මේ කියන්න යන්නේ වර්තමාන තත්ත්වය ගැන නොවේ. පූජ්‍ය කිරිඇල්ලේ ඤාණවිමල හිමිපාණන් වහන්සේ දුටු “වර්තමාන තත්වය” හෙවත් 1940 දශකයේ පැවති තත්ත්වය ගැන. මේ විස්තර උපුටා ගත් පිටු රතු වර්ණයෙන් වෙන්කර ඇත.¹
මේ අවදියේ එහි සිදුවූ සංවර්ධන වැඩ කටයුතු පිළිබඳව මහත් පැහැදීමෙන් විස්තර කරන හිමිපාණන් සිඩ්නිඑල්ලාවලයන් දේවප්‍රතිරාජ ඇමතිවරයාට සමකර යි.
සිඩ්නි එල්ලාවලයන් පුරාවස්තු සංරක්ෂණය ගැන පැවති දැනුම හා පරිනත භාවය උග්ගල් අලුත්නුවර දේවාල ප්‍රාකාර බැම්මේ වැසි සමයක ඇති වූ ආපදාවකට පිළියම් යෙදීමෙදී ද පැහැදිලි වෙයි. එහි දි මෑතක් වන තුරුම දිවිගෙවූ ශිල්පීන්ට දුන් උපදෙස් පිළිබඳව විමසද්දී ද තේරුම් ගත හැකියි. පහත උපුටනය බලන්න.
“……. ඒ බවක් නොතේරුන එකල වැඩෙහි යෙදුනු ගැමියා එතුමාගේ උපදෙස් ගැන විස්තර කළේ විශමයෙනි. “පුරාණ දේවල් පුරාණ විදිහටම තියෙන්න ඕනි“ යන්න එතුමා දැඩිසේ අවධාරණය කර ඇති බව …..”2
එකල ශ්‍රී පාදස්ථාන පිළිසකර වලදී ද අනුගමනය කර ඇති ක්‍රියාමාර්ගය එවැනිමය. සබරගමුවේ පැරණි ලියවිලි හි අවධාරණය කර ඇති 18 පිටුව බලන්න. ඒ සමගම 19 පිටුවේ අදාල ඡේදය ද බලන්න. දැනට උග්ගල් අලුත්නුවර පවතින පුරාණ විදුලි ජනක යන්ත්‍රය එකල තිබී ඇත්තේ සිරිපා මළුව හා මාර්ග වල කොටසකට ආලෝකය සැපයීම පිණිසය. සිරිපා මළුවට ජල විදුලි බලය සැපයීම සමග එම යන්ත්‍රය සෝලබරිසාමි විසින් සිඩ්නිඑල්ලාවලයන්ට පරිත්‍යාග කරන ලදී. එය සිය පෞද්ගලික පරිහරණයට නොගෙන උග්ගල් අලුත්නුවර දේවාලයට ගෙනවිත් එහි ස්ථාපනය කරන ලදී. එම යන්ත්‍රය තවමත් සක්‍රිය තත්වයේ පවතින පුරාවස්තුවක්ව අලුත්නුවර පරිශ්‍රයේ ඒ සඳහාම, එකල ඉදිකරවූ ගරාජයේ පවතී.³
මෙහි 18 වන පිටුවේ අවධාරණය කර ඇති කොටසේ වරහන් තුළ හිමිපාණන් විසින් පවසන විස්තරය පිළිබඳ පැවතියේ කුතුහලයකි. “වර්තමාන ප්‍රතිස්සකරණ අවස්ථාවේ පොළව කණින විට…..“ විස්තරය පිළිබඳ තවදුරටත් දැන ගැනීම පිණිස එකල සිරිපා සමන් දේවාලයේ කපු මහතා ලෙස වසර 30 ක් පමණම කටයුතු කළ පැරණි දැනමුත්තා හමු වීම අවශ්‍ය විය. ඒ සමගම එහි වැඩ කළ තවත් කෙකෙුද හමුවීමට හැකිවිය. කපුමහතා ඩබ්.එම් ජයසේකර මහතාය. දැනට 85 වන වියේ පසුවන ඔහු තවමත් නිරෝගීව වෙසෙයි. නිරවුල් සිහියෙන් කතා කළ හැකියි. මේ එම සංවාද සටහනය sugv:- ඒ කාලෙ සිරිපතුල් ගලට පහළින් ඔය ගොල්ල දේවාලයක් හදන්න හෑරුවද ? ජයසේකර මහතා :- එතන නෙවි කොතනවත් හාරන්න ගියේ නෑ. බස්නායක නිලමේතුමා කිව්ව හින්ද චාලිස් බාසුන්නැහැ පුරණ දේවාලෙ සිමෙන්ති දාල රෙපෙයාර් කළා විතරයි. හාරන්ඩ වෙනස් කරන්ඩ සිඩ්නිඑල්ලාවල නිලමෙතුමා ඉඩ දුන්නේ නෑ. පුරාණ රජකාලෙ දේවාලෙ වහල දිරල ගල්කණු අබලං වෙලා තිබ්බ. ඒ හින්ද දේවාලෙ තවකාලයක් තියෙන්න හැදුව. sugv:- ඒක හදද්දි හාස්කම් හෙම උනාද දැකපු වෙනත් දේවල් තිබුණ ද ?
