බුද්ධං සරණේ සිරස දරාගෙන

“අපේ කාලෙ සිරී පාදෙ කරුණා කරන එක සෙල්ලමක් විදිහට කළ දෙයක් නෙමෙයි”

මෙසේ කියමින් උග්ගල් අලුත්නුවර ඇත්තන් මේ පවසන්නෙ මුහුදු මට්ට මේ සිට මීටර්2243 ක්(අඩි7360) උස්වූ සමනොල කන්දේ   ශ්‍රිපාද පද්මය වන්දනා කිරීම පිළිබඳවය.  සමනළ අඩවිය හෙවත් සිරිපා අඩවිය සබරගමු පළාතේ රත්නපුර දිස්ත්රික්කයත් මධ්‍යම පලාතේ නුවරඑළිය දිස්ත්රික්කයත් යා කරන පුළුල් පරාසයක පිහිටා ඇති, පාරිසරික වශයෙන් මිල කළ නොහැකි සම්පතකි. ජලපෝෂිත කලාපයකි.   තම තමාගේ විශ්වාසයන් අනුව ශ්‍රී පාදස්ථානය සියලු ආගමික ජනතාවන්ගේ ගෞරවය ලබන ස්ථානයක් ද වන්නේය. එහෙයින් එය අපේ උරුමය පිළිබඳ මුළු ලොවටම හඬගා සාඩම්බරයෙන් පෙන්විය හැකි අගනා වස්තුවකි. සංස්කෘතික වශයෙන් අමිල සම්පතකි

SAM_0869ශ්රීපාදස්ථානය වන්දනා මාන කිරීම සඳහා යෑමට ප්රධාන මාර්ග තුනක් ඇතඉන් පුරාණ රජකාලයේ සිට පැවැත එන්නේ රත්නපුර පළාබද්දල සිට ඇති මාර්ගයයි. මෙය කි. මි. 10ක් පමණ දුරකින් යුක්තය.  දෙවැනි ගමන් මාර්ගය වැටී ඇත්තේ කුරුවිට එරත්න හරහාය.  තෙවැනි මාර්ගය නම් හැටන් නල්ලතන්නියේ සිට පසු කලක සැකැසී ඇති මාර්ගයයි. එය කිමී. 6.5 ක් පමණවූ මඟකි. මේ දුර පා ගමනින් යා යුතුය.  20 වන සියවසේ මුල භාගය නිමවන තුරු මාර්ගය බෙහෙවින්ම දුෂ්කර එකක්ව තිබිණි.

සිරිපා කඳු පියස  තරණය කිරීමේදී ගමන ආරම්භවන මාර්ග තුනක් තිබුණපලාබද්දල සහ එරත්න මාර්ගය හැරමිටිපාන නම් ස්ථානයේ සිට එක් ගමන්මඟක් බවට පත්වෙයි. මේ ගමන් මාර්ග තුනේ දීම වෙන් වෙන් වශයෙන් අපට ශීතගඟුලයැයි නම් කළ තැනක් මෙන්ම ඉඳිකටුපාන හෙවත් ගෙත්තම්පාන  , මහගිරිදඹ, අහස්ගව්ව ලෙස නම් කළ  ස්ථානයන් හමුවෙයි.

ස්වභාවධර්මයේ අසිරිය මොනවට පෙන්වන  මේ අපූරු නිර්මාණය උතුම් බුදුපියාණන්ගේ පා කමල ස්පර්ශයෙන් වන්දනා මානයට පාත්‍ර වූ පූජනීය ශුද්ධභූමියක් සේ බෞද්ධ ජනතාව ගේ අකලංක  වන්දනාවට පාත්‍රවෙයි. කුඩාදරුවාගේ සිට වියපත් මහල්ලා දක්වාවූ බැතිබර ජනතාව මේ මහා ගිරි ශිඛරය තරණය කරමින් සිරිපා කරුණා කිරීමේ අභියෝගයට එඩිතරව මුහුණදෙති. ඔවුන්ගේ කායශක්තිය අභිභවමින්  චිත්තශක්තිය නගාසිටුවීමට, වඩවාලීමට තරම් සිරිපා පද්ම සලකුණ සමත්වන බව පෙනීයයි.

