Skip to content

මේ සිරීපාදෙ කාලෙ

සිරිපා වඳින්න කරුණාකරන හැටි

මේ දවස්වල රටේ පවතින සමාජ දේශපාලන වාතාවරණය අමතක කර දැමූ ඇතැමෙක්  පැරැ්නන් සිරීපාදෙ ගිය අන්දම වගේම මෑත කාලීන විස්තර විමසනවා. ඒ අයට පහත දැක්වෙන දෑ  ප්‍රයෝජනවත්  විය හැකියි. පැරැන්නන් සිය උරුමය රැක ගැනීමට දැක්වූ උනන්දුව හා කැපවීම වර්තමානිකයන්ට වැදගත් පාඩම් කියා දෙන බව ඒ ලිපි නැවත විමසූ sugv ටත්  පෙනෙන්ට උනා. එම ලිපිවල අක්ෂර දෝෂ  භාෂා ව්‍යවහාරයේ අවියත් බව නැවත කියවන විට පෙනී ගියත් තේරුම් ගැනීමට එතරම් බාධාවක් නැති නිසාත් ඉක්මණින් උඩුගැන්විය යුතුව පැවති නිසාත්   සංස්කරණය නොකරන ලද බව සලකන්න.

උඳුවප් පුර පසලොස්වක පෝය දිනයෙන් ඇරඹුන මේ සමය ගමේ බැතිමතුන් හඳුන්වන්නෙ සිරීපාද කාලෙ ලෙසයි. බුද්ධං සරණේ සිරස දරාගෙන ලිපිය 1930 සිට 1960 පමණ කාලයේ පැවති සිරිපානැමදීමට යාමේ සිරිත් විරිත් සමුදාය පවසනවා.   ඒ අවදියේ අප්‍රේල් මාසය  හැඳින්වූයේ කොළඹ ඇත්තන් සිරිපාදෙයන කාලය ලෙසයි. “කොළඹ ඇත්තන් යන කාලෙට යක්කු ගියා වගේ ” යනුවෙන් කරන ප්‍රකාශයේ සැඟව ඇත්තේ විරෝධයකි.

1933 සිට 1965 දක්වා බස්නායක නිළමේව සිටිමින් සම්ප්‍රදාය පුනරුත්ථාපනයට වෙහෙසගත් බස්නායක නිළමේ තුමා වන සිඩ්නි එල්ලාවල දිසාවතුමා

1933 සිට 1965 දක්වා උග්ගල් අලුත්නුවර බස්නායක නිළමේව සිටිමින් සිරිපා පියසද ගැමියන්ගේ සහායයෙන් සංරක්ණයට වෙහෙසගත් පැවසෙන සිඩ්නි එල්ලාවල දිසාවතුමා ගේ සොයාගත හැකි වූ එකම සේයා රුව

1930 පමණ වන විටත් සිරිපා පියස අයිතිය සම්බන්ධ පැවති බව කියන ආරවුල හරිහැටි විසඳී තිබී නැහැ. ඒ නිසා සිරිපා

එම්.ජී.ප්‍රේමදාස මැතිනිය

සපරගමුවේ පැරණි ලියවිලි කෘතිය ප්‍රදර්ශනය කරමින් නෑදැ කමින් සිය මුත්තණුවන් වූ අතිපූජ්‍ය කිරිඇල්ලේ ඤාණවිමල හිමිපාණන්වහන්සේගේ විස්තර පවසන එම්.ජී.ප්‍රේමදාස මැතිනිය

කරුණාකරන්නට යන අය ජීවිතය පරදුවට තබා ගිය ගමන adventure trip එකක්ව තිබී ඇත. “ඒ කාලෙ අපේ මුතුන් මිත්තො සිරීපාදෙ ගියෙ තමන් සන්තකයේ තිබුණ ගම්බිම් දරුමල්ලන්ට ලියා දීල.  ආපහු එන එකේ විස්වාසයක් තිබුණෙ නෑ” යනුවෙන් පැවසීමෙන්ම පැහැදිලි වෙනවා.  බියජනක ගමණක් වුවත් වසට ගිය ඇත්තන්ද සිරිපා කරුණාකරන්නට යාම මේ ජීවිතයට නැති නම් එතනින් මතු ජීවිතයට හෝ වැදගත් වන බව කල්පනා කරන්නට ඇති.

මේ අවදියේ එහි ගිහි භාරකාරත්වය සිඩ්නි එල්ලාවලයන්ට පැවරී තිබෙනවා. උග්ගල් අලුත්නුවර දේවාල ගම්මානයට නායකත්වය දෙමින් එහි සදාදරනීය නායකයා බවට පත්ව සිටි සිඩ්නි එල්ලාවලයන් පරිසරය රැක ගනිමින් ගමන්මග හා මළුව අලුත්වැඩියා කළ අන්දම උග්ගල් අලුත්නුවර ඇත්තන් පවසන විස්තර වලින් වගේම සපරගමුවේ පැරණි ලියවිලි කෘතියේ ඇති විස්තරවලින් තහවුරුවෙනවා.පහත ඇති ලිපි මගින්ද මේ සම්බන්ධ විස්තර රාශියක් කියවිය හැකියි.

සිරීපාදේ වැඩට ගිය පැරැන්නන් තවමත් රාශියක් සිටිති. මෑත දී හමුවුන තවත් පැරැන්නෙක් සිය පියාණන් ඇතුළු ගමේ ඇත්තන් සිරීපාද මග අලුත්වැඩියා කළ අන්දම ගැන පවසන්නේ ඒ සම්බන්ධ පැතිරෙන මුසාවාද ගැන කිසියම් සිත්වේදනාවකින්ද යුතුවයි. මේ කෙටි වීඩියෝ සටහන ඊට කදිම ඉඟියකි.

 

 

අරංගුව බඳින්නේ ඇයි ?

ඇසළ පෙරහර දිනවල ඉදිවන සාම්ප්‍රදායික තොරණ 2

රාජකාරි ඇත්තන්ගේ පුරාකතාව∗

පසුගිය ලිපියේ පොරොන්දුව අනුව මේ සාම්ප්‍රදායික රාජකාරි ඇත්තන්   ඔවුන්ගේම වදන් වලින් පවසන විස්තරයක්
(මුල්වරට කියවන්නකුට  පෙර ලිපිය පළමුව කියවීම  ප්‍රයෝජනවත්  වනු ඇත. මෙහිදී විමසන ලද ප්‍රශ්න මග හැර ත් පිළිතුරු පමණක් සටහන් කර ඇති බව සලකන්න)

2014 මහපෙරහරේ දක්නට ලැබුණ අරංගුව

2014 මහ පෙරහර වෙනුවෙන් ඉදිකර තිබූ අරංගුව – දහවල් කාලය- ඒ ආසන්නයේම දේවාභරණ රථය නවතන බැවින් සම්පූර්ණ සේයා සටහනක් ගැනීම අසීරු වෙයි. දේවාභරණ රථයේ කොටසක් දකුණු පසින් දිස්වේ.

“ඇහැල මහ පෙරහරට  දේවාලෙ හඳගල මැදි වෙලා හිටින්ඩ හදන අරංගුවට තොරණක් කියන්න පුළුවන් තමයි. හැබැයි ඒකට දන්න කෙනෙක් තොරණ කියල කියන්නෙ නෑ.   පත්තිනි දේවාලෙ හඳගල මැදිවෙන්නත් අරංගුවක් බඳිනවා. මේව  ආවට ගියාට හදන ඒව නෙමෙයි. පුරාණ ඉඳල තියන වැදගත් චාලිත්තරයක් තේවාවක්.  ඒක හදන්න ගන්නෙ කැන්ද ලී.   ආයෙත් කියන්නෙ මේව නිකම්ම ලස්සනට හදන දේවල් හෙම නෙවෙයි කියල මතක තියාගන්න.

අරංගුව හදන්නෙ ඇයි කියල තේරුං කරද්දි බොහොම වටිනා දේව කතාවක් තියනව. පුරාණෙ ඉඳලම  එකම විදිහට අරංගුව  බඳින්නෙත්  සැරසිලි කරන්නෙත්,  ඒ හින්දයි.  මේක පෙරහර කාලෙට හදන දේව විමානයක් හින්දයි තොරණ කියන්නැත්තෙ.∗∗

ඒත් මෙතන(අරංගුවේ) වැඩ ඉන්නෙ කතරගම දෙයිහාමුදුරුවො නෙමෙයි. උන්නාන්සෙගෙ දේව සේනාවෙ දෙවිවරු.  පෙරහර කාලෙට විතරයි. ඒ දේව සේනාවට අරක්ගන්න හදන විමානයක් විතරයි. පෙරහර ගෙවදුනාම ඒ දේව වාසය ඕන නෑ. ඒ හින්ද   කඩාදානව. ඊ ළඟ පෙරහරෙ දි ආයෙත් අලුත් අරංගුවක් බඳිනවා. අනෙක් කාල වලට මේ දෙවිවරු විසේසයෙම්ම දේවාලෙ ඉස්සරහ දකුණු පැත්තෙ තියන කොහොඹ ගහට අරක් ගෙන ඉන්නවා.

දේවාලයට දකුණු පසින් ඇති සූනියම් , කඩවර වැනි අල්පේශාක්‍ය දෙවිවරුන් අරක්ගෙන ඇතැයි පැවසෙන කොහොඹ ගස - ඒ අසන්නයේ අවලාද පූජාවකට සැරසෙන අයුරු

දේවාලයට දකුණු පසින් ඇති සූනියම් , කඩවර වැනි අල්පේශාක්‍ය දෙවිවරුන් අරක්ගෙන ඇතැයි පැවසෙන කොහොඹ ගස – ඒ අසන්නයේ අවලාද පූජාවකට සැරසෙන අයුරු 2010 මාර්තු 30

හඳගල මත අරංගුව යට දී අවලාද පඬුරු නීල පන්දමට දමන බැතිමතුන්

හඳගල මත අරංගුව යට දී අවලාද පඬුරු නීල පන්දමට දමන බැතිමතුන් 1993 මහ පෙරහර අඟහරුවාදා දින

අවලාද කියමින් හඳගලේ ගොමගාන අවස්ථාවක්

අවලාද කියමින් හඳගලේ ගොමගාන අවස්ථාවක් 2010 මාර්තු 30

මේ කතාව ගැන කියන්න තහංචියක් නෑ. දැං හැදෙන අය නොසැලකුවාට මේක කවුරුත් දැනගන ඉන්න ඕන දේව කතාවක්.

2010 මාර්තු 18 දින රාත්‍රී මළුවෙ විදානේ රාජකාරි ඇත්තාට පහර දී දේවාල වස්තුව සොරකම් කිරීමට තැත්කර තිබූ බව කියවේ

2010 මාර්තු 18 දින රාත්‍රී මළුවෙ විදානේ රාජකාරි ඇත්තාට පහර දී දේවාල වස්තුව සොරකම් කිරීමට තැත්කර තිබූ බව කියවේ. තුවල වූ අත සු දුරෙදි පටකින් වෙලාගෙන පොල් ගැසීමට සූදානම් සිටින මළුවේ විදානේ

දේවාලය සොර බියකට ලක් වී යයි සැකයෙන් අවලාද පොල් ගසන්නට රැස්වූ රාජකාරි ඇත්තන් හා  ගමේ ඇත්තන්ගෙන් කොටසකි. 2010 මාර්තු 30

දේවාලය සොර බියකට ලක් වී යයි සැකයෙන් අවලාද පොල් ගසන්නට රැස්වූ රාජකාරි ඇත්තන් හා ගමේ ඇත්තන්ගෙන් කොටසකි. 2010 මාර්තු 30

ඕන්න එහෙනං අහගන්න. අරංගුවේ තමයි පෙරහර කාලෙට කන්දස්සාමින් වහන්සේගෙ සේවක දෙවිවරුන් වැඩවාසය කරන්නේ. පෙරහර කාලෙට කතරගම දෙවියන්ගේ ආබරණ  වීදියට වඩම්මනව. ඒ හින්දම උන්නාන්සෙගෙ ආරක්ෂක සෙනෙවි වරුන්ට වැඩ ඉන්න විමාන හදන්න  ඕනි.  ඒ හින්දයි අරංගුව කියන මේ විමානෙ හදන්නෙ.∗∗∗

අරංගුවට ඔය දිගට හිටවන කණු, ඒව බැඳෙන හන්දියක් ගානෙ දේව සෙනෙවි වරුයි ඒ අයගේ යටතේ ඉන්න සේනාවලුයි ඉන්න බව තමයි අපේ ආතමුත්තලගෙන් අහල තියෙන්නෙ. ඔය කණු මුදුනේ දැං බඳින්නෙ බෞද්ධ කොඩි විතරක් උනාට පුරාණෙ ඒ ඒ දෙවියන් වෙනුවං වෙනම කොඩි බැඳල තියනව. රාවණා කොඩියත් එක්ක ඒ කොඩිත්  ඔය එක කාලෙකදි නැතිවුනා කියල පුරාණෙ ඇත්තො කියල තියනව.

