අලුත් සහල් මංගල්ලය 2022

උග්ගල් අලුත්නුවර 2022 අලුත් සහල් මංගල්ලය

දෙවියන්නෙ මුත්තෙට්ටුව නමින් හැදින්වෙන කුඹුරු යායේ අදාල ලියද්දෙ වැවෙන ගොයම “රන් ගොයම” යි. දේවාල ගමේ ජනතාව අතර ව්‍යවහාරවන මේ නම සේම   “රන් අස්වැන්න“,  පැසෙන වීකරල් “රන්කරල්” සහ එම වීවලින් ලබාගන්නා සහල “රන් සහල්” ලෙස හැඳින්වීමත් අනාදිමත් කාලයක සිටම ව්‍යවහාරයේ පවතී. “දෙයියන්නෙ මුත්තෙට්ටුව” යනු ඊට ‍අදාල කුඹුරු යාය වන අතර එහි වැවෙන අස්වැන්නේ මුල්ම හෙවත් මුදුන් කොටස හෙවත් නැවුන් කොටස බුදුන් දෙවියන් වෙනුවෙන් වෙන් කෙරේ.

අදාල පෙරසිරිත් සම්ප්‍රදාය

 අස්වනු නෙලීම කෙරෙන්නේ සුබ නැකත අනුවය. ඒ සඳහා වෙන් කළ ලියැදි කොටස ආවරණය වන පරිදි සුදු වටතිර ඇද පේ කෙර සකස් කෙරෙයි..  අස්වනු කපා ගන්නේ පෙරහරින් එම ස්ථානයට පැමිණෙන දේවාලයේ කපු මහතා විසිනි. ඒ සඳහා දේවාලයෙන් වැඩම කරන රන්දෑකැත්ත භාවිත කෙරෙයි.  අවස්ථාවට අවශ්‍ය සහායක සේවා දේවාලයේ විදානේ මගින් සැපයෙයි. මේ කටයුත්ත රන්කරල් මංගල්ලය ලෙස හැඳින් වේ. මෙසේ නෙලා  ගන්නා අස්වැන්න හවස්යාමයේ මහ දේවාලය කරා වැඩමවීමට මහා පෙරහරක් සංවිධානය වෙයි. එය දේවල දක්වාම එන්නේ පා ගමණක් ලෙසය. එය අලුත් සහල් පෙරහර නැතහොත් රන්කරල් වැඩම කිරීමේ පෙරහර ලෙස පැවසෙයි.

අස්වනු නෙලීමට සත්යකට දෙකකට පමණ පෙර අදාල කුඹුරු යාය නිරීක්ෂණයට පැමිණෙන කපුමහතා අත්තනායක මොහොට්ටාල නිලමේ සහ දේවාලයේ විදානේ ඇතුළු පිරිස නළුවෙල විදානේ සහ ඇතුල් කට්ටලේ ඇත්තන් ද සමග පැමිණ රන්කරල් නෙලීමට අදාල කොටස වෙන් කර සම්මත කෙරේ.  එතැන් සිට කිල්ලකට හසු නොවන ලෙස එම කොටස  විශේෂයෙන් රැක බලාගැනෙයි.  නෙලීමට දින තුනකට පමණ පෙර දෙවියන්නේ ගමන්මාලිගාව ලෙස තාවකලික දේවාලයක්  ඉදි කෙරෙයි. ඒ අසල ඇති පුරාණ  බෝධීන් වහන්සේ ආසන්නයේය.  එම පාරිශුද්ධ ස්ථානයද විශේෂ රැකවරන යටතේ  පවතී. මේ සඳහා  ඇතුල් කට්ටලේ අය නිරත වෙති.  මෙවර 2022 මාර්තු 6 වන දින සවස් යාමයේ මෙම තාවකාලික දේවාලයට දෙවියන් වැඩමවන බැවින් අදාල මාර්ගය කටු කෙහොල් හැර  සෝදා කහවතුර ඉස පවිත්‍ර කෙරේ. මේ කටයුතු හැම එකක්ම කෙරෙන්නේ මොහොට්ටාල නිලමේ වරයා සහ ඇතුල් කට්ටලේ ඇත්තන්නේ විධිවිධානයන් මගිනි. බැතිමතුන් ද සහභාගී වෙමින් සියල්ල සඳහා සහාය වෙමින් මාර්ග සැරසිලි ආදියෙන් අලංකාර කෙරයි.  කෘෂිකර්ම පර්යේෂණ නිලධාරී තුමිය හා නළුවෙල “සුහද ගොවිසමාජය” සුපුරුදු පරිදි සියලු කටයුතු සංවිධානයට ද සංග්‍රහ කටයුතු ආදියට ද මහත් කැපකිරීමක් කරති.

හවස්යාමයේ දෙවියන් වැඩම වූ පසුව එතැන ඇත්තේ කතරගම දෙවියන් වැඩ සිටින “දෙවියන්නේ ගමන් මාලිගයකි”. පසුදා රන් අස්වනු නෙලා මේ ගමන් මාලිගයට වැඩ වූ පසුව බැතිමතුන්ගේ භාරහාර ඔප්පු කිරීම, භාරවීම හෝ භාර අලුත්කිරීම, පඩුරු දැමීම,  කපුමහත්වරුන් මගින් සිදුවේ. මෙහි දී ආශීර්වාද කර බැතිමතුන්ගේ නලලත “පරහඳගා” පැඬිල්ලීම කෙරේ.

