“හුහුළු අත්ත ගෙයි වහලේ තබා, ඇඳ මැස්ස ළඟින් හැරමිටිය තියාගනිං”   1 comment

 

දිවිපැවැත්මේ අපූර්වත්වය 3 – උග්ගල් අලුත්නුවර

උඩරට සමාජ සංස්කෘතියේ පැවති සාරධර්ම ආකල්ප ඇගයුම් රටාවන් වෙනස්වී යමින් ඇති වන්නට වූ වෙනස් කම් සමහරක් පිළිබඳව මීට පෙර උග්ගල් අලුත්නුවර 19 සියවසේ මුහුණ දුන් තත්ත්වය පිළිබඳ ලිපිවලදී සාකච්ඡා කරන ලදී. ඒ වන විට පැවති සමාජ ජීවිතය පිළිබඳ විමසා බැලී මේ  තෙවන ලිපිය මෙයයි. (මේ ලිපියේ මෙන්ම මීට පෙර ලිපි පෙළේ ද “අපූර්වත්වය” යන වදනින් අදහස් කර ඇත්තේ අදට “නුහුරු අමුතු බව” යන තේරුමෙනි.)

ආවාහ විවාහ ක්‍රම

මිනිසා පවුලක් ලෙස සංවිධානය වීම ආරම්භ වී ඇත්තේ අදහස් පහසුවෙන් හුවමාරු කළ හැකිවීම හෙවත් භාෂාව භාවිතය, ආහාර පිසගෙන කෑම, ගින්දර නිපදවා ගැනීම හා සරළ ලෙසින් හෝ හසුරවා ගැනීම වැනි හැකියාවන් දියුණු කරගැනීමත් සමග බව සිතිය හැකිය. කෙසේ වුවද මිනිස් වර්ගයා අතර ඇති “පවුල” යන්න විශ්වයට පොදු ආයතනයක් සේ ගත හැකි ද යන්න විමසිය යුත්තකි. පවුල යන ආයතනය සමහර  සමාජයන්හි විද්‍යමාන වූ  සහ ඇතැම් ඓතිහාසික යුගවල දක්නට ලැබුණක් ද යන්න ගැඹුරින්  සිතා බැලිය යුතු තරම්ය. පවුල යන්න පිළිබඳ නිර්වචන රාශියක් දක්නට හැකි වන්නේද ඒ නිසා විය හැකිය.

විලියම් ජේ ගුඩ්  විද්වතා මානව සමාජයේ විධිමත් ආකාරයකට වර්ධනය වන එකම සමාජ සංස්ථාව පවුල් සංස්ථාව බවත්, එය සමාජයෙන් සමාජයට වෙනස් විය හැකිමුත් දරුවන් බිහිකිරීම, පවුලේ සාමාජිකයන් නඩත්තු කිරීම, දරුවන්ට සමාජ අනන්‍යතාවය පැවරීම, සමාජානුයෝජනය හා සමාජ පාලනය එහි කාර්යයන් වශයෙන් ඕනෑම සමාජයක පවතින බව කියයි. පැරණි සමාජයේ තිබුණු පවුල විස්තෘත පවුලක් බවත් නූතන සමාජයේ පවුල වෛවාහික පවුලක් බවත් ගුඩ් තවදුරටත් දක්වයි.[i]

උඩරට සමාජ සම්ප්‍රදායේ අංග ලක්ෂණ මෑතක් වනතුරුම රැකී තිබූ සහ දැනටත් සමහර අංග ජීවමානව ඇති උග්ගල් අලුත්නුවර  පැවතියේ ද “එක පුරුෂයකුට එක භාර්යාවක්” යන පිළිගත් සමාජ සම්මතයයි. රොබට් නෝක්ස් ගේ ලේඛනවලින් ද  උඩරට සමාජයේ සම්මත විවාහය “එක පුරුෂයකුට එක භාර්යාවක්” ලෙසින් පැවති බව හෙලිවේ.[ii] ජොන් ඩොයිලිද විවාහය ගැන පවසමින් බහුභාර්යා සහ බහු පුරුෂ සේවනයන් ගැන ද කියතත් ඒවා සම්මතයන් සේ පිළිගැනී තිබුණ බවක් සඳහන් කර ඇති බවක් ද නොපෙනේ.[iii]

උග්ගල් අලුත්නුවර  සමාජයේ  ඉතා වැදගත් සේ ඉහළින් පිළිගැනුන ක්‍රමය  වූයේ බෞද්ධ චාරිත්‍රානු කූලව සිදුවන විවාහය විය. ‍  මහා සංඝරත්නය වැඩමවා දන් පිරිනමා උන්වහන්සේලාගේ ආශීර්වාදය,  උපදෙස් සහ අනුශාසනා මත  විවාහයන් සිදුවීම එක් ආකාරයකි.   අනෙක් ආකාරය වන්නේ බෞද්ධ සහ හින්දු සම්ප්‍රදාය යන්ගේ සංයෝගයක් වැනි සම්මිශ්‍රණය කින් සකස් වූ චාරිත්‍ර වාරිත්‍ර අනුවද  විවාහ සිදු වීමය.  මේ ක්‍රම දෙකම යොදාගන්නා අවස්ථා ද විය. දෙවන ක්‍රමයේ දී  හින්දු චාරිත්‍ර මුසුව තිබුණද එහි දී ද  ප්‍රමුඛ වූයේ ද බෞද්ධ වත් පිළිවෙත්මය. විවාහය  ලේඛනගත කර ලියාපදිංචි කිරීමක් වැනි දැයක් එකල නොවීය. එවැන්නක් අවශ්‍ය ද නොවුනා විය හැකිය. එහෙත් ඒ නිසා විවාහ බැම්ම  ලිහිල්ව පැවති එකක් නොවීය. අන් සෑම කටයුතු වලදී මෙන්ම විවාහය ද සම්මත  චාරිත්‍රවාරිත්‍ර මගින් තදින් බැඳ දැමූවක් විය.  “විවාහය සම්බන්ධව ලිහිල් නීතිරීති පැවතියද පවුල් සංස්ථාව ඉතාම ස්ථාවරව” තිබූ  බව ජෝන් ඩේවි ද පෙන්වා දෙයි. [iv]

බින්න විවාහය

“බින්න බැහීම” යනු විවාහයෙන් පසුව  භාර්යාවගේ නිවසේ පිරිමියා පදිංචි වීම නැතහොත් පදිංචි කරවා ගැනීම වේ. එය  පිළිගත්  සම්මත  විවාහ සිරිතක් වුවද  එය සුලභ එකක් ලෙස දක්නට නොලැබේ.

විවාහ වී භාර්යාවගේ නිවසේ පදිංචි වන පුරුෂයා කවර විටක  වුවත් භාර්යාවගේ නෑදෑයන් විසින්, එම භාර්යාවගේ කැමැත්ත මත හෝ එසේ නොමැතිව වුවද පන්නා දැමීමට ඉඩ ඇති නිසා ඕනෑම වෙලාවක පිටව යාමට සූදානම්ව  “බින්න බැස්සා නං හුළුඅත්ත ඉස්සරහ වහලේ රඳවා තියාගෙන ඇඳ මැස්ස ළඟින් හැරමිටිය තබා ගනිං.” යන්න මෙහි ජනයා අතර  දැනුදු පැවතින කතාවකි. ඉහත කී හුළු අත්තේ කතාව පිරිමි පක්ෂය විසින් තමාගේ ආධිපත්‍යය අවධාරණය කර රැක ගැනීම පිණිස  ඔවුනොවුන් අතර පැවති මතයක් වැනි බව කරුණු විමසද්දී පෙනී යන්නකි.

“බින්න බහින පිරිමියා” හෙවත් විවාහවීමෙන් පසුව භාර්යවගේ නිවසේ පදිංචිවන්නා එම නෑදෑ පිරිසගේ අණසකට යට වියයුතු බවක් මෙයින් ප්‍රකාශ වන මතයයි.  එවැනි තත්ත්වයක් අන් අයගේ සමච්චලයට බඳුන්වන බැවින් බින්න බැස්ස පුරුෂයාගේ වුව නිරන්තර වෑයම වන්නේ හැකිතාක් කඩිනමින් වෙනම පදිංචියක් සඳහා යාම පිණිස තමාගේ නිවසක් ඉදි කර ගැනීමය. මෙලෙස මුල් අවස්ථාවේ විස්තෘත පවුලක් බවට පත්ව, ස්වල්ප කාලයක දී (උපරිම වශයෙන් මාස 3 – 6 දක්වා කාලයක දී පමණ)   න්‍යෂ්ටික පවුලක් ලෙස විතැන් වීම සිදුවූ බව කියවේ. එය දැනුදු දක්නට ලැබෙන ලක්ෂණයකි. “අපිටත් ඉන්න ගේ පැලක් හදාගන්න ඕනි” යන්න දෙදෙනා අතර නිතරම සිදු වූ සාකච්ඡාවකි.  එම අදහසට භාර්යාවද එකඟ වන විට එය වෙනත් පවුලක් බවට පත්වේ.  ඒ සඳහා නිවෙස ඉදි කිරීම සිදුවන්නේ අත්තමටය.  ඇතැම් විට ඊට ආසන්න වෙනත් ඉඩමකය. බින්න විවාහයක ලක්ෂණ මුලදී තිබුනද  එය කඩිනමින් වෙනම පවුලක් බවට පත්වීම දක්වා දිවයයි. මේ විවාහය පිළිබඳව සමාජයේ පැවති කතාව  පුරාණයේ සිට උඩරට සමාජයේ පැවති බව ජොන් ඩොයිලි  ද මේ කතාව පැවසීම අනුව පෙනියයි. එහෙත් එහි ඉහත කී ලෙස අර්ථය හාරා අවුස්සා බැලීමට අවස්ථාව ඔහුට නොලැබුණා විය හැකිය.

දීග විවාහය

දීග විවාහය හෙවත් පිරියාගේ නිවසට භාර්යාව කැන්දාගෙන යාම මින් අදහස් වේ. උග්ගල් අලුත්නුවර  වඩා ප්‍රචලිතව පැවතියේ  මේ විවාහ ක්‍රමය විය. උඩරට සමාජය තුළ පැවති වඩා සුලභ විවාහ ක්‍රමය මෙය බව ඩොයිලි ද පෙන්වයි.[v]  ඒ ක්‍රමය වඩා උසස් සේ පිළිගත් සම්මතය විය.  එය ද මුලදී විස්තෘත පවුලකි. එහෙත් එහිදී ඇතිවේ යයි විශ්වාස කළ  අනිවාර්ය ලක්ෂණයක් ලෙස සමාජයේ පැවති මතය වන්නේ  “නැන්දම්මා ලේලි ගැටුම” ක් ඇතිවන බවය. එවැනි අවස්ථාවක් මතු වීම වලකාගනු පිණිස ද “අපිටත් නිදහසේ ඉන්න ගෙපැලක් හදා ගන්න ඕනි” යන්න දෙදෙනා අතර ඇති වන සාකච්ඡා වකි. දීග විවාහයේදී ද භාර්යාව පුරුෂයාගේ නිවසේ පදිංචි වී විස්තෘත පවුලක ලක්ෂණ දක්නට ලැබුණ ද ඒ අය ද කඩිනමින් වෙනම නිවසක පදිංචි වන බැවින් න්‍යෂ්ටික පවුලක් බවට පත්වෙයි. එසේ නොවූයේ ස්ථාවර ලෙස ඉදිකරගත් විශාල නිවෙස් බවට පත්ව තිබූ “වලව්ව” යනුවෙන් හැඳින් වූ නිවෙස් වල බව කියවේ. එහෙත් වලව් හිමිව තිබුණේ සමාජයේ ප්‍රධාන පවුල් වලට බැවින් ද  සංඛ්‍යාව ප්‍රමාණයෙන් කුඩා බැවින්ද “විස්තෘත පවුලක් ලෙස දක්නට ලැබෙන පවුල” යන්න සමාජයේ පැවති සාමාන්‍ය තත්ත්වය නොවූ බව කිවහැකිය. උග්ගල් අලුත්නුවර පැවති “වලව්” යනුවෙන් හැඳින් වූ හල්කඳුර වලව්ව, කුඩුගල්වත්ත වලව්ව, බැවිලේ වලව්ව වැනි නිවෙස් පැවති ස්ථාන පමණක් දැනට දක්නට ලැබෙයි.  එහෙයින් එම ගොඩනැගිලි ස්ථාවරව ගොඩ නැගුණු විශාල ඒවා නො වූ වා විය හැකිය.

මුලදී විස්තෘත පවුලක ලක්ෂණ පෙන්වන ඉහත ක්‍රම දෙකේම ආවේනික ලක්ෂණය වන්නේ ඒවා කඩිනමින්  න්‍යෂ්ටික පවුල් බවට පත් වෙමින් දෙදෙනා වෙන්ව පදිංචිවන නිවසක් බවට පත්ව දරුවන් විශාල ගණනක් ලබා ඔවුන් වැඩිවිය පත් වන විට නැවත් විස්තෘත පවුලක් දක්වා ගමන් කිරීමකි.

මහගෙදර යාම

 භාර්යාව හා ස්වාමිපුරුෂයා විසින් “මහගෙදර” යනුවෙන් ප්‍රකාශ කරන්නේ තමන්ගේ මවගේ සහ පියා ගේ නිවසය.  එහෙයින් අඹුසැමි යුවලකට  මහගෙවල් දෙකක් හිමි වෙයි. යම් යම් විශේෂ අවස්ථා වලදී  මේ නිවෙස් දෙකම පෙනෙන්නේ විස්තෘත පවුල් ලෙසිනි.  උග්ගල් අලුත්නුවර පෙරහර මංගළ්‍ය කාලයේ දී දේවාලයට වඩා කිට්ටුව පිහිටියේ ස්වාමි පුරුෂයාගේ  නිවස නම් ඒ කාලය ආසන්න වන විට ඔහුගේ දෙමාපිය නිවස සියලුම සොයුරු සොයුරියන්,   ඔවුනොවුන්ගේ භාර්යාවන් හා දූ දරුවන්ගෙන් පිරී යයි. සතුටින් ඉතිරී යන “ම‍හගෙදර”  දරුවන්ගේ කෙලි බිම වේ. වැඩිමහළු අය තුළ ගතව ගිය කාලයේ යම් යම් මතභේද ඇතිව තිබුණ ද මහගෙදරදී   වයෝවෘද්ධ වැඩිහිටියන්ගේ  හා පන්සලේ හිමිපාණන් වහන්සේගේ අවවාද හා අනුශාසනා ලබා බැඳීම් නැවත තහවුරු වෙයි.  සිංහල අලුත් අවුරුද්ද යනු මහ ගෙවල් දෙකම මාරුවෙන් මාරුවට අඹුසැමි යුවල විසින් සිය දෙමාපියන් හා නෑ දෑ පිරිස් හමුවන අවස්ථාවකි. එය අනිවාර්ය ලක්ෂණයක් සේ දැනුදු දක්නට ලැබෙන්නකි.  දරුවකු ගැබ් ගෙන බිහිවන කාලය ළංවෙත්ම වෙනම පදිංචිව සිටිය ද තමන්ගේ මහගෙදරට යාම ද අනිවාර්ය වෙයි. පළමු දරුවා නම් පිළිසිඳගත් බව දැනගත් මුල් මාසයේ සිටම මෙන් මහගෙදර යාම සිදුවේ. එම කාලයේදී ස්වාමි පුරුෂයාද එහි පදිංචියට යයි. ඔහුගේ සෙසු නෑ දෑ පිරිස් ද නිතර පැමිණෙයි. මේ තත්ත්වයන් අනුව බලන විට පවුල යන්න  වඩා ප්‍රමාණාත්මකව විශාල එකක් වන බව පෙනේ. වෙන වෙනම නිවෙස්වල පදිංචිව සිටිය ද ඔවුහු සියලු දෙනාම එකට බැඳි දිවි ගෙවන පිරිස් ‍වූහ.

නම ඕනිද ගම ඕනිද

යුවලකට ලැබෙන දරුවන් වයසින් වැඩෙත්ම ඝන ආහාර ගන්නා අවස්ථාව එළඹීම ශුභ මංගල්‍ය අවස්ථාවක් සේ සැලකීම  පිළිගත්  සිරිතක් විය.  මේ වනතුරු දරුවා හැදී වැඩුනේ  බිරිඳගේ හෝ නැතහොත් පුරුෂයාගේ මහගෙදර නම් අනෙක් පාර්ශවයේ මා පියන් ඇතුළු නෑ දෑ පිරිස් ද තෑගි භෝග ද ගෙන එම නිවසට එති. ඇතැම් විටක මෙහිදී නව යුවලට ඉතා ළඟින් ලෙන්ගතුව සිටි ප්‍රභූවරයකුද ආරාධනා කර කැඳවා ගැනීම දක්නට ලැබුණ බව කියවේ. එහෙත් සුලභ ලක්ෂණය වූයේ මවගේ හා පියාගේ  නෑදෑ පිරිස  එකතු වී  සුබ නැකත අනුව දරුවාට බත් කැවීමය.  බත්කවන දින තබන නමක් ද දරුවාට හිමිවේ.[vi]  මේ අනුව දරුවකුට උපතේදී පියා සහ මව විසින් ලබා දෙන නමට අමතරව බත්කවන නැකතේදී දුන් නම වශයෙන් නම් දෙකක් හිමි වෙයි. මෙහි දී පැමිණෙන ප්‍රභූවරයකු වූයේ නම් තමන්ගේ සතුට ප්‍රකාශ කරනුවස් “මගෙන් මේකට නම ඕනිද ? ගම ඕනිද” යනුවෙන් දෙමාපිය යුවල  විමසයි.  “නම ඕනි” යන පිළිතුර ලදොත් ප්‍රභුවරයාගේ පරම්පරානාමය දරුවාට හිමි විය. “ගම ඕනි” යනුවෙන් පිළිතුර ලදොත් “අසවල් ලියද්ද ගනිං”  හෝ “අසවල් ගොඩ ඉඩම ගනින්” යයි ඉඩමක් පවරාදෙයි.

සාකච්ඡා කරද්දී  දැනමුත්තන් වෙතින් පැවසුන වැදගත් පුවතක් වන්නේ බත්කවන නැකතේදී  පැමිණෙන ආගන්තුක ප්‍රභූවරයා විසින් දෙන ත්‍යාගයේ අමුතු ස්වරූපයයි.  ඉහතකී ලෙස  “නම ලබාගත්” අය හා “ගම ලබාගත්” අය වශයෙන් හැඳින්වෙන ප්‍රමාණයෙන් සුළු වුවද  පැරණි පවුල් කීපයක් අලුත්නුවර වෙසෙති.   බත්කවන නැකතේදි ප්‍රභූවරයා විසින් තමන්ගේ නම හෝ ගම දීමට හේතු වන්නේ ඇතැම්විට ලිංගික කාරණයක් බවට තොරතුරු දැනගන්ට ලැබුණකි. අදාල ස්වාමි පුරුෂයා  දැනුවත්වම තම භාර්යාව යට කී ප්‍රභූවරයා සමග සහවාසයේ යෙදී ඇති බවක් සාකච්ඡාවේදී හෙලි විය.  අසවල් කුලේ අයගේ කුඹුරු යාය අතරේම   වෙනත් කුලයකට අයත් පිරිසකට හිමිව භුක්ති විඳින කුඹුරක් පිහිටන අවස්ථා ඇත්තේ ඇයි දැයි විමසූ විට ලැබුණ පිළිතුර අනුව හේතුව පැහැදිලි විය. අසවල්ලුන්ට අසවල් සාස්තරේ ගියේත් ඔය සිරිත නිසා. අහවල්ලුන් ………. ඉඩමෙ පදිංචි වෙලා තියෙන්නෙත් ඔය සිරිත නිසා” යනුවෙන් එහි දි  පැවසිනි.  එකම පරම්පරා නාමය සහිත භාර්යාවන් හා ස්වාමිපුරුෂයන් සහිත පවුල් කීපයක් පිළිබඳ තොරතුරු ලැබිණි. ඊට හේතුව ලේ නෑකම සහිත අය හෙවත් සහෝදර සහෝදරියන් විවාහ වීමක් නිසා ඇති වුන තත්ත්වයක් නොව බත් කවන නැකතේදි ගම වෙනුවට නම දීම පිළිබඳ හේතුවෙනි. [vii]  එහෙත් මෙවැනි පවුල් දක්නට ඇත්තේ ගම්මානයේ පවුල් අතරින්.05 % ක් තරම් ප්‍රමාණයකි.  මේ අමුතු සිරිත අභාවයට පත්ව ශතවර්ෂ එකකට කිට්ටු බව පෙනේ.  සමාජය විසින් දැඩිතහන්චි නොපැන වුව ද ඉහළින් පිළිගන්නා ලද එකක් නොවන බව තීරණය කළ හැකිය.

උඩරට පවුල හා විවාහය පිළිබඳ ලියවුන ඇතැම් ලිපි දැකීමෙන් ඇවිස්සුන කුතුහලයෙන් යුතුව  උග්ගල් අලුත්නුවර පැරැන්නන් සමග සාකච්ඡා කරන ලදී. [viii]  එසේ විමසද්දී   බහුපුරුෂ සේවනය හා බහුභාර්යා සේවනයක් ගැන කතාගැන පැවසුනත් ඒවා හැමවිටම සඳහන් වූයේ දුරාචාර ලෙසිනි. ඉහත කී බත්කවන නැකතේ දී ආගන්තුක ප්‍රභූවරයකු විසින් “නම දීම” හෝ “ගම දීම” සිදුවුනු අවස්ථා පිළිබඳ වාර්තා ඇත්තේ ද ඉතා දුර්ලභ සිද්ධි වශයෙනි.

එකගෙයි කෑම හා බින්න බැහීම යනු බහු භාර්යා සේවනයක් හා බහුපුරුෂ සේවනයක් සේ ඇතැම් ලිපි වල දක්නට හැකි වුවද ඒවා දුරාචාරයන් සේ සඳහන් කෙරෙන, රහ‍ෙස් කතා කළ ඕපදූප මිස සමාජ සම්මතයන් නොවූ බව මේ සාකච්ඡාවල දී පැහැදිලි වූ කාරණයකි. ඒ අය විමසද්දී තමන් දන්නා අතීතයේ “අහවල් තැන එහෙම වෙලා තිබුණා” යනුවෙන් සඳහන් කළේ පවා ඉතා රහසිනි.  එකගෙයිකෑම එනම් පවුලේ පිරිමි සොයුරන් වෙනුවෙන් එක් භාර්යාවක් ගෙන ඒම හා තරුණියන් දෙදෙනකු හෝ තිදෙනකු වෙනුවෙන් එක් පිරිමියකු පමණක් ස්වාමියා ලෙස සිටීම  වැනි අවස්ථා එසේ රහසේ පැවති බවක් කියූ උග්ගල් අලුත්නුවර ඇත්තන් විසින් ඒවා  සඳහන් කළේ මහත් පිළිකුලෙනි. “බින්න බැහීම” විවාහයෙන් පසුව පුරුෂයා භාර්යාවගේ නිවසේ පදිංචි වීම මිස  එක පිරිමියකු භාර්යාවන් කීප දෙනකු සමග සහවාසයේ යෙදීමක් අදහස් නොවිය. ඇතැම් විද්වතකු ඉඩම් බෙදි යාම වැලැක්වීම පිණිස මෙවැනි සිරිතක් උඩරට සමාජයේ පවතින්ට ඇතැයි  කියතත් උග්ගල් අලුත්නුවර තොරතුරු අතර ඊට සාධක සෙවිය නොහැකි විය.