කඩවර, සූනියම් වගේ දෙවි වරු තමයි කන්දස්සවාමීන් වහන්සෙගෙ දේව සෙනෙවි වරු. ඉනුත් සූනියම් කියන්නෙ බලවත්ම කෙනා. උන්නාන්සෙ කන්දස්වාමින් වහන්සෙගෙ දේවාලයයි, දේවාලගමයි අරාස්සා කරගෙන නිතරම වැඩඉන්න ගම්බාර දෙවි කෙනෙක්.  අනෙක් අය මේ දෙයියන් යටතේ ඉන්න අවසේස සේනාව කියන්න පුළුවන් කන්දස්වාමීන් වහන්සේ බැහැර වඩින කොට ඔය පෙරහරට හදන අරංගුවෙ විතරක් නෙවෙයි,  මුළු දේවාලෙටමත් පෙරහරටත්  අරක් ගන්නෙ මේ දෙවිවරු. මේ අය බොහොම සැරයි. මහත්තයට මතක ද 1979 විතර එක පෙරහරක වුන දෙයක් ?. තමන් බස්නායක නිලමෙගේ ඩැයිවර්ය කිය කියා බීගත්තු මිනිහෙක් එපා කියද්දි පෙරහර එන මග හරහට පැනපු පාර වෙච්ච දේ. පොලීසියෙන් හොඳටම ගුටිත් කාල පස්සෙන්ද බස්නායක් නිලමෙගෙනුත් හොඳටම බැනුං අැහැව්වා. පෙරහරට පස්සේ අපිත් ගිහින් බන්ඩහමුදරුවන්ට කිව්ව ඒ මිනිහට සමාව දෙන්න කියල. ඒත් මිනිහගෙ රස්සාවත් නැති වුනා කියනව නේ.∗∗∗∗ 

අවපක්ෂෙට වගේම කෙම්මුර නැති දිනවලට අරංගුවෙ විතරක් නෙමෙයි හැම තැනකම අරක් ගන්නෙ මේ දේව සේනාව හින්ද කාටවත් සෙල්ලං කරන්න හමුබවෙන්නේවත් සමාව ලැබෙන්නේවත් නෑ. හොඳටම සැරයි. ඒ හින්ද මිනිස්සු තමන්ගෙ අවනඩුවක්  කියාහිටින්න තෝරගන්නෙ මේවගේ දවස්. 

අවලාද පඬුරු දාන එක, හඳගලේ ගොමගාල පොල්ගහන එක, වගේ දේවල් තමයි ඒ දිනවල කෙරෙන්නෙ. ඒ කාලෙට මේ අය  කඩවර යක්ෂයා, සූනියම් යක්ෂයා විදිහට වෙස් ගන්ව.  කාට හරි වෙනත් කෙනෙකුගෙන් අබග්ගයක් හිතාමතාම කරපු පාඩුවක් හතුරු කමක් වගේ අවනඩුවකදි මිනිස්සු අවලාද කරන්නේ මේ දවස්වල.

ඒකියන්නෙ අඟහරුවාද සිකුරාදා වගේ දවස්. මේ පෙරහර බහින අඟහරුවාදත් බලන්නකො.  හඳගල ගාව මේ වගේ හතුරුකං හින්ද දුකට පත්වෙච්ච මිනිස්සු රැස්වෙලා ඉන්නෙ අවලාද පඬුරු දාන්න. ඒ වෙලාවට තමන්ගේ අවනඩුව ගැන හිතින් හිතාගන පළුදු කරපු කාසි   නීල පන්දමට දාන්නෙ ඔය අරංගුව යටදි. කන්දස්වාමී දෙවියන් වහන්සේගේ ආභරණ රථයට වැඩම කරගෙන හඳගල ගාවට අපි අඩිය තියනවත් එක්කම නීල පන්දම වට කරගෙන පඬුරු දාන හැටි අවලාද පොල් ගහන හැටි දකින්න පුළුවන්. එහෙම කරන්නේ අරංගුවේ දේව සෙනෙවි වරු ඉන්න බව ඒ ඇත්තො දන්න හින්දයි. එහෙම කරපුවාම සතුරු කමක් පාඩුවක් කරපු අයට ඉන්තේරුවෙන්ම පලවිපාක  දෙනව.

අවලාද කරන වගේ දෙවල් කෙම්මුර දවස්වල කරල හරියන්නෙ නෑ. කෙම්මුර දවස්වල අරක්ගන්නෙ කන්දස්ස්වාමීන් වහන්සෙ නැත්තං කතරගම දෙවියො. උන්නාන්සෙ බුද්ධ සාසනේ ආරස්සා කරන්න ඉන්න මහේසාක්ය දෙවිකෙනෙක්.  ඕන කෙනෙකුගේ යහපත වෙනුවෙන් යහපත් විදිහට පිහිට වෙනව. වරදකදී සමාව දෙනව. ලෙඩදුක් අසනීප සුව කරදෙන එක. සම්පත් පහළ කරල දෙන එක.

ඒ දවස්වල අර සේවක දෙවිවරුත් ඉන්නව තමයි. හැබැයි එහෙම ඉන්නෙ යස්ස වෙස් අරගෙන නෙමෙයි. දෙවියො හැටියටමයි. ඒ හින්ද නරක දේවල් කරවන්න ඒ දවස්වල බෑ.

අවපක්ෂෙටයි යක්ෂ මාසවලයි∗∗∗ ∗∗කෙම්මුර නැති දිනවලටයි මහේශාඛ්‍ය දෙවියො දේව සමාගමට වඩිනව. එතකොට දේවාල මාලිගාව බලා කියාගන්නෙ මේ වගේ තමන් යටතෙ ඉන්න දෙවි ගොල්ල. ඒ කාලටෙ යක්ෂ වෙස් අරගෙන සැර වෙන්නෙත් ඒ හින්දමයි. කතරගම දෙවිහාමුදුරුවො වඩින්නෙ කෙම්මුර දිනවල ඒ වෙලාවට මේ අයත් නරපනුවන්ට කරුණාවන්ත වෙනව.

සිංහල බෞද්ධයන් අතර දෙවිවරුන් වර්ග කිරීම

දෙවිවරු තිස්තුන් කෝටියක් ඇත. ඒ නිසා වර්ග කිරීමක් ද පහසු නැත. එක් ආකාරයක් අනුව  මහේශාක්‍ය අල්පේශාක්‍ය වශයෙන් දෙවර්ගයකි.. යහපත පමණක් කරවා ගත හැකි දෙවිවරුන් හා අයහපත ද කරවා ගතහැකි දෙවිවරුන් ලෙස ද වර්ග දෙකක් සේ දැක්විය හැකිය. මීට අමතරව තවත් කීපාකරයකින්ද වර්ග කළ හැකියි. මේ ලේඛනයට අවශ්‍ය වන වර්ග දෙක පමණක් ප්‍රයෝජනයට  ගෙන ඇති බව සලකන්න. මහේශාක්‍ය දෙවිවරුන් බොහෝ විටම යහපත පමණක් සලසන්නෝ වෙති. ඔවුහු බෞද්ධ දෙවිවරුන් සේම දේවාලයේ ඇතැම් යාදිනිවලදී කියවෙන පරිදි “මතුබුදුවන කතරගම දෙවියෝ” ලෙස ද හැඳින්වෙමින් බෝධීසත්ව ගණයට ද ඇතුළු කරනු දක්නට හැකිය.¹

 අරංගුව ගැන  පවසන විස්තරය අනුව කතරගම දෙවියන් යනු රජෙකි. එහි අරක් ගන්නා සෙසු අය අල්පේශාක්‍ය දෙවිවරු වෙති. ඒ අය  මහ දෙවියන් යටතේ  සිටින සේනාව සහ නිලධාරීන් හා ආරක්ෂක හේවායෝ වෙති. මහශාක්‍ය දෙවියන් නොමැති තැනදී මේ අය හැසිරෙන්නේ යක්ෂ වෙස් ගනිමිනි. එවන් අවස්ථාවල සූනියම් යක්ෂයා කඩවර යක්ෂයා ලෙසද  ව්‍යවහාර වේ. ඔවුහු දොල පිදේනි දුන් බැතිමතුන් වෙනුවෙන් වෙනත් අයට (බැතිමතුන්ගේ සතුරන්ට) දඬුවම්  කරති. එවැනි අයවළුන් සතියකින්  හෝ මාස තුනකින් පිස්සු වට්ටති. නැතහොත් ඔවුන්ගේ අතපය කඩාදමති.  ඇතැම් විට මරා දමති.  “හැඳිගෑවිලා ගොම ගෑවිලා යන්න හඳ ගලේ ගොම ගාලා පොල්ගහනවා”  කේන්ති ගිය ගැමියන්ගෙන් ඇතැම්විට අසන්නට හැකි  ව්‍යවහාරයකි.  මේ රාජකාරි ඇත්තන් පවසන දේව අනුහස්ය. මේ අනුව යහපත පමණක් උදාකරන  දෙවිවරු නරක වැඩකරවාගත හැකි දෙවිවරු වශයෙන්ද වර්ග කළ හැකිය.

  සූනියම් ලෙස පැවසෙන්නේ බොහෝ විට  අල්පේශාක්‍ය දෙවි කෙනෙකි. එහෙත් කඩවර දෙවිවරුන් ගණනාවකි. ඔවුහු පස්කඩවර, සත් කඩවර, පන්තිස් කඩවර වශයෙන් විස්තර වේ. එහෙත් ඒ තිස්පස් දෙනාගේ නම් සෙවීම පහසු  නැත².  මේ අය කවුරුන්ද යන්න හැඳින්වීමේ දී රාජකාරි ඇත්තන් මතකයේ ඇත්තේ ද ස්වල්ප දෙනෙකි. රත්නකඩවර මල්කඩවර ගිනියම් කඩවර…….. ඔය විදිහට පන්තිස් කඩවරක්ම ඉන්නවා යනුවෙන් කතාව නවතා දමති. දෙවිවරුන් ගැන පවසන විස්තර මෙතනින් සීමා කර පසු ලිපි වෙත භාරකන්නට අවසර දෙන්න

අරංගුව විග්‍රහකරමින් පවසන විස්තර පුරාණයේ පමණක් නොව වර්තමානයේත් ලොව පුරා පාලකයන් හා පාලිතයන් අතර පවතින සම්බන්ධතා විස්තර කරන්නාක් බඳුය.  මෙහි අඩංගු කතා පුවත් පුරාණ රාජ්‍ය පාලන සමයේ සිටි රජුත් ඔහු යටතේ සිටි නිලමේවරුනුත් හැසිරෙන ආකාරය ගැන සිතමින් නිර්මාණය කළ  ප්‍රබන්ධයක් වගේ නේද? වර්තමාන පාලන ආයතන පමණක් නොව හා පරිපාලන රටාවේ ලොකු කුඩා ආයතනයන්හිත්   මේ ලක්ෂණ දක්නට හැකි දැයි සොයා බැලීම  විනෝද ජනක කටයුත්තක් වෙයි. ප්‍රධානියා නැති තැන ඔහු යටතේ සිටින ඇත්තන් සේවාලාභින් හමුවේ නැති බලයක් පෙන්වති. යක්ෂය වෙස් ගෙන අහිංසකයන් පෙළන, දොල පිදේනි ගන්න  අවස්ථාවලට නිදසුන් දැක්විය යුතු නැත.