ජයසේකර මහතා :- එතන ගලේ බිත්තිය පැත්තෙන් පැළුමක් තිබුණ එන එන අය සද්දාව හින්ද ඒ කුස්තූරෙ අස්සෙන් පඬුරු දානව. බවලත් ඇත්තො තමන්ගෙ කරාබු පවා ගලවල දානව. මේ කුස්තූරෙ අස්සෙ කළුවරට පෙනුන මිසක් වෙන මොකවත් අපට පෙනුනෙ නෑ. නිල් මැණික් ගලක් උඩ නේ බුදු සිරිපා පතුල තිව්වෙ. ඒක ආරස්සා වෙන්න විශාල ගල්පරුවත වලින් වහල රජකාලෙම ! ඒ ගල්පරුවතේ උඩ පතුල් සටහනක් කොටලයි තියෙන්නෙ. මිනිස්සු පඬුරු දැම්මාම ඇතුළට ටිංටිං ග ගා වැටෙන සද්දෙ මාත් අනන්තවත් අහල තියනව. මේ විදිහට පඬුරු දැමිල්ල අපරාදයක් හින්දත් ඒ වැඩෙන් යං කාලෙක හැබෑ බුදු සිරිපතුලට හානි වෙන්න ඉඩතියන නිසත් ඒ කුස්තූරෙ වහන්න කිල බණ්ඩහමුදුරුවොත් ධම්මරතන හැමුදරුවොත් දෙන්නම කිව්ව. වැඩ කළේ චාලිස්බාසුන්නැහැ, ඩයිමන් බාසුන්නැහැ, පහළ ගෙදර මුදියන්සෙ, ගල්වත්තෙ මාටින්, වීදියේ සේතං සිඤ්ඤො, හේරත්හාමි වගේ මහ පිරිසක් . කුලී වැඩට ගෙනාවෙ පලාබත්ගල මිනිස්සු. බාස්ල යි වැඩ බලා ගන්නයි ආව ඔක්කොම අපේ ගමේ මිනිස්සු විතරයි. වැඩ බලාගන්න පඩිනඩි බේරල දෙන්න වගේ වැඩ කෙරුවෙ උඩහගෙදර චාලිස් බාසුන්නැහැ. එයා බාරයක් හෙම වෙලා කුස්තූරෙ පාදන්න හැදුව විතරයි කළු දෙබරු ඇවිත් මුළු සරීරෙම වහගත්ත. ඒක තමයි දුටුව හාස්කම. පස්සෙ අපි බාරෙ අලුත් කරල රෑ වෙලා වැඩකළා. කාටවත් කරදරයක් උනේ නෑ. එතන කොන්ක්‍රීට් දාල වැහුව.
තවත් විස්තර රාශියක් ජයසේකර මහා පැවසුවත් මෙහි ඇතුළු කිරීම අනවශ්‍ය විය හැකියි. මෙසේ කර ඇති අළුත්වැඩියාවේ දී පුරාවස්තුවලට වන හානිය අවම කරන්නට ගත් වෑයමක තතු මෙහිදී ද පෙනීයයි.
————————————
1. කිරිඇල්ලේ ඤාණවිමල හිමි – සපරගමුවේ පැරණි ලියවිලි කෘතිය මුල්වරට ප්‍රකාශයට පත් වූයේ 1942 දීය.
2.සබරගමු රුවනක වරුණ – එම්.පී. පී. ගුණසිංහ – ශාස්ත්‍රාලංකාර ප්‍රකාශනය 2003
3.පහත දැක්වෙන ලිපි
ඤාණවිමල හාමුදුරුවන්ගේ පොතේ සබරගමුව වෙනුවට සපරගමුව කියා නේද ලියා තිබෙන්නේ…?
හුදෙක් පොත පතෙන් පමනක් කරුණු ඉදිරිපත් නොකර, එකල සිටි අයගෙන් තොරතුරු විමසා මේ වගේ ලිපියක් සම්පාදනය කිරීම ගැන ස්තූතියී.
කැමතියිLiked by 1 person
ස්තුතියි. මයියා ඔබ පැමිණ අදහස් දැක්වීම මට සම්පතක්. ඔව්. ඔබ පැවසු අදහස නිවැරදියි. සබරගමු නාමය ගැන කිරිඇල්ලේ හිමිපාණන් ගේ කැමැත්තක් තිබී නැහැ. හිමි පාණන් වහන්සේ තර්ක කරන්නේ මේ පළාතට තිබිය යුතු නාමය “සපරගමුව” විය යුතු බවයි. මෙහි සිටින කපුමහතා ශ්‍රීපාදස්ථානයෙන් ගමට පැමිණ ඇත්තේ හිස් අතින් . අවශ්‍ය නම් ඕනෑතරම් මුදල් ගෙන එන්න හැකිව තිබූ මුත් ඒ අයවදියේ කපුමහත්වරුන් ලෙස කටයුතු කළ මෙතුමා පමණක් නොව බොහෝ අය දේවාලයෙන් මුදල් උපයාගෙන නැහැ. මෙතුමාත් එහෙම කෙනෙක්. පැමිණි පස්ව ඉතා නිහඬ ජීවිතයක් ගත කළ එතුමා පසුගිය වසරේ දිවි මගෙන් සමුගත්තා. ඒ හොඳටම වයස්ගත වූ පසුව . මෙවැනි රසවත් තොරතුරු පැවසී බොහෝ දෙනකු ගමේ සිටියා. ඒ අය අතරන් තවම දිවි ගෙවන්නේ ඒ කපුමහතා සමග සිටින අනෙක් තැනැත්තා පමණයි මේ සියලු දෙනාට මේ සටහන උපහාරයක් ද වේවා
කැමතියිකැමතියි