About me කවුද මේ ?

මේ ඓතිහාසික සම්ප්‍රදායය පිළිබඳව සහ පාරම්පරික ගම්මානය පිළිබඳව කරන විස්තර වලින් ප්‍රකාශිත දැනුම හා ආකල්ප, බටහිර අධ්‍යාපනයෙන් ලැබූ ශික්ෂණය ඇතුව පමණක් බලන්නකුට  නුහුරු විය හැකිය. එහෙයින් ඉවසිලිමත්වන ලෙස ඉල්ලමි.  පැරැන්නන්ගේ අදහස් හා දැනුම එකවරටම බැහැර නොකර විමසා බලන ලෙස ද ඉල්ලා සිටිමි. මේ ලියවෙන දෑ ජනශ්‍රැතිය අධ්‍යයනය , මානව විද්‍යාව, ඉතිහාසය වැනි සමාජ විද්‍යාවක් යනාදී ලෙස සීමාවන් පනවාගෙන  නොලියවෙන බව ද සලකන්න. විශේෂ අවස්ථාවන්හි, මතුවන අවශ්‍යතා අනුව වෙනත් මාර්තෘකා ඔස්සේ ද සාකච්ඡා කරන බව පෙනී ගියත් ඒ සියල්ල ද මේ සම්ප්‍රදායය ස්පර්ශ වෙමින් ලියවෙන දෑ බවට පත්වනු ඇත. 
මහනුවර යුගයේ සමාජ සංවිධානය ගැන හදාරනු පිණිස එම පෙරසිරිත් අදටත් රැකී ඇති තෝතැන්නක් විය හැක්කේ උඩරට ගිවිසුමේ දැක්වෙන විහාර ගමක් හෝ දේවාලගමක් තුළය. ඒ සඳහා නවීකරණය වැද්ද ගැනීම වඩා පමා වීමට එහිි භූගෝලීය පිහිටීම ද හේතුවුන බව සිතිය හැකි මක් වීම වැදගත් වෙයි. ඒ අවස්ථාව  උග්ගල් අලුත්නුවර දේවාලගමටද ලැබී ඇත. මේ ලියවෙන දෑ  කියවන විට  එබව ද ඒත්තු යනවා ඇතැයි සිතමි.
1815 ඇති වු උඩරට ගිවිසුම විවිධ අවස්ථාවල වෙනස් වෙමින් පැමිණ 1870 සම්මත වූ විහාර දේවාලගම් පනත යටතේ ඉඩම් භුක්ති ක්‍රමය ලේඛනගතවිය. එයින් ආවරණය වූ හා විස්තර වන ” රාජකාරි ඉඩම්භුක්තිය” මෙවැනි ජනතාවකගේ ආර්ථික පදනම වේ. මෙහි “රාජකාරි” යනුවෙන් හදුන්වන්නේ දැන් අප දන්නා රජයේ සේවය නොවේ.  එය දේවාලය උදෙසා කෙරෙන පුරාණ සිංහල රජසමයේ ස්ථාපිතව පැවති සේවයකි. එම සේවය මෙහි ඇතැම් විටක හැඳින්වෙන්නේ “තේවාව” යනුවෙනි.  
ආනාදිමත් කාලයක සිට පැවති විහාර දේවාල ගම්වල “රාජකාරිය ” යන්න පාලනය වන හා ආවරණය වන ආයතන සංග්‍රහය හා මුදල්රෙගුලාසි සංග්‍රහය ලිඛිත එකක් නොවේ.  එය “පෙරසිරිත” නමින් දන්නා සිරිත් විරිත් සමුදායකි.  ඒවා ලිඛිත නීතිරීතිවලට වඩා බලවත්ය.  