“සූරිය නරපති කෙරෙවුව මැදගම දේවාලේ”

“ශලුත් ශකන් තුන්සිය වරුසේ” කළ මැදගම දේවාලය

භාරතරත්න කපුමහතා පවසන  පුරාකතාවේ අවසන් කොටස

“මැදගම දේවාලෙ ගැන ඇහුව නෙව. ඒක තමයි මුලින්ම කියන්න තිබුණෙ.  මැදගම දේවාලෙ කියන්නෙ අපි කාගෙත් මූලස්තානෙ මුලින්ම ඒ ගැන කියන්න බැරිවුනේ යාපා රජ්ජුරුවො ගැන  කතාව පටන් ගත්තු හන්දයි. බලන්නකො කවුරුත් දන්න මේ කවිය

ශලුත් ශකන් තුන්සිය වරුසෙට හිමි දුරුතු මසේ පුර සඳ කාලේ
ගලුත් කපා කටු කණුමුල් උදුරා සීමා පවුරකි මැද මාලේ
දිලුත් එ රන්කොත් නවයක් තිබුණයි ශක්‍ර පුරය බඳු ඒ කාලේ
දිලුත් එ දික්පති සූරිය නරපති කෙරෙවුව මැදගම දේවාලේ

ඔය කවියෙ[i] තියෙන්නෙ මැදගම දේවාලෙ ගැන වරුනාවක් විතරක් නෙවෙයි. ඒක  නෝක්කාඩුවක් කියල අපේ මුත්තල කියනව මං අහල තියනව.  මුල දී තිබුණ මේ පුරාණ දේවාලෙට නේ යාපා මහ රජ්ජුරුවො බාර හාර වුනේ. යුද්දෙ දිනුව ට පස්සෙ අලුතෙන් දේවාලයක් හදල වනාන්තරේ මැද්දෙ අලුත් පුරවරේකුත් හැදුව තමයි. ඒත් ඊට පස්සෙ  මැදගම දේවාලෙ පාළුවට ගියාම  ඒ කාලෙ ඇත්තන්ට දුක හිතෙන්න ඇති.

රුහුණු කතරගමට ගිය පුරාණ මාර්ගය

භාරතරත්න කපුමහතා දේවල දිග්ගේ පිවිසුම් දොරටුව අසළ සිට

“ඒ කාලෙ කතරගමට යන්න රට මැද්දෑවෙන්  පාරක් තිබුණ.  දැන් මේ අපි ඉන්නෙ ඒ කාලේ තිබුණ මැදගම වනාන්තරේ ගැට්ටපාන වන්නිරාල කියන ඇත්තගෙ ඉසව්වෙ.  මෙතනින් තමයි ඒ පාර තිබුණෙ. මේ හරියෙන් ගිහින්  පොකුණගම දිහාවෙන් යන පුරාණ රජමාවතේ ගියාම  වලවේ ගඟ හම්බ වෙනව. ගඟ දිගේ පහළට ගිහින් තමයි වන්දනා නඩ කතරගමට ගියෙ. මෑතකදීත් ඔය පාරෙන් දෙමළ පූසාරි වරු පාගමනින් කතරගම ගියා. බොහොම ඉස්සර ඉඳලම ඉන්දියාවෙ ඉඳල මේ පාරෙන් කතරගම වන්දනාවෙ යන්න බ්‍රාහ්මණ වරු එන සිරිතක් තිබිල තියනව.

ඔහොම ආපු එක වන්දනා නඩේක ප්‍රධානියා තමයි මංගලනාත බ්‍රාහ්මණ. අනෙක් අය එයාගෙ සහෝදරයොයි ඒ ඇත්තන්ගෙ දේවින්නනාන්සෙලයි. එයින්  කීප දෙනෙක්  ගේ නම් රංගනාත බ්‍රාහ්මණ, රාමචන්ද්‍ර බ්‍රාහ්මණ, කිරිපරාම,නාගරදේවි, වල්ලි දේවි කියන අය.  වන්දනා නඩවලට  මැදගම වනාන්තරේ  ගිමන් හරින්න  වාඩි පදිංචියක්  තිබුණ. ඒක තිබුණෙ   ගැට්ටපාන හරියෙ.  ඒ  ගැට්ටපාන වන්නිරාලගෙයි අනෙක් වන්නිරාලවරුන්ගෙයි ප්‍රධානිය තමයි මැදගම බණ්ඩාර කියන කෙනා.

වැව පතුලේ දිලිහෙන රන් ඊ තලයක්!