සම්මත චාරිත්‍ර අනුව සිදුවන විවාහයේ දී අවවාද අනුශාසනා ලැබෙන්නේ “දරුවන් විශාල සංඛ්‍යාවක් ලැබේවා” යන පැතුමෙන් යුතුවය. “වැලේ ගෙඩි වැලට බර නෑ” යන්න  සමාජගව  පැවති මතයකි. දරුවන් විශාල සංඛ්‍යාවක් සිටීම ගරු නම්බු ලැබීමට ද යන්ත්‍රසූත්‍ර වෙනුවට මිනිස් හා සත්ව ශ්‍රමය වැඩිවශයෙන් භාවිත වීම නිසා උඩරට කෘෂි සමාජයේ ආර්ථික වාසියටද හේතුවිය. ඒ නිසා මවකට දරුවන් විශාල සංඛ්‍යාවක් බිහිකිරීම සඳහා කැපවීමට සිදු විය. ගම්මානයෙන් ලබාගත හැකි  අම්මා ගැන කියවෙන  පුරාණ කවි එකතු කිරීමට වරක් කරන ලද වෑයමක දී ලැබුණ කාව්‍ය වල සියයට අනූවකට වඩා අන්තර්ගත වූයේ මව අහිමිවීමෙන් ලබන වේදනාවය. “අම්මා නැති කල අප්පා කවර කල” වැනි පිරුළු සලකන විටද අම්මා ගැන ඇති ජන කාව්‍යයන් සලකන විටද අම්මා අහිමිවීමේ වේදනාව බොහෝ දෙනකු ලබා ඇති බව පෙනී යයි. මේ අනුව  මාතෘ මරණ අනුපාතය මේ සමාජයේ කිසියම් ඉහළ අගයක් ගන්නට ඇත යන අනුමානයට පැමිණිය හැකිය.

විශේෂ සටහන

  • නම ඕනිද ගම ඕනිද ඡෙද්යේ දී පුද්ගල හා පරම්පරා නාම ද සමග ස්ථාන නාම ද  සඟවා තබන ලද බව සලකන්න.


[i] සිංහල විකිපීඩියා විශ්ව කෝෂය

[ii] රොබට් නෝකස්ගේ එදාහෙළ දිව- ඩේවිඩ් කරුණාරත්න ශූරීන්ගේ පරිවර්තනය

[iii]  උපාලි රත්නායක -Sir John D’oyly A Sketch of the cnstituion of the Kandian kindom කෘතියේ පරිවර්තනය – ඩොයිලි දුටු උඩරට රාජ්‍යය -2011- කොළඹ

[iv] ජෝන් ඩේවිගේ ඩේවි දුටු ලංකාව- එච්.එම්.සෝමරත්නයන්ගේ පරිවර්තනය

[v] උපාලි රත්නායක -Sir John D’oyly A Sketch of the cnstituion of the Kandian kindom කෘතියේ පරිවර්තනය – ඩොයිලි දුටු උඩරට රාජ්‍යය -2011- කොළඹ

[vi] විවිධ අවස්ථාවල සාකච්ඡා කරන ලද  දැනමුත්තන් වයස 75  ඉක්මවූවො වූ අය වෙති. කරුණාරත්න බණ්ඩාර මහත්මා. පුංචි බණ්ඩාර මහත්මා – අත්තනායක මොහොට්ටාල නිළමේවරු, ඒ. ජී. අල්විස්මහත්මා – ගණිත පංගුව, ඒඩින්සිංඤෝ මහත්මා , ටි.එච්. ඇලිස්නෝනා මාතාව, ප්‍රේමාවතී මාතාව, පී.ආර් ඩිංගිරිමහත්මයා මහතා – කපුනැටුම් පංගුව යන අය වෙති. එහි දී පැවසුන පරිදි තමන්ගේ කුඩා කාලයේදී තිබුණ බව කියන බැවින් මේ සිරිත  පැවත ඇත්තේ 20 සියවසේ මුල දක්වා පමණ බව සිතිය හැකිය.

[vii] මේ සම්බන්ධව අසන්ට ලැබුණ වයෝවෘද්ධ මෑනියන් දෙදෙනකු සාකච්ඡාවකින් ගත් තොරතුරු මෙහි “නම ඕනිද ගම ඕනි ද ? නම එපා  ගම දීපං ගම එපා නම දීපං” යනුවෙන් ඇති පිටුවේ අන්තර්ගතය.

[viii] විවිධ අවස්ථාවල සාකච්ඡා කරන ලද  දැනමුත්තන් වයස 75  ඉක්මවූවො වූ අය වෙති. කරුණාරත්න බණ්ඩාර මහත්මා. පුංචි බණ්ඩාර මහත්මා – අත්තනායක මොහොට්ටාල නිළමේවරු, ඒ. ජී. අල්විස්මහත්මා – ගණිත පංගුව, ඒඩින්සිංඤෝ මහත්මා , ටි.එච්. ඇලිස්නෝනා මාතාව, ප්‍රේමාවතී මාතාව, පී.ආර් ඩිංගිරිමහත්මයා මහතා – කපුනැටුම් පංගුව යන අය වෙති.

පුරාණ ජනජීවිතය හා උග්ගල් අලුත්නුවර 2   Leave a comment

දිවිපැවැත්මේ අපූර්වත්වය 2 – උග්ගල් අලුත්නුවර

 උඩරට සමාජ සංස්කෘතියේ පැවති සාරධර්ම ආකල්ප ඇගයුම් රටාවන් වෙනස්වී යමින් ඇති වන්නට වූ වෙනස් කම් සමහරක් පිළිබඳව මීට පෙර උග්ගල් අලුත්නුවර 19 සියවසේ මුහුණ දුන් තත්ත්වය පිළිබඳ ලිපිවලදී සාකච්ඡා කරන ලදී. ඒ වන විට පැවති සමාජ ජීවිතය පිළිබඳ විමසා බැලී මේ  දෙවන ලිපිය මෙයයි. (මේ ලිපියේ මෙන්ම මීට පෙර ලිපි පෙළේ ද “අපූර්වත්වය” යන වදනින් අදහස් කර ඇත්තේ අදට “නුහුරු අමුතු බව” යන තේරුමෙනි.)

උග්ගල් අලුත්නුවර සාම්ප්‍රදායික  ගොඩනැගිලි හා නිවාස 

වඩා කල් පවතින ආකාරයෙන් ඔවුන් ගොඩනැගීම් කර ඇත්තේ දේවාලය විහාරය හා පන්සල   පමණක් බව පෙනේ. මේ සඳහා විශාල ශ්‍රමයක් හා භෟතික සම්පත් රාශියක් භාවිත කර ඇතත් පෞද්ගලික නිවාස තැනීම සඳහා එවැනි අවධානයක් යොමු නොවීම ලංකා ඉතිහාසය පුරා පැහැදිලිව පෙනෙන තත්ත්වයකි.

පරිශ්‍රය සමග දේවාලයට අයත් ගොඩනැගිලි

පරිශ්‍රය සමග දේවාලයට අයත් ගොඩනැගිලි

උග්ගල් අලුත්නුවර දේවාලය හා විහාරය

උග්ගල් අලුත්නුවර දේවාලය හා විහාරය

1940  උග්ගල් අලුත්නුවර ගෙවල් මේ පෙරහර පසුබිමේ දැක්වෙන ආකාරයෙන් පෙනෙන පරිදි ස්ථිර ගොඩනැගීම් නොවිය. සපරගමුවේ පැරණි ලියවිලිහි ඇති සේයා රුවකින් කිපූජ්‍ය රිඇල්ලේඤාණවිමල හිමිපාණන්ගේ ඥාතීන් හා ප්‍රකාශක ජේ.එම් සමරකෝන් මහත්මාගේ ඥාති පිරිසගේ අවසරය මත පිටපත් කරන ලදී

1940 උග්ගල් අලුත්නුවර ගෙවල් මේ පෙරහර පසුබිමේ දැක්වෙන ආකාරයෙන් පෙනෙන පරිදි ස්ථිර ගොඩනැගීම් නොවිය. සපරගමුවේ පැරණි ලියවිලිහි ඇති සේයා රුවකින් කිපූජ්‍ය රිඇල්ලේඤාණවිමල හිමිපාණන්ගේ ඥාතීන් හා ප්‍රකාශක ජේ.එම් සමරකෝන් මහත්මාගේ ඥාති පිරිසගේ අවසරය මත පිටපත් කරන ලදී

ටැම්පිට විහාරය එළුගාල පන්සල හිමිපාණන් වහනසේලාගේ කාරුණික අවසරයෙනි

ටැම්පිට විහාරය එළුගාල පන්සල හිමිපාණන් වහනසේලාගේ කාරුණික අවසරයෙනි

උඩරට සමය ආසන්යේ ඉදිව ඇති එැමිපිට විහාරය එළුගාල පන්සල තවත් කෝණයකින්ටැම්පිට විහාරය එළුගාල පන්සල හිමිපාණන් වහනසේලාගේ කාරුණික අවසරයෙනි

උඩරට සමය ආසන්යේ ඉදිව ඇති එැමිපිට විහාරය එළුගාල පන්සල තවත් කෝණයකින්. ටැම්පිට විහාරය එළුගාල පන්සල හිමිපාණන් වහනසේලාගේ කාරුණික අවසරයෙනි

ගමක සාමාන්‍ය වැසියාගේ ගෙවල් ඉදි කර තිබුණේ එක මණ්ඩියක් වශයෙනි. සෑම විටම පාහේ තම තමාගේ කුල පරම්පරා අනුව මේ ගෙවල් ඉදිවු බව  විශේෂ ලක්ෂණයකි. එහෙත්  දේවාලයට යාබදවම ඇති ගමේ විවිධ කුල මිශ්‍ර කරගනිමින් ඉදිවී ඇති නිවාස ද වෙයි.  හටන්පල ගමේ ආචාරිපංගුවේ ඉඩම් හා ගෙවල් අතීතයේ මෙන්ම අද පවා ඇත්තේ ද එක මණ්ඩියක් වශයෙනි. නවන් කරන අය ගේ නිවෙස් පිහිටියේ නැදුන්ගමුවේ ය. ඔවුනට අයත් ඉඩම් ඒ අසන්නයේ විය. මැටිකර්මාන්තයේ  නිවෙස් පිහිටියේ ද එලෙසමය.

අලුත්නුවර දේවාලගම වශයෙන් ඇති කොටස එසේ නොවේ. එහි කුල කීපයක අයගේ නිවාස එක්ව ඉදිව තිබිණි. එහෙත් එහි දී සමාජ සම්බන්ධතා වලදී කුල අතර ගැටුම් කාරී තත්ත්වයක් දක්නට නොවීය. වෛද්‍ය ප්‍රතිකාර ගැනීම,විශේෂ ඉදිකර ගැනීම් වැනි අවශ්‍යතාවකදී කුලය නොසලකා සම්බන්ධ වෙමින් කටයුතු කීරීමට ඔවුනට හැකි විය. පන්සලෙන් නිරන්තරව පෝෂණය ලැබු ජීවන දර්ශනය  නිසා “කුල වාදය” භේදයක් බවට පත්ව යාම වලකා තිබිණි. මේ නිසා ඇති වූ යහපත් ප්‍රථිඵලයක් වූයේ ජාන සම්මිශ්‍රණය වීමට ද ඉඩ සැලසීමය. (මෙහි “නම ඕනිද ගම ඕනිද” යනුවෙන් ඇති පිටුවේ ලිපිය බලන්න. ඒ අනුව දී කුලය නොසලකා ලිංගික සම්බන්ධතා ඇති වීමට ඉඩ ප්‍රස්ථා ලැබී තිබිණු බව පෙනේ.)  ගෙයක් පිහිටි ඉඩමකට හෝ විශේෂ කාර්යයකට වෙන්කළ ඉඩමකට “වත්ත” යන ව්‍යවහාරය දක්නට  උදාහරණ වශයෙන් මාළුකාරවත්ත,සියඹලාගහවත්ත,පන්තියවත්ත, මඩමෙගෙදර වත්ත, කුඩුගල්වත්ත, උළුකඩේවත්ත, වීදියගෙදරවත්ත, වීදියකඩේවත්ත, උඩහගෙදරවත්තථ පහළගෙදරවත්ත වැනි ව්‍යවහාරයන් විය. එසේ පැවති ඉඩම්වල බොහොවිට ගෙයක් ද දක්නට හැකි විය. එහෙයින් ඒ අනුව ගෙයක් ඇති ඉඩමක් වත්ත ලෙස නම්කර පැවති බව නිගමනය කළ හැකිවේ.

1940  උග්ගල් අලුත්නුවර ගෙවල් මේ පෙරහර පසුබිමේ දැක්වෙන ආකාරයෙන් පෙනෙන පරිදි ස්ථිර ගොඩනැගීම් නොවිය. සපරගමුවේ පැරණි ලියවිලිහි ඇති සේයා රුවකින් කිපූජ්‍ය රිඇල්ලේඤාණවිමල හිමිපාණන්ගේ ඥාතීන් හා ප්‍රකාශක ජේ.එම් සමරකෝන් මහත්මාගේ ඥාති පිරිසගේ අවසරය මත පිටපත් කරන ලදී

1940 උග්ගල් අලුත්නුවර ගෙවල් මේ පෙරහර පසුබිමේ දැක්වෙන ආකාරයෙන් පෙනෙන පරිදි ස්ථිර ගොඩනැගීම් නොවිය. සපරගමුවේ පැරණි ලියවිලිහි ඇති සේයා රුවකින් කිපූජ්‍ය රිඇල්ලේඤාණවිමල හිමිපාණන්ගේ ඥාතීන් හා ප්‍රකාශක ජේ.එම් සමරකෝන් මහත්මාගේ ඥාති පිරිසගේ අවසරය මත පිටපත් කරන ලදී

1940  උග්ගල් අලුත්නුවර ගෙවල් මේ පෙරහර පසුබිමේ දැක්වෙන ආකාරයෙන් පෙනෙන පරිදි ස්ථිර ගොඩනැගීම් නොවිය. සපරගමුවේ පැරණි ලියවිලිහි ඇති සේයා රුවකින් කිපූජ්‍ය රිඇල්ලේඤාණවිමල හිමිපාණන්ගේ ඥාතීන් හා ප්‍රකාශක ජේ.එම් සමරකෝන් මහත්මාගේ ඥාති පිරිසගේ අවසරය මත පිටපත් කරන ලදී

1940 උග්ගල් අලුත්නුවර ගෙවල් මේ පෙරහර පසුබිමේ දැක්වෙන ආකාරයෙන් පෙනෙන පරිදි ස්ථිර ගොඩනැගීම් නොවිය. සපරගමුවේ පැරණි ලියවිලිහි ඇති සේයා රුවකින් කිපූජ්‍ය රිඇල්ලේඤාණවිමල හිමිපාණන්ගේ ඥාතීන් හා ප්‍රකාශක ජේ.එම් සමරකෝන් මහත්මාගේ ඥාති පිරිසගේ අවසරය මත පිටපත් කරන ලදී

එවැනි වතු රාශියකින් සැදුන ස්ථානයක් ගම්ගොඩ අරාව වශයෙන් හැඳින් විනි. පසුකාලයක මෙය සාමාන්‍ය ව්‍යවහාරයට පැමිණ ඇත්තේ “ගංගොඩ අරාව ලෙසය. 1920 දී පමණ  ගංගොඩ අරාව ගමේ සිටි ඇතැම් පවුල් දේවාලය වටා පැවති ආසන්න ඉඩම්වල පදිංචි කරවා ඇති බව කියවේ.  ඒවා දේවාලයට දෛනිකව අවශ්‍ය වන රාජකාරි තේවාවන්හි නිරත වූවන්ගේ ඉඩම් හා නිවෙස්  විය. 1960 දශකය වනවිට අතපත්තු මොහට්ටාල පංගුව, කපු නිල පංගුව, හේවිසිපංගුව, දිග්ගේ නැටුම් පංගුව හා කවිකාර පංගුව, මුළුතැන් පගුව, ගෙබලන පංගුව, පණවිඩකාරපංගුව, ගණිත පංගුව  වැනි රාජකාරි පංගු රාශියකට අයත් ගෙවල් දේවාලයට තදාසන්නයේ විය. ඔවුන්ගේ රාජකාරියට හිමි කුඹුරු හා ගොඩ ඉඩම් බැහැරින් පැවතිනි.

සේයා සටහන් වලින් හඳනා ගත හැකි අන්දමේ සරළ ලෙස  සාදාගන්නා මෙවැනි නිවසක් වැඩි කාලයක් යන්නට පෙර අලුත්වැඩියා කරන්නට සිදුවෙයි. වසරක් පාසා මහකන්නයේ කැපෙන පිදුරු මිටි රැගෙන එන වැසියෝ “අත්තම”ට තම තමන්ගේ වහලේ පිදුරු මාරු කරගනිති.  දිරාගිය යට ලී පරාල වැනි දැයක් වේ නම් ඒවා මරු කර අලුතෙන් යෙදීම ද මෙහිදී සිදුවේ. ගෙවල්වල බිත්ති අතින් පිරිමැද ඔප මට්ටම් කර ගැනීම කෙරෙන අතර මේ තත්ත්වය රොබට් නෝක්ස් ගේ අවදියේද පැවති ආකාරය දැකිය හැකිය. ගෙවල් වල හුණු පිරියම් කිරීම 1950 දශකයේද දක්නට ලැබුණේ කලාතුරකිනි. එය සීමා වී පැවතියේ පන්සල දේවාලය වැනි පොදු ගොඩනැගිලි සම්බන්ධයෙන් පමණක් වැනිය. අතරින් පතර විශාල පවුල් සතුව උළු සෙවිලි කළ නිවෙස් කීපයක්ද ගම්මානයේ තිබිණි. පවුල විශාල බැවින්  නිෂ්පාදනයන් හි අතිරික්තයක් ඇති පවුල් වලට හා  සුවිශේෂ  ශිල්පීය දක්ෂතා නිසා ආදායම් වැඩිවීමෙන් උළු සෙවිලි කළ කල්පවතින නිවාස සකස් කර ගැනීමට හැකි වුනා විය හැකිය.

එකල පැවති බොහේ නිවෙස් ස්ථිරව කල්පවත්නා ආකාරකින් සකස් කර නොතිබිණි. වහල පිදුරු සෙවිලි කර තිබුණ අතර මහකන්නයේ ගොයම් කපා පෑගීමෙන් අනතුරුව “අත්තමට” පිදුරු මාරු කිරීම සිදුවෙයි. මෙය සිංහල අවුරුද්දට කිට්ටුව දක්නට හැකි චාරිත්‍රයක් වැනිය. නිවෙස පොළවෙන් අඩි දෙකක් පමණ උස්ව තැනුන වේදිකාවක් වැනි අත්තිවාරමක ගොඩ නැගී තිබිණි.  ඉදිරි කොටස ඉස්තෝප්පුව ලෙස මිටි බිත්ති මගින් සැකසී ඒ සමගම බිත්තියට යාබදව තැනූ පිලක් වෙයි. ඒ මත අමුත්තන් පිළිගන්නේ පැදුරක් වැනි ඇතිරිල්ලක් මත වාඩිවීමට සැලසීමෙනි.

වලව් වුවද කල්පවත්නා ආකාරයෙන් ගොඩ නැගී තිබුණ බවක් නොපෙනේ. එගොඩ වලව්ව, හල්කඳර වලව්ව යනුවෙන් දක්නට ඇත්තේ වතු දෙකක් පමණි. එගොඩවලව්ව පමණක් උළු සෙවිලි කර 1950 දශකය දක්වා තිබිණි.   ගම්මානයේ පුරාණයේ සිට පවතින නිවසක නිදර්ශනයක් දැක්විය  නොහැක්කේ එහෙයිනි. පුරාණයේ සිට  සංවර්ධනය හා සංරක්ෂණය කර ඇත්තේ මුලදී කී ලෙස දේවාලය, විහාරය හෝ පන්සල පමණි. මේ තත්වයට හේතු දක්වන විද්වත්තු එකිනෙකට  පරස්පර හේතු දෙකක් පවසති.

  1. ප්‍රභූවරුන් සාමාන්‍ය වැසියාට සුවපහසු ජීවිතයකට බාධා කළ බැවින් සාමාන්‍ය වැසියාට සුවපහසු ජීවිතයක් ගත කරන්නට ඉඩ ලැබි නැත.

  2. අපිස් ජීවිතයකට හුරුව එයින් තෘප්තිමත් වූ සාමාන්‍ය වැසියා පෞද්ගලික පරිහරණය සඳහා කල්පවතින ගොඩනැගිලි තැනීමට උනන්දු නොවූහ. පන්සල විහාරය හෝ දේවාලය වැනි පොදු ගොඩනැගිලි ආයතන ස්වරූපයක් දරන බැවින් ඒවා පමණක් ස්ථිරසාර ලෙස  තැනිමට පෙළඹුනහ. 

සාම්ප්‍රදායික පවුල 

“මානව සමාජයේ විධිමත් ආකාරයකට වර්ධනය වන එකම සමාජ සංස්ථාව පවුල් සංස්ථාව වේ. එය සමාජයෙන් සමාජයට වෙනස් විය හැකිය.නමුත් දරුවන් බිහිකිරීම, පවුලේ සාමාජිකයන් භෞතික වශයෙන් නඩත්තු කිරීම, දරුවන්ට සමාජ අනන්‍යතාවය පැවරීම,  සමාජානුයෝජනය හා සමාජ පාලනය එහි කාර්යය වශයෙන් ඕනෑම සමාජයක පවතී. පැරණි සමාජයේ තිබුණු පවුල විස්තෘත පවුලක් බවත් නූතන සමාජයේ පවුල වෛවාහික පවුලක් බවත් ඔහු සඳහන් කරයි.නමුත් කාර්යභාරය සෑම පවුලකම සමානය”.- විලියම් ජේ.ගුඩ්

මේ 1947 දී ගන්නා ලද සේයා රුවකි. පසුබිමේ දැක්වෙන්නේ විස්තෘත පවුල සතු නිවසය. මෙහි දැක්වෙන කිසිවකු අද ජීවත්ව නැත ඥාතීන්ගේ අවසරය මත පළ කරන ලදී.

