දේවාලයේ වත්පිළිවෙත් සම්ප්‍රදායයන් මෑත අතීතය

මෑත අතීතයේ දේවාල පැවැත්ම සංරක්ෂණය

මේ වෙනුවෙන් වත්පිළිවෙත් වල පැවැත්ම හඳුනාගත හැකි ලේඛනයක් නිසා සැලසී ඇත්තේ මහත් සෙතකි.  එය යටත් විජිත සමයේ සකස් වූ ලේඛනයකි.  මෑත ඉතිහාසය සම්බන්ධ තොරතුරු සෙයාගත හැකි වටිනා මූලාශ්‍රයක් ද වෙයි.  ඒ අනුව  අදාල රාජකාරිය ඉටු කිරීම පිණිස  ගෙවා ඇත්තේ  ගොඩ සහ මඩ ඉඩම් භුක්ති විඳිමට රාජකාරි ඇත්තන්ට පවරා දීමෙනි. මේවා පාරම්පරිකව අදාල පවුල් පරම්පරාවට උරුම වෙයි. දේවාලයේ කාර්ය මණ්ඩලය රාජකාරි ඇත්තන් ලෙස හැඳින්වෙයි. ඒ ඒ කටයුතු වෙනුවෙන් පුරාණයේ    ස්ථාපිත ඉඩකඩම්  හිමි  අන්දම  සොයා බැලූ 1870 ආසන්නයේ පැමිණි, එකල බලයේ සිටි ඉංග්‍රීසි ආණ්ඩුවේ කොමසාරිස් මණඩලය විසින්  විහාර දේවාලගම් පනත අංක 4  ලේඛනය සකස් කර ඇත. එහි අඩු තැන් බොහොමයක් ඇතත් දැනට පිළිගන්නේ එයයි.

රාජකාරි ඇත්තන් එම ලේඛනය හඳුන්වන්නේ “1870 දේවාලයේ කොමසාරිස් ලේඛනය” යනුවෙනි. මේ ලේඛකයා ද  ලිවීමේ පහසුව පිණිස ඒ යෙදුම මෙතැන් සිට භාවිත කරන බව සලකන්න.

අතීතයේ උග්ගල් අලුත්නුවර කතරගම දෙවියන් උදෙසා කෙරන තේවා වත් පිළිවෙත් හෙවත් රාජකාරි  ගණන 99 ක්  වූ බව පැරැන්නෝ පවසති .   එහෙත් එපමණ ප්‍රමාණයක් ලේඛනයේ  හමුනොවේ. එහි ඇත්තේ 89 ක පමණ ප්‍රමාණයකි. ඒ සමගම කාලයාගේ ඇවෑමෙන්  ඒ පාරම්පරික ඇත්තන් හෝ පරම්පරාවන් ද සියල්ල සොයාගැනීම අද අසීරුය.  පසුකාලයේ සිදු වූ සමාජ ආර්ථික වෙනස්වීම ඊට බලපා ඇති බව පෙනේ. සබරගමුවේ පැරණී ලියකියවිලි ග්‍රන්ථයේ (පූජ්‍ය කිරිඇල්ලේ ඤාණවිමල මාහිමි) දක්වන ලෙස දේවාල ඉඩම් පිළිබඳ රදල නිලමේ වරුන් පිරිසක් අතර ආරවුල් නිසා බොහොමයක් ඉඩම් අහිව ඇති බව පැවසේ. එහි සඳහන් හිමි වරුන් උපැවිදිව හැර ගොස් ඇති බැවින් කාලයක් යනතුරු විහාර වත්පිළිවෙත් අභාවයට යමින් පැවතී ඇත. 1915 සිංහල මුස්ලීම් කෝලහාල අවදියේ යුදනීතිය පැනවීම හා පෙරහර පැවැත්වීම තහනම් කර ඇති බව ලේඛන ගතව ද හමුවේ. පැරැන්නන් එක් අවදියක වසර 7ක් තිස්සේ පෙරහර නැවතී තිබුණ පවසන්නේ මේ නිසා විය හැකිය. ආනන්ද කුමාරස්වාමි වියතාගේ මධ්‍ය කාලීන සිංහල කලා කෘතිය සම්පාදනය කිරීමේදී දේවාලය ගැන කිසිදු සටහනක් හමු නොවේ. එතුමාට දැකිය හැකිව තිබී ඇත්තේ මළුව මත ස්ථාපිත ටැම්පිට විහාර ගෙය පමණි. 1920 ගණන්වල ඒ.එස් ජයවර්ධන නිලමේ බස්නායක ලෙස පත්ව පැමිණියත් එතුමා මග හැරී ගිය රාජකාරියක් සඳහා  නව පරම්පරාවකට අදාල කටයුතු පැවරීම හැර අන් කිසිවක් සම්බන්ධව තොරතුරු හමු  මෙතෙක් හමුව නැත.

1933 දී නව බස්නායක නිලමේ වරයා ලෙස පත්ව පැමිණි  සිඩ්නි එල්ලාවල නිලමේ වරයා දේවාල භාරකාරත්වය ට පැමිණෙන විටත්  බොහෝ රාජකාරි හා පංගු ඉඩම් අවතැන්ව පැවතුන බව සබරගමුවේ පැරණි ලියකියවිලි හි ද කියවේ. ඒ නිසාම රාජකාරි ඇත්තන් ද විසිර යමින් පැවතුනි. නව බස්නායක නිලමේවරයා  එවකට පැවති ඉංග්‍රීසි ආණ්ඩුවට කරුණු දක්වා ඒවා කොටසක් නිදහස් කරගත් බව ද එම ග්‍රන්ථයේ  වැඩිදුරටත් සඳහන් වෙයි. එකල දේවාල ගමෙන් පිට ගොස් සිටි අය නැවත ගෙන්වා ආසන්න ඉඩම්වල පදිංචි කරවා ඇත්තේද එතුමාගේ නියමයෙනි.

1980 දශකයේ සමනළ වැව ඉදිකරීමේ දී රාජකාරි පංගු වලට අදාල මඩ ඉඩම් අක්කර 400 කට අධික ප්‍රමානයක් ද ගොඩ ඉඩම් අක්කර ඊටම සමප්‍රමාණයක් ද  අහිමි වී  ඇති බව එවකට පත්ව සිටි බස්නායක නිලමේවරයා(කරවිට වලව්වේ හරිශ්චන්ද්‍ර බණ්ඩාර නිලමේ ) සහ   අත්තනායක මොහොට්ටාල නිලමේ වරු ද ඇතූළු සෙසු ඇත්තන් ද පෙන්වා දෙති. මේ නිසා දේවාලයේ පෙරහර සම්බන්ධ පිට කට්ටලේ වත්පිළිවෙත් බොහොමයක් හා  දෛනික වත්පිළිවෙත් ද දැනට පවත්වා ගනු ලබන්නේ කුලී රාජකාරි ලෙසය. ආධුනිකයන් සම්බන්ධ කර ගැනීමේ දී කලින් ලිපියේ පැවසූ පරිදි  අත්තනායක මොහොට්ටාල නිලමේ වරයා තමන් දන්නා තරමින් කියා දී උගන්වා නිපුණයන් කරන්නට උත්සාහ  කරන බව පෙනේ.

1870 කොමසාරිස් ලේඛනයේ සටහන්ව ඇත්තේ ඒ වනවිට ඉඩම්  භුක්ති වින්ද පුද්ගලයාගේ නමින්ය. පසුව මහනුවර තිබී ගෙනැවිත් ඇති බව කියන මෙය  දැනට ඇත්තේ රජ්‍ය ලේඛනාගාරයේය. මහනුවරින් ගෙනා ලේඛනයෙන් ලබාගත් අත් පිටපතක් බැගින් අත්තනායක මොහොට්ටාල වරුන් සතුව පවතී. එක් එක් රාජකාරි ඇත්තන්  තම තමන්ගේ  පංගුවට ආදල විස්තර පිටපතක් ද දේවාල කාර්යාලයෙන්  ළඟ තබා ගෙන කටයුතු කරති.  වර්තමානයේ තමන් භුක්ති විඳින ඉඩම් වලට අදාලව ඇති කරගන්නා නඩු හබ ආදියේ දී මේවා ඉදිරිපත් කරමින් සිය ගැටළු විසඳාගන්නා බව පෙනීයයි.

ලේඛනය සකස් ඇත්තේ  පිටුවක තීරු බෙදා වෙන්කර පංගුවලට අදාල විවිධ තොරතුරු සටහන් කරන ආකාරයෙනි. එම තීරු සැකැස්ම පහතින් දැක්වේ.

  1. අදාල පංගුව පිහිටි ගම
  2. පංගුවට අදාල අංකය
  3. පංගුවේ නම සහ තොරතුරු
  4. පංගුවට හිමි කර දී ඇති ඉඩම් ප්‍රමාණය අමුණු පෑල් කුරුනි වශයෙන්
  5. ප්‍රවේනි නිලකාරයාගේ නම හෝ නම්
  6. කළයුතු වැඩවල අන්දම හා ප්‍රමාණය
  7. වැඩ වෙනුවට අවුරුද්දකට ගෙවිය යුතු මුදල රුපියල් ශත වශයෙනි.

