ගිනි අළු ගොඩක් මත පහළ වුන රන් ඊ තලය

කැළය කැපෙයි කඳු මට්ටම් වෙයි පුරවරයක් තැනෙයි.

(මංගලනාත බ්‍රාහ්මණගේ භාරතරත්න කපුමහතා පවසන පුරා කතාවේ තවත් කොටසක් මෙතැන් සිට පළමු හා දෙවන කොටස් සඳහා පැරණි ලිපි අයිකනය ක්ලික් කරන්න.මෙහි දීත් විමසන ලද  ප්‍රශ්න ඉවත් කර ඇති බව සලකන්න )

අළු ගොඩ උඩ කිනිහිරිය මලක් වගේ දිලිහෙමින් පහළ වෙලා තිබුණ  රන් ඊ තලේ කතාව සෑම දෙනෙකුට ම දැන ගන්න ලැබුණා. මේ නම් කන්ද ස්වාමීන් වහන්සේගෙ තවත් ආභරණයක් බව  හැමෝටම තේරුං ගියා.  යාපා මහ රජතුමා මෙතනම  දේවාලෙ කරන්න කියල අණ දුන්න.

ඔය කියන  කාලෙ මැදගම දේවාලෙ  තේවාව කළේ  නාරායන බ්‍රාහ්මණ, රාමචන්ද්‍ර බ්‍රාහ්මණ  කියන අපේ මී  මුත්තා වරු දෙන්න.  මහ රජ තුමාගෙ පණිවුඩයට ලහි ලහියේ ආපු ඒ ඇත්තන් රජ්ජුරුවන්ට වැඳල,  අලුතෙන් දේව මාලිගාව හදන තුරු අළු ගොඩ මතට පහළ වෙලා තිබුණ  දේව ආභරණය  ඉස්සරහින් තිබුණ මැදගම දේවාලෙට වැඩමවන්න

දේවාභරණ වැඩමවන්ඩ එක පාරට ම අතට ගන්නෙ නෑ. ඒවට චාලිත්තර  තියනව. – භාරතරත්න කපුමහතා දේවාභරණ වැඩමවන අවස්ථාවක් 1991 ගන්නා ලද සේයාරුවකි

කටයුතු කළා. 

දේවාභරණයක් වැඩමවන්ඩ කිව්වට එහෙම එක පාරට ම අතට ගන්නෙ නෑ. ඒවට චාලිත්තර  තියනව.  මේ චාලිත්තර  කටයුතු කරන්න  සළු පිලි අපුල්ලා පිරිසිදු කරන පවුල් පරම්පරා තුනක ඇත්තන් ඉදිරිපත් වුනා.  මුලින් ම සළුව එලන්න  ඉස්සරහට ආපු පරම්පරාවෙ අය ඒ  පිරුවටය එලා පු ගමන් දාල පිච්චිලා අළු වෙලා ම  ගියා. එදා ඉඳල ඒ පරම්පරාවට  කියන්නෙ ‘දා හළු පංගුවෙ’ අය නැති නං ‘ජාහළු පංගුවෙ’ අය   කියල. එහෙම වුනේ  අසුද්දයක් නිසා වෙන්න ඇතිය හිතල ඊ ළඟ පරම්පරාවට ඇවිත් සළුව එලන්න  කිව්ව. ඒ වතාවෙ  කිරි සුදට තිබුණ පිරුවටේ   අළු පාටට හැරුනා.  ඒ පරම්පරාවට තමයි ‘සුද්ද හළු පංගුවෙ’ අය කියන්නෙ. ඊට පස්සෙ ඊ ළඟ පරම්පරාව ඇත්තන් ඉස්සරහට ඇවිත් තමන්ගෙ සළුව එලන්න අවසර ඉල්ලුව. ඒ සළුව  රත්තරන් පාට වුනා.  ඒ   අය තමයි ‘රන්සළු පංගුව’ නැතිනම් ‘රත්නහළු පංගුව’ කියන්නෙ. එදා ඉඳල ඒ පරම්පරාවෙ ඇත්තන් තමයි දෙවි හාමුදුරුවන්ට සළු පිලි රාජකාරි කරන්නෙ. (පාරම්පරික රාජකාරි සම්බන්ධ වැඩි විස්තර ඉදිරියේ දී)

