Skip to content

දේව සේනාව දෙවන කොටස

දේව විශ්වාසය හා අලුත්නුවර ඇත්තෝ 7

ගම් ප්‍රදේශය රැකගන්නා දෙවියෝ

මීට පෙර ලිපියේ පැවසූ සූනියම් දෙවියන් ගම පුරා ඇවිදිමින් ගම්මානය රැකදෙන බැවින් ගෙවල් ඉදිරිපස පහන් නොතැබුව ද, ගෙමිදුල හා පිළිකන්නත් ගෙයි වටා පිටාවත් පිරිසිදුව මල් වර්ග වවා තැබීම සූනියම් දෙවියන්ට කරන උපහාරයක් නිසා පිහිට ආරක්ෂාව ලැබීමට ද හේතුවක් බව මේ පැරැන්නො විශ්වාස කළහ. වෙලාව බලා ගැනීමට හෙන්දිරික්කා මල් හා ගෙට තදාසන්නවම දහස්පෙතියා මල් පාත්තියකුත් නිවස වැට අයිනට මායිම් වන සේ සමන් පිච්ච වැලකුත් නිවෙස් අසළ විය. මෙය1950 දශකයේත් ගෙමිදුල් වල සුලභ දසුනක්ව තිබිණි.  සූනියම් දෙවියන් සැරිසරන විට සමන්පිච්ච සුවඳ හමා යන බව

lakdivadevidevathawo.blogspot.com වෙතින් උපුටාගත් රූපයක් බව කෘඥතා පූර්වකව සටහන් කරමි

lakdivadevidevathawo.blogspot.com වෙතින් උපුටාගත් රූපයක් බව කෘඥතා පූර්වකව සටහන් කරමි

කුඩාකල කිරිඅම්මා පවසන කතන්දර වලදී ද අසන්නට ලැබිණි.

නිවස සහ එහි වටපිටාව පිරිසිදුව පවත්වා ගැනීමට ගැමිසමාජය තුළ උපක්‍රමික පෙළඹීම සැකසී තිබුණේ දේව විශ්වාසය හා බැඳ තැබීමෙන්ද  !  යනු විමසිමට වටී.

වර්තමානයේත් පිච්ච වැල් ඇතැම් නිවසක වන අතර දේවාල උඩමළුව වටා ඉතා පැරණි පිච්ච මල් පඳුරු රාශියක් දක්නට හැකියි.

“ශුන්‍යකර්ම නැතිනම්   විනාශදායි ක්‍රියා කරන්නා යන අරුතින් සූනියම් නිපන් සේ සැලකිය හැකියි. පළමුව යකකුව ඉපිද සිටි මේ දෙවියා පසුව දේවත්වයට පත්ව ඇත. පුරපක්ෂයේදී දෙවියකු ලෙසත් අවපක්ෂයේ දී යකකු ලෙසත් සලකනු ලබන මොහු යක්ෂ අවස්ථාවේදී හිසේ ගිනිකබලක් සහිතව සංකේතවත් කෙරේ. මුවේ සර්පයෙකි. සූනියම් දෙවි ලෙස දැකවෙන අවස්ථාවේදී සුදුවතින් සැරසී සිටින ආකාරයටත්……”සිංහල දේව පුරාණය[i]

ඉහත කෘතියේ එලෙස පැවසුනද මේ ඇත්තන්ගේ විශ්වාසය තුළ කියවෙන්නේ වමතේ ගිනි ජාලාවත් දකුණතේ වේවැලක්  දරන බවකි. සහ පහතින් ඇති කන්නලව්ව තුළ අතකින් ගිනි ජාලාවක් දරන බවක් කියවේ. ඒ අනුව ශීර්ෂයේ සර්පයන් දරන බවක් ද කියවේ. කෙසේ වුවද මේ සූනියම් යක්ෂ ස්වරූපය වෙයි. දේව ස්වරූපය වන්නේ සුදු ඇඳුම සහ සුදු තලප්පාව සහ අතකින් දැරූ වේවැල බව මේ ජනශ්‍රැතියේ කියවේ. සිංහල දේවපුරාණයට හසු වූ ජනකතාව උග්ගල් අලුත්නුවර  පවතින පුරාවෘතටයන්ට  සමාන වෙමින් සහ අසමාන වෙමින් පවතී. ලංකාව පුරා පැතිර ගොස් ඇදහීමට ලක්වන  සූනියම් දේව විශ්වාසය  එක් එක් පෙදෙස්වල සුළු සුළු වෙනස් කම් දරන බව මේ අනුව සිතිය හැකියි.  ඊශ්වර ගේ  ඉල්ලීමකට අනුව මහකෙල නාග රාජයා පිට කළ විෂ දූමයෙන් උපන් සූනියම් නමැති අර්ධ දෙවියන්,  ඊශ්වර පුත්‍ර ස්කන්ධ කුමරුන්ට සුර අසුර යුද්ධය දිනා ගැනීමට විශාල ලෙස උපකාර කළ සෙන්පතියා බවක් මේ ගමේ පුරාවෘත අනුව පෙනීයයි. එම ජනකතාව තවත් පෙදෙසක ඇත්තේ ඊට තරමක් වෙනස් ආකාරයකිනි.

උග්ගල් අලුත්නුවර මිනිසුන්ට රාත්‍රී ගමන් බිමන් වලදී  හමු වූ බව සඳහන්වන සෑම කතාවකම පාහේ කියවෙන්නේ සුදු තලප්පාවක් බැඳගෙන වේවැලක්  අතේ දරාගෙන සුදු පාටට පළමුව කුඩාවට දර්ශනය වී ක්‍රමයෙන් විශාල වන රූපයක් ලෙසිනි.  දේවාල මළුවේ බෝධියට වැදුම් පිදුම් කරන අවස්ථාවල  තනිව සිටින කෙනෙකුට ඇතැම් විටක සුදු ඇඳුමින් සැරසී හදිසියේ එතනින් යන කෙනෙකු ලෙස දක්නට හැකි වූ  බවක්ද බොහෝ විට කියවේ. ඇතමකු ඒ සූනියම් බව පවසන අතර තවත්කෙනකු පවසන්නේ ඒ කඳසුරිඳුන්ම විය හැකි බවකි.

සූනියම් දෙවියන්ට පහන් තබා කරන්නට සුදුසු කන්නලව්වක්

1.ශිව මස්තු නමෝ රාමඃ කන්දසේනා සමාගමඃ
   වඩිග තන්ත්‍ර මණී කන්ඨඃ ඔඩ්ඩ් මංගල නමො නමඃ
2.අග්නික්ඛන්ධංච හස්තේන හස්තේන වඩිග කර්ගතේ
   මුඛෙන විෂ සර්පේන ශීර්ෂෙ පංච කේශකේ
3.උදරේ නාග බන්දාමි නීලෝ තුරඟ වාහනේ
  සූනියම් දේවතා නාම මහියන්දි පාදේත නමෝ

4. හෙඛඪග හස්ත ධෘත වහ්නි කපාල චාම්

   හස්තාශවයා මණි ශෝභිත හාත් ප්‍රදේශ
   උඩ්ඩීශ දේව මණි දීප්ත කිරීට ධාරින්
   හෙනාග භූෂණ දයාංකුරුමංච රක්ෂ
5. බුද්ධ ශ්‍රී ජිනශාසනේන අඹරෙදාපෙන්ද්‍ර වාක්‍යාතභූ
   ලංකාභාර සම්මුඛ පතේ නාගාවතා රෝධිතා
   නාගාර්ජි පරිවාර භූත තුරගං ගෝවා රජාං වාරනං
   සූනියම් ඔඩ්ඩි කුමාර මංගල තිරං මේ දේවතා පාතුමං

(මෙය උපුටාගෙන ඇත්තේ sugv පියාණන්ගේ පොත් පත් එකතුව අවුස්සා බැලීමෙදීය. Sugv මැණියන්ගේ පියාණන් මෙන්ම එම පියාග් මෑණියන් ද ගමේ සිටි පාරම්පරික වෙද පරපුරක ඇත්තන් වූහ. මේ යාදින්න හෝ කන්නලව්ව දේවකාරි වලදී භාරතරත්න බණ්ඩාර මහතා භාවිත කරනු සවන් දීමට අවස්ථාව ලැබී ඇති බැවින් උග්ගල් අලුත්නුවර ද භාවිත වූවක් බව සිතිය හැකියි.)

භාරතරත්න කපුමහතා, අත්තනායක මොහොට්ටාල නිළමේ වරු සහ ගණිත පංගුවේ අල්විස් මහතා අල්පේනිස් පාරම්පරික වෙදමහතා සහ මළුවේ විදානේ ඇතුළු දැනමුත්තන් හා කරන ලද සාකච්ඡා මේ ලිපිය සඳහා උපකාරවත් වූහ. (දේව විශ්වාසය පිළිබඳ පළමු ලිපියේ සහ sugv වෙනත් පෝස්ටුවලද  මේ ඇත්තන්  පිළිබඳ විස්තරාත්මකව සටහන් කර ඇති බව සලකන්න)  ඊට අමතරව පහත දැක්වෙන පෝස්ටුවලද උපකාරය කෘතඥපූර්වකව සිහිපත් කෙරේ.

ගම්මානය හැර දේවාලය නිරන්තරව රැකවරණය දෙන තවත් දේව සෙන්පතියෙක් හා සේනාව පිළිබඳ මි ළඟ ලිපිය

[i] කේ.එන්.ඕ. ධර්මදාස හා එච්.එම්.එස්. තුන්දෙනිය – සිංහල දේව පුරාණය

වැඩිදුර කියවා බැලීම පිණිස යෝජනා

  1. www.divaina.com/2014/10/05/naka02.htm

2. ශාන්ති කර්ම – මුල්පිටුව

3. පුරට දෙවියෙක්‌ අවට යක්‌ෂයෙක්‌ ලෙස
පෙනී සිටින සූනියන් දෙවියෝ

දේව සේනාව පළමු කොටස

දේව විශ්වාසය හා අලුත්නුවර ඇත්තෝ 6

මහේශාක්‍ය දෙවියන්ගේ ප්‍රමුඛ සෙන්පතියා ලෙස මේ ඇත්තන් හඳුන්වා දෙන්නේ සූනියම් දෙවියන්ය. ඒ සමගම මේ දෙවියන්, “දෙවියන්” ලෙස සිටින්නේ අමාවක සිට පසලොස්වක දක්වා පමණක් බවත් අවපක්ෂයේදී සූනියම් යක්ෂයා ලෙස සිටින  බවක්ද පවසති. ඔඩ්ඩිස යක්ෂයා හෝ ඔඩ්ඩියා ලෙස පැවසෙන්නේ ද සූනියම් දෙවිගේ මේ යක්ෂ අවතාරය හෙවත් අවස්ථාව බව 

වැඩහිටින මිලගයට පිවිසෙන මහ දොරටුව-සූනියම් දේව රූපය ඇත්තේ මෙම දොරටුවට දකුණු පසින් ඇති කුළුණට මුවා වන පරිද්දෙනි

වැඩහිටින මාලිගයට පිවිසෙන මහ දොරටුව-සූනියම් දේව රූපය ඇත්තේ මෙම දොරටුවට දකුණු පසින් ඇති කුළුණට මුවා වන පරිද්දෙනි

සිංහල දේව පුරාණය ද ( කේ.එන්.ඕ. අමරදාස හා එච්.එම්.එස්. තුන්දෙනිය) පෙන්වා දෙයි.¹ උග්ගල් අලුත්නුවර පවතින ජනකතාවන්හි ද මේ දෙවියන් ගම පුරා ඇවිද යමින් ගම ආරක්ෂා කරන බවට දැඩි විශ්වාසයක් පවතී. ඇතැම් විටක රාත්‍රියේ ඇවිද යන අයට දේවාලය ඉදිරි පස දී මුණ ගැසුන බවක් ද  කියති. විශේෂත්වයක් වන්නේ මේ දෙවියන් එකවර කීප දෙනකුටම පෙනී ඇති බවට සාක්ෂි සහිත කතාවන් ද   අසන්ට

සූනියම් දෙවි සුදු වර්ණයෙන් යුතු බවද වාහනය ලෙස අශ්වායා සිටින බවද පෙනී යයි.

