යක්කුන්ගෙ කාලෙ 3

මහසෝන

දේවාල ගංයායේ මති මතාන්තර 3 කොටස

පසුගිය ලිපිය නිමා වුනේ අපත් කට්ටඩිත් අතර පැවති සාකච්ඡාවකින් නේ. ඉතින් ඔන්න කට්ටඩි¹ තමන්ට අත් දකින්න ලැබුණු විස්තරයක් කියනව.

මම දවසක් මාවිඅරාව පැත්තෙ මැතුරුමකට ගියා. මහ රෑ  පණිවිඩේ ගෙනාපු දූතයගෙ ලකුණු අනුව කොයිකටත් කියල ලොකු මැතිරුමකට ලෑස්තිවෙලා ගියා.  ගියාට පස්සෙ වැඩේ කලින් හිතුවට වඩා බරපතල් එකක් බව පෙනුනෙ.   ඕන කෙනෙකුගෙ දුකේදි සැපේදි විතරක් නෙවෙයි රන්ඩුවකදි වුනත් කඩා බිඳගෙන එන ගං විදානෙ මහත්තය² කලින්ම ඇවිල්ල තිබුණ. එයා තමයි ඉක්මණින්ම මට එන්න කියල පණීවිඩයක් එවල තිබුණෙත්. යකා ගහපුපාර ආතුරයගෙ බෙල්ල පැත්තක් නිල් වෙලා…! දැක්ක ගමන් මට හිතාගන්න පුළුවන් වුනා. මේ  මහසෝනගෙ වැඩක් බව. වැහිල ඉන්නෙත් මහසෝන,,,,,!   මට කරන්න වෙලා තියෙන්නෙ එසේ මෙසේ දෙයක් නෙවෙයි. පොඩ්ඩ වැරදුනොත් ආතුරය විතරක් නෙවෙයි කට්ටඩියත් බිල්ලට යනව. මේ ගැන විදානෙ මහත්තයට කිව්ව ගමන් උන්නැහැත් ඇස් උඩ ඉන්දගත්ත.  කොයි තරම් බරපතල වුනත්  මනුස්ස ජීවිතයක්  නිසා මග අරින්නයැ. අපි වැඩේට ලෑස්ති වුනා.

අපි: මහසෝන  එච්චරටම බයානකද කට්ටඩි මහත්තය?

කට්ටඩි: මොනව අහනවද මහසෝන කියන්නෙ යක්ෂ සේනාධිපතියෙක්.  එයා තමයි භයානකම කෙනා. රීරි යකා

කට්ටඩි මහතා පැවසූ මහසෝනා මෙසේ විය හැකියයි ඇ.එ.ජ. නිවසක දක්නට ලැබුණ හැලොවින් රූකඩය දුටු විගස සිහිවිය.

එන්නෙත් ඊට පස්සෙ.  මහසෝන ගැන කලින් අහල නැද්ද? මහ සෝනට ඕන වේසයකින් ඉන්න පුළුවන්. සාමාන්‍ය විදිහ නම්   කඳ කොයි හැටි වුනත් ඔලුව වලහෙකුගෙ. අපේ මරු සන්නි යකුමකදි  මහ සෝනට එන්නෙ  වලස් මූණකින්.  මහ සෝනත් පුරපක්ෂයෙදි තරමක් සැර බාල කෙනෙක්. ඒ හන්ද සමහරු මහසෝන් දේවතාව කියලත් කියනව. අව පක්ෂෙදි නම් එච්චර භයානක වෙන යක්ෂ සේනාධිපතියෙක් නෑ. ආයෙත් කතාවට එමුකො. 

ආතුරය ගොඩ දාන්න වලදැරැහැවක් නටල මිසක්  හරියන්නෙ නෑ. ඇප නූල දැම්මෙත් බොහොම අමාරුවෙන්. කීප දෙනෙක් අල්ලාගෙන ඉද්දි. ඇප නූල බදිමින් මතුරද්දි ආතුරය ටිකක් මෙල්ල වුනා. කොයිකටත් විමසිල්ලෙන් ඉන්න හයිය තියන කීපදෙනෙක් ළඟ තියල. තව දවස් තුනකින් කරන තොවිලෙට උවමණා කළමනා ලැහැත්ති කරගන්න කතාවුනා.

