නළුවෙලට නවාලෝකයක්

නළුවෙල දේවාලගම්මානයේ අභිමානය

(පසුගිය ලිපිවල උග්ගල් අලුත්නුවර පෙරහර පිළවෙල ලියමින් සිට හදිසියේම සංවිධනය වන, උග්ගල් අලුත්නුවර දේවාල සම්ප්‍රදායට සම්බන්ධ අලුත් සහල් මංගල්‍යය පිළිබඳව ලියන්නට සිදුව පවතී. පෙරහර පිළිවෙල ඉතිරි විස්තර මෙයින් පසුව ලියැවෙනු ඇත.)

sugv(ලේඛකයාා) හදිසිියේම තීරණයක් ගෙන  සම්පත්දායක ශාන්ත මහතා ද සමග නළුවෙල දේවාල ගම්මානයට යයි. එය  මාර්තු 2 දිනයයි. අඟහරුවාදා දවසකි.

දෙවියන්ගේ ගමන් මාලිගය

 

එහි ළඟා වන විට  නළුවෙල දේවාල මුත්තෙට්ටුවට යාබදව කුඹුරු යායේ  ලියැද්දක ගොයම පැසී රන්වන් කරලින් දිලෙමින්තිබිණි. එහි එක් තැනක් සුදු පිරුවටින් ආවරණය කළ කොටුවක් සේ දිස්වෙයි.  ඒ හෙට දිනට නියමිත රන්කරල් කැපීමේ මංගල්‍යයට සූදානම් කර ඇති ස්ථානයයි. ආසන්නයේ පුරාණ බෝධීන් වහන්සේ සමග බුදු පිළිම ගෙයයි.  මේ පූජනීය ස්ථාන  ආසන්නයේම  තල්අතු සෙවිලි කර, අලුතෙන් තැනූ තාවකාලික ගොඩ නැගිල්ලකි. එය වඩා  සුරක්ෂිතවන පරිදි වටතිර ඇද සැරසිලි කර ඇත. එය

පිරිසක්  කුඹුරු යාය මැදින් ගමන් මාලිගය දක්වා ඇති   මාර්ගය හෙලි

පෙරහර පැමිණීමට ස්වල්ප වෙලාවකට කලින් මාර්ගය සෝදා පවිත්‍ර කිරීම

පෙහෙලි කර ඇති පාරකි. මාර්ගය සෝදා පවිත්‍ර කරන පිරිසකි. මේ   පිරිස අතර උග්ගල් අලුත්නුවර දේවාලයේ වට්ටෝරු පංගුවේ රාජකාරි ඇත්තන්ද පෙරමුණේම වෙති.

තවත්  අපූරුවකි! මේ සාම්ප්‍රදායික පෙරසිරිත වඩා දිරි ගන්වමින් අවශ්‍ය පහසුකම් ලබාදෙන රජයේ සේවක පිරිසක් විය. එය ප්‍රශංසනීය එකකි.  සාම්ප්‍රදායික උත්සවයට නව්‍යකරනයට ලක් කරමින් රාජ්‍ය සම්බන්ධීකරණය ලබා දෙමින් නළුවෙල කෘෂිකර්ම පර්යේෂණ නිලධාරිනී සහ එතුමියගේ පවුලේ සියලු දෙනා ද නළුවෙල සුහද ගොවි සංවිධානය ද  රාජකාරි ඇත්තන් හා එක්ව සිටිති. බත බුලතින් තේපැනින් ඔවුනගේ සා පිපාසා නිවමින් කටයුතු කරමින් ඔවුන්  තනි නොකර අත්වැල් අල්ලා ගනිමින් මහත්  කැපවීමෙන් යුතුව කටයුතු වල නියැලෙති.  මේ අසිරිමත් කටයුත්ත සම්බන්ධව සාකච්චාවට සුදුසු අවස්ථාව පැමිණ ඇත.

පැසී තිබුණ ලියැද්දේ කරල් කැපීමට වෙන් කර ඇති ස්ථානය සුදු වටතිර ඇද සුරක්ෂිත කර

sugv “පාරත් සෝදනව. බෝධියට විහාරයට පැත්තකින් කතරගම දෙවියන්ට දේවාලයකුත් හදල, මොකටද ඔබතුමාල මේ සැරසෙන්නෙ?”

සුමතිපාල මහතා සහ රන්ජිත් මහතා -“අපි මේ සැරසෙන්නෙ  දෙවියන් වැඩමවාගෙන  තව ඩිංගකින් උග්ගල් අලුත්නුවරින් එන පෙරහර පිළිගන්නටයි” පැවසුු මේ අය තව දුරටත් විස්තර කරමින්‌‌

“ අද ගමේ  සේරම වගේ මේ කාරියට පේවෙලා සැරසිලා ඉන්නෙ. අලුත් සාල් මංගල්‍ය්‍ය පැවැත්වුවාම මුළු යායම සාරවත් වෙනව. ඒ් හින්ද මේ අවස්ථාව ගම්මානයට ආසිරිවාදයක්. ඒ්කයි මේ කවුරුත් එක් වෙලා ඉන්නෙ. පහුගිය කාලෙ මේ කටයුත්ත අතපහු වෙලා තිබුණත් පුරාණෙ උග්ගල් අලුත්නුවර දේවාලෙ අලුත්හාල් මංගල්ලය කරල තියෙන්නෙ මෙහෙ. මේ පාර ඒ් සිරිත පැවැත්තෙනව කිව්වාම අපට හරි සතුටක් දැනුනා. මේ අපේ කෘසිකර්ම නිලධාරී තුමිය ඉදිරිපත් වෙලා සේරම සංවිධන කරන්න උදව් වෙනව. කොච්චර වාසනවක්ද?” අපට කතා කරන්නට ඉඩක් නොතබාම මේ අය  විස්තර පැහැදිලි කර දෙති.

 sugv – “අපි ආවෙ අලුත්සහල් මංගල්‍යයට ඔබතුමාල කරල් මංග්‍ල්‍යය කියනව. මේ එකම කටයුත්තට කියන නම් දෙකක්ද?”

වට්ටෝරු පංගවේ සුමතිපාල මහතා –  මෙහෙමයි, හෙට උදේම

සුමතිපාල හා රන්ජිත් මහත්වරු

පැවැත්තෙන්නෙ කරල් මංගල්‍ලය. අර පැහුණු ලියද්දෙ වටතිර ඇදල හීමා කරල තියෙන්නෙ එතන. සුබමොහොතෙන් කපු මහතා කරල් කපාගන මේ ගමන් මාලිගයට වැඩමවාගෙන එනව. ඒක තමයි කරල් මංගල්ලය. ඉන් පස්සෙ මෙතනට ඒන බැතිමතුන් වෙනුවෙන් යාතික් කරල පඬුල්ලනව. හවස ඉර හැරුනට පස්සෙ කරල් වැඩමවාගෙන අලුත්නුවරට යනව. ඒක තමයි අලුත් සහල් මංගල්ලය. මේ පෙරහරට අතර මග සිටින බැතිමත්තු තම තමන්ගෙ නෑඹුල් අස්වැන්නේ වෙන් කළ කොටස් පෙරහරට පුදපඬුරු හැටියට පූජා කරනව. පමණක් ඇත්තො මුදල් හදල් පූජ කරනව. මුල්ම අස්වැන්න බුදුන්ගෙ දෙවියන්ගෙ කොටස හැටියට වෙන් කිරීම එක්කම අලුත් සහල් පෙරහරට පූජා කිරීම පුරාණයේ සිට කෙරෙන චාරිත්තරයක්.

අනුලා සුගතදාස මහත්මිය සිය සැමියා (සුගතදාස මහතා) සහ දියණියද සමග

කෘෂිකර්ම පර්යේෂණ නිලධාරිනී  – අසල සිටි කෙනෙකු හඳුන්වා දෙමින් “මේ තමයි සුහද ගොවි සංවිදානෙ සභාපති. එයා බොහොම පැහැදීමෙන්, උවමනාවෙන් උදව් කරනව. අනෙක් අයත් එහෙමම යි. මේ ඉන්නෙ සුගතපාල මහත්තය අද මේ ගොඩනැගිල්ලම වෙන්කර දීල. අපිත් පළාතෙ ඉන්න ප්‍රභූවරුන්ට ආරාධනා කරල සහාය දෙනව”. නිලධාරී තුමියත් එතුමිය සමග සිටින  සිය සැමියා වූ  කෘෂිකර්ම නිලධාරී තුමාත් පැහැදිලි කර දෙති. 

අපට මෙහි ඒන්නට අවස්ථාව පෑදුනේ නළුවෙලට නවාලෝකයක්  උදාකරමින්  උදා කරමින් හෙට දින  අලුත් සහල් මංගල්‍යය පැවැත්වීමට සැලසුම් වන හැටි දැකගන්නට  උග්ගල් අලුත්නුවර බස්නායක නිලමේතුමාගේත් අත්තනායක මොහොට්ටාල නිලමේ තුමාගේත් වාචික දැනුම් දීම සමගම කෘෂිකර්ම පර්යේෂණ නිලධාරිනී සහ නළුවෙල සුහද ගොවි සංවිධනයේ ඇරයුම හේතුවෙනි.

දේවාලයට ගම්මාන දෙකක්

නළුවෙල සුහද ගොවි සංවිධානයේ සභාපති මෛත්‍රීපාල මහතා

උග්ගල් අලුත්නුවර දේවාලයට සම්බන්ධ අලුත්නුවර ගම්මානය පමණක් නොවේ. පිදවිලි ගම් රාශියක් මෙන්ම දේවාල ගම්මානය සේ සැලකෙන තවත් පුරාණ ගම්මානයක්  වෙයි.[i]  නළුවෙල ගම්මානයයිි. පෙරහර ආරම්භයට පෙර ගං දෙකේ නිලමක්කාරයන් ඇවිල්ල ඉන්නවද ? යනුවෙන් මළුවේ පණිවුඩ කාර ඇත්තා විසින් විමසනු ලබන්නේ එහෙයින් බව පෙනේ. විධානය ලද විගස නළුවෙල ඇත්තන් ද  පැමිණ වැඩහිටින මාලිගය දෙසට මුහුණ ලා දණබිම තබා දිගාවී දෙවියන් වැඳීමේ චාරිත්‍රය දැනුදු දක්නට හැකිය.  “නළුවෙල රාජකාරි ඇත්තන් නැතුව පෙරහර බහින්න බෑ” යනු ගම් දෙකේම පවතින පුරාණයේ සිටම සම්මතව ඇති කියමනකි.

නළුවෙල රාජකාරි ඇත්තන් අතර සිටින දේවාලයේ වට්ටෝරු පංගුවේ ඇත්තන් කතරගම දෙවියන් වෙනුවෙන් මේ ගමන් මාලිගය ඉදි කිරීම, අද දින දෙවියන් වැඩම කරවන තෙක් පාරිශුද්ධ ස්ථානයක් සේ රැකබලාගැනීම වෙනුවෙන් කැපව සිටිති. දෙවියන් වැඩම කරවන පෙරහර මග ඒ් ආසන්න මොහොතේ සෝදා හරිති.

නළුවෙල “දේවාල මුත්තෙට්ටුව” යනුවෙන් මෙහි  දෙවියන්ට වෙන් වූ වී වගා කරන කුඹුරක් වෙයි. මෙය කේන්ද්‍ර කරගනිමින් පුරාණයේ “කරල් මංගල්‍යය” (අලුත් සහල් මංගල්‍යය) පැවැත් වූ බව ඔවුහු පවසති. මේ අනුව මෙවර නළුවෙල දේවාල ගම්මානයේ අලුත්සහල් මංගල්‍යය පැවැත්වීමේ සිරිත අමුත්තක් නොවේ. (පහත ඉතිහාස  පුවත් විමසන්න)

උග්ගල් අලුත්නුවර – නළුවෙල අලුත් සහල් මංගල්‍ය පුරාණය

උඩරට අවදියෙදීත් වී ගොවිතැන් කරන මඩබිම වැසියන්ගේ ජීවිතය සාරවත් කළ එකක් වී තිබිණි. වීගොවිතැනත් මඩ බිමත් ඔවුන්ගේ “ජීවන හැරමිටිය”[ii]  විය. එය කිසියම් කුලයකට හෝ වෘත්තියකට සීමා නොවීය. ඒකල මුළු රටේම මෙන් දේවලයේ ද ඉහළම නිලය අයත් කුලයේ සිට සිට දේවාලයේ  නිලය කරවන කුලය දක්වා සෑම දෙනකුම ගොවිතැනේ නිරත වීම සාමාන්‍ය තත්ත්ව විය. අද වුව  කුඹුරට බැස ගොවිතැන් කිරිම උසස්ම කටයුත්තකි සේ සැලකෙයි. අද මේ දේවාල ගම්මාන තුළට ද වානිජ කරනය පැමිණ නවීකරණය වෙමින් පැවතියත් තරමක් අඩුවෙන් හෝ එකල පැවති සිරිත් විරිත්  අභිමාණවත්ව සැමරීමත්, ඒ් සම්බන්ධ උත්සව පැවැත්වීමත් දක්නට හැකියි.  පුරාණ පූජනීය ස්ථානයක් වූ උග්ගල් අලුත්නුවර දේවාලයේ  අලුත් සහල් මංගල්‍යය ද පැරණී ශ්‍රී විභූතිය රැක ගනිමින්  නැවත පන ගැන්වී තිබෙන බැව් මේ වසරේ ද දක්නට හැකි විය.