ඔහු සුදු වර්ණයෙන් යුතු බවද වාහනය ලෙස අශ්වායා සිටින බවද පෙනී යයි.

සූනියම් දේව පිළිරුව තවත් කෝණයකින් ගත් සේයාවකි. දිග්ගෙයි වැඩහිටින මාලිගයේ කුළුණට මුවා වන ලෙස හා යාන්තමට දර්ශනය වන ලෙස පිහිටුවා ඇති මේ රූපය ආලෝකමත් කර සේයා සටහන ගැනීම ගැන රාජකාරි ඇත්තන්ගේ ප්‍රසාදයක් නොවීය

සූනියම් දේව පිළිරුව තවත් කෝණයකින් ගත් සේයාවකි. දිග්ගෙයි වැඩහිටින මාලිගයේ කුළුණට මුවා වන ලෙස හා යාන්තමට දර්ශනය වන ලෙස පිහිටුවා ඇති මේ රූපය ආලෝකමත් කර සේයා සටහන ගැනීම ගැන රාජකාරි ඇත්තන්ගේ ප්‍රසාදයක් නොවීය

ලැබීමය.මේවැනි අවස්ථාවක් කර්තෘ ට සිය අත්දැකීම් වලද ඇති බව කුලසිංහ මහතා උග්ගල් අලුත්නුවර වත කෘතියේ විස්තර කරයි²

කිසියම් අයකුට සූනියම් දෙවියන් උදෙසා  රාත්‍රි 10 .00 පසුව තම නිවස ඉදිරිපස පහනක් තැබීම කළහොත් විශේෂ පිහිටක් ලැබිය හැකිය යන විශ්වාසය සිංහල දේවපුරාණය ලියද්දී ද   හමුව ඇති බව පෙනේ. එය උග්ගල් අලුත්නුවර  ඇත්තන් අතරද මනාව තහවුරු ව ඇති විශ්වාසයකි. එහෙත් මෙහි  අවදානමක් ද පවතින බැවින් බොහෝ දෙනෙක් සූනියම් දෙවියන්ට පහන් තැබිම  නොකරති. පහන තබන්නා අතින් යම් දිනක එය කඩ වුවහොත් එහි අනිෂ්ඨ ඵලවිපාක ලබන්නටද සූදානම් විය යුතු බව පැරැන්නෝ පවසති. කිසියම් කරුණක් සම්බන්ධව නිවැසියන් බැහැරක ගොස් සිටියත් වෙනකකු ලවා හෝ පහන තැබීම කරවීමට කටයුතු යොදා තිබිය යුතුය යනු උග්ගල් අලුත්නුවර වැස්සන් අතර ඇති තවත්  මතයකි. මේ නිසා දෝ වැඩි දෙනකු තම නිවස ඉදිරිපිට පහනක් තැබීමට  නොපෙළඹෙන බව පෙනේ.  කෙතරම් කරදර මධ්‍යයේ වුවද පහන තැබීම කළ හැකිනම් තමන්ට ලැබෙන පිහිටද සතුරු උවදුරු හරණයද ඉතා ප්‍රබල බවට විශ්වාසයක්  වන හෙයින් ඇතැම් කෙනෙකු නිවස ඉදිරිපස ඉදි කළ කුඩා කුටියක පහන තැබීම කරනු දැනුදු දක්නට ලැබේ.

මහේශාක්‍ය දෙවියන්ගේ රූපය හොවිස්මණ්ඩපයේ මකරතොරණේ ඇති රූපය

මහේශාක්‍ය දෙවියන්ගේ රූපය – හේවිසි මණ්ඩපයේ දිග්ගෙයි දොරටුව මැදිවන සේ ඉදි කර ඇති මකරතොරණේ දැක්වෙන රූපය. මේ තොරණ 1950 දශකයේ කරවන ලද්දකි.

හෙිව්සි මණ්ඩපයේ සිට දි්ගෙයට පිවිසනෙ දොරටුව

හෙිව්සි මණ්ඩපයේ සිට දි්ගෙයට පිවිසනෙ දොරටුව

වැඩහිටින මාලිගය තුළ ඇත්තේ මහේශාක්‍ය දෙවියන් පමණකි. සූනියම් දෙවි යනු දේව සේනාපති වෙයි ඔහුගේ පිරිවර සේනාවද අති විශාලය. සුරඅසුර යුද්ධයේ දී අසුරයන්  මර්ධනයේදී මහත් කාර්ය භාරයක් ඉටු කර දී ඇත්තේ සූනියම් දේවතාව බව කේ.එන්. ඕ. ධර්මදාස හා එච්.එම්.එස්. තුන් දෙනිය ගේ  සිහංල දේව පුරාණයේ කියවේ. එහෙත් උග්ගල් අලුත්නුවර ඇත්තන්ගේ ජනකතා සහ කවි අතර ද හේවිසි මණ්ඩපයේ  පිවිසුම් දොරටුවේ දේව මූර්තියද පවසන කතාව  අසුරයන් මර්ධනය කර  අසුරන් මරා දමා සුරයන්ට ජය ගෙන දී ඇත්තේ  කතරගම දෙවි බවය.

තෙද වන්තක කන්ද කුමරු අසුර යුදෙන් ජය ග ත්තේ
බලවන්තක බස්මසුරා මයුරාසනයට ග ත්තේ
අතරන්ගිර ගෙන දුන්නට මොහුටත් තෙද බල ඇ ත්තේ
අසුරන් හිස් සිඳ ලන්නට ගන රන් කඩුවකි ග ත්තේ

නයියන්ඩි කෝලම් නැටුම් වලදී ආනාදිමත් කාලයක සිට කියවෙන මෙය සහ මීටම සමාන අදහස් ඇති වෙනත්  කවිද, දේවාභරණ ගෙවදීමෙන් පසුව කවිකාර මණ්ඩපයේ කියවෙන මංගලම් කවි වලද කතරගම දෙවි සුර අසුර යුද්ධයේදී කළ දස්කම් මනාව විස්තර වෙයි. කන්දකුමාර සිරිත කවි පෙළ කඳසුරිඳුන් උපත ලැබුවේද සුර යන්වෙනුවෙන් අසරයන් පරාජය පිණිස බව දේවපුරාණයේ විස්තර වන අතර මේ සම්බන්ද විසිතරු කතා පුවත කන්දකුමාර සිරිතේ ඉතාරසවත්ව විස්තර කෙරෙ ආකාරය දැනකිය හැකියි. (පසුව ලියවෙන ලිපියක අදාල වෘතාන්තයර බලාපොරොත්තුවන්න) කෙසේ වුවද සුර අසුර යුද්ධයේදී සහායවූ සෙන්පතියා ලෙස ලෙස සූනියම් සිටි බව මේ ඇත්තන්ගේ කතා පුවත් අතර වෙයි.
“කන්දකුමාර සිරිත” යනු ක්‍රි.ව. 1712 උග්ගල් අලුත්නුවර සිටි බාලචන්ද්‍ර බ්‍රාහ්මණයන් මගින් ලියැවුන  ග්‍රන්ථයක් බව එහිම‍ කියවේ. මෙහි එක් පිටපතක් කොළඹ කෞතුකාගාරයේ ඇති අතර පී.ඊ.පි.දැරණියගල යන් විසින්  සංස්කරණය කළ දේවර්ණනා කාව්‍ය යේ කන්දකුමාර සිරිත  පිටපතක් හා ඒ පිළිබඳ හැඳින්වීමක්ද ඇත.3

දේව සේනාව පිළිබඳ උග්ගල් අලුත්නුවර ඇත්තන්ගේ ඇදහීමේ  තවත් විස්තර මී ළඟ කොටසින් බලාපොරෝතු වන්න

පාදක  සටහන්

¹. කේ. එන්. ඕ. ධර්මදාස සහ එච්.එම්. එස්. තුන්දෙනිය – සිංහල දේව පුරාණය

2. ඒ.එම්. කුලසිංහ – උග්ගල් අලුත්නුවර දේවාල වත –  කර්තෘ ප්‍රකාශනය – කොළඹ 2008

3. දෙව වර්ණනා කාව්‍ය -මානව විද්‍යාව – හතරවැනි කලාපය- පී.ඊ.පී. දැරණියගල – කෞතුකාගාර ප්‍රකාශනය 1960 සැප්තැම්බර් 10

දේව විශ්වාසය හා අලුත්නුවර ඇත්තෝ 5

“වරදට සමාව දෙන බෝදි සත්තයෙක්”

මේ 1993 දේවේල පෙරහර අවසන් දින රාත්‍රි  ප්‍රධාන කපු මහතා සමග කළ සාකච්ඡාවකින් ලබාගත් විස්තර වලින් කොටසකි.  මේ දවස උග්ගල් අලුත්නුවර දේවාලයට වසරකට වරක් පමණක් උදාවන අති විශේෂ දවසයි. ඇතුල් කට්ටලේ මෙන්ම පිටකට්ටලේ රාජකාරි ඇත්තන් මෙදින රාත්‍රිය පහන් කරන්නේ දේවාලයේමය. ඊට  හේතුව හා තවත් විස්තර සඳහා මෙතන ක්ලික් කරන්න.

මංගලනාත බ්‍රාහ්මණගේ භාරත රත්න මහමතා 2004 දිවංගත වන තුරු වසර 30 කටත් අධික කාලයක් ප්‍රධාන කපු නිළය දරා ඇත.

මංගලනාත බ්‍රාහ්මණගේ භාරත රත්න මහමතා 2004 දිවංගත වන තුරු වසර 30 කටත් අධික කාලයක් ප්‍රධාන කපු නිළය දරා ඇත.

“දහසක් දැන වැරදි, දහසක් නොදැන වැරදි ඇති සමාවදාරන සේක්වා”යි ආයාචනා කළාම  වරදට සමාව ලැබෙනවා. උන්නාන්සෙ බෝදි සත්තයෙක්. පිනක් දහමක් කරන්න පුළුවන් මිනිස්සුන්ට විතරයි. දෙයියන්ට පින් ගන්ඩ පුළුවන් මිසක්ක පිං කරන්ඩ බෑ.  දෙයියන්ගෙ ආවිස වැඩිවෙන්න නං පින් ඕන. ඒක හන්ද   උන්නාන්සෙට අපි දෙන්න ඕනි එකම දේ පින් තමයි.  “

sugv:- එතකොට මුරුතැන් බාන එකේ,  පූජාවට්ටි දෙන එකේ තේරුමක් නැද්ද ? 

