පුරාණයේ පැවති පෙරහර පිළිබඳ වෙනත් සාක්ෂි

බෝගන්ධන ගණින්නාන්සේ ගේ ලේඛනය

උග්ගල් අලුත්නුවර පෙරහර ඓතිහාසිකද? 2 කොටස

මේ වසරේ ද (2018) ඔක්තෝබර් 10 දින සිට 25 වන දින දක්වා දින 15 ක්ම උග්ගල් අලුත්නුවර  පෙරහර ඉතා සාරවත්ව තිබුණා.
මේ පවත්වන්නෙ   428 වන අවුරුද්දේ පෙරහර  වතාවත් බව  කලින් ලිපියේ අනුමාන කළා නේ! ඒ පුරාවෘතය පැරණි  පුස් කොල ලියවිල්ලකින් ද  කියවන්ට හැකි  බවත් පැවසුණා නේ!!  එය මහනුවර සමයේ සිංහල භාෂාව හා ඒ යුගයේ ශෛලියට සමාන නිසා   පුරණ ලිපියක් සේ ගත හැකි නමුදු  එය  “තුඩපතක්” හෝ “සන්නසක්”  වැනි වඩා පිළිගත් පැරණි ලිපි ගණයකට අයත් එකක් නොවෙයි.   ඉතින්  මෙහි ආරම්භය වගේම වසරක් පාසා පැවතෙමින් ආ බව වඩා   නිවැරදිව තහවුරු  කර ගන්න නම්   තවත් සාක්ෂි සොයා ගන්න සිදු වෙනවා.

පාරම්පරික හේවිසි කණ්ඩායමෙන් අලංකෘතව දේවාභරණ වැඩමවන අවස්ථාව- උග්ගල් අලුතුනුවර -2013 පෙරහර අවස්ථාවකිනි

 

මේ පෙරහර පුරාණයෙත් පෙරහර පැවති බවට හොඩුවාවක් තවත්  පැරණි ලේඛනයක්  මගින් දක්නට ලැබෙනවා. එය  පුරාණ තුඩපතක් විම නිසා වඩා ප්‍රබල සාක්ෂියක් සේ සලකන්නත් පුළුවන්. දැනට අභාවයට ගොස් තිබෙන, ඒත්  පුරාණයේ බැබලුන පුරාණ විහාරයක නටබුන් සොරගුණයට කිට්ටුව තිබෙනවා. එය බෝගන්ධන විහාරය සේ හැඳින් වෙනවා. මේ බෝගන්ධන විහාරයේ වැඩ සිටි ගණින්නාන්සේ කෙනෙකු විසින් ලියන ලද තුඩපත සොරගුණු දේවාලය ගොඩනැගීම පිළිබඳ විස්තරයක්. එත්  ඒ අතරම එහි උග්ගල් අලුත්නුවර ගැන ද කියවෙනවා. එය විමසා බැලීමෙන් උග්ගල් අලුත්නුවර පෙරහර පුරාණයේ සිටම පවතින්නක් බව නැවතත්  පැහැදිලි වෙන බව කව හැකියි. [i]   තුඩ පතෙන්  උපුටාගත් පහත  කොටස කියවා  බලන්න.

“………..ෂන්මුඛ දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේට පුදවා යින් පසු අළුත්නුවර දේවාලේ  අඳ ඔතු දී අවුරුදු කීපයක් පසුවෙන තුරා  එම අළුත්නුවර දේවාලෙට කදමල්ල ගෙන්නාගණ හොරගුණේ ඇත්තො ගිය ගමනක දී ඒ දේවාලෙ ඇත්තො කරපු අවනඹුවකට පිටත්ව ඇවිදින් ශකවර්ෂ එක්වා දහස් පන්සිය හතලිස් තුනක් වූ වෙෂඟ පුර සතවක් නම් තිථිය ලත් බ්‍රහස්පතින්දා පුසේ නැකතින් දේවාලෙට කප් හිඳුවා දෙමාල් ගෙය ඇතුළුව෴……..”