මේ 1947 දී ගන්නා ලද සේයා රුවකි. පසුබිමේ දැක්වෙන්නේ විස්තෘත පවුල සතු නිවසය. මෙහි දැක්වෙන කිසිවකු අද ජීවත්ව නැත ඥාතීන්ගේ අවසරය මත පළ කරන ලදී.

උග්ගල් අලුත්නුවර තිබී ඇත්තේ ද ගුඩ් පවසන ආකාරයෙන් විස්තෘත පවුල් බව පෙනීයයි.

පවුලකට දරුවන් සම්පතක් සේ සැලකිනි. “වැලේ ගෙඩි වැලට බර නෑ” යනු ඔවුන් අතර පැවති ව්‍යවහාරයකි. ඒ නිසා සෑම  පවුලකම පාහේ දරුවන් 5 ත් 10ත් අතර විය. එමෙන්ම සෑම පවුලකම පාහේ අම්මා තාත්තා ආතා(grand father) කිරිඅම්මා(grand mother) ජීවත්ව සිටී නම් ආතාගේ පියා කිරිඅම්මාගේ පියා පවා එකම නිවසේ සාමාජිකයන් වූහ. මවගේ හෝ පියාගේ කසාද නොබදින ලද සොයුරු සොයුරියන් වේ නම් ඔවුන් සිටියේද එම නිවසේම වෙයි.

දරුවන්ගේ මාමා පුංචි අම්මා( පියාට හිමි නිවසක අම්මා සිටින පවුලක නම් දරුවන්ගේ බාප්පා සහ නැන්දා) ද සිටියේ එම නිවසේමය. එබැවින් එය විස්තෘත පවුලක් විය. ආතා, මුත්තා වැනි අය දරුවන්ට අවවාද අනුශාසනා කළ දැනමුත්තන් සේ සැලකුම් ලැබූ අතර කිරි අම්මා මවට ගෘහපාලනය හා හිමියාට උදවු කරන ආකාරය පිළිබඳ අනුශාසකවරිය විය. ඒ නිසා එවැනි වැඩිමහල්ලන්  පවුලකට හිමි ආභරණ බවට පත්ව සිටින තත්ත්වයක විය. පවුලේ විශේෂ අවස්ථාවක දී ඔවුන්ගේ අවවාද උපදෙස් මත ක්‍රියා කිරීම දක්නට ලැබුණ සාමාන්‍ය තත්වය විය.  කිසියම් පවුලක එවැනි වැඩිහිටියක් නොවූයේ නම් වෙනත් පවුලක හෝ සිටින වැඩිහිටියන්ගේ උපදෙස් සෙවීම සාමාන්‍ය තත්වය විය.  විශේෂයෙන් ආගම දහම සම්බන්ධ කටයුතු වලදී පෙරමුණු නායකයා නායිකාව වන්නේ ආතා සහ කිරි අම්මා වෙති. වන්දනා ගමන් යාමක දී “නඩේගුරා” වන්නේ එවැනි වැඩිහිටියෙකි.

පවුලේ පාලනය 

ගෙතුළ පාලනය කිරිඅම්මා, අම්මා වැනි කාන්තා පාර්ශවයේ ආඥා චක්‍රය යටතේ වන අතර පිරිමි ඔවුනට කිකරුව කටයුතු කරනවා වැනි විය. සිංහල අවුරුදු හෝ පවුලේ විශේෂ උත්සව කටයුතු දරුවකු ගේ ප්‍රසූතිය, වැඩිවිය පත් දරුවකු සම්බන්ධ කටයුතු,ගෙදරදී මහසඟරුවන උදෙසා පිදෙන  දානය, කිරිඅම්මාවරුන්ට දෙන දානය වැනි අවස්ථා පාලනය මේ අය මගින් සිදුවිය. වින්නඹූ මාතාව වන්නේ කාන්තාවකි. වෙදකම වුවද කාන්තාවෝද කළහ. එහෙත් පන්සලේ හෝ ගුරු ගෙදර දී ඉගෙනීම සඳහා යන්නේ පිරිමි පාර්ශවය පමණක් විය. එහෙයින් අකුරු කියවීමේ හා ලිවීමේ හැකියාව තිබුණේ පිරිමින්ට පමණක් වැනිය. අකුරු උගත් කාන්තාවන් නොවූ බවක් මෙයින් නොහැඟ වේ. ඇතැම් කාන්තාවන් තම පවුලේ පිරිමි පක්ෂයෙන් අකුරු ඉගෙන සිටිති. වියත් ලෙස බණපොත් කියවන කාන්තාවන්  එකල ද සිටියහ. එහෙත් එය සාපේකෂව පිරිමිනට වඩා ස්වල්පයකි.  එකල සිටි “කළුරිදිනැන්දා” නමින් හැඳින් වූ තැනැත්තිය අති දක්ෂ අක්ෂි වෛද්‍යවරියක්,  සෙංගමාල වෛද්‍යවරියක් මෙන්ම කුඩා දරුවන්ගේ මාන්දම හා පනුරෝග සම්බන්ධව ද  පිට ගම්වල අය පවා වෙදකම් ගත් ප්‍රසිද්ධ තැනැත්තියක විය. අකුරු නොදත් නමුදු ගණන් සෑදීමේ දක්ෂ වූ බවද නාඩිශාස්ත්‍රය රෝග නිර්ණයට අදාලව අවශ්‍ය වන වේලාව පවා සකස් කිරීමේ දක්ෂකම් තිබූ බව ද ප්‍රකට ව සිටියාය. රන්මැණිකා යනු ප්‍රදේශයේ සිටි වින්නඹූ මාතාවය. ඇය ද ඉතා දක්ෂ තැනැත්තියක බව කිය වේ. දරුවෙකු පිළිසිඳ ගත් තැන් සිට ඇය අවශ්‍ය උපදෙස් දෙන අතරම අමාරු විය හැකි බවක් හා තමාට පාලනය කරගත නොහැකි බවක් පෙනී යතොත් පිරිමි පක්ෂයට ඒ බව කලින්ම කීමට තරම් ඇය දක්ෂ බවක් වූ බව කියවේ. ඇතැම් විටක ඇය රෝහලට පවා ගොස් උපකාර කිරීමේ අවස්ථා තිබුණ බවද කියවේ.

පවුලෙන් පිට අය සම්බන්ධ වන පිටස්තර කටයුතු කෙරෙන අවස්ථාවල  ප්‍රධාන පාලකයන් වන්නේ පිරිමි පක්ෂයයි. වන්දනාවේ යාම පවුලේ මරණයක් සම්බන්ධ කටයුතු විහාරයේ පින්කම් දේවාලයේ පෙරහර වැනි අවස්ථාවන්හි පිරිමි පක්ෂය හැම විටම පෙරමුණේ වෙති. එහිදී කාන්තා පක්ෂය ප්‍රශ්න විරහිතවම  සුවච කීකරුව කටයතු කරති. කුඹුරේ හා හෙනේ වැඩ කටයුතු වලදී ප්‍රධානියා වන්නේද “අත්තම”ට වැඩ කිරීම සඳහා පිටත යන්නේද පිරිමියාය. විශේෂ අවස්ථාවන් එළඹුන විට අත්තමට මෙන් ඉවුම් පිහුම් වැනි දේ සඳහා ගෙදර පුරුෂ පක්ෂය විරුද්ධ නොවේනම් කාන්තා පක්ෂයද උදව් වීම පිණිස යැවේ. මේ අනුව මේ වැනි සමාජයක් පීතෲ මූලික ද නැතහොත් මාතෲ මූලික ද යනු තීරණය කිරීම අපහසු තරම් වෙයි.

පරිශීලනය සඳහා

  • සිංහල විකිපීඩියාවේ පවුල පිළිබඳ ඇති ලිපි
  • සපරගමුවේ පැරණි ලියවිලි- පූජ්‍ය කිරිඇල්ලේ ඤාණවිමල හිමිපාණන් වහන්සේ

පුරාණ ජනජීවිතය හා උග්ගල් අලුත්නුවර 1   1 comment

දිවි පැවැත්මේ අපූර්වත්වය 1 – උග්ගල් අලුත්නුවර

 උඩරට සමාජ සංස්කෘතියේ පැවති සාරධර්ම ආකල්ප ඇගයුම් රටාවන් වෙනස්වී යමින් ඇති වන්නට වූ වෙනස් කම් සමහරක් පිළිබඳව මීට පෙර උග්ගල් අලුත්නුවර 19 සියවසේ මුහුණ දුන් තත්ත්වය පිළිබඳ ලිපිවලදී සාකච්ඡා කරන ලදී. ඒ වන විට පැවති සමාජ ජීවිතය පිළිබඳ විමසා බැලීම මේ ලිපි කීපයේ අරමුණ වේ.

ආර්ථිකයේ ජීවනාලිය වූ කුඹුර හා හේන

 1950 සහ 60 දශකයන් වනවිට උග්ගල් අලුත්නුවර  දක්නුට ලැබුණු ආර්ථිකයේ ප්‍රධාන ලක්ෂණය වූයේ  සුදු වතුහිමියන්ගේ සහ  ඔවුන්ට අවනත වූ සිංහලයන්ගේ තේ වතු වගාව විය. මේ තත්වය වර්ධනය වීම 1906 පමණ සිට ඇරඹී ඇති බව පෙනී යයි.[i]   උග්ගල් අලුත්නුවර දේවාලය සතුව පැවති ඉඩම්  එහි සේවාවන්ට අයත්ව තිබූ බැවින් වෙනත් කෙනෙකුට පහසුවෙන් හිමි කරගත නොහැකි විය. එ බැවින් තවදුරටත් සාම්ප්‍රදායික ආර්ථිකයේ ලක්ෂණ  මේ ජනකොටස් අතර ඉතිරිව තිබිණි.  එහෙත් වැසියන් භුකිතිවිඳිමින් සිටි ගොඩ ඉඩම් බොහොමයක් ඉතා සුළු මුදලට විකිණී යමින් තිබුණ බැවින් හේන් වගාව 1950, 60 දශක වනවිට  දක්නට ලැබුනේ ද ඉතා සීමිතවය. [ii]

සෑම රාජකාරි පංගුවක් වෙනුවෙන්ම  කුඹුරු හා ගොඩ ඉඩම් ප්‍රමාණයක්ද රාජකාරි වැසියන්ට ලැබී තිබිණි.[iii]  එසේ ලැබී තිබූ ගොඩ ඉඩම් වලින් හේන් කෙටීම සඳහා එක වරකට සම්පූර්ණ ගොඩ ඉඩම ම යොදා නොගැනුනි.  අක්කර එකක් හෝ 1½ ක් පමණ කොටසක් හේන බවට පත් කරමින් වල්කොටා සකස් වන අතර ඉතිරිය කැළෑවෙන් වැසී යාමට ඉඩ හරින ලදී. එය හ්‍යුමස් සහිත සාරවත් පස සංරක්ෂණය පිණිස නිරායාසයෙන්ම නිර්මාණය වූ හේන් වගාවේ ආවේනික ස්වභාවය විය. කන්න දෙකක් හෝ තුනක් එකම බිම් කොටස වගාවට යොදා ගැනුනි. පසුව අලුත් බිම් කොටසක් වල් කොටා යොදා ගැනීම හේන් වගා‍වේ සිරිත විය.  නැවත මුලින් වගා කළ  බිම් කොටසේ හේන නිර්මාණය වන්නේ අවරුදු හයක් හෝ හතක් පමණ ගතවීමෙන් අනතුරුවය.[iv] මේ නිසා හැම රාජකාරි පංගුවටම කුඹුර, හේන සහ කැළය වශයෙන් වෙන් වෙන්ව ඉඩම් කොටස් අයත්ව තිබිණි.

තෙත්කලාපීය දේශගුණය නිසා කැළය වේගයෙන් වැවුන අතර එය ජෛව විවිධත්වයෙන් ද ගහන විය. පරිසරයට අවැසි සිසිලස, ලෙඩට බෙහෙත්, ගෙවලට  අවශ්‍ය දර සහ තෙල් වර්ග ලබා ගැනීමට අවශ්‍ය ශාකමය ඉන්ධන වර්ග සැපයුනේ එම කැළෑව මගිනි. සතා සිව්පාවා වැඩුනේද එතුළය. අත්හැර දමන ලද හේන බිමක  මුලින්ම වැවෙන තණ කොළ ගව පාලනයේදී උපකාර විය. එළකිරි, ගිතෙල්, නිපදවීම ද කෙරෙන බැවින් ගව පාලනය ද ගමේ ආර්ථිකයේ පැවති එක් අංගයක් විය. නිවසකට ගවයන් කීප දෙනකු සහිත කුඩා “ගවගාලක්”  විය. අත්හැර දැමූ හේන බිම් කොටස මුලින්ම වැවෙන්නේ තණ කොල බැවින් ගවයන් නිතර ගැවසුනි.  එය අදාල බිම නැවත සරුසාර වීමට  කඩිනම් හේතුවක් විය. ගමේ ආර්ථිකයේ  වී වගාව හා හේන් වගාව  සෑම සිංහලයකුම අයකුම යෙදුන ආර්ථික කටයුත්තයි.[v]

දේවාලයේ පුරාණ පහනේ ගැලවිය හැකි සෑම කොටසකම මේ සංකේතය දැකිය හැකි අතර අනෙකුත් පෞරාණික පුරාණ භාණ්ඩවලද එය දක්නට තිබිණි

දේවාලයේ පුරාණ පහනේ ගැලවිය හැකි සෑම කොටසකම මේ සංකේතය දැකිය හැකි අතර අනෙකුත් පෞරාණික පුරාණ භාණ්ඩවලද එය දක්නට තිබිණි

දේවාලයේ මුද්‍රාව සේ සැලකිය හැකි ලාංඡනයේ සංකේත තුළ දැක්වෙන්නේවේල්කූර  හා සම්බන්ධ වූ දෑකැත්ත බව පහසුවෙන් හඳුනාගත හැකිය

දේවාලයේ මුද්‍රාව සේ සැලකිය හැකි ලාංඡනයේ සංකේත තුළ දැක්වෙන්නේවේල්කූර හා සම්බන්ධ වූ දෑකැත්ත බව පහසුවෙන් හඳුනාගත හැකිය

යටිකිඳගේ ඒඩින් සිංඤෝ මහතාට අයත්ව සිටි ගවයන්ගේ යෙදූ මුද්‍රාව

යටිකිඳගේ ඒඩින් සිංඤෝ මහතාට අයත්ව සිටි ගවයන්ගේ යෙදූ මුද්‍රාව

හටන්පල ගමේ ගවයන්ගේ තැබූ හංවවඩුව හඳුනා ගැනීමට දෑ කැත්තට අමතරව මිටිය සංකේතවත් කළ ලකුණක් හා නමේ අකුරු පැවති බව කියනු ලැබේ

හටන්පල ගමේ ගවයන්ගේ තැබූ හංවවඩුව හඳුනා ගැනීමට දෑ කැත්තට අමතරව මිටිය සංකේතවත් කළ ලකුණක් හා නමේ අකුරු පැවති බව කියනු ලැබේ

දේවාලයට අයත් ගව පට්ටියක් තිබූ අතර එහි කටයුතු භාරව පැවතියේ පට්ටිකාර පංගුවට විය. හම්බන්තොට ගොස් ලුනු ගෙන ඒම සඳහා තවලමේ බැඳීම පිණිස ගවයා ප්‍රයෝජනවත් විය. විශේෂ ස්ථානවලට භාණ්ඩ එහා මෙහා රැගෙන යාමට ද ඈත කුඹුරුවලින් ලැබෙන ඔතු වී ගෙන ඒමට ද තවලම ප්‍රයෝජනවත් විය. මේ හැර දේවාලයේ බුදුන් හා දෙවියන් උදෙසා පහන් තැබීමට පාවිච්චි කර ඇත්තේ ගිතෙල් බව පෙනී යයි. පට්ටිකාර පංලුවේ රාජකාරි දැනට දක්නට නැතත් “හුංකිරි තේවය” යනුවෙන් හැඳින්වෙන ගිතෙල් වැඩමවීමේ තේවාවක් දැනුදු පැවැත්වේ. මේ අනුව ගව පාලනය ද ගමේ  ආර්ථිකයේ අංගයක්ව පැවති බව සිතිය හැකිය. දේවාලයේ ගවයන් සඳහාම වෙන් කළ පෙදෙසක් තිබූ බවත් එය වළවේ ගඟ ආසන්නයේ තිබූ “හරක්පට්ටිය” නම් ප්‍රදේශය බවත් පැරැන්නෝ කියති. දැනට මේ කොටස සමනළ වැවට යට වූ බිම් පෙදෙසකි.

ආයතනයකට හෝ  පුද්ගලයකුට අයත් ගවයන් වෙන්ව  හඳුනා ගැනීම පිණිස හංවඩු ගැසීම කෙරේ. දේවාලයට අයත් හැම පුරාණ භාණ්ඩයකම දැක්වෙන සංකේතය වූයේ ඉහත දෙවන රූ සටහනේ දැක්වෙන පරිදි  වේල්කූර හා දෑකැත්ත විය. ඒ අනුව දේවාලයේ ගව පට්ටියේ ගවයන් තුළ කොටන ලද හංවඩුව ද එය විය හැකිය. ගවයා කාට අයත් ද කුමණ ගමේ සතෙක් ද යනු හඳුනා ගැනීම පිණිස යොදාගත් මුද්‍රාව සහිත සංකේතය  ආර්ථික ජීවිතයේ ප්‍රධාන අංගය පෙන්වා දෙන බව පෙන්වන අපූරු එකකි.

ගවයා ගමේ වී වගා කෘෂිකාර්මික දිවිපැවැත්ම නිසා එහි අනිවාර්ය සංකේතය වූයේ දෑ කැත්තය. මේ හැර සතා අයත්වන්නේ කිසියම් ගමක පරම්පරාවකට නම් එහි එම පරම්පරා සංකේතයද හංවඩුවේ අන්තර්ගත වෙයි. එසේ හංවඩු ‍තැබීම  මෙහි වැසියන් හැඳින් වූයේ “යන්ත්‍ර කෙටීම” යනුවෙනි. එමගින් වෙනත් අයකු ගාල් කර ගැනීම වැලකෙන අතරම ගවයා නිරෝගීවන බවට මතයක්ද මේ ඇත්තන් අතර පළවෙයි.  ගවයා නාඹර විය ඉක්මවීමට පෙර මෙසේ හංවඩු ගැසීම සිදු වේ.

වි වගාව හා හේන් වගාවට අමතරව තමන්ට ආව්නික ශිල්පීය හැකියාවන් ඇති කණ්ඩායම් විසින්  කාර්මික නිපැයුම් වලද යෙදුනි. කම්මල්වල    නිෂ්පාදිත ප්‍රධාන යකඩ හා වානේ භාණ්ඩ වූයේ කුඹුරට හේනට අවශ්‍ය උදළු, කැත්ත, පිහිය, නගුල, මුල්ලුව,  කරත්ත රෝදය සඳහා අවශ්‍ය අක්ෂ දණ්ඩ,  පට්ටම්, නිවෙස් ඉදිකිරීමේ දී අවශ්‍ය වන වඩු ආයුධ ගල් ආයුධ පරාල ඇණ හා නිවසකට අවශ්‍ය පිහිය, ගිරය වැනි ආම්පන්න වේ. වඩුකාර්මිකයන් කරත්ත සෑදීමේ නිපුණයන් සේ කටයුතු කළ අතර නිවෙසක් සඳහා  අවශ්‍ය ලීබඩු ගැනීමේ ද යෙදුනහ. ගල්වඩුවන් නිවසට අවශ්‍ය ඇඹරුම් ගල්(මිරිස් හා බෙහෙත් ඇඹරුම් ගල්), ගල්වංගෙඩිය, ගල් උලුවහු (විහාර උලුවස්ස) බැමි බැඳීමට ප්‍රයෝජනයට ගත් හැඩගන්වන ලද කළුගල් (දේවාලයේ අලුතෙන් යෙද වූ බැමි හා  ගල් පඩි)  ආදිය නිපද වූහ. ශ්‍රී පාද මාර්ග දෙකේම ඇති පැරණි “අම්බලම්” නැවත අළුත්වැඩියාව හා ශ්‍රී පාද මළුව සකස් කිරිම හා මාර්ගයේ  ගල්පඩි දැමීම අත්වැල් සවි ගැන්වීම මෙන්ම මකර තොරණ අඩුපාඩු මගහරවා අංග සම්පූර්ණ කර ඇත්තේද අලුත්නුවර ඇත්තන්ගේ සහායයෙන් බව කියවේ.[vi]

ආහාර පාන

දෛනික ආහාර පාන රටාව තුළ  එදා ද  “බත්” ප්‍රධාන විය. ඊට හේනේ සහ ජලය යහමින් ඇති ස්ථානවල සකස් කරන ලදකොරටුවේ වැවෙන වැවෙන එළවළු පලාවර්ග එකතු කර ගැනුනි. ගැමියන්ගේ මතය වූයේ “පලාවර්ගයක් නැතුව බත්කන්න හොඳ නෑ පව්” යනු වෙනි. උදේම අවදිවන පියා ඇතුළු වැඩිමහළු පිරිමි පක්ෂය ළි‍ඳෙන් හෝ පිරිසිදු දොල පාරින් ලැබෙන ඇල්දිය කෝප්යක්  පානය කර කුඹුර හෝ හේනේ ඇවිද යති. ඒ අතර මවගේ ප්‍රධාන කටයුත්ත වන්නේ ගව ගාලට ගොස් දෙනගේ බුරුල්ල සෝදා නැවුම් එළකිරි දොවා ගැනීමය. මව පසු පස යන ඇතැම් කුඩා දරුවකුට දොවාගත් මෙහොතේ දීම කිරි  ස්වල්පයක්  දොවාගත් උනුසුම පිටම ලබා දීම සාමාන්‍ය සිදු වීමක් වැනිය. හේනේ කුඹුරේ  ඇවිද ගිය අය සහ ගෙදර සිටින වෙනත් වැඩි මහළු අය වෙත උදේම ලැබෙන්නේ හීල්බත් සහ උනු කරගත් කිරි කෝප්පයකි.[vii]  එකල ද   මස් අහාරයට ගැනුනේ කලා තුරකින් කෙනෙකු විසිනි.  මස් අනුභවයට ගැනීම සතුන්ගේ මළකුණු සඳහා තම සිරුර සොහොනක් බවට පත් කිරීමක් සේ සැලකුණු බව 1906 දී පමණ සැලකුණු බව කියවේ.[viii] ගවමස් කිසි විටක කෑමට නොගත්හ.[ix]  ගෙරිමස් කෑම “පර සිරිතක්” සේ හෙලා දකින ලදී. ගෙරිමස් කෑවේ පරංගීහු වෙති.[x]  ගවයා ශුද්ධ වස්තුවක් සම්පතක් බව පිළිගැනුන මතය විය. නැවුම් එළකිරි  සහ අතිරික්තයෙන් සකස් කර ගන්නා ගිතෙල් දෛනික ආහාර වේලේ කොටසක් වූ බව පෙනේ. අහාරවේලට පෙර  ගිතෙල්  හැන්දක් ගැනීම එකල සිරිතක්ව පැවතිනි.[xi]  මත්ද්‍රව්‍ය පාවිච්චිය හෝ දුම්බීම පැතිර තිබුණේ සුද්දන් හා ඔවුන්ගේ ආවතේවකරුවන් අතර පමණි.[xii] බළන්ගොඩ රා තැබෑරුමක් හා අරක්කු තැබෑරුමක් විය. රා තැබෑරුම පිහිටුවා ඇත්තේ එකල ගෙන්වන ලද දකුණු ඉන්දීය වතු කම්කරුවන් වෙනුවෙනි. පෙදෙසේ කිසියම් සිංහලයකු රා තැබෑරුමට ගියේ නම් එය ඉතා රහසින් කරන ලද්දකි. මස් කෑවේ නම් එයද රහසින් කරන ලද්දකි. එකල ඒවා ඉතා පහත් ක්‍රියා ලෙසින් සැලකී ඇත.[xiii]

1920 දශකයේ දී බදුලු පාරෙන් උග්ගල් අලුත්නුවර ගම්මානයට හැරෙන හන්දියේ රා තැබෑරුමක් විය. එහෙයින් මෑතක් වනතුරු වැඩිහිටියන් එම හන්දිය හැඳින් වූයේ “තැබෑරුම” නමිනි.[xiv] මේ විස්තරය  පැරණි දැනමුත්තන්ගේම වදන් වලින් මෙසේ අසන්ට හැකිවිය.