මුරුතැන් පූජාවට්ටි තියන එකේ තෙරුමක් නැත්තෙ මොකද. පින් කරල පින් දීල  උන්නාන්සෙට පූජා කරපුවාම මිනිස්සුන්ට අනුකම්පාකරල ඉල්ලා හිටින දේ විජහට දෙන්නෙ එතකොටයි. අපි පූජ කරන මුරුතැන්බත් පළතුරු වගේ ඒවයේ  සුවඳ තමයි උන්නාන්සෙට අහාරය වෙන්නෙ.  පින් නොකර ඇවිත්   පූජාවල් කරාට නං ඒ හැටි වැඩක් තියේද කියන්න බෑ.

” මම දේවාලෙට අාපු ගමන් ඔක්කොටම ඉස්සෙල්ල කෙලින්ම යන්නේ චෛත්‍යය ගාවට. එතනට ගිහින් වැඳල පන්සිල් අරගෙන බෝධීය වැඳල පිළිම වහන්සෙ වැඳල තමයි ; කොච්චර, කවුරු ඇවිත් හිටියත් දේවාලෙ ඇතුලට යන්නෙ. ගිහිල්ල කරණීය මෙත්ත සූත්‍රය කියල උන්නාන්සෙට පින් දීල තමයි රජකාරියි දේවකාරියි කරන්නෙ . එහෙම නේද සිරිසේන මම හැම දාම කරන්නෙ  ?”තමන් කටයුතු කරන ආකාරය පිළිබඳ පැවසූ දේ සත්‍ය බව පවසන්නට කපු මහතා සාක්ෂි කරුවකු ද යොදාගත්තේය. 

“අම්ම මුත්ත කාලෙවත් අහල නෑ මෙහාට ගංවතුරක් සුළිසුළඟක් නායක් වගේ වගේ දෙයක් හින්ද  ගමට  නස්පැත්තියක්  වුනා කියල. මේ හීමාව දෙයියො තවමත් ආරස්සා කරනව. හැබැයි ඉතින්  මිනිස්සු බීගෙන අමනුස්ස කං කරන විදිහ බලපුවාම ඉස්සරහදි කන්දස්වාමීන් වහංසෙ  අහක බලාවි. දෙවියො නැති වෙලාවට වැඩ ඉන්න ගංබාර දෙවිවරු මොනව වෙන්න අරීද කියල හිතන්න බෑ. ” මේ භාරත කපු මහතා පළ කළ හා සහ රාජකාරි ඇත්තන් අනුමත කළ  මතය බව ශරීර භාෂාවෙන් දැනුනකි.

“හැම වෙලාවෙම මේ  ගම්මානය ආරස්සා කරනව”

මේ 2012 ඒ.ජී. අල්විස් ලේකම් මහතා සමග  කරන ලද සාකච්ඡාවක කොටසකි. මේ පාරම්පරික දැනමුත්තා පිළිබඳ විස්තර මෙහි ඉහළ ඇති පාරම්පරික ඥාන සම්භාරය පිළිබඳ පිටුවේ පවති. 

අභාවප්‍රාප්ත ඒ.ජී. අල්විස් මහතා අලුත්නුවර දේවලයේ ගණිත පංගුවේ රජකාරි හිමි පාරම්පරික දැනමුත්තෙක් ලෙස කාගේත් ගෞරවයට පාත්‍රවඋ තැනැත්තෙක් විය

අභාවප්‍රාප්ත ඒ.ජී. අල්විස් මහතා අලුත්නුවර දේවලයේ ගණිත පංගුවේ රජකාරි හිමි පාරම්පරික දැනමුත්තෙක් ලෙස කාගේත් ගෞරවයට පාත්‍රවඋ තැනැත්තෙක් විය එතුමා sugv වෙත කිසියම් කරුණක් පැහැදිලි කර දෙමින් සිටියදී ගත් සේයා සටහනකි

“මතකද  89 අවුරුද්ද ?. මේ දේවාල ගං හීමාවේ හමුදාවටවත් වෙනකාටවත්  මිනිහෙක්ව මරන්න තියා තුවාල කරන්නවත් බෑරි උනා. හමුදාවෙන් ඇවිත් මුළු කට්ටියටම වෙඩිතිව්වත් කාටවත් වැදුනෙ නෑ. මොනවත් උනේ නෑ”

දේවාලයේ ගණිත පංගුවේ රාජකාරි හිමි කරුවකු වූ ලේකම් මහතා සමග කළ සාකච්ඡාවේ දී ද කපුමහතාගේ මතය සනාථ කරමින් මේ දේවාලය පිහිටි ගම පමණක් නොව පුරාණ එතරවාකෝරළයම  ස්වාභාවික උවදුරු වලින් හානි නොවන පෙසෙක්  බව කියමින්, දේවාල ගම්මානය හැම අතකින්ම බේරී පවතින ප්‍රදේශයක් යි ද පැවසිනි.   28 දින අැඳිරි නීතිය ද පනවා තිබිය දී  මිනිසුන්ට ඒ නීතිය පිළිපැදීමට  තහංචි වැටී තිබිණි. දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ නියෝග පරිදි රැස්වීමක් සඳහා  මහ සෙනගක් දේවාල බිමට ඒකරාශිවෙමින් තිබිණි.

1a

1989 ජුලි මස ඇති වූ සිද්ධිය සම්බන්ධව පුවතක් 1991 පෙබරවාරි මස පෙරමග සඟරාවේ පළවී තිබිණි.

රැස්වීම පටන් ගන්න නියම වෙලා තිබුණෙ  උදේ නවයට දේවාල බිම තමයි නියම වෙලා තිබුණ තැන.  ලක්ෂයක ජනතාවකට වුවද  රැස්විය හැකි හොඳට ඉඩකඩ තියන තැනක්.  හැම දෙසකින්ම සෙනග ඇදී  එනව. සමහර වරඩිහිටියො බය වැඩි කමට හිටියෙ පෝය දිනයකුත නැතිව අට සිල් සමාදන් වෙලා. කාගෙත් 2aමුහුණු අඳුරු වොල තිබුණෙ  භීතියෙන් මුසපත් වෙච්ච හින්දයි. “සිල් ගත්තු අය කෙලින්ම දිවිය ලෝකෙ යයි.  එදා වෙඩිකාල මැරුණ නම් අපි කොහෙ යන්නද සිල්වත් අරන් තිබ්බෙනෑ“ කියල අනෙක් අයට හිතෙන්න ඇති.  ඔක්කොටම වඩා බය වෙලා තිබුණෙ පන්සලේ  හිටපු  පොඩි හාමුදුරුවො.

“අනේ මහත්තය පන්සලේ තිබ්බ ස්පීකර් හයිකරවන්න කියල නියම කරල තිතියෙන්නෙ මට. ඒව ගලගම ගෙනිහින් මම මොකද කරන්න ඕන ? යි දැඩිසේ බියටපත්ව සිටි හාමුදුරුවන්  විමසයි.   මේ කාටවත් උපදෙස් දෙන්නවත් කාගෙන්වත් උපදෙස් ගන්න පුළුවන් වෙලාවක් නෙවෙයි නේ. ඒත් පොඩි හාමුදරුවන්ගෙ බියෙන් සුදුමැලිව ඇති මූණ දැක්කම වාවන් නැතුව ගියා. ඔබ වහන්සේ ට ස්පීකර් ගෙනත් හයිකරවන්න ඕන කියල හිතෙනව නං ඔය සෙනග අරං එන වාහෙනකට කියල ගිහින් ගේන්න” යි පැවසීමි. පොඩි හාමුදරුවන් වාහනයකින් ගලගම බලා වැඩියා.

ඉතිරිවෙලා හිටපු අය එක ගුලියට තානායම ළඟට මිනිස්සු  රැස්වෙනව. දැන් වෙලාව උදේ 8.55 යි. ඒ අතර පිරිස අතර හදිසියේම පළවූ මතය වූයේ තමන් දැනට රැස්ව සිටින්නේ දේවාලය පසු පස බැවින්   ඉදිරිපසට ගිහින් පන්සිල් අරන් රැස්වීම පැවැත්විය යුතු බවයි.  දැන් සියල්ලන්ම එක රොත්තට පහළ වීදියේ දේවලය ඉස්සරහට යන්න උනා. ඒ එක්කම “ඩ්ර්………ර්……….ර්……………. හඬනගමින් වෙඩිවරුසාවක් ! සේරම අය පණ එපා කියල දුවන්න වුනා. දේවාලයේ බටහිර දෙසින් පැමිණි හමුදා කණ්ඩායමක් දිගට හරහට වෙඩි තියනව. දේව බලයක්ද,  දීල තිබ්බ නියෝගයක් නිසා ඉහළට වෙඩි තිව්ව නිසාද දන් නෑ කාටවත් අනතුරක් වුනේ නම් නෑ.

“උග්ගල් අලුත්නුවර වත”(ඒ.එම්. කුලසිංහ මහතා, හල්දුන්මුල්ල- කර්තෘ ප්‍රකාශයනයකි)  කෘතියේ කතුවරයාගේ අත්දැකීම් ලෙස පවසන පෙන්වා දෙන හාස්කමක් විස්තර වේ. කතුවරයා පැහැදිලි කරදෙන්නේද පිහිට වීමක් සම්බන්ධව මිස දඬුවම් දීමක් ගැන නොවීම විශේෂත්වයකි.

දේව විශ්වාසය හා අලුත්නුවර ඇත්තෝ 4

“අපේ කතරගම දෙයියො” විහිළු කරනවට කැමතියි.

පෙරහර ආරම්භක දින දහයේ සෑම දිනකම දේවාභරණ “වැඩ හිටින මාලිගයෙන්” පිටතට වැඩමවූ පසුව මිදුලේ මඳකට නවතී. ඉන් පසුව දේවාභරණ 2013 මහ පෙරහර අවස්ථාවක කපුනිල පංගවේ දැකුම් අත් නැටීමදෝලිය දෙසට තම දකුණු අත දිගු කරන කපු නිල පංගුවේ ඇත්තා දෙවියන් උදෙසා දැකුම් අත නැටීම කරයි.  මහපෙරහරේ දී  මේ නැටුම දේවාභරණ  වැඩමවා සූදානම්ව ඇති අලියා ඉදිරියේ සිදුවෙයි. ශිල්පිය අත දිගු කිරීමෙන්  අනතුරුව පහත ගායනය කර  නිහඬව නැටුමක් නටා සෑම දෙසටම අඩව් අල්ලා දෙවියන් වඳී.  නැටුම ගැන වැඩිි විස්තර මේ ලිපියේ පවතී. (කොයි තරම් ටයි කෙරුවත් ලිපිය කෙටි කරගන්න බැරුව ගියාට සමාව මගෙ බාජනයට දාන්න ඕන.)

