උත්තම පූජා චාරිත්‍රය (බුද්ධ කාලය2)

බුදුන්ට ඉස්සෙල්ලම….

පසුගිය ලිපියේ හමු වුන ලේකම් මහතා උතුංම චාලිත්තරේ යයි හඳුන්වා දුන්නෙ දේවාල ගම්වල පැවති උත්තම සිරිත් සම්ප්‍රදාය යි. මේ සාක්ච්ඡාවේ පළමු කොටස පෙර ලිපියේ විය. එතැන් සිට  අප ඇසූ ප්‍රශ්න  අවම කර සම්පත් දායකයන්ගේ පිළිතුරු වලින් පොස්ටුව දිග හැරෙන බව සලකන්න

මම කියන්න හදන්නෙ මොකද්ද කියල තේරෙනවද?  “ඔව්.  ලේකම් මහත්තය කියන්න හදන්නෙ ඉස්සර තිබුණ අලුත්සහල් මංගල්ලෙ ගැන නේ නේද?

“අනේ ඔව් මහත්තය ‘බුදුන්ට ඉස්සෙල්ලම, පස්සෙ දෙයියන්ට’ කියල කතාවටත් කියනවා නේ. දෙවියො  අපි ගැන පැහැදෙන්නෙ පළමුවම  බුදු රජාණන් වහන්සෙට පූජා කරල කරගන්න පින් උන්නාන්සෙලාට අනුමෝදන් කරවාපුවාමයි. ඒ හන්ද කුඹුරෙ මුදුන් අස්වැන්න මුලි්නම වෙන් කරනව. ඊට පස්සෙ කිරි අහාර තුන් බෝධියටම පූජාකරල තමයි දෙවියන්ට මුරුතැන් බත් පූජා පවත්තන්නෙ . ඒ අපේ ඇත්තන්ගේ  පුරාණෙ ඉඳලම තිබුණ  උතුංම චාලිත්තරේ.

උග්ගල් අලුත්නුවර රජමහා විහාරය හා දේවාල පරිශ්‍රයේ බෞද්ධ බෞද්ධ චාරිත්‍ර ඉටු කරන්නට සැරසෙන අවස්ථාවක දී

දේවාල මළුව මත පිහිටි පුරාණ චෛත්‍යය, පුරාණ බෝධීය හා පුරාණ විහාර මන්දිරය

අපේ මුත්තලාගෙ කාලෙ ඔය චාලිත්තරේට තහනමක් වැටිල තියනවා. ඊට පස්සෙ  පස්සෙ  ඒක නැති වෙලා ගිහින්. ඒ කාලෙ තිබිච්ච මුස්ලිම් අය යි අපේ අයයි අතරෙ ඇතිවුන ආරවුල නිසා   ඉංගිරිසි  ආණ්ඩුවෙන්  මාෂල් ලෝ කියන නිතිය  දාල  අපේ  මිනිස්සුන්ට දුටු දුටු තැන වෙඩි තියන්න ගත්තලු. පෙරහරවල් කරන එක තහනම් කළාලු.  ඊට පස්සෙ අපේ අලුත් සහල් මංගල්ලෙ විතරක් නෙමෙයි, මහ පෙරහරත් අවුරුදු කිපයක්ම  නැතුව තිබුණය  කියල  අපේ  ආතල මුත්තල කියල තියනව”.

 පහතින් අත්තනායක මෙහොට්ටාල නිලමේ පවසන විස්තරය

“මළුව උඩ දේවාලෙ විතරක් නෙමෙයි. දාගැබ් වහන්සෙ, බෝධීන්නාන්සෙ, වගේම බුදු රුවක් වැඩ සිටින විහාර ගේත් ඇතුව තුන් බෝධියම පුරාණෙ රජ දරුවො හදල තියනව. තුන්බෝධිය පිහිටව්වට පස්සෙතමා  දේවාලෙ  පිහිටවල තියෙන්නෙ¹. මේ නිසා මිනිස්සුන්ට ලොකු ලේසියක්. මිනිස්සුන්ට දේව පිහිට ලැබෙන්නෙ මුලින්ම  බුදුන් වැඳල පුදල දෙවියන්ට පින් දුන්නමයි. ඒකෙන් උන්නාන්සෙලාගෙ ආවිස වැඩි වෙනව. ඒ හන්දම දෙවියො මිනිස්සුන්ට මෙලෝ වසයෙන් පිහිට වෙනව. ඒ හන්ද මේ උතුන්ම සිරිත කොහොම හරි ආයෙත් ඇති වෙන්නම ඕන.”