උල්ලංඝනය කිරීම ලෙහෙසියෙන් සිදු නොවන්නකි. හදාරන්නකුට මහත් දුෂ්කරතාවක් ඇතිවන්නේ ද මේ අලිඛිත ස්වභාවයටත් වඩා ඒවා එකිනෙක විමසා අසා ගැනීමට කෙනෙකු ද නොමැතිවීමය.  එවැනි අයකු සොයා ගත්ත‍ේ යයි මුලාවෙමින්  කිසියම් රාජකාරි ඇත්තකුගෙන් සෘජුව විමසා බලන විට ලැබෙන පිළිතුරු විශ්වාසනීයත්වයෙන් අඩු බව ඒ අවස්ථාවේම වුවද පැහැදිලි වෙයි. එ් නිසාම ‍දිගු කලක් නිරතවන සහභාගී නිරීක්ෂණයකින් මිස කිසියම් මට්ටමකින් හෝ සෑහෙන අවබෝධයක් ලබා ගැනීම නොහැකි වෙයි.
මේ ඇත්තන් මගින් පැවසෙන ජනකතා නමින් හඳුන්වා ඉදිරිපත් කරන්නේ හුදු රසවත් බවින් පමණක්ම වැදගත් ඒවා නොවේ. ඒවායේ රසවත් බව මෙන්ම ඓතිහාසික හරවත් බවක් ද පෙනීයයි. හැකි සෑම විටම කතාවට පසු බිම් වූ ඓතිහාසික පුවත්ද පෙන්වීමට මෙහිදී වෑයම් කර ඇත්තේ එහෙයිනි. 
  • මේවා කියවන්නා වූ ඔබ තුළ යම් හෝ කුතුහලයක්,  එහි ගොස් බලන්නට ආසාවක් පහළ වනු ඇති යි සිතමි.
  • උඩරට රාජධානියේ පැවති සමාජරටාව, එහි සිරිත් විරිත්,ආගමික ඇදහිලි,  කෘෂිකාර්මික රටාව පිළිබද විවිධ තොරතුරු, කාර්මික නිපැයුම් හා නිෂ්පාදන ක්‍රමශිල්ප හා ඒවායේ ඵලදායකත්වය අදට ඒවයින් ලබා ගත හැකි ප්‍රයෝජන විවිධ ශාස්ත්‍රීය නිපුණතා සහ එකල පැවති අධ්‍යපන රටාව කුලක්‍රමය නිසා ඇතිවූ සමාජ ස්ථරායනය ආදිය ගැනද මෙතෙක් අනාවරණය නොවූ වෙනත් යම්යම් දෑ ගැන කිසියම් අවබෝධයක් මේ උත්සාහය ගැන සැලකිල්ල යොමු කිරීමෙන් ලබාගත හැකිවනු ඇතැයි ද සිතමි.
  • සැඟව යමින්, යටපත්ව යමින් තිබෙන, එහෙත්  අදටත් විපුල ඵල ලබාගත හැකි පාරම්පරික ඥාන සම්භාරය(පාරම්පරිකව නිපදවාගෙන තිබූ විවිධ දැනුම් සම්භාරය) අතිමහත් බව මේ හැදෑරීම් කරද්දී මට තේරුම් ගිය වාර බොහෝය. ඒවා තවදුරටත් සොයා බලන්නට කුතුහලයක් ඔබ තුළ ද දැල්වේයයි ද සිතන්නෙමි.
වර්තමානය ඉතිහාසය බවට හැරවිය හැක්කේ එය සිය වසරක්වත් අතීතයට ගිය විටය.  යටත් පිරිසෙයින් අඩ සියවසක්වත් යනතුරු ඉතිහාසය බවට පත්කළ නොහැකිය. ඉතිහාසය පුද්ගලබද්ධ විස්තරයක් වීම අවම තත්ත්වයකට පැමිණීමට එවැනි කාලයක් අවශ්‍ය විය හැකිය.  මේ අනුව  වසර 50 කට මෙපිට මෙහි මා අතින් ලියවෙන විස්තර හා තොරතුරු අර්ධ වශයෙන් හෝ පුද්ගල බද්ධ වන බව මම ද පිළිගනිමි.
