සොයා යාම

පළමුව තිබූ මැදගම දේවාලය

උග්ගල් අලුත්නුවර  පුරාවෘතය  පසු ගිය පෝස්ටු හතර මගින් පළ කරන ලදී.  එම සම්පූර්ණ කතාව පිළිවෙලින් පහත දැක්වෙන සබැඳි වෙතට යාමෙන් කියවිය හැකියි.  එ් එකිනෙක පෝස්ටු වල දී  ඉතිහාසය අනාවරණය කර ගන්නට උදව් වන අන්දම  ද එ් සමගම  විමසා බලන්නට ද තැත් තරන ලදී.  

‘කොඩිත් උනමින් මුදුත් ගලවා දැමූ පේරැස් ඇල කියන්නේ’

රජ මාවතක රජ ගමනක්

ගිනි අළු ගොඩක් මත පහළ වුන රන් ඊ තලය

“සූරිය නරපති කෙරෙවුව මැදගම දේවාලේ”

එම සම්පූර්ණ  පුරා කතාව කොටස් දෙකකින් යුතුය. ඒ වර්තමාන දේවාලය හා මේ ලිපියේ  කියවෙන මැදගම දේවාලය සම්බන්ධ කතාව වශයෙනි.  එහි දී මැදගම දේවාල කතාවේ පැවසෙන තැන සලකුණු  සොයා බලන්නට හා විමසන්නට ගත් උත්සාහයේ ප්‍රතිඵල මෙසේයි.

ගූගල් සිතියමේ උපකාර ලබා ගනිමින්  සකස් කරන ලද මේ සමග ඇති  රූපය  බලන්න.  M හි 50×70 පමණ ප්‍රදේශයේ ගල් අතුරා ඇති ආකාරය අනුව පුරාණ ගොඩනැගීමක පදනමක සලකුණු යයි අනුමාන කළ හැකි බවක් පෙනී යයි. මෙහි කහ වර්ණයෙන් සීමා කර ඇති ප්‍රදේශය ඊට අදාල පරිශ්‍ර සීමාව යයි පැවසෙයි. මේ රේඛාව සමගම  පැවති බැමි පිළිබඳ සලකුණු විමසිල්ලෙන් බලන විට දැනුදු හඳුනාගත හැකියි.

ගූගල් සිතියම් වල චන්ද්‍රිකා ඡායාරූපමය සිතියමට ස්තුතිය පුදමින් සකස් කරන ලද උග්ගල් අලුත්නුවර පුරාණ පිහිටීම් දක්වන රූපයකි

වර්තමානයේ මේ කොටස ‘මැදවත්ත’ යනුවෙන් ව්‍යවහාර වන අතර, යට කී පදනම යයි සිතන තැන  ආසන්නව පුරාණ බෝධියක් ද වෙයි. මහ පෙරහර අවස්ථාවල අවශ්‍ය වන  “රිට්ටා ගේ” ලෙස ස්ථිර ගොඩනැගිල්ලක්  ඉදිකර ඇත්තේ ද පැරණි මැදගම දේවාලය තිබූ ස්ථානයේ බව පැරැන්නන්ගේ අදහසයි.  කපුමහතා සමග සාකච්ඡා කළ  දිනට පසු දා, එනම් 1993 පළමු මහ පෙරහර දින සවස 4.00 ට පමණ එහි දී කියවුන පුංචි බණ්ඩාර නිලමේ සහ තවත් දැන මුතු පැරැන්නන් ද විමසා බලන ලදී.

ඒ.එම්. එස්.එම්. පුංචිබණ්ඩාර මහත්මා ඒ වනවිට 79 වන වියේ පසු විය.  මෙතුමා ද  මේ දේවාල සම්ප්‍රදාය පිළිබඳ ව  සෑම අංශයක්  පිළිබඳවම  දැනුම් තේරුම් ඇති කෙනෙක් සේ   පිළිගැනීමක් තිබූ දැනමුත්තකු විය. ඔහුගේ නිත්‍ය නිල තනතුර අතපත්තු මොහොට්ටාල නිලය විය. මිට අමතරව   තමාට පැවරෙන වාර වල දී අත්තනායක මොහොට්ටාල නිලය ද දැරුවෙකි.   ( මේ සාම්ප්‍රදායික නිල පිළිබඳ විස්තර පසු ලිපියක ලියැවෙනු ඇත.)  ‘කුඩුගල්වත්ත වලව්ව’ යනු ඔහුගේ නිවසය. අවශ්‍ය තාලයකින් තමාගේ ඡායාරූප ලබාගන්නට ද අවසර ලැබිණි. නිවසින් පිටතට පැමිණි නිලමේතුමා කිසියම් ස්නයක් දෙසට අත දිගු කර පෙන්වමින් විස්තර කළේය.

ඒ.එම්.එස්.එම්. පුංචිබණ්ඩාර නිලමේතුමා අදාල ස්ථානය පෙන්වමින් විස්තර කරයි

“මැදගම දේවාලෙ ගැන කතාව හැබෑවක් තමයි. හැබැයි ඒක පුංචි දේවාලයක්. ඒක  තිබිල තියෙන්නෙ මැදවත්තෙ මේ ඉසව්වෙ.   මෙතන ගොඩැල්ලක් වගේ පෙනුනෙ ඒ මළුව; නැතිනම් ඒ දේවාල ගොඩනැගිල්ලෙ බවුන්ඩේසම වෙන්න ඕනි.  ඒ එක්කම  ඔතන විහාර ගෙයක් තියෙන්නත් ඇති.  ඒ කිව්වෙ සුද්ද භූමිය කරන්න බුල්ඩෝසර් කරල පොළව මට්ටං කරල 1978 මහ පෙරහරට පස්සෙ වැටුන මහ වැස්ස නිසා අපේ මේ ගේ ඉස්සරහින් ගලාගිය පස් එක්ක  ටිකක් පුංචි බුදු පිළිමයක් හම්බ වෙලත් තියන බව  ආරංචි වුනා. මේ ඉස්සරහ තියන බෝධිය තමයි ‘මැදගම බෝධීන් වහන්සෙ’ කියන්නෙ. බුල්ඩෝසර් කරන්න යද්දි මායි භාරතයි ඒ ගැන කිව්ව. සුද්ද භූමියෙ ඔය තැන තියෙන්න අරිමු කියල. ඒත් ඒක කවුරුත් ගණං ගත්තේ නෑ. මේක මැද්දෙ ‘ඔහොම අබලන් වෙච්ච තැනක් තියන එක හරි නෑ’ කියල බස්නායක නිලමෙට උපදෙස් දීපු  ගොඩ පණ්ඩිතයො කිව්ව බව මට ආරංචි වුනා.  වැස්සට පස්සෙ මැණික් වගයක් අපේ ගේ ඉස්සරහ පල්ලමේ දි යම් යම් අය ඇහින්ද  බව ගමේ  කවුරුත් දන්නව.  පුරාණ රජමාවත් ගැන කතාවත් හරි. වාහල්කඩ හතරක් තිබුණෙ ඔය පාරවල් සම්බන්ද වෙන තැන්වල ”

