දෙපාරක් යන දෙවේලේ පෙරහර

1970 දශකයට පෙර – උග්ගල් අලුත්නුවර පෙරහර

දෙවේලේ පෙරහර

  “දෙවේලේ පෙරහර” යනු පෙරහර උත්සවය පැවැත්වෙන පහලොස් දවසේ දෙවන දින පහයි.       මුල් දින පහට අදාල   මළුවේ පෙරහර   ‌   දවසට එක වතාවකි. ඒ්ත් මෙය දවසට දෙවරක්ම ගමනේ යෙදෙයි. ඒ නිසා   ඉහත  ව්‍යවහාරය  ඇති වුනා විය හැකිය.  පෙරහරට  පෙර  දේව  මන්දිරය තුළ  මූලික  සූදානම  සම්බන්ධ විස්තර මුුුල  දී ලියැවුනු  මේ ලිපිය පරිදිය

මහ දොරටුව අබියස ආලත්ති තේවාව(2013)

 දේවාභරණ සමග  ඇතුල් මාලිගයේ සිට එන කපු මහතා ඇතුළු , පිරිස දිග්ගේ දෙරටුවෙන් පිටව  අඹරාගේ දක්වා පැමිණ  ඉදිරි  දෙරටුවෙන් වීදියට බසී. ඒ්වන විටත් දේවාල පඩි පෙළ පිවිසුමේ ‘හඳගල‘ මැදි කරමින් ඉදිකර නිමවා  ඇති  ‘අරංගුව‘ තුළින් ගොස්  ඉදිරි මිදුලේ ලැගුම් ගනී. මේ වනවිට පත්තිනි දේවාලයේ ද පත්තිනි පෙරහර ආරම්භව ඇත. ඒ  දෝලිය රැගත් පෙරහර  ද  මේ ස්ථනයටම ළඟා වෙයි. අනතුරුව කතරගම දෝලියට පසෙකින් පෙරමුණ ගමනේ යෙදීමට පත්තිනි දෝලිය  ලැගුම් ගන්වයි.    දැන් දෝලි දෙක ඉදිරි පිට ‘නැකත් පංගුවේ’ ගායනා සමග දැකුම් අත් නැටීම හා ‘බලි තොවිල්කාර පංගුවේ‘ ගායනා සමග ‘නයියන්ඩිකාර පංගුවේ‘ නැටුම් ඉදිරිපත් වෙයි. මේ නැටුම්  මළුවේ පෙරහරට සමාන වුවද ගායනාවන්හි  වඩා  විස්තරාත්මක බව දැකිය හැකියි. මේවා  දේව වර්ණනා, යාදිනි, දේව පුරාණ පුවත්, දේවාල ඉතිහාස පුවත්, දෙවියන්ට ආසිරි පැතීම් සහිත  ස්තෝත්‍ර වලට     සීමා වෙයි.  ( මේ  පිළිබඳ ඉදිරි ලිපිවල ලියැවෙයි.)

නැටුම් නිම වීම සමගම “හක්කාරයෝ” යි හඬ නගා මළුවේ විදානේ අණ නිකුත් කරයි. සක් පිඹින්නා ගේ නාදයත් සමග ඇරඹෙන පෙරහර ගමන් හේවිසිය පටන් ගැනෙයි.    මෙලෙස  දේවාල මන්දිරය බටහිර මාර්ගයේ ගමන් ගන්නා වීදියේ හේවිසි ගමන්  තාලය  ‌මළුවේ   වයඹ කොණට පැමිණි විට වෙනස් වෙයි. ඒ් වෙනස ඇති කරන තාල සම්ප්‍රදායය හේවිසි කැඩීම නම්වෙයි. අනතුරුව  කොස්උරුප්ප වීදිය යනුවෙන් හැඳින්වෙන උතුරු වීදියේ පෙරහර ගමන් ගනී.  මෙහි දී නැගෙන හේවිසි ගමන් තාලය ද  වෙනස් වී අමුතු ආකාරයක් ගනී.