තුඹගොඩ සුමනජෝති නායක හිමිපාණන්වහන්සේ

“ඒ කාලේ හල්ගහවල හා කෝපිවත්තේ[xv]  තිබුණදෙමළ ලැයින් හින්ද තමයි තැබෑරුමක් ඇරල තිබුණෙ. ඉංගිරිස් ක‍ාරයගෙ කාලේ තිබ්බ මහයුද්දෙ,  ජපන්නු බෝම් දැම්ම කාලෙත් ඔය රා තැබෑරුම  තිබුණ. ඒ කාලේ තුඹගොඩ සුමණජෝති නායක හාමුදුරුවො ආනන්ද මෛත්‍රය නායක හාමදුරුවො වගේ උත්තමයො  දුරාචාර වලින් මිනිස්සු බේර ගන්න මහ හටනක් කෙරුව. තුඹගොඩ සුමණජෝති නායක හාමදුරුවො එලි පිටම බැහැල ඇවිත් මිනිස්සුත් එක්ක ලැහැත්ති වෙලා තමයි තැබෑරුම කඩල සුං කල්ල දැම්මෙ.   ඉඹුල්පෙ ඉස්කෝලෙ ශාරිපුත්‍ර විද්යාලෙ විදිහටත්  තුඹගොඩ අලුතෙන්ම හැදුව ඉස්කෝලෙ බුද්ධජයන්ති විද්යාලෙ විදිහටත් නං කෙරුවෙත් ඒ උත්තමයංගෙ උත්සාහෙන්. බස්කොම්පැනිය කෙරුව ලියෝ මහත්තය මුලදි හිටියෙ සුමණජෝති නායක හාමදුරුවන්ට ඔරොප්පුවටලු. ඒත් කොහෙද නායක හාමුදුරුවො ඉදිරියේ ඒ සේරම දමනය වුනා. නාලාගිරිය බුදුහාමුදුරුවා ඉස්සරහට ගියා වාගෙ.”

උග්ගල් අලුත්නුවර ගැමියන් පවසන සුමණජෝති නායක හිමිපාණන්වහන්සේ පිළිබඳ මේ ක්‍රියාව 1928 පමණ වකවානුවේ සිදු වූවකි. “බළන්ගොඩ හා තදාසන්න පෙදෙස්වල ජාතික ආපදාවක් වශයෙන් පැවති සුරාසැල් රාශියක් 1928 දී සම්පූර්ණයෙන්ම වසා දැමීමේ මහා ව්‍යාපාරයේ පුරෝගාමියා වූයේ මුන්වහන්සේය. මෙම කාර්යය ඉටුකිරීමට යාමේදී මුහුණ දිමට සිදුවූ තර්ජන,ගර්ජන ආදී කිසිවකට බිය නොවී සියල්ල අභිබවා තමන් වහන්සේගේ උදාර පරමාර්ථ ඉටු කරගන්නා තෙක්ම ඉදිරියට පා තැබූ විලාසය වර්තමානයේ පවා බළන්ගොඩ ප්‍රදේශවාසීන්ට අමතක වී නැත” යනුවෙන් සිය ගුරුහිමිපාණන් වහන්සේ  වෙනුවෙන් ප්‍රකාශයක් නිකුත් කළ, පසුගිය ජනවාරි මාසයේ දී අපවත්වූ අමරපුර සිරිසද්ධම්මවංස මහා නිකායේ මහානායකව සිටි බළන්ගොඩ සුධම්මවංස ස්වාමීන්ද්‍රයන් වහන්සේ   පවසති.[xvi]

මේ  අනුව  පැහැදිලිවන්නේ  මත්ද්‍රව්‍ය ගැනීම පිළිගත් සමාජය තුළ පිළකුලට හා විරෝධයට භාජනය වූ  බවය. පාන වර්ග වශයෙන් ජලයට අමතරව බෙලිමල්, රණවරාමල්, පොල්පලා, කොත්තමල්ලි වැනි දැයක් තැම්බූ වතුර කිතුල් හකුරු සමග පානය පැතිර තිබිණි. 1950 දශකය වන විට බටහිර ආකල්ප වලට නතුවෙමින් සිටි ඇතැමකු තේ පානය කරන ලද්දේ  ඉක්මණින් හා වඩා පහසුවෙන් පිළියෙල කර ගැනීමට හැකි පරිදි සකස් වීම නිසා විය හැකිය. කෙසේ වුවද 1960 දශකය වනවිට තේ පානය සාමාන්‍ය සිරිතක් බවට පත්ව බෙලිමල් හා රණවරා පොල්පලා වැනි පාන වර්ග විශේෂ අවස්ථාවලට පමණක් සීමා ව පැවතිනි.

ගණු දෙනු, හුවමාරු

කිසියම් හේතුවක් නිසා කිරි නොමැති හෝ ගවයන් නොමැති ගෙදරක් වී නම් ඒ අවස්ථාවන්හි අතිරික්තව ඇති ගෙදරකින් ගෙනැවිත් දීම සාමාන්‍ය දෙයකි.  ඒ වෙනුවට එම නිවසේ  අතිරික්තව ඇති ධාන්‍ය හෝ වෙනත් දැයක් යට කී නිවසට ලැබීම සිදුවේ. එය ගණු දෙනුවක ආකාරයෙන් එවෙලේම සිදුවන්නක් නොවේ.

එය නිවෙස් අතර හිඟ දේවල් බෙදාහදා ගන්නා තෑගි හුවමාරුවක් වැනි තත්ත්වයකි. කිසියම් නිවසකින් යමක් ලැබුණ විගස වෙනත් දැයක් දීමක් නොකෙරේ. ඒ මොහොතේම යමක් ගෙන ගොස් දීම නිසා සිත් රිදෙන ගතියක් මේ අය අතර විය. “දීමට මෙන්ම ලැබීමට ද “පින් කර” තිබිය යුතුය” යන්න මේ ඇත්තන් අතර පැවති මතයකි. එහෙයින් කිසියම් ලැබීමක් වෙනුවෙන් ආපසු යමක් දීම සිදුවන්නේ පසු අවස්ථාවක දීය. හේනේ කුඹුරේ අස්වැන්න සම්බන්ධව තිබුණේද මෙවැනි ස්වභාවයකි. හේනේ යහමින් ලැබෙන එළවලුවක් වෙනත් නිවසකට දීම ද කුඹුරේ අස්වැන්නේ කොටසක් අලුත්සහල් වශයෙන් වෙනත් අයට දීම ද හුවමාරු ක්‍රමයේ දක්නට ලැබුණකි.  කිසියම් හෙත්වක් නිසා හේන හෝ කුඹුරු අලපාළු වූ අයකු වෙනුවෙන් මේ සිරිත රැකීමට සියල්ලෝම කැපවනවා වැනි විය. හේන් කුඹුරු කිරීමට තරම් ඉස්පාසුවක් නොමැති අය, එනම් ගමේ වෙදමහතා,   දැනමුත්තා, ප්‍රභූවරයා වැනි අය වෙත ගෙන ගොස් දෙන්නේ මහත් භක්තියෙනි. වැරදීමකින් හෝ ඒ අය විසින් කිසියම් අයකු ගෙන ගොස් දෙන දෙයක් නොගත හොත් එය හිත් රිදවා ගැනීමට හේතුවක් කර ගනිති. තමා වැනි අන් අය විසින් උපහාසයට භාජනය කරතැයි බිය නිසා එවැනි හැඟීම් ඇතිවන බව පෙනීයයි.

මේ එකිනෙකා අරත පැවති බැඳීම් සුහදත්වය හා සහයෝගය ප්‍රකට වන උඩරට ගැමි සාමාජයේ ආවේනිකව පැවති  සමාජ සම්බන්ධතා ස්වරූපය විය. උග්ගල් අලුත්නුවර 1950, 60 දශක වලදී ද මේ සම්බන්ධතා ස්වරූපය පැහැදිලිව දිස් විය. දැනුදු මෙවැනි සිරිත් කලාතුරකින් දක්නට හැකිවේ.

විශේෂ සටහන

අග්ගමහා පණ්ඩිත බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමිපාණන් වහන්සේ20 වන සියවස ආරම්භයේ දීත් සාම්ප්‍රදායික සමාජ ජීවිතයේ පැවති ගුණ සුවඳ පුරාණ එතරවාකෝරල යට අයත් පෙදෙස්වල දක්නට හැකිවී ඇති අකාරය පිළිබඳ තොරතුරු ලබාගත හැකි මූලාශ්‍රයක් සේ බළන්ගොඩ උග්ගල් අලුත්නුවර මස්සැන්න ආදී පෙදෙස්වල පැවති සමාජ රටාව ගැන සිය අත්දැකීම් ඇසුරෙන් කරන අදහාගත නොහැකි විස්තරයක අනුසාරයෙන් ලබාගත හැකිය. 1991 බළන්ගොඩ නගරසභාවේ සමරුකලාපය සඳහා අභිධජ මහාරට්ඨගුරු බළන්ගොඩ ආනන්දමෛත්‍රෙය මහසමිඳුන් කරන ලද ප්‍රකාශය තුළ දැකියහැකි සමාජ සංස්කෘතික සාරධර්ම පිළිබඳ විස්තරය අද පාඨකයකුට අදහාගත නොහැකි තරම් වෙයි. මේ ලිපියම නැවත වරක් බළන්ගොඩ මහජන පුස්තකාලයීය පාඨක සමාජයේ “මහිමය” වාරසඟරාවේ මංගල කලාපයේ ද පළ කර තිබිණි. මෙහි අධෝ ලිපිවල “මහිමය-දයානන්ද බිනරගම සංස්කරණය – බළන්ගොඩ නගරසභා පුස්තකාල පාඨක සමාජය2000”   යනුවෙන් සටහන් වන්නේ එයයි. මේ ලිපියම බළන්ගොඩ නගරසභා නිල වෙබ් අඩවියේද පළ කර ඇත.

“බළන්ගොඩ අවුරුදු 85 කට පෙර තතුනම් හොඳට මතක ඇතැයි” පවසමින් හිමිපාණන් වහන්සේ එහිදී විස්තර කරන බැවින්, ඒ 1906 දී පමණ බළන්ගොඩ හා තදාසන්න ගම්මානයන් හි පැවති ජනජීවිතයේ  ස්වභාවය වන්නේය.  මේ ප්‍රධාන මූලාශ්‍රයට අමතරව දැනමුත් වැඩිහිටියන් කරන විස්තර ද පාදක සටහන්වල දක්වා ඇති පොත්පත් ද ඇසුරු කරමින් මේ ලිපි සකස් වේ.

විශේෂ වදන්

  • හංවඩුව :- මුද්‍රාව

  • ඔරොප්පුව :- තරහ

  • ගව ගාල :- ගවයන් සඳහා සකස් කළ මඩුවක් වැනි ස්ථානයක්

  • ගෙරිමස් :- ගවමස්

  • රා තැබෑර්ම :- පෙරා ගනු නොලැබූ මත් පැන් අඩංගු පැසුනු තෙලිදිය

  • හුංකිරි :- ගිතෙල්


[i] මහිමය- දයානන්ද බිනරගම සංස්කරණය – බළන්ගොඩ නගරසභා පුස්තකාල පාඨක සමාජය2000

[ii] දැනමුත්තන්ගේ සාකච්ඡා

[iii] 1870 අංක 4 දරන පනත යටතේ සකස් කළ කොමසාරිස් ලේඛනයේ දුක්වෙන වගුසටහන් – දේවාල ලේකම් මිටිය – මේ ලෙක්ම් මිටියේ විස්තර ද තවදරටත් විග්‍රහ කරමින් දේවාලයේ අත්තනායක මොහෙට්ටාල නිළමේවරුන් පැහැදිලි කරනුයේ 1870 කොමසාරිස් ලේඛනයේ දැක්වෙන්නේ විමසන අවස්ථාවේ එක් එක් අය විසින් කටට ආපලියට කියන ලද විස්තර අනුව වෙන් කළ ඉඩම් පමණක් බවත්  තමන්ගේ රාජකාරිය වෙනුවෙන් පමණක් අක්කර 12 දහසක් වූ බව හා සෙසු රාජකාරි සඳහාද මේ කියන ප්‍රමාණයට වඩා විශාල ඉඩම් ප්‍රමාණයක් භුක්ති වඳීම සඳහා ලැබී තිබුණ බවය.

[iv] ගමේ පැරණි දැනමුත්තන් සමග කළ සාකච්ඡා

[v] මහිමය- දයානන්ද බිනරගම සංස්කරණය – බළන්ගොඩ නගරසභා පුස්තකාල පාඨක සමාජය2000 සහ දැනමුත්තන්ගේ සාකච්ඡා

[vi] සබරගමු රුවනක වරුණ – සිඩ්නි එල්ලාවල චරිතාපදානය -ර/ශාස්ත්‍රාලංකාර විද්‍යලයිය ප්‍රකාශනය 2000

[vii] මහිමය- දයානන්ද බිනරගම සංස්කරණය – බළන්ගොඩ නගරසභා පුස්තකාල පාඨක සමාජය2000

[viii] මහිමය- දයානන්ද බිනරගම සංස්කරණය – බළන්ගොඩ නගරසභා පුස්තකාල පාඨක සමාජය2000

[ix] මහිමය- දයානන්ද බිනරගම සංස්කරණය – බළන්ගොඩ නගරසභා පුස්තකාල පාඨක සමාජය2000

[x] ගමේ පැරණි දැනමුත්තන් සමග කළ සාකච්ඡා

[xi] මහිමය- දයානන්ද බිනරගම සංස්කරණය – බළන්ගොඩ නගරසභා පුස්තකාල පාඨක සමාජය2000

[xii] මහිමය- දයානන්ද බිනරගම සංස්කරණය – බළන්ගොඩ නගරසභා පුස්තකාල පාඨක සමාජය2000

[xiii] මහිමය- දයානන්ද බිනරගම සංස්කරණය – බළන්ගොඩ නගරසභා පුස්තකාල පාඨක සමාජය2000

[xiv] ඒ.එම්.එස්.එම්.පුංචිබණ්ඩාර මහතා ඇතුළු වැඩිහිටියන් සමග කළ සාකච්ඡා

[xv] මෙය කෝපිවත්තක් සේ ඇරඹී පසුව තේවගාවක් බවට පත්වූ තේ වගා කළ වත්තක් වුවද අද පවා ඒ පෙදෙස හැඳින්වෙන්නේ “කෝපිවත්ත” නමිනි.

[xvi] ජයන්ත සුමණසේකර – සසුනඹර සැඟවගිය සිරිසුදම්වස් යතිවර සුපුන්සඳ – සුමන ප්‍රකාශන, බත්තරමුල්ල 2013

අදෘශ්‍යමාන අනභිභවනීය ආණ්ඩුවක් !   1 comment

අදෘශ්‍යමාන අනභිභවනීය ආණ්ඩුවක් !.

අදෘශ්‍යමාන අනභිභවනීය ආණ්ඩුවක් !   6 comments

අදෘශ්‍යමාන එහෙත් අනභිභවනීය ආණ්ඩුවක් !  (Invisible and invincible government)

අපව බොහොම තදින් ආණ්ඩු මට්ටු කරන කාටවත් නොපෙනෙන ආණ්ඩුවක් තියනව ද ? මේ sugvට විවිධ අවස්ථාවල සිතෙන්නට වුනු දෙයක්. ඒ ආණ්ඩුවෙ පාලකයො පේන්න නෑ. උසස් නිලධාරීනුත් දකින්න නෑ. ඒත් ඒ  නියෝග නම්, මේ තියන ආණ්ඩුවෙ ඒවට වඩා බොහොම බලවත්. ඉතා කාර්යක්ෂම විදිහට මිනිස්සු අවනතවෙලා ක්‍රියාත්මක වෙනව.  නියෝග ලැබුණම බොහොම අවංකව කැපවීමෙන් මිනිස්සුන්ට ක්‍රියාත්මක වෙන්න සිදු වෙන්නෙ. ඇත්තෙන්ම මෙහෙම ආණ්ඩුවක් තියනව ද ? ලාංකිකයන්ගෙන් විශාල කොටසක් තවමත් මේ අදිසි ආණ්ඩුවෙ යටත් වැසියො. නියෝග මග හරින්න ඒ කිසිවකුට බෑ.  මේ අපභ්‍රන්සය කුමක් ද කියන විමතිය,  දුරු කරගන්න නම් වෙනත් ආකාරයක පැහිදිලි කිරීමක්ර හා උදාහරණත් අවශ්‍ය වේවි.

ඒක ලාංකිකයන්ගේ හිත්වල ගැඹුරු පතුලටම කිඳා බැස තියන අනභිභවනීය බලවේගයක්.

උදාහරණ 1

කාටවත් මේ සිද්ධිය අමතක වෙන්න විදිහක් නෑ. 2004   වසරෙ සුනාමිය ආපු වෙලාවෙ රට මැද්දේ සිටිය මිනිස්සු කලබල වෙච්ච හැටි ! රූපවාහිනියෙන් ඒ විස්තර පෙන්නුවත් මුලදි නම් ඒ පුවත රට මැද්දේ අයට අදහන්න බැරි වුනා.  මේ එදා උග්ගල් අලුත්නුවර දකින්න අහන්න ලැබුණ දේවල්.

 “මුහුද ගොඩ ගලනවා ! එහෙම දෙයක් වෙන් පුළුවන් ද ?” වංශ කතා පොත්වල  “ කැළණි තිස්ස කාලෙ මුහුද ගොඩ ගලන්න වුනාය කියල තියන්නෙ නිකමට වගේ. ඕව හිතළු මිසක් වෙන්න පුළුන් දේවල්ද ?”  මිනිස්සු උඩු හිතින් මොනව හිතුවත්, කටින් මොනව කිව්වත් ඇත්තට හිතා හිටියෙ එහෙමයි.සුනාමි අවස්ථාව

“මේ විජහට ඇවිත් බලන්න කො !” උදේ නවයට විතර රූපවාහිනිය බලමින් හිටපු අය හදිසියෙ කැගහන්න වුනා. මේ පුදුමය මොකද්ද කියල කවුරුත් වට වෙලා බලා හිටියේ චුට්ට වෙලාවයි. රූපවාහිනය කොච්චර දැලුවත් මිනිස්සු ඒක බලා හිටියෙ ඇත්තක් බව ඒත්තු යනකං විතරයි. උග්ගල් අලුත්නුවර මිනිස්සු දවල් 11 .00 ට පමණ අර ආණඩුවෙන් හදිසි නියෝග ලැබෙන්න වුනා. කාටවත් දවල්ට කන්නත් එපා උනා. බොහොම දෙනෙක් කිව්වෙ බත් ගිලෙන්නෙවත් නැති බව.

සමහරු “අපි කාල ඇයි පුතේ ? අනේ දෙයියනේ” කියමින් විලාප තියන්න වුනා. වාහන තියන ඇත්තො  වෙන කවුරුත් කියන තුරු හිටියෙ නෑ. තරුණ ළමයි යන එක වලකන්න කවුරුවත් හිතුවෙත් නෑ.   “දැන් ඒ පැත්තට හදිසියෙන්ම ගෙනියන්න ඕන වතුර ! අනේ වතුරවත් නැතුව ඇති.” ඇතැමකු පල  කරන මතය අනුව ගෙවල් හැම එකේම තියන බූලිවල වතුර පුරෝල වාහන කීපයක පැටෙව්ව. තවත් වාහන වල කෑම පටවන්න ගත්ත. ඒ ගමන්ම ඉගිල්ලිලා වගේ වාහන වෙරළ බඩ දිහාට යන්න පටන්ගත්ත.  බළන්ගොඩ, ඕපනායක, පැල්මඩුල්ල, රත්නපුර පමණක් නොව රට මැද්දෙ තියන හැම ගමක්, නියම්ගමක්, නගරයක් පාසා මිනිස්සුන්ට පිස්සු හැදුනා වගේ.  එකතු කරගන්න තිබුණ දෙයක්  වෙරළ පැත්තට අරගෙන යන්න වුනා. සමහරු ගියෙ බඩගින්නෙ.

