නළුවෙල ගමේ නම හා රන්කරල් මංගල්ලය

රන්කරල් මංගල්‍ලය

 නළුවෙල රාජකාරි ඇත්තන් සමග  සාකච්ඡා කරමින් සිටින අතර ඈතින් හේවිසි  හඬක් නැගෙන්නට වෙයි.  හැම දෙනාම  කලබල වෙති. ලේඛකයාගේ කැමරාව ද පෙරමුණට යයි.  කුඹුරු යාය සැඳෑ අඳුරේ ගිලෙන්නට ආසන්න වෙයි.

ඈතින් දේවාභරණ වැඩමවාගෙන පැමිණෙන දේවදූත පිරිස සමග පෙරහර ළංවෙයි. නළුවෙල රාජකාරි පංගුවේ ඇත්තකු සඳුන් කිරිපැන් බඳුනක් පෙරට ගෙනයමින් මාර්ගයේ විසුරවා හරී. තවත් කෙනෙකු සුවඳ දුමින් වාතලය පිරිසිදු කරයි. “අපේ ගමට දවසකට හරි කතරගම දෙවියො වඩම්මල දේවාලෙ තැන්පත් කරන එක කොච්චර වාසනාවක් ද?මෙහෙ ඉස්සර දේවාලෙ තිබුණ බවක් අපේ ආතමුත්තලා කියන්නෙ මේක වෙන්න ඇති. ” නළුවෙල ඇත්තෙකු  පැවසූ වදනක් සිහිවෙයි.  

ලුත්නුවර ඇත්තෝ මහ පෙරහරින් වෙල්යාය හරහා ගමන් මාලිගයට දේව පිළිමය සමග දේවාභරණ  සැපත්  කරවති. අඳුර පැත්රෙමින් පවතී. දේවාභරණ ගමන් මාලිගයේ තැන්පත් කිරීමෙන් අනතුරුව

ඒ් ඉදිරිපිට හේවිසි කණ්ඩායම හැන්දෑ දුරය වාදනය කරති. පෙරහර පිරිස සමග ළඟා වී සිටි අත්තනායක මොහොට්ටාල නිලමේ වරයාගේ දැනුම් දීමෙන් අනතුරුව විහාරය දෙසට හැරී මගුල් බෙරවාදනය වූ අනතුරුව සියලු පිරිස විහාරයට ගොස් මල්පහන් පුදති. අනතුරුව දවසේ කටයුතු නිමාවෙයි. රන් කරල කැපීමේ උත්සවය නියමිතව ඇත්තේ මාර්තු 3 දින උදෑසන දීය.

“නළුවෙලට ඒ නම ලැබුනේ කොහොමද?”

 Pra Jay විමසීම (පෙර ලිපියේ ප්‍රතිචාර)  අනුව අප්‍රේල් 04 දින සාකච්ඡාවේ විශේෂ තැනක් විය. එහි දී නළුවෙල ගමේ පැරැන්නකු පෙන්වා දුන් මතය “අපේ ලොකු හාමුදුරුවො දවසනක් මේ ගැනම කතා කළා. පුරාණයේ නොයෙක් නරිනාටක විගඩං වලට

සාකච්ඡාවට පැමිණ සිටි නළුවෙල ගමේ ඇත්තෝ

දස්කම් ඇති විශාල පිරිසක් අපේ ගමේ හිටියා[i].    ඒ් කාලෙත් මේ මෑතකත් මේ වෙල් යායෙ අස්වැන්න කපා පෑතුවාම ගම් මඩු කිරිමඩු වගේ ශාන්ති කර්මත් තිබුණා. ඒ් හන්දම මේ වෙල්යාය ඇතුළු ගම්මානයටම ‘නරිවෙල’ කියලා නමක් ඇතිවුනා. පස්සෙ කාලෙ නරිවෙල – නළුවෙල බවට පත්වෙලා දැන් ඒ් නම කවුරත් කියනවා. ඔය තමයි නම හැදුන විදිහ”. කේ. එච්.මාලනී කාර්යවසම් මහත්මිය(58 වියැති) පවසයි. මේ කතාව තමාද නොයෙක් තැන්වල දී අසා ඇති බව වට්ටෝරු පංගුවේ සුමතිපාල මහතාද තහවුරු කළා. පැමිණ සිටින සෙසු අය ද  මේ මතයට එකඟ බව  ඔවුන්ගේ සිරුරු බසින්(body language) පැවසුනා.

මෙවර ද උග්ගල් අලුත්නුවර පාන්මඩු උත්සවයේ රාත්‍රිය පුරාත් පසුදා උදෑසන වරුවමත් නැටුම් රැඟුම් සඳහා පැමිණියේ කුඹල්මුල්ල පාරම්පරික නැටුම් කණ්ඩායමයි. කුඹල්මුල්ල යනු  නළුවෙල ගම්මානයේම කොටසකි. ඔවුහු නළුවෙල නමටම ගැලපෙන අන්දමින් රැඟුම් වැයුම් ගායන වලින් පහන්මඩු ශාන්ති කර්මය ආලෝකවත් කළහ[ii]. ඔවුහු කිසිදු පොතක් නොබලා වරුතුනක් පුරා ගැයූහ! රැඟූහ!! වැයූහ!!!

‘දෙවොල් ගොඩ බසිද්දී’ පත්තිනි දේවමාතාවන් විසින් මවන ලද  ගිනිජාලා සංකේතවත් කළ ඇවිලෙන ගිනි ගොඩ මැදින්  රඟමින් පැමිණියහ. මේ අනුව නළුවෙලට ඒ් නම ලැබුණේ මෙවන් විස්මිත ශිල්පීන්ට නිජ බිමි වූ නිසා බව පැවසිය හැකියි.

විශේෂ වදන් හා ව්‍යවහාර

  • ගිනිජාලා මැදින් – පත්තිනි පුරාවෘතයේ පැවසෙන පුවතකි
  • දෙවොල් ගොඩ බසිද්දී – පත්තිනි දේවමාතා අවසරයෙන් දෙවොල් යකුන් ලංකාවට ගොඩ බැසීම හා දේවත්වය ට පත්වීම            (පත්තිනි පුරාවෘතය)
  • දේව දූත පිරිස – රන් කරල් මංගල්‍යය වෙනුවෙන් උග්ගල් අලුත්නුවර කතරගම දෙවියන් වැමවාගෙන දේවාලයෙන් එන පිරිස
  • මගුල් බෙර වාදනය – බුදුන් උදෙසා වැයෙන දවුල් හොරණෑ තම්මැට්ටන් වාදනය
  • සඳුන් කිරි පැන් – සුදුසඳුන් පොල්කිරි සමග මුසු කොට සකස් කෙරෙන දියරය
  • හැන්දැදුරේ – සැන්දෑව පැමිණි බව දෙවියන්ට සංඤා කෙරෙන හේවිසිය

———————————————————————-

[i] ආයුෂ අවුරුදු 75 ක් ගෙවමින් 2017 පෙබරවාරි මස අපවත්වනතුරුම  මහඟු ධර්මශාස්ත්‍රීය සේවයක් සැලසූ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ බළන්ගොඩ දිසාපාලක ධූරන්දර, ත්‍රිපිටක ධර්ම විශාරද ගෞරව ශාස්ත්‍රවේදී බළන්ගොඩ ජිනරතන නායක මාහිමිපාණන් වහනේසේ

[ii] බලන්න

https://www.youtube.com/watch?v=OXHP6S2rhn8

https://www.youtube.com/watch?v=sZElq9djThY

https://www.youtube.com/watch?v=RLCN7JRZwns

 

 

5 thoughts on “නළුවෙල ගමේ නම හා රන්කරල් මංගල්ලය

  1. මෙහි දී Sugv ලේඛකයා සමග ඉහත සමූහ ඡායා රූපයේ දැනමුත්තන් සම්බන්ධීකරණය සලසා දෙමින් සිය කාලය හා ධනය කැපකර පහසුකම් නොපැකිලව සලසා දී සම්පත් දායකත්වය සපයා දුන් අනුලා සුගතදාස මහත්මිය (කෘෂිකර්ම පර්යේෂණ නිලධාරී තුමිය) සහ සුගතදාස මහත්මාටත් එම පුතණුවන්ටත්, අලුත්නුවර ව්‍යාපාරික මහතකු හා සමාජ සේවාවේ යෙදෙන්නකු වන ශාන්ත බැබිලේගොඩ මහත්මාටත් ස්තුතියි! ගොඩක් ස්තුතියි!!

    කැමතියි

  2. //දස්කම් ඇති විශාල පිරිසක් අපේ ගමේ හිටියා//. //ඒ් හන්දම මේ වෙල්යාය ඇතුළු ගම්මානයටම ‘නරිවෙල’ කියලා නමක් ඇතිවුනා. //

    නරිනාටක – නරිවෙල – නළුවෙල???

    කෙලින්ම නරි හිටපු නිසා නරිවෙල වුනා වෙන්න බැරිද?
    හැබැයි ඒකෙන් නළු වුනේ කොහොමද කියලානම් හිතාගන්නබෑ.

    එහෙමනැත්නම් නරි නාටක තිබුන නිසා නරිවෙල නෙමෙයි කෙලින්ම නළුවෙල වුනා වෙන්න බැරිද?

    කොහොමවුනත් මම පුද්ගලිකව අත්දැකපු දෙයක් තමයි සමහර ගැමියන් තමන් උපකල්පනය කරලත් ගම් නම් ගැන කතා කියනව.
    තව එකක් සමහර ගම් නම් ගැන තියන ප්‍රවාදත් කවුරුහරි ඉස්සර උපකල්පනය කරල කියපු ඒවා වගේ

    Liked by 1 person

    • ඔබ පළකරන මතය විය හැකියි මා තුළ ද අදහසක් තිබුණා. ගැමියන් තමන්ගේම උපකල්පන මත යම් යම් යම් මත හදාගන්නා බවත් ඒවා ප්‍රකාශ කරන බවත්, පසුව ඒ්වා සැබෑවක්ම හැටියට ඔවුන්ම අදහන්න ගන්නා බවත් මටත් පෙනී ගොස් තිබෙනවා. ඒවා අන් අයට සම්ප්‍රේෂණය වීමෙන් පසුව ස්ථාවර වෙනවා. ඔබේ මෙන්ම මගේත් පෞද්ගලික අත්දැකීමත් ඒවැනිමයි.
      මෙහි දී වැදගත් වන්නේ ඔවුන්ගේ ආකල්ප පිළිබඳ දැන ගන්නට අවස්ථාව ලැබීම නිසා මම ඒ මතයට ඉඩ දුන්නා. නරි හිටපු නිසා “නරිවෙල” වුනාදැයි මගේ විමසීමට ඔවුන් ඒකඟවන බවක් පෙනුනේ නැහැ. ඒ අදහස ඔවුන් පිළිගත්තේ නැහැ. පාන්මඩු අවස්ථාවේ ඔවුන් (නළුවෙල ගම්මානයේ පාරම්පරික ශිල්පීන්) නොයෙක් කෝලම් කරමින් නාට්‍යනුසාරී ස්වරූප අවස්ථා ගණනාවක්ම දකින්නට හැකි වෙනවා. උදාහරණ “අඹ විදමන, දෙවොල් ගොඩ බැසීම” වැනි රැඟුම් විශේෂයි. දෙවොල් නැටුම් දක්වන ශිල්පීන් ගේ රැඟුම් වලට දවුල් වයමින් තාල තබන වාදකයා වරක පොතේ ගුරාගේ ස්වරූපයට හැරෙනවා. මෙහි දී සවන් දෙමින් නරඹන පිරිසට මේ ශිල්පීන්ගේ රැඟුම් වල ව්‍යංගාර්ථයන් පැහැදිලි කරනවා. ඒ කරන්නේ ද කවියෙන්
      එවැනි කවිවල “නැව් හතක නැගී ඇවිත් ආඬි රටෙන් ගොඩ බැහැගත්තු දෙවොල් යකුන් “අනේක විධ නරිනාටක විගඩම් වලින් තමන්ට ගොඩ බැසීමට රට්ටුන්ගෙත් දෙවියන්ගෙත් අවසර ඉල්ලිම් කරමින් කපටි වදන් තෙපලමින් උසුළු විසුළු කරන බවත් පවසමින් කතරගම දෙවියන්……. වැනි මහ දෙවිවරුන් වෙතින් වරම් ඉල්ලුවත් නොලැබී පත්තිනි දෙවියන්ට ආයාචනා කරන බවත්, එතුමියගේ ගුණ වයන බවත්, අවසර ඉල්ලන බවත් කියවෙනවා. අවසානයේ පත්තිනි දෙවියන් සිය අනුහසින් මැවූ ගිනි කඳු හතක් තරණය කරමින් “ඔවුන් දෙවිවරුන්” බවට පත්ව කඩවත පැන රට තුළට පැමිණි බවත්” කියවෙනවා. (මේ කවි අසාගත් විටක නැවතත් මෙතනට එක් කරන බව සටහන් කරමි. මා එහි ගිය දිනය ගැමියන් ගොයම් කපමින් කාර්ය බුහුලව සිටි බැවින් දෝ පිරිස අතර ඒ් ශිල්පීන් සිටියේ නැහැ.)
      ඔබේ අදහස් පළ කිරීම මේ පෝස්ටුවටත් මටත් අලෝකයක් වුනා. ස්තුතියි විද්වතාණනි. (මීට පෙර ප්‍රතිපිළිතුරේ සටහන්ව ඇති ඊමේල් ලිපිනය මගින් මා හා සම්බන්ධ වීමට අවස්ථාවක් ලබාගන්නා ලෙස ඉල්ලමි.)