ඒ.එම්.එස්.එම් කරුණාරත්න බණ්ඩාර මහත්මා 2011.10.12 පෙ.ව. 11.00 ට පමණ ඔහුගේ නිවස වූ හල්කඳුර වලව්වේ දී හමු

ඒ.එම්.එස්.එම්. කරුණාරත්න බණ්ඩාර නිලමේතුමා විස්තර පවසා ඡායාරූපයට පෙනී සිටී

වූ තවත් දැනුම් තේරුම් ඇති පැරැන්නකු විය. අත්තනායකනායක  මොහොට්ටාල නිලමේ වරයකු වූ මෙතුමා ද මැදගම දේවාලය යනු මෙහි පැවති  පැරණිම බෞද්ධ පූජනීය ස්ථානය හා කතරගම දේවාලය  බව පැවසීය. යාපා මහරජතුමා භාර වී ඇත්තේ වනාන්තරයේ පැවති එම පුංචි දේවාලයට බවත් ඔහු වෙතින්ද පැවසිනි. එතුමා ද මැදගම දේවාලය සම්බන්ධ පුවත සනාථ කළ දැනමුත්තකු විය. ඒ අවදියේ දිරාපත්ව බැමි පමණක් ඉතිරිව බාධාවක්ව පැවති එම උස්බිම 1978 ශුද්ධ භූමියක් බවට පත්කිරීමේ දි අවශ්‍යයි සිතූ ප්‍රතිසංස්කරණ වල දී ඉවත් කළ බව ද, ඉන් පසුව වැස්ස නිසා සේදී ගිය පස් අතර මැණික් හා පිළිම තුනක් හමු වූ බව තමාට ද ආරංචි වූ බව ද පවසනු ලැබිණි.

 පිය‍සේන බැබිලේගොඩ මහතා 1993 පළමු මහ පෙරහරට දේවාල බිම සැරසිලි කරමින් තිබිය දී ප.ව. 5.00 ට පමණ හමු විය.  ඔහු   ප්‍රසිද්ධ මැණික් පතල් හිමියකු මෙන්ම මැණික් වෙළඳ ව්‍යාපාරිකයෙක් ද විය. දේවාල ගමේ ඔහුගේ සාම්පදායික නිලය “අලුත්නුවර ගම්

මැද සිටින පියසේන බැබිලේගොඩ මහතා ගේ දකුණින් සේන මුහන්දිරම් මහතා,වමින් වයි.කේ සිරිවර්ධන මහතාද වෙති. විමසීම අනුව මැදගම දේවාල නටබුන් ගැන විස්තර කරද්දී

විදානේ” නම් වෙයි. 1978 පෙරහරට පසු වැසි වැටෙද්දී  එම දේවාලය තිබූ ස්ථානය සෝදාගන  පැමිණි පස් අතරින් හමු වූ බව පැවසෙන කළු වර්ණයෙන් යුතු කුඩා පිළිමයක් තමා වෙත කිසිවකු විසින්ගෙනවිත් දුන්  බව ද, ඉන් පසුව එය තම කාර්යාල බිත්තියේ පහන් තබන බ්‍රැකට්ටුව මත  තැන්පත් කර තිබූ බව පැවසීය.  මාස කීපයකට පසුව  එම පිළිමය කිසිවකු විසින් සොරාගෙන ගොස් තිබිණි. පිළිමය පැවති කාලයේ තමාට විශාල වාසි ගෙන දෙමින් මැණික් ලැබෙන්නට විය. එය සොරාගන්නට ඇත්තේ පිළිමයේ හාස්කමක් නිසා වාසනාව පෑදුන බව ප්‍රසිද්ධ වීම නිසා විය හැකිය. එය තමාගේද විශ්වාසය බව  පැවසූ අතර තවත් පිළිම දෙකක් එහි දි ලැබී ඇති මුත් කවුරුන් අතට ඒවා ගොස් ඇත්දැයි නොදන්නා බව ද  පවසනු ලැබිණි. එච්. බී. වී. සීමන් මුදලාලි මහතා ද දැනුම් තේරුම් ඇති වැඩිහිටියකු විය. ඒ මහතා ද  පියසේන මහතා පැවසූ විස්තර සනාථ කළ අතර මැදගම දේවාල යයි සිතන ස්ථානයේ පැවති බැමිවලින් වට වූ ස්ථානය තමා ද දැක ඇති බව පැවසීය. සෙසු දැනුම් තේරුම් ඇති අන් සියල්ලන්ම ද මේ පුවත සනාථ කරමින් කරුණු දැක් වූ බව පෙනුනි. 

