යක්කුන්ගෙ කාලෙ 2

දේවාල ගංයායේ මති මතාන්තර 2 කොටස

(පසුගිය ලිපියේ ඉතිරි කොටස)

මහ කට්ටඩි  පුංචි දේකට හරි  පිටට යද්දි ගෙදරයි, වත්ත හීමාවයි ආරස්සා මන්තර වලින් බන්ධන කරල තමයි යන්නෙ. එහෙම කළාම  තොවිල් පොලේදි  තමන්  යකුන්ට කතා කළත්, මේකට එන්න බෑ.  

බොල්තුඹේ සමන් දේවාල පරිශ්‍රයෙන් ලබාගත් සේයාවකි

ඔහොම මාසයක් දෙකක් විතර ගියා. තිරිවානාකැටියෙ ගෙදරක ලොකු යස්ස දෝසයක්. කීප දෙනකුටම භයානක

විදිහට යකුන්  වැහිල. මහ තොවිලයක් කරන්න වෙලා. මේ වගේ ලොකු වැඩවලට මහකට්ටඩිත් ඕනමයි. ආරාධනා කරන්න අාපු අයගෙ දූත ලක්ෂණ බැලුවාම මහ බරපතල් කාරණයක් බව තේරුනා. ආපු අයත් එක්කම මහ කට්ටඩිත් විගහින්ම ගියා. කලබලේ හන්දම වෙනදා කරන ආරක්සා බන්ධනය  අමතක වෙලා ගිහිල්ල…..! තොවිල් පොලට ගිය තැනදි  වුනත් ඒක සිහි වුනේ නෑ.

දැන් ඉතින් ඔන්න තොවිලෙ නටනව. කීප දෙනෙක්ම සහායට හිටපු නිසා මාරුවෙන් මාරුවට මහ රෑ මජ්ජිම ජාමෙ වෙනකම්ම අතරක් නැතුවම තොවිලෙ නටාගන යනව. සෙනගත් මහ ගොඩක් ඇවිත්. තොවිලෙට  හදල තිබුණ දැවැන්ත යක් තොරණ සේරටම උඩින් පෙනෙනව. මහ කට්ටඩි මතුරමින් කවි කියමින් නටමින් අයිලෙ පේ කරන්න වුනා. මහ රෑ ජාමෙ වෙද්දි මහ හඬින් යක්කුන්ට අඬගහමින් නටන්න වුනා. ආතුරයන් ගෙන් කීප දෙනෙක්මත් යක්ෂයන් ආරූඪ වෙලා නටනව.

ගැටහැත්ත නම පටබැඳුන හැටි

ඔය අතරෙ මහ කට්ටඩිගෙ ගෙදර මහ අමුතු දෙයක් සිද්ධ වෙන්න වුනා. “අනේ නැන්දම්මේ මගේ ඔලුව දනවා, මොකද්ද ඇනිලා වගේ රිදෙනවා මොකද බලන්න….” කියාගන  කොලුව අඬාගෙන හාමිනේ ළඟට ආවා ව. හාමිනේත්  කොලුවගේ ඔලුව හොඳට බැලුව. “ඈ පැංචො තෝ අද දරට ගියා නේද? මේ බලපාන් මේක වෙලාසන කියන්න එපායැ. ඔලුවෙ කටුවක් ඇනිල නෙව. දඟලන්නෙ

ගැටහැත්ත ප්‍රදේශය – ගූගල් වෙතින් ලබාගත් සිතියමක රූපයකි

නැතුව හිටින් මං ඒක අදින්න” කියල හාමිනේ පුළුවන් වෙර දාල කටුව ඉහළට ඇද්ද. ඉතින් හිතාගන්න පුළුවන් ද වෙච්ච දේ. දැන් යකා නිදහස් වෙලා. කොලුවගෙ වෙස් මාරු උනා. හාමිනේට කෑ ගහ ගන්න වෙලාවක් වත් ඉතුරු වුනේ නෑ.   අර  කටුව උදුරගත්ත යකා  ඒ කටුවෙන්ම කුසේ පලල දරුව ගත්ත. ඕන්න එහෙනං මාත් ආවෝ……යි හූ තියාගන   ලේ පෙරන දරුවගෙ මළ කඳත් අතේ අරගනම තොරණට උඩින් තොවිල් පල මැද්දට පැන්න.  වෙලා තියන වින්නැහිය මහ කට්ටඩිට ඒ සැනෙන්ම තේරුනා.  තමන්ගෙ කරේ තිබුණ ආරස්සා නූල දෑතට අරන් මතුරමින්ම  යකා ළඟට පැන්න. ඌ දුවන්න වුනා අනෙක් අය දිහාට හැරිල “මේ ආතුරයින් බලාගනිවු. මම දැන් ගමනක් යනවා. එක බෙරකාරෙක් මා එක්ක වර” කියමින්  මතුරමින්ම “ඔහෙ හිටු මළ යකා” කිය කිය යකාව පන්නගෙන යන්න වුනා. මතුරන නූලෙ ගැටෙන් ගැටේ තද වෙද්දි යකා ටික ටික දුරුවල වුනත් බන්ධනේට අහු නොවී ඉස්සරහටම දුවන්න වුනා. එහෙම දුවද්දි මැතුරුම් ගැට 70 ක් සම්පූර්ණ වෙච්ච තැනේදි යකා අහුවුනා. ඌව එහෙමම බෝතලේකට දාල වහල. මුහුදට  ගිහින් දැම්මය කියනව.  අර ගැට 70 ව සම්පූර්ණ උන දිහාට එදා ඉඳල, ගැටහැත්තෑව කියන්න වුනා. කාලයක් යද්දි ඒක ගැටහැත්ත වුනා. අදත් ඔය  “ගැටහැත්ත” කියන්නෙ ඒ ඉසව්වට. යකාට ආය මේ කපේ දි නම් ආපහු එන්න  බැරිවෙන්න වැඩ කරල කට්ටඩි ආපහු ආව.

ඕන නැති වැඩ කරන්න ගියාම වෙන්නෙ මේ වගේ වින්නැහි තමයි.  යක්කු බැඳගන වැඩගන්න පුළුවන්  සාස්තරේ තිබිච්ච පොත් පත් පවා ආපහු ආව කට්ටඩි ගිනි තියාදැම්ම. පරම්පරාවෙ වෙන කෙනකුටවත් මේවගේ දේවල් ඉගෙන ගන්න දුන්නෙ නෑ. මොනව කළා වුනත් මහකට්ටඩිට තමන්ගෙ බාරියාවට පවුලටයි  වෙච්ච වින්නැහිය දරාගන්න බැරිවුනා. ඕන නැති වැඩට ගියාම අන්තිමෙදි වෙන්නෙ වින්නැහියක්ම තමයි. අපේ මහ කට්ටඩි ගුරුන්නාන්සෙ ඔය ගැනම හිතල පිස්සු වැටිල මළා කියලයි.

යක්කුන්ගෙ කාලය ආවම, අඩු ගානෙ ඒක ඉවර වෙනතුරුවත්, මොන හයිකාරය වුනත් පරෙස්සමට ඉන්න ඕන. ආගම දහමට අනුව ජීවත් වෙන්න ඕන.පින් දහම් කරමින් පින් බලාපොරොත්තුව ඉන්න අයට පින් දෙන්න ඔන. යක්කු පෙරේතයො වගේ අයගෙන් වැඩ ගන්න යන එක නුවණක් කාර වැඩක් නෙවෙයි. මේ අපේ ආතල මුත්තල කියා දුන්න දේවල්. 

“අපට ඔය කිව්වෙ පැරණි කතාවක් නේ. කට්ටඩි මහත්තයට දකින්න ලැබුණ යක්කු හෙම ඉන්නවාද?” අපි ප්‍රශ්න අහන්න ගත්ත

කට්ටඩි: මොකද නැත්තෙ දකින්න අහන්න හම්බ වෙච්ච වෙලාවල් තියනව.   ඒත් ඒවට බය වෙන අයට නං නම් මේ සාත්තරේ කරන්න බෑ.ඒ වගේම මේ විදානෙ මහත්තයා වගේ හිත හයිය උදව් කාරයො හිටින්නත් ඕන.

අපි: හිත හයිය අයයි නැති අයයි කියල දෙවර්ගයක් ඉන්නවද?

කට්ටඩි: ඉන්නව රාස්ස ගනේ අයට යක්කුත් එක්ක කරට කර ඉන්න පුවවන් දේව ගනේ අයට යක්කු වුනත් අවනතයි. මනුස්ස ගනේ අයට යි, ඉස්තතිරියාවන් ටයි තමා යක්ෂ පෙරේත දිස්ටි  නිතරම වැටෙන්නෙ

(ඉතිරි කොටස මී ළඟ ලිපියේ.)

මේ ලිපියේ භාවිත විශේෂ වදන් හා ව්‍යවහාර

  • අයිලෙ: – තොවිලේ තොරණ රංග භූමි සීමාව යන සියල්ලම අයිලෙ යනුවෙන් හඳුන්වන බව පෙනේ
  • ආතුරය: – අසනීප කරු හෙවත් රෝගියා
  • ආරක්ෂා බන්ධන: – ආරක්ෂාව පිණස ඇති කරනු ලබන බන්ධන හෙවත් බැමි
  • ආරක්ෂා නූල: – ආරක්ෂාව පිණිස පළඳින ජප කරන ලද නූල
  • තිරිවානාකැටිය: – රත්නපුරය ආසන්නයේ ඇති ගමකි
  • දූත ලක්ෂණ: – පණිවුඩ කරුගේ ඉරියව් හා හැසිරීම් මගින් පෙන්වන විශේෂිත ලක්ෂණ අනුව රෝගීන් පිළිබඳව ඇති කරගන්නා නිගමන මෙය උඩරට සමාජයේ වෙදකම්, ජ්‍යෝතිශ කටයුතු මෙන්ම යකැදුරු කම් වල දී ද පැවති පූර්ව විනිශ්චය ක්‍රමයක් බව පෙනේ. උදාහරණ වශයෙන් යම්  සර්ප දෂ්ටයක් පිළිබඳව පණිවුඩය ගෙන එන තැනැත්තා සිය පණිවුඩය පවසන අතර පයේ මහපටැඟිල්ලෙන් බිම හාරන අන්දමේ අබිනයක් දක්නට ලැබුණොත් රෝගියා මරණාසන්න බවද එය බේරා ගැනිමට මේ වෙදමහතාට නොහැකි බවද තේරුම් ගතයුතු බවද කියවේ.
  • මජ්ජිම ජාමෙ: – මහ රෑ 12.00ට ආසන්න කාලය මහ රෑ ජාමෙ යනුවෙන් ද මෙයටම ව්‍යාවහාර වෙයි.
  • යකුන් වැහීම: – යක්ෂයන් ආරූඪ වීම හෙවත් අවසිහියෙන් සිටින තත්ත්වය
  • රාස්ස ගණේ දේව ගණේ මනුස්ස ගණේ: – මෙය පුද්ගල පෞරුෂය වර්ග කිරීමේ ක්‍රමයක් බව විස්තර අනුව පෙනීයයි. ඉිදිරි ලිපිවල වැඩි විස්තර
  • වින්නැහිය: – විනාශය

 

 

16 thoughts on “යක්කුන්ගෙ කාලෙ 2

    • පවුලක් හෝ පුද්ගලයකු වෙනුවෙන් කෙරෙන තොවිලයක් මෑතක දි නම් මටත් දැක ගන්න හැකිවුනේ නැහැ. අදාල ශිල්පීීන් ගෙන්වා තොවිලයක් කළ හැකි වුනත් එහි නියම ජිව ගුණය දකින්න ලැබෙන්නෙ නැහැ. නැරඹීම හා හැදෑරිම පිණිස සංවිධානය කර පැවැත් වූ එවැනි තොවිලයක් විකාර ස්වරූපයක් ගත්තා. පොදුවේ ගම් පළාත වෙනුවෙන් නටන තොවිලයක අංගද ඇති දේව නැටුම් අවස්ථාවල් නම් උග්ගල් අලුත්නුවරත් යාබද ගම් වලත් වාර්ෂිකව දැනුත් තිබෙනවා. වසර අග කාලයක (නොවැම්බර් දෙසැම්බර් අතර) ලංකාවට පැමිණිය හොත් බලන්නට රස විඳින්නට අවස්ථාව ලැබිය හැකියි.

      කැමතියි

  1. ඔය ගණ කතාව මාත් අහලා තියෙනවා. ඒ වගේම මනුස්ස ගණයේ අයට විතරයි හොල්මන් අවතාර පේන්නෙ කියලා කතාවකුත් අහලා තියෙනවා.
    මං ජීවිතේටම එක තොවිලයක් බලන්න ගියා පුංචි කාලෙ. ඒක එළියෙ තිබුනු මෙගා සයිස් එකක් නෙවේ. ගෙදරක් ඇතුලෙ තිබුනු මධ්‍යම ප්‍රමාණයේ එකක්. අනේ ඉතින්, අර කණ් අඩි පැලෙන්න බෙර ගහන අස්සෙ, ඉස්සරහින්ම වාඩිවෙලා හිටිය මට, රෑ වෙනකොට හොඳටම නින්ද ගිහිල්ලනෙ. හරියකට බලාගන්න බැරි වුනා.

    කැමතියි

    • ඒක තමා අමාරුම කාරිය තොවිලයක් එළි වෙනතුරුම නටනවා. අපරාදෙ කොහොම හරි ඇහැරගෙන හිටියනම් එළිවෙන ජාමෙට හොඳ හොඳ සෙල්ලම් බලන්න තබුණා. ඒක නිකමට ඇති වුන කියමනක් නොවෙයි. ඇත්තටම තොවිලයක රසවත්ම හරිය එන්නෙ රාත්‍රී 2.00 පමණ සිටයි. ඔබ පවසන්නා සේ මනුස්ස ගණය තියන අයට තමා යක්කු වැහෙන බව මේ අයත් කියන්නෙ.

      කැමතියි

  2. දැන් නාගරික ප‍්‍රදේශවල විශේෂයෙන් කොළඹ හා තදාසන්න ප‍්‍රදේශ වල තොවිල් කෙරෙන්නේ නෑ කියලා කිව්වාට තුමං හන්දි වල තොවිල් තටු දකින්න නම් ලැබෙනවා ඔනෑ තරම්. ඒ කියන්නේ බෙර ගහන්නේ නැතිව හොර රහසේ ගෙවල් ඇතුලේ ඔය වැඩ කෙරෙනවා.

    Liked by 1 person

  3. ගුණසිංහ මහත්තය කියවල තියෙනවද හේ. මාකස් ප්‍රනාන්දු ගේ පොතක් තියෙනවා කොග්ගල නිළමේ කියල.. භූත/ අභූත කතන්දර ගැන මම සෑහෙන්න ඉගෙන ගත්තා ඒ පොතෙන්. මම හෙනම ඉන්ටරස්ටින් සබ්ජෙක්ට් එකක් මේ.. පහුගිය ටිකේ නිදහසක් තිබ්බේ නෑ කියවන්න.. බොහොම ස්තුතියි පෝස්ට් එකට. 🙂

    Liked by 2 people

    • ඒ පොත ගැන මටත් යාන්තමට මතකයක් තියෙනවා. කියවන්න ඇත්තෙ කුඩාම කාලයෙදි වෙන්න ඕන දැන් නම් ඒ ගැන මතකය ගිලිහී ගිහින් වගේ. මේක බොහොම කුතුහලය දනවන සබ්ජෙක්ට් එකක් නිසා කුඩා කල සිටම ආසාවෙන් විමසීම සෙවීම පුරුද්දක්ව තිබුණා. කාර්ය බහුලතාවය මැද්දෙ වුනත් කල්‍යාණ මිත්‍රගේ පැමිණීමත් ලොකු ධෛර්යයක් ගෙනෙනවා.

      කැමතියි

  4. ගැටහැත්ත කිට්ටුවම තියෙන තොරණගොඩ (තොරණකඩ) නම ඇතුළු අහළ පහළ තවත් ස්ථාන නාම කිහිපයක්ම ඔය කතාවේ සඳහන් සිද්ධියට සම්බන්ධයි. මට දැන් මුළු කතාවම හරියටම මතක නැහැ. ඔබ දන්නවා ඇති කියා හිතනවා.

    Liked by 2 people

    • දිග වැඩි වෙන නිසා බොහෝ විස්තර මග හරින්න වුනා ඉකොනොමැට්ටා.මගේ මතකය අනුව එදා කට්ටඩි පැවසූ කතාවේ වඩා හොඳින් මතකයේ ඇති විස්තර සාරාංශ කරන්නට තැත් කිරිම නිසා වැදගත්ම කොටස් ගීලිහී තිබෙන්නට හැකිය. මේ ජනකතාව ප්‍රදේශය පුරම ප්‍රචලිත එකක් නිසා දන්නා අයට ඉතිරි කොටස් මෙතන කොමෙන්ටු මගින් හෝ වෙනමම පොස්ටු හැටියට ලියන්නට ඇරයුම් කරමු. ඔබ පැමිණ සටහනක් තැබීම මට ලොකු දිරියක්. ඉකොනොමැට්ටාට ස්තුතියි

      කැමතියි

  5. අපි පොඩි කාලේ අපේ ගෙදර ඔය වගේ තොවිල් නැටුවා… අපේ තාත්තට අසනීප වෙන්න ගත්ත නිසාද කොහෙද… මම ගොඩක් පොඩියි.. හැබැයි මට හොඳට මතකයි එක සැරයක් පාන්දර වගේ අපේ ගෙවල් පිටි පස්සේ තිබ්බ උස කොස් ගහකද කොහෙද අත්තක් කඩාගෙන වැටෙනවා.. ඔය පාන්දර යකා එළවනකොට වෙච්ච දෙයක් කියල තමා මට මතක.. මම හිතන්නේ ඔය අසුව දශකේ අග හෝ 90 මුල වගේ…. තාත්තාගේ හිතවත් කට්ටඩි කෙනෙක් හිටියා… ඒ දවස් වල මට මෙනින්ජයිටිස් හැදිලා අසනීප වෙලා ඉන්න කාලේ.. දෙහි කපන, යන්ත්‍ර දාන වැඩ එහෙම ඒ කට්ටඩි මාම කරනවා මතකයි…දැන් නම් තොවිලයක් දැකපු කාලයක් මතක නෑ…

    Liked by 2 people

    • ඔව් කණ්ඩා මෙය සබරගමුව පුරාම ප්‍රචලිත ජනකතාවක්. මේ මා කතා කර ඇති බොහෝ කට්ටඩි මහත්වරුන් තමන්ගේ ආදි ගුරුවරයාලෙස සලකන්නේ මෙහි කියවෙන මහ කට්ටඩිමයි. පැමිණි බව සටහන් උනාම සිතට තනිකමක් ඇති නොවී ලොකු පෙළඹීමක් ඇති වෙනවා. කණ්ඩාට ස්තුතියි

      Liked by 1 person

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.