දේවාලෙ වැඩ ආරම්බ කරන්න ඉස්සෙල්ල මළුව හදාගන්න ඕන නේ. මේ වැඩ ආරම්බ කරන්න මඟුල් කපේ හිටවන්ඩ පණිවුඩ ඇරියෙ ඉඹුල්පෙ  දෙවනැන්නහැට.[i] කාරියට ගැලපෙන නැකතකින්  මඟුල් කප හිටවල   මේ කඳු මුදුන මට්ටම් කරල මළුව හැදුව. මළුව හදනව කිව්වෙ කඳු මුදුන කපල ඕන කරන තරමට ඉඩ හදා ගන්න එක. ඊට පස්සෙ ඒ වටේට හීමා බැමි බැන්ද. ඒ බැම්ම ආරස්සා වෙන්න  ටිකක්  එපිටින්  පවුරු බැම්මක් බැන්ද.  ඒ බැම්ම ආරස්සා  වෙන්න ටිකක් පාතින් වගේම ටිකක් එහායින් මහ ගල්පරුවත අහුරල ලොකු පවුරු බැම්මක් බැන්ද.යෙමේ පාතින් ම  හදාපු මහ පවුරු බැම්මට ටිකක්  පහළින් තිබුණ  බිම මට්ටම් කළා. ආරවල් වගේ තිබුණ තැන්වලට මළුවයි  බැමියි හදන කොට   අයින් කරපු  ගල් පස් පිරෙවුව. ඒ එක්ක ම දේවාල නුවර හතර  වීදි හදද්දි ඉතුරු වෙලා තිබුණ පුංචි ගොඩැලි මට්ටං කරා. මේ වැඩවලදි  අයින් කරන ගල් පස් වගේ දේවල් බස්නාහිර පැත්තෙන් ගලාගිය පිටවල ආර පැත්තට දැම්ම. ඒ පස් පිටවල ආරෙට උනන වතුර නිසා පැත්ත පළාත ම මඩ ඉඩමක් වුනා එහෙමයි ඔය මහ කුඹුරු යායක් අස්සැද්දුනේ. පිටවලආර  කුඹුරු යායට පිටතින් ගලා ගියා. ඒ දිය  පාර තැනින් තැන හරවා අලුතෙන් අස්වද්ද ගත්තු කුඹුරු යායට ඕන වතුර ගත්ත.  ඒ නිසා පැත්ත පළාත තවත් සරු සාර වුනා.

හතර වීදි වලට ඇතුල් වෙන පාර සීමා කරන්න වාහල්කඩ හතරක් හැදුව. දැන් නං ඒවයෙ ඉතුරු වෙලා තියෙන්නෙ පාදං ගල් ටිකක් විතරයි. විමලදාස වෙද මහත්තයගෙ කඩේ ඉස්සරහ පිට ඒ විදිහෙ පාදං ගල් තවම තියනව. දේවාලෙ ඉස්සරහ මාවි අරාව හරහා වැටෙන රජමාවතට  තවත් වාහල්කඩක්. තෝන්ඩිය පැත්තෙන් ගැට්ටපාන ට යන පාරට තවත්  වාහල් කඩක්. වීදිය කඩේ ඉස්සරහ කොස් උරුප්පෙ ලඟින් හල්කඳුර ඉඹුල්පෙ දිහාට යන පාරට තවත් වාහල්කඩක්. එතන පාදමට තිබුණ  ගල් පරුවතයක්  දැනුත් ඉතුරුවෙලා තියනව. ඒක අපි පුංචි කාලෙ ඔයිට වඩා උහට තිබුණ.