පූජ්‍ය නාවුල්ලේ ධම්මානන්ද හිිමිපාණන් විසින් සංගෘහිත ග්‍රන්ථය 1942- තුඩපත මෙහි උපුටා දක්වා ඇත. තවත් පිටපතක් සොරගුණය වීදිය වලව්වේ තිබ හමුව මහචාර්ය
පුංචිබණ්ඩාර සන්නස්ගල ශූරීන් විසින් සිය සොරගුණු දේවාල පුවතේ උපුටා දක්වා ඇත.

 

මෙහි කියවෙන අන්දමට සොරගුණේ ඇත්තන් විසින්  අඳ ඔතු සහිතව  කදමල්ලත් රැගෙන වසරක් පාසා උග්ගල් අලුත්නුවරට පැමිණීමේ සිරිතක් තිබී ඇත. එසේ පැමිණි අවස්ථාවක සොරගුණයේ ඇත්තන්ට උග්ගල් අලුත්නුවර ඇත්තන් විසින් අවනම්බු කර ඇත.ඒ නිසා තමන්ට දෙවියන් වැඳ ගැනීමට සොරගුණයේ වෙනමම දේවාලයක් ඉදිකරන්නට ආරම්භ කර ඇත්තේ ශක වර්ෂ 1543 දීය. එනම් ක්‍රි.ව. 1621 දීය.

මේ අනුව 1621 ටත් පෙර සිටම උග්ගල් අලුත්නුවර පෙරහර උත්සවය පැවති බවත් එය ඌව පළාතේ ද ප්‍රසිද්ධව පැවති කීර්තිමත් දේව පූජෝත්සවයක් බවත් පැහැදිලි වෙයි.

පුරාණයේ රජු විසින් මේ දේවාලයට වෙන්කර  පුදා  ඇති “පිදවිලි ගම්” රාශියකි. ඒවායින්  පෙරහර උත්සවය හා අනෙක් උත්සව පැවැත්වෙන අවස්ථාවලත් තම ප්‍රදේශයේ නිෂ්පාදිත  දෑ අඩංගු  කද මල්ලක් බැඳ ගෙන ඒම වැඩවසම් සමාජ සංවිධානය අනුව විහාර දේවාල ගම්වලට නියමව තිබිණි. [iii]

සොරගුණය කතරගම් දේවාලය පමණක් නොව අම්මඩුව කතරගම් දේවාලය  ගොඩ නගා ඇත්තේ ද උග්ගල් අලුත්නුවර පෙරහරේ දෙවියන් වඳින්නට ගිය විට ඒ ඇත්තන්ට සිදුවූ ආරවුල් නිසා බව එම ඇත්තන් අතර ද පවතින පුරා කතාවක පැවසෙනවා.  පුරාණයේ කෙසේ වුවද වර්තමානයේ මේ ගම්වල වැසියන් අතර කිසිදු තරහවීමක් හෝ  නොහොඳ නෝක්කඩුවක් දක්නට නැත. ඒ වෙනුවට බොහෝ අය අතර අද දක්නට ඇත්තේ නෑදෑකමින් බැඳුන සම්බන්ධතා සමූහයකි. ඔවුනොවුන් මේ ගම්මානවල පෙරහර උත්සව වෙත ගොස් දෙවියන් නැමද පෙරහර නැරඹීම ද කරති.