පුරාණ අලුත්සහල් මංගල්‍යය හුණුවල වෙල්යායේ අලුත්සහල් භූමිය කේන්ද්‍ර[iii] කරගනිමින් පැවැතිනි. උග්ගල් අලුත්නුවර මේ සිරිත් සම්ප්‍රදායය 1915 මුස්ලිම් කෝලහාලය දක්වාම පැවතිනි. ඒ් අවදියේ ඉංග්‍රීසි ආණ්ඩුව විසින් පෙරහර පැවැත්වීම තහනම් කරමින් පැනවූ නීතිරීති වැනි අඩන් තේට්ටම් නිසා නැවතිනි..[iv]  පසු කලක තහනම ඉවත්වීමන් පසුව නළුවෙල දේවාල මුත්තෙට්ටුවට අයත් කමත කේන්ද්‍ර කරගනිමින් වසර ගණනාවක් පැවැත් වූ බව ජනප්‍රවාදයේ පවතී. දෙවන ලෝක යුද සමයෙන් පසුව සහල් ආනයනය කරන්නට වීමෙන් වී ගොවිතැනට පැවති වැදගත් කම හීන වී මේ සිරිත නැවතුන බව පැරණි දැනමුත්තෝ පවසති.

හැරී වීරසේකර බස්නායක නිලමේ(1975 – 1980)  මැදිහත්ව  කරදර මධ්‍යයේ වුව හුණුවල අලුත්සහල් භූමියේ වරක්  අලුත්සහල් මංගල්‍යය පැවැත් වුවත් දිගටම පවත්වා ගැනීම අසීරු වූ බව පෙනේ. පසුව මිගාර ජයසුන්දර බස්නායක නිලමේ(2013 – 2018) අවදියේ  සිට උදය ඇමටියගොඩ බස්නායක නිලමේ(2018 – 2019) අවදිය දක්වා දේවාලයට අයත් කුඹුරු යායක් පැවති පල්ලෙකන්ද කුඹුරු යාය කේන්ද්‍ර කරමින් උත්සවය සංවිධානය වී තිබිණි. 

මෙවර එය  නළුවෙල දේවාල මුත්තෙට්ටුව හා ඊට යාබදව ඇති බස්නායක මුත්තෙට්ටුව යන කුඹරු යාය කේන්ද්‍ර කරගනිමින් පුරාණ සිරිත් අනුව පැවැත්වීම  කාගේත් සතුටට හේතු වී තිබූ බව ඉහත සේයා රූ ද සාක්ෂි වනු ඇත.

ඉතිරි කොටස මී ළඟ ලිපියේ ….

තවත් විස්තර සඳහා බලන්න https://sugv.wordpress.com/2019/03/04/%e0%b6%8b%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad%e0%b6%b8-%e0%b6%b4%e0%b7%96%e0%b6%a2%e0%b7%8f-%e0%b6%a0%e0%b7%8f%e0%b6%bb%e0%b7%92%e0%b6%ad%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b6%ba-%e0%b6%b6%e0%b7%94%e0%b6%af/

