ඉස්සර පෙරහර කළ හැටි 3

 

 

1970 දශකයට පෙර – උග්ගල් අලුත්නුවර පෙරහරපෙරහර ගමනට මූලික සූදානම 
පෙරහර “පහ ලොස් දවසේ” මුල් ම දින පහ මළුවේ පෙරහරයි. 

(උඩ මළුවේ පෙරහර ඇසුරෙන් කරන මේ චාරිත්‍ර විස්තරය  අනෙක් පෙරහර අවස්ථාවන්ට ද පොදු බව සලකන්න. ඒ වායේ වෙනසක් වෙතොත් ඒ සැරසිලි හා ඇඳුම් පැළදුම් වලින් පමණි)

කුඹල් රාජකාරි හිමි ඇත්තන් පෙරමුණ ගෙන

පළමුවම සුදුසු කාලය එළඹෙන විට අත්තනායක නිලමෙගේ උපදෙස් අනුව මළුවේ විදානේ අණ නිකුත් කරයි ඒ අනුව පෙරසිරිත් පැවැත් වෙයි. නිල හේවිසි කණ්ඩායම මගින් හැන්දෑදුරය වාදනය වෙයි. ඒ සමගම හේවිසි තුන් මුරය ද වාදනය වෙයි. දසත පුරා පැතිරෙන මේ තූර්ය වාදන හඬ  තවමත් පැමිණ නැති රාජකාරි ඇත්තන් වේ නම් ඒ අය කැඳවන පණිවුඩ වැන්නකි. සියල්ලන් සූදානම් වූ පසුව දියවඩන් තේවා අවස්ථාවයි. මේවා පෙරහර බැසීමට ළං වන බවට සියල්ලන්ට කෙරෙන සංඥාවන් වැනිය.
පසුව දේවාභරණ වැඩහිටින මාලිගාවෙන් පිටතට වැඩමෙවීම පිණිස වාහල් බෙරය වාදනය වෙයි.

ඒ අවස්ථාවේ අන් සියල්ල නිහඩය. වාහල් බෙරය වාදනය කරන්නේ කරපේ රාජකාරි ඇත්තා විසිනි. ඒ සඳහා පවතින විශේෂ බෙරයකි. දෑතින් පමණක්  වාදනය කෙරෙන එය මද්දලයට සමාන වුවකි. (භාවිත කළ පැරණි බෙරය ඇහැල කඳකැයි කියනු ලැබෙයි. 1998 දක්වා භාවිත වූ එහි කඳ පුපුරායාමෙන් අබලන් ව පවතී. භාවිතයෙන් ඉවත්ව ඇතත් දැනුදු දිග්ගෙයි ඇති පෙට්ටගමේ එය තැන්පත්ව ඇත. දැන්  වාහල් බෙරය උඩරට දවුලකි.

දැකුම් අත් නැටුම

මේ අවස්ථාවේ දිග්ගෙයි සිට මුළුතැන්ගෙයට සම්බන්ධ කරන දොරටුව ආසන්න කුලුන අසලින් අත්තනායක මොහොට්ටාල නිලමේ වරයා රැඳී සිටී. අවශ්‍ය විටක එතුමාට අසුන් ගෙන සිටීමට විශේෂ ආසනයක් ඒ අසලින්ම වෙයි. (වාඩිවීමට ආසනයක් දිග්ගේ තුළ ඇත්තේ එය පමණකි) අන් කිසිම කෙනෙකුට දිග්ගේ තුළ වාඩි වීමට අවසර නැත. අත්තනායක මොහොට්ටාල යනු දේවාලය තුළ පවතින ප්‍රධාන නිලය බව ඉන් ඇඟ වෙයි.
ඔහු ආසන්නයේම, කුලුණට පසු පසින් පෑ තැටිය අනුව වෙලාවන් සංඥා කරන්නට ගණිත පංගුවේ රාජකාරි ඇත්තා වෙයි. ඇතුල් මාලිගයේ සිට දේවාභරණ වැඩමවා ගෙන එන කපු මහතාට ඉදිරි

තිර විවර කර දෙන්නේ ඇතුල් කට්ටලේ රාජකාරි ඇත්තන් විසිනි. දේවාභරණ වැඩමවන විට අත්තනායක මොහොට්ටාල නිලමේ සමග සෙසු නිලමේවරු මහ දොරටුව දකුණු පසින් රැඳී සිටිති. 

මළුවේ පෙරහරේ ගමන් ගන්නා, අන්  පෙරහරර අවස්ථාවල නොමැති විශේෂාංගයක් වෙයි. ඒ මළුවේ පෙරහරට කුඹල් රාජකාරිය හිමි ඇත්තන් පැමිණීමය. ඒ නිසාම දෝ එය කුඹල් පෙරහර යනුවෙන්ද හැදින් වෙයි. ඔවුහු සුදු පිරුවට හැඳ

අඹරා ගේ දකුණු පසින් දේවාල මළුව කරා

තවත් සුදු පිරුවටයකින් දවටන ලද  පුන් කලස් දෙකක් පොල් මලින් සරසා ගෙන පෙරමුණේම වෙති. ඒවා දෑතින්ම පපුව මතට තුරුළු කර දේවාභරණ දෝලියට ඉදිරියෙන්, ඊට ආසන්නයේ  ගමන් ගැනෙයි. ඔවුනට ඉදිරියේ දේවාලයේ නිල කොඩි දෙකත් නිල හේවිසි කණ්ඩායම ගමනේ යෙදෙයි.
කුඹල් රාජකාරි ඇත්තන් පසු පසින් මළුවේ විදානේ පෙරමග අමදියි. ඒ සමග සඳුන් කිරි පැන් ඉසෙයි. රන්සළු පංගුවේ ඇත්තන් විසින් පිරුවට එළන අතර කපු මහතා ඒ මතින් ගමන් ගනියි. ඊට උඩුවියන් අල්ලනු ලබන්නේ නළුවෙල රාජකාරි ඇත්තන් විසිනි. කපු මහතා දේවාභරණ දෝලියේ තැන්පත් කරයි. අනතුරුව දෝලියට උඩුවියන් අල්ලා ගමනේ යන්නේද, දෝලිය ගෙනයන්නේද නළුවෙල රාජකාරි ඇත්තන් විසිනි. එහි පසෙකින් කපු මහතා ද , ඉදිරියෙන් නීල පන්දම භාරකරු, ආලත්ති අම්මලා, කුඩ, කොඩි අවු අතු දරන්නන් හා මුර ආයුධ දරාගත් හෙවැනැන්නැහැ වරු දෙදෙනෙක් ද වෙති. මේ සියල්ල පෙරටු කරගනිමින් අත්තනායක මොහොට්ටාල හා සෙසු මොහොට්ටාල වරු පසු ගමන් ගනිති. ඒ අය සමග ද හෙල්ල අතින් ගත් හෙවනැන්නැහැවරු වෙති. .ම නිරීක්ෂණය අවශ්‍යයි

දේවාල මළුට පිවිසීමෙන් අනතුරුව කෝලම් හා නයියන්ඩි නැටුම්

සිතෙන ඇතැම් විටක බස්නායක නිලමේ තුමා ද පැමිණ සිටිනු දක්නට හැකිය. එහෙත් එය පෙරහර බැලීමට පැමිණීමට සමාන වනවා මිස මළුවේ පෙරහර අංගයක් නොවන බව කියවේ. පෙරහර පිරිවරා ඒ පසුපසින් ගමනේ යාමට බැතිමත් නරඹන්නන් හා වෙනත් අයටද අවස්ථාව වෙයි.
මෙලෙස දේවාල මළුවට පැමිණි විට කපු නිල පංගුවේ ඇත්තන් විසින් ඉදිරිපත් කෙරෙන දැකුම් අත් නැටුම පසුව බලිකාර පංගුවේ ඇත්තන් විසින් නයියන්ඩි නැටුම, හා කෝලම් නැටුම් පැවැත් වෙයි.අනතුරුව දේව මන්දිරය වටා පැද කුණු කරන මළුවේ පෙරහර අඹරාගේ නැගෙනහිර දොරටුවෙන් ඇතුළුව දේව මන්දිරයට පිවිසෙයි. මෙය මළුවේ පෙරහර ගෙවදීම ලෙස කියවෙයි. 

විශේෂ වදන් හා ව්‍යවහාර

පහත ඇති රාජකාරි නිලයන්ගේ විස්තර ලිපියට අවශ්‍ය තරමින් ඉතා කෙටියෙන් දැක්වෙයි.මේවා වෙන වෙනම ලිපි වලින් විස්තර කළ යුතු සංකීර්ණ විස්තර වලින් සමන්විතය. ඉදිරි ලිපිවලදී එවැනි ව්ස්තර ගෙන ඒමට සටහින් කරගන්නා බව දක්වමි.)

  • අත්තනායක මොහොට්ටාල – දේවාලයේ මොහොට්ටාල වරු යනු විධායක ශ්‍රේණියේ රාජකාරි විශේෂයකි. එයින් අත්තනායක මොහොට්ටාල යනු ඒ අය අතර ප්‍රධානියා බව පෙනේ. මෙහි අතපත්තු මොහොට්ටාල යනුවෙන් තවත් විශේෂ රාජකාරි ඇත්තෙක් වෙයි. ඔහු බස්නායක නිලමේ හා සෙසු රාජකාරි ඇත්තන් සම්බන්ධීකාරකයා වන බව පෙනීයයි.
  • අඹරාගේ – මෙය පහළ මන්ඩපය යනුවෙන් හැඳින් වෙයි. 1950 දශකය දක්වාම එය බිත්ති රහිත වහල හා එය රැඳුන කුලුනු පමණකින් සැදුනක් විය.  දිගගේට පිවිසුම් දොරටුව දෙපස ඉදි කළ මකර තොරණ සමගම අඹරාගේ තුන් පස බිත්ති බැඳීම නිසා පහළ මණ්ඩපය ද සුරක්ෂිත වී පවතී. සොරගුණ දේවාලයේ පහළ මණ්ඩපය ඉහත පැවසූ ලෙසින් විවෘතව පවතින්නකි. මේතුළ පෙරහර කෙරෙන අවස්ථාවල දී බලිකාර පංගුවේ සහ හොරණැ කාර පංගුවෙත් වාහල් බෙර පංගුවෙත් අය රැඳී සිටිති.
  • ඇතුල් කට්ටලේ රාජකාරි ඇත්තන් – දේවාල මන්දිරයේ වැඩ හිටින මාලගෙයේ රාජකාරි භාරව ඇත්තේ මෙ අයටය. 
  • කපු නිල පංගුව – මෙය ඇතුල් කට්ටලේ රාජකාරි ඇත්තන් අතර ප්‍රධාන නිලය බව පෙනී යයි. කපු මහතා කපු නිලමේ යන නිල නාම ද යෙදෙයි
  • කරපේ රාජකාරි ඇත්තා. මොහු අඹරාගේ රැඳී සිටින අතර වාහල බෙර වාදනය හා බලිකාර පංගුවේ රාජකාරි සඳහා බෙර වාදනය කරන තැනැත්තා බව පෙනීයයි. දැකුම් අත්නැටීමේ දී බෙරය වාදනය කරන්නේද මේ නිලය විසිනි
  • ගණිත පංගුව – දේවාලයේ නැකත් සකස් කර න හා අදාල කාලය  සංඥා කරන  තැනැත්තාය
  • දැකුම් අත් නැටීම – දේවාභරණ ඉදිරියේ ඉදිරිපත් කෙරෙන මුල්ම නැටුම බව පෙනේ සාමාන්‍ය ව්‍යවහාරයේදී මීට නැකැත් පංග්වේ නැටුම ලෙසින් ද දකිණත නැටීම යනුවෙන්ද ව්‍යවහාර වේ.
  • දියවඩන් තේවාව –  දෙවියන් උදෙසා කෙරෙන ජලය වැඩම වීමේ තේවාවයි. එය කරනු ලබන්නේ මුළුතැන් රාල විසිනි. මෙහි දී “දිය” යන වදන මිස “පැන්” යන වදන නොයෙ දේ. එය ව්‍යවහාර වසන්නේ බුදුන් උදෙසා ජලය පිදෙන අවස්ථාවල පමණක් බව පෙනේ.
  • නළුවෙල රාජකාරි  – පෙරහර අවස්ථාවල විශේෂ දේවාල ගම් දෙකක් ගැන කියවෙයි. අලුත්නුවර දේවාල ගම නළුවෙල දේවාල ගම යනුවෙනි. අලුත්නුවර දේවාලගම යනු දේවාල ගොඩනැගිලි පිහිටි ගම්මානය වන අතර එයින් සැතපුම් තුනකට පමණ ඈතින් පිහිටි ගම නළුවෙල ගම ලෙස කියවෙයි. මේ ගම් දෙකෙමෙ ඇත්තන් එක් නොවී පෙරහර බැසීම කළ නොහැකි බවට සම්මතයක් පවතී
  • නිල හේවිසි කණ්ඩායම – දේවාලයට පමණක් උරුම තාල හා නාද රටාවක් සහිතව වාදනය කරන අය මේ නමි. ඒ අය පෙරහර රාජකාරි අවස්ථාවල මිසි අන් කිසිම අවස්ථාවක මේ වාදන ඉදිරිපත් නොකරති. තම තමන්ගේ බාල පරිම්පරාවිසින් ප්‍රගුණ කරමින් පැවතෙන මේ වාදන විශේෂය නව පරම්පරාවක් ප්‍රගුණ නොකළහොත් ඉදිරියේදී අහෝසි වීමේ අවදානමක පවතින බව පෙනීයයි. 
  • නීල පන්දම – මෙය දෙවියන් උදෙසා දල්වාගෙන යන “නිල පන්දම” ය. එය පිත්තලෙන් නිමවූවකි. 
  • බලිකාර පංගුව යනු නයියන්ඩි හා කෝලම් නැටුම් සඳහා වෙන්ව සිටින ඇත්තන් හඳුන්වන පොදු පදයයි. තොවිල්කාර පංගුව යන ව්‍යාවහාරයද පවතී.
  • රන්සළු පංගුව – දෙවියන් හා බුදුන් උදෙසා පමණක් පාවාඩ එළන්නට නියම සිටින රාජකිරි පංගුවය. රත්නහළු පංගුව යනුවෙන්ද ව්‍යවහාර වෙයි.
  • වාහල් බෙරය – ඇතුල් කට්ටලේ සිට දිග් ගෙයි දොරටුව දක්වාත් දෝලියේ දේවාභරණ තැන්පත් කරනතුරුත් වාදනය වන්නේ මෙය පමණි. හොරණෑ ආදී වෙනත් කිසිදු තූර්ය වාදනයක් මේ අවස්ථාවල නොයෙදේ…  
  • විශේෂ ආසනය – මෙය දිග්ගේ පවතින ආසනයකි. ඇතැමකු මෙය අත්තනායක නිලමේ ගේ “කොලොම්බුව” යනුවෙන්ද ව්‍යවහාර කරනු ඇසිය හැකියි
  • හෙවනැන්නැහැවරු – හෙල්ල දරාගෙන පෙරහරේ ගමන් ගන්නා රාජකාරි ඇත්තන්ට මේ නම ව්‍යවහාර වෙයි. මේ හෙල්ල වලට මුර ආයුධ යනුවෙන්ද ව්‍යවහාර වෙයි

 

 

4 thoughts on “ඉස්සර පෙරහර කළ හැටි 3

  1. සාම්ප්‍රදායික කාර්්‍යයන් කරන්නට රජකාලේ ඉදන් නින්ද ගම් දිලා පත්කරපු පංගුවේ රාජකාරි ඇත්තෝ නවින සමාජයට අනුව මේ දේවල් කරන්නට එනවාද? තරුණ පරම්පරාව දැන් වෙන ගම්වලට හා වෙන රටවල් කරා රැකියාවල් වලට ගිහිල්ලා හින්දා මේ රාජකාරි කරන්න මිනිස්සු ඉන්නවාද? නැත්නම් මුදල් ගෙවා කුලියට මිනිස්සු අරගෙනද දැන් කරන්නේ?

    කැමතියි

    • ඔබ යොමු කර ඇත්තේ ඉතාම වැදගත් ගැටළු තුනක් අසංගයෙනි. 1. මේ සාම්ප්‍රදායික ගම්මානය නවීකරණයට හසුව ඇත්තේ ඉතා සුළුවෙන් බව අද වුවද පෙනී යනවා. තරුණ පෙළ කෙසේ වෙත් තවමත් වයස 70 , 80 ඉක්මැවූ ඇත්තන් බොහොම දෙනෙකු භක්තියෙන් මේ රාජකාරි කාර්යයන් සඳහා පැමිණෙනවා. ඒ අතර තරුණ කොටස් වලින් බොහොමයක් සාම්ප්‍රදායික උරුමයන් තමන්ට “ආඩම්බරයක්” සේ සලකන බව පෙනී යනවා. එහෙත් ඔබ පෙන්වා දෙන පරිදි සමහරෙක් ඉවත්වන බව ද පෙනී යනවා. (උදාහරණ වශයෙන් නිල හේවිසි වාදනය සම්බන්ධව නවපරපුර ප්‍රගුණ කරම්න් සහභාගීවන බව පෙනී නොයාම ඉදිරියේ දී ගැටළුවක් වේවි යි සිතෙනවා.පුරාණයේ උරුමව පැවති සිය ගම්බිම් විකිණියාම නිසාද ගැටළු ඇතිව පවතිනවා.) මෙවර පෙරහර පැවැත්වීමේ දී සාම්ප්‍රදායික රාජකාරි ඉටු කරවීම වෙනුවෙන් පමණක් රු ලක්ෂ අටකට කිට්ටු මුදලක් වැය කිරීමට සිදුවුන බව බස්නායක නිලමේ කාර්යාලයෙන් ආරංචි වුනා.. පුරාණයේ රාජකාරි 99 ක්පැවති බව පැරැන්නන් පැවසුවත් 80, 90 දශක වල ඒවායින් 40 ක් පමණ පැවති බව ද, දැන් ඉතිරිව ඇත්තේ 15 ක් පමණ බව ද මොහොට්ටාල නිලමේ වරුන් වෙතින් දැනගන්නට ලැබෙනවා. ඔබේ පළමු පැනයට දිය හැකි කෙටි පිළිතුර මෙසේය. 2. ඔබ පවසන පරිදි ඈත පෙදෙස්වල රැකියා කරන මෙන්ම පදිංචිව ද සිටින ඇතැම් දෙනකුගේ රාජකරි මග හැරී ගිහින්. එහෙත් එයින් සමහර දෙනකු දැනටත් පෙරහර අවදියේ සිය යුතුකම් ඉටුකිරීමට පැමිණෙන බව මෙවරත් පෙනීගියා. මේ වසරේ පෙරහර රාජකාරි කළ ආකාරය දැක්වෙන මේ වීඩියෝව බලන්න. එහි තරුණ වැඩිහිටි දෙපිරිසම සහභාගීවන බව දැක ගන්නට හැකියි. මේ ලිනක් එක බලන්න https://www.youtube.com/watch?v=fX6-aYYKxlw
      3. මුදල් ගෙවා මිනිසුන් යොදවා ගැනීම පිළිබඳ ඉහත 1. කොටසේ දැක්වෙනවා. කෙස් වුවද ඉහත ‘විශේෂ වදන් හා ව්‍යවහාර’ යටතේ දැක්වෙන රාජකාරි අවස්ථා වලට සාම්ප්‍රදායික උරුම ඇති රාජකාරි තවමත් සහභාගීවන මෙවරත් යෙදෙනු බව. ඔවුනට ගෞරවය දක්වමින් සඳහන් කරනවා..
      ඔබේ ප්‍රතිචාරය වෙනුවෙන් බෙහෙවින්ම ස්තුතියි හිතාදරය

      Liked by 1 person

    • හිතාදරයාණනි, මෙයටම “දෙමළ බෙරය” යනුවෙන්ද ව්‍යාවහාර වෙනවා. මහාචර්ය සරත්චන්ද්‍රයන්ගේ මනමේ, සිංහබාහු වැනි අග්‍රගන්‍ය නාට්‍ය වලද බොහෝ නූර්ති හා නාඩම් වලද මද්දලය නැමැති වාද්‍ය භාණ්ඩය භාවිත වී ඇති බව දැකිය හැකියි. මේ පිළිබඳ තවත් විස්තර සඳහා මේ ලින්ක් එකට යන්න. https://myschool.lk/%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92/%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B7%93%E0%B6%AD-%E0%B6%B7%E0%B7%8F%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9-07 ලංකාවේ දැනට මද්දලය වාදන කරන අය ඇත්තේ කීප දෙනකු පමණක් බව ගූගල් සොයා බැලීමේදී පෙනීයනවා. දන්ඩියම අපි නැමැත් මූණු පොතේ පිටුවකස මද්දලය ගැන විස්තර සෙවිය හැකියි “මද්දලය” යන්න. ගූගල් සෙවීමක දී එහි ඉමේජ වලින් රූ සටහන දැකිය හැකියි. පසු ලිපියක දී දේවාලයේ පවතින පුරාණ වාහල් බෙරයේ (මද්දලයට සමාන බවක් පෙනී යන බව සටහන් කළ භාණ්ඩයේ) සේයා රුවක් උඩු ගැන්වීමට සටහන් කරගනිමි. විමසීම වෙනුවෙන් ස්තුතියි ප්‍රාජේ හිතාදරයාණනි.

      කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.