උග්ගල් අලුත්නුවර පෙරහර ඓතිහාසිකද?

පෙරහර පුරාවෘතය

 “මේ පාර පෙරහර කවද ද?” හිතවතකුගෙන් අහල බැලුව. “මං හිතන්නෙ ඔක්තෝබර් 10 විතර කියල ආරංචියි”. තවම නිල වශයෙන් දැනුම් දීමක් නැහැ. ඒත් ළඟදීම නිල නිවේදන බස්නායක නිලමේ තුමාගේ කාර්යාලයෙන් නිකුත්වේවි.

මහ පෙරහර අවස්ථා තුනක් ( 2009 සහ 2013 පෙරහර උත්සව වලින් ලබාගන්නා ලදී)

මේඋත්සවේ කෙතරම් ඓතිහාසිකද කියා දැනගන්න එහි දනන් තුඩ තුඩ ඇති පුරාවෘතයෙන් ඉඟියක් ලබා ගන්න හැකියි.  ඒ 1991 දෙවේලේ පෙරහර අවසන් රාත්‍රිය. මේ දවස වීශේෂ එකක්. පෙරහර නිමවුනාට පස්සෙ බැතිමතුන්ගේ යැදීම් පිණිස පැමිණීමත් අඩුවෙලා ගිහින් නැවතිලා.   ඒත්  මුළු රාජකාරි මණ්ඩලයම මේ රාත්‍රිය ගත කරන්නෙ දේවාලයේමයි. ඒක පුරාණයේ සිටම පවතින සිරිතක්. වැඩි වැඩක් නැති නිසා මේ අයට කතා කර කර ඉන්න ඕන තරම් විවේකය තියනව. මේ ඇත්තන්ගෙන් දේවාලය ගැන වගේම පෙරහර පිළිබඳවත් ඇති පුරාවෘත අහගන්න හොඳම වෙලාවක්!  මේ 1935 සිට රාජකාරිය කරන, ප්‍රධාන කපු නිලය දරන භාරතරත්න මහත්මාණන් වෙතින් අසාගත් පෙරහරේ ආරම්භය පිළිබඳ කතාව  

“දෙපාරක්ම යුද්ධයට ගිහින් පැරදී පහු බහින්න වුන නිසා රජුයි සේනාවයි හිටියෙ බොහොම විස්සෝපයෙන්.  එදා මෙතන කඳුමුදුනේ තිබුණ මහනුගේ යට වාඩිලාගෙන තුන්වෙනි වතාවට යුද්දෙට යන්ඩ පැලෑන් කළා.  ඉස්සර ඉඳලම මේ  ඉදිරියෙ  බොහොම හාස්කම් තිබුණ මැදගම දේවාලෙ පිහිටා තිබුණ.මෙතෙන්ට බාරයක් වෙමු කියල  යෝජනාවක් ආව. ඉතින් බාර වුනේ රන්පනං දාහක පොදියක් අර අතන  තියන පුරාණ කොස් ගහේ බැඳල. ඒක ඒකාලෙ පුංචි පැලයක්. ඒ හන්ද දැනුත් පෙරහර එතනට, ඒ කියන්නෙ  කොස් උරුප්පෙට ගෙවදින්නෙ ඒකට ගරු කරන්නයි. බලිතොවිල් කාර  පංගුවෙ ඇත්තො දේවාභරණ  ඉස්සරහ  නයියන්ඩි නැටුම්  කවි වලිනුත් ඔය විස්තරේ කියවෙනව. අපේ ලේකම් මිටියෙ ඕක වැඩි විස්තර ඇතුව  හොඳට ලියවෙලා තිබුණ. ඒ ලේකම් මිටිය දැන් තියෙන්නෙ නුවර බව අපේ මුතුන් මිත්තන් කියල තියනව.” මේ 1991 “දෙවේලේ පෙරහර” අවසන් දින රාත්‍රියේ දි  කපුමහතා  විවේක අවස්ථාවක ප්‍රසිද්ධියේම පැවසූ   පුරාවෘතයෙන් කොටසක්කි.  (එ්  කවි  නයියන්ඩිකාර පංගුවේ ශිල්පීන් සේම  කවිකාර පංගුවේ අයත් දන්නා බව එහි සිටි සෙසු අයත්  පවසමින් අනුමත කළා. එහි කවි සියයකටත් වඩා තියන බවත්  කපුමහතා ළඟ එම කවි  පිටපතක් ද පවතින බවත් මෙහි දී  දැනගන්ඩ ලැබිණි. ඒ අපූරු කවි ගැන මී ළඟ ලිපියක)