ඉතින්  වාඩි පදිංචියෙ ගිමන් අරින්න නැවතිලා  හිටිය අය අතරින් මංගලනාත බ්‍රාහ්මණ තුමාට කන්දස්වාමින් වහන්සෙගෙ රාමසැර ඊ තලයක් අහසින් ඇවිත් මැදගම වනාන්තරේට වැදුන බව රෑ  හීනෙන් පෙනුන. උදේ  ඇහැරුනාට පස්සෙ අහන්න ලැබුණ ආරංචියක් නිසා මේ නම් තමන් දැක්ක හීනෙ අනුව කන්දස්වාමින් වන්සෙගෙ හාස්කමකින් සිද්ද වෙච්ච දෙයක් බව බව තේරුං ගියා.  එදා පාන්දරම පැන් ගේන්න ළඟ තිබුණ වැවට ගිය  රංගනාත බ්‍රාහ්මණට පැන්ගන්න එබුණු ගමන් වැව පතුලෙ දිලිහෙන රන් ඊ තලයක් දැකල  අතගාල බලල තියනව. ඒත්  මඩ මිසක්වෙන දෙයක් අහු වෙලා නෑ. මේ ගැන  බයවෙලා  දුවගෙන ඇවිත් මංගලනාත කියන තමන්ගෙ අයියණ්ඩි ට විස්තරේ කිව්ව. කවුරුත් එක්ක වැව අද්දරට ගිහින් බැලුව. හැබෑවටම වැව පතුලෙ  රන් ඊ තලයක් පේනව. පතුළ අතගෑවට  මඩ මිසක් වෙන මොන වත් හම්බ වෙන්නෙ නෑ. ඒ පාර මංගලනාත බ්‍රාහ්මණ උඩ බැලුව. වැව අද්දර තිබුණ  ගහේ ඊතල මුණේ ඇමිනිලා. මේ නම් ඒ කාන්තයෙන්ම තමන් දැකපු හීනෙ හැබෑ වීමක් බව ඒ ඇත්තට තේරුනා. තමන් දුටුව හීනෙයි, උදේ ඒක ඇත්තටම සිදුවෙලා තියන විදිහයි යන සේරම විස්තර ගැට්ටපාන වන්නිරාල, බඩහැල වන්නි රාල, කදිරසිංහ තන්ත්‍රී,  පරවර දාස යන අයටත් කියල මැදගම බණ්ඩාරටත් කියල යැවුව. ඒ කට්ටියම එකතු වෙලා හත් දවසක් පෙහෙවස් සමාදන් වෙලා ඉඳල පේ වෙන ගමන් මේ ආබරණෙ තැන්පත් කරන්නෙ කොහේද කිය කල්පනා කළා.

මෙහෙම කල්පනාවට වැටිල ඉද්දි එක දවසක රෑ හීනෙන් මංගලනාත බ්‍රාහ්මණ ඉදිරියට සුදු ඇතෙක් පිටින් ඇවිත් පෙනී හිටපු දෙවියෝ  සුදුසු තැනකින් මලසුන් ගෙයක් හදන තුරු වන්නි වෙලේ ‘ගැටනෙටුල් ගහ යට තියන ගල්ලෙනේ  තැන්පත් කරන්නය’ කියල අතුරු දහන් වුනා. ඊට පස්සෙ  කට්ටිය එකතු වෙලා වැව අද්දර තිබුණ ගහ මුලට ගිහින් ආසිරි වාද පවත්තල වැඳ වැටිල ඉනි මං බඳවගන ඊ තලය මුදාගන්න  රංගනාත බ්‍රාහ්මණව ගහට නැග්ගුව.  ඒ ඇත්ත දෑත පිරුවටයකින් වහගෙන  පඤ්ච තූර්ය නාදෙන් රන් ඊ තල මුණය ගලවා ගෙන බිමට බැහැල එහෙමම ගල්ලෙනට වැඩම කළා. ලෙන ඇතුලේ ඉබේම හැදිල තිබුණ ගල් ආසනය උඩ තැන්පත් කළා. එදා ඉඳල දින පතා ම දන්,මුරුතැන්, මල්, පහන්, සුවඳ  පූජා කරමින් තේවාව කරන්නට වුනා. සෑම තැන ම දේව හාස්කම් වල ආරංචිය පැතිරෙන්න වුනා. රටේ ඈත පළාත්වලිනුත් සෙනග සේනාව දවස් පතා ම පුද පූජාවලට එන්න උනා.

මැදගම දේවාලය පැවතියේ යයි කියවෙන ස්ථානය කහ කවය තුළ සුදු අකුරෙන් ද වර්තමානදේවාලය රතු වර්ණ කවයේ කහ පාට අකුරෙන් ද සටහන් කර ඇත (පින්තූරය මත ක්ලික් කිරීමෙන් වඩා විශාල කළ හැකියි)

වැඩි දවස් ගන්නෙ නැතුව  මැදගම බණ්ඩාරයි, වන්නිරාලයි, රංගනාත බ්‍රාහ්මණයි පළාතේ සෙනග සේනාවත් එකතු වෙලා සූරිය මහ රජ්ජුරුවන් බැහැ දැකල කියා හිටියට පස්සෙ මේ කාරණාවෙ වගතුග බලාගන එන්නට පරමණ්ඩල ඇමතිවරයාට කිව්ව. එයා ඇවිත් තිර අරවා බැලුවාම සූර් දිව්‍ය රාජයා වගේ තේජස් විහිදවමින් කිනිහිරිය මල වගේ වැඩ ඉන්න දේවාබරණෙ   දැක්ක ගමන් බයවුනා. ඒ ගමන්ම ගිහින් මේ ගැන සූරිය මහ රජ්ජුරුවන්ට ඒ වග  ඔප්පු කර කියා හිටිය. ඉතින් සිව්රඟ සේනාව පිරිවරාගන මහ රජ්ජුරුවන් වහන්සේ දේවාලය ඉදි කරන්නට ආව. ඒ ගමනේ දී දවස රෑ පහන් වෙද්දි මහ පර්වත ගලක් මහා හඬින් පුපුරා පොඩි වෙන හඬක් ඇහුන. හැබෑවටම ගිහින් බැලුවාම  එතන ඉඩ ඇරී තියන බව  දැකල දේවාලය සිද්ද කරන්ට සුදුසු මෙතන ය කියල තීන්දු කළා.