මළුව උඩ මුලින්ම කළේ සර්වඥ ධාතූන් තැන්පත් කරපු දාගැබක් බන්දවපු  එක. අනුරාජපුරෙන් වැඩම කරපු සිරිමා බෝධි සාකාවක් ඒ පාත්තරේ පිටින්ම මළුවෙ පැත්තක තියල තමයි දා ගැබ හදල  ටැම් පිට වැඩ ඉන්න විහාර මන්දිරේ හැදුවෙ. ඒ වැඩ  ඉවර වෙලා බලන කොට බෝධි සාකාව එතනම මුල් බැහැල  තිබුණ. ඒක හොලවන්න, ගලවන්න

මළුව මත ඉදි වූ පූජනීය ගොඩ නැගිලි හා බැමි

නො ගිහින් එතන ම බෝධීන් වහන්සෙ වටේ පවුරු බැමි බැඳල  පූජාසන හැදුව. ඒව මහා පින්කම් නෙව. ඒ පින් දෙවියන්ට අනුමෝදන් කරවල ආවැඩුන් කරල පර හතුරන්ගෙන් මහ රජතුමා තමනුත් රටත් රැක දෙන්න කියල ඉල්ලා හිටිය.

ඊට පස්සෙන් පහු දෙවියන්ට දේව මාලිගේ හැදුව. ඒ තුන් බෝධියට  නැගෙනහිර පැත්තෙන්. එතන තමයි අර අළුවෙලා ගිය මහනුගේ තිබුණෙ. අලුත් දේවාලෙට රාමචන්ද්‍ර බ්‍රාහ්මණයි නාරායන බ්‍රාහ්මණයි දෙන්න ලවා අලුතෙන් පහළ වුන දේවාභරණයයි මැදගම දේවාලෙ තිබුණ ආභරණයි මහ පෙරහරකින් වැඩම කෙරෙවුව.   මෙතනින් එහාට දේව මාලිගේ  ගැන අහන්න එපා. ඒව “දේව රහස් අහන්නත් නාකයි කියන්නත් නාකයි”.   ඒව මහා නාගරජයන් ආරස්සා කරනව.  මට ඉන්තේරුවෙන් ම කිව්වෑකි. ඒව ආයෙ මනුස්ස ඇහැකින් දකින්නවත් මනුස්ස අතකින් අල්ලන්න පුළුවන් විදිහකට තැන්පත් කරල නෑ.

අපොයි..! අපොයි….!!  කන්දස්වාමීන් වහන්සෙ කියන්නෙ මතු ලොව් තුරා බුදු වෙන  උත්තමයෙක්. මුල් කාලෙ ඉඳල ම අපේ මුතුන් මිත්තොත් බුදුන්ට මුල් තැන දීල තමයි සේරම තේවා කළේ. අපිත් එහෙමයි.

ඔය විදිහට මළුව හැදුවට පස්සෙ  ඒක යුද්ද බල කොටුවක් වගේ වුනා. ඒක හරියටම කන්දස්වාමින් වහන්සේ ට ම ගැළපෙන විදිහට ගල් පරුවත ගෙනත් හැදුව බල කොටුවක්.  ඔව්  බාගදා පරහතුරන් ආවොත් රජ්ජුරුවන්ටත් පල පොරෝජන ගන්ඩ  තිබුණ.

මේ මහ දේවාලෙ එක එල්ලේ හිටින්ඩ දකුණු දිසාවෙන් වීදියෙ කෙලවරින් පත්තිනි මෑණියන්ට දේවාලයක්

පත්තිනි දේවාලය පෙරහරට සරසන අවස්ථාවක

කෙරෙවුව.  ඒ එක්කම කොට්ටයාකන්දෙ වන්නි රාල ට රන්දුමුදු ඇල්ලෙන් පත්තිනි මෑණියන්ගෙ රන්සලඹ දෙනමක්  පහළ වුන  බව ආරංචි වුනා. මේ  පත්තිනි දේවාලෙ ට ඒ ආභරණත් මහ පෙරහරකින් වැඩම්මුව නිසා ඔක්කොම කටයුතු සම්පූරණ වුනා.

ඉතින් මේ හතරවීදි හීමා කරපු කොටසට  තමයි උග්ගල් අලුත්නුවර  සුද්ද නගරෙ කියන්නෙ. හතර වීදි හීමා කරපු බැමි මම රාජකාරියට එන කොටත්  තිබුණා. පස්සෙ ඒව මේක වටේ පදිංචිකරවපු අපේම රාජකාරි ඇත්තන්ගෙ ගෙවතු නිසා නැති වෙලා ගියත් තැනින් තැන බැමි කෑලි තවම තියනව.

 පසු සටහන

මංගලනාත බ්‍රාහ්මණගේ භාරතරත්න කපුමහතා පවසන පුරා කතාවේ උග්ගල් අලුත්නුවර කරවූ ආකාරය  පිළිබඳ  පුරාණ ලේඛනයේද පැවසෙයි. එහෙත් එහි  අන්තර්ගතව නැති වැදගත් පුවත් ද වෙයි. එවැනි එක් වැදගත් පුවතක්  වන්නේ දේවාභරණය වැඩමවීමට අදාල විස්තරය යි. එහි කියවෙන විශේෂ පවුල් පරම්පරාවන් සම්බන්ධ කතාව ඉහත  ලිපියේ තුන්වන ඡේදයේ විස්තරවෙයි. එය පුරාණ ලේඛනයේ නැතත්  මේ විස්තරය එම රාජකාරි පරම්පරා විසින් ද අනුමත කරන බව එම රාජකාරි ඇත්තන් වෙතින්ද  පළවිය. ඒ අනුව  එය කපුමහතාගෙ පුරාකතාවක් පමණක් නොව උග්ගල් අලුත්නුවර ජනශ්‍රැතියේ පවතින ජන කතාවක් බව පෙනේ. අනෙක් සෑම පුවතකම අතිශයෝක්ති වර්ණනා හැරුන විට  පුරාණ ලේඛනය හා පරස්පර බවක් නොදක්වයි

කපුමහතා නොපැවසූ හෝ ඔහුට අමතක වූ වැදගත් කොටස් ද  පුරාණ ලේඛනයේ දක්නට හැකියි.  ඒවා පහතින් සටහන්වෙයි.(දේවාල ලේකම්  මිටියේ ඇති ලේඛනය පුරාණ ලේඛන  මෙහි දී  අදහස් කරන බව සලකන්න. ජාතිකකෞතුකාලාරයේ සීමාසංකර විනෝදනී පුස්කොල ලේඛනයේ අග දැක්වෙන්නේ ද මෙහි පිටපතක් බව පෙනේ [ii])

  1. ශකවර්ෂ 1504 (ක්‍රි.ව. 1582)  ඇසල මස (ජුලි මස) දී “පුර සතවක් නම් තිථියලත් බ්‍රහස්පතින්දා උත්‍රපල් ගුනේ නැකතින් පාන් වූ හත්පෑ කාලෙන්  දේවාලෙ සිද්ධ කරවන්ඩ වැඩ අල්වමින්” ඉඹුල්පේ දෙවනැන්නැහැ විසින් මඟුල් කප හිට වූ බව
  2. “දුනු මිටි පහලොවක ඉඩම ගනිමින්” හෙවත් විශාලත්වයෙන් යුතුව “දුනු මිටි පහක” උසින් මැළු බැඳ වු බව  (මේ මිනුම් දඩු  කවරේ දැයි තවදුරටත් සෙවිය යුතුව ඇත පැරණි දුනුමිටකට සම්මත මිම්මක් සෙවීම් වල දී හමු නොවීය. පුද්ගලයාගේ උස අනුව දුනුමිටේ දිගද තීරණය වන බව පෙනියයි. මෙවැනි මිනුම් දණ්ඩක් කෝෂ ග්‍රන්ථ වලද හමු නොවීය. ඒ ගැන තවදුරටත් සෙවිය යුතුව පවතී. )
  3. වෙසක් මස වන විට වැඩ නිම කර දේවාභරණ මැදගම දේවාලයේ සිට අලුතෙන් සාදන ලද දේවාලයට වැඩම කරවු බව. මේ වෙසක් මස යනු ඊළඟ වසරේ (කි.ව.1583 මැයි මස) වෙසක් මස විය යුතු ය. ඒ අනුව මාස දහයක් තුළ ගොඩනැගීම් සියල්ල නිම වී ඇති බව පෙනේ.

