රජ මාවතක රජ ගමනක්

 

බාරය ඔප්පු කරන්නට පැමිණි යාපා මහ රජතුමා

(මංගලනාත බ්‍රාහ්මණගේ භාරතරත්න කපුමහතා පවසන පුරා කතාවේ දෙවන කොටස මෙතැන් සිට පළමු කොටස සඳහා මෙතන ක්ලික් කරන්න)

සීතාවක රාජධානි සමය ක්‍රි.ව.1521 බිහිවී  1593 දක්වා  කාලයට ගැනෙයි. එය  පෘතුගීසීන් සමග අනවරත අරගලයක නියැලෙමින් ඔවුන්  පන්නා හැරීමට වෙහෙස ගත් අවදියකි. එසේ ම ඒ  අරමුණට  බාධාකාරී යයි සැලකූ තමන්ගේ අය සමග ද නිරන්තර ව ගැටෙමින් පැවති  සටන් අවදියකි. ඒ බව  සෑම මූලාශ්‍රයකින් ම පැහැදිලිව පෙනී යයි. භාරතරත්න  කපුමහත්තය මෙතෙක් කියාගෙන පැමිණි  කතාව( මීට පෙර ලිපිය) අනුව 1582 දි තමයි [i]  ‘මෙතන දෙවිඳුට නුවර කරවා…[ii]’ යනාදි ලෙසින් මැදගම වනාන්තරයේ දැවැන්ත ගොඩනැගීම් රාශියක් ඉදිකර ඇති බව පෙනී යනවා.[iii]   ඔහුගේ කතාව අනුව ‘තමන්ගෙ කෙනෙක් එක්කයි ‘පරහතුර’ට විරුද්දවයි කරනු ලැබූ යුද සටන් එහෙමත් නැති නම් සොරගුණ තුඩපත පවසන විදිහට  ‘දුෂ්ට දුර්ජන පරසමයක්කාරයින් ප්‍රලය කර වදාරා මහත් වූ ජය එර්ධිය’ ට පැමිණි  යුද සටන් මොනවා විය හැකි දැයි  අනුමාන කිරීමට  සීතාවක ඉතිහාසයට සෘජු ව අදාල වන  මූලාශ්‍ර ඇසුරින් විමසිය හැකියි.

පළමු රාජසිංහ උපත සිදුවන්නේ 1532 දීය.[iv]   ඔහුට වයස 23 වෙද් දී මායාදුන්න රජ අණින් වීදිය බණ්ඩාර සමග යුද්ධයට[v] යයි. මේ අනුව ක්‍රි.ව. 1555 දී පැළෑඳ සටන වූ බව පෙනෙනවා.  වීදිය බණ්ඩාර සමග දිගටම සටන් වැදෙමින් සල්පිටි කෝරලයෙ කඩුගහ සටන, කන්ද උඩරට සේනාවකින් ද සන්නද්ධව  පැමිණි වීදිය බණ්ඩාර ව අන්ත පරාජයකට පත් කරනු ලබන  සතරකෝරල අලුත්නුවර දී ඇවිල ගිය මහ සටන[vi] 1559 පැවති සටන[vii], 1561 මුල්ලේරියාවේ සටන[viii] සහ 1580 කරලියද්ද රජු ව උඩරටින් පහ කරවා  එම රාජ්‍ය බලය  ජයසුන්දර බණ්ඩාර වෙත පැවරීම[ix]  යන යුද සටන්  උග්ගල් අලුත්නුවර කරවීමට පෙර, එනම්1582 ට පෙර පැවති ඒවා ලෙස පෙන්විය හැකියි. ඒ අනුව ‘මීට පෙර ලිපියේ  කපුමහතා පවසන විස්තරත් සොරගුණ දේවාල තුඩපත පවසන විස්තරත් අනුව මේ යුද අවස්ථා වෙනුවෙන් වූ බාරයක් විය හැකිය යි සිතිය හැකියි.

නැවතත් භාරතරත්න කපුමහතා කරගෙන යමින් තිබූ පුරාකතාව වෙත හැරෙමු.