එතරවාකෝරළයේ අරංගුව බැඳෙන තවත් ස්ථාන

සොරගුණය මෙන්ම අම්මඩුව දේවාලයේත් පෙරහර දිනවල  අරංගුව බැඳීම පුරාණයේ සිටම පැවත එන සිරිතක් බව පෙනී යනවා. රත්නපුරයේ මහපෙරහරට බැඳෙන තොරණට අරංගුව යන ව්‍යහාරය වර්තමානයේ දක්නට නොලැබේ. එමෙන්ම  ලංකාවේ බොහෝ උත්සව වලදී තොරණ බැඳීම සාමාන්‍ය දෙයක් වුවත් ඒවාට අරංගුව යන නම භාවිත වන්නේ නැහැ.  නූතනයන් විසින් උග්ගල් අලුත්නුවර ඇතැම් පෙරහරක වෙනත් ස්ථානයන්හි තොරණ බැඳීමක් සිදුවුවත් ඊට අරංගුව යන වදන භාවිත වූයේ ද නැත. ඒ නිසා අරංගුව නමින් කරන සැරසිල්ලේ ඉහත කියවෙන පරිදි  සැඟවුන අරුතක් පවතින බව පෙනේ. මෙවර පෙරහරට පැමිණි අම්මඩුව දේවාලයේ ගරු බස්නායක නිලමේතුමා, උදය ඇමටියගොඩ බණ්ඩාර නිලමේතුමාත් අරංගුව ගැන සාකච්ඡා කරන්නට වුනා. එතුමා පවසන්නේ අම්මඩුව දේවාලයේ දේවාල බිමට  විවිධ දිසාවලින් ඇති සෑම සෑම වාහල්කඩකම අරංගුවක් බැඳීම සිරිතක්ව පවතින බවයි.  ඒ අනුව වර්තමානයේ උග්ගල් අලුත්නුවර දේවාල පිවිිසුමට පමණක් සීමා වී ඇතත් පුරාණයේ  පරිශ්‍රයට පිවිසෙන  සතර වාහල්කඩ ම එසේ අරංගුව බැඳෙන්නට ඇති බව  සිතිය හැකිය.

විශේෂ වදන් හා ව්‍යවහාර

  • දන්න කෙනෙක්:- මෙහිදී අදහස් කරන ලද්දේ මේ දේවාල සම්ප්‍රදාය ගැන අවබෝධය ඇති කෙනෙක් යන්නය
  • චාලිත්තරයක්  :- දෙවියන් උදෙසා ඉටු කෙරෙන චාරිත්‍රයක්
  • තේවාවක් : දෙවියන් වෙනුවෙන් කෙරෙන සේවයක්
  • විමානයක්: දෙවියන් උදෙසා සකස් කරන හෝ ඉබේම සකස්වන මාලිගයක් හෝ නිවහනක් මෙහිදී කොහොඹ ගසද විමානයක් සේ ව්‍යවහාර වේ.
  • අරක්ගැනීම :- රැඳී සිටිමින් වාසය කිරීම දේව මාලිගය කතරගම දෙවියන්ගේ නිත්‍ය වාසයක් වුවද එතුමා එහි රැඳෙන්නේ කෙම්මුර දින හා පුරපක්ෂයේත් දේව හා බුද්ධ මාසවලත් බවක් පවසති. මෙහි බුද්ධමාස දේව මාස හා යක්ෂමාස ලෙස කියවෙන විස්තර සඳහා මේ ලිපිය බලන්න
  • අවපක්ෂෙ :- පසලොස්වක පසුවයන දින පහලවක කාලය
  • කෙම්මුර නොවන දින:- අඟහරුවාදා,සිකුරාදා, ඉරිදා දිනයන්

තොරතුරු ගත් මූලාශ්‍ර හා වැඩිදුර කියවීම පිණිස යෝජනා

  1. සිංහල දේව පුරාණය – කේ.එන්.ඕ. ධර්මදාස හා එච්.එම්.එස් තුන්දෙනිය විද්වතුන්ගේ කෘතිය
  2. සිංහල දේව පුරාණය – කේ.එන්.ඕ. ධර්මදාස හා එච්.එම්.එස් තුන්දෙනිය විද්වතුන්ගේ කෘතිය
  3. සිංහල ජන ඇදහිලි විශ්වාස හා අධිමානුෂික … දිවයින පුවත්පතට ලියන ආචාර්ය කනංගමුවේ රාහුල හිමිපාණන් වහන්සේ ගේ ලිපිය

————————————————————–

1993 දෙවේලේ පෙරහර නිම කළ රාත්‍රි යාමයේ භාරතරත්න කපුමහතා, හොරණෑ ශිල්පී සරනේරිස් මහතා සහ අත්තනායක මොහොට්ටාල නිලමේ  කුලසේකර බණ්ඩාර මහතා ඇතුළු රාජකාරි ඇත්තන් රාශියකගෙන් අසන්නට ලැබුණ විස්තරයකි. – දේවලයේ පෙරසිරිත අනුව විවිධ තේවාවන් පවතින හෙයින් දෙවේලේ පෙරහර අවසන් දින රාත්‍රී රාජකාරි ඇත්තන් සියල්ලන්ම දේවාලයේ රැස්ව සිටිති. මෙහිදී බොහොවිට උදාවන විවේකයේ දී ඔවුහු අල්ලාප සල්ලාපයේ යෙදෙති.  එවැනි අවස්ථාවන්  සහභාගී නිරීක්ෂණක යෙදෙන අයට පෙරසිරිත ගැන අසන්නට කදිම ඉඩපහසුවක් ලබා දෙනවා.

∗∗ .පසුගිය ලිපියේ සුමංගල ශබ්ද කෝෂයේ අරඟු යන වදනට දෙන තේරුම අනුව යමින් අරංගුව යනු පෙරහර වෙනුවෙන් කරනු ලබන සැරසිලි විශේෂයක් විය හැකි බව අනුමාන කළ හැකි බව පැවසුව ද ගමේ සාම්ප්‍රදායික විශ්වාසයන් හා ඇදහීම අනුව අරංගුව යනු ඉන් ඔබ්බට විහිදෙන තේරුමක් පවතින වදනක් බව මේ විස්තරය පෙන්වා දෙයි.

∗ ∗∗ . මේ කොටස උපුටා ගෙන ඇත්තේ මේ ලිපියෙනි. “………..මෙවැනි දිනයන්හි (කෙම්මුර හාපෝය නොවන දිනයන්)සතුරන්ටත් මෛත්‍රිය දැක්විය යුතු බවට ඇති බෞද්ධ පිළිවෙත සමහරකුට අමතකවනවා වැනිය.   කතරගම දෙවියන් නම් වූ මහේශාක්‍ය දෙවියන් මේ දිනවල දේවාලයට “දිවස්ලන්නේ” නැති බවට විශ්වාසයක් කලින්ද කී පරිදි වෙයි.   දේව සෙනෙවි වරුන් හෝ දේව සේවකයන්ට විමානය භාර දී  ”කතරගම දෙවියන් දේව සමාගමට” සහභාගීවීමට වඩින දින සේ මතයක් මේ ඇත්තන් අතර වෙයි. බැතිමතුන්ගේ විශ්වාසය පරිදි සූනියම් කඩවර වැනි අර්ධ යක්ෂ ස්වරූපය ගත් අය ඒ දිනවල දේවාලයට අරක්ගෙන සිටිති.   එවැනි  දින වල තමන්ට සිදුවූ අලාභ හානි, සොර සතුරු උවදුරු ආදිය වෙනුවෙන් වැරදි කරුවන්ට දඩුවම් දෙන ලෙස ඉල්ලා පළිගසමින් කන්නලවු කිරීමට යොදාගැනීම සිරිත වෙයි.   ඒ සදහා පූජාවන් තබනුයේ දේවාල  ගොඩ නැගිලි වලට නිරිත දෙසින් මළුව තුළ පිහිටි කොහොඹ ගස අසලය. ඒ වෙනුවෙන් කන්නලව් කිරීම පිණිස වෙනම යාතිකා කරුවකු ලෙස “කට්ටඩි මහතා” නමින් අමතන දේවාලයේ හොරනෑ ශිල්පියා  සිටිනු දැකිය හැකි ය. ගලේ ගොම ගෑම හා දෙස් දෙවොල් තබමින් දෙවියන්ට කියා හිටින අය ද මෙවැනි දිනවල වෙති. මහ පෙරහර පවත්වන ඉහත කී කෙම්මුර නොවන දිනයන්හි පළුදු කරන ලද කාසි “නීල පන්දමට”(නිළ පන්දම) දැමීම මෙවැනි අවලාද චාරිත්‍ර අතර ප්‍රධාන එකකි. එමෙන්ම දෙවියන් වැඩමවන අවස්ථාවේ “හදගලට” ලගාවෙද්දී ඒ ඉදිරිපස පොල් ගැසීම ඉතා බලවත් දෙස් දෙවොල් තැබීමක් සේ ද සැලකේ. එවැනි දිනවල එම පොල් කැබලි මිනිසුන්ගේ කෑමට නොගැනේ. ඒවා අවලාද පොල් ලෙස නම් කෙරේ. අවලාද  පොල් කන්ඩ හොද නෑ නාකයිමේ මතය නිසා පෙරහරට ගෙන එන අලි ඇත්නට  හෝ ඒවා කන්නට නොදීම සිරිත වෙයි…………….”

∗ ∗ ∗ ∗ 1986 හෝ 87 මහපෙරහර අවදියක දී කිසියම් තැනැත්තු රාජකාරි ඇත්තන්ගේ විරෝධතා මැද්දෙම වහසිබස් කියමින් පෙරහර හර මග හරස්කර  අවිනීත ලෙස හැසිරීම නිසා පොලීසිය මැදිහත් විය. බස්නායක නිලමේ තුමාට වාර්තා වීමෙන් අනතුරුව ඒ තමාගේ කවුරුන් වුවද  පොලීසියේ රජකාරිය සම්බන්ධව ප්‍රශංසාකළ බවත් ප්‍රකට වූ පුවතක් විය. මේ අවදියේ බස්නායක නිලමේ ධුරය දරන ලද්දේ එවකට  සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයාව සිටි පැල්මඩුල්ල ගරු පාර්ලිමේනතු මන්ත්‍රී චන්ද්‍රගන්නකන්ද නිලමේතුමා ය.

∗ ∗ ∗ ∗ ∗ බිනර, වප්,ඉල් හා උඳුවප් යනු යක්ෂයන් අරක්ගත් මාස සේ දැනමුත්තෝ විස්තර කරති.

“අරංගුව” ගැන අහලා තියනවද ?

