“බුද්ධ මංගල්ලෙට පෙරාතුව”

 ගම්මානය පොල්තෙල් පහන් 2022 කින්  ආලෝකමත් වූ දිනය

අති පූජ්‍ය උල්පතගම ඉන්දරතන හිමිපාණන්, අතිපූජ්‍ය ගිනිමෑල්ලගහ වනරතන හිමිපාණන්, ඒ.එම්. එස්.එම් කරුණාරත්න බණ්ඩාර මහත්මාණන්, ඒ. එම්.කුලසිංහ මහතාණන්,(හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂ හා ග්‍රන්ථ කතෘවර) ඒ.එම්. එස්.එම්. පුංචිබණ්ඩාර මහතාණන්, ඒ. එම්. ගුණපාල මහතාණන් සමග ජයසේකර මහත්මාණන්, ටී.එච්.ඒඩින්සිංඤෝ මහත්මාණන්,ඒ.එම්. එස්.එම් කරුණාරත්න බණ්ඩාර මහත්මාණන් සහ ටී.එච්. ඇලිස්නෝනා මහත්මාවන්

ගමේ දැනමුත්තන්  “බුද්ධ මංගල්ලෙ” ලෙස හැඳින්වූයේ සිදුහත් කුමර උපත, බුද්ධත්වය ලැබීම හා පිරිනිවීම යන අවස්ථා තුන සරමරණු ලබන දවස  වෙසක් මස පුන් පොහෝ දිනයයි. උග්ගල් අලුත්නුවර  බෞද්ධ සම්ප්‍රදාය විශේ්සත්වය  දැනගැනිමේ ආශාව නිසා ඒ ගැන විමසද්දී  අල්විස් ලේකම් මහතා වැදගත් පුද්ගලයකු සේ  ලේඛකයාට හැඟියයි. ඔහු ගමේ සාම්ප්‍රදායික විශ්වාසයේ විශේෂත්වය ලේඛකයාට  පැහැදිලි කරදෙයි. “මහත්තයො ඒ දවසට විතරක් නෙවෙයි, ‘බුද්ධ මංගල්ලෙ’ට පෙරාතුවම කෙරෙන කටයුතු මහ ගොඩක්  අපේ ගම්මානවල තියනව. ඒ වෙනුවෙං තමයි ඔය සේරම, ඒ කියන්නෙ ඉල්මහ කාත්තිය, පාන්මඩුව, අලුත්හාල් මංගල්ලෙ වගේ මහ ගොඩක් දේවල් කෙරෙන්නෙ.

‘ඉල්මහකාත්තිය’ අවසානෙ පහන් දල්වා ආලෝක කරන්නෙත්, පහන්මඩුව දවසෙ අනේක විධ බෙහෙත් තෙල්ජාති අරගෙන පහන් දල්වන්නෙත් මේ “බුද්ධාලෝකය පැතිරීම” සිදුවන බව සිහි කරන්නයි.  අලුත්හාල් මංගල්ලෙත් එහෙමයි. ඉදිරියේ එන මහා බුද්ධ මංගල්ල දවසෙදි නේ මුළු ලෝකධාතුවෙම අඳුර දුරු කරන මහොත්තමයන් වහන්සේ පහළ වෙන්නෙ. බෝධිසත්වයන් වහන්සේ මෙලොව උපත ලැබීම. බුදුවීම, මහා පරිනිර්වානය යන තුන්මංගල්ලෙම  සිහිකරන දවස එන්නෙ තව මාස 5 කින් . දැන් දැන් ගමේ තරුණ කොටස් ජනවාරි පළවෙනිද පහන් දහස් ගණන් දල්වන්නෙත් ඒ හින්දම, ඉබේම හරි සිද්ද වෙනව කියලයි මට නං හිතෙන්නෙ.  ‘බුද්ධමංගල්ලෙ’  වෙනුවෙන්  මේ කාලෙට   දේව සමාගමේ සිටින දෙවිවරුන් ලෝකෙට පහළ වෙනව! මෙලොවට  බැල්ම හෙලනව, වඩිනව!!   වෙසක් දවසෙ මුළු තුන්ලෝකධාතුවම එළිය වෙනව!!!  ඒ නිමිත්ත  තමයි මේ පහන් දැල්වීමේ හැංගිච්ච තේරුම” (මේ 2011 පාන්මඩුව දින සවස  සාකච්ඡාවකි.  2012 සැප්.12 දිවිමග නිමා විය)