විශේ වදන් හා ව්‍යවහාර

  • මැදගම දේවාලෙ – වර්තමාන දේවාලයට පෙර තිබුණ දේවාලය- ඉදිරි ලිපියක සවිස්තරව ලියවෙයි
  • මළුව – ගොඩනැගිලි ඉදි කරනු පිණිස  කඳුමුදුන මත සකස් කරගත්  වේදිකාව වැනි කොටස
  • දා හළු පංගුව හෙවත් ජා හළු පංගුව, සුද්ද හළු පංගුව සහ රන්සළු හෙවත් රත්න හළු පංගුව – මේ විශේෂ රාජකාරි පංගු හා විශේෂිත රාජකාරි දැනට ද පැවැත්වෙයි අංක 23 යටතේ ජාහළු පංගුව ද, අංක 24 යටතේ සුද්ද හළු පංගුවද අංක 29 යටතේ රන්සළු හෙවත් රත්න හළු පංගුව ද වෙන් කර රාජකාරි වෙනුවෙන් පුරාණයේ සිටම ගොඩමඩ ඉඩම් පවරා තිබෙන බව පෙනී යයි. [iii]
  • අසුද්දයක් –  කිලි සහිත බවක් හෙවත් අපිරිසිදු බවක්
  • චාලිත්තර – චාරිත්‍ර හෙවත් සම්මත සිරිත්
  • මඟුල් කප හා මඟුල් කප හිටවීම පුරාණයේ ගොඩනැගිලි ඉදිකිරීමේ දී හෝ කටයුතු ආරම්භයේ දී පළමුව හිඳුවන කනුව මේ නමින් හැඳින්වෙන බව පෙනේ. ගණදෙවි හෑල්ලේ එන[iv] මේ කවි විමසන්න.

ඇදුරුවරු එතැන සි   ට
කපා කප් සොඳ රඟ   ට
ආවඩා දෙපස සි        ට
මගුල් කපගෙන අත  ට

වඩ වඩා සෙනෙහසි  න්
මගුල් කප සිටුවමි     න්
දමා යට තලාදි          න්
වනා පරහල උම       න්

  • පාදංගල් මේ කියනු ලබන වාහල් කඩ පැවති බවට කපුමහතා පෙන්වා දෙන පදනම් ගල් යැයි සිතිය හැකි ලකුණු අදාල ස්ථානවල මෑතක් වනතුරම දක්නට ලැබිණි මාවත් සංවර්ධන කටයුතු වල දි විමලදාස වෙදමහතාගෙ නිවසට පිවිසෙන ස්ථානයේ සහ තෝණ්ඩියට  පිවිසෙන ස්ථානයේත් මාවි අරාවට පිවිසෙන මාර්ගය ආරම්භයේත් පැවති සලකුණු යටපත්ව ගොසිනි. එහෙත් කොස් උරුප්පය අසල පවසනු ලබන සලකුණ තවමත් පවති ගම්වැසියන්විමසූ කෙනෙකුට එය හඳගල යැයි දැනුදු හඳුන්වන බව ඇසියහැකියි.
  • ආවැඩුන් – මේ ව්‍යවහාරය පුරාණ ලේඛනයේද මෙසේම වෙයි[v]. ආවැඩීම යනුවෙන් දැනුදු පැවැත්වෙන රාජකාරි වල දී “පස්වාන් දහසකට ආයු බොහෝවා..කල්පාන්තිරයකට ආයු බොහෝවා.. ඉර හඳ පවතිනා තෙක් ආයු බොහෝවා යි” යනුවෙන් විවිධ විශේෂ රාජකාරි වල දී දේවා භරණ දෙසට හෝ වැඩහිටින මාලිගය දොරටුව අබියස සිට ඒ දෙසට අත් දිගුකරමින් හෝ සළු වනමින් ගායනා වන් දැකිය හැකියි. ඒ  දෙවියන්ට ආයුෂ වැඩේ වා යි කරන ප්‍රාර්ථනයකි. ආවැඩුන් යනුවෙන් අදහස් කෙරෙන්නේ ද එයම බව පෙනේ.
  • කන්ද්ස්වාමීන් වහන්සෙ කියන්නෙ මතු ලොව් තුරා බුදු වෙන උත්තමයෙක් – මේ මතය බාරතරත්න කපුමහතා පමණක් නොව උග්ගල් අලුත්නුවර පාරම්පරික සියලු ගම්වැසියන්ම දරන මතයකි. ඒ නිසාම දෙවියන් කෙරේ පවත්වන සියලු පූජාවන්ට පෙරාතුව බුදුන් උදෙසා පුද පූජා පැවැත්වීම සිරිතක්ව පවතී. දෙවියන්ය මුරුතැන් පූජාවට පළමුව බුදුන්ට අවස්ථාවට අනුව කිරිආහාර පූජාව හෝ ගිලන්පස පූජාව  ගරු සත්කාර සහිතව වැඩමවා ගෙන විහාරගෙයට ගොස් පූජා කිරීම ද රාජකාරි චාරිත්‍රයක්ව පවතී. දේවාල මාලිගයට යාමට පෙර පන්සිල් ගෙන බුදුන් වැඳිම භාරතරත්න කපුමහතා  දිනපතාම අනුගමනය  කළ සිරිතක්ව තිබිණි. බැතිමතුන් වෙනුවෙන් යැදීම හා ඔවුන්ව පැඬිල්ලීම හෙවත් පරහඳ ගැමට පෙර කරණීය මෙත්ත සූත්‍රය සජඣායනා කර කතරගම දෙවියන්ට අනුමෝදන් කර පිහිට දෙන ලෙස ඉල්ලා සිටිමන් යාදිනි ගැයීම ද සිරිතක් විය. එය වර්තමාන කපුමහත්වරුන් ද අනුගමනය කරනු දක්නට ලැබෙයි.
  • තුන්බෝධිය – මෙහ දී තුන්බෝධිය ලෙස තේරුම් කළේ චෛත්‍යය, බෝධිය සහ බුදු පිළිමය සහිත විහාර ගෙයයි
  • “අහන්නත් නාකයි කියන්නත් නාකයි” – විමසීමත් විමසීමට පිළිතුරු දීමත් වරදකි යන තේරුම දෙයි. මෙය අම්මඩුුව සොරගුණය දේවාල ඇත්තන් වෙතින් ද අසන්නට ලැබුණකි. ඒවා නොකිය යුතු නොඇසිය යුතු දේව රහස් බව සැලකෙන බව පෙනේ. වැරදීමකින් එවැනි යමක් හෝ කියවුනොත් එය භයානක කටවැරදීමක් සේ මේ ඇත්තො අදහති. 

විශේෂ පුද්ගලයෝ

  • කන්දස්වාමීන් වහන්සෙ – මෙයින් හැඟවෙන්නේ ද කතරගම දෙවියන්මය. මේ කපුමහතා කතරගම දෙවියන් යන්න කලාතුරකින් භාවිත කළත් බොහෝ විට භාවිත කළේ කන්දස්වාමීන් වහන්සේ යනුවෙනි. පාරම්පරික වෙනත් අය වෙතින්ද මේ ව්‍යවහාරය අසන්නට ලැබෙයි
  • නාරායන බ්‍රහ්මණ හා රාමචන්ද්‍ර බ්‍රාහ්මණ – පුරාණ කපුමහත්වරු- මේ දෙදෙනා නාරායන අප්පුහාමි හා රාමචන්ද්‍ර  අප්පුහාමි යනුවෙන් පුරාණ ලේඛනයේ ව්‍යවහාර වෙයි[vi]
  • ඉඹුල්පෙ දෙවනැන්නැහැ[vii] – දැනටත් ජීවමාන දේවාල රාජකාරි අනුව පෙරහර පිටත් වෙද්දී නැකත සංඥා කිරීම පිණිස කාලතුවක්කුව දල්වන රාජකාරියක් පවතී. එය දැන් ‘ගෙබලන පංගුව’ ලෙස නම් වෙයි. මේ රාජකාරි ඇත්තා දේවාලය විවෘතව තබන අවස්ථාවල දිග්ගෙයි නිතරම රැඳී සිටිය යුතු බව කියවේ.  ඒ එහි ආරක්ෂාව වෙනුවෙන් වැනිය. කාලතුවක්කු භාරකාරීත්වය දරන්නේද  මේ රාජකාරි පංගුව විසිනි.  වර්තමානයේ පෙරහර වෙනුවෙන් මඟුල් කප හිටවන්නේ ‘මළුවෙ විදානේ’ හෙවත් ‘මළුවෙ පණිවුඩකාර’ පංගුව විසිනි. එකල දෙවනැන්නැහැ යනුවෙන් ව්‍යවහාර වූයේ මේ රාජකාරි අතරින් එකක් දැයි විමසිය යුතුව පවතී. මඟුල් කප හිඳුවීමට කැඳවීම අනුව ඔහු සැලකිය යුතු මට්ටමේ කෙනෙකු වූ බව සිතිය හැකිය. ඉඹුල්පේ යනු උග්ගල් අලුත්නුවරට ආසන්නයේ පවතින ගම්මානයකි.
  • කොට්ටයාකන්දෙ වන්නි රාල – පුරාණ ලේඛනයේ ද මේ නම සඳහන්ය[viii]. වන්නිරාල යනු එකල මැදගම වනාන්තරයේ වර්තමාන බළන්ගොඩ පින්නවල පෙදෙසේ පිහිටි ප්‍රදේශයකි. අදත් එය කෝට්ටයාකන්ද සේ ව්‍යවහාර වන අතර මේ පුරාණ නිලධාරියා ඒ පෙදෙස භාරව සිටියා විය යුතුය. මේ ලේඛනයේ තවත් තැනක ගැට්ටපාන වන්නිරාල නම් වූ පුරාණ නිලධාරියකු හමුවෙයි. ඔහු ගේ වී අමුණු 17 ක් දේවාලයට පිදූ බව සඳහන් වීම අනුව මෙය එකල පිළිගත් සැලකිය යුතු මට්ටමක තනතුරක් බව පෙනී යයි.