ආතුරය නින්දට වැටුනට පස්සෙ විදානෙ මහත්තයයි මායි ආපහු එන්න පිටත් වුනා. එන්න තියෙන්නෙ කුඹුරු යාය මැද්දෙන්. ඉල්මාසෙ  නිසා ගොයමත් සරුවට වැඩිල.  ටික දුරක් එද්දි විදානෙ මහත්තය ගැට්ටපාන පැත්තට තියන නියර දිගේ ගියා.  මම ගල්දෙක ගාව ලිඳ ළඟින් උණගස්වත්තට ගොඩ වෙලා ගෙදර යන්න හිතාගෙන අනෙක් නියර දිගේ ආව. ඔය අතරෙ සමහර තැන්වලදි මගෙ අතේ තියන බැටරියෙ එළිය නිමෙන්න උනා. තට්ටුවක් හෙම දැම්මම පත්තු වෙනව. මොන කදරයක්ද මන්ද බැටරිය සැරෙන් සැරේ නිමෙනව. ඔහොම ටික දුරක් එද්දි කුඹුර මැදින් බස, බස, ගාගන ආපු තඩි කළු බල්ලෙක් මා ඉස්සරහින්, නියර උඩින් අනෙක් පැත්තට පැන්න. මම බැටරිය  අල්ලල බැලුව. මොකෙක්වත් පේන්න නෑ.  මං ගණං ගත්තෙ නෑ. කොච්චර කළුවර වුනත්, කොහොමින් කොහොම හරි දැන් ඔන්න ගල් දෙක ගාව ළිඳ ළගටම ඇවිත්. උණගස්වත්තට නගින තැන ඉවුර උඩ තියන මහ උණ පඳුර දන්නව නේද?  ඒක අස්සෙන් මහ හඬින් හිනාවෙන සද්දයක්…! මේ මහ රෑ එකොලහට විතර හිනා වෙන්නෙ  මොකාද? තට්ටුකරල තට්ටු කරල බැටරිය පත්තු කරන්න හැදුව. ම්හ්. පත්තුවෙන්නෙම නෑ. ඔය අතරෙ තරු එළියට වගේ ගල්දෙක ගාව ළිඳ පෙනෙනවා. ළිඳෙ  නාන පඩිය උඩ අර මහ කළු බල්ල…!   මහසෝනගෙ අවතාරෙ  වලස් තඩියෙක් වගේය කිව්වට  කළු බල්ලෙක්, අලියෙක් වගේ පේන්න එන්නෙත් ඒ අවතාරෙමයි. මේව  කල්පනා වෙද්දි ඇඟට හීන් දාඩිය දැම්ම. හිතට  පුංචි චකිතයක් වගේත් දැනුන. හිනා සද්දෙ දිගටම ඇහෙනව. ඉනේ තියන ආරක්සා යන්තරේ අත ගෑව මොකා උනත්, මේක තියන කං ඌ මට කිට්ටු වෙන එක  බොරු. අතට ගිල්ලල තියන යන්තරේ නිසා කරේ, ඉනේ තියන එ්ව නැති වුනත් මොනම අමනුස්සයකුටවත් හිරිහැරයක් නම් කරන්න බෑ. මේ එක්කම අපොයි විදානෙ මහත්තයට මොනව වුනාද දන් නෑ. මට කල්පනා වුනා. හෙට උදේම හොයන්න ඕන. දැන් අර බලු තඩිය නං දැන් පේනනෙ නෑ. ඒත් උනපඳුර අස්සෙන් එන හිනාව නං සැරෙන් සැරේ ඇහෙනව. ඉල් මාසෙ අව පක්සෙ ලැබුව ගමන්. කාලයයි වෙලාවයි එච්චරම හොඳ මදි. මේක උන්ගෙ කාලෙ උන්ගෙ ජාමෙ. මම මහ හඬීන්  බන්ධන ගාතාව කියන්න ගත්ත. ඒ එක්කම එතනම තියන කළුචාර්ලිස් අප්පු බාස් උන්නැහැට කතා කළා. ඒ ගමන්ම එහෙ දොර ඇරුන. දැන් අර හිනාව නෑ. එත් බැටරිය පත්තුවෙන්නෙම නෑ. ඉවුර නැග ගන්න පේන්නෙ නෑ. “බාසුන්නැහෑ. අනේ මගෙ බැටරිය නිමිලා හුළු අත්තක්වත් පත්තු කරගෙන එන්ඩෝ” කියල මහ හයියෙන් කිවුව. එයා එළියට ආවෙම හුළු අත්තක් පත්තු කරගෙන. ඒ බාස් උන්නැහැත්  තොවිල් වලදි උදව්වට එන හිත බය නැති ඇත්තෙක්.  මම කතාව කිව්ව. එයා කිව්වෙ “මට ඇහුනෙ කට්ටඩිගෙ කෑ ගැහිල්ල විතරයි මොන තරම් හයියෙන් කෑ ගැහුවද?” මොකද්ද දෙයියනේ කාට හිරි කරදරයක් වෙලාද කියල බලන්නයි මම එළීයට ආවෙ. මදෑ අපේ කට්ටඩි මහත්තය නේ”. මම හිනා වුනා. කරන්න තියන වැඩේ කියල එදාට උදව් වෙන්න තව හිත හයිය කීප දෙනකුත් එක්ක එන්න කියල මම එන්න ආව. ඇරලන්න එන්නද අහද්දි “නෑ ඕන නෑ” කියාගනම ගෙදර  ආව. ඒත් ගෙදරට එනවත් එක්කම ගේ ඉස්සරහ ආයෙත් අර බලු තඩිය! “ඔහෙ හිටු ගෙරිය මම තොට දෙන දේ දෙන්න ඇපවෙලා නේද ආවෙ කියාගන ආරස්සා බන්ධනේ සිහි කරගෙන ඉස්සරහට පැන්න ඌ පේන්නැතුව ගියා “. ඒ එක්කම ගෙදර ඇත්තො දොර ඇරිය. ගෙට ඇවිත් කතා කරද්දි අර හිනා සද්දෙ ගෙදර ඇත්තන්ටත්  සැරෙන් සැරේ ඇහිල තියන බව කියවුනා. මට මේක අසුබ නිමිත්තක් වත් ද දන්නැ යි සිතෙද්දි, “ඔය කවුරු හරි බීගෙන වෙන්න ඇති” කියල  නින්දට ගියා.