හවස්වරුවේ අදාල රන් අස්වනු රැගත් මහා පෙරහරක් සංවිධානය වන අතර රන් කරල් හා දේවාරණත් දේව රූපවයත් මහ පෙරහරින් නැවත දේවාලය කරා පැමිණෙයි. පාගමණින්ම සිදු කෙරන මේ සිරිත් සම්ප්‍රදාය නිසා පෙරහරේ එන බැතිමතුන් රාජකාරි ඇත්තන් වෙනුවෙන් සංග්‍රහ සත්කාර අතර මගදී ලබා දීමට බැතිමත්තු සැරසී සිටිති. දේවාලයේ ගරු බස්නායක නිලමේ වරයා ද කටයුතු නිරීක්ෂණය කරමින් දිගටම පැමිණෙන අතර දේවාල බිමට ලඟාවීමෙන් පසුව අදාල රාජකාරි ඇත්තන් වෙත සංග්‍රහ පිරිනැමීම ද බස්නායක නිලමේතුමාගේ කාර්යාලයෙන් පිළියෙල කෙරේ. දේවාභරණ දේව රූපය ඇතුළු පූජනීය වස්තූන් දේවාලය තුළට වැඩමකෙරෙයි.  අදාල රන්කරල් ද දේවාල ගබඩා වෙත වැඩම කර තැන්පත් කෙර්. පසු දින හෝ තෝරාගන්නා ආසන්න සුදුසු දිනක බුදුන් උදෙසා දන් පිරිනමා. මහා දේවදානයක් හොවත් මුරුතැන් බෑම සිදු කෙර්.  මෙවර ද මේ උතුම් චාරත්‍රය මනාව සංවිධනය වන ආකරය සංක්ෂිප්තව දේවලයේ නිල මාධ්‍ය ඒකකය මගින් ප්‍රසිද්ධ කර ඇති අන්දම ඉහත බැනර සේයා සටහනින් දැක්වේ.

විශේෂ සටහන: –මෙහි දැක්වෙන පරිදි “රන්” යන විශේෂණ පදය යෙදීම පෙරසිරිතය. මුල්ම නැවුම් නැතහොත් නෑඹුල් යන අදහස මෙයින් ගම්‍යවන බව පෙනීයයි. 

මූලාශ්‍ර සම්පත්ධාරීන් 

  1.  ඒ.එම්.එස්. එම්.කුමාරසිංහ බණ්ඩාර අත්තනායක මොහෙට්ටාල නිලමේ සහ දේවාලයේ කපු හත්වරුන් හා දේවාල විදානේ මහතා
  2. නිල මාධ්‍ය ඒකකයේ තරුණ පෙළ
  3. නළුවෙල දේවාලගමේ සිටින ඇතුල් කට්ටලේ මහත්වරුන්
  4. නළුවෙල සුහද ගොවි සංවිධානයේ සාමාජික මහත්ම මහත්මාවන්
  5. නළුවෙල කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීතුමිය

 මේ කටයුතු සඳහා උරදෙන සැමට ස්තුතියි

6 thoughts on “අලුත් සහල් මංගල්ලය 2022

    • මේ පැතිවල යන්ත්‍ර සූත්‍ර නොමැතිව තවමත් ගොයම් කපනවා. පුරාණයේ පැවති “අත්තම” ට වැඩකිරීම වැනි චාරිත්‍ර මේ ආශ්‍රිතව මෙහි මෙන්ම තදාසන්න ගම්මානවල තවමත් දැකිය හැකියි. සහායට පැමිණෙන අයට ගෙවනු ලබන්නේ ද වී වලිනි. නමුත් වර්තමානයේ නවීකරණයත් සමග මේ සිරිත් අභාවයට යමින් පවතින ලකුණු ද විවිධ තැන්වල දකින්නට හැකියි. කිසියම් පවුලකට හිමිව පවතින කුඹුරු කොටස කුඩා බැවින් බොහෝ තැන්වල අත්තමට වැඩ කිරීම තවමත් පවතිනවා විය හැකියි. ඔබ විමසුවේ මේය විය හැකියි සිතා පිළිතුර සටහන් කළෙමි. පැමිණියාට බොහෝම ස්තුතියි අජිත් ධර්මයන්ට

      කැමතියි

    • මට ඔකඳ දේවාලය ගැන අසා තිබුණත් තවමත් එහි යන්නට හෝ විමසා බලන්නට අවස්ථාවක් ලැබුණේ නැහැ. Pra Jay ඉදිරියේදී තොරතුරු විමසා ලියන්නට සිතාගනිමි.ඉහත ලිපියේ විස්තර කරන අන්දමට අද තව ස්වල්ප වෙලාවකින් නළුවෙල වෙල්යායේ සිට පාගමණින් උග්ගල් අලුත්නුවර කරා පෙරහර ළඟාවේවි. පැමිණෙන විට රාත්‍රී 7 පසුවනු ඇතැයි අනුමාන කෙරනවා. ඔබේ පැමිණිම වෙනුවෙන්ද බොහොම ස්තුතියි

      කැමතියි

  1. මේ වගේ සවිස්තර ලිපි ඉදිරිපත් කිරීම ගැන ගුණසිංහ මහත්මයාට බොහොම ස්තුතියි.
    දැන් කියවන අපට මෙන්ම ඉදිරියේදී මේවා ගැන සොයන පර්යේෂකයන්ටත් මේ දැනුම බොහෝ සෙයින් ප්‍රයෝජනවත් වේවි.

    ජයවේවා!

    Liked by 1 person

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.