මල වැඩමවීම හා මඩු පේවීම

පහන් මඩුව වත්වෙපිළිවෙත් 2

මල වැඩමවීම හා මඩු පේවීම

“මඩුවේ ආරම්භය සේම අවසානය ද සංකේතවත් කරන්නේ පොල් මලයි”.  – E.G. Wansapala (former director of education)[i] ඔහුගේ ප්‍රකාශය අනුව “මල වැඩමවීම”    පහන් මඩුවට කලින් ඉටු කළ යුතු වැදගත්ම පෙර සිරිතක් වන බව පෙන්වා දෙයි.

පහන් මඩුවේ පොල් මල වෙනුවෙන් මෙවර වෙන්කර තිබූ පොල් ගස. මෙය අලුත්නුවර ශී ලාල් ස්ටොර්ස්හි ගෙවත්ත විය.

මෙහි දී “මල” යනුවෙන් අදහස් කර ඇත්තේ පොල් මලයි. කල්පවෘක්ෂය සේ සැලකෙන පොල් ගසේ මල යනු පහන් මඩුවේ ප්‍රයෝජනයට ගන්නා ශුද්ධ වස්තුවයි. මඩුව ආරම්භයට දින කීපයකට කලින් අදාල පොල් ගස තෝරා වෙන් කරන පත්තිනි කපු මහතා ගස හිමි ඉඩම්හිමියාට දැනුම් දෙයි. එසේ තෝරා ගැනීම තමන්ටත් පවුලේ අයටත් ආශීර්වාදයක් සේම එය බලගතු රහසක් සේ ද පිළිගැනීමක් ගම්මානයේ පවතී. ඒ නිසා අදාල දිනය වනතුරු ගස ගැන දන්නේ ඒ දෙදෙනා පමණි.

මල වැඩමවීම

පහන්මඩු ශාන්තිකර්මයට කලින්  සිදුවන මේ කටයුත්ත  “මඩු පේවීම” ලෙසින් ව්‍යවහාර කෙරෙයි. මෙතැන් සිට මේ ලිපියේ  ද ඒ වචනයම භාවිත කෙරේ. මේ දිනය සිකුරාදා දිනයකි.

අඳුර වැටෙන්නට ආසන්නයේ හෙන්දිරික්කා මල පිපෙන සමය වන විට පත්තිනි දේවාල ස්ථිර කපුමහතා සහ ප්‍රධාන රැඟුම් ශිල්පියා (ඔහුද පත්තිනි කපුමහතකු සේ සැලකේ)  සිය රැඟුම්  කණ්ඩායමේ කීප දෙනකු සහ සෙසු ආවතේව කරුවන් හේවිසි කණ්ඩායම ද සමග අදාල පොල් ගස පැවති ඉඩමට සමීප වෙයි. ඒ වන විට

මේ සම්ප්‍රදායය පිළිබඳ හදාරන විද්වතකු වූ ග්‍රන්ථ කතුවර අභිෂේක් යසස්ති රන්දෙනිය මහතා දැනට වයස 79 ක පසුවන වාදන ශිල්පී ටියුඩර් මහතා ගේ පුවත් විමසමින් .

ආදල ඉඩම් හිමි විසින් වෙන්කර ඇති පොල්ගස අවට වල්කපා හෙලි පෙහෙලි කර සකස් කරයි. එය හිමියා තනිවම කරන කාර්යයකි. දැන් අදාල පිරිස ගස ආසන්නයට පැමිණ දුම් අල්ලා ගසට වැඳ අවසර ගන්නේ අදාල කවි හා ස්තෝත්‍ර ගායනයෙන් යුතුවය සුදු පිරුවට මගින් අදාල ගස ආවාරණය කර කපු මහතා ඉනිමගක ආධාරයෙන් ගසට නැග පොල් මලට ආසන්න වෙයි. මේ වන විට නොකඩවා ගැයෙන ස්තෝත්‍ර ගායනා අඛණ්ඩවම සිදුවේ. මල කපාගන්නා කපු මහතා එය සුදු පිරුවටයකින් වසා ගෙන ගසෙන් බැස පහන්මඩු තොරණ පිහිටි ස්ථානයට වැඩමකරවා ගෙන ගමන් ගනී. ඊට ඉහළින් උඩුවියන් සමග සෙසු ආවතේව කරුවන් ද හේවිසි වාදනය කරමින් අදාල ශිලපීහුද ගමන් ගන්නා අතර උඩුවියන දෙපසින් ඊට ආසන්නව රැඟුම් ශිලීපීහු ද ගායනා කරමින් ගමණෙ යෙදෙති.

