දිවි පිදූ ගුරුවරයා

කොටවෙහෙරමංකඩ මුල් ගුරුතුමා

(දෙයියන්නෙ රටේ ලිපි පෙළ මදකට නවතා ගුරුවරයා පිළිබඳ විස්තර කතා පුවත් දෙසට හැරෙන්නට අවසර )

මුලින්ම මේ කතාව කියද්දි මට නම් අදහාගන්න බෑ යි පවසද්දි මිල්ලගහතැන්න මහතා කතාව කියාගෙන යන්න වුනා. “බොරුය හිතනවා නම් මගේ පාසලට එන්න මම ලොල් පොත පෙන්වන්නම්”. පාසල මගේ කලාපයට අයත් නූන නිසාත් පෞද්ගලික නිවාඩුවක් අරගෙන හෝ එහි යන එක මග හැරී ගිය එකට අදත් මට දුකයි. කතාව මට වගේම ඔබටත් අදහන්න බැරි වේවි. ඒත්  එය රසවත් එකක් 

අන්තර් ජාලයෙන් උපුටාගත් පැරණි පාසලක සිතුවමකි. කුමක් දැයි සොයන්නට නොහැකි වුන මෙය ද මෙහි කියවෙන පාසල නොවේ. (මෙවැන්නක් විය හැකියි අනුමාන කළෙමි)

මෙය බළන්ගොඩ, කල්තොට මැදබැද්ද ආසන්නයේ පිහිටි පාසලක්,   සම්බන්ධ කතාවක්. එහි එවකට විදුහල්පතිව සිටි මිල්ලගහ තැන්න මහතා කතාව කියන්නෙ මෙහෙමයි. මුල් කාලෙ පාසලේ හිටියෙ එක ගුරුවරයයි.  එතුමා දකුණු පළාතෙන් ආපු කෙනෙක් ලු.  ( දැන් මට ඒ පැවසූ විස්තරයේ මතක කතාව විතරයි.)

“මුලින්ම පැමිණි ගුරුතුමා පන්සලේ හාමුදුරුවන්ගෙත් උදව්වෙන් ගමේ ඇවිද ගියා. ඉගෙනීමේ අගය ගැන වැසියන්ට පැහැදිලි කරමින් සහ ඇතැම් විට ඔවුන්ව බිය ගන්වමින් තමයි මුලින් ළමුන් කැඳවා ගන තියෙන්නෙ. ඉතින් ළමුන් විස්සක් විතර එකතු කරගන තියනවා.”   

මැලේරියා උවදුර

“ඒ කාලෙ කාලෙ මැලේරියාව භයංකාර  විදිහට මේ පැත්තෙත් පැතිර ගිහින් තිබුණා. දැනුත් ඉඳහිට තියනවා.  ( දැන් අප විඳවන කොරෝනා 19 වගේ වෙන්න ඇති.)  හිටපු ගමන් ඇඟ හීතල වෙනවා. වෙවුලන්න ගන්නවා. ගැමියන් ඉඟුරු කොත්තමල්ලි පාවට්ට වගේ දේවල් බොනවා. බැරිම වුනොත් කල්තොට ඉස්පිරිතාලෙට යනවා. එහෙම ගිය බොහෝ දෙනෙකු යහතින් ආපහු  ඇවිත් නෑ ලු. ඒතරම් භයානක කාලයක්.! ඉතින් ගුරුතුමා  ළමුන්ට අකුරු කියා දෙමින්, පාඩම් කරවමින් ඉගැන්නුවා. ඉස්කෝලෙ ගුරු නිවාසෙ තමයි පදිංචිය. කසාද බැඳලා හන්ද බිරින්දෑ කෙනෙකුත් හිටියා. මාස කීපයක් යද්දි, හාමුදුරුවො ගුරුතුමාට ගෞරවයෙන් සැලකීමත්, ළමුන් ගැට ගහ ගහා හරි අකුරු කියනවන හැටිත් පේන්ට වුනා. ඉතින්   ගුරුවරයාට ගමෙන්  මහ ඉහළින් ගරු සැලකිලි ලැබුණා.  කුඹුරෙන් ගත්තු අලුත් හාල්, හේනේ එළවලු අස්වැන්නේ කොටසක් වගේම  දඩයමේ ගිය අය වෙන් කළ පංගුවත් අඩු නැතුව ලැබෙන්ට වුනා”. 

මෙතනින් පස්සෙ කතාව කියවෙන්නෙ ලොග් පොත ඇසුරෙන්.  “ඔය විදිහට අවුරුද්දක් තිස්සේ බොහොම ජයට පාසලේ වැඩ කෙරුනා. ගුරු පුවලටම ගමෙන් බොහොම ගරු සත්කාර ලැබුණා.  දවසක් පාසලේ වැඩ කරද්දි  මුල් ගුරුතුමාටත් ඇඟ වෙවුලලා උන ගත්තා. ‘වෙවුලන  උන වැළඳීම නිසා පෙ.ව. 9.00 ට පාසල වසා ගුරු  නිවාසෙට යමි’ යනුවෙන්  ලොග් සටහන යොදා තිබුණා. ගැමියන්ද පැමිණ දන්නා බෙහෙත් ජාති දුන්නා. දවස් දෙකක් යන විට  සනීපයක් දැනුන නිසා ආයෙත් පාසල පටන් ගත් බව ලොග් සටහන පෙන්වනවා.  ඊට පසු දිනවලත් වරින් වර වෙවුලලා උනගත්තත්, දාඩිය දැමුවට පස්සෙ බහිනවා. ඉතිං ලෙඩේ ගනං ගන්නැතුව ගුරුතුමා වැඩ කරගෙන ගිහින් තිබුණා.  සති දෙකතුනකින් පස්සෙ එන්න එන්නම වරින් වර උන ගන්න උනා.  එක දවසක් පාසලේදි දරුනු විදිහට රෝගය මතු වෙන්ඩ ඇති. ලොග් සහනේ තියෙන්නෙ මෙහෙමයි. ‘වෙවුලන උන බහින්නේම නැති බව පෙනීයන හෙයින් පෙ.ව.10.00ට පාසල වසා, ළමුන් ගෙදරවලට යවා කල්තොට ආරෝග්‍යශාලාවට යමි.’ 

ඊට පස්සෙ සති තුනක් පුරා පාසලේ කිසිම ලොග් සටහනක්  නැහැ. සුමාන තුනකට පස්සෙ  ‘විදුහල්පතිමා මැලේරියාවෙන් මියෑදුන නිසා පාසල ඇරුනේ අද දිනයි. බලකඩදාසි ලැබී ගුරුවරයකු එනතුරු මා ගුරුවරයකු නොවුනත්,  උගැන්වීම් වැඩ කරගෙන යමි.’ මේ සටහන තබා ඇත්තේ ගුරු බිරින්දැ විසින්. දැන් ඉතින් පාසල ආයෙත් දිනපතාම වැඩ. ඔය විදිහට මාසතුනක් තිස්සේ  දිගටම වැඩ කරගෙන ගිහින් ඇති බව ලොග් සටහන් වලින් පෙනෙනවා. (ඒ කාලෙ ලොග් පොත්වල වල දිනපතාම තම තමන් පන්තියේ කරපු වැඩත් හෙට කරන්නට යන වැඩත් ලියන පුරුද්දක් තිබුණ  බව පෙනෙනවා.)  ගුරු පුහුණවක් නැතත් එතුමිය  සැමියා  කළ වැඩ දිහා බලමින් දිගටම වැඩ කරගෙන ගිය බව පෙනී යනවා. මාස තුනකට පසුව ලොග් සටහන තිබුණේ මෙහෙම  ‘මට ද වෙවුලන උන සැදී ඇති බැවින් පෙ.ව. 9.00 ට පාසල වසා ළමුන් ආපසු යවා බෙහෙත් ගැනීමට කල්තොට ආරෝග්‍ය ශාලවට  යමි.’

ඊට පස්සෙ අවුරුද්දක් යනතුරු කිසිම සටහනක් නැහැ.  ඔන්න  ආයෙත් ලොග් පොතේ මෙහෙම දකින්න ලැබෙනවා.ගරුවරයෙක් ලෙස පත්වීම ලබා පැමිණ අද දින වැඩ භාර ගනිමි. මේ පාසලේ හිටපු ගුරුවරයා මැලේරියා රෝගයෙන් මිය  ගොස් සතිතුනකින් පසුව එතුමාගේ බිරිඳ උගැන්වීම් වැඩ කරගෙන ගොස් ඇත.  එතුමිය ද පසුව මැලේරියා රෝගයෙන් මිය ගිය බැවින්. පාසල ඇර වැඩ ආරම්භ කරන්නේ අද දිනයි. ළමුන් හා වැඩිහිටියන් දැනුවත් කිරීම හා පාසල පිරිසිදු කිරීම අද දින මූලික කටයුත්තක් විය’ මේ කතාව ප්‍රබන්ධයක් විදිහට හිතුවාට කමක් නෑ. තියන මූලාශ්‍ර පසු සටහනේ දක්වමි.  

පහනක් දල්වන්නාමග පෙන්වන්නා  ලෙස විවිධ නිර්වචන වලින් පෙන්වා දෙන “ගුරුවරයා ගැන සමාජෙත්,  ගරු පරපුර අතරෙත් මහ ලොකු වාද විවාද තියන කාලයක්. ඒ නිසාම ‘ඒ ගැන ලියන්නට ඕනෑ’යි සිතිවිල්ලක්  ඇතිවුනා. (මූණුපොතේ(Face Book)  ගුරුවරයාගේ මහිමය ගැන දැක්වෙන අනේක විධ පෝස්ටු හන්ද මේ හිතිවිල්ල තවතවත් ඇවිලිලා මොකද මාත් කාලෙක ගුරුවරයෙක් නේ. ඒ කාලෙ අහපු දැකපු අත්විඳපු  දේවල් ගොඩයි.)

මෙහි දැක්වෙන කතාව ඇත්තවුනත් බොරු උනත් ඒ අවදියෙත් මෑත දීත් අපේ රටේ වටිනා ගුරුදෙවිවරුන් සිටි බව රහසක් නොවේ.  ඔහු ගමේ ප්‍රභූවරයා ලෙස බුහුමන්  ලැබුවෙක් විය. ඉහත පරිදි ගමෙන් නිපද වෙන දෑ නිරනත්රව ලැබීමත් නිවාඩු ලැබී ගමට යන විට ගමේ අයගෙන් ඔසවාගෙන යන්නට බැරිතරම් දෑ ලැබීමටත් ගුරුවරයා වාසනාවක් විය.

 මේ ලේඛකයාගේ ඉගෙනුම් අවදියේ පවා ගුරුවරුන් පූජනීය දෙවිවරුන්ම වූ බව මතකයේ නොමැකී තිබෙනවා. ගුරුගීතයේ  දුයිෂෙන් ගුරුතුමා,  හරිපුදුම ඉස්කොලේ පොතේ  ටෙට්සුකීසාන් පවසන කොබයාෂි ගුරුතුමා වගේ අය මෙහෙත් අඩු නැතුව සිටි බව පෙනෙනවා. 

ඉදිරි ලිපියට විරාමයක් දෙන්න

පසු සටහන

කොටවෙහෙරමංකඩ පාසල මගේ අපේ අධ්‍යාපන කලාපයට අයත් නූන නිසාත් පෞද්ගලික නිවාඩුවක් ගැනීම අතපසුවීයාමත් නිසාත්  මට එහෙට යන්න අවස්ථාවක් ලැබුණෙ නෑ. මා සතුව තිබෙන මූලාශ්‍ර සම්පත් පුද්ගල විස්තර පහතින්

  1.  2007  මැදබැද්ද මහ විදුහලේ පැවති පිරිත් පින්කම අවස්ථාවේ ආරාධිතව පැමිණ සිටි, එවකට කොටවෙහෙරමංකඩ විදුහලේ  විදුහල්පති ආරියදාස මිල්ලගහතැන්න මහත්මාණන්. එතුමා සොයන්න ගත් තැත හරිගියේ නැහැ.
  2.  සනත් ධර්මරාජ මහත්මා(https://www.facebook.com/sanath.dharmaraja) එවකට මැදබැද්ද මහ විදුහලේ සේවය කළ, යට කී කතාව පවසද්දි අසා සිටි මෙතුමාත් දැනට විශ්‍රාමිකයි
  3. දැනට බළන්ගොඩ ශ්‍රී බුද්ධජයන්ති මධ්‍යමහා විද්‍යාලයේ ප්‍රා. විදුහල්පති ව සිටින දේව බණ්ඩාර මහත්මාත් කතාව පවසද්දී අසා සිටි බව මතකයේ තිබෙනවා. https://www.facebook.com/dewa.bandara.39 

 

6 thoughts on “දිවි පිදූ ගුරුවරයා

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.