ලොග් සටහන් උපුටනයක්
(තවත් ප්‍රබන්ධයක් නොවේ. ඉවසිල්ලෙන් කියවන්නකෝ.)
“1958.02.21 – වේලාව 9.30 විය. බාලාංශ පන්තියේ ළමයෙකු, කුඩා ගැහැණු ළමයෙකු හඩනවා ඇසුනි. කාරණය සොයා බැලීමි. ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් ‘බඩගිනි’යයි ඒ කුඩා ගැහැණු ළමයා කීය. පළමුවැනි පන්තියේ සිටින පිරිමි ළමයාත්,තෙවැන්නේ සිටින ගැහැණු ළමයාත් ඇගේ සහෝදරයා සහ සහෝදරිය යි. කනබොන කතා ඇසීම අනවශ්‍ය දෙයක් වුවත් මම ඇසීමි. උදේට ආහාර නොතිබුණ බව කීමෙන් මගේ සිත ඒ සඳහා ක්‍රියාකරන්නට විය. තුන් සොහොයුරු දරුවෝ හොඳටම මලානිකව වූහ. සංවේගය කෝපය හා ත්‍රාසය බිහි වුනේ ‘කුඩා ළමයින්ට බඩගින්නේ සිටීමට පුහුණු කළ යුතුය’ යන මවගේ වදන් මා කණ වැටීමෙනි. මා කළයුතු කටයුතු පසෙකින් තබා ඔවුන් තිදෙනාට වේලාවට සුදුසු ආහාරයක්, හාමත නිවාගැනීම පිණිස සුදුසු ආහාරයක් පිළියෙල කිරීම සඳහා. සූ වැන්නේ සයිමන් හා ඩිංගිරිමැණිකා යන ළමුන් දෙනො යෙදවීමි. ආහාර ගැනීමට සිටි ළමුන් තිදෙනාත් ආහාර පිළයෙල කිරීම සඳහා යට සටහන් ළමුන් දෙදෙනොත් උදේ 9.40 සිට 10.15 දක්වා පන්තිවල නොසිටියහ.”
පැරණි වැඩිහිටියන් එම මුල්ගුරුවරයා හඳුන්වාදෙයි
මැද බැද්දේ රජ්ජුරුවෝ
- “අපොයි මහත්තයො ඒ උතුම් මනුස්සයා අපේ දෙවියෙක් වගේ” පාසල ආසන්නයේම සිටින ‘මැදබැද්දේ රජ්ජුරුවෝ’ මේ ගුරුවරයා ගැන පැවසුවේ එලෙසිනි. ඒ සමගම “තව විස්තර ඕනිනම් හොඳට අහගන්න කෙනෙක් තමයි සෙංගමාල වෙදමහත්තයා. ට්‍රැක් 28 ඉන්නෙ. පුළුවනිනම් ගිහින්එයාගෙනුත් අහන්නකෝ.” .
එන්දෝරිස් වෙදමහතා
- මම එන්දෝරිස් වෙද මහතා වන සෙංගමාල වෙද මහතා සොයා ගියෙමි. එන්දෝරිස් වෙද මහතාද තමන් සමග (ඒ වෙලාවෙ සිටි තවත් පිරිසක්ද සමගින්) ගුරුවරයාගේ සේවය මහ ඉහළින් අගය කරමින් සැමරුවේ “එයා ළමයින්ට විතරක් නෙවෙයි. දෙමාපියන්ටත් ඉගැන්නුවා. ඔය කිව්ව දවසෙ හවස දෙමාපියන් ඔක්කොටම පාසලට ගෙන්නුවා පන්සලේ හාමුදුරුවොත් රැස්වීමට වැඩමවලා තිබුණා. ඉස්සරින්ම ළමුන්ට කන්න බොන්න දෙන විදිහ ගැන කියා දුන්නා. කාටවත් ප්‍රශ්න හෙම තියනව නං අහන්න කිව්වා. කවුරුත් කතා කළේ නෑ. අර බවලතා නැගිට්ටවලා. විබාග කරෙුවෙ අපිත් ඉස්සරහමයි. ඊට පස්සෙ එයාට බොහොම සැරෙන් දරු පැටවුන්ගෙ අගේ කියලා, උන්ට කන්න බොන්න දෙන හැටිත් කියලා දුන්නා. උන්නැහැ වැඩිහිටියන්ට සැර වුනාට දරුවන්ට බොහොම කරුණාවයි. එකල තිබුණ අගහිකම් ගැන විමසිවෙමි “ඒ කාලෙ විතරක් නෙමයි අද උනත් මේ පැත්තෙ කාටවත් එහෙමට අග හිඟයක් නෑ. ගොවිතැන් බත් ඕන තරම් තියනවා නෙව. වැඩිහිටි අපටත් ගුරුහරුකම් දුන්නා. කවුරුවත් විරුද්ධ උනේ නෑ උදව් කළා මිසක්! ඒ තරම් උත්තමයෙක්”.