කොස් උරුප්පයට දෙවියන් වැඩමවීම (1991

කොස් උරුප්පයට ළඟින් උතූරු දෙසින් ඇති පත්තිරිප්පුවට දේවා භරණ දෝලි වැඩමවා තැන්පත් කෙරෙයි. එහි දී ද ඉදිරිපස නයියන්ඩි නැටුම් හා කෝලම් නැටුම් සමග ස්තෝත්‍ර ගායනා සහ කෝලම් ගායනා  පැවැත්වෙයි. මෙහි දී කපුමහත්වරුන් හා ‘වට්ටෝරු පංගුවේ‘ රාජකාරි ඇත්තන් එහිම     රැඳී සිටින අතර අත්තනායක මොහොට්ටාල, අතපත්තු මොහොට්ටාල සහ සෙසු මොහොට්ටාල වරු නැටුම් හා ගායනා කෙරෙන   රංග භූමියේ පත්තිරිප්පුවට පහළින් රැස්ව සිටීම පෙර සිරිතයි. බැති මතුන් හා සෙසු අය මේ රාජකාරි ඇත්තට   පසු පසින් රැඳී සිටිය යුතුය.

අනතරුව පත්තිරිප්පුවෙන් පිටවන පෙරහර නැගෙනහිර දෙසින් ඇති දික් වීදියේ ගමන් ගනී.  ඒ් හේවිසි නාදයට අදාල කරගන්නා   ගමන් තාලය නැවත් වෙනස් වේ. මෙසේ සිංහාසන වීදිය දක්වා ගමන් ගන්නා පෙරහර සිංහාසන ගොඩ හන්දියේ දී නැවත හේවිසි කැඩීමක් සිදුවෙයි. ඉන් පසු පත්තිනි දේවාලය හා වල්ලි මාතා දේවාලය දක්වා පෙරහර ගමන තුළ  සාමාන්‍ය ගමන් හේවිසි නාද මාලාවට   තාලයන් මාරු   වෙයි. මෙලෙස හේවිසි තාල වෙනස් වන අවස්ථාවන්හි සක් පිඹීම හා තුරන් පේත්තු නාදය     සිදු වෙයි.  අනතුරුව පත්තිනි දේවාලයට පත්තිනි ආභරණත් වල්ලි දේවාලයට කතරගම දේවාභරණත් වැඩමවනු ලබයි.

වල්ලි මාතා දේවලයේ ආලත්ති තේවාව(2013)

පෙරහර පත්තිනි දේවාලයට ගෙවදීමෙන් පසුව ආලත්ති තේවාව පැවැත්වී පත්තිනි පෙරහර නිම වෙයි. ඒහෙත් කතරගම දේව පෙරහර සිංහාසනයට ගෙවදීම මිස මහ දේවාලයට ගෙවදුනා සේ නොසැලකෙයි.

මෙහි දී සිංහාසනය ලෙස  ව්‍යවහාර වන්නේ  වල්ලි මාතා දේවාලය බව පෙනේ. කතරගම දෙවියන් සිංහාසනයේ වැඩ සිටිය දී දිග්ගේ නැටුම පැවැත්වීමද ආලත්ති තේවාව ද සිදු කෙරෙයි.  අනතුරුව වල්ලි දේවාලයේ සිට නැවතත්    දෝලිය වඩමවා ගනිමින් එම පඩි පෙළ දිගේ  දේවාල වීදියට පිවිසෙයි. ඒ අවස්ථාවේ පඩි පෙළ පාමුල සිටින දිග්ගේ නැටුම් කණ්ඩායමේ  කාන්තාවන්     දෙදෙනකු කතරගම දෙවියන්ට ආවැඩීම කරනු ලබයි.

ඒලෙස  ආවැඩුම්  මධ්‍යයේ පෙරහර දේවාල මගට පිවිසී මහ දේවාලය කරා ගමන් ගනී. මෙහි දී ද විශේෂත්වය වන්නේ වෙනස්ම ආකාරයක් ගන්නා ගමන් තාලයකින් පෙරහර ගමන් කිරීමය. අනතුරුව දේවාලයට පිවිස දේවාභරණ ඇතුල් මාලිගයට වැඩම කළ පසුව දිග්ගේ නැටුමට පසුව කවිකාර මණ්ඩලයේ ගායනා වලින් අනතුරුව ආලත්ති තේවය පැවැත්වෙයි. ඉන් අනතුරුව  මුරුතැන් තේවා  විවේකයකින්  පසුව නැවතත් පෙරහර ඇරඹී පෙර පරිදිම සියලු චාරිත්‍ර විධි සහිතව “රාත්‍රී පෙරහර” වීදි සංචාරය කෙරෙයි. මෙලෙස දින පහක් තිස්සේ දවසට දෙවරක්  සංචාරය කරන පෙරහර  “දෙවේලේ පෙරහර”  එක  දිිනයක්   නිම  කරයි.         

(මෙහි විස්තර කරන රාජකාරි සම්ප්‍රදායයන් බොහොමයක් දැනුදු පවතී)

මූලාශ්‍ර සම්පත් දායකත්වය

  1. ඒ්.එම්.ඒස්.ඒම්. පුංචිබණ්ඩාර මහත්මා අත්තනායක මොහොට්ටාල නිලමේ (අභාවප්‍රාප්ත)
  2. ඒ්.එම්.ඒස්.ඒම්. කරුාරත්න බණ්ඩාර මහත්මා අත්තනායක මොහොට්ටාල නිලමේ(අභාවප්‍රාප්ත)
  3. මංගලනාථ බ්‍රාහ්මණගේ භාරතරත්න බණ්ඩාර මහත්මා(අභාවප්‍රාප්ත)
  4. නීලපන්දම භාර අබේකෝන් මහත්මා
  5. මළුවේ විදානෙ එම්. කේ පින්හාමි මහත්මා (අභාවප්‍රාප්ත)
  6. දිග්ගේ නැටුම් නායිකා බී.එම්. කේ. රන්මැණිකේ මහත්මිය(අභාවප්‍රාප්ත)
  7. දැකුම් අත් නැටීම් රාජකාරිය භාර පී. ආර්. ඩිංගිරිමහත්මා මහතා(අභාවප්‍රාප්ත)

(ඇතුළු 1960 දශකයේ සිට ඇසුරු කරමින් මහත් කැමැත්තෙන් තොරතුරු ලාබදුන් / ලබා දෙන ගමේ නෑ හිතවත් රාජකාරි ඇත්තන් සියලු දෙනා.)

