වල්ලි මාතා සහ තේවානි මාතා පරිවාරය

ආලත්ති තේවය හෙවත් ආලත්ති බෑම

දිග්ගේ නැටුම අවසන් වූ වහාම මාණික්ක මහගේවරුන් අතරින් සිව් දෙනකු මහ දොරටු තිරය අබියසට  තෙල් පහන් සහිතව පැමිණෙති. මෙතෙක්  පැවති දිග්ගේ නැටුම් තාල භාන්ඩ වාදන හදිසියේම නවතී. කෙටි සංඛනාදයක් නැගෙයි. ඒ වහාම දිග්ගෙයට ඈතින් ආලත්ති තේවා වාදන හඬ ඇසෙන්නට වෙයි. (පහත ලින්ක් එකට ගොස් සවන් දෙන්න පුළුවන්)

දවුල් සහ තම්මැට්ටන් වාදනය ඇත්තේ රංග භූමියේ සිට අඩි 50 ක් පමණ දුරකිනි. ඒ දිග්ගේ කෙලවර හේවිසි මණ්ඩපයේ සිටය.  හොරණෑ නාදය නැගෙන්නේ  එතැන් සිට තවත් අඩි 10 ක් පමණ දුරකින්, අඩි 1.5 තරමේ පහත තලයක පිහිටි අඹරා ගේ කුලුණු දෙක අසලිනි. දිග්ගේ සිට ලැබෙන සංඛ නාද  සංඥාව හැර මේ කිසිවක් මෙහෙයවන පුද්ගලයකු දක්නට නැත. ආලත්ති අම්මා වරු මහ දොරටුවේ තිරය දෙසට තෙල් පහන් වනමින් ආලත්ති තේවයේ යෙදෙන්නට වෙති.

තත්පර 45 ක් පමණ කාලයක්  ඉදිරියට පහන් වනමින් තේවාවේ මුල් වටය නිම කරන සිව් දෙනා, අනතුරුව  දෙදෙනා බැගින් වෙන්ව දොරටු දෙකකින් අහරතලාව ට ඇතුළු වෙති. ඒ වැඩහිටින මාලිගාව වටා යාම පිණිසය. එම කුඩා දොරටු ඇත්තේ මහ දොරටුවට දෙපසිනි. මේ කණ්ඩායම් දෙක ප්‍රතිවිරුද්ධ දොරටු වලින් නැවත මහ දොරටුව අබියසට පැමිණෙති. එවිට පෙළ සකස් වන්නේ වමින් සිටි දෙදෙනා දකුණෙනුත් දකුණෙන් සිටි දෙදෙනා වමෙනුත් සිටින සේ දෙපැත්ත මාරු වීමෙනි. මේ සිව් දෙනා නැවතත් මහ දොරටුව අබියස ආලත්ති තේවයේ යෙදෙති. ඊට ද තත්පර 45 ක් පමණ කාලයක් ගනිති. මේ විස්තර කිරීම අපැහැදිලි විය හැකිය. එය සිදුවන අන්දම මේ සමග ඇති විනාඩි දෙක හමාරක වීඩියෝ වේ දැක්වෙයි. එය සියුම්ව නිරීක්ෂණය කිරිමෙන් ඉහත පැවසූ දෑ  තේරුම් ගැනීම පහසු වනු ඇත. (2013 මහ පෙරහර දියකපා ගෙවදීමෙන් පසුව පැවති තේවාවෙන් ලබාගත්  විඩියෝවකි)

