දිග්ගේ නැටුමට හොඳට ඉනංගුයි

දිග්ගේ නැටුම

හොඳට ඉනංගුයි කියන්නෙ හොඳින් සූදානම්ව පවතින බවයි. පුරාණ එතරවාකෝරළයේ පැවති දේවාල වල ඉදිරිපත් කෙරෙන දිග්ගේ නැටුමේ හස්තමුද්‍රාව මූලිකම  ලක්ෂණයකි. ඒ බව උග්ගල් අලුත්නුවර දේවාලයේ කියවෙන කවියකින් ද පෙන්වා දෙයි.

බුද්ධ හස්තය අමෘත හස්තය බ්‍රහ්ම හස්තය………………නංතමා

හස්ති හස්තය ලලිත හස්තය මයුර හස්තය……………….නංතමා

මත්ස්‍ය හස්තය ආදි සත් විඳ හස්ත නැටුමේ……………..මනරමා

වීර විකුමැති නරනිඳුන් පෙර පුරුදු කළ දිග්ගෙයි……….නැටීමා[i]

අපරිමිත මෛත්‍රෙය කරුණාව ශාන්තිය වැනි දෑ පළකෙරන  බුදුන්ගේ අත, රස මසවුළු මවන( අමෘතය බඳු ආහාර මවන)  අත, මැවුම් කරුගේ (බ්‍රහ්මයාගේ) අත, ශක්තිවන්තයගේ (හස්තියාගේ) අත,  ලාලිත්‍යමය අත, හැඩවැඩ දැමෙන (මොණර) අත, ජලජ සංචාර ඉරියව්ව දැක්වෙන (මත්ස්‍යයගේ) අත වැනි රූපක භාවිතයෙන්  මේ නැටුම් විස්තර මගින් රැඟුම   පහදා දෙයි..[ii]

රැඟුමේ දී දෑත් චලනයන් ප්‍රධාන වන ආකාරය 2015 දෙවේලේ පෙරහරෙන් ලබාගත්  මේ වීඩියෝ දසුනෙන් ද තේරුම් යයි. එහි සිටියේ මාණික්ක මහගේවරුන් දෙදෙනෙකි. මහ පෙරහර අවස්ථාවල මේ සංඛ්‍යාව හතරක් දක්වා වැඩිවන බව පහතින් ඇති සේයා සටහන පෙන්වයි(වීඩියෝව විනාඩි දෙක හමාරකි)

පුරාණයේ මෙය දුටුවන් වශී  කරන ඉතා අලංකාර රැඟුමක් බව ක්‍රි.ව. 1708 දී එය දුටු කවියා පවසයි.

පීරා සුනිල් වරල බැඳ මල්පටින් තරව පයෝදර රණ හංස……………තිසරූ

තෝරා සිහින් කවනි ඇඳ රැලි ශට්ට පෙරව ලෙලවා දෑත් වලලු……..රුසිරූ

වාරා නොවම සලෙළු මුලට කච්චිත් ඇඳන තෙයි තෙයි කියන පද….කිඳුරූ

දීරාය සැනි නෙතත පවතීය පන්දහස් මෙ උග්ගල් නුවර යස………….ඉසුරූ[iii]

මහ පෙරහර වල්ලි දේවාලයට පැමිණි අවස්ථාවේ සේයාවකි

1950 උග්ගල් අලුත්නුවර මේ නැටුමට ස්ත්‍රීන් 8 ක් සිටි බව කියවේ[iv]. මෙහි දී විශේෂ ඉල්ලීම් ඇති වූ අවස්ථාවල මාණික්ක මහගේ වරුන් රිද්මයානුකූලව පාද තබමින් වඩා වේගවත් ව නටන  අවස්ථාවක් මෙම ලේඛකයාට ද  දක්නට ලැබී ඇත. එහි දී කාන්තාවන් හය දෙනකු විය. මතකය අනුව ඒ 1959 පෙරහර අවස්ථාවකි. වර්තමානයේ උග්ගල් අලුත්නුවර මහ පෙරහර අවස්ථාවල ඊට කාන්තාවන්  සිව් දෙනකු සිටින බව පෙනේ. රිද්මයානුකූලව පාද උපයෝගී කර ගනිමින් පැවති  දිග්ගේ නැටුමක් 1969 දී සොරගුණ දේවාලයේ ද පැවති බව ද පෙනී යයි[v]

මේ දේවාලයේ මෙන්ම සොරගුණ පුරාණ දේවාලයේ ද, බොල්තුඹ පුරාණ දේවාලයේ ද අම්මඩුව පුරාණ දේවාලයේ ද සබරගමු සමන් දේවාලයේ ද  යෙදෙන ශිල්පිණයන් එක ම නෑදෑ පරපුරකින් පැවත එන්නෝ වෙති. දැනුදු මේ ගම්වල ඇත්තන් අතර නෑ සබඳකම් පවතී. ඔවුනොවුන්ගේ වාසගම් විමසීමෙන් මේ මතය ඔප්පු කිරීමට සාක්ෂි  ලැබෙයි.

ආලත්ති තේවය හෙවත් ආලත්ති බෑම

දිග්ගේ නැටුම අවසන් වන විගසම ආලත්ති මෑණිවරු පහන් කරකවමින් දෙවියන්ට ආසිරි වඩන රැඟුම ඉදිරිපත් කරති. (මේ පිළිබඳ ව විස්තර මී ළඟ ලිපියේ)

 

රංග භූමිය සූදානම

දිග්ගේ දොරකඩ උළුවහු කණුවේ ඇත් දත් වලිනුත් හැඩදා…….ලා

ඒවා මැද්දෙන් රුව දිලිසෙන්නට පළිඟු මැණික් ගල් ඔබ්බා…….ලා

දිග්ගේ දෙපසින් පෑ මැටි ගාලා සියලු සතුන්ගේ රුව ඇඳ……….ලා

දිග්ගේ නැටුමට හොඳට ඉනංගුයි උඩු වියනුත් වටතිර ඇද……..ලා[vi]

 

මේ කවියෙන් විස්තර කෙරෙන රංගභූමිය පැවති දිග්ගේ වෙනුවට දැන් ඇත්තේ තරමක් වෙනස් වූවකි. පසුකාලීන ප්‍රතිසංස්කරණ නිසා වෙනස් වී ඇති බව පෙනේ.. වර්තමානයේ දිග්ගෙය අඩි 75 ක් දිග අඩි 30 ක් පමණ පලල්ව ඇත. අලුතෙන් බිත්ති බැඳීම හා වහල අලුත් වැඩියාව නිසා වෙනස්ව ඇතත් ඒ පැරණි අත්තිවාරම මතම බව සිතිය හැකියි. “…පස්විසි රියන් දිග දිග්ගයෙ කරවා..” යනුවෙන් පුරාණ පුස්කොල ලේඛනයේ පැවසෙන තොරතුරු මෙසේ සිතන්නට උපකාර වෙයි. [vii]

පෙරහර ගෙවදීමෙන් අනතුරුව දේවාලයේ  කපු නිලමේ වැඩ හිටින මාලිගයෙන් පිටතට පැමිණෙයි. එසේ පැමිණ මහ දොරටුව තිරය ආසන්නයේ, පසෙකින් රැඳී සිටියි. අත්තනායක මොහොට්ටාල නිලමේ සහ සෙසු මොහොට්ටාල වරුන් තමන්ට නියමිත ස්ථාන වල සිටිති. ඒ දොරටුවට වම් පසින් ආසන්නයේ ම ඇති කුලුණ අසල රැඳී සිටිති. බස්නායක නිලමේ පැමිණ සිටියි නම් ඔහුගේ ස්ථානය වන්නේ මහ දොරටුවට දකූණු පසින් ඇති කුලුණ ය. අනතුරුව නැටුමට වාදනය සපයන  දවුල් වයන මොට්ටුක්කාර පංගුවේ අයද, ඔවුන් සමගම කවිකාර මණ්ඩලයේ කයිතාලම්  මගින් තාල තබන ඇත්තන් ද පේළියට සිටිති. දිග්ගේ නැටුමේ දී වාදන භාණ්ඩ වන්නේ  ඒවා පමණි. මේ අය සහ මහ දොරටුව අතර අවකාශය මාණික්ක මහගේ වරුන්ගේ රංග භූමිය වෙයි.  සෙසු රාජකාරි ඇත්තන් තමන්ට නියමිත කුලුණු අසළ සිටිති.  සාමාන්‍ය නරඹන්නන්ට රැඳී සිටීමට අවසර ලැබෙන්නේ ඉනුත් අවසනය. ඒ අයගෙන් අවහිර වීමක් ඇති නොවන පරිදි සෙනග හැසිරවීම පිණිස  හෙල්ල දරා සිටින හෙවනැනැන්නැහැ වරු  සැදි පැහැ දී සිටිති.

විශේෂ සටහන්

  • එතරවාකෝරළය: පලමු රාජසිංහ අවදිය පසුවන තුරු පැවති බව පුරාණ ලේඛනය සිතාවක හටන කුස්තන්තීනු හටන වැනි පැරණි ලේඛන වල පැවසෙන මේ කෝරළය දෙවන රාජසිංහ අවදියේ සීමාවන් වෙනස් වීමේ දී වෙනස්ව ඉන් පසුව නාමාවශේෂ එකක් බවටපත්ව ඇත.
  • දුඹුරු වර්ණයෙන් යුතු අකුරෙන් ඇති තනතුරු: මේ තනතුරු පුරාණයේ සිට පාරම්පරික උරුමයෙන් පැවතෙයි. විස්තර පසුව ලියවෙයි.
  • දිග් ගේ කුලුණු: දිග්ගෙයි වහල දරා සිටින කුලුණු 2x 5 කි. මේ කුලුණු රාජකාරි ධූරාවලිය අනුව එක් එක් අයට වෙන් කර ඇති බව පෙනේ. මහදොරටුවෙ දකුණු පස මුල් කුලුණු දෙක අතර පෙදෙස  අත්තනායක මොහොට්ටාල හා සෙසු මොහොට්ටාල වරුන්ට වන අතර පිළිවෙලින් සෙසු අයට වෙන්වෙයි. වම්පස මුල්ම කුලුණු දෙක අතර පෙදෙස බස්නායක නිලමේ සහ පරිවාර පිරිසටත් අනතුරුව අනු පිළිවෙලින් සෙසු රාජකාරි ඇත්තන්ටත් වෙන්ව පවතී.  මේ පිළිබඳ වැඩි විස්තර පසු ලිපියක දී ලියවෙන බව සලකන්න

 විශේෂ වදන්

  • අඹරාගේ: හේවිසි මණ්ඩපයෙන් පහළ දේවාලයේ ප්‍රධාන පිවිසුම අතර කොටස අඹරාගේ ලෙස සැලකෙයි
  • ආසිරි වැඩිම: ආයු බොහෝ වේවායි ආසිරි පැතීම බව වචනයෙන් නොපවසා ඉඟියෙන් පැවසීම පෙනේ.
  • ගෙවදීම: පෙරහර නිමවා දේවාභරණ  වැඩහිටින මාලිගයට වැඩමවා නිමවීම
  • දිග්ගේ: මෙය පස්විසි රියන් දිගකින් යුතු බව පුරාණ ලේඛනය පවසයි. එහි දිග අඩි 75 ක් පමණ වන බව දැකිය හැකියි. එය දිග ගේ යන අරුත ද ගනී.
  • දෙවේලේ පෙරහර: මුළු පෙරහර දින ගණන දියකපන දිනද සමග පහලවකි. මෙයින් පළමු දින පහ හෝ හතර මළුවේ පෙරහර හෙවත් කුඹල් පෙරහර නම් වෙයි. ඉන් අනතුරුව ඇති දින පහ හෝ හතර දෙවේලේ පෙරහර නම් වෙයි. මහ පෙරහර නම් වන්නේ අවසන් දින පහය. මුල් කාණ්ඩ දෙක පහ හෝ හතර බවට පත්වන්නේ අදාල වසරේ කෙම්මුර දින වෙනස් විම අනුවය. වැඩි විස්තර ඉදිරි ලිපියක ලියවෙයි
  • මහ දොරටුව: දිග්ගයෙත් වැඩහිටින මාලිගයත් එකට යාව පවති. වැඩහිටින මාලිගයෙන් දිග්ගෙයට පිවිසෙන දොරටුව මේ නමින් හැදින්වෙයි.
  • වැඩහිටින මාලිගය: දේවාභරණ තැන්පත් කරනු ලබන දෙවියන් වැඩ සිටින බව අදහස් කරන ඇතුළු මාලිගය මේ නමින් හැදින්වෙයි. එතුළට යාමට හැකිවන්නේ හෙවත් වරම් ඇත්තේ කපුනිමේ වරුන් දෙදෙනාට පමණි.ෙ
  • හේවිසි මණ්ඩපය: දිග්ගෙයින් පිටවීමේ දොරටුවෙන් පිටත ඇති අඩි 1.5 ක් උස්ව ඇති වේදිකාවක් බඳු කොටස මෙයයි

 

———————————————————————————————————–

[i] උග්ගල් අලුත්නුවර දේවාල කවිකාර මණ්ඩපයේ ගායන අතරින් උපුටා ගත්තකි.

[ii] https://www.facebook.com/nimal.perera.1848 ගේ ද උදව්වෙනි.

[iii] බාලචන්ද්‍ර බ්‍රාහ්මණයන්ගේ කන්දකුමාර සිරිතේ පුරාණ පුස්කොල පොත

[iv] P.E. Peiris – Sinhala and the Patriots -1959

[v] මහාචාර්ය පුංචිබණ්ඩාර සන්නස්ගල – සොරගුණු දේවාල පුවත – ලේක්හවුස් කොළම – 1973

[vi] උග්ගල් අලුත්නුවර දේවාල කවිකාර මණ්ඩපයේ ගායන අතරින් උපුටා ගත්තකි.

[vii].උග්ගල් අලුත්නුවර දේවාලයේ පුරාණ ලේකම් මිටියේ පැවති පුස්කොල ලේඛනය – කොළඹ කෞතුකාගාරයේ M 4 දරන සීමාසංකර විනොදනී පුස්කොල පොතේ අග පිටුවල ඇත්තේ ද මෙහි පිටපතකි.

Advertisements