ඇසළ පෙරහර දිනවල ඉදිවන සාම්ප්‍රදායික තොරණ 1

 උග්ගල් අලුත්නුවර  ඇසළ පෙරහර සමයේ  ඉදි කෙරෙන තොරණ ට රාජකාරි ඇත්තන් (ගමේ පැරැන්නන්) ව්‍යවහාර කරන්නේ  “අරංගුව” කියන නම. මේ වචනයේ තේරුම  සුමංගල ශබ්දකෝෂයේ බැලුව. එහෙත් එවැනි වදනක් සොයන්නට නැහැ. සුමංගල ශබ්ද කෝෂයේ සෙවූ විට හමුවන  අරඟු යන වචනය(දඹදෙනි සමය) කාලයක් යද්දී අරංගුව ලෙස ව්‍යහාරයට ආවා වියහැකියි.  අරඟු යන වදනින් පැහැදිලි කරන්නේ  සැරසිලි විශේෂයක් බව ශබ්දකෝෂයේ සටහන් වෙනවා.  ඒ අනුව එයට   තොරණ යන වදන භාවිත කිරීම ද වැරදිම නෑ.

Untitledyzදේවාලයේ හඳගල මැදිවන අන්දමින් ඉදි වන මේ අරංගුව එක්පැත්තක කොටු තුනක් බැගින් දෙපසින් කොටු හයක් බැඳේ. එ්  මුදුනේ  කොටු හයක පේලියක් රඳවා  එ් මත තවත් කොටු තුනක්ද ඊට ඉහළින් කොටු දෙකක් ද ඒ කොටු දෙක විසින් දරා සිටින ත්‍රිකෝණාකාර ඇටවුමක්ද සිටින ලෙස නිර්මාණය කිරීම පුරාණයේ සිටම අනුගමනය කළ සිරිත් සම්ප්‍රදායයක් බව පෙනී යනවා.  ඒ සමගම අරංගු කණු මුදුනේ කොඩි සවි වන බැවින් ඒවා කොඩි කණු බවටද පත්ව ඇති බව පෙනී යනවා. මේ සැලැස්ම පුරාණයේ සිටම සම්මතව ඇති බව පැරැන්නන් කරන විස්තර අනුව සිතිය හැකියි. පුරාණයේ අරංගව හැදීමට භාවිත වූයේ කැන්ද ලී  වුවත් වර්තමානයේ ඒවා සෙවීම අපහසු නිසා දෝ පුවක් කණු භාවිත කරන බව පෙනී යනවා.  අම්මඩුව දේවාල පෙරහර නැරඹීමට යන්නකුට දේවාල පරිශ්‍රයට පිවිසෙන සෑම වාහල්කඩකම අරංගු ඉදි කෙරෙන බව දැකිය හැකියි.¹ උග්ගල් අලුත්නුවර පැරැන්නන් පවසන්නේ ද පෙරහර අවදියේ දේවාල බිමට පිවිසෙන සෑම සෑම වාහල් කඩකම අරංගුව බැඳීම වැදගත් බවත් පුරාණයේ එම සිරිත පැවති බවත්ය.

උත්සව අලංකාරය අරමුණු කරගනිමින්  ආවාට ගියාට ඉදිකෙරෙන තොරණකට වඩා අරංගුව බැඳීම ද එක්තරා දේව තේවාවක් බව සම්ප්‍රදායීක විස්තර අධ්‍යයනයකදී පැහැදිලි වෙයි.අරංගුව සැදීමෙදී සැලැස්මේ අන්තර්ගත  කොටු ප්‍රමාණය, සැරසිලි කිරීම, සැරසිලි සදහා යොදාගන්නා ද්‍රව්‍ය ආදිය සම්බන්ධ පෙරසිරිත අනුව සම්මත ද්‍රව්‍යයන් රැසකි.

එම්.පී. ටියුඩර් මහතා අඳිමින් විස්තර කළ අරංගුවේ දළ සැලැස්ම

එම්.පී. ටියුඩර් මහතා (වයස 70)අඳිමින් විස්තර කළ අරංගුවේ දළ සැලැස්ම. මේ මහතා හේවිසි වාදනයට අමතරව 1970 දශකයේ සිට 2000 දක්වා අරංගුව බදින ලද රාජකාරි ශිල්පියා විය.

කැලෑ කපමින් ඇති කෙරෙන සංවර්ධන ව්‍යාපාර නිසා හිඟය උග්‍රවන තුරුම අරංගුව ඉදිකිරීම පිණිස යොදවා ගත්තේ කැන්ද ලී පමණි. එහි මංසන්ධි ඇණ ගසා සවි නොකෙරේ. සන්ධි බැඳීම පිණිස මෑත වසරවල දීද භාවිත කරඇත්තේ වල්ලපට්ට ශාඛයේ පිට පොත්ත වන අතර වඩා ශක්තිමත් ස්ථාන බදින ලද්දේ වේවැල් වලිනි. කොටු අතර ඇති සන්ධී පොල්මල්, පුවක්මල් හා දෝතළු මලින් අලංකාර කිරීමද පෙරසිරිත අනුව සිදුවන අතර පොල්වලු රැඳවීමද සිදුවේ. කලින් කී පරිදි කණු මුදුනේ කොඩි මගින් සැරසෙයි. අම්මඩුව දේවාල අරංගු සඳහාද 2013 වසරේ පාවිච්චි කර තිබුණේ කැන්ද ලී බව නිරීක්ෂණය විය. කැන්ද ලී, දෝතළු මල්, පුවක්මල් මෙන්ම පොල්මල්ද වර්තමානයේ දුර්ලභ බැවින් අරංගුව ඉදිකිරීම සඳහා පුවක් කොට භාවිත කර හරස් සන්ධි බැදිම පිණිස කොහුලණු යොදාගත්ත ද සැරසිලි පිණිස යටකී මල්වර්ග හැර වෙනත් මල් භාවිත නොවේ.

අරංගුව ගැන අලුත්නුවර සම්ප්‍රදායික ඇත්තන්ගේ විග්‍රහය කුමක්දැයි සොයා බලා ලියන්නැයි පසුගිය පෙරහර සමයේ මෙහි පැමිණි පෙරසිරිත් සම්ප්‍රදාය පිළිබඳ වියතකු මෙන්ම ලේඛකයකු ද වන අම්මඩුව දේවාලයේ ගරුබස්නායක නිලමේ ලෙස පත්ව කටයුතු කරන  උදය ඇමටියගොඩ බණ්ඩාර නිලමේතුමාගේ ද ඉල්ලීම විය.  උග්ගල් අලුත්නුවර වයෝවෘද්ධ රාජකාරි දැනමුත්තන් හා සාකච්ඡා කළ විට ලැබෙන අපූරු විස්තර විග්‍රහයන්  හා අර්ථ දැක්වීම් ගැන මිළඟ ලිපියේ බලන්න.

විශේෂ වදන් හා සටහන්

  • හඳගල:- දේවාලයට පිවිසෙන ස්ථානයේ යොදවන ලද කැටයම් කළ ගල් තහඩුව මෙහි මෙන්ම අම්මඩුව,
    2002 ජුනි මාසයේ  ගන්නා ලද උග්ගල් අලුත්නුවර හඳගලේ සේයා සටහනකි

    2002 ජුනි මාසයේ ගන්නා ලද උග්ගල් අලුත්නුවර හඳගලේ සේයා සටහනකි. වර්තමානයේ මෙම හඳගල මත මෑතදී කැටයම් කරවන ලද සඳකඩ පහණක් තබා ඇත. එහෙත් පුරාණ හඳ ගලේ ඉදිරි කොටස තවම දිටිය හැකියි

    බොල්තුඹය සොරගුණය යන දේවාලයන්හිද ව්‍යවහාර වන්නේ හඳගල නමිනි. පුරාණ විහාරයන්හි  සඳකඩ පහණ යන ව්‍යවහාරය වෙනුවට දේවාලයන්හි හඳගල යන ව්‍යවහාරය තිබුණේද යන්න සෙවීම වටනේය. හොඳින් නිරීක්ෂණය කරන විට දේවාල පිවිසුම ඉිදිරියේ ඇත්තේ රවුම් ගලක් මිස අඩසඳක් නොවන බව පැහැදිලි වේ. ඇතැමකු එය සඳකඩ පහණ යැයි ව්‍යවහාර කිරීම නිවැරදිද යන්න නැවත සිතා බැලිය යුතු සේය.

 

—————————————————

1. 2013 අම්මඩුව දේවාල මහපෙරහර උත්සවය

මහ පෙරහර මහ දහවලේ උග්ගල් අලුත්නුවර

මහ පෙරහර  දහවලේ දුටු පරිසරය 2

මීට පළමු සටහන සමගම උඩුගැන්විය යුතු සටහන පමා වුනාට  සියලු දෙනාගේම සමාව ලැබේ යයි සිතනවා. කොහොමවත්  වලක්වා ගත නොහැකි හේතුවක් නිසා සේරම බ්ලොග් ලිපි යමින් එමින් සිටියදී ඇහැ ගැටුනා විතරයි. මේ තියෙන්නෙ ඉතිරි කොටස  2014 .10. 08 මහ දහවලේ ගත් සේයා සහ විස්තර

මේ මොකද ඇස් පියාගෙන, කන් සොලවන්නෙත් නෑ ? නින්ද ගිහින්. ඇත්පාලකවරයා කියා දුන්නේ එහෙමයි.   “අලි රාලහාමිට නින්ද ගිහින්“ කුමරණතුංග ශූරීන් ලිව්වනම් එහෙම ලියාවි.

මේ මොකද ඇස් පියාගෙන, කන් සොලවන්නෙත් නෑ ? නින්ද ගිහින්. ඇත්පාලකවරයා කියා දුන්නේ එහෙමයි. “අලි රාලහාමිට නින්ද ගිහින්“ කුමරණතුංග ශූරීන් ලිව්වනම් එහෙම ලියාවි.

“අලියන්ට ළමයින්ට නලියන්ටමයි හිත“ කාට නින්ද ගියත් මට නින්ද යන්නෙ නෑ. මෙයා තමයි පෙරහරෙ යනගමන් ආපහු හැරිල sugv ඇඟටම ආව කෙනා ?

“අලියන්ට ළමයින්ට නලියන්ටමයි හිත“ කාට නින්ද ගියත් මට නින්ද යන්නෙ නෑ. මෙයා තමයි පෙරහරෙ යනගමන් ආපහු හැරිල sugv ඇඟටම ආව කෙනා ?

දේවාලය ඉදිරිපසින් තිබූ  පිවිසුම් මාවත “පුරාණ රජමාවත“ යයි පැවසෙන පාරේ දොලපාරට ඉහළින් ලී පාලමක් තිබිණි. දැනට ඒ පාලම ඇත්තේ අඩි 18 ක් පමණ වෙල්යාය යටින්. පතල්කැනීමකදී හමුවූ මෙවැනි පාලම් ගේඩර හයකින් දෙකක් ගොඩට ගත්තේ 1980 දි තරම. එකක් පහළ තිබී දිරා ගියා අනෙක දිරායාම වැලැක්වීම පිණිස යකඩ වළලු යොදවා දේවාලයේ බටහිර දෙසින් ඇති පීල මතට ගෙන එන්නට පියවර ගැනුනේ සුනිල් වීරසේකර බස්නායක නිලමේතුමාගේ අවදියේ බව පැවසෙනවා. මේ දැව කඳ අඩි 40 ක් තරම් දිගයි. මේ ගස කෙසේ තිබෙන්න ඇද්ද ?

දේවාලය ඉදිරිපසින් තිබූ පිවිසුම් මාවත “පුරාණ රජමාවත“ යයි පැවසෙන පාරේ දොලපාරට ඉහළින් ලී පාලමක් තිබිණි. දැනට ඒ පාලම ඇත්තේ අඩි 18 ක් පමණ වෙල්යාය යටින්. පතල්කැනීමකදී හමුවූ මෙවැනි පාලම් ගේඩර හයකින් දෙකක් ගොඩට ගත්තේ 1980 දි තරම. එකක් පහළ තිබී දිරා ගියා අනෙක දිරායාම වැලැක්වීම පිණිස යකඩ වළලු යොදවා දේවාලයේ බටහිර දෙසින් ඇති පීල මතට ගෙන එන්නට පියවර ගැනුනේ සුනිල් වීරසේකර බස්නායක නිලමේතුමාගේ අවදියේ බව පැවසෙනවා. මේ දැව කඳ අඩි 40 ක් තරම් දිගයි. මේ ගස කෙසේ තිබෙන්න ඇද්ද ?