ඉදිරිපත් කරන විලාසය අනුව ආකල්පමය වශයෙන්  එයින් වශීවී මුව අයාගෙන ඒ දෙස බලා සිටින්නකු සේ ඔබට පෙනීයාම නොවැලක්විය හැකිය. මේ බිමේ ම ඉපදී හැදී වැඩුනකු බැවින් එසේ වනවා විය හැකිය. පුද්ගලබද්ධතාවෙන් ඉවත්ව විෂය බද්ධව කරුණු දැක්වීමට ගන්නා වෑයම ඇතැම් විටක අසාර්ථක වනු ඇත්තේ එහෙයිනි.
නව මූලාශ්‍ර  සොයා ගැනීම මත ඉතිහාසය වරින්වර වෙනස්වීම ස්වභාවය කොටගනී.  ඉතිහාසය යනු සාපේක්ෂ සත්‍යයක් පමණි. 1818 රටේ ඇතිවූ  අරගලය වරප්‍රසාද අහිමි වූ රදළයන් සුළු කොටසක් විසින් ඇති කරන ලද කැරැල්ලක් සේ මුලදී අරුත් ගැන්වුනි. පසු කලක මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද ශූරීන් වැනි අග්‍රගන්‍ය වියතුන් බොහෝ දෙනකු විසින් අනාවරණය කරගනු ලැබූ නවතම මූලාශ්‍ර  අනුව එය එවැන්නක් නොව සිය පාරම්පරික උරුමය හා සමය වෙනුවෙන් පොදු ජනතාව එක්සිත්ව ගෙනගිය පළමු ජාතික විමුක්ති සටන බව මනාව පැහැදිලි විය.  මෑතක් වනතුරු  සීතාවක රාජසිංහයන් පිළිබඳ පැවති නිගමන දුර්මත බවට පත්වෙමින් මහාචාර්ය රිසිමන් අමරසිංහ ශූරීන් වැනි වියතුන් විසින් සොයා අනාවරණය කරනු ලැබූ මූලාශ්‍ර අනුව සීතාවක රාජසිංහ රජතුමා  අලුතෙන් හදුනාගන්ට  අවස්ථාව ලබා දෙයි.
1950 දශකයේ සිට උග්ගල් අලුත්නුවර ජනතාවගේ දරුවකු වශයෙන් ඔවුන් අතරම හැදී වැඩුනකු වන මට එම ජනතාව පමණක් නොව එහි ගහ කොල සතුන් ද නෑදෑයෝ ‍වැන්න. 1955 පමණ සිට එහි සිදුවූ හොඳ හා නරකද විනෝද ජනක, අද්භූත හා විශ්මය ජනක, ත්‍රාසජනක හා සතුට දනවන සෑම දෙයක් පිළිබදවම දැනුම හා අත්දැකීම්  ලද්දෙමි. කුඩාකල   කිරි අම්මා(මුත්තම්මා)  සමග දේවාලයේ උත්සවයන්ට නිතර යාමටත් එහි අසිරිය මෙන්ම ඒ හා බැදීගිය සම්ප්‍රදා‍යේ අපූර්වත්වය වින්දනයටත් අවස්ථාව ලදිමි. ඇය දේවාලයේ දිග්ගේ නැටුම් ශිල්පිණියකි.  