හරියටම හමුදාවක් පැමිණ තුවක්කු එල්ල කරගෙන “මෙහෙම කරපල්ලා” කියමින්  පස්සෙන් පන්නනවා වගේ  මිනිස්සු වෙරළබඩ දක්වා දුවයන්න උනේ.  මුලදිම ගියේ විසිතුරු බලන්න නෙවෙයි, පිහිට වෙන්න විදිහක් හිතමින්. sugv ට හොඳටම මතක සිද්ධියක් මේ.  ආසන්නයේ තිබුණ ප්‍රාදේශිය ලේකම් කාර්යාල නිල නිවසේ පදිංචිව සිටි සහකාර ප්‍රාදේශීය ලේකම් තුමා හදිසියෙ  දුවගෙන පැමිණ “අයියයි අක්කයි මගෙ දරුවයි නෝනයි ගැන ටිකක් බලන්න. නෝනට බබා ලැබෙන්න ඉන්නෙ. මොනව කරන්න ද ? රස්සාව නැති උනත් මාත් යනව  අර දුකට පත්වෙච්ච මිනිස්සුන්ට පුළුවන් විදිහකට පිහිට වෙන්න. අපේ කාර්යාලෙ කට්ටියකුයි ග්‍රාමනිලධාරි පිරිසකුයිත් මේ ගමන්ම යනව” අර නොපෙනෙ ආණඩුවෙ බලය කෙතරම් ද කියනව නම් දෘෂ්‍ය මාන ආණ්ඩුවෙ ආයතන සංග්‍රහය(AR) මුදල් රෙගුලාසි සංග්‍රහය(FR) කැලේට විසි කළාද දන්නෙ නෑ.  ඒ පමණක් නෙවෙයි මෙතෙක් ඇවිලෙමින් තිබුණ යුද්ධයත් හදිසියේම නැවතිලා ගියා ව‍ගේ උනා. එදා වර්ග භේද, කුලභේද, දේශපාලන පක්ෂ භේද සියල්ලමත් කැළේ. හමුදාවෙ හිටපු කොල්ලොත් තෝරා ගැනීමක් නොකර මිනිස්සු බේරගන්න උනා. ජාතිභේද කුල භේද පක්ෂභේද පැත්තකට විසිවුනා ද?

මේ මොන පුදුමයක් ද වෙන්නෙ ? අදිසි ආණඩුවකින් මිනිස්සුන්ව මෙහෙයවනවා. පැය 48 ක් ඇතුලත වෙරළ බඩ දුකට පත්වුන මිනිසුන්ට කෑමත් වතුරත් ලැබී තිබුණ බවත් සුනාමියට අහුවෙලා නැතිවුන අය හැර ඉතිරි වෙලා හිටපු කිසි කෙනෙක් බඩගින්නේ මැරුණෙ නැති බවත් තහවුරු වුන වාර්තා තියනව. දෘෂ්‍ය මාන ආණ්ඩුව මැදිහත්ව එන විට අර නොපෙනෙන ආණ්ඩුව ක්‍රමයෙන් අයින් වුනා. ගංවතුර, සුළිසුළං විපත් මුල් අවස්ථාවල මිනිස්සු හැසිරුනෙත් මේ විදිහටමයි.

මිනිස්සු මේ විදිහට හැසිරුනේ   නොපෙනෙන ආණ්ඩුවේ බල මහිමයෙන්. අනුන්ගේ දුකක දී කම්පාවට පත්ව උදවු කිරීම  කාලාන්තරයක් තිස්සේ ලංකාවෙ මිනිසුන්ගේ සම් මස් ලේ නහර විනිවිද ගෙන ඇට මිදුළුවලටත් කිඳා බැස ගිය චරිත ලක්ෂණයක්.

උදාහරණ 2

උග්ගල් අලුත්නුවර මහ පෙරහරෙ අලි කුලප්පු වුන අවස්ථා 3 ක් sugv ට හොඳට මතකයි. ඒ හැම අවස්ථාවෙම ආරක්ෂක අංශවලට වඩා අර ආණ්ඩුවෙ බලපෑමට අසුවුන ගමේ මිනිස්සු  ඇවිත් කරකියා ගන්න දෙයක් නැතිව ගිය පිටගම්වල අයට පිහිට උනේ පුදුම විදිහට. ඒ අය ආරක්ෂක තැන්වලට ගෙන ගියා. යා ගන්න පාරවල් හදා දුන්න. ගෙවල්වලට ආව අයට අනතුර පහව යනතුරු සනසන්න කෑම බීම පවා දුන්නා. කුලප්පු වුනු අලිය බඳින්න ගියෙත් බැඳ දැම්මෙත් ගමේ අයයි. 1950 දශකයේ ගමේ හිටපු ඇතුන් මෙල්ල කිරීම සම්බන්ධ දක්ෂයේ වහාම ඉදිරිපත්වෙලා ප්‍රචණ්ඩව සිටි ඇතා බැඳ දැම්මේ විශමය ජනක ලෙසය. ඒ අවදියේ මේ වික්‍රමය ගැන කිවකොල පවා පළවුනා. 1970 දශයේත් මෙයට සමාන සිද්ධියක් වාර්තා වෙනවා. පසුගිය වසරේත් මේ විදිහට කුලප්පු වුන ඇතා බැඳ දැම්මේත් ආපදාතත්ත්වය පාලනය වූයේත් මේ ලෙසින්මය.

උදාහරණ 3

බටහිරකරණයට තවම අහුවෙලා නැති  ගම්වල මිනිස්සුන්ගේ හැසිරීම් රටාව අදෘෂ්‍යමාන ආණ්ඩුවේ බලපෑම දකින්න පුළුවන් හොඳ උදාහරණයක්. ගමේ ඇත්තන් සිරිපාදෙ වඳින්න යද්දියි.  එහිදී වචන පවා හසුරවා ගන්නවා. සෘණාත්මක අදහස් පළවන වචන  කතා කරන්න අර ආණ්ඩුවෙන් තහනම් කරනවා.  කට වැරදෙන්න ඉඩ තියන නිසා කෝඩුකාරයන්ට ඉහළ බලන්න දෙන්නෙ නෑ. කණ්ඩායමේ නායකයා “නඩේගුරා” එයා තමයි ගමන මෙහෙයවන්නෙ. සිරීපාදෙ කන්ද නගිනවා නෙවෙයි “කරුණා කරනවා”. අමාරු මුහුණක් කාගේ හරි දැක්කොත් කවුරුත් කියන්නෙ “හා හා කරුණාවයි,කරුණාවයි,  තුන්සරණෙ කියමු.” නඩේ ගුරා උස් හඬින් ආරම්භ කරනවා. අන් අය අනුකරණ ගායනා වල යෙදෙනවා.

“බුද්ධං සරණේ සිරස දරාගෙන……………..

වඳින්න යන මේ නඩේට තුන්සර‍ණේ සරණයි

වඳින්න යන මේ නඩේට තුන්සර‍ණේ සරණයි

ධම්මං සරණේ සිත පහදා ගෙන……………

සංඝංසරණේ සිවුරු දරාගෙන…………………..”

නඩේගුරා -(උස්හඬින්) “වඳින්න යන මේ නඩේට”

පිරිස – “බුද්ධං සරණේ සරණයි”

……………………………………………

………………..

මෙවැනි ගායනා බහලුව ඇසෙන්නට වෙයි.  අමාරුව අමතක වන අය වේගවත් වෙති. තවමත් අමාරුවෙන් යන අයකු වේ නම් මුලින්ම දකින කවුරු වුවත් ඉදිරිපත්ව අත්වැල් දෙති. වත්තම් කර ගනිති. තවමත් අමාරු බවක් පෙනී යතොත් කීප දෙනෙක් ඔසවා ගනිති. වෙනත් නඩවල අයද මේ වෙනුවෙන් ඉදිරිපත් වෙති.

මේවා දකින “පහළට කරුණා කරන”  අය උඩහට “කරුණාකරන” අය වෙත සෙත් පතති. කෑම බීම දෙති. අප්‍රමාණ දායර්ද්‍ර කරුණාන්විත බවක් සියල්ලන් කෙරේ සියලු දෙනාම පතුරවා හරිති . මේ මෛත්‍රය කරුණාව පිරුනු සමාජයක් නොවේ ද ? වර්ත මාන වැඩිහිටි මතකය අනුව පැරැන්නෝ වටවන්දනාවේ ගියේද මේ අයුරෙනි.

පසු ගිය දිනවල පළ කළ ලිපි වලින් කිව්ව අලුත්සහල් මංගල්‍ය භූමියේ දක්නට ලැබුණේ ද මේ සමාජ හැසිරීමමය.  විශේෂ අවස්ථාවල පමණක් මතුවන මේ අපූරු සමාජ හැසිරීම උරුමව ඇත්තේ කෙසේද ? කොහෙන්ද ? කාගෙන් ද ? වර්තමානිකයන්ට සිතා බැලීමට සුදුසු මාර්තෘකාවකි.

මේ සංස්කෘතිය තේරුම් ගන්න බැරි වුන මහනුවර යුගයෙ හිටිය වගේ විදේශික ලේඛකයො හිටිය නම් “ඒ රටේ මිනිසුන්ගෙන් වහල්ලුන් ගෙන් වගේ වැඩ ගන්නව” කියා  ලියා තියාවි. මහනුවර අවදියේ හිටපු මිනිස්සු අලුත්සහල් මංගල්‍ල්‍ය යේදී  කත් බැඳගෙන බොහොම ගෞරව පූර්වකව හොඳම කොටස බුදුන්ටත් , දේවාලවලටත්, රජමාලිගයටත් ගෙන ගිය හැටි දැකපු රොබට් නෝක්ස් ලියල තියෙන්නෙ වහල්ලු වගේ බදු ගෙවන්න අස්වැන්න අරගෙන ගිය වගක් නේ. රටේ මිනිස්සු තමන්ට උඩට උඩුවියන් බැඳල කෑම බීම දීපු වග කියමින්ම ඒ ළඟින්ම තමන්ට අවශ්‍ය විදිහට හැසිරෙන්න නොදුන් විට ම්ලේච්ඡයො ( barbarians) කියලා හඳුන්වාත් තියනවා.[i]  රොබට් නෝක්ස්ගේ එදා හෙළදිව  කෘතිය අලුත් ඇසකින්, ඒ කියන්නෙ රොබ්ට් නෝක්ස්ගේ ආකල්ප වලින් තොරව නිදහස්ව කියවන්න උත්සාහ කළොත් කෙතරම් අපූරු සුන්දර සමාජයක් උඩරට සමයේ තිබූන ද කියා සිතා ගත හැකියි.

අනෙකා ගැන පැවතියයුතු මෛත්‍රෙය දයාව වසර දහස් ගණනක් තිස්සේ ලැබූ පුරාණ අධ්‍යාපන ක්‍රමයෙන් සැබෑ ජීවිත අත්දැකීම් සහ ක්‍රියාකාරකම් ඇසුරෙන්  මෙරට වැසියාට උගන්වා තිබිණි. පන්සල කේන්ද්‍ර කරගත් අධ්‍යාපනය සකස් වූයේ පළමුවම කුසලතා සහ ගුණධර්ම පුහුණුවටය. “වතාවත්” යනුවෙන් ඒවා හැඳින් විනි. ගුරු දෙමාපියනට වතාවත් කිරීම හා කරවීම පළමු කාර්යයි. ගිලනුන්ට උපස්ථාන කිරීම පිළිබඳ මහඟු ආදර්ශයන් රජවරුන් විසින් ද පෙන්වා දී තිබිණි. බුද්ධදාස රජතුමාගේ පුවත සැලකිල්ලට ගත්විට  පසු කලක ඒ ගැන ඉගෙන  අසා ගන්න දරුවකු තුළ තුළ ජනිතවන ආකල්ප කුමණ ස්වරූපයකට හැඩ ගැස්වි ද ?

අනුරාධපුරය පොලොන්නරුව හා තවත් පසෙකින් දකුණු දේශයද ඇතුළුව වියලි කලාපයේ විශ්මය ජනක ලෙස බැබලෙමින් තිබූ නගර, ගම්බිම්, වාරිකර්මාන්ත ඇතුලත්  සභ්‍යත්වය 13 සියවසේ සිට විවිධ හේතු නිසා ක්‍රමයෙන් තෙත් කලාපීය කඳුකර  පෙදෙස් දක්වා පැමිණෙන්ට විය. එහි ප්‍රථිපලය වශයෙන් යට කී පෙදෙස් ජනශූන්‍ය වෙමින් වනාන්තරයෙන් වැසී යටපත් වීමය. අග්‍රගන්‍ය නිර්මාණ රැගත් නගර හා වාරිකර්මාන්ත නටබුන් වෙමින් ලාංකිකයාගේ භෞතිකමය වූ සංස්කෘතික පරිසරය යටපත් විය. එහෙත් සභ්‍යත්වය හා බෞදධ දර්ශනය මගින් වෙර ගන්වා තහවුරු කළ සාරධර්ම ආකල්ප රැකගත් හැදියාව අහෝසි නොවීය. 1344 දී පමණ බුවනෙකබාවන් ගම්පල අගනගරය කරගත් අවදියේම මහනුවර නගරය ද ගොඩ නැගුන බව පෙනේ.(පාකර්,  කොඩ්‍රින්ටන් වැනි විද්වතුන්ගේ ලේඛන)

 1766 සිතියම දක්වන ලෙසට මූදු බඩ පළාත් සියල්ල ලන්දේසින් යටතට පත්ව තිබුණ ද උඩරට ස්වාධීන්තවය වංශකතාවන් කියන පරිදි “එකම සේසත යටතේ” විය. බුද්ධාගම සමග භාෂාවද ජාතිය සමගි කළ මහා බලවේගයන් විය. මේ වන විටත් සඟසසුනේ මහායාන බලවේග අතුගාදමා පිරිසිදු වී තිබුණි. 13 සියවසේ පමණ රචිත යයි සැලකෙන “සිදත් සඟරාව” නම්  සම්භාව්‍ය ව්‍යාකරණ ග්‍රන්ථය විසින් භාෂාව සම්මත අයුරින් සකස් කර තිබුණි. ඒ මගින් ඇති වූ භාෂාවේ  මූලාකෘති ස්වරූපය අද වන විටද පවතී.

ආර්ය ජනපද බිහිවීමේ දී මෙරට පැවති හෙළ සංස්කෘතිය හා සංකලනය වෙමින් හා බද්ධ වෙමින් මෙරටට ආවේනික ලක්ෂණ රැගත් අද්විතීය ශිෂටාචාරයක් බිහිවූ බව ඉතිහාසය පෙන්වා දෙයි. සංස්කෘත බලපෑමෙන් හැඩගැසෙන්නට වූ බ්‍රාහ්මණ බලපෑම හා පසු කලෙක දකුණු ඉන්දීය ද්‍රවිඪ බලපෑමද ලංකාවට හදිසියේ පැමිණ උඩරට සමාජය තුළට කාවැදුන එකක් නොවේ. 1056 විජයබා සමයේ සිටම ද්‍රවිඪ ආභාසයන් ලැබෙමින් තිබුණ බව පසු කාලීන ශිලා ලේඛන පවා සාක්ෂි දරයි. එහෙයින් ද්‍රවිඪ බලපෑම් මෙරට සංස්කෘතිය සංකර කරවන බලවේගයක් ලෙසට නොව ලංකාවට ආ‍වේනික අද්විතීය සංස්කෘතියක් සංවර්ධනය වීමට හේතුවන ආකාරයෙන් අනුගත වූවක් විය. දකුණු ඉන්දීය කුල භේදයේ සෙවනැලි වැටී තිබුණද බුදුසමයේ බලපෑම හමුවේ ඒවා යටපත් වී තිබිණි. ලාංකීය සංස්කෘතියේ හෙළ – ආර්ය – ද්‍රවිඪ වශයෙන් වෙන් වෙන් වූ අංගෝපාංග  වෙනු කර සොයා ගැනීම  නොහැකිව ඇත්තේ එහෙයිනි.

එහෙත් බටහිර බලපෑම එලෙස නොපැමිණි බව ඉතාම  පැහැදිලිව පෙනෙන  ලක්ෂණයකි. එය ඉහත කී තත්ත්ව වලින් බෙහෙවින් වෙනස් විය. පසුගිය වසර මැයි මාසයේ  ලිපිවලින් කී පරිදි උග්ගල් අලුත්නුවර හේරත් අයියා නමැති ගැමි උගතා ඒ තත්ත්වය හැඳින් වූයේ  “අපි උංගෙ දහංගැට වලට අහුවුනා”  යනුවෙනි. එහෙම කිව්වෙ ඇයිදැයි නැගූ පැනයට ලැබුණේ ද කෙටි පිළිතුරුය. “පරංගි කාරය දාමරිකය. ගම්බිං ගිනිතිව්ව, ලන්දේසි කාරය කපටිය. උංගෙ බහට රජ්ජුරුවොත් රැවටුනා. ඉංගිරීස් කාරය ඊටත් වඩා කපටිය. ගැහැව්වෙ ලේසි පාසු ගැට නෙවෙයි.“උංගෙ දහං ගැට වලට අපි සේරම  අහුවුනා.”  මේ බටහිර පාලන‍යේ ප්‍රථිපල කැටි කර දැක්වූ අගනා ප්‍රකාශයන් නොවන්නේද ?

පෘතුගීසී පාලන අවදිය බලහත් කාරය රජ කළ අවදියකි. නිරන්තරව සිදුවී ඇත්තේ ගම්බිම් පමණක් නොව සාමාන්‍ය වැසියාද පුළුස්සා මරා දැමූ තත්වයකි. විජයබා සමය යනු රජ මාලිගය ද කොල්ලකෑ පළමු අවස්ථාවය. කුස්තන්තීනුද සා අසවේදු වැනි දාමරික සෙන්පතියන්ගේ ක්‍රියා කලාපවලදී අමු අමුවේම රජමාලිගා විනාශ කළ ආකාරයට උදාහරණ ඇත්තේය. ලන්දේසීන් දෙවන රාජසිංහ රජු රැවටූවේ වංචනිකව සකස් කළ ගිවිසුමක් මගිනි. 1815 උඩරට ගිවිසුම මේ රටේ පාලන ප්‍රධානීන් සමග ඇති කරගත් ගිවිසුමකි.   1816 වන විටම උඩරට වැසියන් අතර මේ ගැන සැක මතු වී 1818 වන විට වෙල්ලස්සෙන් ඇරඹි සටන් ව්යාපාරයකින් රට ගිනිගත්තේ එහෙයිනි. එය සුළු පිරිසක් එක්ව කළ සටනක් නොව සඟරුවනේ අනුශාසනා මත හැම තරාතිරමකම අය අතට හසුවන ආයුධය ගෙන කළ එකක් බවට පැහැදිලි සාධක ලැබේ. සිය රට දැය සමය වෙනුවෙන් දෙවියන්ටද භාරවී කළ විමුක්ති අරගලයකි. මේ ගැන කදිමට ඔප්පු කරන ආකාරය මහාචාර්ය තෙන්නකෝන් විමලානන්දයන්ගේ උඩරට මහ කැරැල්ල කියවීමෙන් පෙනී යයි.  ගැමි උගතා ලෙස සැලකියහැකි හේරත් අයියා ද විස්තර කරන්ට තැත් කළේ මේ තත්ත්වය විය හැකිය.

බටහිර යුරෝපීය බලපෑම නිසා දේශිය හැදියාව සංකර වීමක් මිස සංකලනය වීමක් නොවූවා වැනිය. එම සංස්කෘතිය පටවා ඇත්තේ බලහත් කාරයෙනි. ඉතා ම්ලේච්ඡ ලෙස කරන ලද බලපෑම් වලිනි.කූට ලෙස සකස් කළ අණපනත් මගිනි. 1833 න් පසුව සම්මත කරන්නට වූ මුඩුබිම් පනත් හා පසුගිය ලිපියේ දැක්වෙන 1870 විහාර දේවලගම් පනත  පිළිබඳ විමසුමේ දී මේ තත්ත්වය පැහැදිලි වෙයි. ඒ නිසා  මෙරට  සිදුවූයේ බටහිරකරණයක් මිස නවීකරණයක් නොවේ.  උග්ගල් අලුත්නුවර බොල්තුඹය අමුමඩුව වැනි ගම් ප්‍රදේශ වල අද පවා දක්නට ඇති සමාජ ජීවන රටාව විමසන විට  “රාජයුගය තවම අවසන්ව නැත. මහජනයුගය පැමිණීමට තව කල්තිබේ” යන ආනන්ද කුමාරස්වාමි විද්වතාගේ කියමන සිහිගැන්වේ.

හදිසියේ අනෙකාට ඇතිවන විපතකදී සෙසු අයගේ “හිත් උනුවීම” හෙවත් “පපුව පත්තුවෙන”ගතිය  තවම බොහෝ දෙනකු තුළ දක්නට ලැබෙන්නකි.  වර්තමානයේ ඓතිහාසිකව චරිතායනය වී තිබූ  පුරුදු හා  ආකල්ප මතුවීම විශේෂ හදිසි ආපදා, සිරීපාදෙයන යෑම හා හුණුවල අලුත්සහල් මංගල්‍යය  පැවැත්වීම වැනි අවස්ථාවලට පමණක් සීමා වී ඇත්තේ ආනන්ද කුමාරස්වාමි කියන “මහජනයුගය” යුගය එළඹෙමින් තිබෙන නිසාවත්දැයි සිතා බැලීම වටනේය.

 1908 පමණ බළන්ගොඩ හා උග්ගල් අලුත්නුවර ආශ්‍රිත ව පැවති සමාජය පිළිබඳව අග්ගමහා පණ්ඩිත බළන්ගොඩ ආනන්දමෛත්‍රෙය මහනාහිමිපාණන් වහන්සේ සිය අත්දැකීම් පාදක කරගනිමින් පවසන අපූරු සුන්දර සමාජය පිළිබඳ ලිපිය බළන්ගොඩ නගරසභාවේ නිල වෙබ් අඩවියේ ඇත. බළන්ගොඩ නගරසභා පුස්තකාලයේ “මහිමය” මංගල කලාපයේ ආරම්භක ලිපිය “ඓතිහාසික බළන්ගොඩ” යනුවෙන් ප්‍රකාශයට පත්ව ඇත්තේද එම ලිපියම වේ.

කොහේද ඔහොම අරුම පුදුම සමාජයක් තියෙන්නෙ ? යනුවෙන් අලුත්සහල් මංගල්‍යයට අදාලව ප්‍රකාශයට පත් කළ ලිපිය සම්බන්ධව ඇතැමෙක් දුර කථනයෙන් කළ විමසුමට යම් තරමකින් ප්‍රමාණවත් පිළිතුරු මෙහි අන්තර්ගතව ඇතැයි sugv සිතයි.