විශේෂ ස්ථාන

  • මළුව හා බැමි – මේවා අදත් දක්නට හැකිය පසු කල අලුත්වැඩියා කරන ලද බව පෙනුනත්  මූලික සැලසුමට හානිවී නැති බව පෙනේ. මේ නිර්මාණයට හානි වීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තු මැදිහත් වීම ද හේතුවෙන් සංරක්ෂිතව පවතී.මෙහි කියවෙන පහත බැම්ම බැඳීමේ දී පාදමට යොදවන ලද ගල් පර්වත යම් යම් ස්ථානවල දැනුදු දක්නට ලැබෙයි.
  • දේවාල රාජකාරි – මෙයින් අදහස් කරන්නේ එකල රජුන් විසින් විසින් පැවරූ තනතුරු බව පෙනේ
  • මළුව – මෙහි දී මළුව යනුවෙන් අදහස් කර ඇත්තේ පූජනීය ගොඩනැගිලි ස්ථාපනය කරන්නට කඳුමුදුන මත සකස් කරගත් පරිශ්‍රයයි.
  • ටැම්පිට වැඩ ඉන්න විහාර මන්දිරේ.- පසු කලක මෙය අලුත් වැඩියා කළ ද 1908 දීත් එය ටැම්පිට විහාරයක්ව පැවති බව පෙනේ[ix] වර්තමානයේ ද එහි තිබූ ගළුගල් ටැමි පහසුවෙන්ම හඳුනාගත හැකියි.
  • හීමා බැමි – සීමාව සලකුණු කරන බැමි
  • ගොඩැලි – උස්බිම් කොටස්
  • හතර වීදි – පෙරහර ගමන් ගන්නා දේවාල මළුව වටා ඇති වීදි හතර
  • විමලදාස වෙද මහත්තයගෙ කඩේ – පෙරහර මාර්ගයේ ගිණිකොණ දෙසින් යාබද  ගම්මාන වෙතට යන මාවත මෙයද රජ මාවතක් සේ සැලකෙයි.
  • පිටවල ආර – දේවාල පරිශ්‍රයේ නිරිත දෙසින් දැවැන්ත කුඹුරු යාය දැනුදු පවතී. එහි මැණික් පතල් කැනීමේ දී පුරාණ ඔය පාර ඉතා පැහැදිලිව දක්නට හැකි විය. මෙම ඔය හරහා පැවති දේවාල පරිශ්‍රය හා මාවිඅරාව කඳු පෙදෙස හරහා අමුපිටිය දක්වා තිබූ පුරාණ මාර්ගය සම්බන්ධ කරමින් පැවති පුරාණ දැව පාලමක අඩි හතලිහක් පමණ දිගු පාලම් කඳන් 8ක් 1980 දී හමු වූ බව කියවේ. එයින් තුනක් පතල් කම්කරුවන් විසින් ගොඩට ගත් අතර ඒවා ගොඩ දමා වසරක් ගතවීම ට පෙර දිරා යන්නට විය. ඒ අතරින් එකක් දේවාල මළුව කරා ගෙනැවිත් පිටත ආලින්දයේ තැන්පත් කර ආරක්ෂා කෙරමින් පවතී. දැව වර්ගය හඳුනා ගැනීම අපහසු ය. එහි දිග අඩි 40 කි. කපුමහතා පවසන ලෙස කුඹුරුවලට ජල සම්පාදනය කෙරෙන ඇල මාර්ගයද පවතී. මේ අනුව පුරාකතාවේ පැවසන ලෙස තරමක් විශාල පුරාණ ජල මාර්ගයක් පැවති බව පෙනේ.
  • පාදං ගල් – පාදමට යොදවන ලද පාෂාණ
  • ගල් පරුවත – විශාල ගල්