විශේෂ වදන් හා ව්‍යවහාර

  • අත්තනායක මොහොට්ටාල – දේවාලයේ සාම්ප්‍රදායික ප්‍රධාන විධායක නිලය
  • කරල් මංගල්ලය – වෙල්යායේ මුලින් පැසුනු ගොයම කැපීමේ උත්සවය
  • “ගං දෙකේ නිලමක්කාරයන් ඇවිල්ල ඉන්නවද” –  උග්ගල්හ අලුත්නුවර පෙරහර චාරිත්‍ර ආරම්භ වීමට දිනපතාම පෙරහර ආරම්භයට      පෙර  මළුවේ පණිවුඩ කරු හෙවත් මළුවේ විදානෙ විසින් මෙසේ විමසීම පුරාණයේ සිටම ස්ථාපිත සිරිතයි. පෙරසිරිත අනුව මේ වචන මෙලෙසම භාවිත කරන බව පැරැන්නෝ පවසති. ගංදෙකේ නිලමක්කාරයන් යනු උග්ගල් අලුත්නුවර හා නළුවෙල යන ගම් දෙක බව ද පැරැන්නෝ පවසති
  • ගංදෙකේ නිලමක්කාරයෙන් – ඉහත පැවසූ අලුත්නුවර හා නළුවෙල ගම්        
  • තල් අතු – තල් ගසේ අතු භාවිතය ද ඒමගින් වහල සෙවිලි කිරීම ද පුරාණ චාරිත්‍රයකි.
  • දේවාල මුත්තටේටුව – දේවාලයට අයත් කුඹුරු යාය. මෙවැනි දේවාල මුත්තෙට්ටු කුඹුරු පල්ලෙ කන්ද කල්තොට යන ගම්වලද දක්නට ලැබේ.
  • නළුවෙල – උග්ගල් අලුත්නුවරට නුදුරින් ඇති ගම්මානයකි.
  • නළුවෙල රාජකාරි ඇත්තන් – මේ ගමේ ද දේවාලයේ රාජකාරි කරන පංගු හයක් පවතී.
  • “බතබුලතින් තේ පැනින්” – ආහාර පාන මගින් සංග්‍රහ කිරීම යන්න අදහස් වේ.
  • ලියද්ද – කුඹුරක නියරවලින් මායිම් වූ කොටසක්  
  • වටතිර – වටේට අද සවිකරන, බිත්ති සේ සකස්කරන සුදු රෙදි 
  • වට්ටෝරු පංගුව – දේවාලයේ ඇතුල් කට්ටලයට අයත් රාජකාරි කොටසක් මෙලෙස හැඳින් වේ. ඔවුනට නියමිත කාර්යය වැඩහිටින මාලිගයත් අහරතලාවත්( මාලිගය තුන් පසෙකින් ආවරණය කර ඇති බැම්මෙන් සීමාවන කොටසත් සම්බන්ධ රාජකාරි කටයුතු 
  • වැඩහිටින මාලිගය – දෙවියන් වැඩ සිටින දිග්ගෙයට යාබදව ඇති දෙමහල් ගොඩ නැගිල්ල
  • ශාන්ත මහතා – sugv (ලේඛකයා) සමග නළුවෙල වෙල්යායට යමින් එහි සිටින රාජකාරි ඇත්තන් ද හඳුුුනා දෙමින් පහසුකම් සපයා  උදව් කළ  උග්ගල් අලුත්නුවර ව්‍යාපාරික මහතකු වන වයි. එම්. ෂෙල්ටන් මහත්මා

[i] රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය කිරිඇල්ලේ ඤාණවිමල ස්ථවිරයන් වහන්සේ –  සපරගමුවේ පැරණි ලියකියවිලි – ජිනාලංකාර ප්‍රෙස් – කොළඹ 1942 සහ අලුත්නුවර, නළුවෙල දේවලගම්වල පැරැන්නෝ, දේවාලයේ අදත් ගැයෙන සාම්ප්‍රදායික ස්තෝත්‍ර, හා පෙර සිරිත්

[ii] රැල්ෆ් පීරිස් – සිංහල සමාජ සංවිධනය මහනුවර යුගය – සී/ස(පෞද්) විසිදුනු ප්‍රකාශකයෝ බොරලැස්ගමුව – 2005

[iii] මේ බිමේ දී බොල්තුඹය දේවාලය හා අම්මඩුව දේවාල ආශ්‍රිත අලුත්සහල් මංගළ්‍යයන් දැනුදු පෙරසිරිත් අනුව පැවැත්වෙයි.

[iv] සිසිර මලලසේකර පරිවර්තනය – සුදු දිසාපතිවරුන් දුටු අසිරිමත් සබරගමුව – -තාරක ප්‍රකාශකයෝ – 2006 සහ මංගලනාත බ්‍රාහ්මණගේ භාරතරත්න කපු මහතා සහ අතපත්තු මොහොට්ටාල නිලමේව සිටි ඒ.එම්.එස්.එම්. පුංචිබණ්ඩාර මහතා සහ තවත් පැරැන්නන් සමග කළ සාකච්ඡා – 1992  

 

 

8 thoughts on “නළුවෙලට නවාලෝකයක්

  1. නළුවෙලට ඒ නම ලැබුනේ කොහොමද කියල මත / කතා තියනවද?

    ගුණසිංහ මහත්තය මේවා එකතුකර වැඩි විස්තර සහිතව පොතක් වශයෙන් පල කලොත් හොඳයි නේද? (දැනටම කරල තියනවද? )

    Liked by 1 person

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.