1940 අඟලේ සිතියම අනුව උසස්පෙළ සිසුන් දෙදෙනකු විසින් උපුටා ගනිමින් අැඳ දෙන ලද සිතියමකි. බෙලිහුල් ඔය හරහා සොරගුණය දක්වා යා හැකිව තිබූ අඩිපාර ද මෙහි හඳුනාගත හැකිය. මෙය රජ මාවතක් ලෙස භාරතරත්න කපුමහතා ඇතුළු පැරැන්නෝ හඳුන්වති.

‘ඔය සේරම යුද්ද ඉවර වෙලා මහා ජය කෙහෙලි උත්සව පවත්තන්න වුනා. ඇති වෙලා තිබ්බ සතුට හින්දම   බාරෙ අමතක වුනා වෙන්ඩ ඇති. රජ්ජුරුවෝ යුද සැණකෙළි පවත්තමින් රට පුරාම ඇවිදගෙන ආව.  මැද්දෙගම් නුවරට ඇවිත් එතන මාලිගාවෙ නැවතිලා එහෙදිත් මහා ජය උත්සව පවත්තල එතන ඉඳළ විල්මාන අඩවිය[x] මුදුන දිහාවෙන් ඉදල්ගස් හින්නෙන් බැහැල කළුපාන, නිත්තමළුව දිහාවෙන් තිබුණ පාරකින් වෑලිතැන්න ට ගිහින් තියනව. ඒ වෙලාවෙ දි උගුරෙ ගෙඩියක් හැදිල හොඳට ම අමාරු වෙලා කතා කරගන්නත් බැරුව ගියා. ඒකට හේතුව කල්පනා කරද්දි තමයි තමන් මැදගම දේවාලෙ ට වෙච්ච බාරෙ සිහි වුනේ. ඒ ගමන්ම එතනම මයුරවාහන කොඩියක් හිටවල ඒ මුළු අඩවියම තමන් හදන්ඩ යන දේවාලෙට පිදවිලි ගමක් හැටියට පුජ කළා විතරයි උගුරෙ වේදනාව අඩුවෙලා කතා කරගන්න පුළුවන් වුනා. ඒ වෙලාවෙ රජුජුරුවන් ගෙ කටින් පිට වුන වචනෙ “සොරය ගුණවුනා” කියන එක. ඉතින් එදා ඉඳල ඒ ගමට සොරගුණේ නැත්තං හොරගුනේ කියන්ඩ ගත්ත. එහෙ නවයාල දොලහමුණක ඉඩම්[xi] දෙයියන්ට පුජ කරල ඉවර වෙලයි  රජ්ජුරුවො බාරෙ ඔප්පු කරන්න එන්න පටන් ගත්ත.

සොරගුණයට ගියෙ විල්මාන අඩවිය පැත්තෙන් නෙව. විල්මාන අඩවිය කියන්නෙ මහඑළියට. ඒක පුරාම තැනින් තැන දැනුත් විල්ලු තියනව. හෝර්ටන් තැන්නය කියල ඉංගිරිසි ආණ්ඩුව නම දැම්මෙත් ඔය විල්මාන අඩවියට. ආපහු ආවෙ ඊට වඩා කිට්ටු ලේසි පාරෙන්. කඳු උඩින් නැතුව සොරගුණේ ඉඳල අදත් පයින් එන්න පාර තියන කොස්ගම, මලපෙ, නැදුන්ගමුව, කලවැල්පෙ,කිඤ්චිගුණේ, පීලිපොත, වරකාවෙල හරහා වැටිල තියන පාරෙන් මේ පාර දිගේ එද්දි රජ්ජුරුවන්ගෙ උගුරේ ඇතිවුන ගෙඩිය  තව ටිකක් ගුණ අතට හැරුන ඉසව්වට තමයි කින්චිගුණේ කියල නම කිව්වෙ. පීලි පොත වරකාවෙල කියන්නෙ වරකා ගෙඩියක් වගේ තිබිච්ච ගෙඩියෙන් පීල්ලක් වගේ සැරව ගලන්න වුන ඉසව්වය කියනව.   [xii]. එහෙම එද්දි මග දිගටම හම්බ වෙච්ච ගම් බිම්  අපේ දේවාලෙට පූජකරමින් තමයි ආවෙ. ඔය තමයි ඒ පුරාණ තිබණ එක රජ මාවතක්. දැං ඒව අඩිපාරවල් විතරයි.  ඉස්සර බෙලිහුල්ඔයයි දෙනගං ඔයයි වලවෙයි හාවෙන ඉසව්වට රජ මාවතක්  දිගේ ගිහින් තමයි පෙරහර දිය කැපුවය  කියන්නෙ. ඒ වෙලාවට කුඩ කොඩි සේසත් අරගෙන පූජා කද මළුත් අරගෙන සොරගුණේ ඇත්තොත් එතනට එන එක සිරිතක් වෙලා තිබුණය කියල අපේ මුතුන් මිත්තො කියනව. පස්සෙ කාලෙක අපේ ඇත්තනුයි ඒ අයයි අතරෙ ඇතිවුන මහ අරෝවක් හන්ද ලොකු නස්පැත්තියක් දෙපැත්තටම වුනා[xiii]. ඒක පස්සෙ කියන්නං කො. පහුගිය කාලෙ සමනළ වැව හදන කම්ම ඒ ගම් බිම්වල ආදායම් අපේ දේවාලෙට ලැබුණ රාජකාරි ඇත්තො හිටියෙත් එහෙ. අත්තනායක මොහොට්ටාල පංගුවට තිබුණ ගම්බිම් සේරමත් තිබුණෙ ඔය කියන ගම්බිම් වල. සමනළවැව හන්ද ඒ සේරම නැති බංග වුනා.’