මහ දොරටුව

මේ තේවාව ගැටළුවක් මතු නොවී සිදුවන්නේ කෙසේදැයි විමසූ විට භාරතරත්න මහතා හෙවත්  ප්‍රධාන කපුමහතා පැවසුවේ “ කිසි කලබැගෑනියක් නැතුව නියම විදිහට සේරම කෙරෙන්නෙ  පෙර සිරිත බලවත් හන්දයි. පුරාණෙ ඉඳලම මේවා මේ විදිහටම ඉටු වුනා. පෙර සිරිත කඩ කිරීමක් වුනොත් ‘දේවක්කේඩුව’ හැදෙන්නෙ කඩ කරපු ඇත්තට විතරක් නෙමෙයි. රාජකාරි කරන අපි සේරටම යම් යම් තරමින් දේව උදහස එන්න පුළුවන්. ඒ නිසා පෙර සිරිත කඩ වෙන්න ඉඩ දෙන්නෙ නෑ. නොදන්න කෙනෙක් ඉන්නව නම් දන්න අය ඒක කියල දෙනව. කොයිහැටි වුනත් නොදන්න අය ඉන්න විදිහක් නෑ. තමන්ගේ පරම්පරා පුරුද්ද තියන හන්ද ඒව ඉබේම කෙරෙනව”පෙර සිරිත නිසි සේ රැක ගැනීමත් අනුගමනයත් රාජකාරි ඇත්තන් සියලු දෙනාගේ ම වගකීමක් ලෙස සැලකෙන බව පෙනේ.

ආලත්ති  තේවය යනු කුමක්ද?

1. පුංචිබණ්ඩාර මහතා 2. කුලසේකර බණ්ඩාර මහතා 3. කරුණාරත්න බණ්ඩාර මහතා 4. භාරතරත්න බණ්ඩාර මහතා(හිටපු අත්තනායක මොහොට්ටාල නිලමේ වරු සහ හිටපු ප්‍රධාන කපුමහතා)

“තේවානි මාතාව, වල්ලි මාතාව කියන්නෙ කතරගම දෙවියන් ගේ දේවීන්නාන්සෙල දෙන්න. ඒ දෙන්න පිරිවරාගත්තු පිරිවර වෙනුවට ඉන්න අය තමයි මාණික්ක මහගේ වරුන් කියන්නෙ. දිග්ගේ නැටුම කරන්නෙ දෙවියන් සතුටු කරන්නයි. ආලත්ති තේවය කියන්නෙ දෙවියන්ගෙ ආයුෂ වැඩෙන්න කරන සෙත් පැතීමක්. ඒ හන්ද  දිග්ගේ නැටුම කඩ උනත් ආලත්ති තේවය තියෙන්නම ඕන. ඒ අය ආලත්ති තේවය, දිග්ගේ නැටුමට විතරක් නෙමෙයි, දේවාභරණ පිටතට වැඩම කරන හැම වෙලාවෙම ඒ එක්කම ඉන්නත් ඕන. වීදිදාස් වැඩමවද්දි ඒ දෙැපත්තෙන් පහන් දල්වාගෙන එන්න ඕන.” මේ දේවාල සම්ප්‍රදාය පිළිබඳ දැනමුත්තන් වූ අත්තනායක මොහොට්ටාල නිලමේ වරුන් විසින් පවසන ලද විස්තර එලෙසය.(1992,1993 හා 2004 සාකච්ඡා කළ අවස්ථා) මහනුවර යුගය ගැන ගවේශනය කළ විද්වත් මතයද ආලත්ති තේවය යනු දෙවියන්ගේ ආයුෂ වැඩි වේවායි පතමින් කෙරෙන තේවාවක් බවය. “දේවාල ද්වාරාභිමුඛව ස්ත්‍රීන් සිටගෙන තෙල් පහන් වනමින් ‘ආයූ බොහෝ වේවා’යි කියමින් කරන පහන් පූජාව ආලත්ති තේවය  නොහොත් ආලත්ති බෑම නම් වේ”.[i]

 

විස්තර ලබාදුන් මාණික්ක මහගේ වරිය – එම්. මල්ලිකා මහත්මිය (2015 පෙරහර අවස්ථාවක – ඔක් 20 දේවාල දිග්ගේ තුළ දී)

 2015 පෙරහර අවස්ථාවේ  ආලත්ති තේවය සහ දිග්ගේ නැටුම සම්බන්ධව මාණික්ක මහගේ පංගුවේ නායිකාව සමග සාකච්ඡා කරන්නට අවස්ථාව ලැබිණි. මේ ඇය පැවසූ විස්තරයයි. “යම් වෙලාවක රාජකාරි ඇත්තන් අඩු වීම නිසා දිග්ගේ නැටුම නැති වුනත්; ආලත්ති තේවය නම් තියනවාමයි. ඒක කඩ වෙන්න හොඳ නෑ. ඒකට හේතු වෙන්නෙ මාණික්ක මහගේ වරුන් කියන්නෙ වල්ලි අම්මගෙයි තේවානි අම්මගෙයි පිරිවර වෙනුවට ඉන්න අය අපි නිසයි. වසර ගණනාවකට පෙර  කපුමහතා සහ අත්තනායක  මොහොට්ටාලවරුන් පැවසූ අදහසම තහවුරු වන අන්දමින් ඒ සම්බන්ධව ඔවුන්ගේ මතය පළවිය. තවදුරටත්  සාකච්ඡා කළ ඇය ආලත්ති තේවය කඩවීම වලක් වනු පිණිස පඩිකාර පංගුවේ අය ද වන බවත් එලෙස විධිවිධාන යොදවා තිබිය දීත් අඩුපාඩුවක් වුවහොත් දිග්ගේ නැටූ අයගෙන් කොටසක් මේ සදහා ඉදිරිපත් කරවීම කෙරෙන බවත් පැවසීය. 

උග්ගල් අලුත්නුවර පෙරහර ගෙවදීමෙන් පසුව  පැවැත්වෙන අවසන් තේවාව වන්නේ මෙයයි. පෙරහරේ සංචාරය කර වූ පත්තිනි දේවාභරණ ගෙවදිමෙන් පසුව ද එහි අවසන් තේවාව වන්නේ ද මෙයයි. ඒ පමණක් නොව දියකැපීමේ මංගල්‍යයෙන් අනතුරුව එම ස්ථානයේ ද ආලත්ති තේවාව සිදු කෙරෙයි.  පෙරහර දිය කපා  මහ දේවාලයට ගෙවදීමෙන් අනතුරුව පැවැත්වෙන අවසන් තේවාව වන්නේද ආලත්ති තේවාවයි. වෙනත් අන්දමකින් පැවසූ විට දියකැපීමෙන් පසුව පැවැත්වෙන ආලත්ති තේවය යනු එම වසරේ මහපෙරහර අවසන් බවට කෙරෙන සංඥාව වෙයි.

පලිපාන දිසාවගේ අත්තම්මා

රජවරුන් වැනි විශාල වගකීම් සම්භාරයක් දරන උසස් පුද්ගලයන් ගේ කටයුතු වල දී ආලත්ති අම්මා වරුන්ගේ ආශීර්වාදය ඉතා වැදගත් අවශ්‍යතාවක් සේ සැලකීම මහනුවර සමයේ දක්නට හැකි ලක්ෂණයකි.  නායක්කර් වංශික රජ පෙළපත්වලට රාජ්‍ය බලය හිමි වීම සමග හින්දු සංස්කෘතියේ බලපෑම තව තවත් දැඩි වූ බව පෙනේ.    මේ නිසා මහනුවර සමයේ මෙය පිළිගත් උසස් සිරිතක් ව ලාංකික සමාජය තුළ මුල් බැස ගන්නට හේතු වුනා විය හැකියි. රජුන් උදෙසා පැවැත් වුන මේ උසස් චාරිත්‍රය දළදා මාලිගයේ මෙන්ම දේවාල වලට ද එක්ව ඇති බව සිතිය හැකිය.  ‘ආලත්ති අම්මාවරුන්’ ලෙස පිළිගැනුනේ සමාජය තුළ වැදගත් ලෙස දිවි ගෙවූ වාසනාවන්ත කාන්තාවන් සේ පිළිගත් අයටය.  කීර්ති ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ කඩු බඳින මංගල්‍යය පැවතියේ පුත්තලම නවක්කඩුවේය.  මෙහි දී ආලත්ති සේවය සඳහා  පලිපාන දිසාව ගේ අත්තම්මා ද රාජ පරිවාරය සමග එහි ගොස් ඇත[ii]. ඇයට මගුරුදෙනිය සන්නසක් පිට පවරා දෙන ලද්දේ එම උසස් සේවය වෙනුවෙනි[iii]

දේවාල වල දී ආලත්ති අම්මා වරු දෙවියන්ට පහන් පූජා කිරීම, රජු වැනි උසස් අය ඉදරියෙහි සිට ආශීර්වාද කරමින්පහන් වැනීම රජු වැඩ ඇරඹීමට පෙර හෝ බැහැර යාමට පෙර  තරුණියන් විසින් කරනු ලබන සේවයකි. එමෙන්ම ආලත්ති අම්මලා දළදා වහන්සේ දෙපසින් සිට චාමර සැලූහ. පෙරහරේ රන්දොලි පිරිවරා ගියහ. [iv]  දිග්ගේ නැටීම හා ආලත්ති තේවය වැනි දේ කරන ලද්දේ ගොවිගම කුලයේ ස්ත්‍රීන් විසිනි.[v]

“දේවදාසිවරුන්” හා උග්ගල් අලුත්නුවර කාන්තා රාජකාරි

හින්දු සංස්කෘතියේ බලපෑම උග්ගල් අලුත්නුවර දේවාලයේ මෙන්ම සොරගුණය,අම්මඩුව හා බොල්තුඹය වැනි  සෙසු පුරාණ දේවාලයන් හි දක්නට ලැබුණත්, වසර දහසකටත් අධික කාලයක් තිස්සේ ලංකා සමාජය තුළ මුල්බැසගත් බෞද්ධ සංස්කෘතිය හමුවේ දේවාල ද බෞද්ධ මුහුනුවරක් ගෙන ඇති බවට උදාහරන රාශියක් දැක්විය හැකි වෙයි.උග්ගල් අලුත්නුවර දේවාල ගමේ පාරම්පරික සියල්ලන්ම ද රාජකාරි ඇත්තන් සියලු දෙනාම ද තමන් බෞද්ධයන් බව සිතති. බෞද්ධ වත් පිළිවෙත් වලට කැපව සිටින්නො වෙති. රජකාරි ඇත්තන් දේවාල රාජකාරි කටයුතු වලට පෙර බුදුන් වැඳ දෙවියන්ට පින් දීම නොකඩවා අනුගමනය කරන සිරිත වෙයි. 1708 “කන්දකුමාර සිරිතේ” රචනා කළ බාලචන්ද්‍ර බ්‍රාහ්මණ නැමැති පුරාණ කපුමහතා වුවද බෞද්ධ බලය හමුවේ අවනත  සිටි බව එම කෘතියේ මුල දීම ලියවෙන කවි සාක්ෂි දරයි.

සෙතදුන් තිලොවට තිසරණ සිහික………………….ර

මුළුතුන් ලොව දෙවියන් පිනිපාක……………………ර

කිවිඳුන් පෙර ගුරු උපදෙස සිහික……………………ර

පවසන් ශවතිදු යසතෙද සිහික………………………..ර

 

සරන බුදුන් දෙවියන් වැද සර………………………….නේ

පොරණ මෙකවි ගුරු උපදෙස රැගෙ…………………නේ

බඳින බිඟුන් වෙති රස කර අර…………………………නේ

නොගෙන වරද ඉවසන් ගුරුවරු………………………නේ

 උග්ගල් අලුත්නුවර කතරගම දෙවියන් මෙන්ම පත්තිනි දෙවියන්ද මතු බුදුබව පතන බෝධිසත්ව වරුන්ට මිස දකුණු ඉන්දීය හින්දු දේවාල වල සිටින දෙවිවරුන්ට සමාන බවක් නොපෙනෙයි. රාජකාරි ඇත්තන් නිතරම පාහේ  “මතුබුදුවන කන්දස්වාමීන් වහන්සේ” යනුවෙන්  ව්‍යවහාර කරනු ඇසිය හැකිය.  “කතරගම දෙයියන්ට බුදුබව අත්වෙච්චාවෙ” යනු ගමේ ඇත්තන්ගේ  තවත් ව්‍යවහාරයකි.

පෙරහර දිනයන්හි දේව පෙරහරට පෙර ඒ වෙනුවෙන්ම වෙන්ව සිටින පිරිත් නිලයේ හිමිපාණන් මහ දොරටුවෙන් ඇතුළතට වැඩම කරවති. එහි ඇති පිරි්ත් මණ්ඩපයේ පිරිත් සජ්ඣායනා කරවීම ද අනතුරුව සියලුම ගරු සත්කාර සහිතව පළමුවම සධාතුක කරඬුව වැඩම කරවන පෙරහර දේවාල මළු්වෙන් වීදියට සම්ප්‍රාප්ත කරවීම ද දේව පෙරහරට පෙරටුව ධාතු පෙරහර ගමන් කරවීම ද පෙරසිරිත වෙයි. භාරතරත්න කපු මහතා දේවාලයට පැමිණ පළමුව බුදුන් වැද දෙවියන්ට පින් දී මහ දොරටුව අබියස දී කරනීය මෙත්ත සූත්‍රය දේශනා කර දෙවියන්ට කරන ස්තෝත්‍රාදිය කිරීම දෛනික චාරිත්‍රය විය. අද සිටින කපු මහත්වරුන් පවා මේ බොදු සිරිත වඩා ඉහළින් අනුගමනය කරගෙන සිටින ඇත්තෝ වෙති. දේවාල පෙරසිරිත් සියල්ල දැඩිවම බෞද්ධ බලපෑමෙන් සංස්කරනය වී පවතින බව සෑම විටකම පෙනී යයි.

ඉහත අන්දමට කාන්තාවන් ඉටු කරන රාජකාරි (ආලත්ති තේවය හා දිග්ගේ නැටුම) මේ දේවාලයේ මෙන්ම පුරාණ එතරවා කෝරළයේ අනෙක් පුරාණ දේවාල තුළ ද පවතී. නැතහොත් පැවති බවට සාධක හමුවෙයි. එහෙත් මේ ලිපියේ පැවසෙන අන්දමට  දකුණු ඉන්දීය දේවාල  තුළ දක්නට ලැබෙන  දේවදාසිවරුන් පිළිබඳ සෙවනැලි හෝ  මේ පුරාණ දේවාල තුළ දැක ගැනීමට හැකි නොවේ.

විශේෂ වදන් සහ ව්‍යවහාර

  • අත්තනායක මොහොට්ටාල: මේ දේවාල කටයතු පරපාලනය පිණිස ඇති, පාරම්පරික උරුමය අනුව හිමිවන ප්‍රධාන විධායක නිලයයි විස්තර පසුව ලියවේ.
  • අඹරා ගේ: හේවිසි මණ්ඩපයෙන් පහළ දේවාලයේ ප්‍රධාන පිවිසුම අතර කොටස අඹරාගේ ලෙස සැලකෙයි
  • අහරතලාව: දේව මාලිගයේ ආරක්ෂාව පිණිස ඒ වටා ඇති ප්‍රාකාරයෙන් ඇතුලත කොටස මේ නමින් හැඳින්වෙයි. මීට පිවිසීම පිණිස මහ දොරටුව දෙපසින් කුඩා දොරටු දෙකක් වෙයි. මෙවැනි විශේෂ අවස්ථාවල හැර අන් සියලු කල්හි මේවා වසා තබා ඇති බව පෙනේ.
  • ආයු බොහෝ වේවා:අයුෂ වැඩි වේවා යන තේරුම
  • ආසිරි වැඩීම: ආයු බොහෝ වේවායි ආසිරි පැතීම බව වචනයෙන් නොපවසා ඉඟියෙන් පැවසීම 
  • කලබැගෑනිය: කලබල වීම නිසා ඇතිවන අවුල් බව
  • ගෙවදීම: පෙරහර නිමවා දේවාභරණ වැඩහිටින මාලිගයට වැඩමවා නිමවීම
  • තේවානි අම්මා: තේවානි මාතා යනු වෙන්ද ව්‍යවහාර වෙයි. කතරගම දෙවියන්ගේ පළමු බිසවය
  • තේවාව:සේවය
  • ද්වාරාභිමුඛව:දොරටුව ඉදිරිපිට සිට
  • දිග්ගේ: මෙය පස්විසි රියන් දිගකින් යුතු බව පුරාණ ලේඛනය පවසයි. එහි දිග අඩි 75 ක් පමණ වන බව දැකිය හැකියි. එය දිග ගේ යන අරුත ද ගනී.
  • දේව උදහස: දෙවියන් කෝප වීම
  • දේවක්කේඩුව:දෙවියන් කෝප වීම නිසා ඇතිවන සිහි විකල් බව වැනි රෝගී ස්වභාවයයි.
  • ප්‍රධාන කපුමහතා:මහබත්තන නිලය ලෙස ද කියවේ. භාරතරත්න මහතා යනු 2004 දක්වා සිටි අයයි
  • පඩිකාර පංගුව: වැටුප් ලබමින් කරන රාජකාරි පංගුවය. මෑතක් වනතුරුම මේ වැටුප ගෙවන ලද්දේ වී මගින් බව මානික්ක මහගේ පවසයි
  • පරම්පරා පුරුද්ද: රාජකාරි කටයුතු පිළිබඳ ඉදිරි උරුම කරුවා නිපුණතාව ලබන්නේ දැක පුරුද්ද දැනපුරුද්ද සහ වැඩිහිටියා සමග සහභාගී වෙමින් ලබන පළපුරුද්ද මත බව කියවේ.
  • පිරිවර: වල්ලිමාතාව හා තේවානි මාතවගේ පිරිවර මෙහි අදහසය.
  • පෙරසිරිත: පුරාණයේ සිට සම්මතව ඇති සිරිත, ඒ ඒ රාජකාරි ඇත්තන් සහ මොහොට්ටාලවරු වැනි දැනමුත්තන් පමණක් දැන සිටි දේවාල ව්‍යවස්ථාව සම්බන්ධ නීති රීති බව පෙනේ.
  • මහදොරටු තිරය: දිග්ගයෙත් වැඩහිටින මාලිගයත් එකට යාවන දොරටුවේ ඇති තිරය යි
  • මාණික්ක මහගේ: මේ නිල පිලිබඳව වෙනම ලිපියක වැඩි විස්තර ලියවෙයි.
  • වල්ලි අම්මා: වල්ලි මාතා යනුවෙන්ද ව්‍යවහාර වෙයි. කතරගම දෙවියන්ගේ පසුව හමු වූ අනෙක් බිසවගේ නමයි
  • වැඩහිටින මාලිගාව: දේවාභරණ තැන්පත් කරනු ලබන දෙවියන් වැඩ සිටින බව අදහස් කරන ඇතුළු මාලිගය මේ නමින් හැදින්වෙයි. එතුළට යාමට හැකිවන්නේ හෙවත් වරම් ඇත්තේ කපුනිමේ වරුන් දෙදෙනාට පමණි.
  • වීදිදාස් වැඩමවීම: මේ අවස්ථාව දැකිය හැකිකේ මහ පෙරහර සිව්වන දිනය නිම වී පස්වන දිනයට එළඹෙන පාන්දර යාමයේය. මේ විශේෂ අවස්ථාව ඇත්තේ උග්ගල් අලුත්නුවර සම්ප්‍රදායේ පමණක් බව පෙනී යයි. විස්තර ඉදිරි ලිපියක ලියවෙයි.
  • හේවිසි මණ්ඩපය: දිග්ගෙයින් පිටවීමේ දොරටුවෙන් පිටත ඇති අඩි 5 ක් උස්ව ඇති වේදිකාවක් බඳු කොටස මෙයයි

 

————————————————————————————

[i] රැල්ෆ් පීරිස් – සිංහල සමාජ සංවිධානය මනුවර යුගය – විසිදුන් ප්‍රකාශන තෙවන මුද්‍රණය 2005

[ii] තෙන්නකෝන් විමලානන්ද –  උඩරට මහකැරැල්ල තෙවන කොටස – ගුණසේන සමාගම කොළඹ-2010

[iii] තෙන්නකෝන් විමලානන්ද –  උඩරට මහකැරැල්ල තෙවන කොටස – ගුණසේන සමාගම කොළඹ-2010

[iv] තෙන්නකෝන් විමලානන්ද –  උඩරට මහකැරැල්ල තෙවන කොටස – ගුණසේන සමාගම කොළඹ-2010

[v] රැල්ෆ් පීරිස් – සිංහල සමාජ සංවිධානය මනුවර යුගය – විසිදුන් ප්‍රකාශන තෙවන මුද්‍රණය 2005

Advertisements