විශේෂ වදන්

  • කරුණා කරනවා – සිරිපා කන්ද නගින අවස්ථාවන් හා බැසයන අවස්ථාවන් හඳුන්වන වචනයකි

  • නඩේ – කණ්ඩායම

  • නඩේගුරා – කණ්ඩායම් නායකයා

වැඩිදිර කියවීමට

  • මධ්‍යකාලීන සිංහල කලා – ආනන්ද කුමාරස්වාමි

  • උඩරට මහකැරැල්ල -‍මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද

  • මහාවංශය

  • ථූපවංසය ඇතුළු පුරාණ සාහිත්‍ය ග්‍රන්ථ


[i] ඩේවිඩ් කරුණාරත්න පරිවර්තනය -රොබට් නෝකස් දුටු එදා හෙළ දිව

ඉංග්‍රීසි සමයේ උග්ගල් අලුත්නුවර   5 comments

ඉංග්‍රීසි යටත් සමයේ කූට උපායයන්ට හසු වූ  විහාර හා  දේවාලගම් සම්ප්‍රදාය – උග්ගල් අලුත්නුවර ඇසුරෙන්

1815  ඉංග්‍රීසින් යටතට රට පත් වූ දා සිට උත්සාහ ගත්තේ විවිධ වෙනස්කම් මගින් මේ සමාජ සංස්කෘතිය උදුරා දැමීමට  බව 1818 ඛේදවාචකයට හේතු කාරණා විමසන විට අවබෝධ වෙයි.[i]  එම විමුක්ති සටන මර්ධනයෙන් පසුව  1818 නොවැම්බර් 21 ප්‍රකාශ පත්‍රය මගින්1815 දී ඇති කරගත් සම්මුතියේ සංශෝධනයන් සිදුවිය.  එහි 16, 17 සහ 21 ප්‍රකාශ මගින් විහාර දේවාලගම් සම්බන්ධ සැලකිල්ල යොමු කරන බවක් දැක්වුවද උඩරට ප්‍රදේශය පුරා  පැතිර තිබු  විහාර දේවාල ගම්  ඒවාටත් නොදැනෙන සේ වෙනස්කම් ඇති කරමින් අනුක්‍රමයෙන් පිරිහෙන්නට  කටයුතු සැලසූ බව පෙනීයයි.

එතරවාකෝරළයේ[ii]   පිහිටි උග්ගල් අලුත්නුවර ඇතුළුව පුරාණ සිරිත් අනුව ස්ථාපිත සෙසු විහාර  දේවාලගම් සම්ප්‍රදාය ද  අනුක්‍රමයෙන් වියැකී යාමට මග පෑදූ පිළිවෙල ආණ්ඩුකරු විසින් නිකුත් කරනු ලැබූ ප්‍රකාශ පත්‍ර හා අණ පනත් මගින් මනාව පැහැදිලි කරගත හැකිය.

ප්‍රධාන හැරවුම් ලක්ෂ්‍යය

1870 අංක 4 දරන විහාර දේවාලගම් පනත යනු දේවාලයට අදාලව තිබූ පාරම්පරික සම්ප්‍රදාය ගැන ද ලියැවී ඇති ලේඛනයක් සේ බැලූ බැල්මට පෙනීයයි. පනත සැකසීමේ දී පත් කරනු ලැබූ  කොමසාරිස්වරන්ගේ විමර්ශන අනුව  පැවති සම්ප්‍රදාය‍ෙය හි එක් එක් පරම්පරාව විසින් ඉටු කරන ලද කාර්යයන් ලේඛන ගත කරන්නට උත්සාහ ගෙන ඇති බව පෙනී යයි. එහි ආකෘතිය පහත ආකාරය.[iii]

ගම

පංගුවේනම

ඉඩම් ප්‍රමාණය

ප්‍රවේනි නිලකාරයා‍ෙග් නම

වැඩවල අන්දම හා ප්‍රමාණය

වැඩවෙනුවට අවුරුද්දක ගෙවිය යුතු මුදල

අයිතිකරු

පංගුවේ නම යනු අදාල වත්පිළිවෙත හෝ තේවාවේ නමය. ප්‍රවේනි නිලකාරයා යනු ඒ වන විට වත් පිළිවෙත් හි යෙදී සිටි අයගේ පරම්පරා නාමය ද සහිත පුද්ගලයාගේ නම වේ. “වැඩවල අන්දම හා ප්‍රමාණය” යටතේ දක්වා ඇත්තේ ප්‍රවේනි නිලකාරයා  විසින් ඉටුකරන ලද ආගමික සාම්ප්‍රදායික පිළිවෙත් හෝ පූජාවිධි සම්ප්‍රදායයි.   ඊ ළඟ තීරයේ ඇත්තේ වැඩවෙනුවට ගෙවිය යුතු මුදලය. ආගම ඇදහීම වැනි පිළිවෙත් “වැඩක්” ලෙස දක්වා ඇති අතර  මුදල් ගෙවීමෙන් එම වැඩවලින් ඉවත් විය හැකි බව හැඟවේ. අවසන් තීරයේ අයිති කරු ලෙස දක්වා ඇත්තේ උග්ගල් අලුත්නුවර කතරගම් දේවාලය  විය.

හයවන තීරය අනුව සියලු දෙනාම මුදල් ගෙවීමට කැමති වූයේ නම්  එදා සිටම සම්ප්‍රදාය  නැති වි යන්නට ඩ තිබිණි. එහෙයින් මේ පනත මෙතෙක් පැවති පුරාණ සම්ප්‍රදායේ ප්‍රධානතම හැරවුම් ලක්ෂ්‍යය බවට පත් වූ බව පෙනේ.  මේ අනුව 6 වන තීරය ආගමික සිද්ධස්ථානයට අදාල වත් පිළිවෙත් වැනසී යන ලෙසින් වැසියා පොළඹවන  කූට උපායක් වී ඇත. ඉංග්‍රීසීන් අනුකරණයට පොළඹවාගත් අයෙකුට වත්පිළිවෙත් මගහැරීමට මගක් සලසා තිබුණේ එලෙසටය.

අතිමහත් ගෞරවාදරයකින් බෞද්ධයා ගේ සැලකිල්ලට බඳුන්වන  ත්‍රිවිධ චෛත්‍යයන් වන්නේ දාගැබ, බෝධීන් වහන්සේ සහ පිළිමවහන්සේ ය. මේ පූජාවස්තූන් උදෙසා චිරාත් කාලයක් සම්මතව පවත්වාගෙන ආ වත් පිළිවෙත් සම්බන්ධව කොමසාරිස් මණ්ඩයේ දැක්ම  කුමක් දැයි 6 වන තීරය පැහිදිලි කරයි.  එහි අංක 5 සහ අංක 6 යටතේ දැක්වෙන සටහන් පහත පරිදි වෙයි.

  • අංක 6 යටතේ ස්වාමීන් වහන්සේ විසින් උදේ සවස මල් පූජාකර බුද්ධ පූජාව තැබීම  ආදී ආගමික පිළිවෙත් දැක්වේ. එය සුසුනේ පවතින සම්ප්‍රදායයි. මහසංඝයා වහන්සේ ඒවා ඉටු කරන්නේ කිසිවකුගේ තුටු පඬුරු අපේක්ෂාවෙන් නොවේ. එය එක් අතකින් තමාගේම විමුක්තිය උදෙසා කරන්නකි. අනෙක් අතින් එය මෛත්‍රය කරුණාව පෙරටු කරගනිමින් උපාසක උපාසිකා පිරිස ‍ද සහභාගී කරවා ගනිමින් නිස්සරණාධ්‍යාස සේවාවකි. ඒවා මේ ලේඛනයේ සටහන්ව  ඇත්තේ  “වැඩවල අන්දම හා පමාණය” සේ නියෝගයන්  ලෙසිනි. එහිම 6 වන තීරයේ රු1.25 ක් ගෙවා එම වැඩකටයුතු වලින් නිදහස් වීමට හැකි බව දක්වා තිබීම සඟසසුනට හා එමගින් බුදුසමයට  කරන ලද නිගාවක් බව ඉංග්‍රීසි පාලනය තේරුම් ගෙන නැත.

  • අංක 5 යටතේ පිරිත් නිලය යටතේ කොමසාරිස්වරුන් දැක ඇත්තේ  වසරකට දින 16 ක්  පිරිත් සජඣයනා කිරීම ස්වාමීන් වහන්සේ විසින් කරනු ලැබ ඇති බවකි. පනතට අදාල ලේඛනය තුළ ඇත්තේ එය “ඉටු කළයුතු කාර්යය” ලෙසය. එහි පළමු තීරය ස්වාමීන්වහන්සේට ඒ වෙනුවෙන්  භුක්ති වීඳිමට ඇති ඉඩම් පංගු ප්‍රමාණයක් දක්වමින් 6 වන තීරයේ ඒ වැඩ වෙනුවට රු.98.25 ක් ගෙවීමෙන් නිදහස් වීමට ඉඩ සලසා ඇත.[iv]

දේවාල සම්ප්‍රදායේ එන පූජකවරයා වන කපුරාලගේ කටයුතු ඇතුලත්ව ගිහි පිරිස විසින් ඉටු කළ අනෙක් සියලුම පිළිවෙත් හා පූජා විධි ද දක්වා ඇත්තේ මෙලෙසිනි. සියලුම රාජකාරි අංක සඳහා මීට සමාන ලෙසට  විධි විධාන ඇතුලත් වෙයි.  මෙලෙස  ඉංග්‍රීසි ආධිපත්‍යය විසින් 1870 දී හිතා මතාම  උඩරට තිබූ විහාර දේවාල සම්බන්ධ  සම්ප්‍රදායන් ද අවසන් කර දැමීමේ කූට උපක්‍රමයක් නිර්මාණය කර තිබිණි.

හදපිරුණු භක්තියෙන් යුතුව  ආගම ඇදහීම  “වහල් සේවාවක යෙදීමක්” සේ  එමගින් අර්ථ දැක්වී ඇත.  තමන් අකැමැති බෞද්ධ පිළිවෙත් හා දේවාලයේ පිළිවෙත් සෘජුවම තහනමට ලක් කර දමනවාට වඩා මුදල් ගෙවා බැහැර වීමට මග සලසා තීබීමෙන් අපේක්ෂා කර ඇත්තේ විරෝධතා එල්ල වීම වලක්වා ගනිමින් අපේක්ෂා කළ බලාපොරොත්තුවද ඉටු කර ගැනීම පිණිසය. ඒවායේ චිර පැවැත්ම අනතුරකට හෙලීමට ය. එහෙත් එමගින් ඉංග්‍රීසීන් අපේක්ෂා කළ තරම් ඉක්මණකින්  ප්‍රතිඵල නොලැබිණි.

මේ මගින් තවත් හානියක්ද සිදු විය. 1870 ලේඛනයේ දක්නට නැති, එහෙත් රාජකාරි නිලයන් විසින් සතරකාර්තික මංගල්‍ය වලදී පවත්වාගෙන එන සම්ප්‍රදායික වත් පිළිවෙත් මහත් රාශියක් වර්තමානයේ ද දක්නට හැකි වෙයි. සමහර උත්සව පැවති බවට හෝඩුවාවක් හෝ ලේඛනයේ දැක ගත හැක්කේ ඒ ගැන යම්යම් රාජකාරි කරුවන් ඉටු කළ යුතු වත් පිළිවෙත් සඳහන් කරන අවස්ථාවලදීය. “පුරාණයේ රාජකාරි 99 ක තිබුණා. ඒව සේරම ටිකෙන් ටික අඩු වෙලා ගිහින් තව කොච්චරකාලයක් මේ විදිහටවත් තියේ විද දන්නෑ.” යනු සම්ප්‍රදාය අගය කරන අයගේ මැසිවිල්ල වී ඇත. කතරගම දේව මන්දිරය ගොඩනැගීම සමගම ගොඩනගන ලද  පත්තිනි දේවාලයේ ස්ථාපිත සම්ප්‍රදායේ තිබූ “පාන්මඩුව” උත්සවය පැවැත්වීම ලේඛනය තුළ සටහන්ව නැත. එහෙත් එය පසුගිය වසරේද පවත්වා ගැනීමට මේ ඇත්තෝ සමත් වූහ.  විහාරයේ වතාවත් සහ‍ පිරිත් සජ්ඣායන නිලය ඉටු කළ හිමිපාණන් වහන්සේ ගැන විස්තර පවසන උග්ගල් අලුත්නුවර ජනශ්‍රතිය සම්බන්ධ දැනමුතු පැරැන්නෙක්  1870 කොමසාරිස් ලේඛනයේ ‍ස්ථාන දෙකක  ස්වාමීන් වහන්සේලා දෙදෙනකු වශයෙන් සඳහන් වුව ද ඒ එකම හිමිපාණන් වූ  බව පවසයි.[v]  මේ විස්තර අනුව කෙතරම් නොසැලකිල්ලකින් මේ ලේඛන ගත කිරීම් කර ඇද්ද යන්න පැහැදිලි වෙයි.

පූජනීය සිද්ධස්ථාන වලට ඉඩම් පවරා දී තිබුණේ සිංහලේ රජවරුන් හා වෙනත් ප්‍රධානීන් විසිනි. රජු  එසේ නියම කර ඇත්තේ පින් ලබා ගැනීම පිණිස බව හැමවිටම සඳහන් වෙයි.[vi]  සියලු දෙනා විසින් “පින්” යන්න ඉමහත් භක්තියෙන් ප්‍රාර්ථනා කරන ලද “අදිසි ධනසම්පතකි”(invisible worth) එය ලාංකික  බෞද්ධ සමාජය තුළ පුරාණයේ සිටම මුල් බැස ගිය අදහසය. ප්‍රධානීන් තමාට පවරා දුන් ඉඩම් හෝ ඉන් කොටසක් එසේ පූජා කර ඇත්තේ තමන්ට මෙන්ම තම රජතුමාට පින්පැමිණ වීම තුළින් රජුගේ හිත දිනා ගැනීම පිණිස ද වෙයි. 1818 වැසියා යුද්ධයට ගියේ මහා පුණ්‍ය කර්මයකට සහභාගීවන්නාක් මෙනි.  රට බේරා දෙන ලෙස දෙවියන්ට ද භාර වෙමිනි. දළදා වහන්සේ රැකගැනීමේ හා සිය සමය ආරක්ෂා කර ගැනීමේ පරම අභිලාෂයෙනි. එය කිසිසේත් බලය ලබා ගැනීමට සුළු පිරිසක් කළ අරගලයක් නොවූ බව ඔප්පු වී ඇත.(බලන්න උඩරට මහ කැරැල්ලේ විවරණයන්) වැසියා එම සටන අත්හරින්නට හේතු වූ ප්‍රධාන කරුණක් වූයේ දළදා වහන්සේ තමා  අතට පත් වුන බව ඉංග්‍රීසීන් විසින් ජනතාවට තහවුරු කර දීමය.[vii]

උග්ගල් අලුත්නුවර දේවාලගමේ වැසියෝ ද තමාට ලැබී ඇති ගොඩමඩ ඉඩම් තමාගේ ආගමික වතාවත් හා ඇදහීම් වෙනුවෙන් ලැබුණ වරප්‍රසාදයක් සේ පිළිගත්තා මිස සේවය වෙනුවෙන් ලද “වැටුපක්” සේ නොසැලකූහ. තමාගේ කුඹුරු වැනි ඉඩම් වෙනත් කෙනෙකු භුක්ති වින්දා වුවද ඔවුහු දෙවියන් වෙනුවෙන් ඉටු කරන රාජකාරි නොපිරිහෙලා ඉටු කළහ. ඔවුන් ඉඩමට වඩා ගරු කළේ තමන්ගේ නමට බව පෙනේ.(බලන්න නම ඕනිද ගම ඕනිද ලිපිය)

ගම් වැසියෝ කිසිවකුත් වැටුප් වහලුන්සේ ඔවුන්ගේ තේ වතු  හෝ රබර් වතුවල වැඩට සූදානම් නොවූ හ.  දකුණු ඉන්දීය දුගී පෙදෙස්වලින් ද්‍රවිඪ කම්කරුවන් ගෙන්වීමට සිදු වූයේ එහෙයිනි. [viii] එය උඩරටට තවත් බරක් බවට පත් විය. කඳු මුදුන් දක්වාම එළි කර දැමීම නිසා සාරවත් පස සේදී යමින් පාංශු සම්පත විනාශ විය. කඳු මතට වැටෙන වැසි වනාන්තරවල භූගත වෙමින් භුගත ජලසම්පත් පෝෂණය කිරීමේ ස්වාභාවික ක්‍රියා දාමයට බාධා විය. උල්පත් සිඳී යන්නට විය.  සෝදාගෙන එන පස් නිම්නවල තැන්පත්වීමෙන් ඇති වූයේ තවත් විනාශයකි. ගංගාපතුල් ඉස්සීම සංකීර්ණ ගැටළු රැසක් මතු කර ඇත. උග්ගල් අලුත්නුවර පිටල ආර නමින් ගලා ගිය දොලපාර 1872 දී බදුලු පාර සකස් කිරීමේදී ගලා ගිය ස්වාභාවික මාර්ගය කෘත්‍රිමව වෙනස් කිරීමෙන් වසරකට දෙවරක් අස්වනු ලබාගත් දේවාලගමේ කුඹුරු වලින් වැඩි කොටසක්  මහකන්නයට පමණක් සීමා විය.[ix]

19 සියවසේ මැද කාලය පසු වෙද්දී මෙතෙක් පැවති  සමාජ සංවිධාන ස්වරූපය සෑහෙන තරමින් බටහිර කරණයකට හසු කරන්නට විශාල වැයමක නිරත වී තිබුණි. එහෙත් ඔවුන් ගෙන්ම උගත් ලාංකිකයන් ඉදිරිපත්වීමෙන්  නැගෙමින් ආ ජාතික ආගමික පුනරුදයකට මග පාදනනට උත්සාහ කරන්නට වූ බලවේගය නිසා නැවත ජාතිය නගාසිටුවීමේ ව්‍යාපරය ද දියත් වෙමින් තිබිණි. ඒ නිසා පෙරහර පැවැත්වීම ආදී ආගමික වතාවත් යම්තරමකින් ආරක්ෂාවීමට මග ද සැලසී තිබූ බව සිතිය හැකිය.

දේවාලයේ වත් පිළිවෙත් දිරිගැන්වීමට හෝ මෙහෙයවීමට පත් කරනු ලැබූ බස්නායක නිළමේ තනතුර තනතුර දැරූ අයගේ කැපකිරීම් රජෙකු නැති වැසියාට තිබූ එකම ශක්තිය විය. රජු නැත්තේ වුව ද රජු නියෝජනය කළ බස්නායක නිළමේ  තනතුර නැතිකළ නොහැකිවිය. එය විහාරදේවාල ගම්වල සාම්ප්‍රදායික  වැසියාගේ සැනසීමට හේතු වුනා වියහැකිය. එය මහත් ගෞරවයෙන් සැලකීම අද ද මේ ගම්වල දක්නට ලැබෙයි.  රජු පෙනී නොසිටිය ද රජු  විසින් නොසලකා හරිනු ලැබුව ද සම්ප්‍රදාය යම්තරමකින් හෝ රැකීමට එම නිළය හේතු වී තිබිණි.

කෙසේ හෝ 1870 පනතෙන්  පසුව උග්ගල් අලුත්නුවර සම්ප්‍රදාය තුළ ඇති වූ සිද්ධි හෝ තත්ත්වය සතුටු දායක වූයේ නැත. නොබෝ කලකින් හිමිපාණන් වහන්සේ ලා දෙනම හෝ තවත් අදහසක් අනුව හිමිපාණන් වහන්සේ[x] සිවුරු හැර ඉවත්ව යාම සිදුව ඇති බව ජනශ්‍රැතියෙන් ලැබෙන තොරතුරකි.

ඒ ආසන්න කාලයක බිහිවූ මාමල්ගහ ජිනජෝතිකාරාම විහාරස්ථානය එතරවාකෝරල පෙදෙසට තිබු අග්‍රගන්‍ය බෞද්ධාගමික මෙන්ම අධ්‍යාපන කේන්ද්‍රස්ථානය වූ බවට සාධක ලැබේ. එයින් මේ පෙදෙස්වල ගිහි පිරිස් ද සාමාන්‍ය අධ්‍යාපනය පමණක් නොව හෙළ ආයූර්වේද වෛද්‍ය ශාස්ත්‍රය,seelananda himy ජ්‍යෝතිශාස්ත්‍රය හා යන්ත්‍රමන්ත්‍ර ආදී ගුප්ත ශාස්ත්‍ර වැනි විශේෂඥ අධ්‍යපනය ද ලැබූ බවට තොරතුරු ලැබේ. මේ පූජනීය සිද්ධස්ථානයේ  ආරම්භය සැලසූ අතිපූජ්‍ය දික්කාපිටියේ සීලානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රදේශයට සිටි මහා ගුරුවරයා විය. .[xi]  උන්වහන්සේ වසර 17 කට ආසන්න කාලයක් උග්ගල් අලුත්නුවර රජමහාවිහාරයට ද වැඩම කරමින් එහිවත් පිළිවෙත් ඉටු කළ බව පැවසේ. එහෙත් උන්වහන්සේ පසුව මේ කටයුතු වලින් ඉවත්ව ඇත. ඊට හේතු වූයේ කුමක්ද  යන්න පිළිබඳ විස්තර ජනශ්‍රැතිය ඇසුරෙන් ද නොලැබේ.

සබරගමුවට පත්ව ආ සුදු දිසාපති වරුන් උග්ගල් අලුත්නුවර මෙන්ම බොල්තුඹය දේවාලයට ද පැමිණෙමින්  නිරීක්ෂණ වල යෙදුන  බව ඔවුන් තැබූ දිනසටහන් අනුව පෙනීයයි. 1883 . 08.08 දාතමින් යුතු එච්.වේස්ගේ සටහනක් අනුව අලුත්නුවර දේවාලයට පැමිණි බවත් ඔහුට විහාරයේ තිබූ බුද්ධ ප්‍රතිමාව  දක්න ලැබුණ බවත් විහාරයෙන් පිටත දේවාල ගොඩනැගිලි නටබුන් රාශියක් දක්නට ලැබුණ බවත් කියවේ.  1922 පෙබරවාරි 01 දින පැමිණි එච්.ඩබ්. කොඩ්‍රින්ටන් ස්ත්‍රී පක්ෂය විසින් ඉදිරිපත් කළ ආලත්ති තේවය හෝ දිග්ගේ නැටුම දැක ඇති බව කියවේ. ඔහු එය හඳුනවා ඇත්තේ “ආලත්ති ඛෙට” නමිනි.[xii] එවැනි තේවාවක් පෙබරවාරි මාසයේ දී පැවතියේ නම් ඒ පෙරබරවාරි මාසය නිසා පෙරහර විය නොහැකිය. පුරාණයේ සිටම පෙරහර පැවැත්වෙන්නේ ඇසල මාසයේ (ජුලි මාසය) බැවින්  අනිවාර්යයෙන්ම ඒ අලුත්සහල් මංගල්‍ය අවස්ථාවක් විය හැකිය. ආනන්ද කුමාරස්වාමිද අලුත්නුවර පවතින බරාඳයක් ද සහිත ටැම්පිට විහාරය ගැන විස්තර කරයි. දේවාල ගොඩනැගිලි ගැන යමක් සටහන් කර නැත. එහෙත් දේවාලගමේ සම්ප්‍රදාය පිළිබඳ විස්තර එම සටහන් අතර විශාල වශයෙන් පවතී.[xiii] මේ අනුව පැහැදිලිවන්නේ දේවාලගමේ සිරිත් සම්ප්‍රදාය ඒ වනවිටත් සුරක්ෂිතව පැවති බවය.