කඩවර කෝවිල

මේ තියෙන්නෙ කඩවර කෝවිල. දේවාලයේ ඉදිරි පසින් ගිණිකොණ දෙසින් ඇති කොහොඹ ගහ කඩවර සූනියන් වැනි අය වාසය කරන තැනක් බව විශ්වාස කෙරෙනවා. ඇයි මෙතන පාළුට ගිහින් ? “අද පෝය ! ඒ මදිවාට බ්‍රහස්පතින්දා දිනයක් !! හෙට තමයි ඔතෙන්ට මිනිස්සු එන්නෙ“ ඒ ඇයි ? “ඔතෙන්ට නේ අවලාද පූජා තියන්නෙ,කියන්නෙ. අද කාටවත් නපුරක් හිතන්න හොඳ නෑ. පව්.“ මේ ජනප්‍රිය ගැමි බුද්ධාගමේ තවත් විදිහක්ද?

“දිග්ගෙයි දොරකඩ මල්වැඩ දාලා සියලු සතුන්ගේ රුව ඇඳලා.............“ මේ පුරාන කවියා දුට් දිග්ගෙයි දොරටුව. වෙලාව  දහවල්11.00 පහුවෙලා මෙතනින් ඇතුළුන බැතිමතුන් සමග ඔවුනට නොදැනී කැමරාවත් ගියා.

“දිග්ගෙයි දොරකඩ මල්වැඩ දාලා සියලු සතුන්ගේ රුව ඇඳලා………….“ මේ පුරාන කවියා දුට් දිග්ගෙයි දොරටුව. වෙලාව දහවල්11.00 පහුවෙලා මෙතනින් ඇතුළුන බැතිමතුන් සමග ඔවුනට නොදැනී කැමරාවත් ගියා.

බැතිමතුන් කවුරුවත් පඬුල්ලන බවක් පෙනේනෙ නෑ. ඇයි ඒ ? “දැන් මුරුතැන් බෑව නේ. මේ ඉන්නේ පාවඩේ මුරුතැන් බත් ගන්න“

බැතිමතුන් කවුරුවත් පඬුල්ලන බවක් පෙනේනෙ නෑ. ඇයි ඒ ? “දැන් මුරුතැන් බෑව නේ. මේ ඉන්නේ පාවඩේ මුරුතැන් බත් ගන්න“

මුරුතැන්බත් මුළුතැන්ගෙයිනුත් ලැබෙනවා.

මුරුතැන්බත් මුළුතැන්ගෙයිනුත් ලැබෙනවා.

මුරුතැන්බත් ගන්න මහ සෙනගක් මුළුතැන්ගේ ළඟ

මුරුතැන්බත් ගන්න මහ සෙනගක් මුළුතැන්ගේ ළඟ රැස්වෙලා.! පිරිසිදුව පේවෙලා එන කාටවුනත් රසයි !! ගුණයි !!! අසනීප වි සිටි අයටත් දරුවන්ට වුනත් බෙහොම ආශීර්වාදයක්.යි මේ ඇත්තන් කාගේත් විශ්වාසය.

මහ පෙරහර දවසක් නේ. ඒ හින්ද අද තියෙන්නෙ පැනිමුරුතැන්බත් ! හේවිසි වාදන ශිල්පී ටියුඩර් මහතා “අසනීප කාරයකුට“ මුරුතැන් බත් ගෙන දෙමින් උදව්වෙයි.

අද මහ පෙරහර දවසක් නේ. ඒ හින්ද අද තියෙන්නෙ පැනිමුරුතැන්බත් ! හේවිසි වාදන ශිල්පී ටියුඩර් මහතා “අසනීප කාරයකුට“ මුරුතැන් බත් ගෙන දෙමින් උදව්වෙයි.

2014 උග්ගල් අලුත්නුවර මහ පෙරහර වප්පුර පසලොස්වක දිනය

මහ පෙරහර  දහවලේ දුටු පරිසරය 1

මේ උදේකාලයේ  පෙරහර පරිසරය දිස්වුනේ මෙහෙමයි.  අද (ඔක්තෝබර් 8) මහපෙරහර සිව්වන දිනය මිනිස්සු නිදිවැරූ නිසා දෝ වැඩි දෙනෙක් පේන්න හිටියේ නැහැ.

 

පිවිසෙන පඩිපෙළ ඉදිරියේ “හඳගල“ මැදිවනසේ ඉදි කර තියෙන තොරණට තකියන්නෙ “අරංගුව“ කියල. අරංගුව බෞද්ධ කොඩි හැරුනාම පොල්වලු එල්ලා වේවැල් හා ගොක්කොළ සැරසිලි තිබෙනවා මීට අමතරව යම් මල් විශේෂයක් ද තැනින් තැන තිබෙනවා. මේවට කියන්නෙ  “දෝතළු මල්“

පිවිසෙන පඩිපෙළ ඉදිරියේ “හඳගල“ මැදිවනසේ ඉදි කර තියෙන තොරණට තකියන්නෙ “අරංගුව“ කියල. අරංගුව බෞද්ධ කොඩි හැරුනාම පොල්වලු එල්ලා පොල් මල් සමග වේවැල් හා ගොක්කොළ සැරසිලි තිබෙනවා මීට අමතරව යම් මල් විශේෂයක් ද තැනින් තැන තිබෙනවා. මේවට කියන්නෙ “දෝතළු මල්“

 

මේවා ගෙන එන්නෙ එගොඩවලබඩ “අලංකාරපංගුවෙ“ ඇත්තන් විසින්. දැන් බොහොම හිඟයි ලු. සිරීපාද හිමේ කිට්ටුවට යන්න ඕනලු කපා ගන්න. 1998 විතර අරංගුව වගේම රථයේ කණු පවා දොතළු මලින් සැරසී තිබුණා. ඒත් දැන් බොහොම හිඟයි.

මේවා ගෙන එන්නෙ එගොඩවලබඩ “අලංකාරපංගුවෙ“ ඇත්තන් විසින්. දැන් බොහොම හිඟයි ලු. සිරීපාද හිමේ කිට්ටුවට යන්න ඕනලු කපා ගන්න. 1998 විතර අරංගුව වගේම රථයේ කණු පවා දොතළු මලින් සැරසී තිබුණා. ඒත් දැන් බොහොම හිඟයි.

 

මේ රථය සෑදුවාය කියන්නෙ සිඩ්නි එල්ලාවල යුගයෙ. පරණ එක දිරාපත්ව තිබුණ නිසාලු. පෙරසිරිතේ හැටියට රථයේ මුදුන සරසා කොත පළඳවන්නෙ මීත්‍රී ගෙ පංග්වෙන්. වටේ සුදු රෙදි ඇද සරසන්නෙ සුද්දහළු පංගුවෙන් ආචාරිපංගුවෙන් තමයි රථයේ සුළු අලුත්වැඩියාවක් අවශ්‍යනම් කරන්නෙ. රථය ඇදගෙන යන්නෙත් ආචාරිපංගුවෙන්. මේ විදිහට රථයේ කටයුතු රාජකාරි පංගු කීපයකින්ම ඉටුවෙනවා.

මේ රථය සෑදුවාය කියන්නෙ සිඩ්නි එල්ලාවල යුගයෙ. පරණ එක දිරාපත්ව තිබුණ නිසාලු. පෙරසිරිතේ හැටියට රථයේ මුදුන සරසා කොත පළඳවන්නෙ මීත්‍රී ගෙ පංග්වෙන්. වටේ සුදු රෙදි ඇද සරසන්නෙ සුද්දහළු පංගුවෙන් ආචාරිපංගුවෙන් තමයි රථයේ සුළු අලුත්වැඩියාවක් අවශ්‍යනම් කරන්නෙ. රථය ඇදගෙන යන්නෙත් ආචාරිපංගුවෙන්. මේ විදිහට රථයේ කටයුතු රාජකාරි පංගු කීපයකින්ම ඉටුවෙනවා.

 

පත්තිනි දේාවලය ඉදිරියේත් අරංගුවක් බැඳලා. වල්ලි දේවාලය ඉදිරියේ “අතුපන්දලම“ ඒක සෙවිලිකරල තියෙන්නෙ අඹ අතු

පත්තිනි දේාවලය ඉදිරියේත් අරංගුවක් බැඳලා. වල්ලි දේවාලය ඉදිරියේ “අතුපන්දලම“ ඒක සෙවිලිකරල තියෙන්නෙ අඹ අතු

 

ඉදිරියෙන්ම බොහොම ප්‍රෞඪ ලෙස මා දෙස බලන දළපූට්ටුවා. එහායින් ඉන්න දළ ඇතා සංහරාජා ලු. තවත් අලිඇතුන් රාශියක්ම මේ සිටින්නෙ මැදගම දේවාලය ඉදිව පැවති ඉසව්වෙ. දැන් ඊට කියන්නෙ මැදවත්ත කියලයි

ඉදිරියෙන්ම බොහොම ප්‍රෞඪ ලෙස මා දෙස බලන දළපූට්ටුවා. එහායින් ඉන්න දළ ඇතා සංහරාජා ලු. තවත් අලිඇතුන් රාශියක්ම මේ සිටින්නෙ මැදගම දේවාලය ඉදිව පැවති ඉසව්වෙ. දැන් ඊට කියන්නෙ මැදවත්ත කියලයි. අනෙක් ඇතයි තවත් අලියකුයි අතර තියෙන්නෙ මැදගම දේවාලටෙ අයත්ව තිබූ බෝධීන් වහන්සේ බව පැවසෙනව. දළපූට්ටුවාගේ වම්පසින් මැදගම දේවාලය තිබුණ කොටසේ අත්තිවාරම දැනුත් හඳුන ගන්න පුළුවන් ඉදිරියෙදි පුරාවිද්‍යා කැණිම් මගින් මේ පුවත තහවුරුවේවි

 

 

 

වල්ලි දේවාල වීදිය හා නැගෙනහිර දෙසින් දික්වීදිය

වල්ලි දේවාල වීදිය හා නැගෙනහිර දෙසින් දික්වීදිය

බෝධින් වහන්සේ හා චෛත්‍යය

බෝධින් වහන්සේ හා චෛත්‍යය මල් පහන් පුදා බැතිමත්තු විහාර ගෙය අසළ බුද්ධ පූජාවට සැරසෙති

වප්පුර පසලොස්වක මහපෙරහර උනත් අද වප්පුර පසලොස්වක දහවල් බුද්ධ පුජාවට සහභාගීවූ ගමේ බැතිමතුන් කොටසක්

වප්පුර පසලොස්වක මහපෙරහර උනත් අද වප්පුර පසලොස්වක දහවල් බුද්ධ පුජාවට සහභාගීවූ ගමේ බැතිමතුන් කොටසක්

විහාරාධිපතීන් වහන්සේ වන අතිපූජ්‍ය අළුත්නුවර ධම්මරත්න හිමිපාණන්වහන්සේ විසින් බුද්ධපූජාව මෙහෙයති

විහාරාධිපතීන් වහන්සේ වන අතිපූජ්‍ය අළුත්නුවර ධම්මරත්න හිමිපාණන්වහන්සේ විසින් බුද්ධපූජාව මෙහෙයති

මේ දවස් වල නිතර අහපු ප්‍රශ්නය

උග්ගල් අලුත්නුවර ආරම්භ  වුනේ කොහොමද ?

satterlight Pic

ගූගල් සැටලයිට් ඉමේජ් එකක් ලෙස උග්ගල් අලුත්නුවර

Picture 042

පත්තිනි දේවලය ඉිදිරිපිට සිට ගත් සේයා රුව

PIC_4503x

තරමක් ළඟින් දිස්වන සැටි

PIC_3811

පුරාණ ලේකණයේ කියවෙන උඩමළුවේ පිහිටි විහාර ගෙය දාගැබ හා බෝදීන් වහන්සේ

???????????????????

උඩමළුවේ දේවමන්දිරයේ උඩුමහල

img_0540

දිග්ගෙයට පිවිසුම් දොරටුව දෙපස මකර තොරණ

S7300678

දේවාල බිමට පිවිසෙන විටම හමුවන දසුන

to upload3xxx

ගසක් මත සිට ගත් සිද්ධස්ථාන සංකීර්ණයේ සේයා සටහනකි

මේක තමයි බොහෝ දෙනකු නිතරම වගේ sugv ට ඉදිරිපත් කරපු ගැටළුව. “උඹ ඔය අහන්නෙ සිය දහස් වතාවට වෙන්න ඇති ! මං දන් නෑ.” කුඩාකල  කිරිඅම්මා දුන් පිළිතුරක් මට නැවත සිහිවුනේ මේ ප්‍රශ්නය කිප දෙනෙක්ම නිතර විමසන්නට වුන නිසයි. sugv ටත් දෙන්න වෙලා තියෙන්නෙ “මං දන් නෑ” කියන එකද කියල හුඟක් වෙලාවට හිතුනා. ඇත්තෙන්ම කියනව නම් මාත් තවම ඉගෙන ගන්නව, සොයනව විතරයි. “තවම නිශ්චිතව හමු වුනේ නෑ ! කියන්න දන් නෑ!! කියන එක තමා දිය හැකි හොඳම පිළිතුර. මේ දවස්වල මහ පෙරහර නේ. ඒ නිසාම  පැමිණෙන බොහෝ දෙනකු මේ දවස්වල විමසන ප්‍රශ්නයක් වුනා වෙන්න ඇති.

මෙහෙම උත්තර බඳින්න වෙලා තියෙන්නේ මතවාද  තුනක්  අතර sugv පැටලී ඇති නිසයි. මේ  මතවාද තුනෙන් කොයික හරිද කියල තවම තෝරගන්න පුළුවන් වෙලා නෑ. එකක් බොහොම ජනප්‍රිය, කාලයක්ම පැවති මතයක්. රාජකීය පණ්ඩිත පූජ්‍ය කිරිඇල්ලේ ඤාණවිමල හිමිපාණන් වහන්සේ 1942 දි විතර පල කරල තියෙන්නෙත් මේ මතයමයි. දෙවන මතය ටිකිරිබණ්ඩාර සීලොගම සහ ඇත්තල පිටියේ නන්දසාර හිමිපාණන් වහන්සේ යන විද්වතුන් විසින් සංස්කරණය කරන ලද කෘතියකින් පෙනී යනවා. එය රාජකීය පණ්ඩිත නාවුල්ලේ ධම්මානන්ද හිමිපාණන් වහන්සේගේ අවසන් ලේඛනය නමැති කෘතියෙන් ගෙන එන විස්තරයක්. තුන්වන මතය වන්නේ රාජකීය පණඩිත වටද්දර හිමිපාණන් වහන්සේ ප්‍රසිද්ධ දේශනවලදී පවසන තවත් විස්තරයක්.

Image19

දේවාල මළුව මත ඇති එකම පොල්ගස පිහිටි ස්ථානයේ විශේෂත්වය

DSC00657

දේවාලය නමස්කාර කරවන පෙරහරේ ගිය ඇතෙක්

DSC00074

දියකැපීමෙන් පස් දේවාභරණ රථය දේවලය ඉිදිරි පිටට වැඩමවාගෙන එන රථය

කාලයක් පැවති නිසා හරි, එහෙම නැත්තං  වැඩි දෙනෙක් ඒකම කියන නිසා හරි ඒක තමයි සත්‍යය” කියලම හිතන්නත් බෑ නේ.   ඒ හින්ද අනෙක් මතත් විමසා බලන එක සුදුසුයි.  පැටලිල්ල ඇතිවෙන්නෙ මේ එක මතයක් වත් නිකම්ම කටට ආවාට පැවසූ හෝ පෑන අතට අරන් ආවට ගියාට  ලියා දැමූ ඒවා හෝ නොවීම නිසයි. සමහරවිට මතවාද තුනම අසත්‍ය හෝ අර්ධ සත්‍යයන්  විය හැකියි.

මේ කොයිකට උනත් කිසියම්  ආලෝකයක් වැටෙන්නෙ   පුරාවිද්‍යා ගවේශන හෝ කැණීම් වගේ දේවල් සිදු වුනාට පස්සෙයි.  ඒවා තවම ඇරඹිලා නැහැ.   මේ හින්ද  ඉතිහාසය නිවැරදිව තෝරා බේරාගන්න එක කාට වුනත් තරමක ගැටළුවක්. ඒ නිසයි  sugv  ට “තවම නිශ්චිතව හමු වුනේ නෑ ! කියන්න දන් නෑ!!”  වගේ උත්තර බඳින්න වෙලා තියෙන්නෙ.  උග්ගල් අලුත්නුවර විතරක් නෙවෙයි. ලංකාව හෝ ලෝකයේ කවර රටක වුනත් තත්ත්වෙ එහෙමයි. ඒ ඉතිහාසයේ හැටි වෙන්න ඇති.

sugv ට හමු වෙලා තියන, උග්ගල් අලුත්නුවර ආරම්භය සම්බන්ධ ප්‍රධාන මත කෙටියෙන්

1. මේ මතය අනුව උග්ගල් අලුත්නුවර ගම්මානය ඇරඹිලා දේවාලය හැදිල තියෙන්නෙ ක්‍රි.ව.1382 වසරෙ.   හැදුව බව කියන්නේ සූරිය මහරජ්ජුරුවො. ඒ කාලේ මේ ගමට  කියල තියෙන්නෙ මැදගම දේවාලෙ කියල. තවත් අතකින් බලන විට දේවාලය තිබිල තියෙන්නෙ මැදගම වනාන්තරය ඇතුළෙ, පුංචි ගොඩැල්ලක් උඩ. මේ දේවාලෙ තේවාවන් කරමින් සිටියෙ දකුණු ඉන්දියාවෙන් සංක්‍රමණය වුන බ්‍රාහ්මණ පිරිසක්. මෙහෙම කලක් ගතවුනා.  අවුුරුදු දෙසීයක් විතර ගත වුනා.

ඒ කියන්නෙ ක්‍රි.ව. 1582  වසර උදා වුනා. එතකොට  පෘතුගීසීන් මේ රටට ඇවිල්ල සෑහෙන කාලයකුත් ගිහින් තිබිච්ච කාලෙ. ඒ වාගේම 1582 කියන්නෙ පළමුවන රාජසිංහ රජුජ්රුවො පෘතුගීසි විරෝධී සටනේ තීරණාත්මක අවස්ථාවක පසුවුන අවදිය. මේ කාලෙ මේ දේවාලය  ආසන්නයේ තවත් පුංචි කඳුගැටයක් උඩ ලැගුම් ගෙන තම සේනාව සමග මන්ත්‍රණයේ යෙදුන, සූර්ය මහරජ්ජුරුවන්ගෙ තුන්වෙනි මුණුබුරා වන යාපාමහ රජ්ජුරුවන් ට මැදගම කැලේ අස්සෙන් සක්නාදයක් ඇසුන. ඒ මොකක්දැයි සෙනෙවියන් මගින්  විමසූ විට මහත් ආනුභාව සම්පන්න දේවාභරණයක් තැන්පත් කර හදා තියන  දේවාලෙ තේවා කරන හඬ බව අසාගන්ට ලැබිල තියනව.

මේ දෙවියන් මහත් තේජානුභාවයෙන් යුතු බව දැනගත් විට රජතුමා ඒ ළඟම පිහිටි කොස් පැලයේ රන්පනම් දහසකින් යුතු පඬුරු පොදියක් බැඳල යුද්ධය දිනා දෙන ලෙස දෙවියන්ට ආයාචනා කරා. මේ බාරය වුනේ රජතුමා යුද්ධය දිනුවාට පස්සෙ දෙවියන්ට මෙතනම දේවමාලිගයක් ඉදිකර අලුතෙන්ම නුවරක් ඉදිකරන බවටත් ඇසල මාසයට පෙරහරක් කරන බවටත්   පොරොන්දු වෙමින්.

ඒ පොරොන්දුව අනුව තමා වර්තමාන බෝධීන් වහන්සේ විහාර ගෙය සමග දාගැබත් දේවාල මාලිගයත් පත්තිනි දේව මන්දිරයත් හැදුවය  කියන්නෙ. දේවාලය වගේම පරිශ්‍රයත් මාස දහයක් තුළ හැදූ බවත් එයින් පස්සෙ මැදගම දේවාලයෙ තිබ්බ දේවාභරණ  අලුත් දේවාලෙට පෙරහරින් වැඩමවල ඇසල මාසයේ පෙරහරත් කරල රජ්ජුරුවො පිටත් වුනා යයි කියවෙනව. ඒ අනුව  1583 තමයි මුල්වතාවට පෙරහර කළ බව පෙනෙන්නෙ. මේ තමයි ජනප්‍රිය මතය!. වැඩි දෙනෙකු පවසන පුවත!!. ජනප්‍රවාදයේ පවතින කතාව!!!. ජනකවි වලින් හෙලිවන පුවත!!!!.

 

2 මේ  මතය අනුව දේවාලයේ ආරම්භය හාත්පසින් වෙනස් විදිහකටයි කියවෙන්නෙ. ඒ අනුව මෙතන දේවාලය ඉදිවෙලා තියෙන්නෙ ක්‍රි.පූ. 2 වන සියවසේ තරම් ඈතදි. . වළගම්බා රජසමයේ ඇති වූ “බැමිනිතියා සාය“ නම් මහා විනාශයක් ගෙනදුන් නියං සමයේ දැඩි වියලි බව නිසා වර්තමාන ව්‍යවහාරය අනුව මැදබැද්ද වුනත් ඒ කාලයේ මැදගම නමින් හැඳින් වුන ප්‍රදේශයත් බොහොම කටුක තත්ත්වයකට ආවා. ඒ මැදගම දේවාලයට හෝ ඒ අාසන්නයේ පැවති ගණේවත්ත විහාරයටත් තවදුරටත් පවතින්නට නොහැකි තරම් දුෂ්කර සමයක් උදා වුනා. ඒ නිසා ගණේවත්ත විහාරස්ථානය, කරකොල හෝ වළඳමින් මහාසංඝරත්නයට ආගමිකවත් පිළිවෙත් සපුරනු පිණිස කරගස් බහලුව තිබූ ස්ථානයකට ගෙනවිත් ඇත. අද “කරගස්තලා“ව වශයෙන් හඳුන්වන්නේ එ් ගම්මානයයි. අද  කරගස්තාලව පුරාණ රජමහා විහාරස්ථානය වගේම කීර්තිමත් පිරිවෙනක් ද සහිත “කරගස්තලාව ශෛල ගංගාරාම පුරාණ විහාරය“ ලෙසත් එය හැඳින් වෙනවා. ගණේවත්ත විහාරය කරගස්තලාව වෙත ගෙනාවා වාගෙම එ් ආසන්නයේ පැවති මැදගම දේවාලයත් වළවේ ගඟේ වක්කලමෙන් උඩුපැත්තට, එනම් වර්තමාන පිහිටීමට ගෙවිත් තිබෙනවා. මුල් කාලයේ එයට මැදගම දේවාලයයි  පවසා ඇතත්  ඇත්තේ උග්ගල් කල්තොට  ප්‍රදේශයේ පිහිටි වර්තමාන මැදබැද්දේ සිට මෙතනට ගෙනැවිත් අලුතෙන් හැදුන නුවරක් වුනාට පස්සෙ, උග්ගල් අලුත්නුවර යනුවෙන් පස්සෙ කාලෙක පට බැදී ඇති බව පැවසෙනවා. උග්ගල් අලුත්නුවර වුනේ  උග්ගල් කල්තොටින් ගෙනැවිත් සකස් කළ නිසා.