විහාරාධිපති අලුත්නුවර ධම්මරතන හිමිපාණන්, ශ්‍රී විවේකාරම පන්සලේ ඇතිමලේ පඤ්ඤානන්ද හිමිපාණන්, හේවාදිවෙල පන්සලේ පොඩි හිමිපාණන් දෙනම සහ ශ්‍රී සුමණගිරි විහාරයේ විහාරාධිකාරි හිමිපාණන් සමග බෞද්ධ සංගමයේ සභාපති, ඉඹුල්පේ ප්‍රා. සභාවේ ගරු මන්ත්‍රී සුරංග මැණික් මහතා

දුරුතු මාසයේ(ජනවාරි) උදාව සිදුවන්නෙ පැරණි මතය අනුව මාසෙ පෝය දින වුවත් වර්තමානයේ ජනවාරි මාසයේ උදාව සලකන්නෙ ජනවාර් 1 දිනයි. කාලයට ගැලපෙන ලෙස සකස්ව පවතින  නව සිරිත් සම්ප්‍රදායයක්  විදිහට ස්ථාපිත වන බව පෙනී යයි. ජනවාරි පළමු දින පහන් දැල්වීම    1990 දශකයේ සිට සුළුවෙන් ආරම්භව ගමේ නව සිරිතක් බවට පත්විය. මුල් කාලයේ තරුණ කොටස් පමණක් අවිධිමත් ලෙස එක්ව  මෙලෙස පොල්තෙල් පහන් දල්වා දේවාලයත් එම පරිශ්‍රයත් ආලෝක කිරීම  අද මුළුගම්මානයම වැළඳ ගත් වැදගත් අසිරිමත් සිරිතක්  බවට පත්ව ඇත. එයට  ලොකු කුඩා කවුරුත් එක්වෙති.  මුල දී ඉතා සුළුවෙන්  ආරම්භ වූ මෙය  2000 වසර උදාව පහන් 2000 ක් දල්වා ආලොක කරමින් ඉදිරි පියවරක් තබන බව පෙනුනි. පසු කාලයන්හි “අලුත්නුවර තරුණ බෞද්ධ සංගමය” පෙරමුණ ගෙන වඩා විධිමත්ව අන් සැම දෙනාමත් එක් කරගනිමින් මහත් අසිරිමත් සිරිතක් බවට පත්වන්නට කටයුතු සලසා ඇති බව පෙනීයයි. එය වසරක් පාසා, වසරින් වසර දියුණුවන නව සම්ප්‍රදායයක්   බවට පත් ව තිබිණි.  මෙවර  එය වඩා  උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට සංවිධානය වූයේ කල් තියාම පූර්ව ප්‍රචාර ද ලබා දෙමිනි.  උග්ගල් අලුත්නුවර තරුණ බෞද්ධ සංගමයේ ප්‍රධාන අනුශාසකයන් වහන්සේ වන හේවාදිවෙල පන්සල හා රජමහා විහාරයේ ද විහාරාධිපති අතිපූජ්‍ය අලුත්නුවර ධම්මරතන හිමි පාණන්වහන්සේ ගේ  අනුශාසකත්වය ලබමින් සංවිධානය වූ පහන් දැල්වීමේ පුණ්‍යොත්සවය උග්ගල් අලුත්නුවර පූජා බිමේ  පොල්තෙල් පහන්  2022 ක් දැල්වීම ඉලක්ක කර තිබිණි. එහෙත් එහි ප්‍රමාණය  ඊටත් වඩා  පහන් ගණනාවකින් වරධනය  වූ  බව පෙනීයාම කාගෙත් අමන්දානන්දයට හේතුවිය. බෞද්ධ සංගමයේ අනුශාසකයන් වහන්සේගේ  ආරාධනයෙන් ගමේ අනෙක් පන්සල් දෙකේම ( අලුත්නුවර ශ්‍රී විවේකාරම විහාරස්ථානය හා අලුත්නුවර ශ්‍රී සුමණගිරි විහාරස්ථානය) ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ද වැඩම කර මේ පුණ්‍ය කටයුත්තට අනුමැතිය හා ආශීර්වාදය ලබා දුන්හ. මෙලෙස ගමට මෙන්ම රටට ද, මුළු ලොවටම  ද සෙත් පතා බෝධිපූජාවක් ද දේවාල මළුවේ පිහිටි  පුරාණ බෝධීන්වහන්සේ, දාගැබ හා විහාරස්ථානය අබියස ජනවාරි මස පළමු දින සංවිධානය විය.