උග්ගල් අලුත්නුවර දේවාලය සෙවීම හා එහි ළඟාවීමේ පහසුව සඳහා පහත ලින්ක් එක ක්ලික් කරන්න

https://www.google.com/maps/place/Uggal+Aluth+Nuwara+Katharagama+Devalaya/@6.6841254,80.7469068,2825m/data=!3m1!1e3!4m5!3m4!1s0x0:0xd93a65a347d6872f!8m2!3d6.6841254!4d80.7469068

පුරාණ පුස්කොල ලේඛනය

දේවාල ලේකම් මිටියේ පැවති මේ ලේඛන පිටපතක් දිරා පත්ව යමින් පැවති නිසා ඉතිරි වී ඇති එ්වායින්; 1825 දී උපුටා ගනිමින් ලියන ලද අත් පිටපතක්  ‘සබරගමුවේ පැරණි ලියවිලි’ හි අන්තර්ගතව ඇත. එය පැවසෙන්නේ පහත දැක්වෙන ආකාරයෙනි. “මහවලතැන්නේ චන්ද්‍රසේකර සෙනෙවිරත්න මුදියන්සේ රාලහාමි සහ අභය ශ්‍රීවර්ධන අලහකෝන් මුදලි නාමයෙන් පැවත එන වාරිගම බස්නායක නිලමේ ද යන අපි දෙදෙනො විසින් ඒ ලේකම් මිටියේ තිබුණ ලෙසට මේ ලේකම් මිටිය ලිව්වේ ශක වර්ෂ 1747 ක් වූ ඇසළ මස පුර ශතවක් නම් තිථිය ලත් කිවි දින ලියා තීන්දු කළා ඇත.”  මෙහි තවත් පිටපතක් ලොකු මුදියන්සේ නමැති  පැරණි අත්තනායක මොහොට්ටාල නිලමේ වරයා භාරයේ තිබී ඇත. මොහු කලින් කී ඒ.එම්.එස්.එම්  පුංචිබණ්ඩාර නිලමේ  සහ ඒ.එම්.එස්.එම් කරුණාරත්න බණ්ඩාර අත්තනායක නිලමේ යන දෙනොගේ  පියාණන් ය. එම පිටපත එවකට 84 වියැතිව සිටි ඒ.එම්.එස්.එම් කරුණාරත්න බණ්ඩාර අත්තනායක නිලමේ තුමා වෙතින්  sugv වෙත ඉදිරිපත් විය.  ඉහත කි පිටපත් වලද කොළඹ කෞතුකාගාරයේ එම් 4 දරන සීමාසංකර විනොදනි පුස්කොල පොතේ අග පිටුවල සඳහන් ලේඛනයේ ඇත්තේ ද  එකම ලේඛනයක පිටපත් බව සසඳා බලන විට පෙනීයයි. මෙහි දී අඩුවකට ඇත්තේ අබලන් වෙමින් පැවති ලේකම් මිටියේ සමහර වැකි අඩුව පැවතීම පමණකි. එය සිදුවන්නට ඇත්තේ දේවාලයේ පැවති ලේඛනය එතරම් සුරක්ෂිතව නොපැවතීම නිසා බව පෙනේ. ඒ බව පිටපත් කරන අයම තම පිටපත් කිරීම අවසන් කරන්නට පෙර “… ප්‍රථමයෙන් තිබුණු පුරාණයේ පටන් දේවස්ථානයෙහි සකල කාරණා පිරිසිදු වශයෙන් ලේකම් මිටිය දිරා නැති වෙන්නට යන නිසා” ලියාතබා ඇත. ඒ අනුව  කෞතුකාගාරයේ පවතින එම් 4  ලියවිල්ල ද ඉහත පිටපත් සියල්ල ද එකම ලේඛනයක පිටපත් බව නිසැකය. 

මේ කිසිම ලේඛනයක හෝ  උපුටා දක්වන වෙනත් කෘති කිසිවක ද අදාල  ලේඛනය ලියූ පුද්ගලයා හෝ වකවානුවක් දක්නට නොලැබීම විශේෂ ලක්ෂණයක් සේම අඩුපාඩුවක් ද වෙයි.  එය සන්නසක් හෝ තුඩපතක් ලෙස ද නම් කළ නොහැකිය. ඊට හේතුව  සන්නස් නමින් හැඳින් වෙන ලේඛන වල  “ශ්‍රී” අක්ෂරය  යොදමින් රාජකීය මුද්‍රාව තැබීම හා ලියන ලද ස්ථානය හා දිනය සටහන්ව තැබීම සිරිතක්ව තිබූනිසාය. “තුඩපත්” යයි හඳුන්වන ලේඛන වල ලියන ලද මොහොට්ටාල වරයාගේ නම ස්ථානය හා දිනය ද සටහන් වෙයි. නමුත් මේ ලේඛනයේ එැවැන්නක් දක්නට නොලැබෙයි. එහෙයින් එය “පුරාණ වට්ටෝරු ලේඛනයක්” සේ ගිනිය හැකියි.  ලියා ඇති භාෂාව හා රචනා ශෛලිය මහනුවර සමයට අයත් බව පැහැදිලි වෙයි. ඒ නිසා මෙය පුරාණ ලේඛනය හෝ ලේකම්  මිටිය ලෙස මේ ලිපි පෙළේ ව්‍යවහාර කරයි.

“ශ්‍රී සුද්ද ශක රාජ වර්ෂයෙන් එක්දහස් තුන්සිය හතරට පැමිණි  මෙම වර්ෂයහි ඇසල මස අවඅමා මාසයෙන් සෙනසුරාදා රාත්‍රියේ කන්දස්වාමීන් වහන්සේගේ ශ්‍රී හස්තයෙන් ස්වර්නායුධයක් එර්දිව  ගුගුරා ගුවන්තලයෙන් නික්මෙන බව මැද්ද දෙසෙන් ඇවිත් මැදගම වාඩි පදිංචිව හිටින බ්‍රාහ්මන කෙනෙකුට ස්වප්නයෙන් පෙනී සිට පිබිද බලන කල…………………….සූර්ය මහ රජ්ජුරුවන් වහන්සේට ඔප්පු කල තැන ……………………….. ඔය දෙවියන් වහන්සේට දේවාලය සිද්ද කරන තැන මේ යයි සිතා දිගින් සත් බඹයක් පුළුල පස් බඹයක් උස තුන් බඹයක් මළුව බැඳ…………. කදිරිසිංහ තන්තිරියා අතින් මඟුල් කප හිඳුවමින් සතර දෙස හිමා බන්ධනය කර ගල් ටැන් හිටවා….. දෙවුන්දර වඩු මිස්ත්‍රී ගෙන්වමින් දේවාලෙ සිද්ධ කරවා…….සූර්යමහා රාජෝත්තමයන් වහන්සේ වැඩ සිටි රජමහනුවරට වැඩි සේක”