සිරිපා පියස බලා කරුණා කරන  වන්දනා කරුවන්ට නවාතැන් පිණිස පලාබත්ගල මාර්ගයේදී හමුවන ගජමන්නෝනගෙSAM_0901 අම්බලම, ඉඳිකටු පාන අම්බලම,  වැනි ස්ථාන 20 සියවසේ මුල් අවදිය වන විටත් ඉදිව  තිබූ මුත් 1930 දශකය වනවිට එ්වා බෙහෙවින් අබලන්ව පැවතිනි.¹

 

සීත ගඟුලෙන් දිය නෑමෙන් පිරිසිදු වී යන අයට ඉඳිකටු පානේ ගෙත්තම් කර යද්දී හමුවන, හැරමිටිපාන සමගම ඇත්තේ යෝධ ගල් තලාවකි. ඒ තමයි  ධර්මරාජ ගල. බැලූ බැල්මට පහුරක හැඩය ගනී. මෙය වසවර්ති මාරයා විසින් ලොව්තුරා බුදුන්ට වින කටින්ට මේ ස්ථානයට එවා පැමිණ ඇති ගල් පහුරක් බව එක් ජනකතාවකින් කියවේ.

 වන්දනාකරුවන් රමිටිපාන පසු කරන විටම වාගේ කුරුවිටින් පැමිණෙන එරත්න පාර ද මේ පාරට හමු වී එකතු වෙයි. දැන් හමු වන මහගිරිදඹය යනු අති දුෂ්කර දුර්ග මාර්යකි. එහි ඇති සුළංකපොල්ල රුදුරු සුළඟින් යුතුය. පොඩ්ඩ වැරදුනොත් ………….! වන්දනා නඩයට හමුවන මකර තොරණින් පසුව ආඬියා මළතැන්න හමුවෙයි. නමින් පැවසෙන අන්දමට මෙහි දකුණු ඉන්දීය ආඬි මිනිසකුගේ බිය කරු මරණයක් සිදු වුනා විය හැකියි.

හැටන් පාරෙන් කරුණා කරන වන්දනා කරුවන්ට මහ ගිරිදඹයක් හමුවෙයි. සිරස්ව දිවෙන   මොහොර බෑවුමක් වූ මෙහි ඇති සුළංකපොල්ල ද ඉතා බිය ජනක එකකි. එය තරණය කිරීම සඳහා අතීතයේදී යකඩ දම්වැල් තිබුණද 20 සියවස මුලභාගය වනවිට ඒවා  ද දිරාපත්වෙමින් තිබී ඇත. ඒ නිසා 1930 දශකය උදාවනවිට තරණය කළ යුතුව පැවතියේ ඉතාම අවදානමක් සහිත මගකි.²

 සමනොල අවටකාලගුණය පිළිබඳවද  අනාවැකි කීම පහසුකාරනයක් නොවේ. සමනොල තරණයේදී වර්ෂාවට මුහුන පෑමට සිදුවන බැවින් එය දරාගැනීමට අපහසුවිය හැකියි. ඒ නිසා වැහි කබායක් වැන්නක් පැරැන්නෝද ගෙන ගියහ.

20 වන සියවස මුල භාගයේ දී අපේ ඇත්තන් සිරිපා වඳින්ට ගිය ආකාරය වැඩිහිටි මතකයෙන් තවමත් ඈත්ව නැත. එකල ශ්‍රී පාදස්ථානය බලා යම ඉහත විස්තර කළ පරිදි ඉතා දුෂ්කර ව්‍යායාමයක්ව(adventure trip) තිබිණි.

ඒ නිසාම සිරීපාදය වැඳ තමන් ආපසු එන බවක් කිසිවෙක් වචනයෙන් නොපැවසූහ. එසේ කීම භයානක කටවැරදීමක් සේ සැලකූහ. එකල  වැඩිහිටි වයසක ඇත්තන් සිරීපාදෙ කරුණාකර ඇත්තේ තමා සතු ගම්බිම් වතුපිටි දූ පුතුන්ට  ලියා දී ලෞකික  ආශාවන් අත්හැර දැමීමෙන් පසුව බව මතකය අවදි කරන පැරැන්නෝ කියති. ඔවුහු “නඩේගුරා” අනුව කවි ගායනයේ යෙදෙමින් කරුණා කළහ. මාර්ගය රළුය, බිය ඡනකය, රුදුරු වනසතුන් ගෙන් ගහනය. මෙසේ ගිය අය අතරින් ආපසු නොපැමිණි කෙනෙක් වෙත්දැයි පැරැන්නන් විමසීමී.   වැඩිහිටියන් සැමගේම පිළිතුර වූයේ කෙතරම් බිය ජනක ගමණක් වුවද එසේ මරණීය අනතුරකට මුහුණ දුන්කෙනෙකු පිළිබඳ තොරතුරක් තම තමන්ට අසන්ට නො ලැබුණ බවය.