කන්දගිරි                             මුදුනට

බැන්ද ආසන                            වට

රන්ද මයුරා                              පිට

කන්ද  සුරපති වඳිම් මුල්        කොට

ගායනය අනුව  කතරගම දෙවියන් වැඩ සිටින්නේ කන්දක් හෙවත් ගිරි මුදුනක ය.  රන්වන් මයුරා මත සිටින කන්ද සුරපති (කතරගම දෙවි  සුරයන්ගේ අධිපති) වඳිම් යනුවෙන් පැවසීමෙන්  දෙවියන් සම්බන්ධ පුරාවෘතයේ මුල් කොටස සාරාංශ කර කියවෙයි.∗

දෙවියන් කෙර් ඉතා භයපක්ෂ පාතීව දැකුම් අත් නැටුම් ගායනයන් නයියන්ඩිකාර රාජකාරි පංගුවේ  ශිල්පීන්ගෙන් ඉදිරිපත් වෙයි. දෙවියන් උදෙසා ප්‍රශස්ති ගායනයන් ඉදිරපත් කරයි. මේ සියල්ල කෙරෙන්නේ සජීවී පුද්ගලයකු උදෙසා මෙනි. එම නැටුම් සියලු දෙවියන් බලා සිටිනවා යයි සිතා ඉදිරිපත් කරනවා වැනිය. ඔවුනගේ තදබල විශ්වාසය මිනිසුන්ට නොපෙනුනත් ඒ අවස්ථාවේ දෙවියන් එතැන අරක් ගෙන සිටින බවය.

පෙරහරේ එක් එක් දිනට වෙනස් විදිහේ ගායනාවන් ඉදිරිපත් කරමින් දෙවියන් වැනීමත් දෙවියන්ට දිගාසිරි පැතීමත් දේවාලය කරවිම පිළිබඳ පුරාවෘතය අඩංගු ගායනාවන් ද මෙහි ඉදිරිපත්වෙයි.   දෙවේලේ පෙරහර දිනක ඇසුන මේ ගායනය දෙස අවධානය දෙන්න

රෑට තුන්යම දහස් ගණනක් යකඩ හුළු මිටි 
දා නිවෙන්නේ
පාට රන්වන් මයුර වාහන නැගී මේ ලොව
දිවස් ලන්නේ
ඊට නරලොව විඳින තද දුක් මන්ද කරුණාවට
නො ගන්නේ
කාට කවදා පිහිට වෙන්න ද මන්ද කරබා
වැඩහිටින්නේ

මෙහි දී කෙරෙන්නේ දෙවියන්ට අඩපාලි කීමකි. දොස් කීමකි. තමන්ට දෙවියන් හා සංවාදයකට එළඹිය හැකි බවක් 2013 මහපෙරහර නයියන්ඩි නැටුමඔවුන්ගේ විශ්වාසයයි. මේ පිළිබඳ විමසීමෙ දී ඔවුන් කළ ප්‍රකාශයක් මෙසේ ය.

//අපි කරන්නේ දෙයියන්නෙ රාජකාරි ! කතරගම දෙවියො  සෙල්ලක්කාරය. හැබැයි අපට විතරයි මේවට වරං තියෙන්නෙ.!! ඒ උනත් අපි උන්නාන්සෙගෙ තේජස කීර්තිය පතුරවන්න මේව කළේ කියල  දියකපා ගෙන එන පෙරහර වල්ලි දේවාලෙට වැඩමෙව්වට පස්සෙ හත්වැඳුම් වැඳල සමාව ගන්නව  මේවිදිහට කියන්න කරන්න වරං තියෙන්නෙ අපිට විතරයි.!!!//

මේ පිළිබඳ වැඩි විස්තර  සඳහා මෙතැන ක්ලික් කරන්න  ඒ සමගම නයියන්ඩිකාර පංගුවේම ඇත්තන් අතර තවත් ශිල්පීන් දෙනෙකු වන  කෝලක්කාර පංගුවේ  ශීල්පිීන් දෙනෙක්  දෑතින් මුගුරු දෙකක් ගෙන දෙවියන් ඉදිරියේ  නටන්නට වෙති. මේ දෙදෙනා දෙවිදිහක හැඟීම් ඇති කරවන වෙස් මුහුණු දෙකක් බැඳ සිටිති. එකක් රෞද්‍ර හැඟිම් දනවන තද කොළ පාට යක්ෂ මුහුණකි. අනෙක ශාන්ත හැඟිම් දනවන සුදු පාට කුමාර මුහුණකි.

ඇරලි වැරලි දිවිසම් ගෙන ඉනවටකර           අඳිතේ

මුගුරු දෙකක් දෑතින් ගෙන ආඬි ඇවිත්        නටතේ

යනුවෙන් දෙවියනට විහිවිහිළු තහළු කරමින් නටන බවක් පසුබිම් ගායනයේ අර්ථය අනුව දී සිතන්නට හැකිය.

නයියන්ඩිනැටුම් වලදී දෙවියන් උදෙසා ප්‍රශස්ති ගායනයන් කෙරෙමින්  දෙවියන්ගේ ආයුෂවර්ධනය වෙමින් යසස තේජස වැඩිවේවායි  ආශීර්වාද කරති.  කතරගම දෙවියන්ට මිනිසුන්ගේ පිහිට අවැසි බවක්  මෙයින් හෙළි නොවන්නේද ! දෙවියන්ට පින් කළ නොහැකිය . එතුමාට  බෞද්ධ වත් පළීවෙත් අනුව මිනිසුන් විසින් පින් කර ඒ පින් අනුමෝදන් කරමින් ආසිරි පැතිය යුතුය.

උග්ගල් අලුත්නුවර ආලත්ති බෑම 2013 දියකපන උත්සවය

උග්ගල් අලුත්නුවර ආලත්ති බෑම 2013 දියකපන උත්සවය

උග්ග්ල් අලුත්නුවර දිග්ගේ නැටුම් අවස්ථාවක්

උග්ග්ල් අලුත්නුවර දිග්ගේ නැටුම් අවස්ථාවක්

දිග්ගේ නටන කාන්තාවන් අතර වඩා දැනමුතු තැනැත්තිය විසින් දේවාභරණ ඉදිරි පසට සළු වඩමින් “පස්වාන් දහසකට ආයු බොහෝවා ! ඉරහඳ පවතිනා තෙක් ආයු බොහෝවා !! කල්පාන්තරයකට ආයු බොහෝවා !!!” යනුවෙන්  කරන ආයු වැඩීම 1950, 60 හා 70 දශකවලදී  ද දක්නට ලැබිණි. කාන්තාවන් විසින් ඉදිරිපත් කෙරෙන අලත්ති තේවය හෙවත් ආලත්ති බෑම ද දෙවියන්ට කෙරෙන ආසිරි පැතීමක් බව හොඳින් නිරීක්ෂණය කරද්දි පැහැදිලි වෙයි. මේ ලිපියේ දැක්වෙන  රුහුණු කතරගම ආලත්තිති අම්මලාට හා එම තේවාව ට වෙනස් ස්වරූපයකින්,වෙනස් පරමාර්ථයකින් උග්ගල් අලුත්නුවර ස්ථාපිතව පවතින බව පෙනී යයි. දේවාලයේ කපු මහතා විසින් ද දෙවියන්ට ආසිරි පැතීම නිතර සිදුවන්නකි.

කවිකාර මණ්ඩලයේ මේ ගායනයන් විමසන්න

සාව කුලයේ ඉපිද අපෙ මුනි පේම සිල් රැකි මංගලම්
බෝය කුසගිනි කියා සක්රජ දනක් ඉල්ලූ මංගලම්
බාවනා කර දෙන්ට ඇඟ මස් පිරිය වූ ලදි මංගලම්
සාව සඳ මැද පවතිනා තෙක් වේය සුබ ජය මංගලම්
මල් පහන් ගෙන පුදුති සවු සත නිවන් ඇරි ජය මංගලම්
දුල් සිරින් තෙවරක්ම අපෙ මුනි දෙරණ දෙස් කී මංගලම්
විල් පුරා දෙවි ලොව සතුන් හට බුදුව බණ දෙසු මංගලම්
ඉල් මහේ දෙවි ඔබට පස්වා දහස් ආසිරි මංගලම්

උග්ගල් අලුත්නුවර දේවාලයේ වත් පිළිවෙත් මගින් “ඔවුන්ගේ  කතරගම දෙවියන්“ සතු  අපූරු ස්වභාවය හෙලි වෙයි.  මිනිසුන් ගත කරන මෙලොව ජීවිතයේ දී  ඔවුන්ගේ ආරවුල් විසඳා දෙමින්, යුද්ධ දිනා දෙමින්, අනතුරු වලකා ලමින්,  සම්පත් පහල කර‍ෙමින්, ලෙඩදුක් සුව කරදෙමින් හා දරු සම්පත් ලබා දෙමින් පිහිට වීමමේ ශක්තියක් තුබුණේ වුවද  දෙවියන්ට පැවතීමට නම්;  දෙවියන්ට ලොව්තුරා බුදුවරයකු වී නිවන් දැකීමට නම්; පින් කරන්නට හැකි මිනිසුන්ගේ   පිහිට අවශ්‍ය පිරිසක් බව මේ ඇත්තෝ තදින්ම අදහති.

 පාදක සටහන්

∗ කන්ද කුමාර සිරිතේ – නමැති කවි පොත තුළ ඇති මේ කවි ද ගිරිමුදුන ගැන පවසයි. මේ ඊශ්වර භවන පිහිටි මහාමේරුව       විය හැකිය. කඳකුමර උපත දී ඇත්තේ ඊශවර උමා සංයෝගයෙනි. පහත කවි විමසන්න

3. පොරණ දේස දහ අටකට එපිටින- එවර එ ඉසිවර වැසෙන විමානෙන

කවර අයටවත් යනු බැරි විලසින – ඉවර නොවී ගල් පහුරු සතෙක් උන

4. උස්ගිරි පර්වත උඩ නවමාලය- විස්තර වාසල් දොරවල් දහසය

   තොස් කොත් කුළු මෙන් ඒ පුර බැබලිය – ගොස් එවිමානේ ඇති වුන කුමරිය

5. අනෝතත්ත විල් අතරට නුදුරූ – දෙනෝ දහස් උඩ බඳිමින් පඬුරූ

     විනෝදරා විල් සතකින් මහරූ – දනෝ වඳිති එදෙසට සොඳුරූ

දේව විශ්වාසය හා අලුත්නුවර ඇත්තෝ 3

ආපහු ගන්න කොට බේරෙන්න බෑ.

සුරංගනා කතාවක බඳු අද්භූත විස්තර තිබුණත් මෙහි ඇති පුවත සත්‍යය එකකි.  සටහන පැරැන්නන් දෙනෙකු විසින් විස්තර කරමින් දෙවියන්ගේ හැටි  පහදා දුන්  එක් උදාහරණයකි.  ඔවුහු ඒ සියල්ල දකින්නේ දෙවියන්ගේ අනුදැනුමින්, හාස්කමින්  සිදු වූ දෑ ලෙසිනි.  එය දෙවියන් විසින් කලින්ම පෙන්වා දුන් ආකරය පිළිබඳ රසවත් කතාවක් ද මෙහි වෙයි.

දෙවි දේවතාවුන් සැරි සරන මහ ව                නේ

පවතින  බලය ඇඟ ලොම් තුඩකටද දැ          නේ

මොළයෙන් තමා ලෝකේ සුවය වැනසු        ණේ

මගෙ ගැරහුමට නැත ඒ පිරිස යොමු වු          ණේ

– විමලරත්න කුමාරගම

“මතක ද 1985 මහ පෙරහර ? ” රැල් බුරුල් අරිමින් පුංචිබණ්ඩාර අත්තනායක මොහොට්ටාල නිලමේතුමා සමග කරොලිස් නමැති රන්සළු පංගුවේ ඇත්තාද හවුලේ කතාවට සූදානම් වුනේ sugv ට ද බුලත් විටකින් සංග්‍රහ කරමින්.  “ඒ අවුරුද්දෙ

මෙහි ඉන්දරත්න හාමුදුරුවො ලෙස හඳුන්වා දී ඇත්තේ දිවංගත අතිපූජ්‍ය උල්පතගම ඉන්දරතන හිමිපාණන්වහන්සේ ය

මෙහි ඉන්දරත්න හාමුදුරුවො ලෙස හඳුන්වා දී ඇත්තේ දිවංගත අතිපූජ්‍ය උල්පතගම ඉන්දරතන හිමිපාණන්වහන්සේ ය.

