යක්කුන්ගෙ කාලෙ 3

මහසෝන

දේවාල ගංයායේ මති මතාන්තර 3 කොටස

පසුගිය ලිපිය නිමා වුනේ අපත් කට්ටඩිත් අතර පැවති සාකච්ඡාවකින් නේ. ඉතින් ඔන්න කට්ටඩි¹ තමන්ට අත් දකින්න ලැබුණු විස්තරයක් කියනව.

මම දවසක් මාවිඅරාව පැත්තෙ මැතුරුමකට ගියා. මහ රෑ  පණිවිඩේ ගෙනාපු දූතයගෙ ලකුණු අනුව කොයිකටත් කියල ලොකු මැතිරුමකට ලෑස්තිවෙලා ගියා.  ගියාට පස්සෙ වැඩේ කලින් හිතුවට වඩා බරපතල් එකක් බව පෙනුනෙ.   ඕන කෙනෙකුගෙ දුකේදි සැපේදි විතරක් නෙවෙයි රන්ඩුවකදි වුනත් කඩා බිඳගෙන එන ගං විදානෙ මහත්තය² කලින්ම ඇවිල්ල තිබුණ. එයා තමයි ඉක්මණින්ම මට එන්න කියල පණීවිඩයක් එවල තිබුණෙත්. යකා ගහපුපාර ආතුරයගෙ බෙල්ල පැත්තක් නිල් වෙලා…! දැක්ක ගමන් මට හිතාගන්න පුළුවන් වුනා. මේ  මහසෝනගෙ වැඩක් බව. වැහිල ඉන්නෙත් මහසෝන,,,,,!   මට කරන්න වෙලා තියෙන්නෙ එසේ මෙසේ දෙයක් නෙවෙයි. පොඩ්ඩ වැරදුනොත් ආතුරය විතරක් නෙවෙයි කට්ටඩියත් බිල්ලට යනව. මේ ගැන විදානෙ මහත්තයට කිව්ව ගමන් උන්නැහැත් ඇස් උඩ ඉන්දගත්ත.  කොයි තරම් බරපතල වුනත්  මනුස්ස ජීවිතයක්  නිසා මග අරින්නයැ. අපි වැඩේට ලෑස්ති වුනා.

අපි: මහසෝන  එච්චරටම බයානකද කට්ටඩි මහත්තය?

කට්ටඩි: මොනව අහනවද මහසෝන කියන්නෙ යක්ෂ සේනාධිපතියෙක්.  එයා තමයි භයානකම කෙනා. රීරි යකා

කට්ටඩි මහතා පැවසූ මහසෝනා මෙසේ විය හැකියයි ඇ.එ.ජ. නිවසක දක්නට ලැබුණ හැලොවින් රූකඩය දුටු විගස සිහිවිය.

එන්නෙත් ඊට පස්සෙ.  මහසෝන ගැන කලින් අහල නැද්ද? මහ සෝනට ඕන වේසයකින් ඉන්න පුළුවන්. සාමාන්‍ය විදිහ නම්   කඳ කොයි හැටි වුනත් ඔලුව වලහෙකුගෙ. අපේ මරු සන්නි යකුමකදි  මහ සෝනට එන්නෙ  වලස් මූණකින්.  මහ සෝනත් පුරපක්ෂයෙදි තරමක් සැර බාල කෙනෙක්. ඒ හන්ද සමහරු මහසෝන් දේවතාව කියලත් කියනව. අව පක්ෂෙදි නම් එච්චර භයානක වෙන යක්ෂ සේනාධිපතියෙක් නෑ. ආයෙත් කතාවට එමුකො. 

ආතුරය ගොඩ දාන්න වලදැරැහැවක් නටල මිසක්  හරියන්නෙ නෑ. ඇප නූල දැම්මෙත් බොහොම අමාරුවෙන්. කීප දෙනෙක් අල්ලාගෙන ඉද්දි. ඇප නූල බදිමින් මතුරද්දි ආතුරය ටිකක් මෙල්ල වුනා. කොයිකටත් විමසිල්ලෙන් ඉන්න හයිය තියන කීපදෙනෙක් ළඟ තියල. තව දවස් තුනකින් කරන තොවිලෙට උවමණා කළමනා ලැහැත්ති කරගන්න කතාවුනා.

