයක යෙදුනා. 1980 දශකය පසුවන තුරු මා සිතා සිටියේ යාපා රජු ප්‍රාදේශීය පාලකයකු විය හැකි බවයි. ඒත් පුරාකතා නිසා කිසියම් සැකයක් ්ඇතිව තිබුණා. මෙි සැකය දුරු කරමින් මේ ප්‍රදේශවල යාපා යනුවෙන් කියවෙන්නේ පළමු රාජසිංහයන්ම බවට තවත් වැදගත් සාධක හමුවුනා ඔබත් මාත් අතර සංවාදයේ දී මේ සම්බන්ධව කතා වුනා. මී ළඟ ලිපිය මේ “යාපා මහ රජු” ගැන ලියන්නට සිතා ගනිමි. ඔබ වැනි විද්වතුන්ගේ විමසීම් සහ මතවාද අපේක්ෂා කරමි.

          කැමතියි

  2. වීඩියෝ එක හොඳයි. අපිට පෙරහැරක් බලන්න වෙනවිධිහක් නැහැනේ. ලංකාවට එන කාලෙත් පෙරහැර වල නැහැ. ඔය නැට්ටුවෝ පාරම්පරික කට්ටියද? නැත්නම් ඒ වෙලාවට පුරුදු කරලා ගන්න කට්ටියද?

    කැමතියි

    • පුරදු වෙමින් සිටින අයගේ කණ්ඩායමි සහ වෘත්තීය ශිල්පීන් දෙවර්ගයම සිටිනවා අජිත් වැඩියෙන් ඉන්නෙ පුරුදු වන අය. පෙරහර ගමන් ගනිද්දී දැකිය හැක්කේ ගමන් තාල පද අනුව යන නැටුම් පමණයි. පෙරහර ඇරඹුමට පෙර බස්නායක නිල නිවස අසල වේදිකාවක නැටුම් සන්දර්ශන අවසන් දින පහේදි දක්නට හැකි වෙනවා.

      කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.