ඉංග්‍රීසි සමයේ උග්ගල් අලුත්නුවර බස්නායක නිළමේවරු

ඉහත සටහන් වල දැක්වෙන පරිදි දේවාලගමක යහපැවැත්මට පවතින රජය නියෝජනය කරන නිලය වූයේ මේ තනතුරයි. 1815 දි සබරගමුවේ රටේරාල ලෙසින් ද කටයුතු කළ දෙමෝදර මොහොට්ටාල නිළමේ ගෙන් පසුව කටයුතු ක බස්නායක නිළමේවරයකු පිළිබඳව ජනශ්‍රැති සාධක ඇසුරින්ද තොරතුරු නොලැබේ. ජාතික විමුක්ති සටනට එක්ව සිටි වීරවරයකු වූ එතුමා ට සටන පරාජය වෙද්දී සැඟව පලා යන්නට සිදුවිය.[xiv] ඒ අවදියේ උග්ගල අලුත්නුවර දී මිනිසුන් දෙදෙනකු එල්ලා මරන ලද බව ද කියවේ.[xv]  එහෙයින් දේවාලයට හා විහාරයටත් එකල විශාල විනාශයකට මුහුණ දෙන්නට සිදුවී ඇති බව  නිසැකය. එහෙත් ජෝන් ඩේවි 1819 මාර්තු මාසයේ මෙහි පැමිණෙන විටත් ගොඩනැගිලි ලහිලහියේ සකස් කරමින් සිටි ප්‍රතාපවත් නිළමේවරයකු හමුවීමෙන් පැහැදිලිවන්නේ කම්පාවට පත් වැසියා නැවත සිය දේවාලය ගොඩනගන්නට පෙළඹී සිටි බවය. මේ නිළමේවරයා බස්නායක නිළමේ වරයකු වී ද නැතහොත් අත්තනායක නිළමේවරයකු ද යන්න හරිහැටි පැහැදිලි නැත. උග්ගල් අලුතනුවර පැරැන්නන් සඳහන් කරන්නේ එම නිළ දෙකම දැරූ “වාසනාහාමි මොහොට්ටාල” යනු ඔහු බවය.

“අවුරුදු හතක්ම පෙරහරත් නැවතී තිබුණා”

‍මීට පසුව “උඩපළාතේ උන්නැහැ” යනුවෙන් පැරැන්නන් නම් කර හඳුන්වන බස්නායක නිළමේවරයා ගේ කාලය අඳුරු සමයක් වශයෙන් ජනශ්‍රැතිය පවසතත් ඒ කවුද යන්න ගැන වැඩි විස්තරයක් නොලැබේ. එකල පෙරහර වැනි දේවාල වත්පිළිවෙත් නොසලකා හැර දේවාල ඉඩම්පවා අයාලේ යන්නට ඉඩහැර තිබුණ බවත් ඉඩම් හිතූමතයේ බදුදීම් වැනි දේ කර ඇති බවත් ජනශ්‍රැතියේ පැවසේ. ඉඩකඩම් විනාශ වී යාමත් දේවාලය නටබුන්වී යාමත් පිළිබඳ විස්තර රාජකීය පණ්ඩිත පූජ්‍ය කිරිඇල්ලේ ඤාණවිමල හිමිපාණන් වහන්සේ ද පවසති.[xvi]

1915 මුස්ලිම් කෝලහාලය තුළදී නැවතත් මහත් අභාග්‍යයකට මුහුණ දෙන්නට සිදු විය. තත්ත්වය ගැන වරදවා වටහා ගැනීමෙන් බියටපත්ව “මාෂල් ලෝ” පැනවූ ඉංගීසි පාලකයන් නැවතත් මිනිසුන් මරා දැමීමටත් සිරගත කරන්නටත් පෙළඹුන බව එහි විස්තර ඇසුරෙන් පෙනී යයි.[xvii] පෙරහරවල් පැවැත්වීම තහනම් කර දමනු ලැබිණි. බළන්ගොඩ කහවත්ත ආදී පෙදෙස්වලද කලබල පැන නැගිනි. බළන්ගොඩ අසල ඉංග්‍රීසි හමුදා කඳවුරුක්ද ස්ථාපිතව පැවතිනි. සමහර විට පෙරහර නැවතී තිබුණ කාලය මෙය විය හැකිය. උග්ගල් අලුත්නුවර පැවති අලුත්සහල් මංගලළ්‍ය සම්ප්‍රදාය නැවතී අභාවයට යන්නට ඇත්තේ මේ සමයේ ඇතිවූ භීෂණයෙන් පසුව විය හැකිය. අවුරුදු හතක් පමණ පෙරහර නැවතී තිබුණ බව ජනශ්‍රැතිය හෙලිකරන්නේද මේ අවදිය විය හැකිය.

පී.ආර්.අප්පුහාමි මහත්මාගේ ලේඛන එකතුවකින් සේයා සටහනේ දැක්වෙන ඒ.එස්.ජයවර්ධන බස්නායක නිළමේ තුමා 1920 ගණන් වලනිකුත් කළ අත්කුවිතාන්සියක් ඇතුළු ලිපි දක්නට ලැබිණි. ඒ අනුව මේ සමයේ කටයුත් කර ඇති බස්නායක නිළමේතුමා වූයේ  එතුමා බව පැහැදිලි වේ. අද අප්පුහාමි මහතාගේ රාජකාරිය ඉටු කරනු ලබන්නේ පී.ආර්.කුලරත්න නමැති ඔහුගේ මුණුපුරා විසිනි. ඡායාරූපයේ දකුණු පස සිටින්නේ කුලරත්න මහතා වන අතර ඉතිරි අය ඔහුගේ පවුලේ නැදෑයෝ වෙති.

පී.ආර්.අප්පුහාමි මහත්මාගේ ලේඛන එකතුවකින් සේයා සටහනේ දැක්වෙන ඒ.එස්.ජයවර්ධන බස්නායක නිළමේ තුමා 1920 ගණන් වලනිකුත් කළ අත්කුවිතාන්සියක් ඇතුළු ලිපි දක්නට ලැබිණි. ඒ අනුව මේ සමයේ කටයුත් කර ඇති බස්නායක නිළමේතුමා වූයේ එතුමා බව පැහැදිලි වේ. අද අප්පුහාමි මහතාගේ රාජකාරිය ඉටු කරනු ලබන්නේ පී.ආර්.කුලරත්න නමැති ඔහුගේ මුණුපුරා විසිනි. ඡායාරූපයේ දකුණු පස සිටින්නේ කුලරත්න මහතා වන අතර ඉතිරි අය ඔහුගේ පවුලේ නැදෑයෝ වෙති.

1920 මෙහි කටයුතු භාරව සිටියේ බළන්ගොඩ සිට පැමිණි ජයවර්ධන බස්නායක නිළමේතුමා බව ජනශ්‍රැතියේ මෙන්ම අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය බළන්ගොඩ ආනන්දමෛත්‍රෙය මතය මහනාහිමිපාණන් වහන්සේගේ ලිපියක ද දැක්වේ[xviii] ජයවර්ධන බස්නායක නිළමේතුමා ගේ කාලයේ නැවත නගාසිටුවන්නට ගත් උත්සහාය ගැන පැරැන්නෝ සඳහන් කරති. දේවාලයේ දැකුම් අත් නැටුමේ රාජකාරිය කළ පලිහවඩන රාලලාගේ අප්පුහාමි මහතා ළඟ 1922 දී රාජකාරිය කර ඇති බවට නිකුත් කළ අත්කුවිතාන්සියක් හා මළපාළු පංගුවක් වෙනුවෙන් ුරප්පාඩු පිරවීම පිණිස ඔහුට පැවරීම පිළිබද අත් ලියවිල්ලක් ද අනුව එතුමා නැතිව ගිය සම්ප්‍රදාය නගාසිටුවන්නට විශාල ප්‍රයත්නයක් ගෙන ඇති බව සිතිය හැකිය. කෙසේ වුවද පැරැන්නන්ගේ මතය අනුව “එතුමා වැඩි වත්පොහොසත් කම්” ඇති නිළමේ වරයකු නොවූයෙන් කටයුතු කර ඇත්තේ දුෂ්කරතා මධ්‍යයේ බැවින් වැඩි යමක් කළ නොහැකිවූ බව පැවසේ. පෙරහර නැවත කරන්නට උත්සාහ කළ අවස්ථාවල පිටස්තරින් පැමිණි “චන්ඩින්” නිසා වැසියා ද දුෂ්කරතාවලට මුහුණ දුන් බව පැවසේ.

ඉංග්‍රීසින් ඇති කළ රාජ්‍යපාලන ප්‍රතිසංස්කරණ ව්‍යාපාර සමග මෙතෙක් පැවති ඉඩම්භුක්ති ක්‍රමය ද මානුෂිකත්වයට නොගැලපේයයි අදහස් කළ රාජකාරි ක්‍රමයද අභියෝගයට ලක්විය.

ඔවුන් මෙහි පැවති කුල ක්‍රමය ඉන්දියානු හා ඔවුන් අවබෝධ කළ කුල සමග සැසඳීම, ඔවුන් දන්නා වැඩවසම් ක්‍රමයම මෙරට පවතී යයි   ඇති කරගත් නිගමන දැකිය හැකි වෙයි.

දැකුම්පඬුරු ගෙනයාම, බැහැදැකීම වැනි සිරිත් උපහාසයට හා අපහාසයට පත් විය.

අතිරේක විශේෂ සටහන්

දේවාලගමේ හෝ පිදවිලි ගමේ එක් එක් ශිල්පී ශ්‍රේණි සඳහා වෙන් කළ කොටස් විය. ඒවා ද හැඳින් වූයේ ගම් ලෙසමය. උග්ගල් අලුත්නුවර හටන්පල ගම, පහළ ගම, පහළම ගම,  (පාලමගම) මැද්දේ පහළ ගම(මැද්දෙපාලම හෙවත් මද්දෙපාලම) ආදිය ද අලත්නුවර දේවාලගමටම අයත් ගම් වෙයි. ඒ අනුව ගමක නිශ්චිත සිමා දැක්වීමේ අසීරුවක් වෙයි. ගමක නිශ්චිත සිමා දැක්වීමට නොහැකි බව  උඩරට පාලන සමය නිරික්ෂණය කරන විට සෑම ගමක් සම්බන්ධවම  දක්නට හැකි වු විශේෂත්වයකි.[xix]

1818 වන විට පැනනැගි ජාතික විමුක්ති සටනෙන් පසුව, එනම් 1818 නොවැම්බර් 21 ප්‍රකාශ පත්‍රය මගින් 1815 දී ඇති කරගත් සම්මුතියේ සංශෝධනයන් කරන ලදී. එහෙත් එහි 16, 17 සහ 21 ප්‍රකාශ මගින් විහාර දේවාලගම් සම්බන්ධ අනතර්ගතය ඒ ස්ථාන කෙරේ සැලකිල්ල යොමු කරන ලද ප්‍රකාශයන් විය.   බෞද්ධ විහාර හා දේවාලගම් සම්ප්‍රදායට අත තැබීම  පරෙස්සමින් කළයුතු බව ඉංග්‍රීසීන් 1818 දී ලබාගත් එක් අත්දැකීමක් වන බව  පසු කාලීනව අනුගමනය කළ ක්‍රියාමාර්ග අනුව ද පැහැදිලි වේ. එහෙයින් උග්ගල් අලුත්නුවර සම්ප්‍රදායේ ද හදිසි කැලඹිල්ලක් හට නොගැනුනි. එහෙත් ඉන් පසුව වරින් වර නිකුත් කළ ප්‍රකාශයන් මගින් මේ වාට බලපාන  පිළිවෙත් වෙනස් කරන්නට ගත් උත්සාහයන් දක්නට ලැබෙන බව පෙනේ. මෙලෙස

  1. 1919 සැප් 18 ප්‍රකාශය

  2. 1822 මැයි 21 ප්‍රකාශය

යන ප්‍රකාශ මගින් බෞද්ධ විහාර හා දේවාලගම් සම්ප්‍රදායට බලපාන විවිධ තත්ත්වයන් ජනිතවන්නට  විය. 1833 දී කෝල්බෲක් කොමිසම විසින් ඇති කරන ලද ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය 1924 දක්වාම එහි මූලාකෘතිය රැක ගනිමින් සංශෝධනය වෙමින් ඉදිරියට ඇදුනි. එය මෙරට මහජන යුගයක් කරා ගෙනයන්නට මැග පෑදුනක් සේ බොහෝ තන්හි විග්‍රහ කරනු ලැබීය. 1848 ඇති වූ තත්වය  අසහනයට පත් සමාජය තුළ මතු වූ මහත් කැලඹීල්ලක් විය.  එයද මහා ව්‍යසනයක් නැවතත් ඇති කරන ලද්දකි. ඉංග්‍රීසින් ඇති කළ පාලන ප්‍රතිසංස්කරණ බටහිර ආකෘතිය වැළඳ ගැනීමට බල කෙරෙන පෙරලියක් වුනා මිස මෙරට පැවති පාලන සම්ප්‍රදායේ ක්‍රමික විකාශයකට මග පෑදුනු වැඩ පිළිවෙලක් නොවීය. මෙරට වැසියන් ගේ නියොජනයන් ද සහභාගි කරගනිමින් සම්මත කළ  පනත්  උඩරට ඉඩම් සාදාචාරාත්මකව මංකොල්ල කෑමේ ව්‍යාපාරයක් බවට පත්වෙමින්  වැසියන්ට ඉඩම් හිඟයකට මග පෑදුනක් බවට පත් විය.[xx]  ඔවුන් අපේක්ෂා කරනලද පරිදි මෙරට වැසියෝ වැටුප් වහළුන් සේ වැඩකරන තත්ත්වයට පත් කරගත නොහැකි වූ බැවින් දකුණු ඉන්දීය කම්කරුවන් ගොනැවිත් උඩරට පදිංචි කරවීම ගැටළුව තවත් උග්‍ර කරන්නට හේතු විය. පසුව විහාර දේවාලගම් වලට අදාලව සම්මත කර පැනවෙන්නට වූ ආඥා පනත් මෙසේ පෙල ගැස්විය හැකිය.

  1. 1852 අංක 3

  2. 1856 අංක 10

  3. 1870 අංක 04

  4. 1889 අංක 03

  5. 1895 අංක 17

  6. 1907 අංක 03

මේවා නිසා  උඩරට සමාජය තුළ බෙහෙවින් ප්‍රචලිතව,[xxi] බොහෝ ස්ථානවල ස්ථාපිතව තිබූ විහාර දේවාලගම් සම්ප්‍රදාය ද අනුක්‍රමයෙන් ගරාවටෙන්නට මගපෑදීමක් වී ඇති බව පෙනී යයි

එක්දහස් නවසිය අටේ සිංහලෙන් ද  ප්‍රකාශයට පත් වූ “මධ්‍යකාලීන සිංහල කලා” කෘති‍ෙය් ආනන්ද කුමාරස්වාමි විද්වතාගේ නිගමනයක් වී ඇත්තේ “රාජයුගය” තවමත් නිමා වී නැති බවත් “මහජනයුගය”  පැමිණීමට තව බොහෝ කල් ඇති බවත්ය.ඒ සමගම උක්ත මහජනයුගයට වඩා මෙරට පැවති රාජයුගය මෙවැනි ක්ෂණික වෙනසකට බඳුන් කිරීමෙන් අත්වන හිතකර ප්‍රතිඵලයක් නොවන බව ද පෙන්වා දෙනු ලබයි.  [xxii] ආචාර්ය නන්දදේව විජේසේකරයන් බළන්ගොඩ අසල තවමත් යපස් මගින් යකඩ නිපදවූ වද යකඩ ආනයනය කරන්ට වීම නිසා එය ඉතා ඉක්මණින් බිඳ වැටෙන බව ද පෙන්වා දෙයි.[xxiii]

ඉන් පසු කාලීනව මේවායේ ඇති වූ ගැටළු නිරාකරණය පිණිස  විවිධ පනත් සම්මත විය.

  1. 1912 අංක 27

  2. 1919 අංක 15

  3. 1922 අංක01

  4. 1931 අංක 19

  5. 1940 අංක 09

  6. 1941 අංක 14

  7. 1947 අංක 32

මෙසේ  සම්මත වූ  පනත් මගින්  ඇති කළ බලපෑම යටතට විහාර දේවාලගම් හසුවිය. මේවා යේ බලපෑම නොඅඩුවම උග්ගල් අලුත්නුවරට ද ලැබිණි.

පරිශීලනය සඳහා ග්‍රන්ථ හා ලේඛන

  • රොබට් නොක්ස් ගේ එදා හෙළදිව – ඩේවිඩ් කරුණාරත්න පරිවර්තනය

  • ඩේවිදුටු ලංකාව ජොන්ඩේවි- එච්.එම්.සෝමරත්න පරිවර්තනය

  • උඩරට මහ කැරැල්ල -මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද

  • සපරගමුවේ පැරණි ලියවිලි – පූජ්‍ය රාජකීය පණ්ඩිත කිරිඇල්ලේඤාණවිමල හිමිපාණන් වහන්සේ

  • මහින්ද රැලපනාව-‍ෙබෟද්ධවිහාදෛ්වාලගම්පනත – මූලාරම්භය- සරසවි නුගේගොඩ-2010

  • 1870 විහාරගම් හා දේවාලගම් පනතට අදාල අංක 4 දරන පනත -රාජ්‍ය ලේඛනාගාරය

  • සිංහල සමාජ සංවිධානය – මහාචාර්ය රැල්ෆ් පීරිස්


[i] උඩරට මහ කැරැල්ල- මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද

[ii] දෙවන රාජසිංහයන් ඇති කළ වෙනස්කම් වලින් පසුව මේ කෝරලය අහෝසි වී ඒ වෙනුවට එහි බටහිර කොටස කඩවත කෝරලය ලෙස නම් වූ අතර උග්ගල් අලුත්නුවර අයත්වූ යේ එයට විය.එතරවා කේාරලයේ පැවති සොරගුණය කන්දපල්ල කෝරලයට අයත් වෙමින් සබරගමු පලාතෙන් වෙන් වුව ද දේවාල ගම් අතර පැවති සම්බන්ධතා නැති නොවීය. අලුත් සහල් මංගල්‍ය ආදිය පෙර සිරිත අනුව එකටම පැවැත් විනි. පෙරහර ආදී උත්සව අවස්ථාවල මේ ගම්වල විවිධ පිරිස් දැනුදු එක්ව කටයුතු කරනු දැකිය හැකියි.

[iii] මේ ආකෘතිය උග්ගල් අලුත්නුවර කතරගම් දේවාලයේ අත්තනායක මොහොට්ටාල නිළමේවරයා වු ඒ.එස්.එම්.කරුණාරත්න බණ්ඩාර මහත්මා දේවාල ලේඛනයෙන් ලබාගනු ලැබ සිය ප්‍රයෝජනයට ගන්නා ලද ‍පුරාණ පිටපත ඇසුරෙනි. මෙහි පිටපත් ලංකා රාජ්‍ය ලේඛනාගාරයේ ඇත්තේය.

[iv] මේ විස්තර උග්ගල් අලුත්නුවර කතරගම් දේවාලයේ අත්තනායක මොහොට්ටාල නිළමේවරයා වු ඒ.එස්.එම්.කරුණාරත්න බණ්ඩාර මහත්මා දේවාල ලේඛනයෙන් ලබාගනු ලැබ සිය ප්‍රයෝජනයට ගන්නා ලද ‍පුරාණ පිටපත ඇසුරෙනි. මෙහි පිටපත් ලංකා රාජ්‍ය ලේඛනාගාරයේ ඇත්තේය.

[v] S.G.V. ගුණදාස මහත්මා සමග කරන ලද සාකච්ඡා

[vi] විහාරයක් කරවා රජුට පින්පමුණුවන බව දැන්වීමෙන් පසුව ඊට තෑගි වශයෙන් තවත් ගම්වර රජු විසින් පූජා කිරීම හා විහාර කර්මාන්තයට පහසුකම් දීමේ අවස්ථාවන් උඩරට පැරණි ලියවිලි වල හමුවේ.

[vii] ජෝන් ඩේවි ඩේවිදුටු ලංකාව හා උඩරට මහකැරැල්ල ග්‍රන්ථ

[viii]මහිමය -මංගල කලාපය -ප්‍රවේශ ලිපි- බළන්‍ගොඩ මහජන පුස්තකාල පාඨක සමාජය 2000

[ix] අත්තනායක මොහොට්ටාල නිළමේවරුන් ඇතුළු පැරැන්නන් සමග සාකච්ඡා

[x] S.G.V. ගුණදාස මහත්මා සමග කරන ලද සාකච්ඡා

[xi] මේ පිළිබඳ වැඩි දුර විස්තර ඉදිරි ලිපිවල ඇතුලත් වනු ඇත.

[xii] සුදු දිසාපතිවරුන් දුටු සබරගමුව

[xiii] මධ්‍ය කාලීන සිංහල කලා – ආනන්දකුමාරස්වාමි

[xiv] මීට පෙර sugv.wordpress.com හි ඇති දෙමෝදර මොහෙට්ටාල පිළිබඳ ලිපිය

[xv] මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද-උඩරට මහකැරැල්ල

[xvi] සපරගමුවේපැරණි ලියවිලි-රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය කිරිඇල්ලේ ඤාණවිමල හිමිපාණන් වහන්සේ

[xvii] සුදු දිසාපතිවරුන් දුටු සබරගමුව

[xviii] මහිමය-මංගල කලාපය -ප්‍රවේශ ලිපි- බළන්‍ගොඩ මහජන පුස්තකාල පාඨක සමාජය 2000

[xix] සිංහල සමාජ සංවිධානය – මහාචාර්ය රැල්ෆ්පීරිස්

[xx] සම්මත කර ක්‍රියාත්මක කරන ලද මුඩුබිම් පනත්

[xxi] රොබට් නොක්ස්ගේ ලේඛන වලින් කන්ද උඩරට යනු විහාර දේවාලගම්වලින් වැසී ගත් ප්‍රදේශයක් බව කියයි

[xxii] මධ්‍යකාලීන සිංහල කලා – ආනන්ද කුමාරස්වාමි

[xxiii] ලංකා ජනතාව – මහාචාර්ය නන්දදේව විජේ සේකර

මෛත්‍රෙය කරුණාව (Loving-Kindness or copassion) ගුණ සුවඳ හැමූ සාම්ප්‍රදායික උත්සවයක්   3 comments

මෛත්‍රෙය කරුණාව (Loving-Kindness or copassion) ගුණ සුවඳ හැමූ සාම්ප්‍රදායික උත්සවයක්  – උග්ගල් අලුත්නුවර ආශ්‍රිත එතරවාකෝරලයේ පුරාණ සම්ප්‍රදාය

 මීට පෙර ලිපි මගින් පැවසූ අලුත්සහල් මංගල්‍යයේ සමාජ කණ්ඩායම් තුළ පැවති චර්යා රටාව සිත් පැහැරගන්නා අපූරු එකක් විය. ඒ තුළ කැපී පෙනුන ලක්ෂණයන් ගැන ලියද්දී   “මේවා අතිශයොක්තියට නැගූ මන: කල්පිතයන් විය හැකිය” වැනි සැකයක්  ඇතිවේ දැයි sugv තුළ මතුවන්නට වූ බිය  තුරන් කර ගැනීම පිණිස හැකි සෑම උත්සාහයක්ම දරන ලදී. අප එදා දුටුවේ සැබෑ තත්ත්වයම දැයි තහවුරු කර ගැනීම පිණිස පසුවිපරම් ද කරන ලදී. තුන්දහසකට අධික ජනසංඛ්‍යාවක් දින හතරක් දිවා රෑ ගැවසුන උත්සවයක විනය පිළිබඳ කිසියම්ම හෝ ගැටළුවක් ගැන වාර්තාවක් නොවූයේ දැයි  දින කීපයකට පසුව බස්නායක නිළමේවරයා විමසුවේ  ද ඒ සැකය නිසාය.