යනුවෙන් මැදගම දේවාලය ගැන පුරාණ පුස්කොල ලේඛනය පවසයි. ඒ  කලින් ලිපියේ කවියෙන් ද පුරා කතාවෙන් ද පැවසුන මැදගම දේවාල කර වීමේ පුවතයි.මේ ලේඛකයා මැදගම දේවාල පුවත නිමවා වර්තමානයේ අප දකින දේවාලය හා එම සම්ප්‍රදාය ගැන පවසන්නේ “ඉන් පසු අවුරුදු දෙසිය යක් පමණ පසු වෙන අතර… යනුවෙන් ආරම්භ කරමිනි. ඒ අනුව මැදගම දේවාලය පිළිබඳ ලියන්නට  ඇත්තේ ඔහුට ලැබුණ වෙනත් මූලාශ්‍රමය ලේඛනයක් හෝ ඒ වන විට පැවති ජනප්‍රවාදයක් ඇසුරෙන් යයි සිතන්නට සිදුවෙයි.

කන්දකුමාර සිරිතේ 

 ‍මේ නමින් යුත් කාව්‍ය ප්‍රබන්ධය ක්‍රි.ව. 1708 ලියන ලද බව එහි ලේඛකයා වන  බාලචන්ද්‍ර බ්‍රාහ්මණ පවසයි. පහත උපුටා දැක්වෙන  මෙහි මුල කවිය සහ ප්‍රබන්ධයේ අවසන් කවිය මේ බව දැක්වෙයි. බාලචන්ද්‍ර බ්‍රහ්මණ යනු තම පරපුරේ මුත්තකු බව භාරතරත්න බණ්ඩාර මහතා පවසයි. එම ලේඛනය මාවෙත ඉදිරිපත් කළේ ද භාරතරත්න කපුමහතාය. මෙහි පිටපතක් පී.ඊ.පී දැරණියගලයන්(හිටපු කෞතුකාගාර අධ්‍යක්ෂ) විසින් සිය දේව වර්ණනා කාව්‍යයේ උපුටා දක්වයි. එතුමා වෙත එම පිටපත ලැබී ඇත්තේ මහවලතැන්න වලව්වෙන් බව පෙරවදනේ පවසයි. දේව වර්ණනා කාව්‍යය ග්‍රන්ථය කොළඹ කෞතුකාගාරයේ ප්‍රකාශනයකි. 

“බාලචන්ද්‍ර මගෙ නම පවසා………ලා

ආලවඩන පද ස්තුති කර…………..ලා

රාල බ්‍රාහ්මණ වලියයි තෙප……….ලා

කෝල නැතිව කවි සිය බැඳ දී…….ලා

 

පොරණ සිටි නිරිඳුන් ගෙන් ලත් එනමකි මුළුතුන් පැතිර…………යායන

අරන ඉටු දන් එපිට මුළු තුන් විමන තුළ එහි තේව……………….කර එන

බඳින මේ කවි ඔහුගෙ මුනුබුරු නුවණ පමණක් ලදින්……………දැනගන

සවන සකවර්ෂයෙන් එක්වා දහස් හසියකි තිසෙකි…………………එපමණ”

මෙහි මැදගම දේවාලය ගැන පවසන්නේ එය කැළය ඇතුළත පිහිටි ස්ථානයක් ලෙසය. ඇසුන සක්හඬ අනුව එය කතරගම දෙවියන් යදින විදේශිකයකුගේ පූජාවක් බව යාපා මහරජුට දැනගන්ට ලැබෙන්නේ එහි සිටි කෙනෙකු වෙතින් බව ද කියවෙයි. එහෙත් මැදගම දේවාලය පිළිබඳ ඉහත පුරා කතාවේ හෝ පුරාණ ලේඛනයේ හෝ පැවසෙන  විචිත්‍ර  විස්තරය මෙහි දක්නට නොලැබෙයි. බාලචන්ද්‍ර බ්‍රාහ්මණ කවියා මැදගම දේවාලය ගැන පවසන්නේ පහත ඇති පැදි දෙකෙන් පමණි. 

“එකල් යාපා නිරිඳු යුදයට ගොසින් දෙවරක්………………..පැරදුනේ

සියල් සිව්රඟ සෙනග ගනිමින් තුන්වෙනුව වඩිනා……………දිනේ

මෙකල් මැදගම යන ගමේ දී සක් නදක් අසමින්………………වනේ

විපුල් රිවිකුල ප්‍රභූපති මේ කිමෙක්දැයි වදහල………………..තැනේ

 

මහත් වලියෙන් එගම දැනුමැති එක්කෙනෙක් ලොව පැවත………ආවේ

දොහොත් මුදුනේ තබා නිරිඳුට අභිමුඛව මේ ලෙසට ………………..කීවේ

ශපත් සිරිලක මගුල් ගෙය මෙන් දිගා ආසිරි ඔබට…………………බෝවේ

සවත් දෙවිදුගෙ රන් අවියකට පරදේසියෙක් කරන………………තේවේ”

ඉහත ලැබෙන  දත්ත හා  තොරතුරු  අනුව කුඩාවට හෝ කතරගම දෙවියන් උදෙසා තේවා වෙනුවෙන් කැපවුන “මැදගම දේවාලය” නමින් පූජනීය ස්ථානයක් තිබුණ බව ද පුංචිබණ්ඩාර මහතා සහ කරුණාරත්න බණ්ඩාර මහතා දැක් වූ විස්තරය සමග දැනටත් ජීවමානව පවතින බෙහෙවින් පැරණි බව සිතිය හැකි බෝධීයක් වෙයි. ඒ අනුව බෞද්ධ පූජනීය ස්ථානයක් ද ආදියේ  සිටම පැවති බව ද සිතිය හැකියි. කොළොම්පුරේ හිතවතා මීට පෙර විමසා ඇති පරිදි  පුරාවිද්‍යාත්මක කැනීම් සිදු වූ විටෙක මෙහි ඉතිහාසය පිළිබද වඩා  ස්ථිර  නිගමනයන්ට පැමිණිය හැකි වනු ඇත.

උග්ගල් අලුත්නුවර ආරම්භයේ දී තිබූ පූජනීය ස්ථානය පිළිබඳව මීට තරමක් වෙනස් පුවතක්  වෙනත් මූලාශ්‍රයකින්   අනාවරණය වෙයි. ඒ පිළිබඳ තොරතුරු sugv ට දැනට සිටින රටේ දී ලබාගත නොහැකියි. එහෙයින් මූලාරම්භය පිළිබද පෝස්ටුව පමා විය හැකිය. උග්ගල් අලුත්නුවර සම්ප්‍රදායයේ දැනටත් ඉතිරිව ඇති ව්‍යවහාර, අපූරු  සිරිත් විරිත්, ආකල්ප, සාරධර්ම, විවිධ ශිල්පීය හැකියා, සහ ඒ අශ්‍රිතව දක්නට ලැබෙන පාරම්පරික දැනුම් ආදී  තොරතුරු පිළිබඳ ඔවුන් සමග ජීවත් වීමෙන් ලබාගත් අත්දැකීම් අනුසාරයෙන් කෙරෙන විස්තර වෙතට යොමු වීමට අවසර ලැබෙත්වා.

විශේෂ ව්‍යවහාර

  • රිට්ටා ගේ – පෙරහර සමග සංචාරයේ යෙදෙන බස්නායක නිලමේ තුමාට පත්තිනි දේවාලයේ හා වල්ලි දේවාලයේ විශේෂ තේවා නිමවනතුරු රැඳීසිටීම පිණිස ඉදි කෙරෙන තවකාලික නිවහනකි. මෙය පුරාණයේ තල්අතු සෙවිිලි යොදා දින පහකට පමණක් ඉදි කෙරෙන්නක් බව පැවසේ 1978 දී එය තුන් පැත්තකින් විවෘත කුඩා කාමරක් සේ ස්ථිරව සකස් කරන ලද බව පැවසේ.
  • ගොඩ පණ්ඩිතයො – තමන් නොදන්නා නොතේරෙන දේවල් පවසන අය

විශේෂ සටහන්

  • ශුද්ධ භූමිය-‘උග්ගල් අලුත්නුවර ශුද්ධ භූමියක් විය යුතුය’ යන අදහස එහි වැසියන්ගේ කාලයක් සිටම පවතින්නකි. ඒ සඳහා මුල් පියවර තබා ඇත්තේ හැරී විරසේකර බස්නායක නිලමේතුමාගේ අවදියේ බව මෙහි විස්තර  පවසන රාජකාරි ඇත්තන් ද පෙන්වා දෙති.
  • සන්නස් – “රාජ සාසනය, රාජකීය මහමුද්‍රාව තබා දෙන ලියවිලි. මේවා ගල්, රන්පත්,රිදීපත්.තඹපත් හෝ පුස්කොල වල තනතුරු දීම,විශේෂ රාජකාරි හා තෑගි වශයෙනුත් ඉඩකඩම් දීම ගැණ ලියති”1 මේ අනුව සන්නස් යනු රජුගේ අනුදැනුම ඇතිව එම නියෝග අනුව දෙන ලියවිලි බව පෙනී යයි.රාජ්‍ය ලේඛනාගාරයේ ඇති සන්නස්වල සටහන් කරන ලද ශ්‍රී අක්ෂරයෙන් සංකේතවත් කර ඇත්තේ රාජකීය මුද්‍රාව බව පෙනියයි.
  • තුඩපත් – “මේවා අධිකාරම් වරුන් විසින් පුස් කොලයක ලියා අත්සන් කර දෙන රාජකීය පරිත්‍යාග පත්‍රයකි. සන්නස නැති වුවහොත් වාසල තබන ලද මුල් කොපියෙන් ලබාගන්නා පිටපතට ද තුඩපත යයි කියති”2
  • වට්ටෝරු ලිපි – “රටේ මහත්වරු,ලේකම්වරු හා දේවාලයවල ප්‍රධානයන් විසිනුත් චඤ්චල නිශ්චල දේ තහනමට ගැනීම පිළිබඳ කරන ලද ආඥා සඳහන් වූ ලියවිලි වෙත්. ඒවායේ ඔවුන්ගේ අත්සන් තිබිය යුතු නොවේ”3 මේ අනුව බලන විට ඉහත කියන ලේකම් මිටියේ සදහන් ලියවිල්ල ඇතුළු කළ හැක්කේ වට්ටෝරු ලේඛන ගනයට බව සිතිය හැකියි.

——————————————————————————

1. රාජකීය පණ්ඩිත පූජ්‍ය කිරිඇල්ලේ ඤාණවිමල හිමිපාණන්- සපරගමුවේ පැරණි ලියවිලි – කිරිඇල්ලේ ජේ.ඇම් සමරකොන් මහතා විසින් ජිනාලංකාර ප්‍රෙස්හි මුද්‍රණය කරවා ප්‍රකාශයට පත්කරන ලද්දකි-1942

2 රාජකීය පණ්ඩිත පූජ්‍ය කිරිඇල්ලේ ඤාණවිමල හිමිපාණන්- සපරගමුවේ පැරණි ලියවිලි – කිරිඇල්ලේ ජේ.ඇම් සමරකොන් මහතා විසින් ජිනාලංකාර ප්‍රෙස්හි මුද්‍රණය කරවා ප්‍රකාශයට පත්කරන ලද්දකි-1942

3රාජකීය පණ්ඩිත පූජ්‍ය කිරිඇල්ලේ ඤාණවිමල හිමිපාණන්- සපරගමුවේ පැරණි ලියවිලි – කිරිඇල්ලේ ජේ.ඇම් සමරකොන් මහතා විසින් ජිනාලංකාර ප්‍රෙස්හි මුද්‍රණය කරවා ප්‍රකාශයට පත්කරන ලද්දකි-1942


 

 

 

 

12 thoughts on “සොයා යාම

  1. පුරාවිද්‍යා නටබුන් විශාල සංඛ්‍යාවක් මෙම ඩෝසර් කිරීමෙන් විනාස වන්නට ඇත. මේ පිළිබඳ ප්‍රාදේශීය පුරාවිද්‍යා නිලධාරීන් ද මැදිහත් නොවීම ගැටළුවකි. අපේ රටේ දේවාලභාරව සිටින නිලධාරීන්ගේ අත්තනෝමතික ක්‍රියාවන් මෙයට බලපා ඇත.
    විචාරක දියණිය

    කැමතියි

  2. එ් අවදියේ පුරාවිද්‍යාත්මක වශයෙන් වටිනාකමක් පවතින බව හඳුනා නොති බූ සැඟව ගිය ප්‍රදේශයක් විය. ගමට ළඟාවීම පවා දුෂ්කරව පැවතුනකි. විදුලි බලය ලැබුණේද 1978 දීය. මාර්ග සංවර්ධනය වූයේ ඉනුත් අනතුරුවයි. සමනළ වැව ඉදිකරන අවදියේ පවා මේ ගැන අවධානයක් පැවති බව නොපෙනේ. දේවාල ගම්මානයට අයත් මඩ ඉඩම් අක්කර 400 ක්ද ගොඩ ඉඩම් අක්කර 400 ක් පමණ සමනළ වැවට යටව ගිය බව පැවසෙයි. ඒ සියල්ල දේවාලයේ රාජකාරි ඇත්තන් වෙනුවෙන් පවරා තිබූ ඒවාවිය. සමනළ වැව නිසා ද පුරාවිද්‍යාත්මක වශයෙන් සිදු වූ හානිය සුළු නොවේ. පැරැන්නන් එ දෙස බලාසිටියේ ද ඉතා අසරණව දුකෙනි. මේ ස්ථානය පුරාවිද්‍යාත්මකව වටිනා තැනක් බවට පිළීගැනුනේ 1998 තරම් මෑතක බැවින් ඔබ පවසන හානිය වැලකී නැති බව පෙනෙනවා. මෙහි වටිනාකම හඳුනා ගනිමින් එ් සඳහා පියවර ගත්තේ එවකට පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල්ව සිටි මහාචාර්ය දැරණියගල ශූරීන් ගේ මැදිහත් වීම නිසා බව පෙනෙනවා.

    කැමතියි

  3. එන්ගලන්තය වැනි බටහිර රටවල අවු 1000ක විතර සිට ලේඛන තිබෙනවා. විශේෂයින් 12/13 ශතවර්ෂවල සිට ඉතා විශාල සංඛ්යාවක් තිබෙනවා. පූජකයින්, ඉතිහාසඥයන් ලියූ දේ වගේම ප්‍රභූ පවුල්වල ලියුම්, වාර්ථා, බිම්/ගෙවල් කුලී දත්ත, වැඩවසම් රාජකාරි දත්ත, බදු ගණනය සඳහා විස්තර, අධිකරණ වාර්ථා, වෙලඳ වාර්ථා, ගොවිපලවල හා සතුන් ගැන විස්තර, විශ්ව විද්‍යාල කාර්මික ගිල්ඩ් වල වාර්ථා , ගොඩනැගිලි සැලසුම්, දිනපොත්, පේටන්ට්, නාවික හා යුද හමුදා ලියවිලි ආදී ඉතා විශාලවිස්තර සහිත පුලුල් පරාසයක ලේඛන. ඉතිහාසඥයන්ට අති විශාල ගණනාවක් මූලාශ්‍ර තිබෙනවා

    අපේ ඉතිහාසය ඊට වඩා ඈතට දිව ගියත්, අපිට අවු 300 ක විතර පරණ ස්වදේශීය ලේඛනවත් සොයා ගැනීමට ඉතා අපහසුයි.
    ඒ වෙනස හැමවිටම මා පුදුමයට පත් කරනවා. හේතුව ගැන ඔබේ අදහස් දැන ගැනීමට කැමතියි.

    විදේශීය ආක්‍රමණ? දේශගුණය නිසා මෘදු දේ කල් නොපැවතීම? පුස්කොල, ගල් හා ලෝහ පත්‍ර හැර කඩදාසි, පාර්ච්මන්ට් වෙලම් වැනි දේ නොතිබීම? ඉතා ඉහලට උගත් අය හැර අනෙකුන් නොලිවීම? ආගමික දේ, වෙදකම හා කවි මිස වාර්ථා, ගිනුම්, දිනපොත් , ලියුම් ආදිය නොතිබීම? කාර්මීකරණය හා වෙලඳාම එතරම් දියුණු නොවීම? ශාක්ෂරතාවය අඩුවීම? අනුරාධපුර/පොලොන්නරු කාලයන්ගෙන් පසුව රටේ සංස්කෘතිය හා ආර්ථිකය පිරිහීම (බටහිර යුරෝපීය රටවල නැග්ම වූ කාලයේ අපේ බැස්ම) ?

    Liked by 1 person

    • ඉතාම වටිනා හරවත් ප්‍රතිචාරයක් බව පළමුව සටහන් කරමි. තෙවන ඡේදයේ ඔබ පවසන හේතු සියල්ලම මීට හේතු වී තිබෙන බව නේද පෙනී යන්නෙ සාමාන්‍ය ජනයා ලියා ඇති යමක් වේ නම් ඒව දකින්නට හැකිව තියෙන්නෙ? සාමාන්‍ය අය ලියා තියෙන්නෙ සීගිරි කුරුටු ගී අතර පමණක් දැයි සිතෙනවා. අතීතයේ පැවති ‘කුලවාදය’ පසුව ‘කුලභේදයක්’ බවට පත්ව තිබීමත් පහත් යයි සම්මත කරගත් කුලවල අයට හා කාන්තා පක්ෂයට ඉගෙනීමට තහංචි පැන වී තිබිම පිළිබඳ සාක්ෂිත් මේ ගම්මානය තුළින්මත් සොයා ගැනීමට හැකි වෙනවා. වෙදකම, යකඩවානේ කර්මාන්තය පිළිබඳ පොත් පවා පැවතියත් ඒවා කියවීමට හෝ දැන සිට ඇත්තේ සාමාන්‍ය අයගෙන් ස්වල්ප දෙනකු පමණයි.
      මේ අතර මිනිස් කමට ගරු කළ පන්සල් හා බුදු දහම තුළින් ලැබුණ සහන ශීලී බව නිසා ‘පහත් කුලවල’ අය යයි සම්මතව ඉගෙනීමෙන් බැහැරව තැබූ අය පවා ඉගෙන ගන්නට අවස්ථාව ලබා ලබා තිබුණ බවට උදාහරණ මේ ගමෙන් ලැබී තිබීම විශේෂ ලක්ෂණයක්. ඊට උදාහරණ දක්වන්නට ගිය විට ප්‍රති පිළිතුර අනවශ්‍ය තරම් දිගු වන නිසා විස්තර පසු ලිපියකට තබන්නට අවසර දෙන්න. කාන්තා පක්ෂයට පන්සලෙන් හෝ ඉගෙනීමට අවස්ථාව ලැබී ඇති තැනක් මේ ගමෙන් හෝ හමු වී නැහැ. එහෙත් තම පියාගෙන් හා ස්වාමි පුරුෂයාගෙන් ඉගෙනුම ලැබූ අය සිටි බව පෙනෙනවා. ඉදිරි ලිපියක සාකච්ඡාවකට අවස්ථව දෙන්න.
      බොහෝ ලේඛන එංගලන්තය ඕලන්දය වැනි බටහිර රටවලට ගිය නිසා ඒවා මේ දක්වා සුරක්ෂිතව පවතිනවා විය හැකියි නේද. අපේ රට තුළ පැවති ලේඛන ඉහත කී දේවාලයේ පොත් මෙන් අනාරක්ෂිතව විනාශ වෙන්නට ඉඩ තිබුණා යයි සිතෙනවා. මෑත දිත් ගම්මානයේ පැවති පුරාණ පුස්තකාලයක් රහසේම විකිණී ගිය පුවතක් අසන්නට තරම් මා අවාසනාවන්ත වූ බව සටහන් කරන්නේ ඒක්තරා දුකකින්. ඒවා බට හිරට ගියානම් සුරැකී තිබේවියයි සිත සනසා ගන්නට වී ඇත. මෑත දී සිංහල පුස්කොල පොතක් සුරක්ෂිතව ප්‍රදර්ශනයට තබා ඇති අන්දම ඇ.එ.ජ. Gatlinburg හි කෞතුකාගාරයක දී දක්නට ලැබුණා. එය ටිබෙට් වලින් හමු වූ කෘතියක් යි සටහන්ව තිබුණා.

      Liked by 1 person

      • ඔව්. මෙහෙ කුල ක්‍රමයත් සෑහෙන්න බලපාන්න ඇති. එන්ගලන්තයේ වැඩවසම් ක්‍රමය දරුණු සූරාකෑම් සහිත තලා පෙලෙන ලක්ෂණ සමග තිබුනත් ඒ කාලයේත් (12-16 ශතවර්ෂ ) දක්ෂ, කපටි හෝ වාසනවන්ත පහල ස්ථරයේ අයට උඩට එන්න අවස්ථා තිබුනා. 1500ගණන්වල 8වන හෙන්රිගේ ප්‍රධාන අමාත්‍ය හා එසෙක්ස් අර්ල්වරයා වුන තෝමස් ක්‍රොම්වෙල් ගේ පියා කම්මල්කරු+තානායම්කරු+වෙලෙන්දෙක්. ක්‍රොම්වෙල් නීතීඥයෙක් වී රාජ්‍ය සේවයට බැඳුනා. ඊට පෙර හා පසුවත් පහල ස්ථරවලින් ආ අය ප්‍රභූන්, උසස් නිලධරයින් හා උසස් පූජකයින් වුනා.
        කුල ක්‍රමයේ ඒවගේ ඉහලට යන්න් හැකියාවක් තිබුනේ නෑ.

        අපේ ලේඛනගත මූලාශ්‍ර විරල වීමට ලොකුම හේතුව මට හිතෙන්නේ සංස්කෘතියේ නොකඩවාඑන ගතිය (continuity) නොමැති වීම. එන්ගලන්තය අඩු ගණනේ 1066 නෝර්මන් ආක්‍රමණයෙන් පසුව සමාජ, ආර්ථික, නීති, අධ්‍යාපන, ආණ්ඩුක්‍රම, කාර්මික, සෞඛ්‍ය ආදී හැම ක්ෂෙත්‍රයෙන්ම ක්‍රමානුකූලව නොකැඩී දියුණු වුනා. ප්‍රජාත්‍රන්තවාදය සහ සමහර විශ්වවිද්‍යාල, අධිකරණ ,ව්‍යාපාර, කාර්මික හා වෙලෙඳ සංවිධාන (guilds) අවු 800ට එහා ඉඳන් දියුණු වෙමින් එන ඒවා. තාමත් පවතිනවා ලිඛිත වාර්ථාද සහිතව.

        ලංකාවේ එක් එක් යුගයන් වෙන් වෙලා. අනුරාධපුර යුගයේ දේවල් ක්‍රමයෙන් දියුණුවෙලා මහනුවර යුගයට ආවෙ නෑ.
        ඒ කැඩීම නිසා කාර්මීකරණය, ආර්ථිකය , තාක්ෂණය අඩාල වුනා. ලේඛනගත වාර්ථා සහිතව පැවතීමට ස්ථාවරත්වය අවශ්‍යයි.

        ඒක නෙමෙයි. චීනයෙන් කඩදාසි තාක්ෂණය යුරෝපයට ගියාට ඉන්දියානු කලාපයට ආවෙ නැද්ද? ඊට පෙර යුරෝපයේ තිබුන හම් වලින් සෑදූ vellum , parchment වැනි writing material මෙහෙ භාවිතා වුනේ නෑ නේද? ගල්, ලෝහ සහ පුස් කොල විතරයිද තිබුනෙ?