පසු කලෙක  මා ගමෙන් බැහැරව ඉගෙනීමේ යෙදී සිටින අවදියේ දී  මෙන්ම රැකියාවේදී වුවද, පෙරහර ඇතුළු ගමේ උත්සව අවස්ථාවල පැමිණීම අනිවාර්ය පුරුද්දක් වූයේ ගම හා ගමේ කමෙන් මා වශීවී සිටි හෙයිනැයි සිතමි. උපන් ගමේ ගුණ සුවද අන් අයට සේම මටද අමතක කළ නොහේ.  1975 සිට ගුරුවරයකු වූ මා 1992 සිට ගුරු උපදේශකවරයකු හා නියෝජ්‍ය විදුහල්පති වරයකු ලෙසද  1998 සිට ගුරුමධ්‍යස්ථානයක අධිපතියකු ලෙස ද සිටියත් ගමේ දී ගැමියකුවී සිටීම මට සතුටක් විය. ඒ සදහා යත්න දැරීමි. එය මට ආඩම්බරයක් වූයේ මන්දැයි නොදන්නෙමි. ගමේ දරුවෝ “අයියා” හෝ “මාමා” යනුවෙන් කරන ඇමතීම  මට මහත් ආශ්වාදයකි. “මා”  ගමට අයත් බව, ගමේම බව එවැනි ඇමතුමකින් මට පසක්වෙයි. ගමේ ඇත්තකු විසින් “මහත්තයා” හෝ “සර්” යනුවෙන් කරන ඇමතීමක්  ලද සෑමවිට ගමෙන් පිටමං කර ඈත්කර දැමූවකුට ඇතිවන කණස්සල්ලක් දැනුදු මා තුළ ඇතිවේ.
මේ ව්‍යායාමයේ අන්තර්ගත දේවල් පැරැන්නන් ඇසුරු කරමින් යම්තරමකින් හෝ ඉගෙනීමටත්, අත්දැකීමටත් මෙසේ ප්‍රකාශයට පත් කිරීමටත් හැකිවීම මාතුළ සතුටක් ඇති කරවයි. පුරාණයේ සිටම ගමේ වැඩ සිටි පූජනීය මහා සංඝරත්නයේත්, මේ පරිශ්‍රය ආශ්‍රිත හැම දේත් ගමත් වෙනුවෙන් මහත් කැක්කුමකින් සිටින රාජකාරි මණ්ඩලය වූ ගමේ වැඩිහිටියන්ගේත්,දේවාලයේ වගකිවයුත්තන්ගේත්  මෙන්ම තරුණ පිරිසගේත්, දරුවන්ගේත් උපකාරයත් අවසරයත්, අනුබලයත් ආශීර්වාදයත්  නිරන්තරව ලැබේ.  ඒ සියලු දෙනා භක්ත්‍යාදරයෙන් සිහිපත් කරමින් කෘතඥතා පූර්වක ස්තුතිය පුද කරමි. හැදූ වැඩූ දෙමාපියන් වෙසෙසින්ම හය හතර තේරෙන අවදියේම මව අහිමිවුවද මවගේ අඩුව ද පුරවාලූ දයාබර පියාණන් ද ඇහැ පෑදූ ගුරුවරුන්ද නමස්කාර කරමි. ඔබේ අදහස් යොජනා සහ චොදනා ද ඊමේල් මගින් හෝ දුරකථනය හෝ තැපැල් මගින්  ලැබේවායි පතමි
  •  නම(Name)                           : එම්.පී.පී.ගුණසිංහ(M.P.P.Gunasinghe)
  • ගමේදී නම(Nick name)       : පේමස්(Pemas)
  • විද්‍යුත් තැපෑල(e mail)   :
    mppgguna@gmail.com
  • රැකියාව සහ වෙනත් විස්තර ඉහත දැක්වේ.