3.තුන්වන මතය වන්නේ රාජකීය පණ්ඩිත පූජ්‍ය වටද්දර හිමිපාණන් වහන්සේ සිය ගවේශන මගින් සොයා ගත් විස්තර ඒ අනුව පවසන කතාව. ඒ අනුව මේ දේවාලයේ ආරම්භය තවත් ඈතට දිවයනව. කතරගම දෙවියන් තාරක හා බස්ම නමැති අසුරා සුරඅසුර යුද්ධයෙන් පරාද කළ බව කියවෙන කාලය දක්වා දිව යනව. අනාදිමත් කාලයකට පෙර උමං මාර්ග පද්ධතියක් ලංකාවේ විවිධ ස්ථාන සම්බන්ධ කරමින් පැවති බවත් ඒ උමං මාර්ග පද්ධතියට පිවිසෙන එක් විවරයක් හැටියට පවසන ස්ථානය වර්තමාන දේවාල මළුව උඩ ඇති පොල්ගස සිටුවා තියෙන තැන ය කියා හිමිපාණන්වහන්සේ පවසනව.

ඔබ මහනුවර සමයේ පැවති අධ්‍යාපන පද්ධතියේ භාවිත වූ  මුල්ම සිසු කියවීම් පොත ගැන අසා ඇති. “නම් ගම් පොත” නැතිනම් “නම්පොත” කියන්නේ ඒක. පිරුවානා පොත්වහන්සේ අගපිටුවල “විහාර අස්න” කියා තියෙන්නේත් ඒ පොතමයි.  විද්වතුන් අනුමාන කරන්නේ ඒක මහනුවර සමයේ සිටි අත්තරගම රාජගුරු බණ්ඩාරයන්ගේ නිර්මාණයක් ලෙස . අත්තරගම රාජගුරු බණ්ඩාරයන් විහාරගම් නැතහොත් ලංකාවේ පැවති ගම් වල නම් ලියා ගෙන යද්දි තෝරගන්න ඇත්තෙ එවකට පැවති ප්‍රසිද්ධ විහාර දේවාලගම්. ඒ නම් තමා එහි ලියවී තියෙන්නෙ. ඒ පොතේ 166 වන සිද්ධස්ථානය හැටියට තියෙන්නෙ “උග්ගල් අළුත්නුවර“ කියන නම ඒ අනුව ඒ කාලෙත් මේ ගම්මානය කීර්තිමත් සිද්ධස්ථානයක් විදිහට තිබුණ වෙන්නට ඕනි. ඒ කියන්නෙ ඒ කාලෙ පවා මේ සිද්ධස්ථානය පුරාණ එකක්ව තියෙන්න ඇති. සොරගුණය, බොල්තුඹය හෝ අම්මඩුව ගැන ඒ පොතේ නැහැ. ඒ නිසා මේ දේවාලගම ඒවාටත් වඩා සෑහෙන්න පුරාණ සිද්ධස්ථානයක්ව තිබී ඇති බව නම් නිසැකවම සිතාගන්න හැකියි.

(පෙරහර වසරක් පාසා අඛණ්ඩව පැවතුනා නම් මේ අවරුද්දෙ පවත්වන්නෙ 431 වන පෙරහර විය යුතුයි. එක කාලෙක පෙරහර අවුරුදු හතක් නැවතිලා තිබුණ බවක් මෙහි පැරැන්නන් පවසනවා. ඒක හැබෑවක් නම්  මේ පවත්වන්නෙ 424 වන පෙරහර විය යුතුයි. )

මේ කතන්දර හා පුවත් පහත ලින්ක් වල තව ටිකක් සවිස්තරව ලිය වී ඇති.

අලිය කලබල කරනවා!

අලිකුලප්පුව 2

ඒ 1997 වසර. උග්ගල් අලුත්නුවර මහ පෙරහරේ දෙවන දින රාත්‍රිය එළඹෙද්දි  අත්විඳි අවස්ථාවකි. වෙලාව රාත්‍රී 8.00 ට පමණ ඇත. බොහොම ජයට පෙරහර සූදානම් වෙනවා.  රාත්‍රී 9.00 ට පසුව එළඹෙන සුබ වෙලාවකින් පිටත්වෙන්න නැකත හදල තිබුණ බව sugv ට හොඳටම මතකයි. ඒ අවදියේ සංවිධාන කටයුතු වලට ඉතා ළඟින් සම්බන්ධ වෙලා වගකීම් දරපු බැවින්  මේ සිද්ධිය කිසි දිනක අමතක නොවේවි.

wild_01මේපින්තූරය අරගත්තෙ Man killed in elephant attack – Worldnews.com වෙතින්

සාමාන්‍ය අපට අලි හැසිරෙන අන්දම ගැන හෝ ඇත්ගොව්වන්ගේ  සිතුම් පැතුම් ගැන කිසිදු අවබෝධයක් නැහැ. ඒත් පෙරහරට අලියා, ඇතා වගේම හස්තිපාලකයාත් සම්බන්ධ කරගතයුතුම අය. හස්තිපාලකයන් සමග සම්බන්ධතා පැවැත්වීමටත් පහසුකම් සලසා දීමටත් ඔෟසධහාමි මහතා ත් ඔහුගේ පුතණුවන් වූ පද්මසෙන මහතාත් ලෙස දෙදෙනෙකුම සිටියා.¹   (ඖසධහාමි මහතා මෑත දී අභාවප්‍රාප්ත විය)ඔවුන්ගේ  සේවය අැගයීම දේවාලයෙන් අතපසු නොවන  බැවින් වගේම ඔවුන් ගමේම අය ද වන බැවින් කටයුතු කළේ   විශ්වාසවන්තව, වගේම වගකීමෙන් යුතුව.   එදින රාත්‍රී හත වෙද්දි ඇත්ගොව්වන් විසින් අලින් ට විලංගු ලෑම, රෑන් ගැහීම සහ ඇඳුම් දැමීම වගේ කටයුතු පටන් අරන් ඇති බව ඒ අය වාර්තා කළා. ඊට ඔවුන් ද සම්බන්ධ වීම සාමාන්‍ය සිරිතක්. ඒ වන විට ඔවුන් බලන අලි ඇතුන් නොසිටියත් කාලයක සිටම අලි බැලීම සම්බන්ධව බොහොම පළපුරුදු අය. ඔක්කොම වගේ ඇත්ගොව්වන්වත් හඳුනනවා.

රාත්‍රී 8.30 පසුවෙනවත් එක්කම පද්මසේන මහතා හදිසියේ දුව එමින්  ඉදිරිපත් කළේ බරපතල්  පැමිණිල්ලක්.

පද්මසේන:-  හරියන් නෑ මහත්තය අර “………..” අලියා  උඩට අදත් අර බීපු මිනිහ නග්ග ගෙන. ඌ ඊයෙත් දඟලන්න ගිහින් මායි තාත්තයිත් ගිහින්  තුන්දෙනාම එක්ක අමාරුවෙන් මේච්චල් කර ගත්තෙ. පිට උඩ යන බීපු මිනිහ අලිබාස් කෙනෙක් නෙමෙයි. මොකුත් තේරෙන කෙනෙකුත් නෙමෙයි. ඒ අලිබාස්ගෙ යාළුවෙක් වෙන්න ඇති. නැහ්නං ඒ මිනිහගෙන් සල්ලි අරන් නග්ග ගෙන යනවා වෙන්න ඇති…. එක්කො අපි අද ඒ අලිය  නොගෙන ඉම්මු ද ? පෙරහරට පැමිණි ආගන්තුක  ඇත් ගොව්වන් තමන්ට  අවනත කරගන්න බැරිව මෙහෙම කියනවා වෙන්න ඇති යි sugv ඇතුළු අයගේ මුල්ම සිතිවිල්ල විය. ඒත් පුවතද නොසලකා හැරිය හැකි එකක් නොවේ.

sugv සහ තවත් අය එක්ව :- මේ පාර ඇවිල්ල තියන අලි මදි නේ පද්මෙ. නැටුම් කණ්ඩායම් ගොඩක් තියන හින්ද කොහොම හරි පාලනය කරල එයාව හදාගන්න. පොලීසියට මේක විශේෂයෙන් කියන්නම්.  බීපු මිනිස්සු අයින් කරාවි. අපිත් පහළට එන්නංකො. ඔෟසධ අයියත් එක්කත් කතා කරල පුළුවන් විදිහකට අලිය සම්බන්ධ කරගන්න උත්සාහ කරපං කොල්ලො.

අපි පින්සෙන්ඩු වීමු.

පද්මසේන :- ඕන්න මන්දන්නෑ. සමන්දේවාලෙන් අැවිත් ඉන්න ඇතත්  සැර එකෙක් නේ. අපේ තාත්ත එතනම ඉන්න ඕන. මං යන්නං පුළුවන් ඉක්මණට පහළ වීදියට එන්න එහෙනං.

තවත් කටයුතු රාශියක් ඇත. ඒවා  අතර දී පද්මසේන ගෙනා ආරංචිය අමතක වුනා වෙන්න ඇති. අපි ඒ වෙලාවෙ හිටියේ බොහොම කාර්ය බහුලව. බස්නායක නිලමේතුමා² තානායම ඇතුලෙ අන්දවනවා. වෙලාව නවයට ආසන්නයි. ධාතු කරඬුව  පහළ මළුවට වඩම්මන දළදා හේවිසි  ශබ්දය ඇසෙනවා.  හදිසියේම අමුතුම දර්ශනයක් ! ධාතු කරඬුව බදින්න සූදානම් කරමින් සිටි ඇතා රන්හිලි ගේත්  බැඳගෙනම   උඩවීදියට ගොඩ වී අපේ කාර්යාලය දිහාවට එන්නේ වේගයෙන්. ඇත්ගොව්වත් යුහුසුළුව ඇතා දක්කන නිසා වෙන්න ඕනි. රන්හිලි ගේ ඇතා පිට බඳිමින් හිටපු අබේසිංහ අයියාත් පිට උඩමයි. ! ඇයි මේ ? වැඩේ අවුල් වෙලා වගේ.  “ඇතා ඔය කොස් ගහට දාන්න. කොස්ගහට දාන්න”  යි ඇතා සමග එන ඇත්ගොව්වාට අණ දෙමින්, කෑ ගසමින් පද්මසේනත් පිම්මේ දුවගෙන එනවා.!!!

sugv:- ඇයි පද්මෙ ඇයි. ?

පද්මසේන :- මම කිව්ව එක කණකට ගත්තෙ නෑ නේ ! ඕනි එකක් කරගන්න එකයි ඇත්තෙ ඔන්න!! අර “…………” අලිය කලබලවෙලා!!!. අලිබාස් ටැට්ටරේ යටට රිංගුවා. තාත්ත අනික් අලි සේරම ගස් බඳින්න යවනවා. මම ආවෙ පණිවිඩේ කියන්න එක්කයි. ඇතා ගැන තමයි වැඩියම බය ඒකයි මෙතෙන්නට ගෙනාවෙ.

උද්ගතව ඇති තත්ත්වය පොලීසියට දන්වමින්  ශබ්ද විකාශන පද්ධතියේ වයර්  ක්ෂණිකව කපා දැම්ම. උඩවීදියේ මිනිස්සු තවම කිසි දෙයක් දන්නෙ නෑ.   පොලීසියත්, අපත්, ගමේ තරුණ පිරිසත්  එක්ව දේවාලය  ආසන්නයේ රැස්කමින් සිටි අය කලබල වන්නට පෙර  දේවාල මළුව උඩට යවන්නට පියවර ගත්තා. ඈතින් සිටි සහ පිවිසෙමින් සිටි අය  යුහුසුළුව ආරක්ෂිත තැන් කරා යොමු කරන්නටත් අවශ්‍ය පියවර ගැනුනා.

sugv:- හරි පද්මෙ සමාවෙයන් බොලේ . යමු අර අලියා මේච්චල් කරල බැඳගන්න එපායැ. යං පහළට.