මේ මහෝත්සවයේ රූපමය විස්තර කිරීම් හා මූලික දැනුවත් කිරීම් ෆේස්බුක් Facbok pege(මූණු පොතේ පිටුව), බැනර ප්‍රදර්ශනය හා පෞද්ගලික සේයා සටහන් පළ කිරීම් මගින් ද පළවිය. ඒ සඳහා පෙරමුණ ගෙන නොඅඩුව සිය කාර්යය ඉටු කරන්නේ  අලුත්නුවරම ඉපද හැදී වැඩෙන තවත් තරුණ පිරිසකි. එය දේවාලයේ අනුග්‍රහය ද ලබමින් සකස්ව ඇති  මාධ්‍ය ඒකකයයි. මෙලෙස සිය උරුම සංරක්ෂණයට කැපව සිටින නවපිරිසක් පහළ වීම ගම්මානයේ වාසනාවකි. ඒ සැමගේ මේ කටයුතු වැඩිහිටි පරපුරේ ද නොමද ශුභාසිංශනයට ලක්වන අයුරු  ලේඛකයා දකියි. ඔවුන් සැමට ලේඛකයාගේ ද ස්තුති ප්‍රනාමය මෙලෙස පළ කරන බව සටහන් කරන්නේ මහත් සතුටෙනි.  

වැඩි දුර  කියවීම් පිණිස යෝජනා

  1. https://www.facebook.com/romanof.fernando
  2. ඒ.එම්. කුලසිංහ මහතා-කතෘප්‍රකාශන – කොළඹ – උග්ගල් අලුත්නුවර වත

විශේෂ සටහන

දේවාලගමේ සිටින සෑම කෙනෙකුම තමන් විමසූ විට තමන් බෞද්ධයන් ලෙස හඳුන්වා දෙති. ඇදහිලි රටාව  හා  බුද්ධාගම; විශේෂයෙන් සිංහල බුද්ධාගම හා සමග දේවාගම අතර නොබිඳෙන සම්බන්ධයක් ඇතිව  පවතින  අයුරු  ඉහත කී ලේකම් මහතාගේ විස්තරයෙන්  පැහැදිලි වෙයි.  මේ මතය වෙනත් දැනමුත්තන් වෙතින් ද පළවෙයි.   දේවාලයට ගොස් දෙවියන් යදින්නට එන ගමේ බැතිමත්තු  එතුළට පිවිසීමට පෙරාතුව එම මළුවේම, පුරාණයේම ස්ථාපිතව ඇති  චෛත්‍යය, බෝධිය හා විහාර ගෙය යන “තුන් බෝධිය”   නමදිති. අනතුරුව දෙවියන්ට පින් දෙමින් දේවල දිග්ගේ වැඩ හිටින මාලිගයේ මහදොරටුව ඉදිරිපිට රැස්වෙති.   ඉන් පසුව මෙලොව පිහිට පතා  දෙවියන් යදිති. එවිට කපුමහත්වරු දෙවියන්ට යාතිකා කර ආශීර්වාද කරති. කපු මහතා ඒ වනවිට පැමිණ නොසිටියහොත් තමන්ම සිතින් හෝ දෙවියන් පිහිට යදිති. කිසියම් හේතුවකින් දේවාලය වසා තිබෙන විට ඉහත කී ලෙස බුද්ධ වන්දනාවන් කර දේවාල පඩිය හෝ ආලින්දය පසෙක සිට දෙවියන්ට පින් දී යැදීම් කරති.  මෙය උග්ගල් අලුත්නුවර දේයාලයේ අතීතයේ සිටම, නිරන්තරයෙන් දැකිය හැකි සිරිත වෙයි. දේවයාතිකා කාර්යයන්   පිණිස පැමිණෙන කපුමහත්වරුන් ද පළමුවම ඉටු කරන්නේ ද බුද්ධ වන්දනාවයි.  බැතිමතුන් වෙනුවෙන් දෙවියන්ට යාතිකා කරන්නේ ද තමන් විසින් වැඩ හිටින මාලිගය දෙස බලා නැවත ද බුදුන් වැඳ නමස්කාර කර කරණීය මෙත්ත සූත්‍රය ගායනා කිරීමෙන් අනතුරුවය. දෙවියන්ට මුරුතැන් තේවාව තැබීමට පෙර ඒ පිසින දැයින් මුල්ම කොටස විහාර ගෙයට ගෙන ගොස් බුදුන්ට පූජාකිරීම ද පෙරසිරිතට අයත් වෙයි. රාත්‍රීයේ දී නම් දේවාල ළිඳෙන් ගන්නා පිරිසිදු පැන් බඳුනක් පූජා කෙරෙයි. සියලුම දේවාල උත්සව සැදී ඇත්තේ  මේ රටාව අනුවය.