1975 සිට 1985 දක්වා උග්ගල් අලුත්නුවර දේවාලයේ ගරු බස්නායක නිලය දැරූ හැරී වීරසේකර බණ්ඩාර නිලමෙතුමා – මේ අවදියේ එකවරක් නැවත අලුත්සහල් මංගල්‍යය ඉටු කළ බව සම්පත්දායකයා පවසයි

 පූජනීය ස්ථානය ඉදිකිරීම ගැන ලේකම් මහතා පවසන තොරතුරු පුරාණ ලේකම් මිටියේ පුස්කොල ලේඛනයෙන්ද තහවුරු වෙනව.  මුස්ලිම් කෝලහාලෙ ලෙස කියවෙන්නෙ  1915 සිද්ධියයි.² එය සබරගමු පළාත තුළ ද පැතිර ගොස් තිබෙන බවට සමකාලීන ලේඛනගත සාක්ෂි ද හමුවෙයි. එකල කහවත්තේ පැවති පෙරහරකට වෙඩි තබන ලද බවත් පසුව පෙරහර පැවැත්වීම තහනම් කර ඇති බවත් වාර්තා වී තිබෙනවා. උග්ගල් අලුත්නුවරට නුදුරු බළන්ගොඩ නගරාසන්නයේ ඇති කිරිදිගල දී ඇති වූ මුස්ලිම් ආරවුලක් මැඩ පැවැත්විම සම්බන්ධව  විස්තර ද හමුවෙයි.  රජය විසින් අත්අඩංගුවට ගත්  සිංහල නායකයන් අතර  ප්‍රැන්සිස් මොළමුරේ මහතා (මේ දේවාලගමට පවා සම්බන්ධතා තිබූ  ප්‍රභූවරයෙකි) වැනි අය ද ඉංග්‍රීසි අත්අඩංගුවට ගැනුනි³. ඒ අනුව ලේකම්මේ මහතා පවසන විස්තර  ආවාට ගියාට කියන දෑ නොවන බව පෙනෙයි.

නැවතත් ලේකම් මහතාගේ විස්තරය

“අලුත් සහල් මංගල්ලෙට  ගන්නෙ අලුත්ම වී අස්වැන්න විතරද? අලුත් සහල් ගෙනාවාම කරන දේවල් ගැනත් කියන්න”

 “වී කියන්නෙ බුද්ද බෝගේ. කුඹුරෙ  කරල් පැහෙන කොට  ලියදි පිටින්  අලුත් සහල් වලට වෙන් කරන සිරිතක් තියනව. බුදුන්ට දෙයියන්ට වෙන් කරන් නැතුව අපි පොරෝජනේට ගන්නෙ නෑ.  තම තමාගේ හේනේ,  ගෙදර වත්තේ හැදෙන පොල් ගහක්,  පළතුරු ගහක් තියේනං ඒවයෙ නෑඹුල් අස්වැන්නත් පළමුවම තමන්ට ගන්න ඉස්සෙල්ල බුදුන් දෙවියන් උදෙසා වෙන්කිරීම පුරාණ සිරිතක්.

මේ විදිහට  බුදුන් දෙවියන් උදෙසා පූජා කරල, පන්සලටත්, වෙද ගෙදරටත්, තව ගමේ වෙනත් වැදගත් ඇත්තන්ටත් ගෙනුහුං දෙන එක චාලිත්තරයක් වුනා. බොහොම ඇත්තො යාචකාදීන්ට සතුන්ට පවා තමන් පොරෝජනේට ගන්න ඉස්සලේල කොටහක් වෙන් කර දීම පින්කමක්. ඒ වගේම වටිනා චාලිත්තරයක්. ගෙදර බවලත්තු උයද්දි වෙන් කරන “මිටි හාල්” වෙනම තියා තියන්නෙත්, වළඳ හූරල ගන්නෙ නැතුව ටිකක් ඉතුරුව තියන්නෙත්, හදසියෙ සාගින්දරේ එන අමුත්තෙකුට හරි  දුගී මගි යාචකයන්ට හරි දෙන්න වේය කියලයි. කමතෙ ගොයම් පාගද් දි අම්බරුවන් වී කරල් කොච්චර කොටා බෑවත් ඒක අඩුවක් වෙන්නේ නෑ. ඒ හන්ද උන්ව වලක්වන්නෙ හෙම නෑ. ඒ හන්ද අස්වැන්න වැඩිවෙනවා මිසක් අඩුවෙන්නෙ නෑ. අම්බරුවන් මැඩුවන් කොටා බාන එක වලක්කන්න ගියොත් “පලදාව බහිරවය අදිනවා” කියල අපේ පැරණි ඇත්තන් කියනවා”. 

මේ පැහැදිලි කිරීම් අනුව අලුත් සහල් මංගල්‍යය  දේවාලගම්වල පැවති උතුන්ම චාරිත්‍රයක් බව පෙනීයයි. එසේම  එය වී, සහල් වැනි දෑට පමණක් සිමා වී නොපැවති බව ද පෙනීයයි. හැරී වීරසේකර බස්නායක නිලමෙවරයා ගත් වෑයමේ දි එක වතාවක් පමණක් එය ඉටු කළ බව කියවෙයි. කෙසේ හෝ නැවත ඇති කරන්න හැකිනම් එය ඉතාම වැදගත් බවත් පැරණි දැනමුත්තන් හා කළ සාකච්ඡා වල දී පැහැදිලි වෙයි. “ඒක හරි උතුං චාලිත්තරයක් කොහොම හරි ආය කරන්න තියනව නං දෙවියො සතුටු වෙලා ගම රට තවතවත්  දියුණු වේවි” මේ ලේකම්  මහතා මෙන්ම පුරාණ අත්තනායක මොහොට්ටාල නිලමේ වරයා වැනි දැනමුත්තන්  අවධාරණය කරන අදහසකි.

2013 – 2018 අතර කාලයේ බස්නායක ධුරය දැරූ මිගාර ජයසුන්දර බණ්ඩාර ගරු බස්නායක නිලමේතුමා

පසුව මේ උත්තුංග චාරිත්‍රය නැවත ඇති කිරීමට කටයුතු කරන ලද්දේ 2013 පත්ව පැමිණි ගරු බස්නායකනිලමේ වරයා වූ මිගාර ජයසුන්දර බණ්ඩාර මහතාණන්ගේ මෙහෙයවීමෙනි. කලක් මගහැරී පැවති නිසා මතුවන දුෂ්කරතා මධ්‍යයේ වුව ද එය  නැවත නගා සිටු වීමට හැකිව තිබීම වාසනාවන්ත තත්ත්වයකි. මේ සඳහා පුරාණ කාලයේ හුණුවල දෙයියන්නෙ වෙල්යායේ දෙවියන්නෙ උයන්වත්ත භූමියටම උග්ගල් අලුත්නුවර දේවාල පෙරහර ගිය බව කියවෙතත් එය එපරිදිම පැවැත්වීමට නොහැකි වී ඇත. එසේ වුවද ඒ වෙනුවට  පල්ලෙකන්ද දෙවියන්නෙ වෙල්යායේ කුඹුරක් පේකර අලුත් සහල් මංගල්‍යය පැවැත්වීමට කටයුතු සලස්වා ඇති බව පෙනේ.

යාපා මහ රජ තුමා§  දෙවියන් උදෙසා දේව විමානයක් ඉදි කරන්නට පොරොන්දු වී  වටමළු තුනක් මළුව බඳවා ඒ මත පළමුවම ඉදි කරවා ඇත්තේ දාගැබක් හා විහාර ගෙයකි.   දේවාලය ඉදිකරන ලද්දේ ඉන් අනතුරුව බව කියවේ. දේවාලය තුළ ඇත්තේ හින්දු සමයේ එන දෙවියන් වුව ද එම දෙවියන් බුදුන්ට වඩා පහළින් සිටින බුදු බව පතන බෝධිසත්ව වරයින් බවට  මතයක් පවතී.  මේ ඇත්තන් තුළ එය නිරන්තරව පවතින ස්ථිර මතයක් බව දෙවියන් සම්බන්ධව ඇති ව්‍යවහාරයන් මගින් පෙන්වා දෙයි.  දෙවියන්ට පින්දෙන අවස්ථාවල “ඔබ වහන්සේට බුදුබව ලැබෙන්ඩ..”  ආදී පාඨයන් සහ  “මතු බුදුවන කතරගම දෙවියනේ……….. පිහිට වන සේක්වා” යි සිය කරදර අවස්ථාවල ආයාචනා කරනු ද දක්නට හැකිය. ඒ කතරගම දෙවියන් බුදුබව පතන බෝධිසත්ව වරයෙක්ය යි  දැඩිසේ අදහන හෙයිනි. අනුරාධපුර සමයේ ලක්වැසියන් තුළ මනාව  මුල් බැසගත් බුදුසමය තුළ පසු කාලයේ හින්දු සමය මිශ්‍රණයක් සේ එක් විය. එය මහනුවර සමය වන විට මේ ආගමික මතවාද අතර පැවති ගැටීම් සමනය වෙමින්  සංයෝගයක් සේ  එකිනෙක සංකලනය වී ඇති බව පෙනේ.  එහි ප්‍රතිඵලය වී ඇත්තේ අපූරු ගැමි බොදු හැදියාවක් නිර්මාණය වීමය.  පුරාණ දේවාල ගම්වල මුල් බැසගත් සිරිත් සම්ප්‍රදායයන් ගැඹුරින් විමසන විට එහි අපූරුව මනාව පැහැදිලි වෙයි.

(ඉතිරි කොටස මී ළඟ ලිපියේ)

විශේෂ වදන් හා ව්‍යවහාර

  • අලුත් සහල්: කුඹුරෙන් ලබාගත් අලුත් වී වලින් කොටා ලබාගන්නා සහල් මෙයින් අදහස් කරති. විස්තර ඉදිරි ලිපියක
  • අස්වැන්න : ගොවිතැනෙන් ලබාගන්නා ඵලදාව harvest
  • උතුංම චාලිත්තරේ : උසස්ම චාරිත්‍රය හෙවත් සිරිත් සම්ප්‍රදායය
  • කොටා බානවා : ආහාරයට ගන්නවා
  • නෑඹුල් අස්වැන්න : නැවුම් අස්වැන්න
  • පලදාව බහිරවයන් ඇදගන්නවා : පලදාව නොපෙනෙන බලවේගයක් (බහිරව නමින් සිටින භූතයන්) විසින් ලබාගන්නවා
  • පල්ලෙකන්ද : බළන්ගොඩ නගරය ආසන්නයේ ඇති ගමකි
  • පේකරනවා : කිල්ලකට හසු නොවන පරිදි පිරිසිදුව සූදානම් කර තැබීම මෙහි පවසන කිල්ල ගැන පසු ලිපියක
  • බවලත්තු : කාන්තාවන්
  • මළුව : මිදුල හෙවත් (පූජනීය ගොඩ නැගිලි ඉිදි කළ විට ඉතිරිව තිබෙන බිම් කොටස)
  • මාෂල් ලෝ : යුද්ධ නීතිය(Martial Law)
  • මැඩුවන් : වී කරල් සහිත ගොයම්
  • මිගාර ජයසුන්දර බස්නායක නිලමේ තුමා : හිටපු බස්ඉනායක නිලමේ වරයෙකි. ඉහත ඡායාරූපය සමග දැක්වෙන සටහනට අමතරව වෙනම ලිපියක විස්තර කෙරෙනු ඇත.
  • මිටි හාල් : පැරණි ගෘහණිය ( Housewife) විසින් බත් පිසින්නට සහල් වෙන්කර ගත් පසුව අතට අසුවන ප්‍රමාණයක් රැගෙන වෙනමම තැන්පත් කර තැබීමේ පුරාණ සිරිතක් රට පුරාම ද පැවති බව අසන්නට ලැබෙයි
  • මුත්තා : පියාගෙ පියා
  • මුදුන් අස්වැන්න : කූඹුරෙන් මුලින්ම නෙලාගන්නා ගොයමින් ලබාගන්නා අස්වැන්න.
  • මෙලොව වසයෙන් : මෙලොව දී
  • යාචකාදීන් : යදින්නන් හෙවත් ඉල්ලා සිටින්නන්
  • වළද හූරලා ගන්නවා : මෙයින් අදහස් කළේ හැලිය මුළු මණින්ම හිස් කර ප්‍රයෝජනයට ගැනීමය
  • සාගින්දරේ : නිරාහාරව හෙවත් කුසගින්නේ
  • හැරී වීරසේකර බස්නායක නිලමේ තුමා :  හිටපු බස්ඉනායක නිලමේ වරයෙකි. ඉහත ඡායාරූපය සමග දැක්වෙන සටහනට අමතරව වෙනම ලිපියක විස්තර කෙරෙනු ඇත.
  • හුණුවල : ඕපනායක ආසන්නයේ ඇති ගමකි.

සම්පත් දායකත්වය

* විස්තර පැවසූ සම්පත් පුද්ගලයන් වූයේ කලින් ලිපියේ  සිටි අත්තනායක මොහොට්ටාල නිලමේ වරයා වූ ඒ.එම්. එස්.එම්. කරුණාරත්න බණ්ඩාර මහත්මාණන්ය. අවසන් කාලයේ හල්කදුර වලව්වේ විවේකීව සිටිමින් පැමිණ තොරතුරු විමසන අය හා සාකච්ඡා කරමින් ඇතැම් විටක මා අමතමින් හා වරෙක මා නිවසට ද පැමිණ ද ස්වේච්ඡාවෙන්ම විස්තර පැවසූ දැනමුත්තකු විය.

∗ අනෙක් සම්පත් දායකයා වන්නේ ලේකම් මහතා යනුවෙන් ඇමතූ සාමවිනිසුරු ඒ.ජී. අල්විස් මහතාය.   ප්‍රසිද්ධ පාරම්පරික ජ්‍යෝතිශ වේදියායි. සිය ශාස්ත්‍රීය සේවාවන් නොමිලේම ලබාදුන් ඔහු ලැබෙන පුංචිම ත්‍යාගයකින් වුවද මහත්සේ සතුටුව තමන්ද පෙරලා  තමන් සතු වෙනත් දැයින් ද උපකාර කළ  තැනැත්තකි.  ඔහු උග්ගල් අලුත්නුවර මහසෙන් ගොවි සමාජයේ ලේකම් වරයා ලෙස ආරම්භයේ සිට වයෝවෘද්ධව මිය යනතුරුත් කටයුතු කළ අතර පන්සලේ දායකසභාවේ ලේකම් වරයා සේම ගමේ විවිධ සමාජ සේවා සංවිධානවලද ලේකම් වරයා විය. ලේකම් මහතා යනුවෙන් ගමේ සියල්ලන්ම අතර ප්‍රචලිතව සිටියේ මේ තනතුරු ලාභියා වීම නිසා විය හැකිය. බොහෝ අවස්ථාවල මෙතුමා ද නිවසටම පැමිණ තොරතුරු සපයාදීම මෙන්ම සෙසු කටයුතු වල දී පිය සෙනෙහෙසින් උපකාර කළ තැනැත්තකු ද විය.

——————————————————-

1.  කොළඹ කෞතුකාගාරයේ එම්.4 -සීමාසංකරවිනොදනී පුස්කොල පොතේ අග ඇති පිටුවල මේ විස්තර අඩංගුයි. මේ විස්තරය , “….ඉඹුල්පේ දෙවනැන්නැහැ අතින් මඟුල්කප ඉඳුවමින් තුන්මාල් පාය කරවා දාගොබ විහාර වහන්සයක් කරවාගෙන දෙවියන් වහන්සේට කෝවිලක් කරවා…” යනුවෙන් සටහන්ව ඇත.

2.https://si.wikipedia.org/wiki/ශ‍්‍රී_ලංකාවේ_කෝලාහල

3.  සුදු දිසාපතිවරුන් දුටු අසිරිමත් සබරගමුව කෘතිය – සංස්කරණය සිසිර මලල සේකර සංස්කරණය – තාරක ප්‍රකාශනයකි බළන්ගොඩ 2006

§.කොළඹ කෞතුකාගාරයේ එම්.4 -සීමාසංකරවිනොදනී පුස්කොල පොතේ අග ඇති පිටුවල දැක්වෙන ලේඛනය, උග්ගල් අලුත්නුවර ලේකම් මිටිය(  පූජ්‍ය රාජකීය පණ්ඩිත කිරිඇල්ලේ ඤාණවිමල හිමිපාණන්ගේ සපරගමුවේ පැරණි ලිය කියවිලි හි උපුටනය) හා මොහොට්ටාල නිලමේ ළඟ තිබී ලබාදුන් පැරණි  අත්පිටපත

 

 

3 thoughts on “උත්තම පූජා චාරිත්‍රය (බුද්ධ කාලය2)

  1. පින්ග්කිරීම: නළුවෙලට නවාලෝකයක් |

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.