පුරාවෘතයක් ලිව්වට කිව්වට ඒක  ඉතිහාසය විදිහට   පිළිගැනෙන්නෙ නෑ.  ඒත් ඒ නිසා පුරාවෘතයක් අහක දාන්නත් බෑ. අතිශයෝක්ති ඉවත් කළාම  ඒවායේ  ඉතිහාසය සැඟවී තියනව.   පුරාවෘතයක් තුළ සැඟව ඇති ඉතිහාසය සොයන්න,  කරුණු ඔප්පු කරන්න හෝ ඉවත දාන්න තව තවත් සාක්කි තිබේදැයි සොයාගන්න ඕන.

ලේඛනගත  සාක්ෂි සොයායාම

ඉතින් 1991 සිටම කපුමහතා ඇතුළු පැරැන්නන් පැවසූ ලේකම් මිටිය සොයන්න ගත්ත.  එහෙම ලිපියක් තිබුණ  බවට  හෝඩුවාවක් බළන්ගොඩ ආනන්දමෛත්‍රෙය හිමිපාණන් වහන්සේ  විසින්  නගරසභා ප්‍රකාශනයකට සැපයූ ලිපියක තිබී කියවන්නට ලැබුණ. එහි ඒ  පිටපත   උපුටා දක්වා තිබුණෙ නැතත් එයින් මගේ සෙවීමේ උනන්දුව තවත් දැල්වුනා. දේවාලයේ පැරණි මොහොට්ටාල වරුන් විමසද්දි එම ලිපියේ අත්පිටපතක් තිබෙන බව දැනගන්ට ලැබුණ. 

පුස්කොල පොත බලමින් කටුපෑනෙන් ලියමින් පිටපත් කරගත් අත් ලියවිල්ලකි.  එය අසම්පූර්ණ පිටපතක් බව එහිම කියවෙයි.

ඔය අතරෙ මේ පැවසුන  ලේකම් මිටියේ පිටපතක්  කිරිඇල්ලෙ ජගත් බණ්ඩාර මහත්මා ගෙනවිත් දුන් පොතකින් කියවගන්න ලැබුණ. ඒ 1940 හෝ ඊට තදාසන්න කාලයක මෙහි පැමිණි රාජකීය පණ්ඩිත පූජ්‍ය කිරිඇල්ලේ ඤාණවිමල හිමිපාණන්ට හමු වූවක්. හිමිපාණන් විසින් සංගෘහිත  “සපරගමුවේ පැරණි ලියකියවිලි” නමැති එම කෘතියේ මෙහි පිටපතක් ඇතුළු වී තිබුණ.  

   කොළඹ ජාතික කෞතුකාගාරයේ තියන සීමාසංකර විනෝදනී කියන පුස්කොල පොතේ අග පිටු හයක තියෙන්නෙත් මේ කියන ලිපියට සමන බවක් තිබෙන නිසා එහිම පිටපතක් බව සිතන්නට  හැකියි. උග්ගල් අලුත්නුවර හිටපු ගරු  බස්නායක නිලමේ වරයකු වූ හරිශ්චන්ද්‍රතෙන්නකෝන් බණඩාර නිලමේ තුමා විසින් 1993 දී sugv කතුවරයාට පෙන්වා දුන් පුස්කොල ලේඛනයේ ඡයාරූප සටහන ද මෙය බව පැහැදිලියි.

පුස්කොල ඡායා සටහනේ පිටු 3 ක් දැක්වේ. මෙහි ඉහළින්ම ඇත්තේ අවසන් පිටුවයි. ඊට පෙර පිට හා මෙහි රජු විසින් මුල්වතාවට පෙරහර කර කරවූ ආකාරය කියවෙයි.