මේ වෙලාවෙ  ඒ ගැන ටිකකට අමතක කරල අපේ දේවාල පුරාණෙ ගැන  කියමු නේද කපුමහත්තය ?

හරි හරි මං කතාව කියන්නං කො. ගමට ඉහළින් ළඟින්ම  තිබුන උස්බිම් මුදුනෙ ගමන් මාලිගාවෙ තමයි නතර වුනේ. එතනට අදත් කියන්නෙ ‘මාලිගා ගොඩැල්ල’ කියල නේ. ඔහොම මැදගමට ආයෙත්  කිට්ටුවෙන් තියන උස් මුදුන් තුනක් වෙන් කරල “ දේවාලෙ හදන්න කොයි තැන තෝර ගන්නවද කියල කල්පනා කර කර ම නින්දට වැටුන. එළිවෙන ජාමෙ, රජ්ජුරුවන්ට ඔය දැන් දියකපන පොකුණට මයිම් වෙලා ඊට ඉහත්තාවෙන් තියන හැරෑඹුරු හීන්න මුදුනට පහළ වුන දිව්‍ය කුමාරයෙක් රාමසැරයක් එවනව දැකල බය වෙලා ඇහැරුනා. ඒ එක්කම එදා යුද්ධ මන්ත්‍රණ සබාව තිබුණ කඳුමුදුනෙ තිබුණ මහ නුගය ගිනි ඇරන් කියන ආරංචිය ලැබුණ. රජ්ජුරුවන්ට හීනෙ තේරුම කවුරුවත් කියා දෙන්න ඕන වුනේ නෑ. එතනට ගිහින් බැලුවාම ගිනිඅළු උඩ කිනිහිරිය මලක් වගේ දිලිහෙමින් වැඩ ඉන්න රන් ඊ තලේ දකින්න ලැබුණ[xiv].

අපේ කපුමහත්තයගෙ කතාව තවම ඉවර නෑ. රජතුමා අලුත්ම නුවරක් බිහි කරන්න නේ ආවෙ. ඉතිරි කොටස මී ළඟ ලිපියේ