ඒ.එම්.එස්.එම්. පුංචිබණ්ඩාර නිලමේ - 2004 දිවංගත වූ 1933 සිට හිටපු අ.ප.්.ු මොහොට්ටාල නිළමේ- විස්තර පවසන අවස්ථාවක(1993 දි) ගත් සේයා රුවකි

ඒ.එම්.එස්.එම්. පුංචිබණ්ඩාර නිලමේ – 2004 දිවංගත වූ 1933 සිට හිටපු අ.ප.්.ු මොහොට්ටාල නිළමේ- විස්තර පවසන අවස්ථාවක(1993 දි) ගත් සේයා රුවකි

මංගලනාත බ්‍රාහ්මණගේ භාරත රත්න මහමතා 2004 දිවංගත වන තුරු වසර 30 කටත් අධික කාලයක් ප්‍රධාන කපු නිළය දරා ඇත.

මංගලනාත බ්‍රාහ්මණගේ භාරත රත්න මහමතා 2004 දිවංගත වන තුරු වසර 30 කටත් අධික කාලයක් ප්‍රධාන කපු නිළය දරා ඇත.

මහපෙරහර දියකපන දවසට ඉස්සරින්දා පෙරසිරිත විදිහට පොකුණ ඉස්සා.  පස්සෙන්ද උනන නොයිඳුල් වතුරෙන් තමයි දිය කපන්නෙ. මේ කාලෙට එන ඉඩෝරෙ හින්ද හුඟක් වෙලාවට එක රෑකින්  ඒ හැටි වතුර පිරෙන්නෙ නෑ. වතුර නොතිබුණොත් කියල හැමවාරෙම අපි බයෙන් ඉන්නෙ. හැරෑඹුරුහීන්නෙ කැලේ කපන්න එපා කියල අපි නිතරම කියන්නෙත් ඒකයි. එදා පාර පෙරහරේ මේ විදිහට මළුවෙ විදානෙයි මායි(මේ රන්සළු පංගුවේ කරෝලිස් මහතා) තවත් කට්ටියයි අඬගහගෙන ගිහින් පොකුණ ඉහල සුද්ද කරල ආව. පුරුදු විදිහට වටතිරත් ඇදල දියකපන්න පොකුණ සූජානං.

දියකපන්න ගියාම  පොකුණෙ තිබිච්ච අමුත්ත හින්ද  කාටත් ඇති වෙලා තිබුණෙ පුදුමයක් ! චකිතයක් !!  වගේම බයක්!!!. දියකපාගෙන පෙරහර ගෙවදුනාට පස්සෙ කවුරුත් මේක වුනේ කොහොමදැයි තෝරගන්න බැරුව කතා කළා. ඉන්දරතන හමුදරුවො ඒ වෙලාවෙ  කිව්වෙ මෙන්න මෙහෙමයි.

“භාරත¹ උඹල දැම්ම බයවෙන්න ඕනි නෑ. මිනිස්සු දැන් ජීවත් වෙන්නෙ බොහොම අමාරුවෙන් රට හොඳටම නරකයි. ඒ හින්ද දෙයියො දෙන කොට දේවි. හැබැයි ඒ සල්ලි වලිං පාහරකං කරන්න වුනොත් ! ආපහු ගන්ඩ පටන්ගත්තාම ඉන ඉහ බේරගන්නවත් බැරිවෙනවා.  එතකොට බය වෙයල්ල සූනියං දෙවියො කියන්නෙ සෙල්ලම් කරන්න පුළුවන් කෙනෙක් හෙම නෙවෙයි. කතරගම දෙයියො දෙනව වාගෙම ඒව හරියට යොදාගන්නව ද බලන්න දේව සේනාව ඉන්නව.

ඊට පස්සෙ   කාටත් මේ සේරම අමතක වෙලා තිබුණෙ. වෙනද වගෙම ඔහේ දුකසේ තම තමන්ගෙ වැඩපල කරගෙන ගියා. දෙසැම්බර් මාසෙ ලැබුවා. හරක් දක්කන්න තලාවෙ ගිය කොලුව  කකුලේ ඇණුන ගලකට  කෙවිටෙන්  ඇන්න. එතනින් ගැලවෙලා ආවෙ නිල් මැණිකක්.  එ්ක ගම පුරාම ආරංචි වුනා. කවුරුත් වගේ තලාවට දුවගෙන ගියා. එ් හරිය  අපේ මේ ගෙයි සාලෙ තරං ඇති.ජඹුරත්  මේ උහටම  ඇති එතන පිරිල තිබුණෙ  නිල් මැණික් වලින් විතරමයි.   කහපාටටට හුරු පස්වගයක් එක්ක කලවං වෙලා. මොනව හරි කැටයක් තිබුණොත් ඒක නිල් මැණිකක්. මිනිස්සු පිස්සො වගේ ගිහින් මැණික් ගෙනාව. මැණික් වෙළෙන්දො ගෙවල්වලටම ඇවිත් මැණික් ගන්න උනා. මණිබඩු, රෙදි, සාප්පුබඩු වෙළෙන්දො මහ පෙරහරට වගේ නොයෙක් බඩුභාණ්ඩ අරං වීදියෙ අඹගහ වටේ කාගිල්ස් සාප්පුව වගේ කඩ දැම්මා.  මැණික් විකුණපු සමහර අය කොළඹ ගිහින් කාර් වෑන් අරගෙන ආව. තවත් අය හොඳ හොඳ බීම ජාති ගෙනත් බොන්න පටන්ගත්ත. රෑට රෑට ගමපුරාම, ගෙවල්ගානෙ  හූ කියකියා බජව්දාන්න උනා. නැති නෑයො ගමට එන්න වුනා. දවස් හතක්  විතර එතෙන්ට ගිය හැමෝටම නිල් මැණික් හම්බ උනා. ඒව කොච්චර වටිනවද කියනවනං වෙළෙන්දො ලුනු වගේ තිබිච්ච “සූපිං කැට”ත්  සල්ලිවලට ගත්ත. ඒව දියමන්ති ද කොහෙදලු.    මැණික් ඉවරවුනා. ටික කාලයක් යන කොට වෙළෙන්දො කඩ අකුලගෙන ගියා. අමුතු නෑයොත් අපහු ගියා.  ඒ සල්ලි වලිං කවුරුවත්ගේ  කල්තියෙන්න කරගත්තු දෙයක් නෑ”.

ඉන්දරතන හාමුදරුවො එදා කිව්ව එක හබෑ උනා. දෙයියො දුන්න වගේම ආපහුත් ගන්න වුනා. කතරගම දෙයියො අනුකම්පා කරල දුන්නා.

මේකට කිව්වෙ නිධානෙ කියල. කාටවත් ඒකෙන් කල්පවතින දෙයක් කරගන්න බැරිවුනේ ඒ සල්ලිවලිං අරක්කු බිබී හරක්මස්, කුකුල්මස් කෑව මිසක් හරි දෙකෙකට යෙදුවෙ නැති නිසා. දෙවියො කෝප වුනා වෙන්න ඇති. ගම්බාර දෙවිවරු දෙයියන්ගෙ දේව සේනාපතිවරු මේව දකිනව නේ. දෙයියො දීපු දේ රැකගන්න බැරිවුනේ මේ අසමජ්ජාති වැඩ හින්ද වෙන්න ඇති. අපිත් නිධානෙට ගියා. අපිටත් හම්බ වුනා. ඒත් පහු වෙලා හින්ද තිස්හතලිස් දාහකට  වඩා වටින දෙයක් අපි දෙන්නගෙන් කාටවත්  ලැබුණෙ නෑ. වෙන අය ලස්ස ගණනං ගත්තා.

දෙයියො දීපු දේ නාස්ති කරන කොට සූනියංකඩවර දෙවිවරු ආපහුගන්න වුනා. කතරගම දෙවියන්ගේ  සේවකයන් ලෙස ගමේ ඇත්තන්  විශ්වාස කරන්නේ මහපෙරහර දිනවල බඳින අරංගුවේත් සෙසු කාලවල හේවිසි මණ්ඩපයට පිවිසෙන දොරටුව ආසන්නයේ ඇති කොහොඹ ගසත් ආශ්‍රිත “විමානවල” සිටිතැයි විශ්වාස කරන සූනියම් කඩවර ඇතුළු පිරිසය. ඔවුහු “අවපක්ෂයේ” දී යක්ෂයන් ලෙසත් පුරපක්ෂයේදී දෙවිවරුන් ලෙසත් “වෙස්ගෙන” සිටින අර්ථ දේව පිරිසක් බවද විශ්වාස කරති.

sugv:-ඉතිං මේ ධනය රැකදෙන්න කියල දෙවියන්ටවත් කිව්වෙ නැද්ද ?

පිළිතුර:- කාටදෑ කියන්නෙ සල්ලි හම්බ වුනාම අන්ද මන්ද වෙනව නේ. ඊට පස්සෙ උන්ට වඩා දන්න කෙනෙක් ඉන්නවයැ.  මිනිස්සුන්ට යක්කු ආරූඩ වෙලා තමං සේරම දන්නව කියල හිතා ගන අහුබ කං කරන්න වුනා. කතරගම දෙයියො තියා  තමංගෙ ගුරුවරු දෙමව්පියො කවුරුවත් කිව්ව දේ ඇහුවෙ නෑ නෙව.  පිටින් ආපු චාටු කාරයන්ටයි, වෙළෙන්දන්ටයි රැවටුනා. නැති වෙන කොට ඒ කවුරුත් නැතුව ගියා. ඕක දෙයියො ඉැගනුනුව හොඳ පාඩමක්. ඒක තෙරුංගත්තෙ කීයෙං කී දෙනාද දන්නෑ. අපි මේව කියනකොටත් ඒ කාලෙ සමහරු්ට තරහ ගියා. ඉහ නිකට පැහුණු අය කියන දෙයක් අහන්න ඔන නේද අඩුගානෙ පන්සලේ හුමුදුරුවො කිව්ව දේටවත් ගරු කරන්න ඕන නේද ? සල්ලියි බලයයි තිබිච්ච පලියට තමන් විතරයි සේරම දන්නේ කියල හිතාගන්න හොඳ නෑ.