මේ විදිහට  දැනට හමුවන  පුරාණම ලේඛනය  ලිව්වේ කවුරුන්ද? කවදා ද? යි යන්න කිසිතැනක සඳහනක් නැහැ.  ඒත් භාෂා විලාසය සහ රචනා ශෛලිය අනුව  මහනුවර  රාජධානි සමයට අයත්  බව සිතන්නට හැකියි[i]  එහි කියවෙන්නෙ  පරසතුරන්ට එරෙහි යුද්ධය දිනාගැනීමෙන් ඔප්පු කරන භාරයක් ලෙස පෙරහර පවත්වා ඇති බවයි.[ii]  එයින් උපුටාගත් පහත කොටසෙන්  පෙරහර පූජාව කළ අන්දම  කියවෙන්නෙ මේ විදිහට.

………. ඇසල මස අව අමා මාසය ගතව පෑලවියලත් බ්‍රහස්පතින්දා අම්‍රතයෝ වූ පුසේ නැකතින් මෙම දින රැවූ විසිතුන් පැයට ඉඳුරු දෙසට අභිමුඛව ඉඹුලපේ දෙවනැන්නැහැ අතින් මඟුල් කප ප්‍රතිෂ්ඨාකර හිඳුවා පහලොස් දවසක් පෙරහැර මඟල්ලය සිද්ධ කරවා වදාරමින් නිකිනිමස පුරපසලොස්වක් ලත් බ්‍රහස්පතින්දා රෑ පාන්දර සිකුරාදාට එලිවෙන වෛතාල වේලාවට නැගෙනහිරට අභිමුඛව දියකපන මංගල්ලය සිධ කොට ජලනිරෝහියෙන් වැඩම කර ආසිරිවාද මඟලං පවත්වා සමහර කළ සේක්වා

මේ ලේඛනගත සටහන් අනුව පෙරහර ආරම්භය පිළිබඳ ඉතිහාසය ශතවර්ෂ ගණනාවක් ඈතට දිවයනව.  මේ පුස්කොල ලේඛනය පෙරහර විතරක් නෙවෙයි, වර්තමාන දේවාලයේ ආරම්භය හා ගොඩනැගීම පිළිබඳ විස්තරයකුත් සඳහන් වෙනව. ඒ අනුව  ශක වර්ෂ 1504 නැතිනම් ක්‍රි.ව. 1582 දේවාලය කරවා මාස දහයකින් නිමකර එළඹුන ඇසල මස පෙරහර කළ බව ලියවී තිබෙනව.

ඒ අනුව මුල්වතාවට පෙරහර කරන්න ඇත්තෙ ක්‍රි.ව. 1583 වෙන්න ඕන. ඒ අනුව හැම වසරකම නොකඩවා පෙරහර කළා නම්,  මේ වතාවෙ පෙරහර කෙරෙන්නෙ 435 වන වතාවට වෙන්න ඕන. මේ දේවාලයේ රාජකාරි පරම්පරාවල ඇත්තන් වගේම ගමේ අනෙක් ඇත්තන්ගෙත් තියන භක්තිමත් බව  අනුව පෙරහර කඩ වෙන්න හේතුවක් නෑ. ඒත්  වයෝවෘද්ධ මොහොට්ටාලවරුන්[iii] හා පැරණි කපුමහත්වරුනුත් පැරණි දැනමුත්තනුත් එකාවගේ පවසන කතාවක් තමයි “ජයවර්ධ බස්නායක නිලමෙතුමා ගෙ කාලෙට ඉස්සෙල්ල අවුරුදු 7 ක්ම පෙරහර කරගන්න විදිහක් නැතුව තිබුණා” යි පවසන පුවත. ඒක ඇත්ත නම් මේ පාර පෙරහර කෙරෙන්නෙ 428 වන වතාවට විය හැකියයි අපට අනුමාන කරන්නට පුළුවන්.

