උග්ගල් අලුත්නුවර බෝධි වංසය

උග්ගල් අලුත්නුවර බෝධීන් වහන්සේ

“මේ උඩමළුවට ගිහින් බුදුන් වැඳල බෝධීන් වහන්සෙ දිහා බලාගෙන ප්‍රාර්ථනාවක් කරන්නකො. ඒක ඉන්තේරුවන්ම ඉටු වෙනව. මෙතන වඳින්න  එන හැමෝටම මේ විස්වාසෙ  තියනව. කවුරුවත් වන්දවන්න එන්න ඕනත් නෑ. තමන්  තනියම හරි ඇවිත් බුදුන් වැඳල, බෝධිය ඉදිරියේ වැඳගෙන ප්‍රාර්ථනා කරාමත් ඇති. බලන්නකො බෝධින් වහන්සෙ දිහා. වෙහෙරවහන්සෙයි, විහාරයයි වහගෙන අතු විහිදිලා තියන අපූරුව”    විදානෙ මහතා සාකච්ඡාවට පැමිණෙයි.

‍දේවාලෙ විදානෙ නිලය – සිරිසේන මහතා – 2019 .06.29

බෝධිවන්දනාවට උපදෙස් දුන් දුන් විදානෙ මහතා  නිහඬව බෝධිය දෙස බලා සිටී.  ස්වල්ප වෙලාකට පසුව  භාරතරත්න කපු මහතාගෙන් මා කලින් අසා තිබූ පුරා කතාවේ[i] අමතකව ගිය තැන් සිහිපත් කරවමින්  ආසාවෙන්, උවමනාවෙන් යුතුව [ii] කතා කරන්නට වෙයි.  මෙතැන් සිට ඒ අයගේම බස් වහරින්ම කතාව දිග හැරෙන බව සලකන්න.

බෝධි ශාඛාව වැඩම කරවීම 

“ මුලින්ම, මෙතන තිබුණෙ පුංචි කඳු මුදුනක්.  මේ සිද්දස්ථතානෙ කරවපු පුරාණ මහ රජතුමා පළමුවෙන්ම කඳු මුදුන වටේ බැමි බැන්ද ඊට පස්සෙ උඩ මළුව මට්ටම් කරා.   දේවාලෙ හදන්න කලින් සුබ නැකතින්  දාගැබයි, විහාර ගේයි හදන්න පටන් ගත්ත.  තුන් බෝධියම සම්පූර්ණ වෙන්න නං බෝධීන් වහන්සෙ නමක් ඕන නේ.  මේ කටයුත්ත පැවරුනේ ඒ කාලෙ මේ පළාතට හිටපු  ලොකු හාමුදුරුවන්ට. දැන් වගේ ඒ කාලෙ හාමුදුරුවන් වහන්සෙලා සුලබ උනේ නෑ. ඔය පින්නවල පැත්තෙ තියන පුරාණ එළුගාල පන්සලේ හිටපු ලොකු හාමුදුරුවො තමයි රජ්ජුරුවන්ට අනුසාසනා කළේ. බෝධීන් වහන්සෙ වැඩමවන පෙරහරට මෙහනේ විතරක් සෙනග සේනාව 100 ක් විතර එක් රැස්වුනා. ඔව් ඔව්,  බොල්තුඹේටත් බෝධීන් වහන්සෙ වැඩමවන්ඩ ඇත්තෙ ඔය කාලෙම වෙන්න ඇති.   මේ වැඩේට  වටවන්දනාවෙ යන්නත් එක්ක මහ පෙරහරකින්  ගිය සෙනග සේනාවට අනුරාපුරේට යන්න පුරා මාසයක් විතර ගියාලු. ඊටත් මාස දෙකකට විතර පස්සේ තමයි බෝධීන් වහන්සෙ මෙහෙට වැඩමෙව්ව කියන්නෙ. එච්චර කල් ගියෙ ආපහු පෙරහර එද්දී මග දිගට තියන සිද්ධස්ථානෙන් සිද්ධස්ථානෙට බෝධීන් වහන්සෙ වැඩ හිදුවල පුද පූජා පැවැත්තුව නිසාලු.