“කවුදෝ කෙනෙක් ලිහිණි හෙලෙන් වැටුනළු ඒත් අපි ඒ ගැන වැඩියමක් දන්නෙ නෑ.” එක් අයකුගෙන් පමණක් අසන්ට ලැබිණි. ඔහු නිගමනය කළේ එවැන්නක් උනා නම් ඒ අසුද්දයක් නිසා වූ අබග්ගයක් ලෙසිනි. 

 කරුණා කරන ඇත්තන් අතර සිටින නඩේගුරාට කීකරු වීම වන්දනා කරුවෝ කිසිවිටක පැහැර නොහැරියහ. ජීවිතයේ කිසියම් දුෂ්කරතාවකට මුහුණ දෙන ඇතමකු පත්මය වැඳ දෙවියන්ට පින් පෙත් පමුණුවන බවට භාර හාර වීම පිළිගත් සම්මතයක්ව තිබිණි. දැඩිසේ ගිලන්ව සිටින දරුවකු හොඳින් සුව වූ විට සිරීපාදෙ වන්දවා එම පින් දෙවියන්ට පමණුවන බවට භාරවීම, දරුවන් නොමැති යුවලක් තමන්ට දරුවකු ලැබුණ හොත් එම දරුවාට අකුරු කරවන වයස එනම් අවුරුදු පහ පිරෙන්නට පෙර සිරී පාදෙ වන්දවා දෙවියන්ට පින් දෙන බවට භාරවීම මහත් සේ ඵලදායක වන බව පැවති එකල තදින්ම ඇදහූ  මතයකි. 

අලුත්නුවර ඇත්තන් අතර නඩේගුරා ලෙස පත්කර ගත්තේ  මඩමෙවත්ත කඩේ ළඟ පදිංචිව සිටි එම්. එල්. අප්පුහාමි මහතා, වීදියේ තෝන්ඩිය හන්දීයෙ පදිංචිව සිටි වයි. කේ. බංගප්පු මහතා වැනි දැනුම් තේරුම් ඇති වැඩිහිටියකු බව පවසති.

එකල වන්දනා නඩයක් සිරිපා කරුණා කිරීමට සූදානම් වී ඇත්තේ පහත සඳහන් අන්දමටය.

 

  1. යාමට පේවීම – කිල්ලක් අසුද්දයක් නොමැති අය දෙහි කහ මිශ්‍ර දිය නා පිරිසිදු වීම මෙයින් අදහස් කෙරේ

  2. පන්සිල් සිල්ගැනීම හෝ සමහරුන් අටසිල් හෝ දසසිල් වශයෙන් කිසියම් ශීල්යක් සමාදන්වීම

  3. ආරක්ෂාව පතා බුදුන් වැඳ පින් දී දෙවියන්ට බාරවීම

  4. විශේෂ කෑමබීම පිළියෙල කර ගැනීම ගම්මිරිස් යොදා සකස් කළ අග්ගලා අළුවා වැනි ශිතල වලකන කෑම වර්ග, ඉඟුරු කොත්මල්ලි වැනි සරළ අත්බෙහෙත් වර්ග සකස් කර ගැනීම

  5. මේ සමග අත්‍යවශ්‍ය වියහැකි සීතල වලකන ඇඳුම් දෙක තුනක් සහිතව සැහැල්ලුව සකස් කර ගැනීම මේ සැහැල්ලුව තුළ ඉඳිකටු පානේ දී ගෙත්තම් කිරීම සඳහා ඉඳිකටු නූල්, ඉතා පිරිසිදුව ගෙවල්වලම  සිඳගත් ගැඹිල් හෝ පොල්තෙල්, පිරිසිදු සුදු රෙදි වලින් සකස් කරගත් පහන්කතිර,  බාරවීම පිණිස පිරුවට වල ගැටගසන ලද පඬුරු සහ  පද්මයට හා ඒ මත පිහිටි සමන් දේවාලයට දැමීම පිණිස පඬුරු, තුන්සරණ කවි පාඩම් නොමැති අය තුන්සරණ කවි අඩංගු පොතක් ආදියද මේ සැහැල්ලුව තුළ අඩංගුවේ.

