“පත්තිනි දෙයියන් වඩම්මන කං වීදි සුද්ද වෙන්නෙ නෑ”
(පළමු වරට 2013/10/14 දින පළ කරන ලද මෙය නව සංස්කරණයන් සහිතව නැවත පළ කරන බව සලකන්න)
ඉහත ඇත්ගතේ මේ දැනමුත්තකු පහන් මඩුව හා පත්තිනි දේව හාස්කම් ගැන කළ ප්‍රකාශයකි. ලංකාවේ වැඳුපිදුම් ලබන ප්‍රධාන තම කාන්තා දෙවියන් වන්නේ පත්තිනි දෙවියෝ වෙති. එතුමිය වෙනුවෙන් කරන පාන්මඩු ශාන්තිකර්මය, පුරාණයේ සිටම වසරක් පාසා කරන බව දැනමුත්තෝ අවධාරණය කරති. ඒ මගින් නිකිනි මස සිට බලපා තිබෙන “යක්ෂමාස” කෙලවර කරමින් බැලම හෙලමින් සිටින යකුන් පළවා හැරීම කෙරයි. එමගින් මහේශාඛ්‍ය දෙවිවරුන්ට මෙලොව දිවස්ලෑමට සුදුසු පාරිශුද්ධ පරිසරයක් ඇති වෙයි. මෙහි දී දෙවොල් යකුන් වැනි යකුන් පත්තිනි අනුහසින් දෙවියන් බවට ද පත්වෙයි. මේ බව දැනමුත්තාගේ පුරාවෘත මෙන්ම දෙවොල් ගොඩබැසීමේ කවි ගායනා වලින්ද පහන් මඩු ගායනා සහ රැඟුම් වලින්ද මනාව පැහැදිලි වෙයි.
පෙර දින මඩු පේවීමෙන් අනතුරුව පසුදින සවස සිට “පාන්මඩුව” හෙවත් පහන් මඩු ශාන්ති කර්මය පැවැත් වීම පෙරසිරිත අනුව සිදුවෙයි. එය නරඹන අයගේ අවධානය ආකර්ශනීය ලෙස ඇද ගිනිමින් සිදුවන අන්දම මෙහි දී දැකිය හැකිය.
රංගභූමිය හා දෙවියන්ගේ ගමන් මාලිගා දේව විමානය පේකිරීම
පහන් මඩුව පැවැත්වීමට සූදානම් වන ගම්මානයේ ඇත්තෝ උදෑසනම සිටම ලහිලහියේ ඒ සඳහා පරිසරය සූදානම් කරති. පත්තිනි දේවාලය ඉදිරිපිට තාවකාලික මඩුවක් තනා ඒ ඉදිරි පිට නියමිත දුරකින් තොරණ ඉදි වෙයි. මේ ප්‍රමාණය “තිස් රියනක් දුරින්” ලෙස ගායනා වලින් පැවසුන ද වර්තමානයේ ඒ ප්‍රමාණය කෙටි වී ඇත. ශාන්ති කර්මයේ රංග භූමිය වන්නේ තොරණ හා මඩුව අතර කොටසය. තමන්ගේ ගෙදර කිලිකුණු කිසිවක් නැති ගමේ ඇත්තන් මේ සදහා එක්වීම සිරිතය. මේ ඇත්තන් පත්තිනි දේවාල මිදුලට පැමිණ එහි කෙරෙන කටයුතු වලට සුළු වශයෙන් හෝ දායක වීම දේවාශීර්වාදය ලැබෙන කටයුත්තක් සේ විශ්වාසයක් ගමේ ඇත්තන් අතර වෙයි. එහෙයින්ම ඔවුහු බැති සිතින් තොරණ ඉදිකිරීමාදි කටයුතුවල නියැලෙති. මේවා නිල රාජකාරි වලට වඩා දේව පිහිට පතමින් කරනු ලබන ස්වේඡා සේවා වැනිය. වැඩ කිරීමට නොදත් හා අපහසු අය සේවා සපයමින් පැමිණෙන බැතිමතුන්ට සංග්‍රහ පිණිස අවැසි වියහියදම් ලෙස පඬුරු පිරි නැමීම ද පෙර සිටම පැවත එන සිරිතකි. උග්ගල් අලුත්නුවර දේවාලයේ බස්නායක නිළමේ තුමා මෙන්ම ශ්‍රමය සැපයීම අපහසු වෙනත් ඇත්තන් වියහියදම් පිණිස පඬුරු පිරිනමමින් අවශ්‍ය ද්‍රව්‍ය සපයා දෙති. අසුද්ධයක් නොැමති අවස්ථාවන්හි ඒ අය ද පැමිණ සහභාගී වී දේව පිහිට යදිති.