පද්මසේන :- මටත් “අලි කුයිලෙ” තියනව. ගියොත්  මා පාරෙත් පන්නයි

sugv:-   මාවිඅරාව පාරේ කැළෑව පැත්තට අලියට කතා කර කර දුවන්න පුළුවන් නේ. ඒ පැත්තෙ මිනිස්සු  ඇවිත් ඉවරයි තවම එන අයට ආපහු දුවන්න කියමු . මමත් පස්සෙන් එනවා.  ඖසධ අයියත් එයි නේ.කොහොමෙන් හරි අලියව  ගස්දාගම්මු .

පද්මසේන දිරිගැන්වීමි  මේ එඩිතර තරුණයො මාත් ප්‍රේමරත්න ලියන මහතාත්³ සමගම දුවන්නට විය. ඒ වනවිට පහළ වීදියේ සිටින අලියා යකා නටමින් සිටී. ට්‍රැක්ටර් ටේලරයට යටට රිංගා සිටි ඇත්ගොව්වා පිටතට ඇද ගැනීම අලියාගේ අපේකෂාව විය. තව මොහොතකින් ටේලරයට පෙරලා දමාවි. ඈතින් අප වෙත එමින් සිටි ඖසධ හාමි මහතා ද දුටු පද්මසේන මහතා

“තාත්තේ මම අලියට කතා කරනවා. කියමින් හෙන්ඩුවක් ද  වනමින් දේවාභරණ රථය අසළට යමින් ” මෙහි දහ අලිය මෙහිදහ ! ” යි යටිගිරියෙන් කෑ ගෑ  වහාම රථයට මුවා විය.  අලියා එක පිම්මමේ රථය දෙසට එන්නට විය. ආ විගසින්  රථයට පහර දි  පෙරලා දැමීමට මෙන් පැත්තක් එසවීය.

“රථය පද්මෙ රථය !” ඒ  sugv යටිගිරියෙන් කෑ ගෑ හඬ !. “මූ මැරෙන්න යනවා.  යකෝ මෙහෙ ඉඳල කරන්න හම්බ වෙන්නේ නෑ දුවපං. මාවිඅරාව පාරෙ අර ලන්ද දිහාට දුවපන් !”. ඒ යටිගිරයෙන් කෑ ගෑවෙ ඖසධ අයියා.  පද්මසේන දුව යමින් අලියා පතහට වට්ටන්න මෙන් ඒ වටා දුවන්නට විය. අලියා එතරම් මෝඩයකු නොවේ.  පද්මසේන මහතා මාවිඅරාව පාර දිගේ දුවමින් අලියාට කතා කරන්නට විය .  ඒ වනවිට ට්‍රැක්ටරය යටින් එළියට පැමිණ සිටි හස්තිපාලකයා ඖසධ අයියාද සමග   අලියා පසු පස දිව යන්නට විය. පොලීස් නිලධාරී විශාල පිරිසක් ද ඒසමගම  දුවන්නට වූහ. .

මේ දක්වා කිසිවක් බස්නායක නිලමේතුමා නොදැන් විම ගැන මහත්සේ කෝප ව සිටියේය.  එය කණස්සල්ලකට වඩා ගෙන දුන්නේ සැනසිල්ලකි. එතුමා දැන ගත්තේ නම් අඳින ලද බස්නායක ඇඳුම පිටින්ම එන බව නිසැකය. එසේ වූයේ නම් එය මේ අසිරිමත් සම්ප්‍රදායයට කැලලක් හෝ නිගරුවක් වීය හැකි බව පෙන්වා දී  බස්නායක නිලමේතුමාගේ කෝපය පාලනය කර ගන්නට හැකි විය.

පැය ½ ක් පමණ යාමේදී ආරක්ෂිතව අලියා බැද දමන ලද බව තහවුරු විය.  සෙසු අලි ඇතුන් සම්බන්ධ කරගනිමින්  පෙරහර කළ හැකි බව පද්මසේන මහතා සහ ඖසධ හාමි මහතාත් සහතික කළහ.  ස්වාමීන්ද්‍රයන් වහන්සේ, දේවාලයේ අත්තනාය මොහොට්ටාල නිලමේ කපුමහතා ඇතුළු රාජකාරි මණ්ඩලයේ ද තීරණය වූයේ රාත්‍රී 11.30  පසුවන විට පෙරහර පිටත් කළ හැකි බවයි. ඉතා ශක්තිමත්ව නිමවා තිබූ රථයේ පැත්තක ලී පතුරක් පමණක් ගැලවී යාම හැර වෙනත් අලාභ හානියක් වී නොතිබිණි.

සාමූහිකව වැඩ සංවිධානයේ දී ඇතිවන විවිධ අභියෝග වලට මුහුණ දීම පිණිස කැපවීමෙන් මෙන්ම වගකීමෙන් යුතුව  සහාය දෙන විවිධ  විෂය විශේෂඳයන් සීටීම වැදගත් බව මේ අත්දැකීමෙන් ද පසක් විය.

 විශේෂ සටහන්

1 මේ අය අලි ජේමිස් සහ තේගිස්යන අලින් මෙල්ලකිරීම පිළිබඳ   විශේෂඥ දැනුමක් සහිත ඇත්ගොව්වන්ගෙ ගෝලයෝ බව කියවෙනවා. අලිජේමිස් යනු දිවයින පුරා ප්‍රකටව සිටි ඇත්ගොව්වකු මෙන්ම අලි වෙදකු බවත් කියවෙන අතර තේගිස් යනු 1950 ගණන්වල සිටි ඔහුගේ ගෝල බාලයයා. ඔහු ද අලිජේමිස් මෙන්ම ප්‍රකටව සිටි හස්තිපාලකයකු බව පැවසෙනවා. ඖසධහාමි පද්ම සේන වැනි අයත් සමග මේ සියල්ලන්ම එකම පරපුරක ඇත්තන් බව පෙනී යනවා. පද්ම සේන හා කළුමල්ලී හටන්පල සුදා වැනි තරුණ පිරිස තවමත් සිටිති.

2.  කරවිට වලව්වේ හරිශ්චන්ද්‍ර තෙන්නකෝන් බණ්ඩාර මහත්මාණන්-එකල දේවාලය භාරව සිටි සිටි බස්නායක නිලමේ තුමා විය. ආරාධනා ලත්විගස දැනුදු  පෙරහර දිනවල එතුමා සම්ප්‍රාප්ත වීම සුපුරුදු දසුනකි.

3. ප්‍රේමරත්න ලියන මහතා – හරිශ්චන්ද්‍ර තෙන්නකොන් බස්නායක නිලමේ අවදියේ සිටි ලේකම් ලෙස කටයුතු කළ කරවිට ප්‍රේමරත්න මහත්මා , හරිශචන්ද්‍ර නිලමෙතුමා සමගම එතුමා ද පෙරහරට පැමිනීම සිරිතකි

විශේෂ වදන්

  • විලංගු ලෑම:- අලියාගේ ගමන පාලනය වන ලෙස දම්වැල් මගින් පාද ළං කර බැඳ දැමීම.

  • රෑන් ගැහිම :- මෙය ද අලියාගේ ගමන පාලනය කර ගැනීම පිණිස යොදන විශේෂ උපක්‍රමයක් බව පැවෙසේ මෙහිදී අලියාගේ පපු පෙදෙස හිරවන අන්දමින් කඹ දමා දිවිය නොහැකි ලෙස කරන අවහිර කිරීමකි. පවසන විස්තර අනුව මේ උපක්‍රමය මේ පරපුරේ රහසිගත එකක් බව පෙනීයයි.

  • ඇඳුම් දැමීම:- රෑනට පිටින් ඒවා වැසෙන සේ අලියා සැරසීම

  • මාවිඅරාව:- දේවාල පරිශ්‍රය ආසන්නයේ ඇති, අලුත්නුවරට ම සම්බන්ධව උස්බිමක් සහ ළඳු කැළෑවකින් සුන්දරව පවතින පෙදෙසකි.

  • මෙහි දහ :- අලියාට තමා දෙසට එන ලෙස කරන අණදීමේ දී භාවිතවන වදනකි

sugv

Glory of a regional historical and sub cultural heritage

අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය

Glory of a regional historical and sub cultural heritage

බිත්තිය

Glory of a regional historical and sub cultural heritage

කුරුටු ගෑ ගී පවුර

Glory of a regional historical and sub cultural heritage

Sri Lankan Atheists| ලාංකික නිර්ආගමිකයෝ

Site dedicated for atheists, agnostics, secularists, humanists, free thinkers, rationalists, and skeptics of Sri Lankan origin.

Glory of a regional historical and sub cultural heritage

Aru-ge adaviya

Just another WordPress.com site

Sinhala story Blog

for Sinhala readers

අවන්හල

Glory of a regional historical and sub cultural heritage

මගේ රට | My Country

Glory of a regional historical and sub cultural heritage

Glory of a regional historical and sub cultural heritage

Glory of a regional historical and sub cultural heritage

Thambaru's Blog

To be bloomed over the mud...

Open Minds! (formerly: Moving Images blog)

An opinionated Asian comments on media, science & development - NOTHING official about this!

Glory of a regional historical and sub cultural heritage

පඨිත

සමාජ විද්‍යා හා සංස්කෘතික අධ්‍යයන ශබ්දකෝෂය

Gold fish ගේ blog ටැංකිය

:) , :( , ;) , :o , අතර ♥ත් සමගින්...

Glory of a regional historical and sub cultural heritage

Glory of a regional historical and sub cultural heritage

Glory of a regional historical and sub cultural heritage

Glory of a regional historical and sub cultural heritage

Glory of a regional historical and sub cultural heritage

Just another WordPress.com site

මුතුහර

සාර සංග්‍රහය

Kathika Sanvāda Mandapaya

සංවාද මණ්ඩපය

මීදුම.

Glory of a regional historical and sub cultural heritage

බෞද්ධ තොරතුරු සංචිතය

“යෝ ධම්මං පස්සති සෝ මං පස්සති” යමෙක් ධර්මය දකී ද හේ මා දකී.

Glory of a regional historical and sub cultural heritage

Glory of a regional historical and sub cultural heritage

බළන්ගොඩ නගර සභාවේ නිල බ්ලොග් අඩවිය

ශ්‍රී ලංකාවේ පලාත් පාලන ආයතනයක් ආරමිභ කල පළමු බ්ලෝග් අඩවිය

M U R A G A L A

Archaeology, History, & Culture

ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary

පර්යේෂණාත්මක බ්ලොග්කරණයේ රැඩිකල් පැත්ත

විචාරකගේ අඩවිය - සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය - wicharaka.blogspot.com

Glory of a regional historical and sub cultural heritage

රතු රජරට

Glory of a regional historical and sub cultural heritage

.: මල් කැකුළු : Sri Lankan Kids :.

Glory of a regional historical and sub cultural heritage

හෙළයේ ඉතිහාසය

අපේ ඉතිහාසය කාලයේ වැලිතලාවෙන් වැසී යන්නට ඉඩ නොදී ඔබේ දෑස මානයට ගෙන ඒමට හෙළයේ ඉතිහාසය දරනා උත්සාහයට සහය දෙන්න

සංස්කාර විනිවිද

arts history archaeology films books

අරුණි ශපීරෝ‍ වෙතින්

ධනාත්මක චින්තනය හා දාර්ශනික සිතුවිලි

Follow

Get every new post delivered to your Inbox.

Join 96 other followers

%d bloggers like this: