යක්කුන්ගෙ කාලෙ

දේවාල ගංයායේ මති මතාන්තර

 දේවාල ගම්මාන යනු ජනකතාවලට තෝතැන්නක්.  මේවායේ සාහිත්‍යමය රසයට අමතරව මානව විද්‍යාත්ම හා සමාජ විද්‍යාත්මක   වටිනාකම් ද රාශියක් තිබෙනවා.  ජනතාවකගේ සිතුම් පැතුම් විශ්වාස ආකල්ප හා බස් වහර ද, වටිනා ඓතිහාසික තොරතුරුද අන්තර්ගතව අස්පර්ශ සංස්කෘතියට ගැනෙන සම්පත් විශේෂයකි. මෙතැන් සිට පුරාණ එතරවාකෝරල යේ දේවාල ගම්මානවලින් අසන්නට ලැබුණ පුරාකතා එම වදන් කෝෂය ද සමග ලියන්නට වෑයම් කෙරෙයි. 

පසු ගිය ලිපියෙදි  “යක්ෂ මාස” ගැන කියවුනා නේ.  යක්කුන්ගෙ කාලෙ කිව්වාම එයින් හොඳක් නම් ඇඟවෙන්නෙ නෑ නෙව. යක්කුන්ගෙ බැල්ම වැටෙන කාලෙ ආපුවාම ඒ කියන්නෙ බිනර මහ මාසෙ පෝයෙන් පස්සෙ, තොවිල් බලන්න  අවස්ථාවල් බොහොමයි.( විශේෂ සටහන බලන්න)  මෑත දී  හිඟයි ඒත්  1960 දශකය තරම  සතියකට වතාවක්වත් නම් තොවිලයක් වැරදුනේ නෑ. ඊටත් පෙර තොවිල් තවත් සුලභව  තියෙන්න ඇති.

කට්ටඩිගේ විස්තර අනුව යකා මෙවැන්නෙක් විය හැකියි. (බොල්තුඹය දේවාල පරිශ්‍රයෙන් ඇති මූර්තියක්)

මේ කතා කියන්න යන ඒ කාලෙ  රට පුරාම නම කියවුන යැකැදුරු ගුරුන්නාන්සෙ කෙනෙකුත් ගමේ ම හිටිය¹.  තොවිලයක් තිබුණොත් කඩා බිඳගෙන උදව් වෙන්නයි, බලන්නයි යන කොලු නඩේ හිඟ වෙන්නෙ නෑ. ඔය අතරෙ  පාසල් සගයන් වන  අපි තුන් හතර දෙනෙක්  “මේව බොරු මනස්ගාත” කියමින් පණඩිතයා වෙන්න දඟලනව.  “තවම මට්ටුවෙලා නෑ හිටපල්ලකො ඔහොම”  ඇතම් කෙනෙක් තරවටු කළත් මේ වගේ වැඩවලදි  සහායට එන ගංවිදානෙ² අපේ කතාවලට හිනාවෙමින් යටින් සපෝට් කරනව.  කට්ටඩිගෙ පුතාත් අපේ  නඩේම එකෙක්  නිසා විහිළු කරන්න, ප්‍රශ්න අහන්න හිතට හයිය තියනව. අපේ කතා කට්ටඩිටත් ඇහිල…! හැබැයි  එයා තරවටු කරනවා වෙනුවට ශාස්තරේ සත්තක ගැන කියමින්  පැරණි කතන්දරය් තමන් දුටු දේවල් ගැනයි කියන්නට වුනා. ඒව රසවත් නිසා ඔන්න මෙතනටත්.

“ඔය ළමයි තවම ඇටෙන් පොතේතෙන් මෝරලා නැති හන්දයි ඉස්කෝල විකාර ඉගැන්නිලි හන්දයි විස්වාස කළේ නැතුවාට  මම මේවයෙ සත්තක හොඳට දැකල තියනව. කියමින්ම  තමන්ගෙ මී මුත්තට, හුණුවල මහ කට්ටඩිට සිද්ද වුන දෙයක් ගැන  කියමින් කතාව පටන් ගන්නව. ඒ කාලෙ අපේ මහ ගුරුන්නාන්සෙ  හිටියෙ හුණුවල. පුරාණෙ හිටපු තොටගමුවෙ රාහුල හාමුදුරුවන්ගෙන් පැවත ආපු යකුන් මට්ටු කරන සාස්තරේ උන්නාන්සෙ ගාව තිබුණ. ඒ සේරම සාස්තරේ ගෝල බාලයන්ට ලැබුණෙ නෑ. අපි තොවිල් පවිල් කළාට මනුස්සයකුට දිස්ට්යක් වැටුනම පන්නල දැම්මට, ගෙදරකට අරක් ගත්තු පෙරේතයෙක්, භූතයෙක් හරි බැඳල දම්මට, දරුනු කොඩිවිනයක් කපා දැම්මට අර මහකට්ටඩිට වගේ හපන්කම් නම් අපි කාටවත් කරන්න පුළුවන් කමක් නෑ. හරි කතාව කියමුකො.

පසු පසින් කොලු පැංචෙක්!

ඔන්න දවසක් අපේ මහ කට්ටඩි පැල්මඩුල්ලෙ  ගෙදරක තිබුණ තොවිලයක් නටල සොහොනෙත් දපල,  යකාව පන්නල දැම්ම. ඒත් එළිවෙනකං එහෙ නොහිට  ඒ වෙලාවෙම ආපහු එන්න පිටත් වුනා. තමන්ගෙ ගෙදරට  ආරස්සාව දාල තිබුණත් හාමිනේ ටිකක් හිතබය ඇත්ති, ඒ මදිවට හිටියෙ කුළුඳුලේ ගැබ්බරව. ඉතින් විගහින්ම ආපහු එන්න උනා. ඒකාලෙ ගම් හීමාවක් ඉවරවුනාම. කැළය. ඒ කැළේ ඉවරවුනාමයි තව ගමකට වැටෙන්නෙ.

ඉතින් ඒ ගමේ හීමාව කිට්ටු වෙද්දි තමන්ගෙ පස්සෙන්  පුංචි කොලුවෙකුත්  එන බව තේරුනා.  ඒ  එන්නෙ කවුද කියල කට්ටඩිට එකවරටම තේරුනා. එහෙම එන්නෙ හොඳකට නෙමෙයි…! මෙහෙම දේවල් වෙනව. තමන්ට හිරිහැර වෙන  නිසා කට්ටඩින් එක්ක උන් ඉන්නෙ තරහෙන්.  මේව  කළාට අලි බලනවටත් වඩා බයානකයි. මොකද අලිය නිතරම ඇහැට පේනව. යක්කු එහෙම නිතර පේන්නෙ නෑ. කට්ටඩියට පොඩ්ඩ වැරදෙනකම් තමයි  බලාගන ඉන්නෙ. ඒත් හැබැයි  අපේ මහ කට්ටඩිට  ඇති වුනේ බයකට වඩා ලොකු කේන්තියක්…!. “ඔහොම වරකො. මේ පාර  මම තෝව හොඳහැටි මට්ටුකරනව” කියල හිතාගත්තු කට්ටඩි සාක්කුවෙන් ගත්තු යකඩ කටුවකට පන පිහිටුවල ජීවම් කරමින් මතුරන්න වුනා.  ගම් හීමාව පහු කරල කැළෑ පාරෙ කඩවත  කිට්ටුවටම ආව. කට්ටඩි එක පාරටම ගමන නවත්තල.  “මෙහෙවර කොළුවො” කියල කතා කරල ළඟට ආපුගමන්ම ඉස්මුදුනට කටුව ගැහුව. යක්ගෙ බල බිඳුන. දැන් ඉතින් කට්ටඩිට වාල් කම් කරනව මිසක් යකාට වෙන දෙයක් කරන්න නෑ.  “ඉස්සර වෙලා යම” කියල යකුට අණ දීල කට්ටඩි පස්සෙන් ආව. එන ගමන් ගෙදර ගියාට පස්සෙ තමන්ගේ හාමිණේට කීකරුව ගෙදර වැඩ කරන විදිහ කියා දුන්න.

“අානේ… මේ කොලු පැංචෙක් අරන් ආව ඇයි” කියාගන හාමිනේ ඉස්සරහට ආව. “ඇයි හාමිනේ දැන් ඔය ඉස්සර වගේ දරපලන්න, වතුර ගේන්න, වී කොටන්න වගේ දේවල් එච්චරටම  කරන්න හොඳ මදිනේ. මේක  පැංච වුනාට ඕන බර වැඩක් කරදෙයි. ඔක්කොම ගෙදර වැඩ කරව ගන්න” කියල කිව්ව. හාමිනේ බය වෙන නිසා වෙන විස්තර මොකවත්  කිව්වෙ නෑ. එදා ඉඳල මේ කොලුව පුදුම විදිහට ගෙදර වැඩ සේරම වගේ  කරන්න උනා. ටික දවසක් යන්න කලින් කොලුව හාමිනේගෙ හිත තදින්ම දිනාගත්ත.  “මේ අපේ කොලු පැටිය, මේව උගෙ හපන්කම්” කියමින්  අහල පහළ අයටත් කොලුවගේ වරුනාව  කියන්න වුනා. එයත් හාමිනේට  “නැන්දම්මෙ දැන් කරන්නෙ මොනවද? මේ කරන විදිහ හරිද? තව කරදෙන්න ඔන් මොනවද?” යි අහමින් වැඩ කරන්න වුනා.  හැබැයි ඉතින් කට්ටඩි හිටියෙ  ටිකක් සැකෙන් බයෙන්.  හුඟක් වෙලාවට මේක මං කරපු මෝඩ කමක්ද මන්දා යි සිතමින් වරින් වර කල්පනා නොකළාම නෙවෙයි. – (ඉතිරි කොටස මී ළඟ ලිපියේ)

විශේෂ වදන් හා ව්‍යවහාර

  • අරක් ගත්තු:- ආරෝපණය වීම, ආරූඪ වීම හෝ  බලය (යක්ෂ/ ප්‍රෙත්යන් වැනි අයගේ) පතුරවාගැනීම මෙයින් අදහස් කළ බව පෙනේ. ඔවුන්ගේ මතය අනුව දෙවියන් මනුෂ්‍යයාට පිහිට වුනද කිට්ටුවන්නේ හෝ ආරූඪ වන්නේ නැත
  • ඇටෙන් පොත්තෙන් මෝරපු:- ගැටවර වියට පත්ව සිටින
  • කුළුඳුලේ ගැබ්බරව:- මුල්ම දරුවා ලැබීමට සිටින මව
  • ගං යාය : – ගම්මාන රාශියකින් සැදි ප්‍රදේශයක් යන්න මෙයින් අදහස් වෙයි. පුරාණයේ දේවාලයක් වෙනුවෙන් පවරාදී ඇති  ගම්මාන රාශියක් විය . ඒ සියල්ලේ ඉඩම් වලින් ලැබෙන ඔතු පංගු ආදායම් සමග වැසියන් විසින් දේවාලය වෙනුවෙන් විවිධ සේවාවල නියැලුනහ. ඔවුන් සැලසූ සේවාවන් වෙනුවෙන් එම ගම්බිම් භුක්ති විඳීමට හැකිව තිබිණි.
  • ගංවිදානෙ:- මෙය දේවාලගමේ පවතින  නිලයකි – අලුත්නුවර විදානෙ නළුවෙල විදානෙ කල්තේට විදානෙ ආදි ලෙස පැවති මේ නිල දැරූ අය දේවාල ගමේ රාජකාරි කරුවන් සම්බන්ධීකරණය කළ අය විය.
  • ගම් හීමාව:- ගමක සීමාව කැළයෙන් වටව පැවති පුරාණ ගම් බොහෝ දුරට හුදකලාව පැවතුන ඒවා වී ඇති බව පෙනීයයි. වෙනත් ගමකට යාම පිණිස කැළය මැදින් අඩිපාරක් වැටී තිබුණ බව පැරැණියන්ගේ  විස්තර අනුව සිතාගත හැකියි
  • තොටගමුවේ රාහුල හිමි:- මේ කෝට්ටේ යුගයේ සිටි මහ පඬවරයකු වූ සැළලිහිණි කතුවර හිමිපාණන් බව පෙනේ. උන්වහන්සේ යකුන් බැඳ වැඩගත් බව පුරාකතාවල කියවේ.
  • දිස්ටියක්: – බැල්මක්
  • පණ පිහිටුවල ජීවම් කරනවා – ප්‍රාණය ඇතිවන පරිදි මැතිරීම මෙයින් අදහස්වේ. ජීවම් කතරනවා යන්නේද ප්‍රාණය පිහිටුවීමම තේරුම් කෙරෙන බව පෙනෙයි
  • පැල්මඩුල්ල: – මෙය දැන් කුඩා නගරයකි
  • බිනර මාසෙ:- දළ වශයෙන් සැප්තැම්බර් මාසය  (පහත විශේෂ සටහන බලන්න)
  • යක්ෂ මාස:- යක්ෂයන්ට වෙනුව පැවති මාස (පහත විශේෂ සටහන බලන්න)
  • වරුනාව: – වර්ණනාව
  • සත්තක : – සත්‍යතාවය
  • සාත්තරේ : – ශාස්ත්‍රය හා ශිල්ප ක්‍රමය යන අදහස් දෙකම මෙහි අඩංගු බව කතාව අනුව පැහිදිලි වෙයි.
  • සොහොනෙ දපලා : – සොහොණක් මත එලන ලද පැදුරක් මත උඩුබලි ඉරියව්වෙන් නිදාගන කෙරෙන මැතිරුමකි. මෙහි දී ආරක්ෂාවට හා ආව තේ කිරීමට බියෙන් තොර ජවසම්පන්න සහායකයන් කීප දෙනකු ද වෙති.
  • හුණුවල: – පැල්මඩුල්ල හා ඕපනායක අතර ඇති ගම්මානයකි.