පුරාණ ලේඛනයේ පැවසෙන විදිහට වර්තමානයේ ඇසල මාසයේම  පෙරහර කරන්නට අපහසුයි.  පවතින පරිපාලන හා කළමනාකරන දුෂ්කරතා නිසා එසේ කරන්න හැකි කමක් ලැබෙන්නෙ නෑ. ඒත් ඉතින් ඉල්මාසයට ඉස්සෙල්ල පෙරහර කරන්න ලැබුණත් එය ප්‍රමාණවත් බව පැරැන්නන්ගේ මතය වී තිබෙනව.

 (ඉතිරි කොටස මී ළඟ ලිපියේ)

විශේෂ වචන හා ව්‍යවහාර

  1. අව අමා මාසය ගතව: මාසපෝය පසුව ගිය
  2. ආසිරිවාද මඟලන්: ආශිර්වාද මංගල්‍ය
  3. ඉඳුරු දෙස: නැගෙහිර දෙස
  4. කවිකාර පංගුව: කවිගායනය කෙරන රාජකාරි පංගුව
  5. ජලනිරෝහිය: එකල පැවති කෙලි සෙල්ලම් විශේෂයක් බව පෙනේ. යුද්ධයට ගිය විවිධ ස්ථානයන්හි “නීරෝහි කෙළියක්” යනුවෙන් සීතාවක හටන වැනි තවත් පුස්කොල ලේඛනවලද කියවෙයි. එය අද නාමාවශේෂ එකක් බැවින් කුමක් දැයි පැහැදිලි කරගැනීම ගැටළුවක්ව ඇත. නිරයුධව කෙරෙන යුද ක්‍රීඩා විශේෂයක් විය හැකි බව ඇතැම් විද්වතකු පවසයි. පෙරහරේ සාම්ප්‍රදායික නැටුම් අංග විමසා ඒ ඇසුරෙන් මේ ක්‍රීඩා විශේෂයේ ඡායාමාත්‍ර හෝ තිබේදැයි සියුම්ව සොයා බැලිය යුතුව පවතී.
  6. දෙවේලේ පෙරහර: කුඹල් පෙරහර දින පහ හො හතර ඉකුත්වීමෙන් පසුව වීදි සංචාරයකරන රාජකාර් තේවා පමණක් සහිත පෙරහර දින පහ හෝ හතර මේ නමින් හැඳින් වෙයි. දිනකට මෙවැනි පෙරහර දෙකක් වීදි සංචාරය කිරීමද සිරිත වෙයි. මෙහි බස්නායක නිලමේ තුමා ගමන් නොකළද ඔතුමාගේ අධීක්ෂණය යටතේ කෙරෙන බව දැකිය හැකියි
  7. ප්‍රතිෂ්ඨාකර: මඟුල් කප සිටවීම යන අර්ථය බව පෙනේ මෙය පෙරහර කරන බවට දෙවියන් ඉදිරියේ පොරොන්දු වීමක් බව පෙනී යයි.
  8. පෑලවිය: මාසෙපෝය පසුව ගිය විට එළඹෙන පළමු දිනය
  9. බලිතොවිල්කාර පංගුව: මෙයම නයියන්ඩිකාර කෝලක්කාර පංගුව ලෙස ද ව්‍යවහාර වන දෙවියන් උදෙසා නැටුම් රැඟුම් ඉදිරිපත් කරන පාරම්පරික රාජකාරි ශිල්පී පරම්පරාවකි.
  10. මැදගම දේවාලය: වර්තමාන දේවාලය ඉදිකිරීමට පෙර මේ ඉදිරියේ උස් බිම මත පිහිටුවා තිබූ පැරණි දේවාලයයි. අද එහි දැකිය හැක්කෙ පාදමට යෙදූ ගල් පර්වත පමණි. එහෙත් 1978 දීත් මේ දේවාල මළුවට අදාල බැමි පැවති බව මොහොට්ටාල නිලමේ වරුන් සහ වයෝවෘද්ධ රාජකාරි ඇත්තන්ගෙන් දැනගත හැකිය.
  11. මොහොට්ටාල නිලමේ: දේවාලයේ පාරම්පරික විධායක නිලයකි. අත්තනායක මොහොට්ටාල යනු මොහොට්ටාල වරුන්ගේද ප්‍රධානියා වෙයි. මෙය එකම පුද්ගලයකු අත නොපවතින අතර පරම්පරාවේ දැනුම් තේරුම් ඇති පිරිමි පක්ෂයේ අය අතර වරින් වර මාරුවෙමින් පවතින්නකි.
  12. රන්පනං: පුරාණයේ ව්‍යවහාර වුන රත්තරං කාසි විශේෂයකි
  13. විස්සෝපයෙන්: වික්ෂිප්තව යන අදහස