පසු සටහන්

  • මා වෙත විවිධ මාධ්‍යයන් මගින් ලැබෙන ඇතැම් ප්‍රතිචාර වලදී පැහැදිලිවන එක් කරුණක් ගැන ඔබේ කාරුණික අවධානය යොමු කරවනු කැමැත්තෙමි. මෙහි සඳහන් ඇතැම් ලිපි කියවූ අය එය තමන් දැනට අදහන සහ දන්නා  ශාස්ත්‍රයට එල්ල කළ අභීයෝගයක් සේ සිතා කණස්සල්ලට පත්ව වාදයට එළඹීමට තැත් කරති. උදාහරණ වශයෙන් “පාරම්පරික ඥාන සම්භාරය 1” යටතේ ඇති ලිපිය බැලූ ඇතැම් ශාස්ත්‍රවන්තයකු එහි සදහන් දැනුම ගැන ප්‍රශ්න කරන්නට විය. ඒ සෑම ප්‍රශ්නයකටම පිළිතුර ද එහිම සටහන්ව ඇති බව පෙන්වා දුනිමි. ඉන්දියාවෙන් අප වෙත දායාද වූ බොහෝ දෑ වෙයි. ඉතා ඈත අතීතයේ ලැබුණ ඒ බොහෝ දෑ කාලයාගේ ඇවෑමෙන් අපේ සංස්කෘතික වටා පිටාව යටතේ වෙනස් ආකාරයකට ඔපමට්ටම් වෙමින්, වෙනස් කම්වලට බඳුන්වෙමින්,  නිදහස්  නිර්මාණ බවට පත්වී ඇති බවත් ඒ තත්ත්වය භෞතික නිර්මාණ බොහොමයකම පැහැදිලිව දක්නට හැකිව පවතින බවත් ඕනෑම කෙනෙකුට තේරුම් ගැනීම අපහසු නොවේ. ඒ අනුව දායාද වූ භෞතික නොවූ දැනුම් කොටස්ද එසේ වර්ධනය වෙමින් හැඩගැසෙමින් නිවහල්ව වැඩෙන්ට ඇතැයි සිතීම අසාධාරණ නොවේ. ඒ නිසා මේවා අපේ දැනුම සේ අර්ථ දැක්වීම  සාධාරණ ය.
  • මේ සටහන එක් කරමින් සංස්කරණය කරන අද දිනය 2014 මාර්තු 17 සඳුදාය. උග්ගල් අලුත්නුවර පෙරහර උත්සවය ගැන විස්තර ලියමින් සිටින දිනයන් හිය. පැනය නැගූ තැනැත්තාට ජාත්‍යන්තර කීර්තියටපත් සංස්කෘතික සංදර්ඔනයක් ලෙස හෝ දළදා පෙරහෙරේ පවා වටිනාකමක් ඇති බව තේරුම් ගොස් නොතිබිණි. දිවයිනේ පවත්වන සියලුම උත්සව  අතර ප්‍රමුඛතාව ලබමින් ජාතික මෙන්ම ජාත්‍යන්තර කීර්තියට පත් ඇසළ මහා පෙරහර; දළදා පෙරහර බවට පත්ව ඇත්තේය. රොබට්නොක්ස්(1660) ජොන්ඩේවි (1819)වැනි විදේශීය ලේඛකයන්ද මහනුවර පෙරහර මහත් අභිරුචියකින් විස්තර කරති. දසදහස් ගණනින් එ් වටා රැස්වන ජනකායගේ පැවති විනයානු කූල සංවරය ගැන ජෝන්ඩේවි විශ්මයට පත්වෙයි.  මේ ලේඛකයන් දෙදෙනාගේ පොත් සිංහලයට ද පෙරලී ඇත.  මෙවැනි සටහනක් තබනුයේ ලිපි කියවනු ලැබූ ඉහත කී තැනැත්තා මේ ඇයි ? වෙන වැඩ නැතුවද මේ සිරිත්විරිත් උත්සව ගැන ලියන්නෙ ?  මළ මිනී නැගිට්ට වීමෙ තියන ප්‍රයෝජනය මොකද්ද ? යනුවෙන් විමසමින් මතු කළ අදහස අනුව ඔහු  සිතන විදිහ පෙනි ගිය බැවිනි. පාසලේ ඉතිහාස විෂයය අතහැර දැම්මේ මේ මතය නිසා වන්නට ඇත. සමාජයීය  ආකල්ප සෝපාලුවට  හේතු සෙවීමේ ව්‍යාපෘතියකට කාලය පැමිණ ඇති බව ඉහත කී විමසුම් කරුවාද මා හා එකඟවීමෙන් දුරකථන සංවාදය නිම විය.
  • සමාජයක පවතින සිරිත් විරිත් හා උත්සව එහි උද්‍යෝගිමත් වර්ධනයට අනුබල දෙන්නකි. ආත්මගෞරවයට හා ආත්මාභිමානයට ද මිනිසා ගේ චරිතවර්ධනයට ද ඉවහල් වන්නකි. ඉහත ආකාරයට ප්‍රශ්න කළේ සාමාන්‍ය කෙනෙකු නම් නිහඩවීමට හැකිය. ලොව වෙනත් රටවල් ඉතිහාසය දෙස බලන බවත් සිය උරුමයන් රැකීමට පුදුමාකාර උත්සාහයක් දරමින් සිටින බවත් ; මිනිසා සමාජ සත්වයකු බවත් මේ උගතාට  අමතක වුනේ ඇයි  දැයි කිව හැකිද?

37 thoughts on “About me කවුද මේ ?

    • මම ලියන්නෙ අපේ දැනමුත්තන්ගෙන් අසාගත්තු දේවල් ඒව කියනවිට රසවත් හරවත් අමුත්ම දේවල් දැනගන්න ලැබෙනවා. ඔබටත් එවැනි අය ගෙන් අහන්ට ලැබෙන මේවගේ කතා තියනවා නම් ලියන්න.ඔබම ඒවා උඩුගත් කරන්න. නැතහොත් මට එවන්න. අපේ සැඟවී යන රසවත් හරවත් අමුතු දැනුම පැරැණි දැනමුත්තන් ළඟ තවම තියනවා. අපේ ඔබ වැනි සංවේදී අයගේ වදනක් හෝ අසන්ට ලැබීමම මාද පින් කළ කෙනෙක් බව පසක් කරනවා. අමිල ඔබ ඇත්තෙන්ම අමිල පුතණු කෙනෙකි.