උග්ගල් අලුත්නුවර පෙරහර ගමන් ගන්නා වීදි සතර කි. එක් එක් වීදියට  ආවේනික වන හේවිසි නාද තාල රටා හතරකින්  යුතුව පෙරහර ගමන හැඩ වෙන අන්දම දැනුදු දැකිය හැකියි. මේ වීදි සතර  ඈතින් පිහිටි  පිදවිලි ගම්මාන වලින් පැමිණෙන ඇත්තන්ට වෙන් කර තිබුණ බවත්; සෙරගුණ වීදිය, අම්මුඩුව වීදිය  වශයෙන් එකල මෙහි  වීදි දෙකක් වෙන් කර තිබුණ බව පැරැන්නන් අතර ඇති  පුරාකතාවක කියවෙනවා. එහෙත් වර්තමානයේ මේවා  නිශ්චිතව හඳුන්වා පෙන්වා දීමට හැකි අයකු හමු වී නැත.  දැන් වීදි නම් කෙරෙන්නේ 1.කොට වීදිය 2.කොස් උරුප්ප වීදිය, 3. දික් වීදිය( උඩ වීදිය)  4. පහල වීදිය(දේවාල වීදිය)  ලෙසිනි.

1818 උඩරට මහ කැරැල්ල හෙවත්  පළමු ජාතික නිදහස් අරගලය නිම වූ වහාම  සටන් පැවති ප්‍රදේශයේ සංචාරයේ යෙදුන  ජොන් ඩේවිට දක්නට ලැබුණ විස්තර වලින් 1919 මාර්තු මාසයේ උග්ගල් අලුත්නුවර දේවාලයේ ආගමික වතාවත් ඉටුවෙමින් පැවති බව වාර්තා වෙයි.[iv]

ක්‍රි.ව. 1870 අංක 4 දරන විහාර දේවාලගම් ආඥාපනත යටතේ සකස් කර ඇති ලේඛනයේ දැක්වෙන විස්තර අනුව ද පෙරහර වතාවත් සෙසු දේව පූජාද නිසි පරිදි වසරක් පාසා පැවති බව පැහැදිලි වෙයි. ඉංග්‍රීසි පාලනය යටතේ ගතවුන මේ කාලය මෙරට සංස්කෘතිය හා ආගමික ඇදහිලි සම්බන්ධව  ඉතා දුෂ්කර සමයක් විය. එසේවුව ද  පෙරහර සහ මෙහි උත්සව සම්බන්ධ විස්තර කොමසාරිස් ලේඛනයේ ඉතා පැහැදිලිව සටහන්ව ඇත්තේ ඒවා එු් වනවිටත් නිසිසේ පැවති හෙයින් බව නිසැකය. මෙහි රාජකාරි පංගු වෙන්කර දැක්වෙන කොටස් වල ඒ ඒ රාජකාරි පංගුව භුක්ති විඳින අයගේ නම් දැක්වෙන අතර ඒ ඉඩම් පංගු භුක්ති විඳීම පිණිස ඉටු කළ යුතු දේවාල රාජකාරි ද එක් තීරුවක මනාව සටහන්ව ඇත්තේ ය. එහි පෙරහර උත්සවය හා එහි වතාවත් ගැනද නිරන්තරව සඳහන් වෙයි.[v].

මේ විස්තර අනුව  දේවාල ලේකම් මිටියේ පෙරහරේ ආරම්භය හා ඓතිහාසිකත්වය සම්බන්ධව ඇති පුවත මෙන්ම වැසියන් අතර පවතින පුරාවෘතය ද හුදු ප්‍රලාපයක් සේ බැහැර කරන්නට  නොහැකිය.

තවත් කොටසක් ඉදිරි ලිපිවලට

 