මැද්දේගම් නුවර  මහ විහාරෙ  දේවමිත්‍ර මහ තෙරුන්නාන්සේ ගෙන්වා  සුබ මොහොත් අහල ඒ අනුව දුරුතු මහේදි ගල්ටැන් හිටවල හීමා බන්දනය කළා. කදිරසිංහ තන්ත්‍රී තමයි මඟුල්  කප හිටෙව්වය කියන්නෙ.  දෙවුන්දරින් ගෙන්නපු වඩුමිස්ත්‍රි  තමයි දේවාලෙ සිද්ද කළේ. ඒ ඇත්තන්ට ගම්බිම් දීල මෙහෙම පදිංචි කෙරෙවුව ඒ පරම්පරාවෙ අය තමයි මීස්ත්‍රී පංගුවෙ ඇත්තො විදිහට අදත් රතේ තේවා බාරව ඉන්නෙ. එදා දේවාලෙ රන් කොත් නමයක් ඇතුව බොහොම අලංකාරෙට කළා කියල ඔය කවියෙත් කිය වෙනව නේ. එහෙම දේවාලෙ කරවල මංගලනාත බ්‍රාහ්මණ ලවා දේවාභරණ වැඩමවල තැන්පත් කළා. මැදගම බණ්ඩාරයි ගැට්ටපාන වන්නිරාලයි තමන්ගෙ ගම් බිම් වලින් වී අමුණු 17 ක් දේවාලෙ දන්මුළුතැන්වෙනුවෙන් පූජ කළා. දේවස්තානෙ අනෙක් තේවා

පුරාණ ලේඛනය- හිටපු බස්නායක නිළමේ හරිශ්චන්ද්‍ර තෙන්නකෝන් බණ්ඩාර නිලමේතුමාගේ අනුමැතියෙන් දේවාල කාර්යාලයේ පැවති පිටපතකින් ලද ඡායා පිටපතකි.( මේ මත ක්ලික් කිරීමෙන් තරමක් විශාල කළ හැකියි) කපුමහතා පවසන කතාව සහ මෙහි දැක්වෙන විස්තරය අතර ඇති වෙනස නොසලකා හැරිය හැකි තරම් කුඩාය. මෙය මහනුවර සමයේ මුල්කාලයේ ලියැවුන ලේඛනවල වදන් සහ භාෂා විලාසය හා රචනා ශෛලියෙන් යුතු එකකි.

වලට මහ රජ්ජුරුවන්ගෙ නියමයෙන් කදිරමල් නාච්චිරේ, තටු කොල කළුෑ, පොල්බොක්කෙ අරුමක්කාරයා යන අයවත්  පත් කළා. ඒ  ඒ අයට නඩත්තුවට ගම් බිමි පවරා දුන්න. මංගලනාත, රංගනාත බ්‍රාහ්මණවරු දෙන්න බාරකාර කපුවරු විදිහට පත් කළා. ඒ බ්‍රාහ්මණ වරුන්ට දේවාලෙ ළඟින්ම පදිංචි වෙන්ඩ ඉඩකඩං දුන්න. ඒ අය පදිංචි වෙලා හිටිය තැන තමයි බ්‍රාහ්මණවත්ත කියන්නෙ. ඒ අයත් එක්ක ඇවිත් හිටපු නාගර දේවි වල්ලි දේවී කියන අයට ‘මුරුතැන් රතනපතී’ කියල  නම්බු නාමෙකුත් දීල නඩත්තුවට ගම් බිම් පවා දීල නියම විදිහට රාජකාරි කරන හැටියට පවරල මහ රජ්ජුරුවො සූරිය මහනුවරට වැඩිය.

ඒ දේවාලටෙ තමයි යාපා මහ රජුජුරුවො එදා බාරවුනේ. ඊට පස්සෙ මේ නුවර හදල මේ දේවාලෙ කළාට පස්සෙ මැදගම දේවාලෙ වල්බිහි වුනා.

කපුමහතා පෙන්වා දෙන ‘මැදගම දේවාලය’ පිහිටීම

‘ඒ  දේවාල හීමාව තමයි දැන් ඔය ‘මැදවත්ත’ය කියන්නෙ. ඉස්සර ඔය වත්ත වටේ බැම්මක් තිබුණ. දැනුත් තැනින් තැන ඒ බැමිවල ඒ පාදම් ගල් දකින්ඩ පුළුවන්. මැදවත්ත කෙවරේ කුඩුගල්වත්ත ගේ ගාව පත්තිනි දේවාලෙ ඉස්සරහ පිට කටුගාල් වැවිල ගොඩැල්ලක් වගේ තිබුණ මතකද? ඒ  තමයි එදා දේවාලෙ හදල තිබුණ  මළුව. 1978 සුද්ද බූමිය කරන්නය කියල ඔය ගොඩැල්ල බුල්ඩෝසර්

1991 සැප්තැම්බර් පෙරමග සඟරාවේ දේවාලය ගැන ලියවුන ලිපියක කපුමහතා පවසන කතා පුවත ද අන්තර්ගතව තිබිණි. මාධ්‍යවේදී ක්‍රිෂ්ණ විජය බණ්ඩාරයන් ලියන ලද්දක් බව සඳහන්ය)

ගෙනල්ල මට්ටං කළා.  බැම්මෙ තිබුණ ගල්පරුවත කුඩුගල්වත්ත වැට මායිමටයි පුරාණ බෝධිය ළඟටයි තල්ලු කළා. ඒක  කුඩුගල්වත්තෙ පුංචිබණ්ඩාර නිලමෙගෙ ගේට පේන මානෙ. ඒ ඇත්තත් ඔය ගැන හොඳට කියා දේවි. එතන කැළෑ වැවුන ගොඩැල්ලක මහ කටුගාලක් තියනව වගේ නෙව පෙනුනෙ. ඒ කාලෙ අපේ මේ දොරටුවට  පත්තිනි දේවාලෙ  පෙනෙන්නෙ නෑ මැදගම දේවාලෙ  මළුවට නිසා වැහිල.  ඒ මළුව කඩල දැම්ම නෙවෙයි සුද්දබූමි කරන්නයි; පෙරහර පාර හොඳට හදන්නයි පොලොවෙ උස්මිටි කම් ටිකක් අඩු කරන්න ඕන නිසා බුල්ඩෝසර් ගෙනල්ල මට්ටං කළා. එතෙන් දි මේ මළුව  ගැන කුඩුගල්වත්තෙ නිලමෙයි මායි  විතරක් කියා හිටියට  වැඩක් වුනේ නෑ. මේ මළුව හින්ද  පෙරහර කරද් දි තොටපල්ල හටන්පල පැත්තට යන පාර ළඟින් පෙරහර හැරෙව්වම තානායම දිහාටවත් මේ හරියටවත් පෙරහර පෙනෙන්නෙ නැතුව යන එක හරි නෑ කියල අනෙක් අය හිතන්න ඇති. ඒ කාලෙ  පෙරහර ඇවති හැරෙවුවම ආයෙ පේන්නෙ පත්තිනි දේවාලෙ රාජකාරි ඉවර වෙලා ආපහු එද්දි. හැම තැනටම පෙරහර පෙනෙනව නං පාලනේටත් ලෙසියි. වීදියත් ලස්සනයි කියල වැඩි දෙනෙක් හිතුව වෙන්න ඇති.  අපි දෙන්න කිව්ව විස්තර බණ්ඩහමුදුරුවොත් දැන හිටියෙ නැති හන්ද එතන මට්ටං කරල දැම්ම.

1978 පෙරහර කරල ඉවර වුනාට පස්සෙයි කාට කාටත් රඟේ තේරුනේ. එක වැහි ඇල්ලයි වැස්සෙ. කුඩුගල්වත්ත ගේ ඉස්සරහ පුරාණෙ කාලෙ බාර ඔප්පු කරන්ඩ පූජ කරල තිබුණ රත්තරං මාල, මැණික් හෙම පෑදුනා.ඒව ගමේ මිනිස්සුන්ට හම්බ වුනේ තමන්ට දෙයියො පිහිට වුන නිසාය කියල කියන්න වුනා. පැරණි පිළිමත් තුනක් හම්බ වුනාය කියනව. තව පැරණි දැනමුත්තන් ගෙනුත් ඔය ගැන අහල බලන්නකො.” කපුමහතා සිය පුරාකතාව අවසන් කළේ එසේ පවසමිනි.

කපුමහතා පවසන පුරාකතාවේ මෙන්ම ජනශ්‍රැතියේ ද සඳහන් මැදගම දේවාලෙ යයි සිතිය හැකි පුරාණ ගොඩනැගිල්ලක් සඳහා යෙදූ පදනම් ගල් අතුරා ඇති තැනක්සේ  අනුමාන කළ හැකි ස්ථානයක් උග්ගල් අලුත්නුවර පරිශ්‍රයේ දක්නට ලැබෙයි.

මැදගම දේවාලය පිළිබඳ වෙනත් දැනමුත්තන් වෙතින් අසාගත් දෑ  මී ළඟ ලිපියේ

විශේෂ වදන් හා ව්‍යවහාර

(විස්තර කිරීම් වලදී පහසුව පිණිස ‘පුරාණ ලේඛනය’ ලෙස මෙහි සටහන් කර ඇත්තේ ලේකම් මිටියේ ඇති ලේඛනයයි. M4 දරන සීමාසංකර විනෝදනියේ අග පිටු  -ජාතික කෞතුකාගාරය – කොළඹ ඇත්තේ ද, රාජකීය පණ්ඩිත පූජ්‍ය කිරිඇල්ලේ ඤාණවිමල හිමිපාණන්  සපරගමුවේ පැරණි ලියවිලි හි උපුටා දක්වා ඇත්තේද, හිටපු අත්තනායක මොහොට්ටාල වරයකු වන ඒ.එම්.එස්.එම්. කරුණාරත්න බණ්ඩාරයන් සතුව තිබී මා වෙත දෙනු ලැබූ අත් ලියවිල්ලේ ද ඇත්තේ මෙහිම පිටපතක් බව පෙනී යයි)

  • ශලුත් ශකන් තුන්සිය වරුසෙ: මෙය “ශ්‍රී සුද්ධ ශකරාජවර්ෂයෙන් එක්දහස් තුන්සිය හතර” ලෙස පුරාණ ලේඛනයේ පැවසෙයි. එය ව්‍යවහාර වර්ෂය අනුව ක්‍රි.ව.1382 බව පෙනේ.
  • සූරිය නරපති:සූර්ය මහ රජ්ජුරුවන් වහන්සේ ලෙස පුරාණ ලේඛනයේ සඳහන්ය[ii] මේ වර්ෂය අනුව ගම්පල රාජධානි සමය බව පෙනේ. ඒ පස්වන බුවනෙබාහු රජු හෝ ‘මැද්දේගම් නුවර රාජධානිය’යි සිතිය හැකි ප්‍රාදේශීය රාජධානියක සිටි රජ කෙනෙකු විය හැකිය.එසේ නොමැතිව පුරාණ ලේඛකයා පැවසුවේ ‘සූර්ය රාජවංශය’ට අයත් රජු ලෙස නම් ඒ පස්වන බුවනෙකබා  රජුම විය හැකිය. මේ අවදිය සතුරු ආක්‍රමණ වලින් බේරීමට ලංකා රාජධානිය නිරිත දිගට සංක්‍රමණය වෙමින් පැවති වකවානුවක් විය. භූගෝලීය වශයෙන් වඩා සුරක්ෂිත යයි පෙනී ගිය තැන්වල ප්‍රාදේශීය  රාජධානි කීපයක්ම බිහිව තිබූ බව ලංකා ඉතිහාසය පෙන්වා දෙයි. ඒ අනුව ‘මැද්දේගම් නුවර’ යනු එවැනි  රාජධානියක් යයි සිතන්නට ද හැකියි.
  • දෙමළ පූසාරි වරු: දෙමළ ජාතික හින්දු පූජකයන්ව කපුමහතා විසින් මෙන්ම පැරණි ගම්වැසියන් ද හඳුන්වනු ලබන්නේ මේ නමිනි. 1960 ගණන් වල නිවෙස් ඉදිරි පිටට පැමිණ ‘හරෝහරා’ යි පවසමින් මේ පාරෙන් පාගමනින් කතරගම යන දෙමළ ජාතිකයන් පැමිණි බව වෙනත් පැරැන්නෝ ද පවසති.
  • මංගලනාත බ්‍රාහ්මණ : පුරාණ ලේඛනයේ ද මේ නම හමුවේ. භාරතරත්න කපුමහතාගේ වාසගමට ඇත්තේ ද මේ නමය.
  • රංගනාත බ්‍රාහ්මණ: පුරාණ ලේඛනයේ ද මේ නම හමුවේ. මේ වාසගම ඇති පරම්පරාවල ඇත්තන් දැනුදු මේ ගම්මානයාශ්‍රිතව සිටිති
  • රාමචන්ද්‍ර බ්‍රාහ්මණ: පුරාණ ලේඛනයේ ද මේ නම හමුවේ. මේ වාසගම ඇති පරම්පරාවල ඇත්තන් දැනුදු මේ ගම්මානයාශ්‍රිතව සිටිති
  • කිරිපරාම: කපුමහතාගේ පුරාකතාවේ පමණක් හමුවන නමකි
  • නාගරදේවි: පුරාණ ලේඛනයේ ද මේ නම හමුවේ. මේ නම සහිත පුරාණ දේවාල තේවාවල යෙදුන කාන්තාවක් පිළිබද ජනකතාවක් හුමවෙයි.(ඉදිරි ලිපියක ලියවේ)
  • වල්ලි දේවි: කපුමහතාගේ පුරාකතාවේ පමණක් හමුවන නමකි
  • වාඩි පදිංචියක්: පුරාණ ලේඛනයේ ද මේ වචනය හමුවේ. තාවකාලිකව නවාතැන් ගන්න ස්ථානයක්
  • ගැට්ටපාන වන්නිරාල: පුරාණ ලේඛනයේ ද මේ නම හමුවේ. ගැට්ටපාන යනු දැනටත් ව්‍යවහාරවන තදාසන්න ගම්මානයකි. වන්නිරාල යනු වනාන්තර කොටස භාරව මැදගම බණ්ඩාර යටතේ සේවය කළ තැනැත්තේක් බව පෙනේ
  • මැදගම බණ්ඩාර: පුරාණ ලේඛනයේ ද මේ නම හමුවේ. මුළු මැදගම වනාන්තරයම භාරව සිටි තැනැත්තා බව පුරාණ ලේඛනයෙන් ද පෙනී යයි. කලින් ලිපියේ සඳහන් කොට්ටයාකන්දේ වන්නිරාල ද ඔහු යටතේ සිටියකු බව සිතිය හැකියි
  • අද්දර තිබුණ ගහ: මෙය අන්දරගහ ලෙස පුරාණ ලේඛනයේ ව්‍යවහාර වෙයි
  • බඩහැල වන්නි රාල: පුරාණ ලේඛනයේ ද මේ නම හමුවේ. මේ තවත් වනාන්තර කොටසක් භාරව සිටි අයකු බව සිතිය හැකියි
  • කදිර සිංහතන්ත්‍රී : පුරාණ ලේඛනයේ ද මේ නම හමුවේ. එය කදිර සිංහා සහ කදිර සිංහ තන්ත්‍රී යන නම් දෙකකින් පුරාණ ලේඛනයේ දැක්වෙයි. මේ එකම තැනැත්තා හැඳින්වීමට භාවිත වූ බව සිතිය හැකියි. ‘කදිර මල්’ යන්න හටන්පල සාම්ප්‍රදායික යකඩවානේ ශිල්පීන් යකඩ උනු කිරිමේ දී ඉවත්වන අපද්‍රව්‍ය හඳුන්වන්නට භාවිත කරන වචනයකි. නාච්චිරේ යනු නාච්චිලේ යන දෙමළ වදනින් සිංහලට ආ වක් දැයි සෙවිය යුතු වෙයි.
  • පරවර දාස: පුරාණ ලේඛනයේ මේ නම හමුවන්නේ ‘පරවරදාසා’ යනුවෙනි
  • පෙහෙවස් සමාදන්ව : පුරාණ ලේඛනයේ මෙය පෙහෙවස් සිටීම ලෙස දැක්වේ.
  • පේවෙනවා: දෙවියන් උදෙසා වන රාජකාරි හෝ යැදීම් සඳහා කටයුතු කිරීමේ දී කිල්ලට හසු නොවී සූදානම් වීම පේවීම ලෙස හැඳින්වේ
  • මලසුන් ගෙයක්: පුදසුනක් සහිත ගොඩනැගිල්ලක් හෙවත් දේවාලයක්
  • ගැටනෙටුල යට ගල්ලෙන: පුරාණ ලේඛනයේ ද සඳහන් මේ ගල්ලෙන යයි හැඳින්වෙන ස්ථානය වර්තමානයේ ගල්වත්ත යනුවෙන් හැඳින්වෙන ස්ථානයේ වෙයි. 
  • පිරුවටය: පිරිසිදු සුදු රෙද්ද
  • පඤ්චතූර්ය නාදය: ආතත, විතත, විතතාතත, ගන, සුසිර යනාදී සාම්ප්‍රදායික වාදන
  • දන්,මුරුතැන්, මල්, පහන්, සුවඳ: පුරාණ ලේඛනයේ පඤ්චෝපචාරයෙන් පුද පවත්වා යනුවෙන් දැක්වෙන්නේ මෙය දැයි සෙවිය යුතුවේ
  • පරමණ්ඩල ඇමති: පුරාණ ලේඛනයේ මෙය අමාප්ත මණ්ඩලය ලෙස දැක්වේ පරමණ්ඩල ඇමති යන්න කපුමහතා පැවසූ නමය.
  • සිව්රඟසේනාව: ඇත්, අස්, රිය, පාබල යන සිව් සේනාවන්
  • මැද්දේගම් නුවර:පුරාණ ලේකනයේද මේ නමින් රාජධානියක් හමුවේ. වර්තමාන පින්නවල මැද්දේගම මේ පුරාණ මැද්දේගම යයි සිතීමට කුස්තන්තීනු හටන් කාව්‍යය අනුව ද අනුමාන කළ හැකිවෙයි. එහි පෞරාණික නටබුන් ස්ථානද හැඳිනගත හැකියි. බොල්තුඹේ සමන් දේවාලයටත් උග්ගල් අලුත්නුවරටත් අතරමැද්දේ පිහිටියකි. වැඩි විස්තර පසු ලිපියක දී
  • දේවමිත්‍ර මහ තෙරුන්නාන්සේ: ඉහත කියන මැද්දේ ගම ආසන්නයේ  දැනට එළුගාල යයි  හඳුන්වන ගමේ  පුරාණ ටැම්පිට විහාරයක් පුරාවිද්‍යා දේපාර්තමේන්තු සංරක්ෂණය යටතේ පවතී. මේ හිමියන් එහි වැඩ සිටියා විය හැකිදැයි සෙවිය යුතු. විස්තර ඉදිරි ලිපිවල
  • වඩුමිස්ත්‍රී: පුරාණ ලේඛනයේද දෙවුන්දර වඩුමිස්ත්‍රී ගෙන් වූ බව කියවේ. මීස්ත්‍රී පංගුව යනුවෙන් රාජකාරියක් දැනුදු මෙහි පවතී
  • රතේ තේවා: රතේ යනුවෙන් මෙහි පැවසෙන්නේ මහ පෙරහරට දේවාභරණ වැඩමවන රථ කරත්තයයි. එහි සැරසිලි කටුයුතු මීස්ත්‍රී පංගුව දායකත්වයෙන් සිදුවේ
  • කදිරමල් නාච්චිරේ: පුරාණ ලේඛනයේද සඳහන් නමකි
  • තටු කොල කළු: පුරාණ ලේඛනයේද සඳහන් නමකි. තටුකොල පංගුව යුනුවෙන් රාජකාරියක් දැනුදු පවතී
  • පොල්බොක්කෙ අරුමක්කාරයා: පොල්බොක්ක යනු උග්ගල් අලුත්නුවර හක්කාර පංගුවට සම්බන්ධ ඉඩම් පවා ඇති ඕපනායක ආසන්නයේ ගමකි
  • බ්‍රාහ්මණවත්ත: උග්ගල් අලුත්නුවර පත්තිනි දේවාලයට නැගෙනහිර දෙසින් ඊට යාබදව ඇති ප්‍රදේශය හඳුන්වන නමය. යටකී බ්‍රාහ්මණයන් පසුකාලයේ වාසය කළේ මේ පෙදෙසේ බව කියවේ.
  • මුරුතැන් රතනපතී: නම්බුනාමයකි. පුරාණ ලේඛනයේ මේ නම්බුනාමය මුළුතැන් රතනපොතී ලෙස හමුවේ.
  • මුරුතැන්: මුළුතැන් යනුවෙන්ද ව්‍යවහාර වන්නේ දෙවියන් උදෙසා පිරිනමන අහාරයයි. ඒවා මුරුතැන්බත් මුළුතැන් බත් යනුවෙන් ද දැනුදු ව්‍යවහාර වෙයි
  • මැදවත්ත: වර්තමාන දේවාලය ඉදිරිපිට දක්නට ලැබෙන දැනට පොල් වවා ඇති අක්කර භාගයක පමණ කොටස මැදවත්ත යනුවෙන් දැනුදු හඳුනාගත හැකිය. මෙහි මැදගම දේවාල මළුව ලෙස පවතින භූමි භාගය ඉදිරියේ පුරාණ බෝධීන්වහන්සේ නමක් දැකිය හැකියි. පැරැන්නෝ එය මැදගම බෝධිය ලෙස හඳුන්වා දෙති. මැදගම දේවාල මළුව බැඳ තිබූ බව පවසන පෙරලා ඉදිරියට දමා ඇති විශාල ගල්පර්වත කීපයක් දැනුදු ඉතිරිව පවතින බව පෙනීයයි

 

—————————————————————————

[i] ගමේ පුරාණ ජනශ්‍රැතියේ පවතින කවියකි. මේ කවිය ගායනා කරන හඬ ජයන්ත ලාල් සෝරත්නයන් වෙතිනි

[ii] M4 දරන සීමාසංකර විනෝදනියේ අග පිටු  -ජාතික කෞතුකාගාරය – කොළඹ

15 thoughts on ““සූරිය නරපති කෙරෙවුව මැදගම දේවාලේ”

  1. (අ) බ්ලෝග් සංස්කෘතියට මම අලුත් නිසා ටිකක් ලිපි පළ වන විදිය තේරුම් ගන්න අහන්නේ. මේ ලිපි පෙළට අයත් වන්නේ පහත ලිපි ද?
    1 උග්ගල් අලුත්නුවර කරවූයේ පළමු රාජසිංහ රජතුමාද? 2. ‘කොඩිත් උනමින් මුදුත් ගලවා දැමූ පේරැස් ඇල කියන්නේ’ 3. ගිනි අළු ගොඩක් මත පහළ වුන රන් ඊ තලය 4. “සූරිය නරපති කෙරෙවුව මැදගම දේවාලේ”

    සම්පුර්ණ ලිපි පෙළ ගැන කියවන්න ආශාවක් ඇතත් අනුපිළිවෙළ සොයා ගන්න අමාරැයි.
    (ආ) බ්ලොග් එකකට පටුනක් තිබේ ද?
    (ඇ) මේ ලිපියේ ඇතුළත් කවි පෙළ ගායනය කළ තනුව මට මතකයි චිත්‍රපටයක (පුරන්අප්පු විය හැකියි) ගීයක් සදහා යොදා ගෙන තිබුණා. චිත්‍රපට ගීය එනිසා නව නිර්මාණයක් නෙවෙය වගේ්.

    Liked by 1 person

    • 1උග්ගල් අලුත්නුවර සහ යාපා මහ රජු
      2උග්ගල් අලුත්නුවර කරවූයේ පළමු රාජසිංහ රජතුමාද?
      3‘කොඩිත් උනමින් මුදුත් ගලවා දැමූ පේරැස් ඇල කියන්නේ’
      4රජ මාවතක රජ ගමනක්
      5ගිනි අළු ගොඩක් මත පහළ වුන රන් ඊ තලය
      6“සූරිය නරපති කෙරෙවුව මැදගම දේවාලේ”
      යන අනු පිළිවෙලට මේ පුරාකතාව ලියැවි ඇත. ඉහත ලිපි දකුණු පස තීරයේ දැක්වෙන අදාල මාර්තෘකා ක්ලික් කිරීමෙන් පහසුවෙන් කියවිය හැකි සේ සකස් කර ඇති බව කරුණාවෙන් දන්වමි. බ්ලොග් ලිපි ලියැවෙන්නේ මුල්ම ලිපිය අතීතයේ ලියවුනු ආකාරයෙන් නිසා මේ ගැටළුව ඇති වෙනවා. එය බ්ලොග් ලිපි සම්බන්ධව පවතින විශේෂතාවයක් සේම දුබලතාවයක්ද වෙයි.
      බ්ලොග් ලිපිවලට පටුනක් ඇතුළු කළයුතුව ඇත්තේ ද එලෙසමය. බ්ලොග් එකේ දකුණු පසින් දිස් වූ එම පටුන දැනට වසා දමා ඇත. අදාල සම්පූර්ණ පටුන නැවත දිස්වීමට කාලය ගන්නා තුරු සමාව අයැද සිටිමි. මේ සම්බන්ධ ඔබතුමාගේ සැලකිල්ල යොමුවීම මහත්ම සතුටකි.
      මහත්ම දිරි ගැන්වීමකි. ස්තුති වේවා
      අදාල කවි සියල්ල ගායනා කළ බවක් හැඟි ගියේ මගේ ප්‍රමාද දෝෂයක් හේතුවෙනි. එලෙස ගායනා කරන ලද්දේ දක්වා ඇති කවිය පමණකි. මේ දෝෂය නිවැරදි කර ඇත.
      උග්ගල් අලුත්නුවර දේවාලයේ තේවා වලදී ගැයෙන කවි තමන්ටම ආවේනික පුරාණ නාදමාලාවක් අනුව පැරැන්නන් ගයන බව පෙනීයනවා. මේවා ඔබතුමා පෙන්වා දෙන අන්දමේ විශේෂඥ ශිල්පීන්ගේ හැදෑරිමට ලක්කරවා. සංරක්ෂණයට හා ප්‍රතිනිර්මාණයට මග සැලසෙන්නේ නම් ඉතා වටිනා වැදගත් කාර්යයක් වේවි.

      Liked by 1 person

  2. ඔබ වැනි අය මේ දේශයට පහළ වීම අප ලද භාග්‍යක් කොට සලකමි . ඔබේ ඉදිරි කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා තවත් මෙවැනි ලිපිලියන්න ශක්තිය වාසනාව ලැබේවා.
    විචාරක දියණිය

    Liked by 1 person

  3. (වඩු) “මේස්ත්‍රි/මීස්ත්‍රි” කියන්නෙ පෘතුගීසි භාෂාවෙන් ආව එකක් නේද?

    Mestre (Portuguese) = Master (English)

    carpinteiro mestre (Portuguese) = වඩු මේස්ත්‍රි = Master carpenter (Master craftsman) = වඩු ගුරුන්නාන්සෙ? වඩු රාල?

    “මේස්ත්‍රි” mestre කියන එක පෘතුගීසි කාලෙ වෙනත් ශිල්ප වලිනුත් දක්ෂ/පරිණත master විදිහට සලකන අයට යෙදෙන්න ඇති.
    වඩුමේස්ත්‍රි තාමත් වාසගමක් විදිහට භාවිතා වෙනවා.

    [ලන්දේසින්ගෙන් බාස් (Baas = Boss) වගේ පෘතුගීසින්ගෙන් මේස්ත්‍රි ]

    Liked by 1 person

  4. නැහැ අසංග 1993 දි එවකට අධ්‍යක්ෂ ජනරාල්ව සිටි මහාචාර්ය ශිරාන් දැරණියගලයන් මේ භූමිය වෙත පැමිණ සිටි විටදීම මේස්ථාන සම්බන්ධව සාකච්ඡා කරමින් යෝජනාව ද ඉදිරිපත් කළා. එතුමා ද යෝජනාවෙ වැදගත් කම අගය කළා. ඒ අතර අපත් සමගම කළ දළ ගවේශනයක දී කැණිම් කළ යුතු තවත් තැන් පිලිබදව හඳුනා ගනිමින් එහි වැදගත් කම තේරුම් ගෙන ඇති බව පෙනුනා. අපත් සමගම ගොස් දේවාල තේවා වලදි පැරැන්නන් ඉදිරිපත් කරන දිග්ගේ නැටුම නරඹමින් මේ වන විට මේ තරමින් හෝ ඒ සම්ප්‍රදයයන් සුරක්ෂිතව පැවතිම ඇගයීමක්ද කළා. 1998 දී මේ ස්ථානය පුරාවිද්‍යාත්මක වශයෙන් ආරක්ෂා කරගතයුතු තැනක් ලෙස නිළ වශයෙන් ප්‍රකාශයට පත් කළා. ප්‍රතිපාදන ගැටළුව හරස් වීම නිසා දෝ එයින් මෙපිට වෙනත් දෙයක් තවම සිදු වී නැහැ. ඔබ ඉදිරිපත් කරන්නේ ඉතාම වැදගත් අදහසක් ඒත් අප වැනි තුන්වැනි ලෝකයේ රටවල් මුහුණ දෙන තත්ත්වය එය වෙන්න ඇති නේද? අසංගගේ පැමිණිම වෙනුවෙන් තුති පුදමි

    කැමතියි

  5. නැවතත් රසවත් විස්තරයක්. කවිය ලස්සනයි. එසේම මේ විස්තර වැදගත් වෙන්නේ සංගීතය , සාහිත්‍යයේ ආදිය සංවර්ධනය වීමේදී මේ කතා කොපමණ බලපෑවද කියන කරුණ ත් එක්ක කියල හිතෙනවා. සමහර විස්තර එපමණ විශ්වාස ගන්න බැරි වුනත් ඉන් ඉතිහාසය සම්බන්ධ කතාවට ලොකු බලපෑමක් නැහැ. දිගටම ලියන්න.

    Liked by 1 person

    • ඔබේ ප්‍රතිචාරයේ වැදගත්ම කොටස වන්නේ මේ මුළු කතාවම ඉතිහාසය සේ නොගතයුතු බව පෙන්වා දීමයි. භාරතරත්න කපුමහතා පවසන්නේ පුරාකතාව මිස මෙහි ඉතිහාසය නොවේ.එහෙත් ඉතිහාසය හා පුරාකතා පටලවා ගැනීම ලාංකික අප තුළ බහුලව දකින්නට හැකි දුබලතාවක් බව පෙනෙනවා.
      ඉතිහාසය සොයා ගැනීමට ප්‍රයෝජනයට ගන්නා සාහිත්‍යමය මූලාශ්‍ර යන්හි එන විස්තර කතා ‘ඉතිහාසය’ සේ පටලවා ගනිමින් අවුලක පැටලී සිටින අය බ්ලොග් අතර කෙසේ වෙතත් මූණු පොතේ ඉතා බහුලව හමුවෙනවා. මේ නිසා ඇතිව තිබෙන විශ්වාස ඇදහිලි නිසා එකිනෙකා කුලල් කාගනිමින් සිටින බවක්ද පෙනෙනවා.
      ඔබ පෙන්වා දෙන්නාක් සේ මෙහි වැඩි වශයෙන් ඇත්තේ ජන සාහිත්‍යය හා ජන සංගීතය පමණි. එයින් ගම්මානයේ ඉතිහාසයට ද කිසියම් එළියක් ලැබෙතත් එය මුළුමණින්ම ‘ඉතිහාසය’ නොවේ. ජන කොට්ටාසයක් තුළ පවතින ඇදහිලි ආකල්ප සාරධර්ම වටහා ගැනීමට කදිම පිටිවහලක් ලැබීම පුරාකතාවලින් සැලසෙන මහඟු මෙහෙවරකි. එය එලෙස තේරුම් ගැනීම අත්‍යවශ්‍යයි. සමාජයක පවතින සිරිත් විරිත් හා උත්සව එහි උද්‍යෝගිමත් වර්ධනයට අනුබල දෙයි. ආත්මගෞරවයට හා ආත්මාභිමානයට ද මිනිසා ගේ චරිතවර්ධනයට ද ඉවහල් වෙයි. ඒ නිසා පුරාකතා යනු ඉවත දැමිය හැකි දෑ නොවෙයි.
      කපුමහතා පැවසූ කතාවේ විශේෂයෙන් මැදගම දේවාලය සම්බන්ධ කොටස තුළ අදහා ගන්න බැරි විස්තර බහුලය.මේ කොටසින් ඉතිහාසයට ලැබෙන්නේ මද එළියකි. ඒ නිසාම බ්ලොග් සටහනේ මැදගම දේවාලය පිළබඳ පුවත පසුව ලිවීමට සැලසුම් කර සිටියෙමි. භාරත කපුමහතා පවසන්නේ ඔහුගේ ප්‍රබන්ධයක් නොවන බව පුරාණ ලේඛනයේ ද එම කතාවම දක්නට ලැබීම අනුව පෙනී යයි. එය ලියැවෙන්නේ වසර දෙසීයකට පෙර සිදු වූ පුවතක් ලෙසින් බව ලේඛනයේ පැවසෙයි එබැවින් එම ලේඛකයාද ලියා ඇත්තේ ඒ වන විට පැවති ජනකතාව බව සිතිය හැකියි. මේ මූලාශ්‍රය පිළිබඳ වැඩි විස්තර ඉදිරියේ දී ලියන්නට අවසර දෙත්වා.

      කැමතියි

  6. පින්ග්කිරීම: සොයා යාම |

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.