දේවාල මළුව මත පිහිටි චෛත්‍යය, බෝධීය හා විහාර මන්දිරය

භාරතරත්න කපුමහතා 1993 දෙවේලේ පෙරහර අවසන් දින හොවත් මහ පෙරහරට පෙරදින රාත්‍රි

ඔව් ඔව්,   පුරාණ පාර තිබුණෙ මේ ඉස්සරහ වෙල්යාය මැදින් ගලා ගිය ඔය හරහා යන්න තිබුණ පාලමෙන් ගිහින් අලුමඩිත්ත හරහා හල්ගහවෙල, කුඹල්මුල්ල පැත්තෙන් බොල්තුඹේට ගිහින්,  දැන් ඔය කියන මාරතැන්න, බගවන්තලාව පැත්තෙන්   නුවරට, මාතලේට යන්න පුළුවන්  පාරක්. ඒක තමයි මෙහෙන් අනුරාජපුරේට වැටෙන පුරාණ රජමාවත.

ඒ විදිහට මාස දෙකකට පසුව බෝධිසාකාව වැඩම කරගෙන එන කොටත් උඩමළුවෙ චෛත්‍ය යෙයි, විහාරෙයි වැඩ ඉවර වෙලා තිබුණෙ නෑ. චෛත්‍යයට ළඟින්ම තිබුණ ගොඩැල්ල උඩ බෝධි සාකාව වැඩ හිටපු පාත්තරේ තැන්පත් කළා. දවස්පතාම සැදැහැත්තන් බෝධීන් වහන්සේට පුද පූජා පැවැත්තුව. චෛත්‍යයේත් විහාරෙත් වැඩ ඉවර වෙලා බැලුවාම බෝධින් වහන්සේ වැඩමවාපු පාත්තරේ ආය එතනින් හොල්ලන්න බෑ. නැතුව එතනම මුල් ඇදල තිබුණ. දැන් ඉතින් මේ තමා සුදුසුම තැන කියන එක රජතුමාගෙත් හාමුදුරුවන්ගෙත් අදහස වුනා.  මළුවෙ උඩ බැම්ම හීමාවෙ උනත් මොනවා කරන්න ද, බෝධින් වහන්සෙට ඉඩ ඇරල එතනින් එහාට බැම්ම කොටසක් ඉදිරියට පන්නල බැන්ද. ඒ ගමන් තමයි ඔය විදිහට වැඩ ඉන්නෙ.

බෝධීන් වහන්සෙ වැඩිය උස නොගිහින් අතුපතර විහිදුවාගෙන චෛත්‍ය රාජයාටත් විහාරගේටත් හෙවන දෙනව. බලන්නකො මේ බෝපත්තරයක් අරගෙන. ඒව හරියටම අනුරාජපුරේ සිරිමා බෝ හාමුදුරුවන්ගෙ කොල වගේමයි. ඒ හන්ද මේ තියෙන්නෙ ජය සිරිමා බෝධියෙම සාකාවක්.

බොධින් වහන්සේ මුහුණ දුන් උවදුරු

එහෙම උවදුරක් වුන බවට කරුණු කාරනා කියන්න දන්නෙ නං නෑ. ඒත් මෙහෙ කලින් හිටපු සමහර ලොකු ඇත්තො තේරුමක් නැතිකමටම අතු අයින් කරන්න ගිහින් අමාරුවෙ වැටිච්ච වෙලාවල් අපිත් දැකල තියනව. 1990  විතර ඉඳල බෝධීන් වහන්සෙගෙ අතු විහිදෙද්දි ඒවට මුක්කු තියමින් වැඩෙන්න ඉඩ සලස්සල තියනව. සමහර අතු විහාර ගෙයි වහළටත් උඩින් ඇවිත් හරියට විහාර ගෙට සෙවන දෙන්න වගේ. සමහර අතු චෛත්‍ය  රාජයා වහගෙන වටේ විහිදෙනව. ඒක අපූරුවක් නෙවෙයිද බලන්නකො. ඔය බෝධීන් වහන්සෙ ළඟම සුදු නාග රාජයෙකුත් කාලෙකට උඩ දී ඉන්නව අපි කවුරුත් දැකල තියනව. මේ වගේ බෝධීන් වහන්සේකට මිනිස්සු මැදිහත් වෙලා අතු කපා දානව වගේ දේවල් කරන්න සුදුසු නෑ. ඒ නිසා පස්සෙ ආපු දැනුං තේරුං තිබුණ බස්නායක නිලමෙ තුමාල මැදිහත් වෙලා රන්වැටක් බැඳල ආරස්සා වෙන්න සලස්සල තියනව. විහි දෙන අතු වලට මුක්කු තියල ආරස්සා කරනව.

බෝධි පුරාණයේ  කියවෙන හාස්කම්

මං දන්න ලොකු ලොකු මහත්තුරු ගණනාවක්ම මෙතනට ඇවිත් බුදුන් වැඳල බෝධියට තමුන්ගෙ ප්‍රාර්ථනාව කියල දෙවියන්ට පින්දීල ඒ ගමන්ම දෙවියන්ට බාර වෙලා යනව. ඒ කාට වුනත් වැරදුනේ නෑ. එක කාලෙක මඩුවන්වෙල දිසාහාමුදරුවන්ගෙ මැණිකෙට වෙච්ච බාරයකින් පස්සෙ  ඒ මැණිකෙගෙ පරම්පරාවෙන් උරුම වෙච්ච අගස්ති මාලෙ දෙවියන්ට පූජා කළා. මඩුවන් වෙල වලව්වෙන්ම රිදී කරඬුව පූජා කළාය කියල අපේ අප්පච්චි කියල තියනව. මටත් මතක  සිඩ්නි එල්ලාවල බණ්ඩහමුදුරුවන්ගෙ කාලෙ ඉන්දියාවෙ මහා රාජ කෙනෙක් බාරයක් වුනා. ඒ කාරනේ ඉෂ්ට වුනාට පස්සෙ, බණ්ඩහමුදුරුවො ඉන්නතුරුම,  හැම පෙරහරකටම සෙනග සේනාවත් අරගෙන ඉන්දියාවෙ මහා රජ මෙහෙට අවෙ බරටම පඬුරු පාක්කුඩං ඇතුව. ඒ කාලෙ  ඉන්දියානු නැටුම් කණ්ඩායම් පවා මෙහෙ ආව. මගේ වයසෙ අයගෙන් අහල බලන්නකො.

මං කියනවට පිළිනොගෙන සත්තක බලන්නත් එක්ක මහත්තයත් පිරිසිදුව පේවෙලා පන්සිල් අරගෙන බුදුන් වැඳල ඕනි කාරණාවක් වෙනුවෙන්, දුවා දරුවන් වෙනුවෙන් බොධීන් වහන්සේ ඉදිරියෙ කියා හිටල බලන්නකො[iii].

බොධීන් වහන්සේ හාස්කම් පිළිබඳව ඒ. එම්. කුලසිංහ මහත්මා විසින් ලියා පළ කරන ලද  “උග්ගල් අළුත්නුවර වත” කෘතියේ ද විස්තර දැක්වෙයි.( කර්තෘ ප්‍රකාශනය – කොළඹ – 2004)

පසු සටහන

  • පුරා කතාව අසා ගන්නා අතර ලේඛකයා විමසූ ප්‍රශ්න මෙහි ඇතුළු කර නැති බව සලකන්න. (මෙය උග්ගල් අලුත්නුවර ජනප්‍රවාදයේ පවතින පුරා කතාවකි.)

පසුබිම – සිද්ධස්ථානයේ ඇරඹුම

උග්ගල් අලුත්නුවර සිද්ධස්ථානයේ ආරම්භය පිළිබඳව විමසන විට මතභේදාත්මක විස්තර රාශියක් හමු වෙයි. කෙසේ වුවද මේ බෝධීන් වහන්සේ අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සෙගේ ශාඛාවක් බව නම් ස්ථිරව පැවසිය හැකි බව එහි දක්නට හැකි උද්භිද විද්‍යාත්මක ලක්ෂණ වල සාම්‍යය අනුවද, ඉහත පුරා කතාව අනුවද, පුරාණයේ ලංකාව තුළ පමණක් නොව තදාසන්න බොදු රටවල ද බෝධි රෝපණ කළ ආකාර පිළිබදව ඇති  පුවත් අනුවද උපකල්පනය කළ හැකියි. 

රාජකීය පණ්ඩිත පූජ්‍ය නාවුල්ලේ ධම්මානන්ද හිමිපාණන් වහන්සේ සතුව පැවති පැරණි පුස්කොල ග්‍රන්ථයක් අනුව උග්ගල් අලුත්නුවර සිද්ධස්ථානයේ  ආරම්භය ක්‍රි. පු. දෙවන සියවස තරම් ඈතට දිව යන බව ඇත්තල පිටියේ නන්දසාර හිමි සහ ටිකිරි බණ්ඩාර සීලොගම මහතා ගේ “නාවුල්ලේ ධම්මානන්ද හිමිපාණන්ගේ විචාර හා විමර්ශන” – ගොඩගේ ප්‍රකාශනයක් සේ එළි දක්වා ඇති ග්‍රන්ථයේ හමුවෙයි. රාජකිය පණ්ඩිත පූජ්‍ය වටද්දර හිමිපාණන් වහන්සේ පවසන පුරාකතාවක් අනුව  උග්ගල් අලුත්නුවර ඉතිහාසය ක්‍රි. පූ දෙවන සියවස නොව ඉනුත් බොහෝ ඈතට; එනම් “සුර අසුර යුද්ධය” පැවතියේ යයි සැලකෙන සමය දක්වා දිවයයි.  කොහොම නමුත් දේවාලයේ විස්තර අඩංගුව ඇති “දේවාල උපත” ගැන කියවෙන පැරණි පුස්කොල ලේඛනය, දේවාලයේ ලේකම් මිටියේ අන්තර්ගතව පැවති පුස්කොල ලේඛනය හා සතිපිරිත් වලදී කියවෙන “විහාර වංසය” හෙවත් පැරණි නම්පොත ද  අනුව මෙය දඹදෙනි සමය හෝ ගම්පල ෙහා් ෙකා්ට්ෙට් රාජධානි සමය දක්වා මෑතට එයි. කෙසේ වුවද පුරා විද්‍යාත්මක ගවේශන සම්පූර්ණ වනතුරු එකවරටම කිසියම් මට්ටමක හෝ ස්ථිර නිගමනවලට ඒමට තවත් කාලය අවශ්‍යය. එසේ වුවද පුරානයේ සිට ස්ථාපිතව ඇති සමාජ රටාව සීතාවක රාජධානි සමය හා  මහනුවර සමයතුළ ස්ථාපිතව ඇති සමාජ ආර්ථික සම්ප්‍රදායයන් සිරිත් විරිත් සාරධර්ම වල විශේෂ ලක්ෂණ පැහැදිලිව දක්නට ලැබෙයි. දේවාල චාරිත්‍ර සම්ප්‍රදායයන් අනුව චිරාගත චාරිත්‍ර රටාවන් බොහොමයක්ම තවම නිරුපද්‍රිතව පවතින බව  ද පෙනීයයි  (මේ පිළිබද විස්තරාත්මක තොරතුරු ඉදිරියෙදී ලියවිය යුතුව පවතී

විශේෂ වදන්

  • අනුරාජපුරේ – අනුරාධපුරය
  • අලුමඩිත්ත – අලුත්නුවර ආසන්න ගමක්
  • ඉන්තේරුවෙන්ම – ඒකාන්තයෙන්ම
  • උඩ බැම්ම – දේවාල මළුව වට කර බැද ඇති ඉහළම ප්‍රාකාරය
  • එළුගාල පන්සල: පින්නවල උඩගම ආසන්නයේ ඇති ටැම්පිට විහාරයක් සහිත පුරාණ පන්සල
  • කුඹල්මුල්ල – අලුත්නුවර ආසන්නයේ ඇති ගමක්
  • තුන්බෝදිය – වන්දනාමාන කිරීමට නියමවන ෙෙචත්‍යය, බෝධිය සහ පිළිම ගෙය යන ස්ථාන තුන
  • නුවර – මෙහි අදහස් කරන ලද්දේ මහනුවර නගරය යි
  • පේවෙලා – පිළිවෙත් පිළිපැද නා පිරිසිදු වී
  • බගවන්තලාව – නගරයකි
  • බොල්තුඹේ – පුරාණ සමන් දේවාලයක් සහිත පින්නවල ආසන්නයේ ඇති දේවාල ගම්මානයකි
  • බෝධි සාකාව – බෝධි ශාඛාව
  • මඩුවන්වෙල දිසාහාමුදුරුවෝ – 20 සියවෙස් මුල දී ඇඹිලිපිටිය – මඩුවන්වෙල වලව්වේ සිටි මඩුවන්වෙල දිසාව
  • මාරතැන්න – බළන්ගොඩ, පින්නවල පසු කරන විට හමුවන ප්‍රදේශයකි
  • රජ මාවත – පුරාණ මාවත( රජතුමා ගමන් ගත් මාවත හෝ පුරාණ රාජ අණින් ස්ථාපිත මාවත)
  • සත්තක බලනවා – සත්‍යයක් දැයි පරීක්ෂා කර බැලීම
  • සැදැහැ ඇත්තන් – බැතිමතුන් හෝ සැදැහැවතුන්
  • සිඩ්නි එල්ලාවල බණ්ඩහමුදුරුවෝ – 1933 සිට 1965 දක්වා එක දිගටම සිටි බස්නායක නිලමේවරයා
  • හල්ගහවෙල – අලුත්නුවර ආසන්න ගමකි
  • හීමාව – සීමාව

———————————————-

[i] මංගලනාත බ්‍රාහ්මණගේ භාරතරත්න බණ්ඩාර – දේවාල දිග්ගෙය තුළ දී – 1993 දෙවේලේ පෙරහර අවසන් දින රාත්‍රියේ දී