විශේෂ වදන් හා ව්‍යවාර

  • අරංගුව – දේවාල මළුවට පිවිසෙන ගල්පඩි දෙපස, ඒ මැදිවන සේ ඉදි කෙරෙන විශේෂ තොරන
  • ආලත්ති තේවාව – දෙවියන්ට (රජුට) ආසිරිපතමින් කෙරෙන පහන් පූජාවකට සමාන රැඟුමකි
  • ආවැඩුම්/  ආවැඩීම – දෙවියන්ගේ ආයුෂ වැඩි වේවා යි ගායනා කරන අන්දමේ පැතුමකි
  • කොස් උරුප්ප වීදිය – දේාලයට නැගෙන හිර දෙසින් පුරාණයේ සිට පවතින කොස්ගසකි.  ඒ පූජනීීීය වෘක්ෂයකි.
  • කෝලම් ගායනා – නමින්ම හැඟවෙන පරිදි කෝලම් කරමින් විසුළු කරමින් දෙවියන් ඉදිරියේ වෙස් මුහුණු පැළඳ කෙරෙන නැටුමකි.
  • ගෙවදීම – ගෙට ඇතුළු වීම යන අරුත දෙයි. දෙවියන් මන්දිරය තුළට  වැඩමවීම
  • ගමන් තාලය – ගමනට අදාලව හේවිසි තාලය වෙනස් වීම මේ තාල සම්ප්‍රදායයන් මේ දේවාලයට පමණක් ආවේනික ඒ්වා බව පෙනෙයි. සොරගුණය, අම්මඩුව හෝ බොල්තුඹයේ හේවිසි නාද රටා තුළ මෙවැනි වෙනස් වීම් දක්නට ලැබී නැත.
  • දික් වීදිය – දේවාලයට නැගෙනහිර දෙසින් ස්ථාපිත වීදිය. මෙයට සොරගුණ වීදිය යනුවෙන් ඒකල ව්‍යවහාර වුවද දැන් පවසන්නේ මේ නම පමණි.
  • දිග්ගේ – ඇතුල් මාලිගය සම්බන්ධ කරන සාලයක් බඳු දිග ශාලාවක් වැනි කොටස.
  • දිග්ගේ නැටුම – ඉහත කී දිගු ශාලාවේ කාන්තාවන් විසින් ඉදිරිපත් කරන නැටුම
  • දෙවේලේ පෙරහර
  • දෙවේලේ පෙරහර – මෙයටම වීදි පෙරහර යනුවෙන්ද කියවේ.  මහ පෙරහරට පෙරහුරුවක් වැනිය. මහ පෙරහර ගමනට නියමිත පෙරහර මගේ ගමන් ගනී.
  • පත්තිරිප්පුව – තුන් පැත්තකින් කෙටි බිත්ති බැඳ පසු පසින් පමණක් උස් බිත්තියක් බැඳ සකස් කළ විවෘත ගොඩනැගිල්ලකි.   ඒවා    1978 දක්වා පැවතියේ මෙලෙසමය. පසුව සිව්පසින්ම බිත්ති බැඳ ඉදිරි දොරටුවක් සහිත කුඩා ගොඩනැගිල්ලක් බවට පත්ව ඇත.
  • රාජකාරි පංගු – මෙහි  දැක්වෙන ‘… ’ වලින් වෙන් කර දැක්  වෙන      රාජකාරි පංගුවලට අදාල තොරතුරු  වෙනම ඉදිරි ලිපිවලින් විස්තර විය යුතුව පවතී. පාරම් පරිකව හිමිව ඇති ඉඩම් භුක්ති විඳිමින් ඒ් වෙනුවට ඉටු කෙරෙන විශේෂිත රාජකාරි සම්ප්‍රදායයන් බැවින් ඔ්නෑම කෙනෙකු ලවා ඉටු කරවා ගත නොහැකි ඒ්වා බව පෙනීයන විශේෂත්යක් ගනී.
  • වල්ලි මාතා දේවාලය –  වල්්ල්ලි දේවියට කැපව  1970 දක්වා පැවතියේ කොස්උරුප්ප පත්තිරිප්පුව වැනි ඒක් පසෙකින් බඳින ලද බිත්තියක් හා අනෙක් තුන් පැත්ත විවෘතව ඇති ගොඩනැගිල්ලක් ආකාරයෙනි. ඒ ඉදිරියේ අඹ අතු බැඳි වහලක් ඉදි කිරීම පෙරහර කාලයට සිදුවේ
  • සක්පිඹීම හා තුරන්පේත්තු නාදය – සක් ගෙඩිය සමග තුරන් පේත්තුව (trumpet ?)      නමින් හැඳින් වෙන පිත්තල නලාවකි
  • සිංහාසන ගොඩ – සිංහාසනයට ආසන්න පෙරහර මග පත්තිනි දේවාලයට හැරෙන මංසන්ධියට ව්‍යවහාර වන නම
  • සිංහාසන වීදිය – සිංහාසනය දක්වා ගමන් මගට ව්‍යවහාර වන නමයි
  • සිංහාසනයට ගෙවදීම – පත්තිනි දේාලයට පසෙකින් ඇති,ඉදිරියේ අතු සෙවිලි කළ වහලක්  යටින් ඒ හරහා පිවිසෙන පත්තීරිප්පුව (මෙය දැන්් වල්ලි දේවාලය සේ ව්‍යවහාර වෙයි. ඒ් ඉදිරියේ අතු සෙවිලි කළ මඩුව වර්තමානයේදී ද පෙරහර කාලයට ඉදිවෙයි.
  • “හක්කාරයෝ” –  මළුවේ විදානේ් විසින්  සක්පිඹීමට කෙරෙන අණ දීම
  • හේවිසි කැඩීම – හේවිසි නාදය මාරු කිරීමට අදාල තාල වාදනය
  • හඳ ගල – දේවාාල මළුවට පවිසෙන පඩි පෙළට පෙරාතුව ඇති ගල මෙය “සඳකඩ පහන” සේ ව්‍යවහාර වන නිර්මාණයකි. පැරණි   හඳගලේ තවමත් පුරාණ ගල් කැටම් පවතී. ඒය සඳකඩ පහණ සේ ව්‍යවහාර නොවන්නේ අඩ කවයක් නොවී සම්පූර්ණ රවුමක් සේ ඉදි කර ඇති නිසා විය හැකිය. සොරගුණය අම්මඩුව දේවාල වලද මෙය දැකිය හැකියි
  • දේවාලයට බටහිර දෙසින් පිහිටි වීදිය – ඒකාලයේ මෙයට අම්මඩුව වීදිය යනුවෙන් ද ව්‍යවහාර විය. දැන් ඇත්තේ මේ බටහිර වීදිය යන ව්‍යවහාරයයි.