ස්ථාන නාම

  • තෝණ්ඩිය දේවාල ගමට යාබද ප්‍රදේශයකි
  • ගැට්ටපාන – වර්තමානයේද මේ නම ව්‍යවහාර වෙයි. තදාසන්න ගමකි. මෙය පුරාණ ලේඛනයේ[x] ද සඳහන්ය.
  • කොස් උරුප්පය – දේවාලයට ඊසාන දෙසින් පිහිටි පුරාණ කොස්ගස, මේ පිළිබඳ විස්තරාත්මක තොරතුරු සඳහා අරුම පුදුම පූජනීය කොස්ගස යනුවෙන් ඇති පිටුව බලන්න.
  • හල් කඳුර – දේවාල ගමට යාබද  ප්‍රදේශයකි
  • ඉඹුල්පේ – තදාසන්න ගමකි. එහි වැඩි කොටසක් සමනළ වැවට යටව ඇත. එහෙත් වර්තමානයේ ද ප්‍රාදේශීය සභාව හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හැඳින්වෙන්නේ මේ නමිනි.
  • කොට්ටයාකන්ද – බළන්ගොඩ පින්නවල මැද්දේගම් පෙදෙසේ පිහිටි පෙදෙසකි
  • රන්මුදු ඇල්ල – බළන්ගොඩ පින්නවල මැද්දේගම් පෙදෙසේ පිහිටි දිය ඇල්ලකි

—————————————————————————————————————–

[i] M4 දරන සීමාසංකර විනෝදනියේ අග පිටු  -ජාතික කෞතුකාගාරය – කොළඹ

[ii] M4 දරන සීමාසංකර විනෝදනියේ අග පිටු  -ජාතික කෞතුකාගාරය – කොළඹ

[iii] වර්ෂ 1870 අංක 4 දරන විහාර දේවාලගම් පණත – කොමසාරිස් ලේඛනය –  රාජ්‍ය ලේඛනාගාරය- කොළඹ
[iv] ගණ දෙවි හෑල්ල – Wikibooks

[v] M4 දරන සීමාසංකර විනෝදනියේ අග පිටු  -ජාතික කෞතුකාගාරය – කොළඹ

[vi]  M4 දරන සීමාසංකර විනෝදනියේ අග පිටු -ජාතික කෞතුකාගාරය – කොළඹ

[vii] M4 දරන සීමාසංකර විනෝදනියේ අග පිටු -ජාතික කෞතුකාගාරය – කොළඹ

[viii] M4 දරන සීමාසංකර විනෝදනියේ අග පිටු  -ජාතික කෞතුකාගාරය – කොළඹ

[ix] ආනන්ද කුමාරස්වාමි – මධ්‍යකාලීන සිංහල කලා හි මේ විහාරයේ  ඡායා රූපයක් ද එහි සැලැස්ම ද විස්තර වෙයි. එය පුරාණ ටැම්පිට විහාරයකට උදාහරණයක් ලෙස දක්වා ඇත.

[x] M4 දරන සීමාසංකර විනෝදනියේ අග පිටු  -ජාතික කෞතුකාගාරය – කොළඹ

 

Advertisements