පස්සෙන්ද මහ දවල් 12.00 ට ඇප නූල අලුත් කරන්නත් එක්ක උදේම  ආතුරයගෙ ගෙදරට  ගියා. ආතුරයගෙ විස්තර ඇහුව. එයා  රාත්තිරියෙ  සැරෙන් සැරේ මහ හඬින් හිනා උනාලු. නින්ද බොහොම අඩු වුනත් දුවන්න කරන්නෙ නැතුව  හිටියලු.  රෑ දමාපු  ඇප නූලට මොකවත් වෙලාද බැලුව. දෙයියනේ ඒකෙ බෙල්ලට දාපු ගැටේ බුරුල් වෙලානෙව. මේ හන්ද තමයි ඔක්කොම අඩිකෝඩ ඇතිවෙලාතියෙන්නෙ. මදෑ නූල වෙන් වුනේ නැතුව. මම ආයෙත් ජප කරල මතුරල අලුත් අැප නූලක් බැඳල ගෙදර අයටත් ඒ ගැන විපරමෙන් ඉඳල පරෙස්සම් කරගන්න කියල ආපහු අාවෙ තව දවස් දෙකකින් සූදානම් වෙන  වල දැරැහැව කටයුතු සේරම ලෑස්ති කරන්න. ලොකු වැඩක් නිසා බුදුන්වෙල ගුරුන්නාන්සෙ,මොරහැල ගුරුන්නාන්සෙ, වෙහෙරගොඩ ගුරුන්නාන්සෙත් යන අයටත් එන්න කියල  පණිවිඩ ඇරිය.

වලදැරහැව කියන්නෙ මොකද්ද? අපෙන් ප්‍රශ්නයක්…. (වල දැරැහැව පිළිබද විස්තරය ඉදිරි ලිපියක අපේක්ෂා කරන්න.)

මේ ලිපියේ භාවිත විශේෂ වදන් හා ව්‍යවහාර

  • අඩිකෝඩ: හොල්මන් දැකීම හෝ ඇසිමට මේ ව්‍යවාහාර වෙයි
  • ආරක්සා යන්තරේ: ආරක්ෂාවට පිණීස පළඳින මතුරා ජීවම් කරන ලද සුරයකට ඇතුළු කර ඇති තඹ, රිදී ,රන් වැනි පත්‍රයක් සහිත ආභරණයක් වැන්නකි
  • ඇප නූල: පොරොන්දුවෙමින් සහතික කරන ලද තාවකාලික සහනයක් ලබා ගැනීමට කරනු ලබන ප්‍රතිකර්මයකි. මෙහි දී කහ දියරේ ගල්වන ලද කපුනූල් තුන් පොටක් හෝ පස්පොටක් ගෙන මතුරමින් ගැට යොදමින් මතුරා ආතුරයාගේ බෙල්ලේ  හෝ අතේ බඳිනු ලබති
  • ඇස් උඩ ඉන්ද ගැනීම: බියවීම
  • උණගස්වත්ත: දේවාල ගම තාදාසන්න නිවසක් සහිත වත්තකි
  • ගංවිදානෙ: ගමේ විදානෙ මෙය දේවාල සම්ප්‍රදායේ එන තනතුරකි. ඔහු ස්වකැමැත්තෙන්ම ගමට නායකත්වය දෙමින් කටයුතු කළ පුද්ගලයෙක් බව දැක ඇත්තෙමි. එම චරිතය ගැන කට්ටඩි මහතා පවසන විස්තරය ද සැබෑවක් බව මතකයේ පවතී
  • ගල්දෙක ගාව ළිඳ:  කිසිදාක දිය නොසිඳෙන දේාවල ගම්මාන මායිමේ උණගස්වත්තට පහළින් කුඹුර මායිමේ පිහිටියකි. දැනුදු එය පවතී
  • ගැට්ටපාන: දේවාලගමට යාව තදාසන්න පිහිටි ගමකි
  • ගෙරිය: මෙය අවතාර වැනි දෑට බියවන අවස්ථාවල පළවා හැරිමට පවසන වදනකි. මේ නමින් සිටින කළු කුහුඹි විශේෂයක්ද වෙයි. එම කුහුඹින් ගේ කූඩා සාදන කළුවර්ණයෙන් යුතු පස් බලි තොවිල් වලදී භාවිතවෙයි.
  • දූතයගෙ ලකුණු: පණිවුඩය ගෙන එන තැනැත්තා වෙතින් පළවන සලකුණු
  • පුරපක්ෂය: කළුවර පෝය දිනය පසු වී සඳ මෝරාගෙන එන දින පහලවක කාලය අව පක්ෂය යනු පසලොස්වකින් පසුව එන කාලයයි.
  • බන්ධන ගාතාව: බාඳ දමන ගාතාව යන අදහස ගෙනෙයි. බොහොවිට මෙය බුදුගුණ සහිත උස් හඬින් ගැයෙන මන්ත්‍රයක් වන අවස්ථා දැකිය හැකි විය.
  • බැටරිය: මෙයින් අදහස් කරන ලද්දේ ටොජ් එක හෙවත් ආලෝකය විහිදුවන විදුලි පන්දමය
  • බුදුන්වෙල ගුරුන්නාන්සෙ:  බුදුන්වෙල නමැති ගමේ සිටි කට්ටඩි මහතා
  • මරු සන්නි යකුම:  ප්‍රදේශයට ආවෙනික යක්නැටුම් විශේෂයක් බව පෙනීයයි
  • මාවිඅරාව: දේවාල ගමට තදාසන්නව වෙල්යායෙන් එගොඩ පිහිටි ගම්මානයයි
  • මොරහැල ගුරුන්නාන්සෙ: මොරහැල නමැති ගමේ සිටි කට්ටඩි මහතා
  • වලදැරැහැව: මේ පිළිබඳ ඉදිරි ලිපියක විස්තර එනු ඇත.
  • වෙහෙරගොඩ ගුරුන්නාන්සෙ:  වෙහෙරගොඩ නමැති ගමේ සිටි කට්ටඩි මහතා
  • වේසයකින්: ස්වරූපයකින් හෙවත් මවාගත් රූපයකින්
  • හීන්දාඩිය දැමීම: බියවීම නිසා ශරීරයේ ඇතිවන වෙනස

————————————————————————

  1.  අභාවප්‍රාප්ත   මැණික් අප්පු කට්ටඩි මහතා – 1969 -උග්ගල් අලුත්නුවර තොවිලයක කටයුතු සූදානම් කරන අතර දී
  2. මෙහි දී ගංවිදානෙ මහත්තය යුනවෙන් හඳුන්වා දෙන ලද්දේ වයි.එම්. හොරත් හාමි මහතාය
  3. කළුචාර්ලිස් අප්පු බාස්උන්නැහැ. යනුවෙන් හඳුන්වා දෙන ලද්දේ දක්ෂ දවුල් තම්මැටිටන් වාදන ශිල්පියෙක්සේම දේවාල කවිකාර මණ්ඩපයේ ශිල්පියෙකු සේ නම් දරා සිටි කෙනෙකි.

 

16 thoughts on “යක්කුන්ගෙ කාලෙ 3

    • නවීකරණය වීම සමග ඒවා නැතිව යමින් තිබෙනවා මියුරු. ඔබේ ආසාවම අපටත් පවතින නිසා මෙහි කියවෙන මරුසන්නිය නමැති තොවිලය කරවන්න අදාල සාම්ප්‍රදායික ඇත්තන්ට ආරාධනා කර මහ වියදමකුත් දරාගෙන කටයුතු කලා . ඒ අය තොවිලය නැටුවට ස්වාභාවික එකක් උනේ නැහැ. උදාහරණයක්: මේ අය අපව හොඳින් සතුටු කරන්න හිතාගන පන්දම් පාලියෙදි භාවිත කළේ ස්වාභාවික අවස්ථාවල භාවිත කරන අමුද්‍රව්‍ය නොවෙයි. මටුළු යොදාගන පන්දම් සකස් කර තිබුණත් ඇවිලුනේ එහි ඔතපු රෙදි පටි භූමිතෙල්වල පොඟවා ගනිමින්. හේතුව විමසූ විට පන්දම් කරකවන තුරු ඇවිලුනත් වේගය අඩු වුනාම නිවෙන නිසා එසේ කළ බව පැවසුවා. ඇත්ත තොවිලයක් නොවන නිසා එහෙම කළාට වරදක් නොවන බවද ප්‍රකාශ වුනා. ඒ කලා අංග නැවත පුනරුත්ථාපනය කළ නොහැකි අන්දමට නැතිව ගිහින් . එම මරු සන්නියේ (සාමාන්‍ය කැමරාවකින් ලබාගත්) කෙටි වීඩියෝ ක්ලිපයක් (https://www.youtube.com/watch?v=r_G3VClTtxo)
      මගේ යූටියුබ් චැනලයේ තියනවා. එහි සිටි ශිල්පීන් සියලු දෙනාමත් 2017 වසර වන විට මිය ගිහින්. මේ ගම්මාන වල දැනට දක්නට හැකිව ඇත්තේ පාන්මඩුව, කිරිමඩුව වැනි දෙවියන් ලවා යකුන් දමනය කරවන බව විශ්වාස කරන පොදු යහපත වෙනුවෙන් කරනු ලබන ශාන්ති කර්ම පමණයි.

      Liked by 1 person

      • දන් අළුත් අය ඕවා ඉගෙන ගන්න යන්නෙ නැතුව ඇති. ගොඩක් වෙලාවට පරම්පරාවෙන් පරම්පරාවට ආව දේවල්නෙ. අනිත් එක තොවිලයක් නටවන්න නොසෑහෙන වියදමක් යන එකත් ඒවා නැති වෙලා යන්න හේතුවක් වෙන්න ඇති. තොවිල් වගේ යාතු කර්ම ගැන විශ්වාසයක් නොතිබුනත්, ඒ වගේ සාම්ප්‍රදායික කලා අංග නැතිවෙලා යන එක ගැන නම් දුකක් දැනෙනවා. ඔබතුමා මෙහෙම හරි විස්තර එකතු කරලා තියෙන නිසා අපටත් ඒවා කියවන්න ලැබෙනවා. බොහොම ස්තුතියි ගුණසිංහ මහත්මයා.

        කැමතියි

        • ඔව් මියුරු එය සැබෑවක්. මෙවැනි භෞතික නොවන ඓතිහාසික වස්තූන් හෙවත් උරුමයන් (අස්පර්ශ උරුමයන්) සොයා බලමින් සංරක්ෂණය කර තැබීමේ විධි ක්‍රමයක් දැනට පවතින තත්ත්වයන්ට වඩා ඉහළ මට්ටමින් ඇති කරගත හැකි නම් ඉතාම වටිනවා නේද? එවැනි උරුමයන් පුහුණු වීම හා ප්‍රදර්ශනය ලැජ්ජාවක් සේ සැලකීම නිසා බොහෝ දෑ මනුෂ්‍ය ප්‍රජාවට අහිමි වී යනවා. මෙය මා සටහන් කරන්නේ වඩා පුළුල් අරුතකින්. (තොවිල් වැනි දෑට පමණක් සීමා කරමින් නොවේ ) යම් තරමකින් හෝ එවැනි රැක ගැනීමක් දැනට දැකිය හැක්කේ පාතරට බලිතොවිල් සම්ප්‍රදායේ පමණයි. සබරගමුවේ පවතින්නේ ඒ සම්බන්ධ වෙනමම සම්ප්‍රදායයක ශිල්පශාස්ත්‍ර බව පෙනී යනවා

          කැමතියි

  1. විදානේ මහත්තයට මක්කාවත් අතුරු ආන්තරාවක් වෙලා නැතුව ඇතැයි හිතනවා.. ඉස්සර ‘දරහැව.. දරහැව’ කියල වචනේ පාවිච්චි කලාට හරි හමන් තේරුමක් දැනන් හිටියේ නෑ.. පස්සේ නම් දන ගත්ත.. ඊළඟ කොටසේ ලියන නිසා ඒ ගැන මම කියන්න ඕනි නෑනේ.. ,බන්ධනය, කියල ලඟදි ගහපු ෆිල්ම් එකක් තියෙනවා.. ඒකෙ අන්තිම හරිය නම් තාත්වික නෑ.. ඒ උනාට මේ හදි හූනියම් ගැන හොඳ අදහසක් ගන්න පුළුවන් එකක්.. ස්තුතියි පෝස්ට් එකට.

    කැමතියි

    • මෙහි විදානෙ මහත්තය ට මොනවත් අතුරු ආන්තරාවක් වී තිබුණෙ නැහැ. මෙහ දි කට්ටඩි මහතා පවසන්නාක් මෙන්ම එය අපූරු චරිතයක් ලෙස කරන කියන දේ ගමටම දකින්න ලැබුණා. විදානෙ මහතා ගැන ලිපි ගණනාවක් ලියා මිස යන්තම් හෝ හැඳින් වීමක් කිරිම අපහසුයි සුමිත්. ඔබේ කොමන්ටුවෙන් ලැබුණ හෝඩුවාව ඔස්සේ සොයමින් බන්ධනය ෆිල්ම් එකේ ට්‍රේලර් එකක් මේ දැන් බැලුවා. දැරැහැව ගැන මා සටහන් කරගෙන ඇති තොරතුරු සටහන් දැනට ළඟ නැති නිසාත් මතකයෙන් පමණක්ම මෙතන ලියන්නට නොසිතෙන නිසාත් තව ටික දවසක් පමා වෙිවි. සුමිත්ගේ පැමිණිම ලොකු සතුටක් හා දිරියක්.

      කැමතියි

  2. ඉතා රසවත්! ඒ වගේම අතීතයට ගියා. ඇත්ත, දැන් තෝත්තර කරන අය විතරක් නෙවෙයි, යක්ෂ,ප්‍රේත, පිශාච, කුම්භාණ්ඩ සේරමලාත් නැති වෙලා නේද?

    Liked by 1 person

    • ඔව් නිමල් ඔබ පවසන්නෙ සැබෑවක් යක්ෂ ප්‍රේත පිශාචයන් නැතිව යාම ගණන් ගතයුතුම නැහැ. එහෙත් එ් විශ්වාස හා ඇදහිලි නිසා සංවර්ධනය වූ සුන්දර කලා අංගයනුත් නැතිව යාමයි කණගාටුව නේද? නිමල් දිසානායක මහතාගේ පැමිණීම හා අදහස් දැක්වීම මට මහත් දිරියක්

      කැමතියි

  3. දැනට අවුරුදු පනහකට හෝ ඊටත් වැඩි කාලයකට පෙර දකුණු පළාතේදී දහ අට පාලිය, සන්නි යකුම, බලි තොවිල් වගේ නොයෙකුත් යාතුකර්ම හා ඒවායේ උපාංග වූ විදිය, පුරාලය, දරහැව, තටු, පිදේනි, පන්දම්, විලක්කු ආදිය දැක තිබුනත්, ඒවා දුටුවේ අපේ ළමා කාලයේදී නිසා ඒවා ගැන හරි අවබෝධයක් මට තිබුනේ නැහැ. ඔබේ ලිපි කියවීමෙන් ඒ සුන්දර ජීවිතය නැවත සිහිපත් වෙනවා පමණක් නොවෙයි ඒ දුටු දේ මොනවාදැයි දැන් වැටහෙනවා. ස්තුතියි ඔබේ මෙහෙවරට.

    Liked by 1 person

    • පහත රට සම්ප්‍රදායට අයත් කලා අංග කිසියම් මට්ටමකින්(සන්දර්ශන වලට සීමා වෙමින්) හෝ සංරක්ෂණය වන බව පෙනී යාම සතුටක්. එහෙත් සබරගමුවට අදාල බලිතොවිල් සහ නුටුම් සම්ප්‍රදායයන් තවම සෑහෙන මට්ටමකින් සංරක්ෂණය වී ඇති බවක් පෙනී යන්නේ නැහැ. සබරගමුවේ දේව ශාන්ති කර්ම දේවාල කපු පරම්පරාවල අය විසින් පුහුණු කරමින් පවත්වාගන එන වර්ගයක් මෙන්ම එයින් බැහැරව යක්ෂ, ප්‍රේත, වැනි අමනුෂ්‍යයන් පළවා හැරීම පිණිස වෙනමම බලිතොවිල් කාර පංගු ලෙසින් හැදින්වෙමින් පැමිනි බලි තොවිල් නැටුම් ගැයුම් මෙන්ම මූර්ති හා චිත්‍ර සම්ප්‍රදායයක්ද පැවතුනා. මෙවා ගැන විශ්ව විද්‍යාල වැනි ආයතනවල අවධානය තවම යොමුවුනා මදි බවක් හැඟි යනවා. මේවා පහතරට සම්ප්‍රදායයට ලක්ෂණ පෙන්වන බව පැහැදිලිව පෙනී යනවා. සමරසිංහ මහත්මාණනි. වැඩිහිටි පරම්පරා නැතිව යාමත් සමගම මේවාත් නැත්තටම නැතිව යමින් පැවතීම කණගාටු දායක තත්ත්වයක්.

      Liked by 1 person

  4. ඉස්සර ඔය මහසෝනා ගහල කියන කතාව නිතර අහන්න ලැබිල තියෙනවා. දැන් නම් කව්රුත් ඒවා ගැන කතා කරනවා ඇහිලා නෑ.. මම ගොඩක් විස්වාස කරන හොඳ ආධ්‍යාත්මික ජිවිතයක් සහ භාවනාවට යොමු වෙච්ච වයසක කෙනෙක් දවසක් කිව්වා එයා සමග ඔය මහසොහොන් නමින් හඳුන්වන බලවේගය දවසක් සම්බන්ද වෙලා භාවනාව සහ ආධ්‍යාත්මික දේ ගැන විමසුවා කියල… ඔහු ඒ දේවල් ගැන කතා කලේ බොහොම අඩුවෙන්.. කොටින් නමින් ඒ බලවේගය හඳුන්වන්න වත් කැමති වුනේ නෑ… මම අසා තියෙනවා නිතර භාවනා කරන අයට ඉහල මානසික මට්ටම් වලදී මෙවැනි බලවේග සමග සම්බන්ද වෙන්න පුළුවන් කියල.

    කැමතියි

  5. ඔව්. ඔව්.. ඔබේ කොමෙන්ටුව මෙතනට වටිනවා stroke, aneurism, heart attack ආදි ලෙසින් හඳුනාගෙන ඇත්තේ මෙවැනි හදිසි අසනීප තත්ව හා මරණයන් බව පෙනෙනවා. එකල සිටි අය මෙවැනි හදිසි තත්ත්වයන් තෙරුම් කළේ යක්ෂ දෝෂ ලෙසින්. මෙසේ වර්තමානයේ මෙවැනි තත්ත්වයන් තේරුම් කරන ආකාරය මගේ පොස්ටුවේ දී හිතා මතාම මග හැරියේ මෙවැනි අදහසක් එකතු වීමෙන් සාරවත් වේවායි යන පැතුම ඇතිව. ඒ නිසා ඔබේ කොමෙන්ටුව ද ලිපියට පවතින අඩුවක් සපුරා තිබෙනවා. pra jay ට ස්තුතියි

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.