විශේෂ වචන හා ව්‍යවහාර

  1. අඳ ඔතු – භුක්ති විඳින ඉඩම් වෙනුවෙන් ගෙවනු ලබන කුලියයි. මෙය නිපදවන අස්වැන්න කොටසක් විය.
  2. අම්මඩුව දේවාලය – උග්ගල් අලුත්නුවර මෙන්ම තවත් කතරගම දේවාලයක් ඉදි කරන ලද පුරාණ දේවාලයකි. මෙය වර්තමාන වැළිගෙපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අම්මඩුව ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ පිහිටි පූජනීය සිද්ධස්ථානයකි.
  3. ආරවුල – එකිනෙකා අතර ඇති වූ විරසක වීමක්. මේවා පුරා කතා වශයෙන් මේ ගම්මාන තුනේම දැනුදු අසන්නට හැකි වුවද ගම්මාන තුන අතර මනා යහළු මිත්‍ර සහ නෑදෑ සබඳතා මිස තරහක් හෝ නොහොඳ නෝක්කඩුවක් රහසින් හෝ ඇති බවක් දැකිය නොහැකියි.
  4. කදමල්ල – ඉහත ලිපිය තුළ විස්තරව ඇත. විහාරදේවාලගම් පනත යටතේ ඇති ලේඛනයේද කද මළු ගැන කියවෙයි. සාමාන්‍ය ව්‍යවහාරය යටතේ “කද” යනුවෙන් හැඳින් වෙන්නේද මෙයමය.
  5. තුඩපත – තුඩපතක් යනු  ලියන ලද තැනැත්තා ගේ නම සඳහන් වන පුරාණ ලේඛන වර්ගයකි[vi]. එවැන්නක් බොහෝ විට හිමි නමක්/(ගණින්නාන්සේ වරයෙක්), මොහොට්ටාල, දිසාවේ වැනි පුරාණ  නිලධාරියකු විසින් ලියන ලද බව පෙනීයයි. (මේ පිලිබඳ වැඩි විස්තර ඉදිරි ලිපියක එයි.)
  6. පිදවිලි ගම් – රජවරුන් දෙවියන්ට හෝ විහාරයන්ට ගම් පිටින්ම   පූජා කරන ලද ගම් ප්‍රදෙශයන්ය.  එවන් විටක අදාල ගමේ වැසියන්ද දේවාලයට/ හෝ විහාරයට බැඳෙන අතර එතැන් සිට ඒ අය අදාල පූජනීය ස්ථානයේ සේවයේ යෙදෙන අය සේ සැලකුණු බව පෙනේ. (වැඩි විස්තර ඉදිරි ලිපිවල)
  7. පෙර සිරිත – පුරාණයේ රාජ්‍ය පාලනය සිරිත් විරිත් මත හෙවත් සම්පදායයන් අනුව සිදුවුන බව පෙනී යයි. ලිඛිත නීතිරීති දක්නට  ඇත්තේ ඉතා සීමිතව බව පෙනේ. ලංකාව යටත් කරගත් පසුව  පුරණ සිංහලේ රාජ්‍ය විචාරය සම්බන්ධ නීතිරීති හැඳින ගැනීමට ජෝන් ඩොයිලි මහත් වෙහෙසක් ගත් ආකාරය  ඩොයිලි දුටු ලංකාව,ඩොයිලිගේ දිනපොත වැනි ලේඛන  විමසීමේ දී පැහැදිලි වෙයි.
  8. බෝගන්ධන ගණින්නාන්සේ – මේ ගණින්නාන්සේ පරපුර දැනට කැළෑවෙන් වැසී  නටබුන්ව ඇති බෝගන්ධන විහාරයේ වැඩ සිටි  ගණින්නාන්සේ වරුන් බව පෙනීයයි. බෝගන්ධන ගණින්නාන්සෙ පරපුර රාජ්‍ය අනුගහය ලත් දැන උගත් පිරිසක් සේ වැඩ සිටි බව ඊට ලැබී ඇති සන්නස් තුඩපත් ගණනාවකින් පැහැදිලි වෙයි[vii]
  9. මොහොට්ටාලහාමි – සොරගුණ දේවාලයේ සාම්ප්‍රදායික ප්‍රධාන විධායක නිලය මේ නමි. එය කපුමහතාටත් වඩා ඉහළ නිලයකි. (උග්ගල් අලුත්නුවර දේවාලයේ දී මේ තනතුර “අත්තනායක මොහොට්ටාල” නම් වෙයි.)
  10. වීදිය වලව්ව – සොරගුණයේ වීදිය වලව්ව යනු ඉහත කී මොහොට්ටාලහාමිගේ නිවස්නයි.
  11. වෙෂඟ පුර – වෙසක් මාසයේ සඳ මෝරා එන අවදිය
  12. ශක වර්ෂ – ශක රජුගෙන ඇරඹෙන වර්ෂ ක්‍රමය ශක වර්ෂ වෙයි. ශක වර්ෂ හා වර්තමාන ව්‍යවහාර වර්ෂ (ක්‍රිස්තු වර්ෂ) අතර වෙනස වසර 78 ක් පමණ වෙයි. මේ අනුව ශකවර්ෂ 1543 යන්න ක්‍රිස්තු වර්ෂ 1621 සේ ගිනිය හැකියි.
  13. ශන්මුඛ දිව්‍ය රාජෝත්තමයාණන් – මේ නම ව්‍යවහාර වන්නේද කරතගම දෙවියන් හැඳින්වීමටමය.
  14. සන්නස[viii] – මෙය රජුගේ නියමය පරිදි ලියා දෙන ගල්, තඹ හෝ පුස්කොලයක මහ දිසාවේ දිසාවේ වැන්නකු විසින් ලියා දෙන ලේඛනයන් වෙයි. මෙවැන්නක ලියන ලද වර්ෂය හා දිනයද ලියන ලද තැනැත්තාගේ නමද බොහෝ විට ස්ථානය ද සඳහන් වෙයි. (මේ පිලිබඳ වැඩි විස්තර ඉදිරි ලිපියක එයි.)