ආතුරය නින්දට වැටුනට පස්සෙ විදානෙ මහත්තයයි මායි ආපහු එන්න පිටත් වුනා. එන්න තියෙන්නෙ කුඹුරු යාය මැද්දෙන්. ඉල්මාසෙ  නිසා ගොයමත් සරුවට වැඩිල.  ටික දුරක් එද්දි විදානෙ මහත්තය ගැට්ටපාන පැත්තට තියන නියර දිගේ ගියා.  මම ගල්දෙක ගාව ලිඳ ළඟින් උණගස්වත්තට ගොඩ වෙලා ගෙදර යන්න හිතාගෙන අනෙක් නියර දිගේ ආව. ඔය අතරෙ සමහර තැන්වලදි මගෙ අතේ තියන බැටරියෙ එළිය නිමෙන්න උනා. තට්ටුවක් හෙම දැම්මම පත්තු වෙනව. මොන කදරයක්ද මන්ද බැටරිය සැරෙන් සැරේ නිමෙනව. ඔහොම ටික දුරක් එද්දි කුඹුර මැදින් බස, බස, ගාගන ආපු තඩි කළු බල්ලෙක් මා ඉස්සරහින්, නියර උඩින් අනෙක් පැත්තට පැන්න. මම බැටරිය  අල්ලල බැලුව. මොකෙක්වත් පේන්න නෑ.  මං ගණං ගත්තෙ නෑ. කොච්චර කළුවර වුනත්, කොහොමින් කොහොම හරි දැන් ඔන්න ගල් දෙක ගාව ළිඳ ළගටම ඇවිත්. උණගස්වත්තට නගින තැන ඉවුර උඩ තියන මහ උණ පඳුර දන්නව නේද?  ඒක අස්සෙන් මහ හඬින් හිනාවෙන සද්දයක්…! මේ මහ රෑ එකොලහට විතර හිනා වෙන්නෙ  මොකාද? තට්ටුකරල තට්ටු කරල බැටරිය පත්තු කරන්න හැදුව. ම්හ්. පත්තුවෙන්නෙම නෑ. ඔය අතරෙ තරු එළියට වගේ ගල්දෙක ගාව ළිඳ පෙනෙනවා. ළිඳෙ  නාන පඩිය උඩ අර මහ කළු බල්ල…!   මහසෝනගෙ අවතාරෙ  වලස් තඩියෙක් වගේය කිව්වට  කළු බල්ලෙක්, අලියෙක් වගේ පේන්න එන්නෙත් ඒ අවතාරෙමයි. මේව  කල්පනා වෙද්දි ඇඟට හීන් දාඩිය දැම්ම. හිතට  පුංචි චකිතයක් වගේත් දැනුන. හිනා සද්දෙ දිගටම ඇහෙනව. ඉනේ තියන ආරක්සා යන්තරේ අත ගෑව මොකා උනත්, මේක තියන කං ඌ මට කිට්ටු වෙන එක  බොරු. අතට ගිල්ලල තියන යන්තරේ නිසා කරේ, ඉනේ තියන එ්ව නැති වුනත් මොනම අමනුස්සයකුටවත් හිරිහැරයක් නම් කරන්න බෑ. මේ එක්කම අපොයි විදානෙ මහත්තයට මොනව වුනාද දන් නෑ. මට කල්පනා වුනා. හෙට උදේම හොයන්න ඕන. දැන් අර බලු තඩිය නං දැන් පේනනෙ නෑ. ඒත් උනපඳුර අස්සෙන් එන හිනාව නං සැරෙන් සැරේ ඇහෙනව. ඉල් මාසෙ අව පක්සෙ ලැබුව ගමන්. කාලයයි වෙලාවයි එච්චරම හොඳ මදි. මේක උන්ගෙ කාලෙ උන්ගෙ ජාමෙ. මම මහ හඬීන්  බන්ධන ගාතාව කියන්න ගත්ත. ඒ එක්කම එතනම තියන කළුචාර්ලිස් අප්පු බාස් උන්නැහැට කතා කළා. ඒ ගමන්ම එහෙ දොර ඇරුන. දැන් අර හිනාව නෑ. එත් බැටරිය පත්තුවෙන්නෙම නෑ. ඉවුර නැග ගන්න පේන්නෙ නෑ. “බාසුන්නැහෑ. අනේ මගෙ බැටරිය නිමිලා හුළු අත්තක්වත් පත්තු කරගෙන එන්ඩෝ” කියල මහ හයියෙන් කිවුව. එයා එළියට ආවෙම හුළු අත්තක් පත්තු කරගෙන. ඒ බාස් උන්නැහැත්  තොවිල් වලදි උදව්වට එන හිත බය නැති ඇත්තෙක්.  මම කතාව කිව්ව. එයා කිව්වෙ “මට ඇහුනෙ කට්ටඩිගෙ කෑ ගැහිල්ල විතරයි මොන තරම් හයියෙන් කෑ ගැහුවද?” මොකද්ද දෙයියනේ කාට හිරි කරදරයක් වෙලාද කියල බලන්නයි මම එළීයට ආවෙ. මදෑ අපේ කට්ටඩි මහත්තය නේ”. මම හිනා වුනා. කරන්න තියන වැඩේ කියල එදාට උදව් වෙන්න තව හිත හයිය කීප දෙනකුත් එක්ක එන්න කියල මම එන්න ආව. ඇරලන්න එන්නද අහද්දි “නෑ ඕන නෑ” කියාගනම ගෙදර  ආව. ඒත් ගෙදරට එනවත් එක්කම ගේ ඉස්සරහ ආයෙත් අර බලු තඩිය! “ඔහෙ හිටු ගෙරිය මම තොට දෙන දේ දෙන්න ඇපවෙලා නේද ආවෙ කියාගන ආරස්සා බන්ධනේ සිහි කරගෙන ඉස්සරහට පැන්න ඌ පේන්නැතුව ගියා “. ඒ එක්කම ගෙදර ඇත්තො දොර ඇරිය. ගෙට ඇවිත් කතා කරද්දි අර හිනා සද්දෙ ගෙදර ඇත්තන්ටත්  සැරෙන් සැරේ ඇහිල තියන බව කියවුනා. මට මේක අසුබ නිමිත්තක් වත් ද දන්නැ යි සිතෙද්දි, “ඔය කවුරු හරි බීගෙන වෙන්න ඇති” කියල  නින්දට ගියා.

පස්සෙන්ද මහ දවල් 12.00 ට ඇප නූල අලුත් කරන්නත් එක්ක උදේම  ආතුරයගෙ ගෙදරට  ගියා. ආතුරයගෙ විස්තර ඇහුව. එයා  රාත්තිරියෙ  සැරෙන් සැරේ මහ හඬින් හිනා උනාලු. නින්ද බොහොම අඩු වුනත් දුවන්න කරන්නෙ නැතුව  හිටියලු.  රෑ දමාපු  ඇප නූලට මොකවත් වෙලාද බැලුව. දෙයියනේ ඒකෙ බෙල්ලට දාපු ගැටේ බුරුල් වෙලානෙව. මේ හන්ද තමයි ඔක්කොම අඩිකෝඩ ඇතිවෙලාතියෙන්නෙ. මදෑ නූල වෙන් වුනේ නැතුව. මම ආයෙත් ජප කරල මතුරල අලුත් අැප නූලක් බැඳල ගෙදර අයටත් ඒ ගැන විපරමෙන් ඉඳල පරෙස්සම් කරගන්න කියල ආපහු අාවෙ තව දවස් දෙකකින් සූදානම් වෙන  වල දැරැහැව කටයුතු සේරම ලෑස්ති කරන්න. ලොකු වැඩක් නිසා බුදුන්වෙල ගුරුන්නාන්සෙ,මොරහැල ගුරුන්නාන්සෙ, වෙහෙරගොඩ ගුරුන්නාන්සෙත් යන අයටත් එන්න කියල  පණිවිඩ ඇරිය.

වලදැරහැව කියන්නෙ මොකද්ද? අපෙන් ප්‍රශ්නයක්…. (වල දැරැහැව පිළිබද විස්තරය ඉදිරි ලිපියක අපේක්ෂා කරන්න.)

මේ ලිපියේ භාවිත විශේෂ වදන් හා ව්‍යවහාර

  • අඩිකෝඩ: හොල්මන් දැකීම හෝ ඇසිමට මේ ව්‍යවාහාර වෙයි
  • ආරක්සා යන්තරේ: ආරක්ෂාවට පිණීස පළඳින මතුරා ජීවම් කරන ලද සුරයකට ඇතුළු කර ඇති තඹ, රිදී ,රන් වැනි පත්‍රයක් සහිත ආභරණයක් වැන්නකි
  • ඇප නූල: පොරොන්දුවෙමින් සහතික කරන ලද තාවකාලික සහනයක් ලබා ගැනීමට කරනු ලබන ප්‍රතිකර්මයකි. මෙහි දී කහ දියරේ ගල්වන ලද කපුනූල් තුන් පොටක් හෝ පස්පොටක් ගෙන මතුරමින් ගැට යොදමින් මතුරා ආතුරයාගේ බෙල්ලේ  හෝ අතේ බඳිනු ලබති
  • ඇස් උඩ ඉන්ද ගැනීම: බියවීම
  • උණගස්වත්ත: දේවාල ගම තාදාසන්න නිවසක් සහිත වත්තකි
  • ගංවිදානෙ: ගමේ විදානෙ මෙය දේවාල සම්ප්‍රදායේ එන තනතුරකි. ඔහු ස්වකැමැත්තෙන්ම ගමට නායකත්වය දෙමින් කටයුතු කළ පුද්ගලයෙක් බව දැක ඇත්තෙමි. එම චරිතය ගැන කට්ටඩි මහතා පවසන විස්තරය ද සැබෑවක් බව මතකයේ පවතී
  • ගල්දෙක ගාව ළිඳ:  කිසිදාක දිය නොසිඳෙන දේාවල ගම්මාන මායිමේ උණගස්වත්තට පහළින් කුඹුර මායිමේ පිහිටියකි. දැනුදු එය පවතී
  • ගැට්ටපාන: දේවාලගමට යාව තදාසන්න පිහිටි ගමකි
  • ගෙරිය: මෙය අවතාර වැනි දෑට බියවන අවස්ථාවල පළවා හැරිමට පවසන වදනකි. මේ නමින් සිටින කළු කුහුඹි විශේෂයක්ද වෙයි. එම කුහුඹින් ගේ කූඩා සාදන කළුවර්ණයෙන් යුතු පස් බලි තොවිල් වලදී භාවිතවෙයි.
  • දූතයගෙ ලකුණු: පණිවුඩය ගෙන එන තැනැත්තා වෙතින් පළවන සලකුණු
  • පුරපක්ෂය: කළුවර පෝය දිනය පසු වී සඳ මෝරාගෙන එන දින පහලවක කාලය අව පක්ෂය යනු පසලොස්වකින් පසුව එන කාලයයි.
  • බන්ධන ගාතාව: බාඳ දමන ගාතාව යන අදහස ගෙනෙයි. බොහොවිට මෙය බුදුගුණ සහිත උස් හඬින් ගැයෙන මන්ත්‍රයක් වන අවස්ථා දැකිය හැකි විය.
  • බැටරිය: මෙයින් අදහස් කරන ලද්දේ ටොජ් එක හෙවත් ආලෝකය විහිදුවන විදුලි පන්දමය
  • බුදුන්වෙල ගුරුන්නාන්සෙ:  බුදුන්වෙල නමැති ගමේ සිටි කට්ටඩි මහතා
  • මරු සන්නි යකුම:  ප්‍රදේශයට ආවෙනික යක්නැටුම් විශේෂයක් බව පෙනීයයි
  • මාවිඅරාව: දේවාල ගමට තදාසන්නව වෙල්යායෙන් එගොඩ පිහිටි ගම්මානයයි
  • මොරහැල ගුරුන්නාන්සෙ: මොරහැල නමැති ගමේ සිටි කට්ටඩි මහතා
  • වලදැරැහැව: මේ පිළිබඳ ඉදිරි ලිපියක විස්තර එනු ඇත.
  • වෙහෙරගොඩ ගුරුන්නාන්සෙ:  වෙහෙරගොඩ නමැති ගමේ සිටි කට්ටඩි මහතා
  • වේසයකින්: ස්වරූපයකින් හෙවත් මවාගත් රූපයකින්
  • හීන්දාඩිය දැමීම: බියවීම නිසා ශරීරයේ ඇතිවන වෙනස

————————————————————————

  1.  අභාවප්‍රාප්ත   මැණික් අප්පු කට්ටඩි මහතා – 1969 -උග්ගල් අලුත්නුවර තොවිලයක කටයුතු සූදානම් කරන අතර දී
  2. මෙහි දී ගංවිදානෙ මහත්තය යුනවෙන් හඳුන්වා දෙන ලද්දේ වයි.එම්. හොරත් හාමි මහතාය
  3. කළුචාර්ලිස් අප්පු බාස්උන්නැහැ. යනුවෙන් හඳුන්වා දෙන ලද්දේ දක්ෂ දවුල් තම්මැටිටන් වාදන ශිල්පියෙක්සේම දේවාල කවිකාර මණ්ඩපයේ ශිල්පියෙකු සේ නම් දරා සිටි කෙනෙකි.