      කැමතියි

    • ස්තුතියි ගොඩක් ස්තුතියි.! අකුරු ලොකු කිරීමේ අවශ්යනතාව මටද මුල සිටම පෙනී ගිය දෙයක්. එම දුබලතාව මග හරවා ගැනීමට උත්සාහ ගත්තත් තවමත් නොහැකි වී ඇත. ඊට හේතුව තවම මා සතුව පවතින තාක්ෂණික දැනුමේ අඩුව විය හැකිය. මේ දුබලතාව මගහරවා ගැනීමට ක්රවමය කියා දිය හැකි නම් එය විශාල උපකාරයකි. ඔබගෙන්ම හෝ වෙනත් සොයුරකුගෙන් මේ උපකාරය ලැබේවායි පතමින් පවතින අපහසුතාවයන් ගැන සමාව අයදිමි සොයුර.

      කැමතියි

      • ලිපි ලිවීමේදී ටෙම්ප්ලේට් එකේ ටයිප් කරන කොටසේ දකුණු පැත්තේ උඩ කොණේ පෙනෙනවා දෘශ්‍ය View සහ Text යනුවෙන් ටැබ් දෙකක්. ලිපිය ලියා අවසන් කළපසු Text ටැබ් එක විවෘත කරගන්න. එහි ඔබට පෙනෙනවා HTML Codes. හැම ඡේදයකම ආර්භක වචනයට ඉදිරියෙන්, මා ඉහත දක්වා ඇති code අතරින් ඔබ කැමති අකුරු ප්‍රමාණයට අදාළ code එක copy paste කරන්න. ආපසු දෘශ්‍ය (ලිපි ලියන තැන) ටැබ් එක ඔබන්න. දැන් අකුරු ලොකුවට පෙනෙනු ඇති.

        කැමතියි

      • ලිපි ලිවීමේදී ටෙම්ප්ලේට් එකේ ටයිප් කරන කොටසේ දකුණු පැත්තේ උඩ කොණේ පෙනෙනවා දෘශ්‍ය View සහ Text යනුවෙන් ටැබ් දෙකක්. ලිපිය ලියා අවසන් කළපසු Text ටැබ් එක විවෘත කරගන්න. එහි ඔබට පෙනෙනවා HTML Codes. හැම ඡේදයකම ආර්භක වචනයට ඉදිරියෙන්, මා ඉහත දක්වා ඇති code අතරින් ඔබ කැමති අකුරු ප්‍රමාණයට අදාළ code එක copy paste කරන්න. ආපසු දෘශ්‍ය (ලිපි ලියන තැන) ටැබ් එක ඔබන්න. දැන් අකුරු ලොකුවට පෙනෙනු ඇති. පැහැදිලි නැත්නම් ඊ මේල් එකක් එවන්න.

        කැමතියි

    • ස්තුතියි. එදින මට ඔබ සමග ගත කිරීමට වෙන්ව තිබූ සීමිත කාලය නිසා මැද්දේගම හා බොල්තුඹය ආශ්‍රිතව සැලසුම් කර තිබූ ගමනට සහභාගීවීම අපහසු විය. ඒ වෙනුවෙන් කණගාටුව පළ කරමි. ඔබේ සංචාරය ප්‍රයෝජනවත් වී නම් එය මහත්ම සතුටකි. ඔබ ගන්නා වෙහෙස ඉතා අගය කරමි. ඉදිරියේදී ද හැකි සහායයක් ලබා දෙන බව පොරොන්දු වෙමි. පැමිණෙන්නේ නම් මට ප්‍රමාණවත් කාලයක් වෙන් කර ගැනීම පිණිස දින තුනකට පමණවත් පෙර දැනුම් දෙන ලෙස ඉල්ලා සිටිමි.

