ඉස්සර පෙරහර කළ හැටි 1 කොටස

1970 දශකයට පෙර උග්ගල් අලුත්නුවර පෙරහර

පෙරවදන

පුරාණ සිතුවමක් සංරක්ෂණයට එය පිටපත් කර නැවත ඇඳීම කළ හැකිය. එහෙත් පුරාණ සම්ප්‍රදායයන් සිරිත් විරිත්  දැක ගැනීම කළ හැක්කේ ඒ සම්බන්ධව ලේඛන ගත විස්තර  මගින් හා පැරැන්නන්ගේ විස්තර අනුසාරයෙන් පමණි. මේ විස්තර ලේඛකයාගේ අතීත මතකයන් සමග පරිනත වයෝවෘද්ධයන්ගේ විස්තර ද  උපකාරයෙනි. විශ්වාසනීයත්වය තහවුරුව පිණිස සේයා සටහන් පුස්තකාල කියවීම්, ඡායා රූප හිඟවීය. එය අඩුවක් වුනත්. මේ සටහන් ද අනාගතයට කිසියම් සාක්ෂියක් වේවා යන්න ලේඛකයා ගේ පැතුමයි.  ප්‍රධාන වශයෙන් උග්ගල් අලුත්නුවර පුරාණ දේවාලසම්ප්‍රදාය ගමේ විසිතුරුත් දෙවනුව   සොරගුණය හා අම්මඩුව පුරාණ පුරාණ දේවාල සම්ප්‍රදායයනුත් ඇසුරු කළ බවද සලකන්න.(ලිපියේ ඇති පැරණි වදන් හා විස්තර පසු සටහන බලන්න)

 සැරසීම

“පොසොන් පහලොස්සක ඉවර වුන ගමන් ඇසළ මාසෙ පෝය ගිය පෑලවියට  වෛතාල වෙලාවෙන් පෙරහරට  කප් හිටවනව.  කප් හිටවනව කියන්නෙ පෙරහර කරන බවට දෙවියන්ට පොරොන්දු වෙලා බාර වීම. ඊට පස්සෙ එදාම බැරි නං  තව මාසෙ පෝය තුනකට ඉස්සෙල්ල පෙරහර කරන්න ඕන” පැරන්නා[i] විස්තර කරයි.

මෙසේ කප් හිටවීම සමගම බස්නායක නිළමේ[ii] තුමත් සමග සාකච්ඡා  කර පෙරහර පිළිවෙල ගැන තීරණය කරනව. මේ සාකච්ඡාවල  සම්බන්ධීකාරකයා වෙන්නෙ අතපත්තු මොහොට්ටාල නිලමේ වරයාය. මෙලෙස තීරණය කරන මාසයක, මාසෙපෝය ගිය පෑලවිය  දින සිට  පෙරහර  ආරම්භ වෙනව.  මුල් දින පහ කුඹල් පෙරහර හෙවත් මළුවේ පෙරහරත්, ඊළඟ දින පහ වීදි පෙරහරත් ඉන්පසුව මහා පෙරහරත් වශයෙන් දින පහලවක් පුරා පෙරහර පැවැත්වීම සම්ප්‍රදායයි. මෙය ක්‍රි.ව.1583 සිට පැවත එන සිරිතක් බව පෙනීයයි.[iii]

“1970 දශකයට පෙර දි නම් කප් හිටවන දවසට පස්සෙන්ද ඉඳලම පෙරහර කළත් දැන්  ඒ වෙනුවෙන් ලකලෑස්ති වෙන්න කාලෙ මදි. මේ කාලෙම රුහුණු මහ කතරගම, මහනුවර, සමන් දේවලෙ පෙරහරත් එනව. හන්ද තමා මේ විදිහට පරක්කු වෙන්නෙ”. පැරැන්නා පැහැදිලි කරදෙයි.