[ii] මළුවේ විදානේ රාජකාරි නිලය කරන සිරිසේන මහතා (වයස අවුරුදු 78) සහ මහ බත්තන කපු නිලමේ මුතු බණ්ඩා මහතා(වයස 72) සමග සාකච්ඡාව – ස්ථානය: උග්ගල් අලුත්නුවර බස්නායක නිල කාර්යාලය අසල කොට්ටම්බා තුරු සෙවන යට  – දිනය: 2019 ජුනි 29 පෙ.ව. 11.00 ට පමණ

(iii) මංගලනාත බ්‍රාහ්මණගේ භාරතරත්න බණ්ඩාර – දේවාල දිග්ගෙය තුළ දී – 1993 දෙවේලේ පෙරහර අවසන් දින රාත්‍රියේ දී

 

15 thoughts on “උග්ගල් අලුත්නුවර බෝධි වංසය

  1. ගුණසිංහ මහත්මයා ආයෙත් ලියල නේද? මට කියන්න අමතක වුනා . මම අර රජතුමා ගැන හොයන්න මහජන පුස්තකාලයේ reference section එකට ගියා . අර මම කිව්වේ ඉතිහ්ස පොතක් තියනවා කියල. පරණවිතාන මහත්මය සංස්කරණය කරපු පොතක්. අදාල පොත කව්ද අරන්ගිහින් . පොත නැහැ. 1 සහ 3 කොටස් විතරයි තියෙන්නේ.

    කැමතියි

    • ෂා. බොහොම පොත් කාණ්ඩ වලට ඔය කලදසාව උදාවෙනව. තෙන්නකෝන් විමලානන්දයන්ගෙ, ආනන්දකුමාරස්සාමි වැනි විද්වතුන් ගෙ පොත්වලත්ඇතැම් කොටස් පමණයි හමුවෙන්නෙ. උග්ගල් අලුත්නුවර ඇත්තන්ගෙන් ලැබුණ දැඩි ඉල්ලීම් හමුවේ එහි පවතින පුරාකතා ලියන්න අදහස් කළා. අජිත් ධර්මයන්ගේ පැමිණීමත් ලොකු සතුටක්

      කැමතියි

  2. බේ අංකුරය රැුගෙන එද්දි තිබ්බ තැනින් හෙලවන්නට බැරිවිමත් එතැන මුල් ඇදිමත් බොහෝ සිද්ධස්තාන ආශි‍්‍රතව කියවෙනවා නේද?

    ස්තූතියි ආපසු බ්ලොගයේ බැදිලා තිබුනු මකුනු දැල් එහෙම කඩලා පිරිසිදු කරලා ගත්තාට.

    කැමතියි

  3. අනුරාධපුරේ ශ්‍රී මහ බෝධිය රෝපණය කළේ, ඒ අංකුරය රැගෙනආව පාත්‍රයත් එක්කමයි කියන අදහස එනව බෝධි වංශය කියවද්දි. මෙතනත් එහෙම එකක්ද වෙලා තියෙන්නෙ?

    අර ප්‍රාත්‍රය පිටින් රෝපණය කරපු නිසා ජය ශ්‍රී මහ බෝධිය මහා වනස්පතියක් තරමට වැඩෙන්නෙ නැතුව ඔය ප්‍රමාණයෙන් පවතිනව කියල අදහසක් තියෙනව…

    Liked by 1 person

    • ඔව් ඩ්‍රැකී ශ්‍රී මහා බෝධියේ කතා පුවතට සමාන පුරාකතාවක් තමා මෙහෙත් පවතින්නෙ. පාත්‍රය පිටින් එලෙසම තිබියදී බෝධිය වටා ප්‍රකාරය බැන්ද වීමට අවශ්‍ය නිසා මළුවට අදාල මහා ප්‍රකාරය සීමාවෙන් පිටතට නෙරා යන පරිදි සකස් කර ඇති බව අදටත් දැකිය හැකියි. ශ්‍රී මහා බෝධිය සේම මෙයද උස නොයයි. බෝධීය වටා ඇති අතු ඉදිරියට පැතිරෙනවා පමණයි බෝධියේ ඇති විශේෂත්වය ලෙස සැදැහැවතුන් දකින්නේ මේ විශේෂතාවයයි.ඔබේ පැමිණිමත් වටිනා අදහසක් එකතුවීමත් ලොකු සතුටක් බව සටහන් කරමි

      කැමතියි

  4. පින්ග්කිරීම: මැදගම දේවාලයට වෙච්ච දේ | උග්ගල් අලුත්නුවර ගම් ප්‍රදේශය හා දේවාගම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.