මූලාශ්‍ර සම්පත් දායකත්වය

  1. අල්විස් ලේකම් මහතා : උග්ගල් අලුත්නුවර දේවාල ගණිත පංගු පරම්පරාවේ දැනමුත්තා විය වයස 84 ද ඉක්මවා සිටි මෙතුමා ගමේ පමණක් නොව සබරගමු පළාතේම කීර්තියක් දිනා සිටි පාරම්පරික ජ්‍යොතිශ දැනුමෙන් මනාව පෝෂිතව සිටි ජ්‍යෝති ශාස්ත්‍රඥයකු විය. 2011 වර්ෂයේ අභාවප්‍රාප්ත් වූ එතුමා ඒ දක්වාම මනා සිහිබුද්ධියෙන් සිටි අයෙකු විය
  2. ඔහුගේ ප්‍රකාශයන් එලෙසම අනුමත කළ කරුණාරත්න බණ්ඩාර මහතා (ඒ.එම්.එස්.එම්) දේවාලයේ අත්තනායක මොහොට්ටාල වරයෙකි. පාරම්පරික විද්වතෙකි
  3. ඔහුගේ ප්‍රකාශයන් එලෙසම අනුමත කළ පුංචිබණ්ඩාර මහතා (ඒ.එම්.එස්.එම්) දේවාලයේ අත්තනායක මොහොට්ටාල වරයෙකි. පාරම්පරික විද්වතෙකි. මෑත දී අභාවප්‍රප්ත විය.
  4. එම අදහස්ම දැරූ ඒ.එම් ජිනදාස මහතා – බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලයේ විශ්‍රම යනතුරුම කටයුත් කළ ගමේ දැනමුත්තෙක් විය. විශ්‍රාම ගැනීමෙන් අනතුරුව ගමේ දරුවන්ට අඩරට නැටුම් ශිල්පය ඉගැන්වූ අයෙකි.. මෙතුමා ශ්‍රී ලංකා ගුවන් විදුලියේ ජනගී ගායකයකු ලෙස ද 1980 දක්වාම කටතු කරන ලදී. මෑත දි අභාවප්‍රප්ත විය
  5. ඒඩින් සිංඤෝ මහතා එම අදහසම දැරූ ගමේ පාරම්පරික දැනමුත්තෙකි. මේ වසරේ අභාවප්‍රාප්ත විය.

මේ ඒ අය අතරින් කීප දෙනෙකි. සේයා රුවේ   සිටින පැරැන්නන් හා විද්වතුන් කවුරුන් වුවද විමසීමේ දී දරන්නේ ද මේ අදහසම බව ඔවුන්ට ලේඛකයා ගෞරවයෙන් යුතුව සටහන් කරයි

කොලේජ් සේයා සටහනනේ සිටින අය අතරින්  වයස 80 ද ඉක්මවා ආයුෂ වළඳා දිවි මගෙන් සමු ගෙන ඇති  අය ලෙස  අල්විස් මහතා,  මොහොට්ටාල නිලමේ වරු, ජිනදාස මහතා, ඒඩින් සිංඤෝ ඇලිස්නෝනා මැතිනිය යන අය  වෙති. මෙයින් බොහෝ දෙනකු මාමල්ගහ පන්සල පිහිටුවා මුලින්ම වැඩ සිටි බව පැවසෙන අතිපූජ්‍ය දික්කාපිටියේ ශීලානන්ද මහ තෙරුන් වහන්සේගෙන් මූලික ඉගෙණුම ලදුව, අලුත්නුවර විවේකාරාමයේ වැඩ සිටි අති පූජ්‍ය මුරුතවෙල ධම්මරත්හිමිපාණන් වෙතින් ද,  පසු කාලයක අතිපූජ්‍ය    උල්පතගම ඉන්දරතන හිමිපාණන් වෙතින් ද ශිල්ප හදාරා විශ්ෂයෙන්ම පුස්කොල පදම් කිරීම, පන්හිඳ මගින් පුහුණු වී පුස්කොල පොත් ලිවීම අතිපූජ්‍ය අග්ගමහා පණ්ඩිත ආනන්ද මෛත්‍රෙය මහ නාහිමියන් වෙතින් ප්‍රගුණ කළ බවත් අලුත්නුවර බැබිලේ වලව්වෙන් වෙදකම ද හදාරා ඇති බවත්.  නැකත් ශාස්ත්‍රය හා ඒ සම්බන්ධ ශාස්ත්‍රය හැදැරුවේ සිය පියාණන්ගෙන් බවත් ලේකම් මහතා පවසයි.

මෙහි සිටින කුලසිංහ මහතා ජිනදාස මහතා යන අය විවේකාරම පන්සලෙන් ඉගෙනුම ලැබූ අන්දම චමත්කාර ජනක අයරින් විස්තර කරනු අසා ඇත්තෙමි. ඒඩින් සිංඤෝ මහතා ගුණපාල මහතා ජයසේකර මහතා යන අය ද පන්සල් ඇසුර ලබමින්ම ඉඹුල්පේ පාසලෙන්(වර්තමානයේ ඉමුල්පේ ශාරිපුත්‍ර මවි) ඉගෙනුම ලැබුවෝ වෙති.