පෙරහර වෙනුවෙන් අණබෙර

1940 පෙරහර අවස්ථාවක් සේයා රුව පසුබිමේ ඇත්තේ දේවාලගමේ ගෙවල් කිපයකි. ( පූජ්‍ය කිරිඇල්ලේ ඤාණ විමල හිමි – සබරගමුවේ පැරණි ලියකියවිලි)

පුරාණ නිල සන්නිවේදන ක්‍රමය වූයේ අණ බෙර යාම  මගින් ප්‍රචාරය කිරීමයි. 1970 දශකය දක්වාම මේ සිරිත ද උග්ගල් අලුත්නුවර සොරගුණය,  අම්මඩුව දේවාලයේ ද පැවතිනි. මෙහිදී නයියන්ඩිකාර පංගුවේ දැනමුත්තකු අණ බෙරය වයමින් වීදිය විදානේ[iv] සමග අලුත්නුවර දේවාල ගම්මානය  පුරා ඇවිද යමින් නිවේදනය කරයි. අනතුරුව නළුවෙල දේවාල ගම්මානය පුරා ද අණබෙරයාම කෙරෙන අතර මීට අලුත්නුවර විදානේ සමග නළුවෙල විදානේ ද එක්වෙයි.  මේ අණබෙර යැවීමේ කටයුත්ත අතපත්තු අතපත්තු මොහොට්ටාල නිලමේ වරයාගේ අධීක්ෂණය හා මෙහෙයවීම යටතේ කෙරෙන්නකි.

1933 – 1965 අතර නිළය හෙබ වූසිඩ්නි එල්ලාවල බස්නායක නිළමේතුමා සබරගමුවේ හිටපු ප්‍රධාන අමාත්‍ය ගරු මොහාන් සාලිය එල්ලාවල  මැතිතුමාගේ අනුග්‍රහයෙන්  ලබාගත්තකි. (එතුමා පිළිබඳව සොයාගත හැකි වූ එකම පැහිදිලි සේයා රුව)

උග්ගල් අලුත්නුවරට සම්බන්ධ දේවාලෙ ගම් දෙකකි. මේ දෙකේම ඇත්තන් එකතු නොවී පෙරහර පැවැත්වීම  කළ නොහැකිය. “දෙයියො වඩම්මන්න නං දේවාල ගම් දෙකේම ඇත්තන් ඉන්න ඕනි” පෙරහර පිණිස අත්‍යවශ්‍ය රාජකාරි ඇත්තන් මේ ගම් දෙකේම සිටින බව  පෙනීයයි. අද ද දෙවියන් වැඩම වීමට පෙර මළුවේ විදානෙ[v] විසින් “ගං දෙකේ නිලමක්කායන් ඇවිල්ල ඉන්නවද?” යනුවෙන් දේවාල පුරා ඇසෙන පරිදි විමසා බැලීම පෙර සිරිත අනුව සිදුවෙයි.

(ඉතිරි විස්තර මී ළග ලිපියට…)

 

 

බස්නායක නිළමේ

 වර්තමානයේ මේ නිලය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය මහලේකම් වරුන් හා දිස්ත්‍රක්කයේ සෙසු පුරාණ දේවාල වල බස්නායක නිලමේ වරුන්ගේ ඡන්දයේන් පත්වන්නකි. නිල කාලය වසර 5ක් වන අතර පත්විය හැක්කේ වාර දෙකකි. අතීතයේ මෙය යාවජීව තනතුරක් සේ පැවතිනි. උදාහරණ වශයෙන් 1933 පත්ව ආ සිඩ්නි එල්ලාවල මහත්මාණන් 1965 අභාවප්‍රාප්ත වන තුරුම මේ නිළය හෙබවීය. එතුමාණන් සියලු. ගැමියන්ගේ මහත් ගෞරවය හා භක්තිය දිනාගත්තෙක් විය.  අද පවා නිතරම පාහේ පැරැන්නන් මෙතුමාණන් සිහි කරන ආකාරය දේවාලයට සම්බන්ධ කුදුමහත් සෑම කටයුත්තක දීම දක්නට ලැබෙයි. (මෙතුමෝ සබරගමුවේ හිටපු ප්‍රධාන අමාත්‍ය ගරු මොහාන් සාලිය එල්ලාවල මැතිතුමාගේ පියාණන් වන අතර වර්තමාන දිස්ත්‍රික් මන්ත්‍රී හා රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරන කමිටු සභාපති ගරු අකිල සාලිය එල්ලාවල මැතිතුමාගේ සීයා වෙති)

වදන් කෝෂය හා පසු සටහන්

  • මාසෙ පෝය ගිය පෑලවිය : – කළුවර පෝය හෙවත් මාසෙපෝය පසුව එන පළමු දිනය
  • කුඹල් පෙරහර :- දේවාල මළුව වටා ගමන් කරමින් දේව මන්දිරය වටා ගමන් ගන්නා පෙරහරය. මෙහි දී දේවාභරණ දෝලි වලට පෙරටුව පුන්කලස් දෙකක් ගත් කුඹල් රාජකාරි ඇත්තන් ගමන් ගැනීම දැකිය හැකි විශේෂතාවකි. පුන් කලස් දෙක පොල්මල් දෙකකින් හැඩ ගැන්වී ඇති බව දැකිය හැකිය.
  • ගං දෙකේ නිලමක්කාරයන් :- අලුත්නුවර හා නළුවෙල යන යාබද ගම්මාන දෙක මෙහි දී දේවාලගම් සේ සැලකෙයි
  • නයියන්ඩිකාර පංගුව :- දේවාලයේ දෙවියන් උදෙසා පූජා නැටුම් පවත්වන නිල රාජකාරි නැටුම් කණ්ඩායමට අයත් රාජකාරි ඇත්තන් ගෙන් සමන්විත පිරිසකි.
  • නළුවෙල:- පුරාණ උග්ගල් අලුත්නුවරට යාබදව ඇති ගම්මානයකි(දේවාලගමකි)
  • පෙරසිරිත:-පුරාණ සම්ප්‍රදායය. මෙය වෙනමම සවිස්තර දැක්විය යුතු මාර්තෘකාවකි. එය ඉදිරියේ දී ලියවීමට නියමිතය
  • මහ පෙරහර:- පෙරහර 10 වන දින සිට පවත්වන පෙරහර දින පහ
  • වීදි පෙරහර :- පෙරහර දෙවන දිනපහ තුළ පැවැත්වේ. මෙයටම දෙවේලේ පෙරහර යන ව්‍යවහාරයද වෙයි. දිනකට පෙරහර දෙකක් වීදි බැසීම පෙරසිරිතය
  • කුඹල් පෙරහර:- පළමු දින පහ දේවාලය පැදකුණු කරමින් පැවැත්වෙන මුල්ම දින පහ. මෙයටම මළුවේ පෙරහර යන ව්‍යවහාරයද පවතී. මෙය දිකටක එකවරක් පමණක් පැවැත් වීම පෙර සිරිත බව පෙන්.

 ——————————————————

[i]  විස්තර පවැසූ පැරැන්නන්ගේ නාම ලේඛනය

  1. තමාට නියමිත වාරය තුළ අත්තනායක මොහොට්ටාල ලෙසද අන් සැම වසරකම අතපත්තු මොහොට්ටාල සේ 1933 සිටිමින් කටයුතු  කළ බව කියන අභාවප්‍රාප්ත  ඒ.එම්.එස්. එම්. පුංචිබණ්ඩාර මහත්මා. (සාකච්ඡාව1993 සිට 1998)
  2. අත්තනායක මොහොට්ටාල අභාවප්‍රාප්ත ඒ.එම්.එස්. එම්. කරුණාරත්න බණ්ඩාර මහත්මා (සාකච්ඡාව1993 -2002)
  3. අත්තනායක මොහොට්ටාල අභාවප්‍රාප්ත ඒ.එම්.එස්. එම්.කුලසේකර බණ්ඩාර මහත්මා (සාකච්ඡාව1997 -2000)

ඇතුළු කපුමහත්වරුන් සහ සෙසු රාජකාරි ඇත්තන් ඇතුළු ගමේ සියලුම දෙනා සහ ලේඛකයාගේ අත්දැකීම්

[ii] බස්නායක නිලමේ තුමා යනු රජයේ නියෝජිතයා වෙයි. පුරාණයේ මහරජතුමා පෙරහර මෙහෙයවමින් පෙරහරේ ගමන් කරන ලද බවත්, දැන් ඒ වෙනුවෙන් බස්නායක නිළමේ තුමා ගමන්ගන්නා බවත්, එහෙයින් රජකුට සමාන සැලකීම හා ගෞරවය එතුමාට යුතු බවත් පැරැන්නෝ පවසති.

[iii] දේවාල ගමේ සහ දේවාලයේ ආරම්භය ගැන විස්තර කියවෙන පුරාණ පුස්කොල ලේඛනයකි. මෙය ජාතික කෞතුකාගරයේ එම් 4 දරණ පුස්කොල ලේඛනය වූ සීමාසංකර විනෝදනියේ අග පිටුවල දැක්වේ.

[iv] වීදිය විදානෙ යනු අලුත්නුවර ගම්විදානේට ව්‍යවහාර වන තවත් නිලනාමයකි. දේවාල ගම් දෙක වෙනුවෙන් ගම්විදානෙ වරුන් දෙනෙකු සිටින අතර දේවාලයට අදාල පිදවිලි ගම් වෙනුවෙන් ද ඒ ඒ ගමේ නමින් විදානේවරුන්  වෙති. 1970 දශකයේ  කල්තොට ප්‍රදේශය වෙනුවෙන් කල්තොට විදානේ නමින්  කෙනෙකු මෙන්ම එගොඩ වලේබඩ වෙනුවෙන්  වලේබඩ විදානේයනුවෙන් දෙනෙකු සිටි බව ලේඛකයාගේ මකයේ පවතී.

[v] මළුවේ විදානෙ යනු දේවාලයේ පෙරහර කටයුතු සම්බන්ධව විධිවිදාන යොදමින් කටයතු කරන රාජකාරි ඇත්තා වෙයි. මේ රාජකාරි ඇත්තා අත්තනායක මොහොට්ටාල නිලමේ ගේ අධීක්ෂණය හා මෙහෙයවීම යටතේ කටයුතු කරයි. සියලුම දේවාල සිරිත් විරිත් මේ නිලයේ විධිවිධාන මගින් හා අත්තනායක මොහොට්ටාල නිලමේගේ අධීක්ෂණය යටතේ සිදුවෙයි. ඒ නිසාම මළුවේ විදානේ දේවාලයේ පෙරහරට සම්බන්ධ සිරිත් සම්ප්‍රදායේ විශේෂඥයකු සේ කටයුතු කරන බව අදටත් දැකිය හැකිය

11 thoughts on “ඉස්සර පෙරහර කළ හැටි 1 කොටස

    • ඔබේ පැමිණිමට ස්තුතියි අසංග කප් සිටුවීම සම්බන්ධව තරමක වෙනස් කම් තිබෙනවා ඒ සම්බන්ධව සවිස්තරව මී ළඟ ලිපියක ලිවීමට අපේක්ෂා කරමි. මහ දේවාලයේ කප් සිටුවීමට කොස් අත්තක් යොදාගන්නා බව පැවසෙන අතර මීටම අයත් පත්තිනි දේවාලයේ කප් සිටුවීමට රුක් අත්තන ශාඛයක් යොදාගන්නා බවත් පෙනී යනවා.

      Liked by 1 person

  1. ගුණසිංහ මහත්මානැවත බ්ලොගය ලිවිම සතුටට කරුණක්. /නයියන්ඩිකාර පංගුවේ දැනමුත්තකු // මේ කියන්නේ මොකක්ද , ඒ පළාතේ වැඩිහිටියෙක් කියන එකද ?
    අනික ඔය විදානේ කියන්නේ නිලයක් නම් ඒවා දෙන්නේ කව්ද? රජතුමා හෝ පසුව ලංකාවේ පැවති බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය ආණ්ඩුව ද ?

    කැමතියි

    • 1. ඔබේ පැමිණිම හා විමසීම වෙනුවෙන් ස්තුතිය පුදන්නෙමි. නයියන්ඩිකාර පංගුවේ දැනමුත්තකු යනු දෙවියන් උදෙසා පූජා නැටුම් පැවැත්වීමට නියමිත, පාරම්පරික උරුමයෙන් රාජකාරි පැවරී ඇති නැටුම් හා ඊට සම්බන්ධ දවුල් හෙවත් බෙර වාදන සම්බන්ධ විශේෂඥ දැනුම සහිතව සිටින කෙනෙකි. මොවුන් දෙවියන්ගේ ගුණ ගායනා, දේවාලයේ ඉතිහාස පුරාවෘතය අන්තර්ගත කවි ගායනා කරමින් පෙරහර අවස්ථාවල නැටුම් පවත්වන පිරිසකි. ඔවුහු වෙනම ම කුලයක් සේ සිටින්නෝ වෙති. ඒ වෙනුවෙන් විශාල ගම්බිම් ප්‍රමාණයක භුක්තිය හිමි පිරිසක් වන අතර මේ අය “බලිකාර පංගුවේ අය” ලෙසින් ද හඳුන්වන අවස්ථා දැකිය හැකියි. මේ පරම්පරාවේ “අය නයියන්ඩිකාරගේ” යන වාසගම සහිතව පෙර නමකින් හැඳින් වෙති. නයියන්ඩිකාරගේ නන්දෝරිස් නමැති දැනමුත්තා මා හමුවේ සිය දස්කම් හා අත්දැකීම් ගැන විස්තර කරමින් කවිගායනා සහ වාදන ඉදිරිපත් කළ අවස්ථාවක් https://www.youtube.com/watch?v=4iM3ipkT2tY හා https://www.youtube.com/watch?v=gAO0CwACCB0 යනු යූටියුබ් ලින්ක් වලින් උඩුගන්වා ඇත. කාලය තිබේනම් විමසා බලන ලෙස ඉලලමි..
      1. විදානේ නිලයන් ද පාරම්පරික උරුමය යටතේ පැවත එයි. මේ අය “පණිවුඩකාර පංගුවල ඇත්තන්” ලෙසද හැඳින් වෙයි. ඔවුන්ගේ වාසගම මළුවේ පණිවුඩකාරගේ යනුවෙන් යෙදෙයි. ඔවුහු ද වෙනමම කුලයක ඇත්තන් ලෙස සිටිති. ඔවුන්ගේ කටයුතු මොහොට්ටාල වරුන් යටතේ සිදුවෙයි. නවක මොහොට්ටාල වරයකුගේ ආගමනයකදී මේ අය ඒ ඒ කටයුතු සම්බන්ධව විශේෂඥයන් බව නිතැතින්ම හැරේ. දැනට රාජකාරියේ යෙදෙන සිරිසේන මහතා දේවාලයේ රජකාරි කටයුතු සම්බන්ධව තොරතුරු දන්නාවයේවෘද්ධයකු සේ කටයුතු කරයි. ඔවුහු සෙසු රාජකිරි සම්බන්ධව පැමිණෙන අයට උපදෙස් දෙමින් හසුරවන ආකාරය දැනුදු දක්නට හැකියි. (කලකට පෙර ඔබේ ගවේශනයේදී මේ රාජකාරි ඇත්තා හමු වී නැතිබව පෙනේ.)මේ සම්බන්ධ විස්තර තෙරුතුරු ඉදිරියේදී දැක්වීමට සටහන් කරගත් බව දන්වා සිටිමි.

      කැමතියි

  2. මෙයට කෙලින්ම අදාල නොවුනත්, දික්ගේ නැටුම් ගැන ගුණසිංහ මහත්තයා ඉන්ටරෙස්ටෙඩ් ඇති නිසා කියන්නෙ. ඒ පිලිබඳව ( වලව්වල දික්ගේ නැටුම් ) ගැන විස්තර ඇතිව රත්නපුර පැත්තෙ කතෘ කෙනෙක් ලියපු අයිතිහාසික නවකතාවක් තියනව. මන් පසුව නම දෙන්නම්

    Liked by 1 person

  3. පින්ග්කිරීම: දෙපාරක් යන දෙවේලේ පෙරහර |

  4. පින්ග්කිරීම: දෙපාරක් යන දෙවේලේ පෙරහර |

  5. පින්ග්කිරීම: දෙපාරක් යන දෙවේලේ පෙරහර |

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.