15. සොරගුණ දේවාලය – කොළඹ බදුල්ල මාර්ගයේ හල්දුම්මුල්ල කුඩා නගරයේ දැක්වෙන මංසන්ධියෙන් දකුණට  සැතපුම් 1.5 ක්        පමණ ගිය විට හමුවන  ගම්මානයයි මෙහිද පුරාණ කතරගම දේවාලයක් වෙයි. මෙය බදුල්ල දිස්ත්‍රික්කයේ  හල්දුම්මුල්ල                  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් එකකි.

 

—————————————————————-

[i] රාජකීය පණ්ඩිත පූජ්‍ය නාවුල්ලේ ධම්මානන්ද නායක හිමිපාණන් – පිටුව 240 – සොරගුණේ දෙවොලේ තුඩපත – ඌව ඉතිහාසය – ගුණසේන සහ සමාගම  -1966

[ii]  මේ සම්බන්ධ කතා පුවත් ඉදිරි ලිපියක ලියවෙයි.

[iii]  උග්ගල් අලුත්නුවර දේවාල ලේකම් මිටිය ( කලින් ලිපිය බලන්න) හා මෙහි (v) යටතේ ඇති 870 විහාර දේවාලගම් අඥාපනත

[iv] ඩේවි දුටු ලංකාව – – ඇල්ලේපොළ එච්. එම්. සෝමරත්න.-  1966  පරිවර්තනය

[v] 1870 විහාරදේවාලගම් ආඥා පනත අංක 04 යටතේ ඇති ලේඛනය

[vi] රාජකීය පණ්ඩිත පූජ්‍ය කිරිඇල්ලේ ඤාණවිමල හිමි- සපරගමුවේ පැරණි ලියකියවිලි- ජිනාලකාර ප්‍රෙස් 1942

[vii] රාජකීය පණ්ඩිත පූජ්‍ය නාවුල්ලේ ධම්මානන්ද නායක හිමිපාණන් – පිටුව 240 – සොරගුණේ දෙවොලේ තුඩපත – ඌව ඉතිහාසය – ගුණසේන සහ සමාගම  -1966

[viii] රාජකීය පණ්ඩිත පූජ්‍ය කිරිඇල්ලේ ඤාණවිමල හිමි- සපරගමුවේ පැරණි ලියකියවිලි- ජිනාලකාර ප්‍රෙස් 1942