        මගේ ප්‍රියතම විෂය වන ඉතිහාසය ගැන සාකච්ඡා කරන්න ඉඩ සැලසුවට ස්තුතියි

        Liked by 1 person

        • “අපේ ලේඛනගත මූලාශ්‍ර විරල වීමට ලොකුම හේතුව මට හිතෙන්නේ සංස්කෘතියේ නොකඩවාඑන ගතිය (continuity) නොමැති වීම” ඇත්තටම මේ තමයි ලොකුම හේතුව
          යන්න මටත් සිතෙනවා. පාහියන්, හ්‍යුංසාන් ආගමනය වැනි අවස්ථා විමසද්දි චීන කඩදාසි තාක්ෂණය නොපැමිණි බවක් හිතන්න කොහෙත්ම ඉඩක් නැහැ. එන්න ඇති. අනුරාධපුර යුගය වසර දහසකට වඩා පැවති අවදියක් උනත් සිඛවළඳ විනිස හෙරණ සිඛ නිවිස වැනි ඒ යුගයට අයත් යයි සිතන එක දෙකක් මිස වෙනත් පොත් පත් හමු වන්නෙ නැහැ සොයන්න විදිහකුත් නැහැ. මාඝ ආක්‍රමණය හා එයින් පසුව සිදුවෙන්නට වූ ආක්‍රමණ අතරතුර පුස්තකාල ගිනි තැබීමේ අවස්ථා කොයිතරම් හමු වෙනවාද? අපේ යුගයේ පවා මෙවැනි දෑ (1983 ආසියාවේ තිබුණ ලොකුම පුස්තකාලය පවා ගිනිතැබීම) සිදුවුනා. මේවා ගැන සිතන විට අතීතයේ පොත් පත් විනාශය ගැන විමතියක් ඇති වෙන්නෙ නැහැ. ඔබ පවසන අවදියේ පුස්කොල පොත්වල තොරතුරු පවා සොයන්න ලබාගන්න ඕලන්දය එංගලන්තය වගේ රටවලට යන්න වෙනවා. කුමණ ක්‍රමයකට හෝ ඒ රටවට ගොස් නොරැකුනා නම් එසේ තොරතුරු ලබාගන්න හැකිවෙන්නෙ නැහැ.(මහාචාර්ය තෙන්නකෝන් විමලානන්දයන් උඩරට මහකැරැල්ල කෘතිය සම්පාදනය කළ අන්දම එහි පෙරවදනේ විමසන්න) ඔබේ අවසන් ඡේදයෙන් මතු කරන ගැටළු හමුවේ අප හැම අසරණයි. මහාතිත්ථයේ කළ ස්වල්පයක් වූ කැනීම් සහ ගොඩයවාය දැනට කර ඇති සෙවිම් අතරින් ඉතා දියුණු විදේශ සම්බන්ධතා පිළිබඳ සාධක ලැබුණත් ඒ ගැන ප්‍රමාණවත් ලිඛිත මූලාශ්‍ර හමු නොවීම ලොකු අවාසනාවක් නේද? මේ ගම ආසන්නයේ ඇති කල්තොට දියවින්න ඇතුළු වළවේ ඉහළ නිම්නයේ දකින්නට ලැබෙන දියුණු ශිෂ්ටාචාරයක නටබුන් සම්බන්ධ ලේඛනගත මූලාශ්‍ර හමු වී නැහැ. මහාවංශයේ ඇත්තෙ ඉතා ස්ව්ල්ප විස්තර පමණයි
          අභයගිරි පාර්ශ්වයේ (උත්තර මූල පාර්ශ්වය) ලියවුනු පොත් පත් පිළිබඳව මහාවංශයෙන්ම කරුණු හමු වුනත් ඒ කිසිම වැදගත් ග්‍රන්ථයක් හමු වෙන්නෙ නැහැ. ඒ පාර්ශවයෙන් ලියවුන උත්තරවිහාර වංශය( උත්තර විහාරට්ඨ කතාව) සෙවීමට ලැබුණ හෝඩුවාවන් ඔසේසේ මහාචාර්ය දැරණියගලයන් 1990 දශකයේ ගත් වෑයම මා පෞද්ගලිකව දැනුවත්. වෑයමේ මෙතෙක් ලැබූ ඵලය වූයේ එහි පිටු දෙක තුනක් එතුමාට ලැබුණ බවට ඇති ආරංචිය පමණයි. එහි එක් පිටපතක් තිබී ඇත්තේ කොට්ටිඹුල්වල රජමහා විාහරයේත්; තවත් එකක් කරගස්තලාව පුරාණ විහාරයෙත් තිබූ බවට විශ්වාසදායක සාක්ෂි ලැබුණා. එපමණයි. එය සොයා ගතහොත් ලංකා ඉතිහාසය මීට වඩා වෙනස්ම තත්ත්වයකින් කියවන්න හැකි බව නිසැකයි.

          කැමතියි

    • මට හිතුනේ ඔය පුස්කොල පොත් හෙම ලියා තබා නැත්නම් ඒවා සංරක්ෂණය කර බ්ලොගයක හෝ වෙනත් තැනක පිටපත් කරනන් පුලුවන්නම් හොඳ බවයි.

      කැමතියි

      • පුස්කොල පොත් ලබාගනිමින් සංරක්ෂණය කිරීමේ වැඩ සටහනක් කැළනිය විවි ආරම්භ කර තිබෙනවා. ගැටළුවකට තියෙන්නෙ අපේ මිනිසුන්ගෙ ආකල්ප සංවර්ධනය නොවී තිබීම. ඒ නිසා දැනට එවා සතු රාජකාරි පරම්පරාවන් මෙවැනි ආයතන වෙත භාරදීමට දක්වන මැලි කම බව ගමේ අත්දැකීම් අනුව පෙනි යාමයි. සමහර අය අතින් ඒවා වෙළෙන්දන් අතට යන බව අසන්නට ලැබීම ඛෙද ජනකයි .මට ලැබෙන පොත් වේ නම් ඒවා සම්බන්ධව ඔබ යෝජනා කරන පිළිවෙත ඉටු කෙරේවි. පුස්කොල පොත් කියවීම තරමක් වෙහෙසකර වැඩක් ව ඔබ ද්නනවා ඇති. ඒවයේ පද බෙදීම් වටහාගන්නට ලොකු වෑයමක් කරන්න වෙනවා.

        කැමතියි

  4. නැවත හොඳ විස්තරයක් පළවී තිබෙනවා. කවි ටිකත් ලස්සනයි. ඔය තේවා වලට බෙර ගැහීම හැර වෙනත් නැටුම් සහ සංගීතය පැත්තෙන් යමක් තිබුනද? පෙරහැර වල කතා හෙම පෙන්වන්නේ නැත්ද? පොඩි ජාතක කතා වගේ දේ? ඒවාට සංගීතය දෙන්නේ කොහොමද? දේවාලයේ දේව දාසියක් සිටියද?

    Liked by 1 person

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.