8 thoughts on “දෙපාරක් යන දෙවේලේ පෙරහර

  1. දැන් මේකට බෞද්ධ සම්බන්ධයක් තියනවද? නැත්නම් මම අර ඒ දේවාලේදී කතා කරපු ඉන්දියාවෙන් ආපු කපුවන් පරම්පරාව තනිකරම කරන වැඩක්ද

    කැමතියි

    • විමසීම ඉතා වටිනවා. පිළිතුර පමාවට සමාව දෙන්න. මෙහි පවතින බෞද්ධ සම්බන්ධය ‘කුඹල් පෙරහර’ සහ ‘දෙවේලේ පෙරහර’ අවස්ථාවල කැපී පෙනෙන ලෙස දකින්නට නැහැ. එය දැකිය හැක්කේ මේ පෙරහර පිටත්වන්නට ස්වල්ප වෙලාවකට පෙරදී පමණ යි. 1. දවස ආරම්භයට පෙර සවස දේවාලයට එන කපුමහතා මෙන්ම අන්‍ය රාජකාරි ඇත්තන් ද පන්සිල් සමාදන්ව බුදුන් වැඳ දෙවියන්ට පින් දීම 2. වැඩහිටින මාලිගයෙන් දේවාභරණ වැඩමවීමට ආසන්න අවස්ථාවේ දේවාල මළුවේ තිබෙන විහාරයේ වැඩ සිටින සංඝයාවහන්සේ ඇතුල් මාලිගයේ පිරිත් මණ්ඩපයට වැඩම කරවා පිරිත් දේශනයක් පැවැත්වීම. අදත් දක්නට හැකියි. ඒ් සඳහා ඔබ පැමිණි දින දක්නට ලැබුණ මහ දොරටුවේ ඉදිරි තිරයෙන් ඇතුලත පවතින දේව පිළිමය සහිත කාමරය ඉදිරියේ ඊට යාබදව ඇති කාමරය ‘පිරිත් මණ්ඩපය’ ලෙස හැඳින් වෙනවා. පිරිත් කියවෙන්නේ ඒහි සිටයි. මේ බෞද්ධ චාරිත්‍රය 1870 විහාර දේවාලගම් ආඥා පනතට අදාල කොමසාරිස් ලේඛනයේත් සඳහන් වෙනවා. ඒ් අනුව බෞද්ධ බලපෑමට පුරාණයේ සිටම ලක්ව ඇති බව පෙනීයනවා. ඊටත් අතීතයේ සිටම බෞද්ධ බලපෑම තිබෙන අන්දම වෙනම ලිපියකින් දැක්වීමට සැලසුම් කරගත් නිසා මේ අවස්ථා දෙකේ ඒ් ගැන සඳහන් වී නැහැ. ඔබ පවසන පරීදිම නරඹන අයට මේ අවස්ථා දෙකේ කැපී පෙනෙන්නේ ඉන්දීය කපු පරම්පරා මගින් තනිකරම කරන දෙයක් ලෙසයි. විමසීම ඉතා වැදගත් මගේ මෙන්ම අන්‍යයන්ගේත් ඇස් අරවන්නක්. ස්තුතියි Ajith Dharma විද්වත් හිතවතාණනි.

      කැමතියි

      • ඔබතුමාට ස්තූතියි පිළිතුරට. ප්‍රශ්නය ඇසීමට පසුබිම වුනේ සංඝ ශාසනය දෙවියන් වැඳීම් හෙලා නොදැක ඒවා බෞද්ධ චාරිත්‍ර ලෙස අවශෝෂණය කර ගැනීම. ඉතා හොඳ උපක්‍රමයක්. හින්දු ආගම ඉන්දියාවේ කලේ එයයි. එයින් බුද්දාගමේ බලපෑම ඉන්දියාවේ අඩු වුනා. ඒක අනිත් පැත්තට ලංකාවේ කිරීමෙන් හින්දු ආගමේ දේව බලපෑම අඩු කර ගැනීමට හැකිවුනා කියා හිතෙනවා. //මේ බෞද්ධ චාරිත්‍රය 1870 විහාර දේවාලගම් ආඥා පනතට අදාල කොමසාරිස් ලේඛනයේත් සඳහන් වෙනවා// මේ කියන්නේ අධිරාජ්‍යවාදී ආණ්ඩුව (සුද්දාගේ ආණ්ඩුව) මෙවැනි පනතක් ගෙනාව කියන එක. කඳුරට යටත් වෙලා සෑහෙන කාලෙකට පසුවත් ඔවුන් එසේ කලේ ඇයිද කියා විමසීමත් වටිනවා.

        Liked by 1 person

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.