      කැමතියි

  1. sir, meke mavisin kewarak kiyewwath…ethi nowana tharamya……….desata kandulu unann eyidei nodenimi………..mehi me game samaharawit api sasare athma ganak hitiyawathdei site……..ma kuda kala sitama pe siyage dethe elli oba wethw ewith upades gatimi……….oba esurehi sundara mathakayan rasiyak thibe…………obata deergayusa saha kaharagama deviyange asirwdaya pathamu………………………..

    කැමතියි

    • අනුෂාල් පුතණුවනි, ඔබ අද ඉන්නා තැන ඔබේ සීයා කොහේ සිට හෝ මහත් සතුටෙන් බලා සිටිනවා ඇති වගේම ඔබ වැනි දිදුලන දරු පිරිස් ගැන සිහිකිරීම මා ද ලබන සතුටකි වාසනාවකි. ගම පැමිණි විට ඔබ හමුවීමේ අපේක්ෂාවෙන් සිටිමි

      කැමතියි

  2. ඔබ මහා විශ්මය ජනක මනුස්සයෙක්නේ. හැමදාම ඇවිත් මගේ අලුත් ලිපියකට ලයික් එකක් දාලා යනවා. මම හරකා මෙච්චරකල් බැලුවේ නැහැ මේ කවුද කියලා. මමත් කෑගල්ලේ උපන් මිනිහෙක්. ඉගෙන ගත්තේ කෑගලු මහා විද්‍යාලයේ සහ රුවන්වැල්ල මමවී. ගුරු වෘත්තියට ගියේ 1979 දී. අවුරුදු කීපයයි හිටියේ හමුදාවට ගියා. අපි ගුරුවරු. මගේ තාත්තා විදුහල්පති. අම්මා ගුරුවරියක්. මගේ බිරිඳ කෘෂි විද්‍යා ගුරු උපදේශක. අද විශ්‍රාමිකයි. wmjgslsr@gmail.com මගේ ඊ මේල් ලිපිනය.

    කැමතියි

  3. ඔබගේ අඩවිය මට දැනුම් දුන්නේ අපේ විචාරක මහතායි. ඔබට පින්. මේ කරනා සේවය අනර්ගයි. මගේ වැඩ වලට ඔබේ දායකත්වය දිය හැකි ද? ඔබට ඉක්මනින් අමතමි.

    කැමතියි

  4. ඔබ මේ කියන්නේ බලංගොඩ අළුත්නුවර දේවාලේටද උග්ගල් අලුත්නුවර කියලා? මම එහේ ගිහින් තියෙනවා කීප පාරක්ම. එතකොට නුවර පැත්තෙත් තව එකක් තියෙනවා නේද මේ නමින්ම?

    කැමතියි

  5. ඔබතුමාගෙන‍් සහ බෙණරගම මහතාගෙන‍් ශිල‍්ප උගත‍් එ‍් කාලය මතක‍්‍ වී දෙනෙත‍් තෙත‍්වන අතරෙ‍් පතනෙමු ඔබට දිගාසිරි,කරනට තව තවත‍් මෙවන‍් උදාර කටයුතු.(WBM-ඉඹුල‍්පෙ‍්)

    කැමතියි

  6. ස්තුතියි නිලන්ත. ඔබ සහ ඔබේ වයසේ පරපුර ගැන මට තියෙන්නේ සැබෑ සතුටක් ඔබ ඇතුළු පිරිස කිසියම් දිනක බාධක බිඳ දමා උපත දුන් ගම මෙන්ම රට ද බබලවනු ඇති බව මට විශ්වාසයි

    කැමතියි

  7. ලිපි කිහිපයක්ම කියෙව්ව. ඉතාම වටිනා දේවල් ගොඩක් තිබෙනව ඒවායින් ගන්න.
    වෙනත් අමතර ගැටළුවක්. ඔබට ඊ ලිපියක් එවන්න උත්සාහ කළා. ඊ මේල් ලිපිනයේ ගැටළුවක් තිබෙන බවක් පෙනෙනවා. දෙවරක් උත්සාහ කලා. හරි ගියේ නෑ.
    මේ ඔබ පිරවූ “ඊ බුක්” ප්‍රොජෙක්ට් එක සම්බන්ධ පෝරමය සම්බන්ධවයි.

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )