සරුසාර සුබ නව වසරක් වේවා 2019

සැමටම සරුසාර සුබ නව වසරක්වේවා!

මෙතනට පැමිණි සැමටමත් මේ ගමටත් “අහල ගංහතටත්, දේශ දීපංකරේටත්” සරුසාර සුබ නව වසරක් වේවා! 2019 වෙනුවෙන් සුබ පැතුම්!  නව වසරක් එළඹෙන හැම වාරයකම “උග්ගල් අලුත්නුවර” නම් වූ පුරාණ දේවාල ගම්මානයේ  අපූරු ව්‍යවහාර හා මේ හා බැඳුන සිරිත් විරිත් සමූහය සිහියට නැගෙයි. නවීකරණය පමා කරගනිමින් පැරණි සිරිත් රැකගත් මේ දේවාල ගම්මානයේ පහත ඇති අපූරු තොරතුරු ස්වල්පය කියවා බැලීම ඔබටත් නවමු අත්දැකීමක් වේවි.

පූර්ව චාරිත්‍ර ..

ඉල්මහ කාත්තිය

පත්තිනි දේවාලය ඉදිරි පස අංගනයේ සිටුවා තිබූ කප් ගස 2009

අවුරුදු පිළිගැනීමට පෙරාතුව ඉටු කෙරෙන වැදගත්ම චාරිත්‍රය වන්නේ මෙයයි. පුරාණ දැනමුත්තන් පෙන්වා දෙන ඇදහිලි හා විශ්වාස අනුව “බිනර මහේ දෙවියන් දේව සමාගමට වඩිනව. ඊට පස්සෙ සූනියම්, කඩවර කියන “අඩ දෙවිවරුන්”  ගමට රටට වින කරන යක්ෂයනුත් අරක් ගන්නව. යක්ෂ මාස වල කාලෙ ඉවර වෙන්න ඉල්මාසෙ පහුවෙන්න ඕන.  ඉතින් යකුන්ව ඉල්මහේදී පළවා හරින්න ඕන. ඒ වෙනුවෙන් දේවාල මන්දිරය වටේ  උඩ මළුවේ දේවාභරණ වැඩමවමින් දින පහක් පුරා  පෙරහර චාරිත්‍ර පැවැත්වෙනව”¹ මේ පෙරහර ඇසළ මස පැවැත්වෙන කුඹල් පෙරහරට සම බව පෙනී යයි. විශේෂත්වයක් ද වෙයි.  කාත්ති පෙරහර නිම වූ දින රාත්‍රී චෛත්‍ය මළුව, බෝධි මළුව හා විහාර මළුව මෙන්ම දේවාලය තුළ ද පහන් දල්වා විශේෂ පහන් පූජාවක් පැවැත් වීමය. එය ඉටු කෙරෙන්නේ රාජකාරි ඇත්තන් වීම ද විශේෂත්වයකි. මෙහි අරමුණ වින කළ යකුන් පළවා හැර  දේව සමාගමට වැඩ සිටින  දෙවියන්ට නැවත මනුලොවට බැල්ම හෙලමින් වඩින ලෙස ආරාධනා කිරීම බව කියවේ.  මෙවර ද ඉල්මහ කාත්ති පෙරහර මංගල්‍ය්ය ද නිසි පරිදි පැවැත් වී ඇත.මේ විශේෂ පහන් පූජාවෙන් අනතුරුව පත්තිනි දේවාල ඉදිරිපස අංගනයේ කප්සිටුවීමක් සිදුවෙයි. එය රහසිගතව කෙරෙන්නකි.

ඉල්මහ කාත්තිය සම්බන්ධ විස්තර පැවසූ අත්තනායක මොහොට්ටාල නිලමේ වරයකුව සිටි ඒ.එම්.එස්.එම්. කරුණාරත්න බණ්ඩාර මහතා

 

 

 

 

 

 

නව වසර පිළිගැනීම හා සුබපැතීම

පහන් මඩුව

පහන් මඩුව පිළිබඳ විස්තර කරන සාමවිනිසුරු පාරම්පරික් ජ්‍යෝතිශඥ ඒ.ජී. අල්විස් මහතා- දේවාල ගණිත පංගුව

  පසු දා පහන් වන විට මේ කප් ගස ගම්මානයට  දැකිය හැකියි. එය නව වසර උදාවීමට පෙරාතුව, ආසන්න කෙම්මුර දිනයක දී “පහන් මඩු ශාන්ති කර්මය” සිදු කෙරෙන බවට  පත්තිනි දේව මෑණියන් ඉදිරියේ පොරොන්දු විමකි. එ් මගින් පත්තිනි දේව මාතා බල මහිමය පිළිබඳ තොරතුරු සම්බන්ධ කතා පුවත් විසිතුරු ලෙස ගායනා කරමින් මෙන්ම  නාට්‍යාකාරයෙන් රඟ දක්වමින් එතුමියගේ විශිෂ්ටත්වය හා බල මහිමය ලොවට කියා පාන බවට පොරොන්දු වන  භාර වීමකි. හෙවත් සහතික කර කියා පෑමකි².

මෙවර පහන් මඩු උත්සවය දෙසැම්බර් මස 26 හා 27 යන දෙදින සංවිධානය වී පැවැත්වී ඇත. එහි දි යකුන් පළවා හැර රෝබිය තුරන් කරදීම වෙනුවෙන් හා සෞභාග්‍යය බිළිඳුන්ග් ආරක්ෂාව ගැබිණි මාතාවන්ට සෙත් ශාන්තිය සිදුවන අතර පත්තිනි අනුහසින් දෙවොල් යකුන්ට දේවාත්මය ලබා දෙමින් රටට ගොඩ බසින්නට ද ඉඩ සලසයි. මෙහි දී පත්තිනි දේව පුරාවෘතය විචිත්‍ර වීදි නාට්‍යයක් බවට පත්වෙයි.

රාත්‍රියක් පුරා පැවැතවෙන පහන් මඩුවේ අවස්ථා තුනක්  – 2009 දෙසැම්බර් 31 පහන් මඩු උළෙලින්

පහන් මඩුව අවසන් වන්නේ උදාවන නව වසර වෙනුවෙන් “මේ ගමටත් අහළ ගං හතටත්  දේස දීපංකරේටත්  මේ ලබන්නාවූ  නව වසරේ සෙත්වේවා! සෑම සියලු දෙනාගේම අට අනූවක් රෝග බිය වඳුරු වසංගත පත්තිනි මෑණියන්ගේ අනුහසින් දුරුවේවා”යි යදිමිනි. 

ජනවාරි පළමු වනදා

උග්ගල් අලුත්නුවර නව පරපුර  තම  සුන්දර ගම්මානයේ චිරාගත සම්ප්‍රදායයන් රැක ගැනීමට පෙරමුණ ගත් පිරිසක්ව සිටිති. ඒ පමණක් නොව තම උරුමයන්ට  කැලලක් නොවී නවාංග එකතු කරමින් හැඩ ගැන්වීමටද සමත්ව සිටිති. මෑත වසර කීපයක සිටම නව වසර එළඹෙද්දී පොල්තෙල් පහනින් පරිශ්‍රය ආලෝකමත් කීරීම එක්ව ඇත. එය වසරින් වසර වර්ධනය වෙමින් මෙවර   ජනවාරි පළමුවන දින මේ ශුද්ධ භූමිය පහන් දල්වා ඒකාලෝක කිරීම හා බෝධිපූජා ආශීර්වාද පින්කමක්ද සංවිධානය වන බව වාර්තා වෙයි. එය පෙරටත් වඩා විචිත්‍ර අයුරින් සංවිධානය වන්නකි.  දේවාල මළුව,  මළුවේ අරක්ෂක ප්‍රාකාර සහ මහ පෙරහර ආරම්භ චාරිත්‍ර කෙරෙන දේව මන්දිර ඉදිරිපිට අංගනය  පොල්තෙල් පහනින් ආලෝක කෙරෙන බවත්, මෙවර ගමේ  මෙන්ම සෙසු  සියලු දෙනාගේම සහභාගීත්වය ගනිමින් පහන් ලක්ෂයකට වැඩි ගණනක් දල්වා මේ චාරිත්‍රය වඩා වඩා ඔප ගැන් වෙමින්  සංවිධානය වන බව වැඩි දුරටත් වාර්තාවේ. මෙහි ද අරමුණ නව වසර පිළිගනිමින් තම ගමට මෙන්ම රටටත් මුළු ලොවටත් සෙත් පැතීමය.

මේ සියලු අංශ සමග මව්බිමෙන් බැහැරව සිටින හෙයින් ඒ හා සිතෙන්  එක්වෙමින් මගේ ද සුබ පැතුම්  කියවන ඔබ ඇතුළු මුළු ලොවටම පිළිගන්වමි.

————————————————————————————————

විශේෂ වදන් හා ව්‍යවහාර

  1. අඩ දෙවි :- අර්ධ දෙවි යන්නමය. සූනියම් කඩවර වැනි අය පුර පක්ෂයේ දෙවියන් සේ හැසිරෙන බවත් එකල මිනිසුන්ට පිහිට වන බවත් අව පක්ෂයේ දිනවල යක්ෂයන් වන බවත් විශ්වාස කෙරෙති.
  2. අරක් ගැනීම :– ආරූඩ වීම  දේවාලයට හා ගමට පැමිණ සිටීම
  3. අහල ගං හත:- ආසන්න ගම්මාන හත(මේ ගම්මාන පිහිටීම හෝ ඒ කවරේද යන විවරණයන් ඉදිරි ලිපිවල)
  4. ඉල් මහ:- දළ වශයෙන් නොවෙම්බර් මාසයේ මාසෙ පෝය දිනෙන් පසුව ඊ ළඟ මාසෙ පෝය ලබන දින දක්වා ඇති කාලය සැලකේ
  5. කප් ගහ:- යම් කිසිවක් කරන බවට දෙවියන්ට පොරොන්දු වෙමින් ඉදි කරනු ලබන ඇටවුම – රූපය බලන්න – වැඩි විස්තර ඉදිරි ලිපිවල
  6. කාත්ති මංගල්‍යය:-එක් වසරක දී අලුත් සහල් – සිංහල අවුරුදු – ඇසළ පෙරහර – ඉල්මහ යනුවෙන් සතර මංගල්‍යයක් පැවැත්වේ. ඒ අනුව මෙයින් අදහස් කර ඇත්තේ කාර්තුව හෙවත් වසරකින් කාල යන්න විය හැකියි.
  7. දෙවොල් යකුන්:– මේ අයට දිවයිනට ගොඩ බැසීමට විෂ්ණු කතරගම, යන දෙවි වරුන් අවසර දී නැත. ඒ ඔවුන් යක්ෂයන් බැවිනි. පත්තිනි දෙවියන් ඉදිරියේ කණනලව් කර තමන් දෙවිවරුන් සේ හැසිරෙන බවට පොරොන්දු වෙමින් ලංකාවට ගොඩ බැසීමට අවසර ලබාගත්හ., මේ යක්ෂයන් දෙවියන් බවට පත් කරන ලද්දේ පත්තිනි මෑණියන් බව පහන් මඩු ගායනා අනුව කියවෙයි.
  8. දේව සමාගම:- නිකිනි හෙවත් අගොස්තු මාසයෙන් පසුව දෙවියන් දිව්‍ය ලෝකයට වඩිති. එහි දී දේව සමාගමේ කාලය ගත කරන  බැවින් මනුලොවට බැල්ම හෙලීමට අවසරයක් නොලබති. . එහෙත් මේ කාලය තුළ දේවාලය හා තම බැතිමත් ජනතාව තම ප්‍රධාන සෙන්පතියන්ට භාර කෙරෙති. ඒ අය වන්නේ සූනියම් හා කඩවර යන අර්ධ දෙව් වරුන්ය. ඔවුන් යටතේ සිටින අනෙක් අය කිසිවකුට අර්ධ දේවත්වය හෝ නොමැත. එහෙයින් ඔව්න් යකුන්ම වෙති. (විස්තර පසු ලිපිවල)
  9. දේශ දීපංකරේ:- මෙයින් අදහස් කරන ලද්දේ දේශය හොවත් රට බවත් දීපංකරේ යනුවෙන් ලොව අන් සියලු රටවල් බවත් පෙනේ
  10. පහන් මඩුව:- මෙය පහන් දැල්වීමේ මඩුව හා පහන් වනතුරු පවත්වන යන අදහස පැන නගී. ගම් මඩුව කෙසේ වෙතත් මෙහි පස්තෙල් සහිත පහනක් දේව සංහිඳය අසල නිරන්තරවම දරල්වෙන අතර දේවාභරණ වදියේ  වැඩම වද්දී එම මාර්ගය දෙපස බැතිමතුන් පහන් දල්වති. මේ සදහා  ඖෂධීය තෙල් වර්ග නැතහොත් අවම වශයෙන් පොල් තෙල් භාවිත කළ යුතු බව කියවේ .
  11. බිනර මහ:- ඉහත ඉල් මාසයට අදාල විස්තර මෙනි. දළ වශයෙන් අගොස්තු මාසයට මෙය යෙදේ.
  12. භාරවීම/බාරවීම:- පොරොන්දු වීම යන්න මෙයින් අදහස් වෙයි
  13. යක්ෂ මාස:- යක්ෂයන්ට වෙන් කළ මාස බිනර මාසයෙන් ආරම්භව ඉල් මහ අවසානයෙන් කෙලවර වන කාලයයි
  14. වින කරන:- අයහපත සලසන යන අදහස.

 

—————————————————————————————————————————–

1. ඒ.එම්.එස්.එම්. කරුණාරත්න බණ්ඩාර (අත්තනායක මොහොට්ටාල නිලමේ)  සාකච්ඡාව – 2011 දෙසැම්බර් මස එම නිවසේදී.

2. පපාරම්පරික කීර්තිමත් ජ්‍යෝතිශඥයකුව සිටි ඒ. ජී. අල්විස් ලේකම් මහතා – දේවාල ගණිත පංගුව- 2015 ජුනි මාසය එම නිවසේ දී

 

14 thoughts on “සරුසාර සුබ නව වසරක් වේවා 2019

  1. බොහොම අපූරැ විස්තරයක් කියවන හැම ලිපියකින්ම අලුත් දෙයක් ඉගෙන ගන්නව.

    ඔබතුමා ඇතුළු පවුලේ සැමටම සුභ අලුත් අවුරැද්දක් පතනව !

    Liked by 1 person

කොළඹ ගමයා වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.