      කැමතියි

      • අඹ විදමන හා දෙවොල් ගොඩ බැසීම අම්බලන්ගොඩ මිටියාගොඩ හරියේ තියෙන වෙහෙරගොඩ දෙවෙල් දේවාලයේ දෙවෙල්මඩු යාගයේදි බොහෝ කාලයකට ඉස්සර බලන්න ලැබුනා. දෙවොල් දෙවියන් සම්බන්ධ දේවල් කතරගම දෙවියන්ට එකතුවෙනවාද? සිනිගමින් ලංකාවට ගොඩබැහැපු දෙවොල් දෙවියන් කසාදයක් කරන් පදිංචිවුනේ කියන්නේ වෙහෙරගොඩ ගම්මානයේලු. මේ දෙවොල් මඩු බලන්න මේ මැතක අප අතරින් වියෝවූ ප‍්‍රවින රංගන ශිල්පි ජයලාල් රෝහණ මහතාත් සිය ගෝලබාලයින් එක්ක අම්බන්ගොඩ ගිය ගමනට අපත් එකතුවු සොදුරු මතකයක් නැවත සිහිපත්වුනා.

        Liked by 1 person

        • හිතාදරයාණනි. අම්බලන්ගොඩ ඇතුළුව පහත රටට ආවේනික සම්ප්‍රදායේ මේ ශාන්තිකර්මය ගැන විවිධ මාධ්‍ය මගින් සහ අන්තර්ජාල තොරතුරු අතරින් ඇසූූ දුටු දැනුම පමණයි, මගේ අත්දැකීම් ගොනුවෙ තියෙන්නෙ. ඒ ඇසුරින් බළන්ගොඩ ප්‍රදේශයේ මෑතක් වනතුරු ස්ථාන පහක පැවති පාන්මඩු දැනට දක්නට ලැබෙන්නේ පුරාණ නළුවෙල ගම්යායට අයත් කුඹල්මුල්ල පත්තිනි දේවාලය සහ උග්ගල් අලුත්නුවර පත්තිනි දේවාලයේ පමණයි. මේ ස්ථාන දෙකේම ශාන්ති කර්මය කරන්නේ එකම පිරිසක්. මේ ස්ථාන වල ශාන්තිකර්ම විධි සහ පහතරට පාන්මඩු /ගම්මඩු අතර පුංචි පුංචි වෙනස්කම් දකින්නට ලැබෙනවා. (සෑම පාන්මඩුවකම, ගම්මඩුවකම පත්තිනි දේව ශාන්ති කර්මවල පවතින සමානත්වය ඒවා පත්තිනි දෙවියන් සිහි කරමින් එතුමිය උදෙසා පවත්වන්නක් වීමය.) මේ ස්ථන දෙකේ දී පත්තිනි පුරාවෘතයේ සහ නැටුම් රැඟුම් විලාසයන් සහ වාදනයන්; වාද්‍ය භාණ්ඩ සහ නැටුම් පදවලත් වෙනස් කම් රාශියක් දැකිය හැකියි මේ නිසා “බළන්ගොඩ සම්ප්‍රදායය” ලෙස හැඳින්විය හැකි වෙනම විධික්‍රමයක් හා නැටුම් හා නැටුම් පද වල වෙනමම ශෛලියක් ඇති බව හඳුනාගත හැකියි. (මේ පිළිබඳ ඒ සම්බන්ධ විශේෂඥයන් තවම හදාරමින් සිටින අවදියක පසුවන බවයි පෙනී යන්නෙ. මේ බළන්ගොඩට ආවේනික පාන්මඩු පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය කරන්නට තවමත් මට අවස්ථාව ලැබී නැහැ. (ඒ නිසා දැනට පාන්මඩුව පිළිබඳ මා පවසන දේවල් වල අඩුපාඩු වැරදි තැන් තිබිය හැකියි.) සීනිගමින් දෙවොල් ගොඩ බැසීම පිළිබඳ කතාව මෙහෙත් පිළිගැනෙනවා. දෙවොල් දෙවියන් කතරගම දෙවියන්ට එකතුවන බවට තොරතුරක් දැනගන්ට නැහැ. එ අය පත්තිනි දෙවියන් යටතේ සිටින පිරිසක් බවට පිළිගැනීමක් තිබෙන බව මේ අයගේ යාදිනි ගායනා නිරූපන සහ කතාපුවත් මගින් පෙනී යනවා. අසංග පැමිණි බවත් විමසීම් කළ බවත් දකින්නට ලැබීම ලොකු සතුටක්. ස්තුතියි හිතාදරය

          කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.