ඉතා අධික කායික වෙහෙසකට පත්ව සිටියද දේවාලයේ රාජකාරි මණ්ඩලයේ පැවති උද්‍යොගය මදකට හෝ අඩු වූ බවක් නොපෙනුනි. මේ සේයා සටහන පෙරහර පිටත්වීමට පෙර අඩුක්කුව පිළිගන්වන අවස්ථාවය. මේ පිරිස කලින් දින පාගමණින් කිලෝ මීටර් 16 ක් පැමිණ සිටි අතර එදින රාත්‍රිය ද නිදිවර්ජිතව තේවාවල නිරත වූහ..දිවාකාලය පුරා බැතිමතුන්ට පිහිට වෙමින් තේවාවල නිරත විය. තව ස්වල්ප වේලාවකින් ආපසු කිලෝ මීටර් 16 ක් පාගමණින්ම යායුතුව පවතී. - අම්මඩුව ‍කුඩාකතරගම දේවාලයේ කපු මහත්වරුන් ඇතුළු රාජකාරි මණ්ඩලය

ඉතා අධික කායික වෙහෙසකට පත්ව සිටියද දේවාලයේ රාජකාරි මණ්ඩලයේ පැවති උද්‍යොගය මදකට හෝ අඩු වූ බවක් නොපෙනුනි. මේ සේයා සටහන පෙරහර පිටත්වීමට පෙර අඩුක්කුව පිළිගන්වන අවස්ථාවය. මේ පිරිස කලින් දින පාගමණින් කිලෝ මීටර් 16 ක් පැමිණ සිටි අතර එදින රාත්‍රිය ද නිදිවර්ජිතව තේවාවල නිරත වූහ..දිවාකාලය පුරා බැතිමතුන්ට පිහිට වෙමින් තේවාවල නිරත විය. තව ස්වල්ප වේලාවකින් ආපසු කිලෝ මීටර් 16 ක් පාගමණින්ම යායුතුව පවතී. – අම්මඩුව ‍කුඩාකතරගම දේවාලයේ කපු මහත්වරුන් ඇතුළු රාජකාරි මණ්ඩලය

නවීකරණය වී ඇතැයි සලකන නූතන දියුණු සමාජ උත්සව තුළ කලාතුරකින් දැකිය හැකි දුර්ලභ චර්යාත්මක ලක්ෂණ හා ගතිගුණ මෙහි දී සාමාන්‍ය ලක්ෂණ  බවට පත්ව තිබීම  කෙනෙකු විශ්මයට පත්කරවන අපූර්වත්වයකි. ඒ තුළ පැවති චර්යා රටාවේ  ලක්ෂණ කීපයක් මෙසේ සංක්ෂිප්ත කළ හැකිය. (සාක්ෂි සහිත උදාහරණ සඳහා පෙර ලිපි තුන ප්‍රයෝජනවත් වනු ඇත)

  • බුදුන් වහන්සේ ඇතුළුව ත්‍රිවිධරත්තනය වෙනුවෙන් පැවති අප්‍රමාණ භක්තිය

  • බුද්ධ ශාසනය ආරක්ෂාවට කැපව ඇතැයි පිළිගත් දෙවියන්  පිළිබඳව තිබූ අචල විශ්වාසය

  • එම විශ්වාස කළ බලවේග සතුටු කිරීම පිණිස කරමින් තිබූ පුදපූජා

  • එකිනෙකා අතර පැවති ඉතා සුහද සහයෝගී තාවය හා එකිනෙකාට පිහිටවීම

  • ශාකමය ද්‍රව්‍ය පමණක් ( එළවළු)  අහාරපාන වශයෙන්  ගැනීම හා ගෙන සිටීම

  • දිනපතා ස්නානය කරිමින් පිරිසිදු සුදු ඇඳුමින් සිටීම

  • සංවිධානයේදී හෝ ක්‍රියාවලිය  තුළ කිසිවෙක් කිසිවකුට අණ දීමක් දක්නට නොවීම

  • එකිනෙකාට පැවරුන භූමිකාවේදී  දකින්ට තිබූ වගවීම

  • කිසියම් වැඩක් අවසනදී එකිනෙකා අතර දකින්ට ලැබුණු ආචාර සමාචාර කරගැනීම්

  • වැඩිහිටියන්ට සැලකීම හා පහසුකම් ලබා දීමට ගත් උත්සාහය

  • පිහිට පතා පැමිණෙන අය වෙනුවෙන් වෙහෙස නොබලා සහාය වීම-පූජාවන් හා භාරහාර

  • ආගන්තුකයන් මහත් ආදරයෙන් පිළිගැනීම

  • ආගන්තුකයන් ගේ හැසිරීම් හා අදහස් ප්‍රකාශ කිරීම් හමුවේ උපේක්ෂා සහගත වීම

  • වැඩසටහන නිමවන තුරුම ඊට බාධා වියහැකි ඉතා සුළු හෝ අවදානමක් ඇතැයි හැඟෙන සිතිවිල්ලක් වුව වලකා ගැනීමට පරෙස්සම් වීම

  • එවැනි සෘනාත්මක අදහසක් පළවන වදනක් ආගන්තුකයන්ගෙන් හෝ කියවෙන අවස්ථාවක් වෙතොත්  වහා විරුද්ධත්වය පා ප්‍රතික්ෂෙප කිරීම

  • එය ඉතා කරුණාවෙන් සිත නොරිදෙන සේ අනුකම්පාවෙන් දක්වන විරෝධයක් හා ප්‍රතික්ෂෙප කිරීමක් වීම

  • වඩා දුෂ්කරතාවන් මධ්‍යයේ කටයුතු කරන්නට සිදුවූ තමන් වැනි පිරිසක් විසින් පුරාණයේ එක් අවස්ථාවක දී කරන ලද නොගැලපෙන දැයක් නිසා ගැටුමකට නොයමින් එය සිනහවක් බවට හරවා ගනිමින් ඉවසා ගැනීම

  • පසු කලක එය සිරිතක් බවට පත් කර ගනිමින් යට කී පිරිස වෙනුවෙන් අමතර කරල් කදක් ගෙනයමින් කටයුතු කරන්නට පියවර ගෙන තිබීම

සියලු අවස්ථාවල දී  කරුණාව හා මෛත්‍රෙය(loving and Kindness) ඔවුන් තුළ කැපී පෙනුන ගුණාංගය විය. “දුෂ්කරතාවන් ඇතිවෙතොත් දුෂ්කරතාවයන්ටම දුෂ්කරතා එපා වන තුරු”  ඉවසාගැනීම (tolerance) පිළිබඳ දැඩි අධිෂ්ඨානයක් සියල්ලන් තුළම විය. එය කවර අභියෝගයක් පැමිණියද මුහුණ දීමට සූදානම්ව සිටි  ධෛර්ය සම්පන්න  බව  යනාදී ගුණාංග වින්දනාත්මක (affection) අංශය  තුළ කැපී පෙනුනි. ගොවිතැන් කළ  අය තමන් දහඩියෙන් කඳුලෙන් ලබාගත් ඵලදාවේ මුල්ම කොටස වෙන් කළේ බුදුන් උදෙසාය. ඒ කෘෂි නිෂ්පාදනයන් හැඳින් වූයේ ද “බුද්ධභෝග”ලෙසිනි.

1817 ජෝන් ඩේවි දුටු මහනුවර ඇසළ මහා පෙරහර උත්සවයේ රැස්ව සිටි විශාල ජනකාය තුළ දක්නට හැකිවූ මීට සමාන ලක්ෂණ පිළිබඳව පුදුමයට පත්වෙමින් විස්තර කරයි. මේ ගති ගුණ උඩරට සමාජය තුළ දක්නට හැකි වූ පොදු තත්ත්වයේ නියෝජනයන් වන්නේ නම් ඒසමාජ වාතාවරණය සෑහෙන තරම්  සුන්දර එකක්වන්නට ඇත.

ඒ අනුව මීට පෙර ඉදිරිපත් කළ සාම්ප්‍රදායික උත්සවයේ හැසීරීම් රටාව එතරවාකෝරළය තුළ  පැවති පුරාණ සමාජයේ රුව ගුණ පිළිබඳ ජිවමානව පවතින  උදාහරණ වැනිය. උඩරට පාලන අවදියේ  පැවති බොහෝ ගම්මාන විහාර දේවාලගම් විය.[i]  රජුගේ ගබඩාවට අය උපදවන ප්‍රදේශ හා අදිකාරම්වරුන් වැනි  නිලධාරින්ට පවරාදුන් නින්දගම් හැරෙන විට අන් සියල්ල විහාර දේවාලගම් විය.  බුදු දහම  කේන්ද්‍ර කරගත් සංස්කෘතිය මුදුන් තැනක වැජඹෙමින්  ශතවර්ෂ විස්ස කටත් වඩා පුරාණයේ සිට විකාශනය වූ සමාජ ජීවිතයේ හැම අංගයක්ම හැඩගැස් වූ  ප්‍රධානතම බලවේගය විය. ඒ නිසා නිතර  අවධාරණය වූ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යනාදි උසස් ගුණාංග සමාජගතව මහත් පිළිගැනීමට ලක්ව තිබීම අනිවාර්යය.

ඈත අතීතයේ සිට විකාශනය වූ ලංකා සමාජය තුළ බුද්ධ රාජ්‍යය හෙවත් ධර්ම රාජ්‍යයක් විය. ඒ තුළ වගකීම සංඝයාවහන්සේට වන අතර එහි ප්‍රධානියා වූයේ සංඟරාජයාණෝ වෙති.  සංඝ සමාජය සමානාත්මතාව රජයන අපිස් දිවිපෙවෙතකින් සමන්විත සමාජයකි.[ii] අද වුවද සංඝසමාජයේ පවතින තත්ත්වය එවැනිය.[iii]  පන්සලේ නායක හිමිපාණන්වහන්සේ  මිදුල පවා අමදින ආකාරය ගිහියාට දක්නට ලැබේ.  හැමවිටම ගිහියාගේ ගැටළු සම්බන්ධයෙන් සංවේදී වන සංඝයා වහන්සේ ගිහියා සනසාලති. ගිහියාට පිහිට වෙති. ගැටළු නිරාකරණය කර දෙති. අධ්‍යාපනය දායාද කර දෙති. උන්වහන්සේට  ඇතිවන ගැටළුවක් විසඳා ගැනීම පිණිස  ගිහියන්ගේ පිහිටක් අපේක්ෂාකරන මැදිහත්වන අවස්ථාවන් ඉතා දුර්ලභය. එම සමාජයෙන් ලැබෙන අපූරුතම ආදර්ශයක් වන්නේ  වැඩිහිටියන්ට ඉමහත් ගෞරවයෙන් සලකනු ලැබීමය. වයසට යාම සමග නායක හිමිපාණන්වහන්සේ ලබන ගෞරවාදර සැලකිල්ල වයසට වඩා වේගයෙන් සිය ශිෂ්‍ය හිමිපාණන් වහන්සේලා වෙතින් ලබති. මේ අද වුවද පන්සලක දකින්ට ලැබෙන සාමාන්‍ය තත්ත්වයයි.

ක්‍රි.පූ. 3 වන සියවසේ සිට මෙවැනි තත්ත්වයන් නිරීක්ෂණය කළ  ගිහි සමාජයට, සංඝසමාජය පරමාදර්ශීය එකක් විය.

රට පාලනය කළ රජු නිතර මහාසංඝරත්නය ඇසුරු කරමින් අනුශාසනා ලබාගත්  අතර පන්සල ඇසුරෙන්ම ඉගෙනුම ලබා ගත් කෙනෙකු විය. ආරම්භක අතීතයේ  සිට උඩරට පාලන අවදිය දක්වා ලංකාවේ ප්‍රධානතම අධ්‍යාපන කේන්ද්‍රස්ථානය වූයේ පන්සල බව සියලුම මුලාශ්‍රවලින් පැහැදිලිවන කාරණයකි. මැත දී විද්‍යොදය පිරිවෙන හා විද්‍යාලංකාර පිරිවෙන ඉටු කළේද ඒ උත්තුංග මෙහෙවර බවට විවාදයක් නැත.

රාජ්‍ය පාලන මූලධර්ම හා රාජ්‍යයේ ව්‍යවස්ථාවද ඒ අසුරෙන්ම සකස් විය. එය ලිඛිත එකක් නොවිනි. බැලූ බැල්මට රජු අත්තනෝමතික බලයක් ලත් කෙනෙකු සේ විදේශිකයකුට පෙනීයාම වලකා ලිය නොහැකිය.  උඩරට පාලනය ගැන හදාරණ ජෝන් ඩොයිලි එසේ පවසමින්ම රජුගේ තීරණ ගැනිම්වලට බලපාන වෙනත් සාධක රාශියක් ඇති බව ද පෙන්වා දෙයි.  ලිඛිත නොවු නිසා මතුපිටින් දක්නට ලැබෙන නම්‍ය බව එහි නොවීය. එය උල්ලංඝනය කළ රජවරු දරුණු ප්‍රතිවිපාකවලට මුහුණ දුන් ආකාරය ඉතිහාසය තුළ දක්නට ලබෙන්නකි අලිඛිත භාවය නිසාම එය බලවත් ද විය. රටේ පාලනය මෙහෙයවුනේ “පෙරසිරිත” නමින් හැඳින් වු ප්‍රබල ව්‍යවස්ථාවෙනි.[iv] එය කෙතරම් බලවත් වී ද යත් රජු පවා දඬුවමට ලක්වූ අවස්ථා උඩරට පාලන සමයේ ඉතිහාසය තුළ දක්නට හැකිය.[v]

දේවාල කටයුතු පාලනය, කළමනාකරනය හා

නිලබල ක්‍රමය ක්‍රියාත්මක වූ ආකාරය 

 

කෝට්ටේ සමය, සීතාවක සමය හෝ උඩරට සමයේ  ස්ථාපිත ඓතිහාසික දේවාලයකට පත් කෙරෙන “බස්නායක නිළමේ” නමැති තනතුර සතුව ද අසීමිත බලතල හිමිව තිබූ බව බැලූ බැල්මට පෙනෙන තත්ත්වයයි. එහෙත් ඒ සියල්ලම “පෙරසිරිත” නමින් වන අලිඛිත නීතිරීති සමුදායකින් පාලනය ‍වෙයි. ඒවා කඩ කෙරෙන විට එම තනතුර නොසලකා හැරෙන තත්ත්වයකට වැටෙයි. [vi]  බස්නායක නිළමේ භූමිකාව හැමවිටම පාහේ දේවාලයේ වතාවත් හා උත්සව අවස්ථාවන්ට ගෞරවය එක් කරන්නක්  මිස එම අවස්ථාව අත්තනෝමතික ලෙස පාලනය කරන්නක් නොවේ. පාම්පරිකව උරුම වූ මොහොට්ටාල නිළය දරන්නාගේ සිට ඉතා සුළු කාර්යයක් ඉටු කරන නිළය දරන්නා දක්වා “රාජකාරි”[vii] වල යෙදෙන අය තමාට නියමිත කාර්යය සම්බන්ධව සිටින විශේෂඥයා සහ ඒ කාර්යය සම්බන්ධ “රජු” ද ඔහුමය.  ඔහුට උපදෙස් දෙන අයෙකු දක්නට නොලැබේ. එම කාර්යය ඉටුකරන ආකාය පිළිබඳ උපදෙස් ලැබෙන්නේ තමා තුලින්ම මිස පිටස්තරයකුගෙන් නොවේ. පෙරසිරිත උගන්වන්නේ තමාගේ පරම්පරාවේ වැඩිහිටියකු විසිනි. එය ද බොහෝ විටම අවාචිකව කරන ඉගැන්වීමක් වෙයි. ඔහු තමාට හිමි කාර්යය පිළිබඳ අවබෝධය ලැබිය යුතුවන්නේ ඒ සඳහා වැඩිහිටියන් සමග සහභාගි වෙමින්  නිරීක්ෂණයෙන් හා  ක්‍රියාවෙන් ලබන අවබෝධය (Activity based) මතයය. උග්ගල් අලුත්නුවර, සොරගුණය, බොල්තුඹය අම්මඩුව දේවාල වල වතාවත් වල මෙන්ම හුණුවල පැවති අලුත් සහල් මංගල්‍ය සිරිත්විරිත් වලදී දක්නට හැකි වූයේ ද මේ තත්ත්වය මය.

ඒවායේ ඇත්තේ සමූහයම එක්ව කරගන්නා කළමනාකරනයකි. බස්නායක නිළය දේවාලයේ සාම්ප්‍රදායික උත්සව අවස්ථා දිරිගන්වන, සෑම සහායයක්ම ලබා දෙමින් ගැටළු නිරාකරණය සඳහා සාම්ප්‍රදායිකව  සහාය වෙමින් හා සහභාගී වෙමින් ඊට ගෞරවනීය බව ලබා දෙන තනතුරකි. එහෙයින්ම එය අන් අය විසින් මහත් ගෞරවයෙන් සලකන්නකි. සම්බන්ධතා හැම විටම බෞද්ධ සංස්කෘතියේ ආභාසය ලබමින් සහයෝගීව මෛත්‍රෙය හා දයාවේ තේමාව ඔස්සේ දිවයන්නකි.


[i] රොබට් නොක්ස්ගේ එදා හෙළදිව- ඩේවිඩ් රුණාරත්න සංස්කරණය

[ii] මහාචාර්ය F.R.ජයසූරිය ශූරීන් සිය ආර්ථික විද්‍යා ප්‍රවේශය ග්‍රන්ථයේ ආදිකල්පික කොමියුනිස්ට් සමාජය හැඳීන් වූයේ සංඝ මාජය වශයෙනි

[iii] මහාවංශය ඇතුළු වංශකතා සාහිත්‍ය ග්‍රන්ථ හා පුරාණ සාහිත්‍ය ග්‍රන්ථ

[iv] මෙවැනි මුලාශ්‍ර ද ඇසුරු කරමින් උඩරට පුරාණ රාජ්‍ය පාලනය පිළිබඳ හැදෑරීමක් දක්නට හැක්කේ කලා තුරකිනි.  කෝට්ටේ යුයෙන් පසුව පහතරට පෙදෙස්වල පෘතුගීසි , ලන්දේසි හා ඉංග්‍රීසි පාලන යුග සීතාවක රාජදානි සමය හා  මහුවර පාලන සමය හා එම සමාජය පිළිබඳ කරන ලද හැදෑරීම් හා ප්‍රකාශනයන් විදේශික මූලාශ්‍ර ප්‍රධානතම මූලාශ්‍ර කර ගැනීම නිසා එම දෘෂ්ටි කෝණයට විද්වතා ද හසු වූ බවක් පෙනීයයි. නිදසුන් වශයෙන් 1818 ජාතකි විමුක්තිය පිළිබඳ අරගලය උඩරට රදළයන් කීපදෙනකු බලය ලබා ගැනීම සඳහා ඇති කළ කැරැල්ලක් සේ නිගමනය කර තිබිණි.  සීතාවක රාජසිංහයන් පීතෲ ඝාතකයකු, බුදුසසුන විනාශ කරමින් සංඝනාශකයකු ලෙස කෲර පාලනයකට තැත් කළ අයෙකු වශයෙන් නිගමනය කර තිබිණි.

[v] මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද ශූරීන්ගේ උඩරට මහ කැරැල්ල

[vi] උග්ගල් අලුත්නුවර අත්තනායක නිළ‍ෙම් වරු 1914 /1915 සිටි බස්නායක නිළමේවරයකු පිළිබඳව උදාහරණදෙමින් පැහිදිලි කළ විස්තර

[vii] දේවාලයේ සාම්ප්‍රදායිකව ඉටු කෙරෙන වතාවත් සියල්ල රාජකාරි හෝ තේවාව ලෙසින් හැඳින්වේ.

Glory of a regional historical and sub cultural heritage

බළන්ගොඩ නගර සභාවේ නිල බ්ලොග් අඩවිය

ශ්‍රී ලංකාවේ පලාත් පාලන ආයතනයක් ආරමිභ කල පළමු බ්ලෝග් අඩවිය

M U R A G A L A

Archaeology, History, & Culture

ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary

පර්යේෂණාත්මක බ්ලොග්කරණයේ රැඩිකල් පැත්ත

අසමි දකිමි සොයමි

ජීවිතයේ සියල්ල සරලව

~~~ පහන් යාය ~~~

Glory of a regional historical and sub cultural heritage

sugv

Glory of a regional historical and sub cultural heritage

රතු රජරට

Glory of a regional historical and sub cultural heritage

.: මල් කැකුළු : Sri Lankan Kids :.

Glory of a regional historical and sub cultural heritage

හෙළයේ ඉතිහාසය

අපේ ඉතිහාසය කාලයේ වැලිතලාවෙන් වැසී යන්නට ඉඩ නොදී ඔබේ දෑස මානයට ගෙන ඒමට හෙළයේ ඉතිහාසය දරනා උත්සාහයට සහය දෙන්න

Glory of a regional historical and sub cultural heritage

සංස්කාර විනිවිද

arts history archaeology films books

අරුණි ශපීරෝ‍ වෙතින්

ධනාත්මක චින්තනය හා දාර්ශනික සිතුවිලි

WordPress.com News

The latest news on WordPress.com and the WordPress community.

Follow

Get every new post delivered to your Inbox.