පහන්මඩුව හෙවත් වැසියන් කටහුරුවට පවසන පරිදි “පාන්මඩුව” මේ දේවාල ගම්යායේ තදාසන්න වෙනත් ගම්වලද පැවැත් වෙයි. මෙය කුඹල්මුල්ල ගමේ ද වසරක් පාසා පැවැත් වන අතර, මොරහැල, ගලගම වැනි සෙසු ගම්වල ද වරින් වර පැවැත් වෙයි. පේකිරීමෙන් අනතුරුව පසුදින සවස (හෙන්දිරික්කා මල් පිපෙන සමයට) කල්තබා පේකර වෙන්ව තැබූ පොල් ගසෙන්, ශුභ හෝරාවෙන් පොල් මල කපා වැඩමවා ගෙනැවිත් එතැන් සිට පහන් මඩු ශාන්ති කර්මය පසුදා මධ්‍යහ්නය දක්වා පැවැත්වෙයි.
ආකර්ශනීය විශේෂාංග හා පැවැත්වීමේ අරමුණු
ශක්‍ර දෙවියන් මහළු මිනිස් වෙසකින් මෙලොවට පැමිණ කිසිවකුට විදිනන්නට නෙහැකි “රන් අඹය” විද පත්තිනි දේව උපතට මං සැලසීම, “රාමා මැරීම” නිරූපණය හා රාජ අණ නිසා මරණයට පත්ව සිටි “පාලඟ” කුමරු පත්තිනි දෙවි අනුහසින් නැවත පණ දී නැගිට වීම, දෙවොල් යකුන් කපටි වෙළඳුන් සේ පැමිණ මිනිසුන් රවටමින් වෙළඳාම් කරන්නට තැත් කිරීම, ඔවුනට පත්තිනි දෙවියන් විසින් මෙරටට ගොඩ බැසීමට වරම් දී දේවත්වයට පැමිණ වීම, කඩවතින් ඇතුළු වීමට අවසර දීම වැනි අවස්ථා විනෝද ජනක හාස්‍යෝත්පාදක නාට්‍යයන් ලෙස නැරඹීමට හැකි වෙයි.
ඒ අතරම පත්තිනි දෙවියන්ගේ අසිරිය හා බලපරාක්‍රමය එම අනුහසින් වැසියන්ට පැමිණ තිබෙන සියලු අමනුෂ්‍ය බලපෑම් සහ රෝග උවදුරු, පැතිර යන වඳුරු වසංගත දුරු කර සශ්‍රීකත්වය හා සුබඵල ලබා දෙන ශාන්ති කර්ම විධි සම්බන්ධ අංග රාශියකින් සමන් විතව මේ ගමටත් “අහල ගම් හතටත්” මුළු රටටත් ලොවටත් සෙත් පැතීම ද මෙහි දක්නට ලැබෙන විශේෂත්වයයි. මෙහි දී “ජනපද රෝග වඳුරුවසංගත” හෙවත් බෝවන රෝග නිසා දැනටත් ඔත්පලව වැටී සිටින අය වෙනුවෙන් සෙත් ශාන්ති කිරීමද සිදුවන අතර එය මෙය මේ ගමට පමණක් නොව “අහල ගම් හතක” ටත් සෙත් පතමින් මුළු රටේම බව භෝග සම්පත් පහළ වෙමින් ශස්‍රීකත්ව උදා කිරීම ද ශාන්තිකර්මයේ අරමුණු අතරට ගැනේ. විශේෂයෙන් ගැබ්ගත් සහ දරුවන් අපේක්ෂිත අයට ද දරුවන්ට ද සෙත්
පැතීම ද මෙහි දී සිදුවන තවත් විශේෂ කටයුත්තකි.
ලංකාවේ සෑම ගම් නියම්ගම් හිම පත්තිනි දේව ඇදහිල්ල දක්නට ලැබෙයි. පළමු රාජසිංහයන් ගේ මෙහෙයවීමෙන් එකල ලංකාවේ විවිධ ස්ථානයන්හි තවත් පත්තිනි දේවාල රාශියක් ඉදිව ඇති බව මහාචාර්ය රිසිමන් අමරසිංහයන්ගේ පර්යේෂණ පෙන්වා දෙයි. ( අධෝලිපි අංක 3 බලන්න) යාපා මහ රජු විසින් සබරගමු පළාතට ගැනෙන පුරාණ “එතරවාකෝරලයේ” සෑම ගමකම පහන් මඩුව පැවති බව පැවසෙතත් අද එය නොකඩවා පැවැත්වීම උග්ගල් අලුත්නුවර, කුඹල්මුල්ල, මොරහැල යන ගම්වලට සීමා වී ඇති බවක් පෙනී යයි. වරින් වර බොල්තුඹය, ගලගම ආදී තැන්වල ද පැවැත් වෙන බව ද අද දින උග්ගල් අලුත්නුවර පහන්මඩුවට පැමිණ රැඟුම් වැයුම් දක්වන ප්‍රධාණ ශිල්පාචාර්ය වරයකු වන පුංචිබණ්ඩාර ගුරුතුමා සමග කළ සාකච්ඡාවේදී පෙන්වා දෙයි.(පුංචිබණ්ඩාර මහත්මා දැනට සබරගමු විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්ය වරයක් ලෙස ද සේවය කරන ප්‍රධාන පෙළේ සබරගමු නැටුම් සම්බන්ධ ශිල්පාචාර්ය වරයෙකි.)
ඉතිහාස පුවත්
පහන් මඩුව පුරාණයේ සිටම පැවති බව පැවසෙනමුත් ආරම්භ වූ කාලයක් ගැන විස්තර දේවාල ලේකම් මිටියේ හෝ ලේඛනගතව හමුනොවේ. මේ ගැන මොහොට්ටාල නිළමේ වරුන්ගෙන් ද විමසුවත් පුරාණයේ සිට පැවති බව මිස වෙනත් විස්තරයක් හමු නොවෙයි.
උග්ගල් අලුත්නුවර පත්තිනි දේවාලය ගොඩනගා ඇත්තේ කලින් තිබූ මැදගම දේවාලය ඉදිරිපිට ඉදිව ඇත. රජුගේ භාරයක් අනුව කතරගම දෙවියන් වෙනුවෙන් අලුතෙන් දේවලය සඳහා නව ගොඩනැගිලි ඉදි කළ අවදියේම බව ලේකම් මිටිය අනුව පෙනේ. ඒ අනුව එය ඈත අතීතයේ සිටම පැවත එන සිරිතක් බව අනුමාන කළ හැකියි. ලේකම් මිටිය අනුව ඒ ආරම්භය ක්‍රි.ව.1582/1583 වර්ෂ අතර බව සිතිය හැකිය. (අංක 1 අධෝ ලිපිය) තදාසන්න කුඹල්මුල්ල ගම්මානයේද පත්තිනි දේවාලයක් වෙයි. එය ද උඩරට සමයේ ඉදිකිරීමක් විය හැකි බව ගොඩනැගිලි වල දක්නට ලැබෙන වාස්තුවිද්‍යාත්මක ලක්ෂණ පෙන්වා දෙයි. ඒ විනා ශාන්ති කර්මයේ ආරම්භය පිළිබඳ ජනශ්‍රැති සාධක හෝ සොයා ගැනීම මෙතෙක් පහසු නොවීය.
——————————————————
1.ලේකම් මිටියේ පැවසෙන තොරතුරු
“………දේවාලේ වට සතර දෙස වීදි ගෙවල් කරවා සතරමං වාසල්කඩ සතරක් කරවා එහි දේවාලේ ඉදිරිපිට පත්තිනි දේවාලෙ සිද්ධ කරවා…………” යනුවෙන් ලියාගෙන යන ලේකම් මිටිය “෴ කෝට්ටයාකන්දේ වන්නිරාලට රන්මුදු ඇල්ලෙන් පහල වුනු හලඹ දෙනම පත්තිනි දේවාලෙට වැඩමෙවු සේක්වා෴ යි කියවෙයි. මේ සටහනින් පත්තිනි දේවාලයේ තැන්පත් කළ දේවාභරණ ගැන ද ඓතිහාසික දේවාලය කරවීම ගැන ද විස්තර දැකිය හැකියි .
2.අභාවප්‍රාප්ත ඒ. ජී. අල්විස් ලේකම් මහත්මා ඇතුළු තවත් අය( දිවයිනටම සාමවිනිසුරු පාරම්පරික ජ්‍යොතිශාස්ත්‍රඥ) – හා උග්ගල් අලුත්නුවර ගණිතපංගුවේ රාජකාරිහිමියකු වූ මේ මහත්මා සබරගමු පළාත තුළම සිය කීර්තිනාමය පතුරවා සිටි පාරම්පරික විද්වතෙක් විය.2002 දෙසැම්බර් මස පැවති සාකච්ඡාවකිනි.
ඉහත 1. යටතේ දැක්වෙන උපුටනය උග්ගල් අලුත්නුවර ලේකම් මිටියට අයත් පුස්කොල ලේඛනයකි. පූජ්‍ය කිරි ඇල්ලේ ඤාණවිමල හිමිපාණන් පැමිණ විමසන විට (1940 දශකය) එය දිරාපත්ව අබලන්වෙමින් පැවති බව කියවේ. එම අසම්පූර්ණ ලේඛනය හිමිපාණන් වහන්සේ විසින් පිටපත් කර සපරගමුවේ පැරණි ලියකියවිලි කෘතියේ උපුටා දක්වා ඇත. එම ලේඛනයේ තවත් පිටපතක් කොළඹ ජාතික කෞතුකාගාර පුස්තකාලයේ “සීමාසංකර විනොදනී” පුස්කොල ග්‍රන්ථයේ අග පිටුවල දැක්වේ. එය වඩා සම්පූර්ණ ලේඛනය බව සැසඳීමේදී පැහැදිලිවෙයි. මෙහි උපුටනයක් පුංචිබණ්ඩාර සන්නස්ගල ශූරීන් විසින් පළ කරන ලද සොරගුණු දේවාල පුවත කෘතියේද, ඒ. එම්. කුලසිංහ මහතාගේ උග්ගල් අලුත්නුවර වත කෘතියේද දක්නට ලැබෙයි කිරිඇල්ලේ ඤාණවිමල හිමිපාණන්ට ලැබී ඇති ලේඛනයේ අත්පිටපතක් සේ ගිනිය හැකි ඒ. එම්. එස්.එම්. කරුණාරත්න බණ්ඩාර මහත්මාණන් ළඟ තිබී මේ ලේකඛයා වෙත පිරිනමනු ලැබ පවතී.)
3. මහාචාර්ය රිසිමන් අමරසිංහ – සීතාවක උන්නතියේද අවනතියේද සමහර අංශ පිළිබඳ විවරණයක් – කතෘ ප්‍රකාශනය – 1990
ඒ පැරණි ලිපියට ලද ප්‍රතිචාර හා ලේඛකයා යවා ඇති පිළිතුරු පහතින් දැක්වෙයි.
- “ගෘහනිර්මාණ ශිල්පයෙන් රත්නපුර සමන් දේවාලයට සමානද?”
2021 දෙසැම්බර් 25 දින 05:35 ට
ඔව් හිතවත සමන්දේවාල පත්තිනි දේවාලට සමාන ලක්ෂණ තිබෙනවා. ලාංකික දේවාල සම්ප්‍රදායයේ එකිනෙක ගත්විට පුංචි වෙනස් කම් තිබුණත් ගොඩනැගිලිවලට පොදු සමාන ලක්ෂණ බොහොමයක්ම තිබෙන බව පෙනීයනවා. කුඹල්මුල්ල පත්තිනි දේවාලයේත් දක්නට හැකිවන්නේ මේ උග්ගල් අලුත්නුවරට සමාන ලක්ෂණමය. සංරක්ෂණ කටයුුතු ආරම්භයට පෙර උග්ගල් අලුත්නුවර පත්තිනි දේවාලයේ දක්නට හැකි වාස්තුවිද්‍යාත්මක ලක්ෂණ පසුකාලීනව කර ඇති (1930 හා 1978) කර ඇති ප්‍රතිසංස්කරණ නිසා මූලික පැරණි ලක්ෂණවලට යම්තරමක හානි වී ඇති බව සිතිය හැකි වුනත් මුළුමණින් වෙනස්ව නැහැ. කුඹල් මුල්ල දේවාලය වඩා පැරණි ලක්ෂණ හානියට ලක් නොවී පවතින බව සසඳන විට පෙනී යනවා. සංරක්ෂණය යටතේ වහළට සිංහල උළු වෙනුවට නැවතත් පතුරු උළු සෙවිලි කරන බව පෙනෙනවා. (උග්ගල් අලුත්නුවර පරිශ්‍රය පුරාවිද්‍යාත්මක සංරක්ෂිත ස්ථානයක් බවට පත්ව ඇත්තේ 1990 දශකයේ සිටයි. ඒ නිසා ඉදිරියේ වාස්තු විද්‍යාත්මක ලක්ෂණවලට වන හානිය අවම වේවි) ඔබේ පැමිණිම ලොකු සතුටක්! ස්තුතියි විද්වතාණනි.
2021 දෙසැම්බර් 25 දින 06:54 ට
“මේ වැඩමවීම් දෙසැම්බර් 25-26 කරනවා කියන එකෙන් පැහැදිලි වෙන්නේ එම කාලය නොයෙකුත් ආගමික වතාවත් කරපු කාලයක් කියල වෙන්න අබ්රිද? දෙසැම්බර් 25 ජේසු උපත සිදුවීමට වඩා එම කාලය නොයෙකුත් පගන් වරුන්ගේ ආගමික උත්සව කාලයක් නිසා නත්තලත් එයටම ඈඳු බවක් මම අහල තිබෙනවා.”
බළන්ගොඩ ආනන්දමෛත්‍රෙය හිමියන් පිළිබඳ ඔබ අසා ඇතියි සිතමි. උන්වහන්සේ විද්‍යොදය වි.වි. බුද්ධ දර්ශනය පිලිබඳ මාචාර්ය වරයකු සේ කටයුතු කළ අතර පසු කාලයක එහි උපකුලපති වරයා වශයෙන්ද කටයුතු කළා. ආගම් පිළිබඳව උන්වහන්සේ දැරුවේ වර්තමාන ඇතැම් බෞද්ධයන් සිතන අන්දමට වෙනස් ආකාරයකිනි. වරක් හිමිපාණන් වහන්සේ හැම ආගමකම තිබෙන වටිනාකම් මෙන්ම සමානකම් ද ගැන පවසමින් ක්‍රිස්තුස්වහන්සේ, මොහමඩ් තුමා,(මහම්මත් තුමා) ගැනත්, සහ කුරාණයේත් බයිබලයේත් විස්තර මෙන්ම ගණනය කළ නොහැකි තරම් වන හින්දු දේව ඇදහිලි ගැන ද පවසන අතරතුර මේ වකවානු ගැන ද සදහන් කළ බව මතකයේ තිබෙනවා. නොවැම්බර්, දෙසැම්බර් විලින් පසුව එහෙත් ඊට ආසන්නයේ සැමරෙන තෛයිපොංගල් උත්සවය යනු දෙවියන්ගේ උපත සමරණ එකක් බව පැවසේ. එහි දී ද පහන් දැල්වේ. උග්ගල් අලුත්නුවර දේව ඇදහිල්ලට සම්බන්ධවන ඇත්තන් මේ කාලය දේව සමාගමට ගොස් සිටි දෙවියන් නැවත මෙලොව “දිවස්ලන කාලය” සේ පිළිගන්නවා මිස මිස උපත ලබන කාලයක් ලෙස අදහස් නොකරති. ( එසේ වුව ද පහන්මඩු ගායනාවන්හි දී ඇතැම් දෙවිවරුන්ගේ උපත ගැන ද කියවෙයි.) පහන් මුඩුවට මසකට පෙර උග්ගල් අලුත්නුවර කතරගම් දේවාලයේ කෙරෙන ඉල්මහාකාත්තියේ අවසන පහන් දැල්වීම සිදු කෙරෙයි. එහි දී ද දෙවියන්ගේ උපතකට වඩා අදහස් කෙරෙන්නේ දේව සමාගමේ සිට මහේශාඛ්‍ය දෙවිවරුන් මෙලොවට වැඩීම බවට මත පළ කරති. පහන්මඩුවේදී ඉහත ලිපියේ විස්තර අනුව යකුන් පළවා හැරීම හා දෙවොල් යකුන් දේවත්වයට පත්කිරීම පාළඟ කුමරුන්ට නැවත පණ දීමක් ගැන ද කියවෙයි. ඒ අනුව ඔබ අසා ඇති තොරතුර තුළ ගතයුතු යමක් තිබෙන බව අදහස් ලේඛකයා අදහස් කරයි. කාලයාගේ ඇවෑමෙන් බෙදී වර්ග වී සිටි මිනිසුන් මිශ්‍ර වුනාක් මෙන්ම ආගමික හා සංස්කෘතික සබඳතාවන් ද මිශ්‍රවීමක් වුනා යයි සිතිය හැකියි. විවිධ ආගමික ගොඩනැගිලි වල වාස්තු විද්‍යාත්මක ලක්ෂණ පවා මිශ්‍රවීමක් පෙනෙනවා නොවේද? මෙම ලේඛකයා මිනිසුන්ගේ මතවාදවලටත් එසේ වුනා විය හැකියයි සිතයි.
(පැරණි ලිපියට ලද කොමෙන්ටු වැදගත් බව පෙනුන හෙයින් දිග වැඩිවුව ද මෙතනට එක් කළ බව සලකන්න.)
( wordpress මගින් නොමිලේ ලබා දෙන වෙබ් අවකාශය හා පහසුකම් යටතේ ලියවෙන මේ ලිපිවලට විවේචනාත්මකව හෝ විස්තර විමසමින් අදහස් දැක්වීම ලේඛකයා ලබන අදායමයි )
මේ පත්තිනි දෙවියෝ ඉන්දියෙන් ඇවිත් නේ ඉන්නේ. ඒ කියන්නේ ඉන්දීය හින්දු දෙවි කෙනෙක් නේද ? එතකොට මේ සිංහලකරණය වෙලා තියෙනේ හින්දු කෝවිලක් නේද එහෙනම්?
කැමතියිLiked by 1 person
ඔව් බොහෝ හින්දු දෙවි වරුන් මෙරට පවතින සංස්කෘතියට අනුව හැඩ ගැන්වී සිටින බව පෙනෙනවා. පත්තිනි දෙවියන් මතු බුදු වන බවද රහතන් වහන්සේ නමකට දුන් විශ්මිත දානයක් ගැනද ගායනා කෙරන කවි වලින් ද පැවසෙනවා. ඔබ වෙනදා සේම පැමිණ දැක්වූ අදහස ඉතා වැදගත්. ස්තුතියි මිතුරු විද්වතාණනි
කැමතියිකැමතියි