විශේෂ වදන් හා ව්‍යවහාර විමසුම

  • ‘තමන්ගෙ කෙනෙක්’,’පරහතුර’,’දුෂ්ට දුර්ජන පරසමයක්කාරයින් ප්‍රලය කර වදාරා මහත් වූ ජය එර්ධිය’: කලින් ලිපියේ විශේෂ සටහන් බලන්න
  • ජය කෙහෙලි උත්සව:  ජය ඝෝෂා පැවැත්වීම් දේවාල ලේකම් මිටිය හා සීතාවක රාජසිංහ රාජ්ජ කාලය පුස්කොල පොත්වල මෙය දැක්වෙන්නේ නිරෝහි කෙලිය ලෙසිනි
  • විල්මාන අඩවිය හෙවත් මහඑළිය : මහඑළිය යන්නට ‘විල්මානඅඩවිය’ යන පුරාණ ලේඛනයේ සඳහන් වචනය ද භාවිතය ද අතීතයේ තමා ඇතුළු ගමේ අය මැණික් ගරන්නට එහි ගිය බව ද අඩවිය පුරා ඇති ‘විල් ළූණු’ වෑංජන රස කිරීම පිණිස ගත් බව ද පිළිබඳ රසවත් කතා භාරත රත්න මහතා පමණක් නොව සෙසු අලුත්නුවර පැරණි ඇත්තන් අතර වෙයි.
  • වෑලිතැන්න:සොරගුණේ ප්‍රදේශයේ පවතින ගමකි.
  • කොස්ගම, මලපෙ, නැදුන්ගමුව, කලවැල්පෙ,කිඤ්චිගුණේ, පීලිපොත, වරකාවෙල: මේ ගම් බිම් දැනටත් පවතියි. මෙයින් කොස්ගම ප්‍රදේශය  පසු කලක පළාත් මායිම් වෙනස් වෙද්දී ඌව පළාතට අයත්ව සොරගුණ දේවාලයට අයිති වූ බව පැවසෙයි. අනෙක් ගම් වලින් නැදුන්ගමුව කිංචිගුණේ පීලිපොත සහ වරකාවෙල සමනළ වැවට යටව ඇත.
  • රජ මාවත: පුරාණයේ රජු ගමන් ගත්තායයි පවසන මාවත හෙවත් පාර මෙහි කියවෙන රජමාවත අඩිපාරක් ලෙස තිබීණි. දැන් සමනළ වැවට යට වී ගොසිනි.
  • මාලිගා ගොඩැල්ල: ඉඹුල්පේ ප්‍රාදේශීය සභාව විසින් ස්ථාපිත වර්තමාන උග්ගල් අලුත්නුවර පානීය ජල සම්පාදන ගබඩා ටැංකිය පිහිටි ස්ථානය යි. එය ගම්මානයට ඉහළින් පිහිටි උස් මුදුනකි.
  • හැරෑඹුරු හින්න: අදත් මේ නමින්ම උස්බිමක පිහිටි මේ කැළෑ පෙදෙස පවතී. දිය කපන පොකුණ ඇත්තේ හැරෑඹුරු හින්න පාමුලට වන්නටය. මෙයට දේවාලෙ කැළයයි ද කියනු ලබති. ලේකම් මිටියේ සටහන්ව ඇත්තේ “සරහාඹුරුහීන්න” යන වචනයයි
  • අරෝව හා නස්පැත්තිය: ආරවුල හා විනාශය – සොරගුණය හා උග්ගල් අලුත්නුවර ඇත්තන් අතර පැවති පුරාණ ගැටුම පිළිබඳව සොරගුණ තුඩපතද පවසයි. සොරගුනේ තවත් ලේඛනයක ඒ අයගෙ පාර්ශ්වයෙන් නස්පැත්තිය ද විස්තර වෙයි[xv]
  • කිනිහිරිය මලක් වගේ දිලිහෙමින් වැඩ ඉන්න රන් ඊ තලේ: කිනිහිරිය මල යනු කුමක්දැයි සෙවිය යුතුව පවතී. කිනිහිරියා මල ගැන පසුව සොයන විට මේ ලින්ක් එක හමු වුනා http://www.instituteofayurveda.org/plants/plants_detail.php?i=310&s=English_name පුරාණ ලේඛනයේ මෙය ස්වර්ණසැර ආයුදය ලෙස විස්තර වෙයි[xvi]
  • සමනළවැව හන්ද ඒ සේරම නැති බංග වුනා: සමනළ වැව නිසා අහිමි වුනා – මේ පුවත සැබෑවකි සමනළ වැවට යටවී ඇති දේවාල රාජකාරිවලට අදාල ගොඩ මඩ ඉඩම් ප්‍රමාණය අක්කර 800 කට කිට්ටුය[xvii]

———————————————————————————————-

[i] දේවාලෙ පුරාණ ලේකම් මිටිය හා M4 දරන සීමාසංකර විනෝදනියේ අග පිටු -ජාතික කෞතුකාගාරය – කොළඹ

[ii] බාලචන්ද්‍ර බ්‍රාහ්මණගේ  කන්දකුමාර සිරිතේ කාව්‍යය හා පී.ඊ.පී දරණයගල දේව වර්ණනාකාව්‍යය ජාතික කෞතුකාගාරය

[iii] දේවාලෙ පුරාණ ලේකම් මිටිය හා M4 දරන සීමාසංකර විනෝදනියේ අග පිටු -ජාතික කෞතුකාගාරය – කොළඹ

[iv]  මහාචාර්ය රිසිමන් අමරසිංහ- ඓතිහාසික සීතාවක – ඇස් ගොඩගේ සහෝදරයෝ කොළඹ 1990

[v]  මහාචාර්ය රිසිමන් අමරසිංහ- ඓතිහාසික සීතාවක – ඇස් ගොඩගේ සහෝදරයෝ කොළඹ 1990

[vi] මහාචාර්ය රිසිමන් අමරසිංහ- ඓතිහාසික සීතාවක – ඇස් ගොඩගේ සහෝදරයෝ කොළඹ 1990

[vii] මහාචාර්ය රිසිමන් අමරසිංහ- ඓතිහාසික සීතාවක – ඇස් ගොඩගේ සහෝදරයෝ කොළඹ 1990

[viii] මහාචාර්ය රිසිමන් අමරසිංහ- ඓතිහාසික සීතාවක – ඇස් ගොඩගේ සහෝදරයෝ කොළඹ 1990

[ix] මහාචාර්ය රිසිමන් අමරසිංහ- ඓතිහාසික සීතාවක – ඇස් ගොඩගේ සහෝදරයෝ කොළඹ 1990

[x]  දේවාලෙ පුරාණ ලේකම් මිටිය හා M4 දරන සීමාසංකර විනෝදනියේ අග පිටු -ජාතික කෞතුකාගාරය – කොළඹ ලේඛනයේ ඇති වචනයකි

[xi]  දේවාලෙ පුරාණ ලේකම් මිටිය හා M4 දරන සීමාසංකර විනෝදනියේ අග පිටු -ජාතික කෞතුකාගාරය – කොළඹ ලේඛනයද මේ පුවත මෙසේම දැක්වෙයි

[xii]  දේවාලෙ පුරාණ ලේකම් මිටිය හා M4 දරන සීමාසංකර විනෝදනියේ අග පිටු -ජාතික කෞතුකාගාරය – කොළඹ ලේඛනයේ මේ ගම් බිම් සහ පූජාවන් ද මෙලෙසින්ම විස්තර වෙයි

[xiii]  සොරගුණ තුඩපත සහ. සොරගුනේ තවත් පැරණි ලේඛනයක් – මහාචාර්ය පුංචිබණ්ඩාර සන්නස්ගල – සොරගුණ දේවාල පුවත- ලේක්හවුස් කොළඹ 1973   සහ පූජ්‍ය නාවුල්ලේ ධම්මානන්ද නායක මා හිමි – ඌව ඉතිහාසය – ගුණසේන සමාගම කොළඹ

[xiv] දේවාලෙ පුරාණ ලේකම් මිටිය හා M4 දරන සීමාසංකර විනෝදනියේ අග පිටු -ජාතික කෞතුකාගාරය – කොළඹ

[xv] මහාචාර්ය පුංචිබණ්ඩාර සන්නස්ගල- සොරගුණ දේවාල පුවත- ලේක්හවුස් කොළඹ 1973   සහ පූජ්‍ය නාවුල්ලේ ධම්මානන්ද නායක මා හිමි – ඌව ඉතිහාසය – ගුණසේන සමාගම කොළඹ

[xvi] දේවාලෙ පුරාණ ලේකම් මිටිය හා M4 දරන සීමාසංකර විනෝදනියේ අග පිටු -ජාතික කෞතුකාගාරය – කොළඹ

[xvii] 1870 විහාර දේවාලගම් ආඥාපනත යටතේ මේ දේවාලයට අය් අංක 4 දරන  කොමසාරිස් ලේඛණය

Advertisements