ඒ.එම්.එස්.එම්.කරුණාරත්න බණ්ඩාර මහත්මා ඉදිරිත් කළ අත්පිටපතෙනි. ඔහු තමාට හිමි වූ වාරයන්හි අත්තනායක මොහටේටාල නිලය දැරූ නිලමේ තුමකු විය

මේ විස්තර අතර ” වැඩකළ යුතු අන්දම හා ප්‍රමාණය” දක්වා ඇත්තේ ඉතාම සංක්ෂිප්තව බව පෙනීයයි. එක් එක් රාජකාරි ඇත්තා ඉටු කරන රාජකාරි කටයුතු මෙහි පවසන දේවලට වඩා බෙහෙවින් සංකීර්ණය . එක් උදා හරනයක්  ලෙස නයියන්ඩි රාජකාරියට අදාල තොරතුරු වල එහි දී ගැයෙන කවි හෝ දිග්ගේ නැටුම හා ආලත්ති තේවය ගැන පවසා ඇති මුත් ඊට අදාල වෙනත් කිසිවක් විස්තර කර නැත. අනෙක් රාජකාරි සම්බන්ධ තත්වය ද එසේමය. ඒවා දැන පුරුදු කර ඇත්තේ ඒ ඒ පවුල් පරම්පරාවල ඇත්තන් පමණි. ඊට අමතරව අත්තනායක මොහොට්ටාල නිලමේ වරුන්ට සියල්ල දැක පුරුද්ද ඇති බැවින් අලුතෙන් එන  නොදන්නා අයට උගන්වන්නට තැත් කරන ආවස්ථා දැකිය හැකිය. මේ වත්පිළිවෙත් විධිමත් අධ්‍යයනයකට ලක්ව නැති බැවින් තාල සම්ප්‍රදායයන් හා නාදමාලා උගන්වා පුහුණු කළ හැකිව සිටින  එකම විශේෂඥයා ලෙස ඇත්තේ අත්තනායක මොහොට්ටාල නිලමේ වරයාය. දැනට ඒ වගකීම දරන ඒ. එම්. එස්. එම් කුමාරසිංහ බණ්ඩාර මහත්මා විමසීමේ දී තමන් නවකයන්ට පෙරහර අවස්ථා අතර දීම උගන්වන්නට තැත් කළත් එපමණ සාර්ථක වී නැති බව පවසයි. ඒ සඳහා සුදුසු පොදු රහස්‍ය ස්ථානයක් ලබා දිය හැකිනම් පුහුණු කරවිය හැකි බවද පවසයි. මේ සඳහා කිසියම් ප්‍රයත්නයක් ගන්නා බව එතුමාට පොරොන්දු වන්නට ලේඛකයාට සිදු විය.

ඒවා පිළිබඳව හා තවත් විස්තර ඉදිරියේ දී…..

විශේෂ වදන්

  • රාජකාරි ඇත්තා :- මෙලෙස හඳුන්වන්නේ දේවාල වත් පිළිවෙත් ඉටු කරන අය
  • පොදු රහස්‍ය ස්ථානයක් :- දේවාල වත්පිළිවෙත් ඉටුකරන ආකාරය ඒ ඒ අවස්ථාවල දී මිස වෙනත් කිසිදු අවස්ථාවක ප්‍රදර්ශනය නොකිරීම තරයේ පිළිගත් සිරිතකි. දවුල් තම්මැට්ටන් හොරණෑ ආදී වාද්‍ය භාණ්ඩ හැඬවීම ද දේවාල කටයුතු වලටම සීමා වේ.
  • අත්තනායක මොහොට්ටාල නිලමේ : මේ දේවාලයේ ස්ථිර විධායක නිලයයි. එය ද පරම්පරාවෙන් උරුම වන්නකි

 

 

7 thoughts on “දේවාලයේ වත්පිළිවෙත් සම්ප්‍රදායයන් මෑත අතීතය

  1. අර ලේඛනයේ අත් අකුරු ලස්සනයි. ආනන්ද කුමාරස්වාමි ගේ පොත මං ළඟ තියනවා. ප්‍රා ජේ තමා එව්වේ. දේවාලේ ගැන සඳහන බලන්නම්. (ටැම්පිට විහාරය 0 මට මෙවර ලංකාවේදී හොන්ඩ අපොත් දෙකක් ලැබුන. තවම කියවන්න ගත්තේ නැහැ. – අජිත්

    Liked by 1 person

  2. පැමිණියාට ස්තුතියි අජිත්. ඒ අත් අකුරු ඒ අත්තනායක මොහොට්ටාලගේ මුත්තාගේ යයි පවසනවා. ඒ කියන කාලයේ මෙහෙ පාසලක් තිබී නැහැ මාමල්ගහ පන්සලෙන් එකල පිරිමි දරුවන්ට ඉගෙන ගන්නට ලැබුණ බව අසන්ට ලැබුණා ඒ අනුව ඔය පන්සල් අකුරු විය හැකියි. ඔවුන් සිංහල සංස්කෘත, පාලි දෙමළ වැනි භාෂාත් ප්‍රගුණ කර ඇති බව පැවසුණා. මේ මෙහොට්ටාල නිලමේ වරයාත් පාලි සංස්කෘත වැනි භාෂා ඉගෙන ගෙන ඇත්තේ එහෙන් බව කිව්වා. එකල සිටි සීලානන්ද හිමියන් ඔවුන් සිහිකළ ගුරුවරයා. පසුව එම පන්සලෙන් ද තොරතුරු සෙව්වා . ඒ විස්තර ලිවීම පසුවට තබමි.

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.