මේ තමා දේව විශ්වසය ගැමියන් අතර පවතින විදිහ. මේ කතා පුවත් මතුපිටින් අතපතගා මතවාද ඇති කරගන්නවාට වඩා වැදගත් වෙන්නෙ මේවායේ ඇති සංකේතාර්ථ විමසීම කියලයි මට හිතෙන්නෙ. ලැබෙන ධනය කොටසක් හෝ ආයොජනය කර ව්‍යාපරවල යෙදවීම වැදගත් බව මේ කතාවලින් අවධාරණය වෙනව. මෙහි සඳහන් ඉන්දරතන හිමියන් සැරපරුෂ ලෙසින් ගැමියන්ට  මග පෙන්වමින් සරළ අපිස් දිවිපෙවෙතකින් යුතුව සිටි  වටිනා සංඝපීතෘෘ වරයෙකි. කතා පුවත් පැවසූ පුංචිබණ්ඩාර මහතා මෙන්ම මීට පෙර ලිපියේ සිටි සෙසු ඇත්තන් ද වැඩි දේවල් නොපැතූ සරළ දිවිපෙවෙතකින් තෘප්තිමත්ව සිටි අය වෙති. දේවාලය ඇර තබාගෙන එයින් මුදල් උපයමින් සරුසාර ජීවිතයක් ගෙනයාමට ඕනෑතරම් අවස්ථාව පැවතිය ද ඒ තත්වය ඇති කරවීමට අප වැනි අයට හෝ හැකිවුනේ නෑ. බොහෝ විට සිදු වූයේ දේවාලයට එන බැතිමතුන්ට කුඹුරක හෝ හේනේ වැඩ කරමින් සිටි භාරත කපුමහතා  සොයා ගොස් කැඳවා ගැනීමටය. ඔහු කිසිවිටක බැතිමතුන් අපේක්ෂාවෙන් දේවාලයේ රැඳී නොසිටියෙකි.

පසු සටහන

ගමට තදාසන්නයේ  ලඳ කැළෑවක් අසළ 1985 දෙසැමිබර් මාසයේ දිනක අසාමාන්‍ය අයුරෙන්  නිල් මැණික් කැට සහිත ස්ථානයක් හමු විය. එය අඩි 15×15 පමණ විශාලත්වයෙන් යුතු තැනකි. එය අහම්බෙන් ගැමියනට හමු වීමත් එහි යහමින් මැණික් ලැබෙන්නට වීමත් පිළිබඳ පුවත සත්‍යයකි.  වෙනත් කිසිදු ගල්කැටයක් හෝ එතැන තිබී නැති බව පැවසෙන අතර කහ පාට පසක් සමග නිල් මැණික් පමණක් තිබුණ බවත් පැවසේ. එය කුමක්දැයි හරිහැටි හඳුනා ගැනීම පිණිස සොයා බැලීමක් සිදු නොවීය. දින පහක හෝ හයක දී ස්ථානය සම්පූර්ණයෙන් හිස්ව ඉතිරිව තිබුණේ ආවාටයක් පමණි. ගම්මුන් අතර කෙතරම් තරගයක් පැවතියද ඒම මැණික් ලබා ගැනීමට ආරවුලක් ඇති විම වෙනුවට සිදුවී ඇත්තේ එකිනෙකාට අවසථාව ලබා ගැනීමට උදවි වීම බව අසන්නට ලැබිණි. මේ ස්ථානය දෙමෝදර මොහොට්ටාල පදිංචිව සිටි වලව්ව යැයි අනුමාන කරන “වලව්වත්ත“ නැමැති කැළෑවට ගොස් තිබූ ස්ථානය ආසන්න කඳු මුදුනකි.  යාගන්නට  හැකි වූ ලොකු කුඩා කාටත් ඉහළ මිලකට අලෙවි වූ  වටිනා මැණික් ලැබුණ බව සත්‍යයකි. දින පහකට පමණ පසුව එම ස්ථානයේ කිසිවක් ඉතිරිව නොතිබිණි. ඇතැමෙක් වාහල මිලදි ගත් අතර තවත් කීප දෙනකු පමණක් ගෙවල් ගොඩ නගා ගත්තත් අන් අය පරිභෝජනය පිණිස පමණක් වැය කලෘ පමණක් බව ද පෙනීයයි. හදිසියේ පහළ වූ මේ වාසනාව ගමේ සියල්ලන්ම  ලැබුව ද sugv ට නොලැබිණි. මේ කතාව පවසමින් මොහොට්ටාල නිළමේ පැවසුවේ ඒ වාසනාව නොතිබුණ එකම කෙනා මහත්තයා (sugv) විතරයි යනුවෙනි. එ් වකවානුවේ පැවති සා පෙළ විභාගයේ ශාලාධිපති වරයකු ලෙස සිටි බැවින් එම ස්ථානය බලන්නට හෝ යාමට අවස්ථාවක් නොවීය.  එහෙත් මේ දිනවල sugv නිවසේ සිට මැණික් මිලදී ගත් වෙළඳ මහත්වරුන් තැරැව් කොටසක් ලෙස භාර  දී ගොස් තිබූ මුදල රු 15000 දහස ඉක්මවා තිබිණි. මැණික් වෙළඳාමෙන්  සියයට 3 ක කොටසක් තැරැව්ව ලෙස වෙන් කිරීම තදින් පිළිපදින අනිවාර්ය සිරිතකි.  සියයට 1/12ක් විකිණුම් කරුවා විසින්ද ඉතිරි 1/12 වෙළෙන්දා විසින්ද වෙන් කෙරනු දක්නට හැකියි.

1. මෙහි දී “භාරත“ යනුවෙන් අමතා ඇත්තේ භාරත කපුමහතාටය.

දේව විශ්වාසය හා අලුත්නුවර ඇත්තෝ 2

දෙයියො දෙන කොටනං දෙනවා………..!

“දෙන වෙලාවට  දෙයියා ඇද කුද ඇරෙන්නම දෙනවා. ඊට හපන් ආපහු ගන්න වුනාම ! ඉහමොළ නැතිවෙනකං  ආපහු ගන්නවා”. මේ ගමේ ඇත්තන් කවුරුන් වුවද බොහොම බරට, සුලභව පවසන  කියමනක්.  ඇයි දෙවියො එහෙම කරන්නෙ ? කොහොමද ආපහු ගන්නෙ ? ආපහු ගන්න එක නවත ගන්න මොනවද කරන්න ඕන ? කියල ඇහුවම පැහැදිලි කර දුන්නේ මෙහමයි.

දේවාලයේ අත්තනායක මොහොට්ටාල නිළමේවරු හා කපු මහතා- 1.පුංචිබණ්ඩාර නිළමේ 2.කුලසේකරබණ්ඩාර නිළමේ 3.කරුණාරත්න බණ්ඩාර නිළමේ 4.භාරතරත්න බණ්ඩාර නිළමේ

සාකච්ඡාවලදී අදහස් ලබාගත් සම්පත්ධාරීන් අතරින් දැනමුත්තන් සිව් දෙනෙක් – දේවාලයේ අත්තනායක මොහොට්ටාල නිළමේවරු හා කපු මහතා- 1.පුංචිබණ්ඩාර නිළමේ 2.කුලසේකරබණ්ඩාර නිළමේ 3.කරුණාරත්න බණ්ඩාර නිළමේ 4.මංගල නාත බ්‍රාහ්මණගේ භාරතරත්න බණ්ඩාර නිළමේ මේ සිව් දෙනාම මේවන විට මිය ගොසිනි. අනෙක් තිදෙනාගේ වාසගම අත්තනායක මුකවෙටි සහබන්ධු මුදියන්සෙලාගෙ යනුවෙනි. වර්තමානයේ දේවාල රාජකාරි කරනුයේ ඔවුන්ගේ පුණුවරුන් ය. මේ වාසගම් අනුව ඒවා සිංහ රාජසමයට වැටෙන බව මෙන්ම කපුමහතා පුරාණ ලේඛනයේ දැක්වෙන දේවාල ආරම්භයේ දකුණු ඉන්දියාවෙන් සංක්‍රමණය වූ බ්‍රාහ්මණ පිරිසට සම්බන්ධ කෙනකු බව පෙනි යයි. තවත් විශේෂත්වයක් වන්නේ මේ සිව් දෙනාම මිය යනතුරුම දේවියන් වෙනුවෙන් කැපවී පෞද්ගලික ලාභ ප්‍රයෝජන නොසලකා දේවාල රාජකාරි වෙනුවෙන්ම ජීවත් වූ අයමෙන් පෙනී යාමය.

“දෙයියො දුන්න දේ රැකගන්න නං ඒව ඒ විදිහට පාවිච්චි කරන්න ඕනි. ඒ කියන්නෙ තමන්ට ලැබෙන දෙයකින් මුලින්ම කරන්න ඕනි පිනට දහමට කොටහක් වෙං කරල දෙයියන්ට පිං දෙන එක. තව කොටහක් ඉදිරියෙදි ගන්න තියා තියන එක. අනෙක් කොටහ තම තමංගෙ අඹුදරුවන් දෙමාපියන් ගුරුවරුන් වෙනුවෙං. තව කොටහක් තමංගෙ වියාපාරයක් දියුණු කරගන්න.  තවත් කොටහක් තමං වෙනුවෙං විතරක් වියදං කරගත්තට වරදක් වෙන්නෙ නෑ.”

දෙවියන් දෙන සම්පත් භාවිත කරන්න ඕන විදිහ පෙන්නල දෙන ආකාරය. මේ අදහස් වලට සිඟාලෝවද සූත්‍රයේ  (බුදු දහමේ මත වාදවල) ආභාසය ද ලැබී තියන බව පෙනෙනවා.

කපුමහතා පන්සිල් ගෙන කරණීය මෙත්ත සූත්‍රය ගායනා කර පින්දී දේව යාතිකා කර බැතිමතුන් පැඬිල්ලීම මිස බිලි පූජා වැනි යාතු කර්ම කිසිවිටක නොකරන බව වෙනත් ඇතැම් දේවාල හා සසඳන විට කැපී පෙනන වෙනසකි.

 මේ ලිපියේ   කිව්ව විදිහට  මහේශාක්‍ය දෙවිවරුන් සහ  අල්පේශාක්‍ය දෙවිවරුන් විදිහට කොටස් දෙකක් ඉන්නවා කිව්වා නේ. කතරගම දෙවියො කියන්නෙ මහේශක්‍ය දෙවිකෙනෙක්. එතුමා මෛත්‍රියෙන් දයාවෙන් ගමේ ඇත්තන්ට සලකනවා. හදිසියේ වැරැද්දක් කෙරුනත් අනුකම්පාවෙන් සලකනවා.  එහෙත් මහේශාක්‍ය දෙවියන්ගේ සේවකයන් ගෙන් නම් අනුකම්පාවක් ලැබෙන්නෙ නැති බවයි කියවෙන්නෙ.මේ ඇත්තන් දෙවියන්ගේ ස්වභාවය හඳුනා ගෙන සිටින ආකාරය පිළිබඳ තවත් වැදගත් තොරතුරු හා නිදසුන් මේ ලිපියේ ද බලන්න

“අපේ කතරගම දෙයින්නාන්සෙට බුදුබව ලැබෙන්න ඕන” යන වැකිය විශේෂ අවස්ථාවල   මේ ඇත්තන්ගෙ මුවින් නිරායාසයෙන්ම පිටවන වදන් පෙළක්. “දෙයියෝ බුදුවන්ඩ” යන්න සිය රජතුමා ඉදිරියේ යමක් ප්‍රකාශ කරන්නට පෙර භාවිත කරන බව රොබට්නෝක්ස්  කියවන විට ද පෙනී යනවා.  ඔවුන් දෙවියන්ට සමානව රජුට ද සලකා ඇති බව පෙනෙනවා.  නැතහොත් රජුට සමානව දෙවියන්ට සැලකුවා විය හැකියි.  

බ්‍රාහ්මණ පිරිසක් පැමිණ දේවාලය ආරම්භ කළ ආකාරය පිළිබඳ මේ ලිපිය බලන්න මේ බ්‍රාහ්මණ පිරිස ක්‍රි.ව. 1712  වන විටත් බෞද්ධයන් ව සිටි බව කන්දකුමාර සිරිතේ ඇති පහත ප්‍රබන්ධයන් සාක්ෂී දරයි. ඒ අනුව හින්දුවරුන් අදහන කාර්තිකේය හෙවත් උග්ගල් අලුත්නුවර කතරගම දෙවියන් බෞද්ධයකු බවට පත්ව ඇත්තේ දේවාලය ආරම්භයේ සිටම ය.

7. සෙතදුන් තිලොවට තිසරණ සිහිකර – මුළු තුන් ලොව දෙවියන් වැඳ සර කිවිඳුන් පෙර ගුරු උපදෙස නැන කර – පවසන් ශවතිඳු යස තෙද කවිකර 8. සරණ බුදුන් දෙවියන් වැඳ සරණේ – පොරණ මෙකවි ගුරු උපදෙස රැගෙනේ බඳින බිඟුන් වෙනි රස කර අරනේ – නොගෙන වරද ඉවසන් ගුරුවරුනේ

 පැරදී සිටි සුරයන්ට ජයලබාදී ඇත්තේ කතරගම දෙවියන් විසිනි. එහෙය් සුර  අසුර යුද්ධයෙන් ජයන්නට හැකි මහා බලයක් සහිත කෙනා ලෙස කතරගම දෙවියන් සැලකේ. එතුමා ගැමුණු රජුටත් යුද්ධය දිනාගැනීමට උපකාර වූ දෙවියන් වූ බව කන්දකුමාරසිරිතේ ද පැවසේ. මේ දේවාලය මෙන්ම එම ස්ථානයේ යාපා රජතුමා විසින් අලුතෙන් නුවරක් කරවා අලුත්නුවර බවට පත්කිරිමට හේතුව  යුද්ධය දිනා ගැනීමට වූ භාරය ඔප්පු කිරීම ය. එහෙයින් කතරගම දෙවියන් යනු පර සතුරු මර්ධනය පිණීස පිහිටවන මහ සෙන්පතියකු සේ ද මේ ඇත්තෝ අදහති. එහෙත් සත්ව බිලි පූජා, ශරීරයට වද දෙන සේ කටු ගැසීම සහ ගිනිපෑගීම වැනි පූජාවිධි   කිසිකලක උග්ගල් අලුත්නුවර ඇත්තන් අතර පැවත ආබවට තොරතුරු නොලැබේ. (වර්තමාන ඇසල උත්සවවලදී  දකින්නට ලැබෙන ගිනි පෑගීම අලුත්නුවර දේවාල රාජකාරි ලැයිස්තුවේ ඇති එකක් හෝ රාජකාරි මණ්ඩලය සම්බන්ධවන එකක් හෝ නොවේ. එය කුලියට කෙරෙන ප්‍රසාංගික අගයක පමණි. මෙහි ගිනිපෑගීම රුහුණු කතරගම අනුකරණය කරමින් 1978 දී ස්ථාපනය කළ පූජා විධියකි.) දේවාලය කරවිම පිණිස වූ භාරය යුද්ධය දිනූ රජුට අමතකව තිබිණි. උගුරේ හටගත් සැරව ගෙඩිය නිසා පීඩාවට පත්වූ විට අමතකව ගිය භාරය සිහි කිරීම සමගම එය සුව වන්නට වූ බවත් දේවාලය කරවනු පිණිස ගමන් ගන්නා අතර තුර අදාල වනයට  ළංවෙමින් පසු කෙරන ගමක් පාසා අන්‍රක්‍රමයෙන් අසණීපය වඩවඩා සුව වූ බවත්, කන්දකුමාර සිරිතේ කවි වල මෙන්ම පුරාණ ලේඛනයේ ද ජනශ්‍රැතියේද එයි. එහෙයින් කතරගම දේවයන් යනු යුද්ධ දිනීමට පමණක් නොව රෝග සුවය සඳහා පිහිටවන කෙනෙකු ලෙසද තදබල විශ්වාසයක් මේ ඇත්තන් තුළ වෙයි. කන්දකුමාර සිරිතේ කවිය බලන්න.

81 සිහිවුනේ නැත පඬුරු යැද්දා එරජ ගම පසුකර වඩින්නේ – දෙවිගුණේ සිහිනොකර වැඩියට එරජ උගුරේ ලෙඩක් වන්නේ  දෙවිගුණේ සිහි කෙරුනු විගසින පෙරසේම ලෙඩ ගුනේ වන්නේ – මෙවදනේ බොරුවම සිතෙයි නන්හොරගුණේ නම එදයි දුන්නේ1 මහනුවර සමයේ ලියවුන ලේඛනයක් යයි භාෂා තත්ත්වය අනුව නිගමනය කෙරන පුස්කොල ලේඛනයේ කතරගම දෙවියන් ගේ ස්වභාවය ගැන පැවසෙන ස්ථාන දෙකක දැක්වෙන වැකි දෙකක් මෙසේය  1. “…………. රජකරන මහ රජ්ජුරුවන් වහන්සේලා සේනාව ලංකාද්වීපය කන්දස්වාමීන් වහන්සේ විසින් රක්ෂා කරණ පිණිස අහස පොළව ඉරහඳ වතිනාතාක් පවතින්ඩ ලැබුණ ආනුභාවයයි යනවග……. ”   2.”……….එ දෙවියන් වහන්සේගේ අනුසස් කිමෙක්දැයි අහවදාල කල්හි(රජු විසින්) සිහිකලොත් මහත් වූ පර්වතයන් සුනුවිසුනු කරන දේවානුභාවයයි ඔප්පු කඝ තැන ඔය දෙවියන් වහන්සේගේ ආනුභාවයෙන් මේ යන ගමන සැපසේ දිනා එන්ඩ ඇරියොත්………….” එසේ භාරවී ගිය රජු ගමන සාර්ථක වීම නිසා දේවාලය හා  අලුතෙන් නුවරක් ඉදිකළ බව මේ ලේඛනයේ  පැවසෙයි2 උග්ගල් අලුත්නුවර දී කතරගම දෙවියන් පිළිබඳව පවතින පුරාවෘතය ලංකාවෙ වෙනත් කතරගම  දේවාලයන් හි පවතින කතා පුවතට වඩා සෑහෙන තරමින් වෙනස්  බව මේ අනුව පැහැදිලි වෙයි.

පසු වදන

මේ වෑයම දෙවියන් හා දෙවියන් ඇදහීම සම්බන්ධව ජනසම්ප්‍රදායේ පවතින විශ්වාස ඇදහිලි විමසිම මිස මාතුළ දෙව්යන් පිළිබඳ පවතින මත තහවුරු කිරීමකට සැරසීමක් නොවන බව සලකන්න. පහත උපුටනයන්  sugv කර්තව්‍යයයේ පරමාර්ථයන් හා ඔහු දකින විදිහ යම්තරමකට කුළුගන්වනු ඇතැයි සිතයි.

1. //සන්හිඳ ළඟ බාරයට කිරි ඉතිරී                         ම     කෙම්මුර දවස්වල පහනින් සැරසී                       ම      වන අතු කඩා ගස් දෙබලක දැවටී                      ම      මා නොකෙරුවත් නොකෙළෙමි එය ගැරහී      ම // 3

2. //මිනිසා හා දෙවියා අතර සම්බන්ධය ගැන පමණක් මම සැලකිලිමත් වෙමි//- ඉවුජින් ඕනිල් 4

3. //බිය දෙවියන් යැදීය// ලෙනින් 4

පාදක සටහන්

1 පි.ඊ. පී. දැරණියගල යන් විසින් සංගෘහිත – ලංකා ජාතික කෞතුකාගාර පුස්කොල ග්‍රන්ථ මාලා අංක IX මානව විද්‍යාව හතරවන කලාපයේ ද “කන්දකුමාර සිරිතේ“ නම් වූ මේ කවි 105 පන්තිය දැක්වේ. එතුමාට එම පුස්කොල පිටපත ලැබී ඇත්තේ මහවලතැන්න වලව්වේ තිබී බව කියවේ. භාරතරත්න කපුමහතා ලබාදුන් අත් පිටපතේ ඇත්තේද, උත්සව අවස්ාවන්හි  දේවාලයේ කවිකාරමණ්ඩලයේ සහ නයියන්ඩිකාර පංගුවේ ගැයෙන්නේද මේ කවිමය. කිවකාර මණ්ඩලය සතුව පොතක් නැති නමුදු ඔවුහු ඒවා පරම්පරාවෙන් පරම්පරාවට කටපාඩමින් රැගෙන එති.

2 මේ ලේඛනය කෞතුකාගාරයේ M4 දරණ සීමාසංකර විනෝදනී නමැති පුස්කොල ලේඛනයේ අග පිටවල ඇත්තේය. එයින් ගත් පිටපතක් “සොරගුණු දේවාල පුවත“ -පුන්චිබණ්ඩාර සන්නස්ගල යන් ගේ කෘතිය හා “උග්ගල් අලුත්නුවර දේවාල වත “  – ඒ. එම්. කුලසිංහයන්ගේ කෘතිය තුළද වෙයි. ඉහත සේයා සටහනේ සිටින කරුණාරත්න බණ්ඩාරයන් sugv ට ලබාදී ඇත්තේ දේවලයේ පැවති බව කියවෙන පුස්කොල ලේඛණයෙන් ලබාගත් අත්පිටපතකි. මේ පිටපතේ උපුටනයක් “සබරගමුවේ පැරණී ලියවිලි“ – කිරි ඇල්ලේ ඤාණවිමල හිමිපාණන්ගේ කෘතියේද ඇත.

3. විමලරත්න කුමාරගම කිවිඳුන්ගේ කවියක්

4. 7 වන පිටුව- දේවාල උපත- එම්.ඩී.එම.එස. යටවර- ආරිය ප්‍රකාශන -වරකාපොල-2005

දේව විශ්වාසය හා අලුත්නුවර ඇත්තෝ 1

දෙයියො කතරගමට එනව නං ඉන්තේරුවෙන්ම මෙහාටත් එන්න ඕන

“මොන හේතුවක් නිසා හරි තමන්ගේ හිත්පතුලත කාවැදිල තියන හැඟිම් නැති කරගන්න මිනිස්සු කැමති නෑ. මේකට හේතු සහ  ප්‍රතිපල සරළ ලෙස තේරුම් ගනිමින් විග්‍රහකර ගැනීම අපහසු තරම් !” කියල එතරවාකෝරළේ ජන ඇදහිලි ගැන ලියන්නට ගත්  ලිපි පෙළ   නැවතුනා.  (වෙන වෙන තැන්වලට ගිහින්  ආපසු  අදාල තේමාවට පිවිසෙන්නට අවසර දෙන්න. ඉහත අලුත්නුවර ලෙස දක්වන ලද්දේ උග්ගල් අලුත්නුවර බව සලකන්න)

1925 දී පමණ අත්තනායක මොහොට්ටාල නිළමේ ලෙස කටයතු කළ ලොකුමුදියන්සේ මහතා පිටපත් කරන ලද රාජකාරි ලේඛනය

1925 දී පමණ අත්තනායක මොහොට්ටාල නිළමේ ලෙස කටයතු කළ ලොකුමුදියන්සේ නිලමේ පිටපත් කරන ලදැයි කරුණාරත්න මොහොට්ටාල නිළමේ විසින් පෙන්වා දෙන ලද ලේඛනය. මෙහි දැක්වෙන කතරගම දෙවි රුව අත් දොලසක් හා මුහුණු සයක් ඇති එකක් නොවේ.