විශේෂ සටහන

උදාහරණයක් මගින් යක්ෂ මාස පිළිබඳව වඩා පැහැදිලි කරගනිමු.³  පසුගිය වසරෙ සැප්තැම්බර් 10  බිනර මාසයෙ ආරම්භයයි. ඒ  මාසෙ පෝය පසු වූ පළමු දිනය (මාසෙ  ගිය පෑල විය දවස) මේ එක්කම යක්ෂ මාස පටන් ගන්නව. එහෙත් පුර පක්ෂය නිසා තවත් දින 15ක් පමණ යනතුරු  සූනියම් කඩවර වගේ අය  දෙවිවරුන්  විදිහට හැසිරෙනව. ඒ නිසා දේ්ව බැල්ම තියනවා. ඉතින් යක්කුන්ගෙ බැල්ම වැටෙන්නෙ අඩුවෙන්. සඳ ගෙවි යන දින පහලවක කාලය එන විට (අවපක්ෂයට එන විට). තමා යකුන්ගෙ බලපෑම වැඩිවෙන්නෙ. එවිට සූනියම්  හා කඩවර යන අය හැඳින්වෙන්වෙන්නෙත් “සූනියම් යක්ෂයා” සහ “කඩවර යක්ෂයා” ලෙස හැටියට. හැම මාසෙ පෝයට පසුවම තරමක් දුරට යක්ෂ බලපෑම පාලනය වුනත් අව පක්ෂයෙදි යක්ෂ බලය වැඩි වෙනව. මේ  කාලය උඳුවප් මාසය පසුවන තුරුත් බලපවත්වනව. මේ පාර උඳුවප් මාසය ඉවර වුනේ පසුගිය 5 දා. මේ තමයි උග්ගල් අලුත්නුවර, අම්මඩුව, සොරගුණය හා බොල්තුඹය වැනි දේවාලගම් වල  ( පුරාණ එතරවාකෝරල වාසී පැරැන්නන්) වැසියන් හඳුන්වා දෙන යක්ෂ අවදිය.

———————————————————————-


  1.  අභාවප්‍රාප්ත   මැණික් අප්පු කට්ටඩි මහතා – 1969 -උග්ගල් අලුත්නුවර තොවිලයක කටයුතු සූදානම් කරන අතර දී
  2. අභාවප්‍රාප්ත වයි.එම්. හේරත්හාමි මහතා- 1969 -උග්ගල් අලුත්නුවර තොවිලයක කටයුතු සූදානම් කරන අතර දී
  3. ඒ.එම්.එස්.එම්. කරුණාරත්න බණ්ඩාර  (දේවාලයේ ප්‍රධාන සාම්ප්‍රදායික නිලය වන අත්තනායක මොහාට්ටාල රාජකාරි පංගු හිමි ) සාකච්ඡාව – 2011.12.15 නිවසේ දී. සහ මෙීට සමාන වඩා විස්තරාත්මක තොරතුරු දේවාල ගණිත පංගුවේ අල්විස් ලේකම් මහතා සමග සාකච්ඡාවල දීද අනාවරණය විය(මේ දෙනෙම කලින් ලිපියේ සේයා සටහන්වල සිටිති)

 

 

6 thoughts on “යක්කුන්ගෙ කාලෙ

  1. ඇත්ත නැත්ත මොනවා උනත් මේ වගේ කතා හරිම රසවත්. කියවන්න අහන්න ආසා හිතෙනවා. ඉස්සර අපේ සීයා මේ වගේ කතා කියනවා රෑට. අපිව බය කරන්න. ඒවා ඇස් ලොකු කරගෙන කටවල් ඇරගෙන අහන් හිටියට පස්සෙ, අඩියක් තියන්නෙ නෑ තනියම, බයට.

    Liked by 1 person

  2. ඔව් Miyuru මේවා කතුවරයකු නොදන්නා ප්‍රබන්ධ හෙවත් ජනකතා මිස සත්‍ය සිදුවීම් ය කියන්න බැහැ. ඒවායෙ රසවත් කමට අමතරව ජනතාවගේ ආකල්ප විශ්වාස ඇදහිලි ගැන හදාරන්න වැදගත්. ඔබේ කොමෙන්ටුව ඉතාම වටිිනවා Miyuru ට ස්තුතියි

    කැමතියි

    • පෙන්වා දුන් සාරවත් ඉසව්වට ගියා. ලොව පුරා පවතිින මෙවැනි විශ්වාස වල කිසියම් සමාන බවක් පෙන්වනවා නේද? බටහිර රටවල ඇති සාම්ප්‍රදායික ජන විශ්වාස වල පවා ඇති විශ්වාසයන් හා ඇදහිලි සම්බන්ධව ද සන්සන්දනාත්මකව හැදෑරීම ප්‍රයෝජනවත් විනෝදංශයක්. පැමිණ අදහස් දක්වමින් දිරිගැන්වීම ට තුති

      කැමතියි

  3. සොය සොයා සිටි යක් නැටුම් ගැන සාරවත් ලිපි 3ක්. බොහොම ස්තූතියි. මේ කෘතියේ(Ceylon, the paradise of Adam – https://archive.org/details/ceylonparadiseof00corn/page/23 ) 23 පිටුවේ පළමු ඡේදයේ “garland of garulla leaves” කියන එක ගැන ඔබතුමාට අදහසක් තියේද? සහ ඒ ඡේදයේම “dhorjee” කියන්නේ “දුම්මල” ගැනද?

    මට ඒ පරිච්ඡේදය තේරුම් ගන්න ඔබතුමාගේ ලිපි පෙළ ගොඩක් ඉවහල් වුනා.

    Liked by 1 person

    • ඔබතුමියට ප්‍රයෝජනයක් සැලසුන බව දැනගන්ට ලැබිම මහත් සතුටකි. පැමිණිම හා අගය කරමින් දිරි ගැන්වීම වෙනුවෙන් ස්තුතිය පිරිනමමි. ඔබ මග පෙන්වා දුන් ලින්ක් එක තුළින් මීට පෙර කියවන්නට නොලැබුණ සාරවත් ග්‍රන්ථයක් වී තිබෙනවා ඒ වෙනුවෙන් ද ස්තුතියි. එහි “dhorjee” කියන්නෙ දුම්මලම තමා. වෙනත් සුවඳ දුම් වර්ග ලංකාවෙ යාතු කර්මවල දී භාවිත වන්නෙ නෑ.මේ කාලයේ මා රටින් පිටව සිටින බැවින් රැස්කර ඇති මූලාශ්‍ර ඇසුරු කිරිමේ දුෂ්කරතාව නිසා මේ ලිපි පෙළ තාවකාලිකව නතර කරන්නට සිදුවුනා.
      මෙහි ඇත්තේ සබරගමුව බළන්ගොඩ යක්තොවිල් සම්ප්‍රදායයට අදාල විස්තර බව සලකන්න. පහත රට යක් තොවිල් සම්ප්‍රදායයේ සුළු වෙනස් කම් සහිතව දැකිය හැකියි. සබරගමුව වුවද බළන්ගොඩ ප්‍රදේශයේ දකින්නට හැකි යක් නැටුම් වල සුළු වෙනස් කම් ඇති බව පෙනී යනවා. අද වනවිට බළන්ගොඩ සම්ප්‍රදායයයි කිවහැකි ශීල්පී පරම්පරාවන් හා අදාල නැටුම් සිරිති විරිත් ඇත්තේ වෙහෙරගොඩ මියනවල ප්‍රදොශයෙකත් පින්නවල මොරහැල ගම් ආශ්‍රිතවත් බව පෙනීයනවා.

      Liked by 1 person

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.