14. වෛතාල වෙලාව: රාත්‍රියටත් නැති ඉර පායා උදෑසනටත් නැති සංක්‍රාන්ති  කාලය යි. එය විනාඩි කීපයකට පමණක් සීමාවන්නකි (මේ පිළිබඳ පවතින සාම්ප්‍රදායික රාජකාරි ඇත්තන් පෙන්වා දෙන විස්තර ඉදිරි ලිපියක පළවේ.)

—————————————————————————————————-

[i] මේ ලියවිල්ල අන්තර්ගතව තිබූ ලේකම් මිටිය දැනට සොයන්නටබැරි වුනත් එයින් පිටපත් කරගත් ලිපියක් රාජකීය පණ්ඩිත පූජ්‍ය  කිරිඇල්ලේ ඤාණවිමල හිමිපාණන් වහන්සේගේ සපරගමුවේ පැරණි ලියකියවිලි( 1942 කොළඹ ජිනාලංකාර ප්‍රෙස්හි ම්‍රද්‍රණය කරවා ප්‍රසිද්ධ කළ) කෘතියේ ඇත. මේ හැර කොළඹ කෞතුකාගාරයේ එම් 4 දරණ සීමාසංකරවිනෝදනී පුස්කොල පොතේ අග පිටුවලට අමුණා ඇත්තේද මේ පුස්කොල ලේඛනයේ පිටපතක් බව පෙනෙනවා.

[ii]  අරුම පුදුම පූජනීය කොස් ගස උග්ගල් අලුත්නුවර මීට පෙර පළවූ පිටුව/ ලිපිය බලන්න

[iii] ඒ.එම්.එස්.එම්. පුංචිබණ්ඩාර, ඒ.එම්.එස්.එම්. කුලසේකර බණ්ඩාර, ඒ.එම්.එස්.එම්. කරුණාරත්න බණ්ඩාර යන මොහොට්ටාල නිලමේ වරුන් සහ මංගලනාත බ්‍රාහ්මණගේ භාරතරත්න බණ්ඩාර ප්‍රධාන කපුමහතා යන අය සමග 1991 පැවසූ විස්තර  සහ පැරණි රාජකාරි ඇත්තන් දැනුද් පවසන විස්තර

8 thoughts on “උග්ගල් අලුත්නුවර පෙරහර ඓතිහාසිකද?

    • එය වෙනමම විෂයයක් සේ හැදෑරිය යුත්තක්! එහෙත් මා සතුව ඇත්තේ සබරගමුවේ සහ තරමක් දුරට ඌවේත් පැවති ලේකම් මිටි සම්බන්ධ සීමිත දැනුමක් පමණයි. අපේ පැරණි පන්සල්වල සහ වලව් සතුව තවමත් අනාවරණය නොවූ ලේකම් මිටි තිබිය හැකි බව පෙනෙනවා. pra jay පැමිණීමට තුති.

      කැමතියි

  1. සර් ගිය සතියට එපිට සතියෙ ලංකාවෙ සතිඅන්ත පුවත්පතක මේ දෙස්වාලය හා තොරතුරු සම්බන්ධ ලිපියක් පළවුණා ගිපිය දුටු විගස මම බැලුවෙ ඒ ලිපියෙ තොතනක හෝ ඔබ සම්බන්ධ වෙනවද කියලා ඒක එම දේවාලයේ බස්නායක නිලමේ සමඟකරපු සාකච්ඡාවක් ග මට හිතෙන්නෙ මේ දේවාල පෙරහැරත් පැරණි යුගයේ දී අතිශය
    වැදගත්කමකින් යුක්තව පවතින්නට ඇති බවයි . කෙසේ් වෙතත් ඉතා වටිනා විස්තරයක්
    විචාරක දියණිය