දේව ඇදහිල්ල පමණක් නොව බෞද්ධ ඇදහිල්ල ද සරුසාර වෙළඳ ව්‍යාපාරයන් බවට පත් කරගත්  ආයතන සමූහයක් රට පුරා දක්නට හැකියි.  වරක් දොළුකන්දට දිව ගිය මිනිසුන් තවත් වරක් කතරගම දෙවියන් වඩින බව අසා පිස්සුවෙන් මෙන් දෙවියන් බලන්නට කතරගම දිවූහ. රටපුරා උද්ගත වූ කැළඹිලි සහිත වාතාරවණයන්  හමුවේ උග්ගල් අලුත්නුවර දේවාලගමේ ඇත්තන් තුළ එවැනි දැඩි කැළඹීමක් නොපෙනුනි. ඔවුන් එසේ දුවන්නන් වාලෙ දුව ගිය බවක්ද දැනගන්නට නැත. මෙවැනි ආරංචි පැතිරෙද්දී  ඔවුන්ගේ  ප්‍රතිචාර කොබඳුදැයි  විමසිල්ලේන් සිටීම sugv ට සතුට දනවන්නක් විය.

“දෙවියො කතරගමට එනව නං ඉන්තේරුවෙන්ම මෙහාටත් එන්න ඕන. ඇයි මේකත් පුරාණම කතරගම දේවාලයක් නෙව.“ යි පැවසූ  ඇතැම් පිරිසක් දේවාලෙට ගියා. ඒත් දෙවියන් පැමිණ නෑ.  තවත් විටක බුදු පිළිම වල බුදුරැස් විහිදෙන කතාවක් රටපුරා පැතිර ගිය දින දෙකකම sugv ටත් දැන් වූ ප්‍රධාන රාජකාරි ඇත්තන් බුදුරැස්  වීඩියෝ කරන්නට උත්සාහ ගෙන තිබුණා. බැරි උනා. උග්ගල් අලුත්නුවර දේව විශ්වාසය රටේ පවතින පොදු විශ්වාස රටාවට වඩා වෙනස් බව  තේරුම් ගැනීමට මේ අවස්ථාවල පැවති චර්යා රටාවන් ප්‍රයෝජනවත් වෙයි.

මොවුන් පවසන හෝ ඔවුන්ගේ සිත්වල වැඩ වසන දෙවිවරුන් පිළිබඳ විශ්වාසයන් රටේ වෙනත් පෙදෙස්වල  පවතින විශ්වාසයන්ට වඩා තරමක් වෙනස් ස්වරූපයක් ගන්නා බව මේ අවස්ථාවල පමණක් නොව දීර්ඝකාලයක් තිස්සේ ලබාගත් නිරීක්ෂණ පැහැදිලි කර දෙන තත්වයකි. මෙතැන් සිට ලියවෙන ලිපි පෙළ මේ විශ්වාසයන් හා ඒ වටා බිහිවී නිර්මාණය වී ඇති ඇදහිලි පිළිබඳ විශේෂ තත්ත්වයන් විමසීමට ප්‍රධාන තැන දෙනු ලබන බැවින්  විමතියක් ඇති විය හැකිය.එවන් අවස්ථාවල විමසීම් කරන ලෙස ඉල්ලා සිටින්නෙමි.

මේ විශේෂත්වයන් හඳුනා ගැනීමට ප්‍රයෝජනවත් වන  ප්‍රාථමික මූලාශ්‍ර පහත සඳහන් ලෙස වර්ග කෙරේ. ද්විතීයික මූලාශ්‍ර ලෙස භාවිත කෙරෙන පොත් සහ පුවත්පත් පිළිබඳ අදාල ස්ථානයන්හි සඑහන් වන බව සලකන්න

1. පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර

  • නටබුන්
  • කාසි

2. ලේඛනගත මූලාශ්‍ර

  • මහනුවර සමයේ ලියවුන බව අනුමාන කළ හැකි දේවාල පුරාවෘතය සම්බන්ධ පුස්කොල ලේඛනය
  • 1712 රචිත බව සටහන් වන බාලචන්ද්‍රබාහ්මණයන්ගේ කන්ද කුමාර සිරිත පුස්කොල කවි පොතේ පිටපත.
  • 1870 විහාර දේවාලගම් පනතට අදාලව සකස් කර ඇති රාජකාරි භූමිකා පිළිබඳ ලේඛනය
  • පුරාණ අත්තනායක මොහෙට්ටාල වරුන් හා කපුමහත්වරුන් ගේ සටහන් හා අත්පිටපත්

වෙනත් මූලාශ්‍ර

  • දැනමුත්තන් සමග කරන  ලද සාකච්ඡා
  • ජනශ්‍රැති තොරතුරු
  • සහභාගීත්ව අත්දැකීම් හා නිරීක්ෂණ

පසු සටහන්

  • දෙවියන් ඇදහීම ලංකා ඉතිහාසය ආරම්භ වූ ඈත අතීතයේ සිටම පැවති බව පෙනීයයි. දේවානම් පියතිස්ස සමයේ මහින්දාගමනයෙන් පසුව  සංවිධානාත්මකව  ස්ථාවර වන්නට වූ  බුදු දහම ;  දුටුගැමුණු රාජ සමය එහි ස්වර්ණමය අවදිය සටහන් කරයි.1.  මුල සිටම පැවති දේව ඇදහිල්ල  බෞද්ධ සංස්කෘතිය තුළට කාන්දුවෙමින් මිශ්‍ර වෙමින් පසු කාලය වනවිට ලාංකීය  ගැමි බුද්ධාගම සකස් වූ බව සිතිය හැකියි. කෝට්ටේ යුගයේ විද්වතුන් දේවාගම උපහාසයට ලක් කළ ද දේවාගමට එතරම් හානියක් වී නැති බව පළමු රාජසිංහ අවදියේ ඇති වූ වෙනස්කම්  පැහැදිලි කරයි.  17 සියවසේ ලාංකීය සාමාන්‍ය ජනජීවිතය තුළ මේ ඇදහීම් ස්ථාවරව පැවති ආකාරය පිළිබඳ කදිම විස්තර හා නිදසුන්ද රොබට් නොක්ස් ගේ එදා හෙළ දිව  පෙන්වා දෙයි.  රට පුරා  පැවති  ගම්මාන හැම එකක්ම පාහේ දේවාලගම් ලෙස 1815 දක්වාම  පැවති හෙයින් බුද්ධාගම සමග දේවාගම ද ආරක්ෂා කර තහවුරු කරන බවට  1815  උඩරට ගිවිසුමේ 5 වන වගන්තිය මගින් ඉංග්‍රීසීහු පොරොන්දු වූහ.

1 පාලි අට්ඨකතාවලින් හෙලිවන බුදුසමයේ ඉතිහාසය – ආචාර්ය ඊ.ඩබ්. අදිකාරම්

Blog of Sadeepa

Glory of a regional historical and sub cultural heritage

Electronic පන්තිය

Glory of a regional historical and sub cultural heritage

My World & Beyond World - මගේ ලෝකය හා එපිට ලෝකය

Glory of a regional historical and sub cultural heritage

ඉතිහාසය මගේ ඇසින්

Glory of a regional historical and sub cultural heritage

Nelum Yaya

Glory of a regional historical and sub cultural heritage

කොළඹ ගමයා

Glory of a regional historical and sub cultural heritage

SINDIYA

Glory of a regional historical and sub cultural heritage

යුතුකම සංවාද කවය

Glory of a regional historical and sub cultural heritage

විදුනැණ පියස ....!!!

Glory of a regional historical and sub cultural heritage

raigamahandiya

Not Just Another WordPress.com site

"ලක් දැල" බ්ලොග් කියවනය

ශ්‍රී ලාංකික, සිංහල බ්ලොග්කරුවන් වෙනුවෙන්ම...

Lankeeya sithuwili

Glory of a regional historical and sub cultural heritage

atampahura

Glory of a regional historical and sub cultural heritage

Management in Sinhala

කළමනාකරණය සිංහලෙන් - Nishantha Kamaladasa

සිතුන නිසා

Glory of a regional historical and sub cultural heritage

Hetadina blog

Glory of a regional historical and sub cultural heritage

Postal Network

Ruwan's blog

මාතලන් | Maathalan

Glory of a regional historical and sub cultural heritage

sugv

Glory of a regional historical and sub cultural heritage

අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය

Glory of a regional historical and sub cultural heritage

බිත්තිය

Glory of a regional historical and sub cultural heritage

කුරුටු ගෑ ගී පවුර

Glory of a regional historical and sub cultural heritage

Sri Lankan Atheists| ශ්‍රී ලාංකික නිර්ආගමිකයෝ

Site dedicated for atheists, agnostics, secularists, humanists, free thinkers, rationalists, and skeptics of Sri Lankan origin.

විද්‍යා විජ්ජා | Science Magic

Glory of a regional historical and sub cultural heritage

Aru-ge adaviya

Just another WordPress.com site

Sinhala story Blog

for Sinhala readers

අවන්හල

Glory of a regional historical and sub cultural heritage

මගේ රට | My Country

Glory of a regional historical and sub cultural heritage

pradeepot

Glory of a regional historical and sub cultural heritage

සසිදුගේ blog අඩවිය

Glory of a regional historical and sub cultural heritage

Thambaru's Blog

To be bloomed over the mud...

Open Minds! (formerly: Moving Images blog)

An opinionated Asian comments on media, science & development - NOTHING official about this!

Glory of a regional historical and sub cultural heritage

පඨිත

සමාජ විද්‍යා හා සංස්කෘතික අධ්‍යයන ශබ්දකෝෂය

Gold fish ගේ blog ටැංකිය

:) , :( , ;) , :o , අතර ♥ත් සමගින්...

Nutrition & Lifestyle

Glory of a regional historical and sub cultural heritage

යක් පරපුරේ සිංහලයා

Glory of a regional historical and sub cultural heritage

Glory of a regional historical and sub cultural heritage

යක් පරපුරේ සිංහලයා

Glory of a regional historical and sub cultural heritage

ආගිය කතා

Glory of a regional historical and sub cultural heritage

Just another WordPress.com site

මුතුහර

සාර සංග්‍රහය

මීදුම.

Glory of a regional historical and sub cultural heritage

බෞද්ධ තොරතුරු සංචිතය

“යෝ ධම්මං පස්සති සෝ මං පස්සති” යමෙක් ධර්මය දකී ද හේ මා දකී.

Glory of a regional historical and sub cultural heritage

බළන්ගොඩ නගර සභාවේ නිල බ්ලොග් අඩවිය

ශ්‍රී ලංකාවේ පලාත් පාලන ආයතනයක් ආරමිභ කල පළමු බ්ලෝග් අඩවිය

M U R A G A L A

Archaeology, History, & Culture

පසුහඹන්න

Get every new post delivered to your Inbox.

Join 157 other followers

%d bloggers like this: