යකඩ හදාගත් හැටි

යකඩ නිස්සාරණය ගැන පුරාකතාව

මුත්තෙට්ටුවගම රන්දුනා හමු වූයේ 1988 වසරේය. ඒ බ්‍රිතාන්‍යයෙන් පැමිණි පුරාවිද්‍යාඥවරියක වූ ජුලී ජලෙෆ්ගේ ගවේශන අවදියට වැටෙයි.[i]

රන්දුනා මහතා තම මෑණියන් අපට හඳුන්වා දෙයි.  රන්දුනාගේ මව ඉතාම මහළු වියේය. සිය වයස පැවසීමට ඇයට නොහැකිය. එහෙත්  කතාව පැවසීමට සමත් වෙයි. “ අපේ මුත්තා හතරබාගෙ ගිහින් කැට ගොඩලාගෙන එනවා[ii]. ඉර බැහැගියාට පස්සෙ  වැඩේ පටන් ගන්නවා. අපි කවුරුත් මාරුවෙන් මාරුවට ‘තාලිමානේ’ හම පාගනනවා. මේ විදිහට කාක්කා අඬන වෙලාව එනකං හම්පාගන්න ඕන. එතකොට බොරත් එක්ක තමයි යකඩ එන්නෙ. ඒවයින් යකඩ කොටස් වෙන් කරගෙන ගුලි හදනවා. ඒ ගුලි පස්සෙ ආචාරි ඇත්තන්ට විකුණනවා. යකඩ ගුලිවලට සල්ලි හරි වෙන වෙන දේවල් හරි ඒ අය දෙනවා.

ඔන්න ඔහොමයි ‘තාලිමාන’ උපකාරෙන් යකඩ ගන්නෙ. තාලිමානය ගැන පැවසූ විස්තරය පැහැදිලි මදි. ඒත් හටන්පල ශිල්පීන් කීප දෙනකුගෙන්ම කියවුනෙත් මේ වචනයමයි. මේ වචනය සුමංගල ශබ්දකෝෂයේ වත් හමුවුනේ නැහැ. මේ ගැන දන්න කෙනෙක් ඉන්නවා නම් කොමෙන්ටුවක් විදිහට මෙතනට ගෙන එන්න. ඒ අම්මා තමන්ගේ දරුවන් නලවන කවියක් කිව්වා . ඒත් පද දෙකතුනකට වඩා ඇයට මතක තිබුණෙ නෑ”. ඇයට මතකයේ පැවති ඒ පද දෙක පහතින්

කැට ගොඩලයි යමානා –  හම්පාගයි යමානා……

දොයි දොයි දොයි දොයියා.

ඉතුරු ටික මතක නෑ. ඇය  රන්දුනා මහතා දෙස බලමින් මූ නැලෙව්වෙත් ඔය වාගෙ කවි කිය කියා”.

එතකොට අර සුළං බලෙන් මේ කැට උණු කරනවා කියන්නෙ කොහොම ද?

“ඒක කෙරුවෙ හතරබාගෙ කන්ද බෑවුමේ . ඒත් එහෙම පුළුවන් උනේ ඇහැල මහේ ඉඳල බිනර මහ ඉවර වෙනකං විතරයි. මාත් දැකල තියනවා හැබැයි මතකෙ අඩුයි. ඒ බොහොම ඉස්සර”.  මේ යූටියුබයේ තියෙන්නෙ ඒ යකඩ නිස්සාරණය ගැන විස්තර යාළුවකුගේ sabragmuva chanel එකෙන්.

විශේෂ සටහන්

  1. මුත්තටේටුවගම – ආසන්නයේ තිබෙන ගමක්
  2. තාලිමානය – මේ යකඩ නිස්සාරණයට උපයෝගී කරගත් තද සුළංධාරාවක් ජනිත කර ගන්නා විශේෂ උපකරණයකි.
  3. බලන්ගොඩ ප්‍රදේශයේ පැවති යකඩ පෙරා ගැනීම ගැන ආචාර්ය නන්දදේව විජේසේකරයන් ගේ ලංකා ජනතාව කෘතියේ ද පැවසෙයි. මේ යකඩ සෑදීම 1905 දක්වා තිබුණ බවත් බ්‍රිතාණ්‍ය සමයේ අභාවයට පත් වූ හේතුව ගැනත් එහි කියවෙයි

[i] https://www.youtube.com/watch?v=SSniwMB6qkc

[ii] කැට ගොඩලනවා ලෙස අදහස් කලේ යපස් හාරා ගොඩක් වශයෙන් ගෙන පැමිණිමය. බළන්ගොඩ ප්‍රදේශය ද යපස් වලින් බහුලව පවතින්නකි.

4 thoughts on “යකඩ හදාගත් හැටි

  1. අතීතයේ සිටම යපස් හාරලා යකඩ ගත්තා නේද. ඒ ගැන මතකය තියන අය ඉන්න එකත් පුදුමයි. චීනයට යැව්වා කියනවා නේද?, වචන පෙළ නම් දැන ගත්තෙත් අදයි

    https://kolambagamaya.blogspot.com/

    Liked by 1 person

    • ඔබතුමාගෙ පැමිණීම ලොකු සතුටක් ස්තුතියි. ඇත්ත ඉතා අතීතයේ සිට පැවති බවට තොරතුරු ලැබෙනවා. මෙහි දැක්වෙන්නේ උග්ගල් අලුත්නුවර ගම්යාය අවට පැවති තොරතුරු හා පුරණ කතා පුවත් මෙහි කියවෙන ඒ මෑණියන් හා පුතාත් මිය ගිහින්. කාලයක් වෙනවා. එවකටත් අපට හමුවූ පුතා වයස 70 ඉක්මවා සිටි බව පෙනුනා. එයා ඉඹුල්පේ ප්‍රා.ලේ කාර්යාලයට උත්සව අවස්ථාවක ගෙන්නුවා. ඒ අවස්ථාවේ තමන් දන්නා දේ පවසා අර කවිපද රැඟුමකින් ඉදිරිපත් කළා. ඒ වන විට සිටි ප්‍රාලේ මහලේකම් වරයාත් විශ්‍රාම ගිහින් වසර 15 ක් පමණ වෙනවා. ඒවායේ වාර්තාවන් සමහර විට කාර්යාලයේ තිබිය හැකියි. තාලිමානය නමැති උපකරණය දුටු කෙනෙකුත් දැන් සොයන්න නැහැ. ඒ අයත් ඒ ගැන පවසනවා මිස දැක නැති බව පවසනවා. ලංකාවේ පැරණි දැනුම වියැකී යමින් තිබෙනවා.

      කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.