    Liked by 1 person

    • දුව පවසන ලිපිය කුමක් දැයි හරියටම නොදනිමි. සමහර ලිපියක් මෙතනින් අරගෙන තමන්ගේ නමින් කොපිකර දක්වන හැටි දක්නට ලැබුණා.. එවැනි ලිපි ලියන අයට තොරතුරු ලබාගත්තේ කොතැනින්දැයි පැවසීම ලජ්ජාවක් වෙන්න ඇති දියණි. ඔබ පවසන ලිපිය සමහර විට බස්නායක නිලමේ වරයා මගින් ගත් තොරතුරු ද විය හැකියි. (වර්තමාන බස්නායක නිලමේ වරයාත් මේ දේවාල සම්පදාය ගැන හදාරණ කෙනෙකු බව පෙනී යනවා) කෙසේ වුනත් මට දක්නට ලැබුණ එක් ලිපියක තෙරතුරු නම් ලජ්ජාවකින් තොරව කොපිකරගත් එකක් බව පෙනුනා. මෙවැනි පොතකුත් අනවසර කොපියක් සේ පළව තිබුණා. ජීවත්ව සිටි අවදියේ විචාරක තුමා දුන් උපදෙස් නිසා ඇතැම් ලිපි තාවකාලිකව වසා දැමුවේ ද මේ විලි ලජ්ජාවකින් තොරව කරන අමනෝඥ ක්‍රියාවන් නිසයි. තාත්තාගෙ ලිපිවලටත් ඒ අවදියේ ඔය දෙයම වුනා නේද? තොරතුරු ගත්තේ කොතැනින්දැයි සඳහන් කිරීම එසේ ලියන අයට ලැජ්ජාවක් වෙනවා ඇති. දියණියගේ ප්‍රතිචාරය මට දිරියකි. ඒ වෙනුවෙන් ස්තුතියි

      කැමතියි

  2. ඕක ඉතින් තියෙන ප්‍රශ්නයක්නේ . මම ලියන කතාවත් නවත්වන්න හිතනවා. එහෙම මෙහෙන් කෑලි අදාල ලිපි දාල තියනවා දැක්ක. වෙනද වගේම රසවත් විස්තරයක්.
    ජයවර්ධ කියා නමකුත් තිබ්බද , ජයවර්ධන වුනේ පස්සෙද

    Liked by 1 person

    • ඔව් තියන ප්‍රශ්නයක්. ඔබේ ලිපි මගේ ලිපි වලට සේම අන් අයගේ ලිපි අන්තර්ගතයන්ටත් මේ කොල්ලය බලපා තිබෙනවා. තමන් තොරතුරු ගත් ස්ථාන සටහන් කිරීම මදිකමක් කියන සිතිවිල්ලක් මේ ලේඛකයන්ට තියනවා වෙන්න ඇති නේද? මේ ලජ්ලා සහගත තත්වය සිංහල ලේඛකයන් අතර වැඩියෙන් දකින්ට ලැබීමත්; ඒ වැඩේ කරන අයගෙන් වැඩිම පිරිස හැදිගෙන එන තරුණ පරපුර නොව කෙස්ස පැහුන වයසක අය බව පෙනී යාම මහත් කණගාටුවටත් පුදුමයටත් හේතුවක් නේද? එක අතකින් කණගාටුවට වඩා හිනාවෙන්නට සුදුසු අවස්ථාවක් කරගනිමු.

      ජයවර්ධන නිලමේ කියා කෙනෙකු 1922 බස්නායක ධූරය දරූ බවට ලිඛිත සාක්ෂිත් ලැබෙනවා. ඔහු මහවලතැන්න වලව්වට(හිටපු අගමැතිනි සිරිමා මැතිනියගේ ජන්ම ලාභය ලැබූ බළන්ගොඩ මහවලතැන්නේ වලව්ව) සම්බන්ධ කෙනෙකු බව පැවසෙනවා. ඔබේ අදහස් දැක්වීම මට මහත් ධෛර්යයකි. ඒ වෙනුවෙන් ස්තුතියි

      කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.