මඩු පේවීම

අදාල පහන් මඩු  තොරණ අඩක් සම්පූර්ණව පවතී. වැඩමවාගෙන පැමිණි මල තොරණේ පසු පසින් සකස් කර ඇති උස් වේදිකාවේ තැන්පත් කෙරෙයි. එහි දී  අදාල ගායානා හා ස්තෝත්‍ර ගායනා ද සිදුවෙයි. මෙහි දී  වාද්‍ය භාණ්ඩය වන්නේ උඩැක්කිය යි.

පහන්මඩු  තොරණ හා අදාල තාවකාලික දේවාලය සම්පූර්ණයෙන් නිම කරනු ලබන්නේ පසු දිනයි. මේ වන විට සිදුව ඇත්තේ  අදාල බිම්කඩ හා ඒ සම්බන්ධ සීමා සකස් කර තැබීම, තොරණ හා තාවකාලික දේවාලය අඩකින්  නිම කර ඇති බව නිරීක්ෂණය වෙයි. පසු දින උදෑසන සිට  තාවකාලික දේවාලය සම්පූර්ණ  තොරණ අදාල සරසිලි සම්පූර්ණ කෙරෙයි.  මඩු පේවෙන දින ප.ව. 6.00ට පමණ රැඟුම් කණඩායම සිය ආචාර්ය වරුන් පිරිවරා ගනිමින් දේවාලයේ ස්ථිර කපු මහතා පත්තිනි දේවාභරණ වීදිය දීගේ වැඩම කරයි. එහි දී දේවමාතාවට යාඤා කෙරෙන  ගායනා වන්හි නිරත වෙමින් මේ කුඩා පෙරහර අදාල වීදිය දිගේ ගොස් තොරණ වටා යති. ප්‍රධාන ශිල්පී  කපු මහතා පසු දින සිදුවන පහන් මඩු ශාන්ති කර්මයට අවසර ගනු ලබයි. එය සිදුවන ආකරය සම්බන්ධව මේ වීඩියෝව නැරඹිමෙන් අවබෝධ කර ගත හැකියි.එතෙකින් එදින කටයුතු නිමා කෙරෙයි.  පහන්මඩුව ආරම්භය සිදුවන්නේ පසු දිනය.

පසු සටහන – මෙවර උදාවූ විශේෂත්වය

  • පහන් මඩුව කාලයක් තිස්සේම පවත්වා ඇත්තේ ව්‍යවහාර  වර්ෂය අනුව ජනවාරි පළමුවන දිනට පෙරය. එහෙත්  2023 දෙසැම්බර් 30 වන විටත් පහන් මඩුව පැවැත්වීම සම්බන්ධ සූදානමක් නොවු බැවින්  වැසියන් අතර නොසන්සුන් බවක් මතුවන්නට විය. ඒ නිසා 2024 ජනවාරි 12 සහ 13 දින 2023 පහන්මඩුව පැවැත්වීමට කටයුතු යොදවන ලදී. උග්ගල් අලුත්නුවර මඩුව  සම්බන්ධ වැඩි දුර තොරතුරු හා දත්ත වෙනුවෙන් පහත ලින්ක් එක ක්ලික් කර විමසා බලන්න.
  • උග්ගල් අලුත්නුවර පාන්මඩුව

————————————————————

[i] ඊ.ජී.වංසපාල මහතා  ඉතිහාසය හා සමාජවිද්‍යා අධ්‍යාපනවේදී උපාධිධාරියකි. එමෙන්ම මේ විෂයයන් සම්බන්ධ බළන්ගොඩ අධ්‍යාපන කලාපයේ අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ද විය. ඔහු කුඹල්මුල්ල පහන්මඩු ශිල්පියකු ලෙස ද සිය නිපුණතා පෙන්වයි අතර ඒ සම්ප්‍රදායය සම්බන්ධ දැනුමින් ප්‍රාමානිකයකු ද වෙයි

4 thoughts on “මල වැඩමවීම හා මඩු පේවීම

  1. ඒක නේ, ජනශ්‍රැතිය හා මේ වැනි අස්පර්ශනීය උරුමයන් පවත්වා ගෙන යාම ඉතාම වටිනවා. වගේම ඒවා ආශ්වාදනීයයි. මා විශ්මයට පත් තවත් කාරණයක් වන්නේ පසුදා සවස පටන්ගන්නා නැටුම් හා ගායනයන් රාත්‍රිය පහන් වීත්, පසු දින උදය වරුව දක්වාමත් කට පාඩමින් පවසන කවි හා යාදිනි මොන විදිහට මතක තබාගන්නවාද යන්නයි. ඒ සමගම පසුගිය වසර අවසන් වනවිට පවත්වා ගැනීමට අපහසු වීමෙන් වැසියන් අතර ඇති වූ නොසන් සුන් බව මේවා තවමත් සාමාන්‍ය ජනජීවිතයට කෙතරම් බලපා ඇද්ද යන්න පැහැදිලි වුනා.
    මගේ නිවස ආසන්නයේ වත්තක පැවති පොල් ගසෙන් මල නෙලා ගැනීම දක්වා අවස්ථාව කෙරම් රහසිගතව සිදුවුනාද යත් මගේ ආයාචනාත්මක ඉල්ලීම නිසා ලැබී තිබුණ පණිවුඩය අනුව ඒ ආසන්නයට යා ගත නොහැකි වුනා. පසුව දැක ගැනීමට හැකිවුනේ රංගභූමියට ගමන්ගන්නා මල වැඩවීමේ පෙරහර කොටසක් හා මල තැන්පත් කරන අවස්ථාව පමණි. ඉහත පළමු වීඩියෝව අනුව ඒ අවස්ථාව ඔබ දකින්න ඇතියි සිතමි. ඔබේ පැමිණිම හා අදහස් දැක්වීම වෙනුවෙන් ස්තුතියි හිතාදර විද්වතාණනි.

    කැමතියි

  2. මේ ඉහත පාදක සටහනේ පෙන්වන ඊ.ජී.වංසපාල මහතා විසින් එවන ලද තවත් එකතු කිරීමක්. – “පොඩි පැහැදිලි කිරිමක් ,පහන් මඩුවේ දී පොල් මල වැඩම විම අවස්තාතුනකදි සිදුකෙරේ 1තෝරාගත් පොල් ගසකින් ඔබ විස්තර කල අයුරින් උඩු වියන් හා හේවිසි හා උඩැක්කි වාදන සහිතව වැඩම වා දෙවොල් තොරනේ ඒ සදහා වූ අසුනේ තැන්පත් කිරිම 2මැදියම් රැයේදී එම පොල්මල පෙර පරිදිම දිග්ගෙහි කෝවිලවෙත වැඩම කිරිම 3 පසුදා නර්තනයන් අවසන් වූ පසු නැවත එම පොල්මල කෝවිලේ සිට දෙවි යන්ට පිටු නොපා පස්සෙන් පස්සට තොරන් ඇප හැරිම ට අදාල ගායනා ඉදිරිපත් කරමින් දෙවොල් තොරනේ තැන්පත් කිරිම මෙහිදී කෝවිල හාතොරන අතර රියන් 30ඇතිවග ගායනා වලින් කියවේ. මඩු පේවීම මුල් දවසේ සිදුවන්නකි ඔබට ස්තුතියි” – මෙහි කියවෙන්නේ පසුදා එනම් පහන් මඩුව දින සහ ඉන්පසුව එළඹෙන දින උදය වරුවේ, එනම් පහන් මඩුව නිමවෙද්දී මේ පොල් මලට සම්බන්ධ වත් පිළිවෙත් ගැනය. මේ කලින් මගේ නිරීක්ෂණයට හසු නොවූ පිළිවෙතකි. මේ විද්වතාණන්ට ස්තුතියි. (මෙය මුහුණූ පොත් මගින් ලැබුණ අදහසකි)

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.