සිරි පා කන්ද කරුණා කරන අය අනිවාර්යයෙන් පිළිපැදිය යුතු චාරිත්‍ර වාරිත්‍ර සමූහයකි. 

කළයුතු හා කිය යුතු දෑ.(චාරිත්‍ර)

    • කළයුතු දේ අනුනට කරුණාවෙන් උදව් කිරීම – තමන් සතු කෑම බීමෙන් සෙස්සන්ට  සංග්‍රහ කිරීම –  තමාට වඩා දුබල අයකු දුටු විටක  උදව් වීම –  පූජනීය අයට උදව් කිරීම – වැඩිමහල්ලන්ට ගෞරවයෙන් සැලකීම –  කුඩා දරුවන්ගේ අවශ්‍යතා සොයා බැලීම    ආදරයෙන් කරුණාවෙන් සැලකීම හා උදව් කිරීම – නඩේගුරාට කීකරුවීම හා ගරුකිරීම – තමා කරුණාකරණ ස්ථානය හෝ පා තබන පඩිය  ගැන පමණක් මනාව අවධානය  යොමුකර පා තැබීම

    • පළමුවරට සිරිපා කරුණා කරන අය කෝඩු කාරයන් සේ සැලකේ. කුඩාදරුවන් කිරිකෝඩු වශයෙන්ද වැඩිහිටියන් දඬුකෝඩු ලෙසද හැදින්වේ. මේ අය දැන ගැනීම පිණිස පිරිසිදු සුදු රෙදි පටක  පඬුරක් ගැට ගසනු ලැබේ එම පඬුර පද්මය මත තැබීම පිණිසය. කෝඩු කාරයන් විශේෂයෙන් රැක බලා ගැනීම කාගේත් වගකීම ලෙස සැලකේ. ඉහළට කරුණා කරන අය ගේද පහළට කරුණා කරන අයගේද විශේෂ සැලකුම් හා සොයා බැලීම මේ අයට ලැබේ. ඔවන් අතින් කට වැරදෙන අවස්ථා ඇති අතර ඒවට දෙවියන්ගේ සමාව ලබා දීම ඒ මොහොතේම සිදු වේ. ඒ සමගම හා! හා ! කට ! කිරිකෝඩු (හෝ දඬුකෝඩු) කට කට!!! කරුණාවයි, කරුණාවයි ! මෙතනම ඉඳන් බුදුනු දෙයියන් වැඳල කරුණා කරපන් යනුවෙන් අවවාද කරමින් සිහිගැන්වීම ද සිරිතකි.

    • ඉඳිකටුපානේදී එකල කෝඩුකාරයින්ට විශේෂ චාරිත් පැවතිනි. තමා විසින් රැගෙන එන  නූල්බෝලයක් සැහැල්ලුවෙන් එළියට රැගෙනඑනමේ කෝඩුකාරයන්තමන්ගෙනඉඳිකටුවටනූලඅමුණති.  මේ අවදියේ පවා මේ චාරිත්‍රය ඉටු වන බව ගෙත්තම්පානේගෙත්තම්කරනලදනූල්ගෙත්තම් රාශියක් දක්නට ලැබීම පැහැදිලි කරදෙයි

 

    • වන්දනාකරුවෝවිශේෂයෙන්කෝඩුකාරයෝවනයෙන්අහුලාගත්හැරමිටියක්හැරමිටිපානේදීසිරීපාදයටපූජා කිරීමද වැදගත් චාරිත්‍රයකි

 

    • ඇහැලකණුවළඟනැවතීපිරුවටඇඳලාමහගිරිදඹතරණයකළයුතුය.

    • කියයුතු දේ නඩේගුරා හෝ කියන්නා අනුකරණය කරමින් හඬනගා තුන්සරණය කීම  –  හමුවන අන් අයට සෙත් පැතීම- හැම විටම කරුණාවයි – කරුණාකරන්ඩ – වැනි කාරුණික වදන් භාවිතය – නිතර මෛත්‍රීසහගත සිතින් සියලු දෑ කීම – තමාට අමාරුනම් වඩා උස්හඬින් තුන්සරණය කීම –

නොකළ යුතු හා නොකිය යුතු දේ (වාරිත්‍ර)

·        කරුණාකරන්නට ආරම්භ වූ මොහොතේ සිටම තහනම් වචන විශේෂයක් ඇත්තේය.

·        පඩියෙන්පඩියඉහළට යමින් අන්තිමේ දී   නගින්නපඩියක්නැතිවන තුරුම යාම මිස ඉහළ බැලිල්ලක් කිසිවිට නොකළයුතුය

·        තමාට පමණක් යාහැකි බව පැවසීම වැනි කටමැත දෙඩවීම් , අනුන්ගේ සිත් රිදෙන වචන අවකැපෙන වදන්ය. ඒවා  භාවිතය සම්පූර්ණයෙන් තහනම් වෙයි.  

·        නෑ – බෑ – අමාරුයි – විඩාරිමු – වැනි වදන්  කටවරද්දා ගැනීම්ය. කටවරද්දා ගැනීම් කිසිවිටක නොකළ යුතුය

·        කිසියම්  කරදරවූ කෙනෙකු  දැක නොදැක්කාසේ සිටීම,  සිරිපාද කන්ද හෙවත් සමනළ කන්ද කරුණා කරන විට ගමණාන්තය දෙස බැලීම , ඒ සම්බන්ධ අදහස් ප්‍රකාශ  කිරීම, මහන්සියයි අතරමග වාඩි වීම, අම්බලමකදී හෝ මග දී තනිව කෑම ගැනීම- සම්පූර්ණයෙන් තහනම් වන ක්‍රියාවන් වෙයි. වෙනත් අයකු තමාට උදව් කිරීමට ඉදිරිපත් වුවහොත් එපායි කියමින් ප්‍රතික්ෂේප නොකිරීම 

ගායනා කරන කවි ගමණේ ආරම්භයේ දී හා අවසන දී මෙන්ම අතර මැද දී ද නිතර නිතර පාහේ කියවෙන අනිවාර්ය කවියක් වන්නේ තමන් තෙරුවන සරණ ගිය බව සිහිපත් කිරීම බව පෙනේ. ඒ සමගම සුමණ සමන් දෙවියන්ට පින් දෙන කවි හා පිහිට යදින පිහිට පතන කවි ද ඇතුලත් කවි ගැයූ බව කියවේ. තෙසරණ ගිය බව සිහිපත් කරගන්නා කවිය මෙසේය.

 

නඩේගුරා බුද්ධංසරණේසිරසදරාගෙන………

පිරිස      – බුද්ධංසරණේසිරසදරාගෙන………

නඩේගුරා ධම්මංසරණේහිතපහදාගෙන………..
පිරිස   – ධම්මංසරණේහිතපහදාගෙන………..
නඩේගුරා – සංඝංසරණේසිවුරුදරාගෙන……….

පිරිස   – සංඝංසරණේසිවුරුදරාගෙන……….

නඩේගුරා ගඤ්ඤයිතුන්සරණේඅදහාගෙන…….

පිරිස   – ගඤ්ඤයිතුන්සරණේඅදහාගෙන…….

 

මෙලෙස එක් එක් පෙළ නඩේ ගුරා හඬනගා කියන අතර එය අනුකරණය කරමින් සෙස්සෝ ගායනා කරති. නඩේගුරා සමග ඉතා ළයාන්විතව දීර්ග ලෙස ඇදෙමින් ගැයෙන තවත් ගායනාවක් මෙසේය.

 

අලුයම බුද්ධං සරණේ ගඤ්ඤයි…………

මැදයම ධම්මං සරණේ ගඤ්ඤයි………..

පෙරයම සංඝං සරණේ ගඤ්ඤයි………..

තුනයමටම තුන් සරණේ ගඤ්ඤයි…….

 

මෙලෙස නඩේගුරා සමග අත්වැල් අල්ලමින්  ඉක්මන් තාලයකින් ගායනා කරන කවිද වෙයි. එවැනි  ප්‍රකට කවි පද කීපයක් පහත දැක්වේ.

අපේබුදුන්, අපිවඳින්න

 දොහොත්නඟාඅපිවඳින්න

නළලතියාඅපිවඳින්න

පෙරළිපෙරළිඅපිවඳින්න

බුදුසිරිපාඅපිවඳින්න

සුමනසමන්දෙවිපිහිටයි

මෙහිදී සිරිපා කරුණා කරන්නට යන සහ පද්මය වැඳ ආපසු බසිමින් සිටින පිරිසක් හෝ කෙනෙකු තම නඩයට මුණ ගැසුන විටක සෙත් පතමින් ගායනා කරන කවිපද ද අනිවාර්යයෙන් ගැයීම සිරිත වෙයි. තමන් සපමින් සිටින කිසියම් අහරක් වෙතොත් පිළිගැන්වීම මෙන්ම එසේ පිළිගන්වන ආහාර පිළිගත යතු වීම ද සියල්ලෝම අනුගමනය කරති. මේ අවදියේ රටේ දස දිගින්ම පැමිණි අය ද මේ සිරිත් සියල්ලම අනුගමනය කර ඇති බව කියවේ. එ බැවින් මේවා උග්ගල් අලුත්නුවර පමණක් නොව රට පුරාම බෞද්ධ බැතිමතුන් අගර පිළිගත් චාරිත්‍ර විධි සමූහයක්ව පැවති බව පෙනේ.

පඩියෙන් පඩිය ඉහළට යා යුතුය  නගින්න පඩියක් නැති වවන තුරුම ඉහළ නොබලා යා යාතුය.අන්තිමේ සියල්ලන්ටම තමන්  ඉහළටම ඇවිත් ඇති බව පසක් වෙයි. හිතට දැනෙන අප්රමාණසතුට දරා ගන්න අපහසු තරම් වන නඩයේ ඇත්තෝ වහාම ගිහින්ගෞතමසම්මාසම්බුදුරජාණන්වහන්සේගේ ශ්රී පාද පත්මය මත නලල ගසා නමස්කාර කරති. කෝඩු කාරයන්ගේ නලල පද්මය මතට තබන්නේ නඩේගුරා හෝ වෙනත් වැඩිහිටියෙකු විසිනි. එය නලල තැබීමක් නොව නලල පද්මය මතට ගැසීමකි.

දොලොස් මහේ පහණට ගෙන යන තෙල් දමති. තමන් ගිය වාර ගණනට සමාන ගණනක්  ඝන්ඨාරය  හැඬවීමට වරම් ඇත. කෝඩු කාරයන් ඝන්ඨාරය හඬවන්නේ නැත.

සෙත් පතමින් ගයන කවි පද

 

බසිමින් සිටින නඩයක් මුණ ගැසුන විට

වැඳල බහින මේ නඩේට

සතර වරම් දෙවි පිහිටයි

වඳින්නට යන වෙනත් කණ්ඩායමක් මුණ ගැසුන විට

වඳින්න යන මේ නඩයට

සුමන සමන් දෙවි පිහිටයි

මේ චාරිත්‍ර වාරිත්‍ර සමූහයේ  කිසියම්  වටිනාකමක් වේද ? සිරි පා ගමන මෙතරම් බිය ‍වීමට තරම් දෙයක් නොවූව ද එකල පැවති චාරිත්‍ර වාරිත්‍ර සමූහය වෙනත් වැදගත් යමක් අපට කියා දෙන්නේ ද ?  යන්න ගැඹුරින් සිතා බැලීම වැදගත්ය. කිසියම් දුෂ්කර අරමුණක් සාක්ෂාත් කරගන්නට යාමේදී  ක්‍රමවත් පිළිවෙලකට  සැලසුම් කර ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව  මේ ක්‍රියා පිළිවෙල තුළින් පෙන්වා දෙනු ලබන එක් විධි ක්‍රමයකි. එය මහත් සේ වටිනාකමකින් යුක්ත විධි ක්‍රමයක්ද  වන්නේය. මේ පිළිවෙල හෙවත් විධික්‍රමය අනුගමනය කිරීම මහත්සේ ඵලදායි වී ඇති බව සාකච්ඡා කළ පැරැන්නන්ගේ වාර්තා අනුව පෙනීයයි

යම් අභියෝගාත්මක අරමුණක් ජය ගැනීම පිණිස වැඩකරන්නේ නම්  ධනාත්මකව කල්පනා කිරීම අත්‍යවශ්‍ය බව, කළ යුතු නොකළ යුතු කිය යුතු හා නොකිය යුතු දේ මගින් පෙන්වා දෙන  වැදගත් මග පෙන්වීමක් වැනිය. මේ ධනාත්මකව සිතන ක්‍රමයේ දී “yes I can” (මට පුළුවන්)යයි කිසිවිටක නොකියයි. මට බෑ යයි ද නොකියයි. ඒ වෙනුවට ඇත්තේ තමා මේ මොහොතේ කරන දේ ගැන සිහියෙන් සිටිමින් ඒ ගැන අවධානය යොමු කිරීම පමණකි.  ගමනේ ඉලක්කය දෙස කලින් නොබැලීම ද ඒ පිළිබඳ විග්‍රහයන් ‍නොකිරීමද තවත්  වැදගත් ලක්ෂණයකි. බිය සමහන් කරන්නට කළේ  තුන්සරණය ගායනා කිරීම සහ අනුනට පිහිට වීම පමණි.

එකල සිරිපා ගමන කිසිසේත්ම  ලෙහෙසි පහසු එකක් නොවීය. අතිශයින්ම දුෂ්කර විය.  මහගිරිදඹය සඳහා

පුරාණයේ යොදා තිබූ දම්වැල් දිරාපත්වෙමින් තිබිණි. මළුව මත ඉඩ පහසුව ඉතා අඩු විය. දොලොස් මහේ පහණ අසල ප්‍රපාතය ආවරණයට වැටක් නොවීය. ඇතැම් තැනක කරුණා කළයු තුව  තිබී ඇත්තේ වැල් වල මුල්වල එල්ලෙමින් ගල් පතුරු අල්ලා ගනිමින් ඉතා පරෙස්සමිනි. පුරාණයේ පැවති අත්වැල්  අබලන්ව පැවති බවත් මළුව පවා අවදානම් සහිතව පැවති බවත් කලින් ලිපියේ ද පැවසිනි. එහෙයින් එය තමන්ගේ ජීවිතය පිළිබඳ  දැඩි අවදානමක් භාරගනිමින් ගිය ගමනක්ව තබී ඇත.

මේ අවදියේ  උග්ගල් අලුත්නුවර අමතරව ශ්‍රී පාදස්ථානය භාරව පත් කළ  සිඩ්නි එල්ලාවලයන් මත පැවරුන වගකීම අති විශාල එකක් විය. වෝකර් සමාගමට රු 3 ක ණයක් පියවීමට තිබිණැයි පැවසීම තුළින් ගම්‍යවන්නේ මේ කාර්යයට එකල පැවති රජයෙන් පිළිසරණක් අපේකෂා කිරීම පවා අපහසුව තිබුණ බවකි. සිඩ්නි එල්ලාවලයන්  එම අභියෝගයට මුහුණ දි ඇත්තේ තමාට විශ්වාස වන්තව  සිටි උග්ගල් අලුත්නුවර වැසියන්වය.  උග්ගල් අලුත්නුවර වැසියන් අතරින් තෝරා ගත් ජවසම්පන්න තරුණ පිරිසක් මේ සියලු වැඩවලදී සහාය වූහ. එතුමා සමග එක්ව සිරිපා පියස තරණයට පැවති  දුෂ්කරතා අවම කරමින් පහසුකම් සැලසීම පිණිස උග්ගල් අලුත්නුවර ඇත්තන් කටයුතු කළ ආකාරයේ ත්‍රාසජනක, මෙන්ම සිනහ උපදවන කතා රාශියක් ඇත්තේය.  “සබරගමු රුවනක වරුණ” කෘතියේ දක්නට ඇති එම විස්තර මී ළඟ ලිපිය තුළ ඉදිරිපත්වනු ඇත.

විශේෂ වදන්

  • පත්මය –  පද්මය යනුවෙන් ද ව්‍යවහාර වන මෙයින් අදහස් වන්නේ වැඳීම පිණිස යන ශ්‍රී පතුල් ලංඡනයයි.

  •            සැහැල්ලුව -කෙතරම් බරක් තිබුණද ගෙන යන ගමන් මල්ල හැම විටම හඳුන්වන ලද්දේ මේ නමිනි.

  • කරුණා කිරීම – ගමන්ගැනීම මෙයින් අදහස්වේ. ඉහළට කරුණා කිරීම යනු ශ්‍රී පාදය වඳින්නට යාම වන අතර පහළට කරුණා කිරීම යනු ශ්‍රීපාදය වැඳ ආපසු යාමය.

  • නඩේගුරා – කණ්ඩායමට මග පෙන්වන හා  මෙහෙයවන නායකයා

  • ඉඳිකටුපාන – සිරිපා ගමන් මගේ වැදගත් එක් ස්ථානයකි. එහි දී සීත ගඟුලෙන් ස්නානය කිරීම සිරිතකි. විශේෂයෙන් කෝඩුකාරයන් ලවා ඉඳිකටුවට නූල් අමුණවා වැට දිගට ඇදීම පිළිගත් චාරිත්‍රයකි.

  •  ගෙත්තම් කිරීම – ඉහත කියන ඉඳිකටුපානේ දී ඉඳිකටුවල ඇමිණූ නූල් ඇදීම ගෙත්තම් කිරීම නමි.

පාදක සටහන්

  1.  පී. පී. ප්‍රනාන්දු මහතා (අභාවප්‍රාප්ත) එච්.ජී. ජගිලිස් මහතා,(අභාවප්‍රාප්ත) ඒ.එම්.ජිනදාස මහත්මා(අභාවප්‍රාප්ත) වයි.කේ. ඒඩිංසිංඤෝ මහත්මා,එච්.ජී.ගුණපාල මහත්මා. සාකච්ඡා කළ වැඩිහිටියන් ලෙස පිදුම් ලබති

  2.  පී. පී. ප්‍රනාන්දු මහතා (අභාවප්‍රාප්ත) එච්.ජී. ජගිලිස් මහතා,(අභාවප්‍රාප්ත) ඒ.එම්.ජිනදාස මහත්මා(අභාවප්‍රාප්ත) වයි.කේ. ඒඩිංසිංඤෝ මහත්මා,එච්.ජී.ගුණපාල මහත්මා. සාකච්ඡා කළ වැඩිහිටියන් ලෙස පිදුම් ලබති

  3. 2015 ඔක්තෝබර් නැවත විමසා විස්තර තහවුරු කරගත් වැඩිහිටියන් එච්. ජී.ගුණපාල මහත්මා සහ එච්.එම්. ජයසේකර මහත්මා පිදුම් ලබති.

12 thoughts on “බුද්ධං සරණේ සිරස දරාගෙන

  1. කළයුතු දෑ සහ කිය යුතු දෑ(චාරිත්‍ර) පිළිබඳ හතරවන සටහන පහත පරිදි විය යුතුය

    “වන්දනාකරුවන් විශේෂයෙන්ම කෝඩුකාරයන් වනයෙන් අහුලාගත් හැරමිටියක් හැරමිටිපානේදී සිරීපාදයට පූජා කිරීමද වැදගත් චාරිත්‍රයකි”

    කැමතියි

  2. කළයුතු දෑ සහ කිය යුතු දෑ(චාරිත්‍ර) පිළිබඳ පස්වන සටහන පහත පරිදි නිවැරදි විය යුතුය.
    “ඇහැලකණුව ළඟ නැවතී පිරුවට ඇඳලා” දුෂ්කරම කොටස එනම් මහගිරිදඹය කරුණා කිරීමට සූදානම් වීම කළ යුතුය.

    කැමතියි

    • වර්තමානයේ ඒවා දකින්න අඩුයි. සමහරු මත් පැන් බීගෙන පරිසරය පුරා පොලීතීන් වපුරාගෙන විනෝදයට යන ගමනක් බවට පත්වෙලා. මෙය බොහොම තැන්වලදි දකින්න ලැබෙන කණගාටු උපදවන දසුනක්. මේ තත්ත්වය වෙනස් කරන්න මහන්සි ගන්න හැටි දෙසැම්බර් මාසෙදි මාධ්‍ය මගින් එන පුවත්වලින් පෙනෙනවා.

      කැමතියි

  3. මම උ.ෙපළ කරන ළමෙයක්.ෙම් ලිපිය මට ෙගාඩක් වැදගත් වුනා.මම අෙප් රෙෙට සංස්කෘතයට ෙගාඩක්ම ගරු කරනවා.ෙම් විදියට ලිපියක් ලියල අන්තර්ජාලෙය් පල කිරීමත් ෙගාඩක් පින් සිදුවන වැඩක්.ඉසිරියටත් ෙම් වැෙඩ් දිගටම කරෙගන යන්න.සුමන සමන් ෙදවි පිහිටයි!

    මම අැඹිලිපිටිය සිසුෙවක්

    කැමතියි

  4. “වන්දනාකරුවෝ විශේෂයෙන්ම කෝඩුකාරයෝ වනයෙන් අහුලාගත් හැරමිටියක් හැරමිටිපානේදී සිරීපාදයට පූජා කිරීමද වැදගත් චාරිත්‍රයකි ” යන්න සම්පූර්ණයෙන් නොපෙනේ නම් මෙලෙස නිවැරදි විය යුතු බව සලකන්න

    කැමතියි

  5. පින්ග්කිරීම: මේ සිරීපාදෙ කාලෙ | sugv

  6. පින්ග්කිරීම: සිරිපදලස සමනොළ පියසේ……… | sugv

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )