උග්ගල් අලුත්නුවර පාන්මඩුව

“පත්තිනි දෙවියන් වඩිනතුරු වීදි සුද්ද වෙන්නෙ නෑ”

ගමේ දැනමුත්තකු පහන් මඩුව හා පත්තිනි දේව හාස්කම් ගැන පවසද්දී වීදි සුද්දවීම ගැන කළ ප්‍රකාශ කළ අන්දමය.  ලංකාවේ වැඳුපිදුම් ලබන ප්‍රධාන තම කාන්තා දෙවියන් වන්නේ පත්තිනි දෙවියෝ වෙති. එතුමිය  වෙනුවෙන් කරන පාන්මඩු ශාන්තිකර්මය, පුරාණයේ සිටම වසරක් පාසා කරන බව ද කළ යුතු බව ද දැනමුත්තෝ අවධාරණය කරති.        ඒ මගින් යක්ෂමාස කෙලවර කරමින් යකුන් යකුන් පළවා හැරීම කෙරයි. මහේශාඛ්‍ය දෙවිවරුන්ට මෙලොව දිවස්ලෑමට සුදුසු  පාරිශුද්ධ පරිසරයක්  බවට පත් වෙයි. දෙවොල් යකුන් වැනි ඇතැම් යකුන් පත්තිනි අනුහසින් දෙවියන් බවට ද පත්වෙයි. මේ බව දැනමුත්තාගේ පුරාවෘත මෙන්ම දෙවොල් ගොඩබැසීමේ කවි ගායනා වලින්ද පැවසෙන  අන්දම පහන් මඩු ගායනා සහ රැඟුම් වලින්ද  මනාව පැහැදිලි වෙයි. (i)

මෙහි දී පෙර දින මඩු පේවීමෙන් අනතුරුව  පසුදින පාන්මඩුව හෙවත් පහන් මඩු ශාන්ති කර්මය පැවැත් වීම පෙරසිරිත අනුව සිදු කෙරෙන අන්දම, ආකර්ශනීය ලෙස සිදුවන අන්දම දැකිය හැකියි.

උග්ගල් අලුත්නුවර පත්තිනි දේවල පහන්මඩුව පේකිරීම

රංගභූමිය හා තාවකාලික දේවාලය

පහන් මඩුව පැවැත්වෙන දින උදෑසනම සිටම ලහිලහියේ පරිසරය සූදානම් කෙරෙයි. මේ සඳහා පත්තිනි දේවාලය ඉදිරිපිට තාවකාලික මඩුවක් තනා ඒ ඉදිරි පිට නියමිත දුරකින් තොරණ ඉදි වෙයි. මේ ප්‍රමාණය “තිස් රියනක් දුරින්” ලෙස ගායනා වලින් පැවසුන ද වර්තමානයේ  ඒ ප්‍රමාණය කෙටි වී ඇති බව පෙනීයන්නකි. ශාන්ති කර්මයේ රංග බූමිය වන්නේ තොරණ හා මඩුව අතර කොටසය.  තමන්ගේ ගෙදර කිලිකුණු කිසිවක් නැති ගමේ ඇත්තන් එක්ව පත්තිනි දේවාල මිදුලට පැමිණ එහි කෙරෙන කටයුතු වලට දායක වීම දේවාශීර්වාදය ලැබෙන බවට තද බල විශ්වාසයක් ගමේ ඇත්තන් අතර පවතී. එහෙයින්ම ඔවුහු බැති සිතින් තොරණ ඉදිකිරීමාදි කටයුතුවල නියැලෙති.  මේවා නිල රාජකාරි වලට වඩා දේව පිහිට පතමින් කරනු ලබන ස්වේඡා සේවා මෙනි. වැඩ කිරීමට අපහසු අය සේවා සපයන අයට හා පැමිණෙන බැතිමතුන්ට  සංග්‍රහ පිණිස අවැසි වියහියදම් ලෙස  පඬුරු පිරි නැමීම ද පෙර සිටම පැවත එන සිරිතකි. උග්ගල් අලුත්නුවර දේවාලයේ බස්නායක නිළමේ තුමා මෙවැනි සේවා සපයමින් ප්‍රධාන දායකත්ය ලබා දෙමින් වියහියදම් දැරීම ද පැමිණ සහභාගී වීම ද සිරිතය.

පහන්මඩුව හෙවත් වැසියන් කටහුරුවට  පවසන පරිදි “පාන්මඩුව” මේ දේවාල  ගම්යායේ වෙනත් විවිධ ගම්වලද දැකිය හැකිය.

“රාමා මැරීම” මරණයට පත්ව සිටි පාලඟ කුමරු පත්තිනි දෙවි අනුහසින් නැවත පණ දී නැගිට වීම( පහන්මඩු රැඟුම් අවස්ථාකිනි)2020

පැවැත්වීමේ අරමුණු

 මූලික  අරමුණ ගමේ මෙන්ම රටේම වැසියන් විවිධ ලෙඩ රෝගවලින් මුදවා ගැනීම බව එහි යාදිනි ගායන හා නැටුම් අතරින් පෙනීයාම විශේෂත්වයකි .  ඒ පමණක් නොව “ජනපද රෝග වඳුරුවසංගත” හෙවත් බෝවන රෝග නිසා දැනටත් ඔත්පලව වැටී සිටින අය වෙනුවෙන් සෙත් ශාන්ති කිරීමසිදුවන අතර එය මෙය මේ ගමට පමණක් නොව “අහල ගම් හතක” ටත් සෙත් පතමින් මුළු රටේම බව  භෝග සම්පත් පහළ වෙමින් ශස්‍රීකත්ව උදා කිරීම ද  ශාන්තිකර්මයේ අරමුණු අතරට ගැනේ. දරුවන්ට සෙත් පැතීම ද මෙහි දී සිදුවන තවත් කටයුත්තකි.

ලංකාවේ සෑම ගම් නියම්ගම් හිම පත්තිනි දේව ඇදහිල්ල දක්නට ලැබුණත් සබරගමු පළාතට ගැනෙන පුරාණ “එතරවාකෝරලයේ” සෑම ගමකම   පහන් මඩුව පැවති බව පැවසෙතත් අද එය නොකඩවා පැවැත්වීම උග්ගල් අලුත්නුවර, කුඹල්මුල්ල, මොරහැල යන ගම්වලට සීමි වී ඇති බවක් පෙනෙන බවද  අතරින් පතර බොල්තුඹය, ගලගම ආදී තැන්වල පැවැත් වෙන බව ද අද දින උග්ගල් අලුත්නුවර පහන්මඩුවට පැමිණ රැඟුම් වැයුම් දක්වන ප්‍රධාණ ශිල්පාචාර්ය වරයකු වන පුංචිබණ්ඩාර ගුරුතුමා සමග කළ සාකච්ඡාවේදී පෙන්වා දෙයි.(පුංචිබණ්ඩාර මහත්මා දැනට සබරගමු විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්ය වරයක් ලෙස ද සේවය කරන ප්‍රධාන පෙළේ ශිල්පාචාර්ය වරයෙකි.)

අතීත පුවත්

පහන් මඩුව පුරාණයේ සිටම පැවති බව පැවසෙනමුත්  ආරම්භ වූ කාලයක්  ගැන විස්තර දේවාල ලේකම් මිටියේ ලේඛනගතව හමුනොවේ. මේ ගැන  මොහොට්ටාල නිළමේ වරුන්ගෙන් ද විමසුවත් පුරාණයේ සිට පැවති බව මිස  වෙනත් විස්තරයක්  හමු නොවෙයි.

උග්ගල් අලුත්නුවර පත්තිනි දේවාලය ගොඩනගා  ඇත්තේ කලින් තිබූ  මැදගම දේවාලය වෙනුවට කතරගම දෙවියන් වෙනුවෙන් අලුතෙන් ගොඩනැගිලි ඉදි කළ අවදියේම බව ලේකම් මිටිය අනුව පෙනේ.  ඒ අනුව එය ඈත අතීතයේ සිටම පැවත එන සිරිතක්ප බව අනුමාන කළ හැකියි. ලේකම් මිටිය අනුව ඒ ආරම්භය ක්‍රි.ව.1582/1583  වර්ෂ අතර බව සිතිය හැකිය. කුඹල්මුල්ල ගම්මානයේද පත්තිනි දේවාලයක් වෙයි. එය ද උඩරට සමයේ ඉදිකිරීමක් විය හැකි බව ගොඩනැගිලි වල දක්නට ලැබෙන වාස්තුවිද්‍යාත්මක ලක්ෂණ අනුව අනුමාන කළහැකිය. ඒ විනා ශාන්ති කර්මයේ ආරම්භය පිළිබඳ ජනශ්‍රැති සාධක හෝ සොයා ගැනීම මෙතෙක් පහසු නොවීය.

පුරාවිද්‍යා සංරක්ෂණ කටයුතු ආරම්භයට පෙර අබලන්ව පැවති උග්ගල් අලුත්නුවර පත්ති දේවාලය

ලේකම් මිටියේ පැවසෙන තොරතුරු

………දේවාලේ වට සතර දෙස වීදි ගෙවල් කරවා සතරමං වාසල්කඩ සතරක් කරවා එහි දේවාලේ ඉදිරිපිට පත්තිනි දේවාලෙ සිද්ධ කරවා………… යනුවෙන් ලියාගෙන යන  ලේකම් මිටිය  කෝට්ටයාකන්දේ වන්නිරාලට රන්මුදු ඇල්ලෙන් පහල වුනු හලඹ දෙනම පත්තිනි දේවාලෙට වැඩමෙවු සේක්වා(ii) යි දැක්වෙයි. මේ සටහනින්   පත්තිනි දේවාලයේ තැන්පත් කළ දේවාභරණ ගැන ද දේවාලය කරවීම ගැන ද  දැකිය හැකියි . අද දින හෙවත් 2021 දෙසැම්බර් 25 දින හවස පටන්ගෙන 26 දින පස්වරු 2.00 පමණ දක්වා එය පැවැත් වෙන බව කියවේ.

————————————————————–


(i) අභාවප්‍රාප්ත ඒ. ජී. අල්විස් ලේකම් මහත්මා ඇතුළු තවත් අය( දිවයිනටම සාමවිනිසුරු පාරම්පරික ජ්‍යොතිශාස්ත්‍රඥ) – හා උග්ගල් අලුත්නුවර ගණිතපංගුවේ රාජකාරිහිමියකු වූ මේ මහත්මා සබරගමු පළාත තුළම සිය කීර්තිනාමය පතුරවා සිටි පාරම්පරික විද්වතෙක් විය.2002 දෙසැම්බර් මස පැවති  සාකච්ඡාවකිනි.

(ii) උග්ගල් අලුත්නුවර ලේකම් මිටියට අයත් අසම්පූර්ණ ලේඛනයක් පූජ්‍ය කිරි ඇල්ලේ ඤාණවිමල හිමිපාණන් විසින් පිටපත් කර සපරගමුවේ පැරණි ලියකියවිලි කෘතියේ උපුටා දක්වා ඇත. මෙහි තවත් පිටපතක් කොළඹ ජාතික කෞතුකාගාර පුස්තකාලයේ “සීමාසංකර විනොදනී” පුස්කොල ග්‍රන්ථයේ අග පිටුවල දැක්වේ. එය වඩා සම්පූර්ණ ලේඛනය බව සැසඳීමේදී පැහැදිලිවෙයි. මෙහි උපුටනයක් පුංචිබණ්ඩාර සන්නස්ගල ශූරීන් විසින් පළ කරන ලද සොරගුණු දේවාල පුවත කෘතියේද, ඒ. එම්. කුලසිංහ මහතාගේ උග්ගල් අලුත්නුවර වත කෘතියේද දක්නට ලැබෙයි කිරිඇල්ලේ ඤාණවිමල හිමිපාණන්ට ලැබී ඇති ලේඛනයේ අත්පිටපතක් සේ ගිනිය හැකි ඒ. එම්. එස්.එම්. කරුණාරත්න බණ්ඩාර මහත්මාණන් ළඟ තිබී  මේ ලේකඛයා වෙත පිරිනමනු ලැබ පවතී.)

8 thoughts on “උග්ගල් අලුත්නුවර පාන්මඩුව

    • ඔව් හිතවත සමන්දේවාල පත්තිනි දේවාලට සමාන ලක්ෂණ තිබෙනවා. ලාංකික දේවාල සම්ප්‍රදායයේ එකිනෙක ගත්විට පුංචි වෙනස් කම් තිබුණත් ගොඩනැගිලිවලට පොදු සමාන ලක්ෂණ බොහොමයක්ම තිබෙන බව පෙනීයනවා. කුඹල්මුල්ල පත්තිනි දේවාලයේත් දක්නට හැකිවන්නේ මේ උග්ගල් අලුත්නුවරට සමාන ලක්ෂණමය. සංරක්ෂණ කටයුුතු ආරම්භයට පෙර උග්ගල් අලුත්නුවර පත්තිනි දේවාලයේ දක්නට හැකි වාස්තුවිද්‍යාත්මක ලක්ෂණ පසුකාලීනව කර ඇති (1930 හා 1978) කර ඇති ප්‍රතිසංස්කරණ නිසා මූලික පැරණි ලක්ෂණවලට යම්තරමක හානි වී ඇති බව සිතිය හැකියි. වුනත් මුළුමණින් වෙනස්ව නැහැ. කුඹල් මුල්ල දේවාලය වඩා පැරණි ලක්ෂණ හානියට ලක් නොවී පවතින බව සසඳන විට පෙනී යනවා. සංරක්ෂණය යටතේ වහළට සිංහල උළු වෙනුවට නැවතත් පතුරු උළු සෙවිලි කරන බව පෙනෙනවා. (උග්ගල් අලුත්නුවර පරිශ්‍රය පුරාවිද්‍යාත්මක සංරක්ෂිත ස්ථානයක් බවට පත්ව ඇත්තේ 1990 දශකයේ සිටයි. ඒ නිසා ඉදිරියේ වාස්තු විද්‍යාත්මක ලක්ෂණවලට වන හානිය අවම වේවි) ඔබේ පැමිණිම ලොකු සතුටක්! ස්තුතියි විද්වතාණනි.

      කැමතියි

  1. මේ වැඩමවීම් දෙසැම්බර් 25-26 කරනවා කියන එකෙන් පැහැදිලි වෙන්නේ එම කාලය නොයෙකුත් ආගමික වතාවත් කරපු කාලයක් කියල වෙන්න අබ්රිද? දෙසැම්බර් 25 ජේසු උපත සිදුවීමට වඩා එම කාලය නොයෙකුත් පගන් වරුන්ගේ ආගමික උත්සව කාලයක් නිසා නත්තලත් එයටම ඈඳු බවක් මම අහල තිබෙනවා.

    Liked by 1 person

    • ඔබ පවසන තොරතුර මාත් අසා තිබෙනවා. බළන්ගොඩ ආනන්දමෛත්‍රෙය හිමියන් පිළිබඳ ඔබ අසා ඇතියි සිතමි. උන්වහන්සේ විද්‍යොදය වි.වි. බුද්ධ දර්ශනය පිලිබඳ මාචාර්ය වරයකු සේ කටයුතු කළ අතර පසු කාලයක එහි උපකුලපති වරයා වශයෙන්ද කටයුතු කළා. ආගම් පිළිබඳව උන්වහන්සේ දැරුවේ වර්තමාන බොහෝ හිමිවරුන් සිතන අන්දමට වෙනස්ම අාකාරයකින්. හැම ආගමකම තිබෙන වටිනාකම් මෙන්ම සමානකම් ද ගැන පවසමින් වරක් ක්‍රිස්තුස්වහන්සේ, මොහමඩ් තුමා,(මහම්මත් තුමා) ගැනත්, සහ කුරාණයේත් බයිබලයේත් විස්තර මෙන්ම ගණනය කළ නොහැකි තරම් වන හින්දු දේව ඇදහිලි ගැන ද පවසන අතරතුර මේ වකවානු ගැන ද සදහන් කළ බව මතකයේ තිබෙනවා. නොවැම්බර්, දෙසැම්බර් කාලයේ සැමරෙන තෛයිපොංගල් උත්සවය යනු දෙවියන්ගේ උපත සමරණ බවක් පැවසේ. එහි දී පහන් දැල්වේ. උග්ගල් අලුත්නුවර දී දේව ඇදහිල්ලට සම්බන්ධවන ඇත්තන් මේ කාලය දෙවියන් මෙලොව දිවස්ලන කාලය සේ මිස උපත ලබන කාලයක් ලෙස නොවේ. එසේවුවද පහන්මඩුවේ දී ඇතැම් දෙවිවරුන්ගේ උපත ගැනද කියවෙයි. එමෙන්ම පහන් මුඩුවට මසකට පෙර උග්ගල් අලුත්නුවර කතරගම් දේවාලයේ කෙරෙන ඉල්මහාකාත්තියේ අවසන පහන් දැල්වීම සිදු කෙරෙයි මෙහි දී දෙවියන්ගේ උපතක්ම අදහස් කෙරෙන්නේ දේව සමාගමේ සිට මහේශාඛ්‍ය දෙවිවරුන් මෙලොවට වැඩීමක් බවට මතයකි. පහන්මඩුවේදී ඉහත ලිපියේ විස්තර අනුව යකුන් පළවා හැරීම හා දෙවොල් යකුන් දේවත්වයට පත්කිරීමක් පාළඟ කුමරුන්ට නැවත පණ දීමක් ගැන ද කියවෙයි. ඒ අනුව ඔබ අසා ඇති තොරතුර තුළ ගතයුතු යමක් තිබෙන බව අදහස් කරමි. කාලයාගේ ඇවෑමෙන් බෙදී වර්ග වී සිටි මිනිසුන් මිශ්‍ර වුනාක් මෙන්ම ආගමික හා සංස්කෘතික සබඳතාවන් ද මිශ්‍රවීමක් වුනා යයි සිතිය හැකියි. විවිධ ආගමික ගොඩනැගිලි වාස්තු විද්‍යාත්මක ලක්ෂණ පවා මිශ්‍රවීමක් පෙනෙනවා නොවේද?
      මිනිසුන්ගේ මතවාදවලටත් එසේ වුනා විය හැකියි සිතන්නෙමි. අජිත් ධර්මයන් මාව අවුස්සා දැමුවා වැනියි. ස්තුතියි අදහස් දැක්වීම වෙනුවෙන්. නත්තල ගැන කියවුනා නේද ඔබ ඇතුළු පවුලේ සැමට සුබ නත්තලක් හා සුබ අලුත් අවුරුද්දක් වේවා!

      කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.