උග්ගල් අලුත්නුවර කරවූයේ පළමු රාජසිංහ රජතුමාද?

මේ ටිකිරි බන්ඩාර කුමාරයා ද?

යාපා මහ රජතුමා විසින්   යුද්ධයට යාමට පෙර ඒ වෙනුවෙන් ආසන්නයේ තිබූ කොස් පැලේ රන්පනම් 1000 ක පඬුරු පුදමින් බාර වූයේ   මැදගම වනාන්තරය තුළ එවකටත් පැවති කතරගම දේවාලයටය. බාරයේ හැටියට පැවති දේවාලය වෙනුවට ඒ ආසන්නයේ මහ නුගයක් තිබූ කඳු ගැටය මුදුන ත සම භුමි කරවා, ක්‍රි.ව.1582 දී  අලුතෙන් ම දේවාලයක් ද විහාරගෙයක් සහ දාගැබක් ද ඉදි කර කඳුගැටය වටා බැමි බැඳ, සතර වීදි තනා වාහල්කඩ සතරක් ද සකසා මාස 10 කදී අලුත්ම පුරවරයක් සකසා, ඒ ඒ තේවා සඳහා නියම කළ පිරිස් ද ගෙන්වා පදිංචි කළ බවත්, ඇසල මාසයේ පෙරහර පහලොස් දවසක් කළ බවත් කියවේ[i] ගමේ පුරා කතාවල ද පෙරහර තේවා  අවස්ථාවල ගැයෙන යාදිනි කවි වල ද මේ පුවත දැක්වෙයි. “කන්ද කුමාර සිරිතේ” කාව්‍යයෙන් ද  මේ තොරතුරු සනාථ වෙයි.  උග්ගල් අලුත්නුවර යන නම පළමු වරට දක්න ට ලැබෙන්නේ මේ කාව්‍යයේ ය.[ii]

මෙතෙක් දන්නා ලංකා ඉතිහාසය තුළ ‘යාපා’ යනුවෙන් මහ රජකු හමු නොවන බැවින් ඒ කවුද යනු හඳුනා ගැනීමට ගත් වෑයමේ දී පුරා කතා වලින් පැවසෙන දෑ මිස වෙන යම්   පිළිගත හැකි සාක්ෂියක් 1991 වනතුරු හමු නොවූ බව පවසමින් කලින් ලිපිය නිම විය.

පළමු රාජසිංහයන්  හා සීතාවක රාජ්ධානිය පිළිබඳව මහාචාර්ය රිසිමන් අමරසිංහයන් ගේ ගවේශන හා පර්යේෂණ අඩංගු තොරතුරු අප හමුවට එන්නේ 1990 දී  මුද්‍රිත ලේඛන බවට පත්වීමෙන් අනතුරුවය. මේ ඇසුරෙන් හෙලිවන නවතම තොරතුරු උග්ගල් අලුත්නුවර ඉතිහාසය සම්බන්ධයෙන්ද මහත් එළියක් විහිදුවයි.

සීතාවක සම්බන්ධව  එතුමා විසින් සොයා ගනු ලැබූ පුරාණ පුස්කොල පොත් ගණනාවක් සමග අලකේශ්වර යුද්ධය, රාජාවලිය හා චූලවංශය මෙන්ම සීතාවක හටන වැනි මෙතෙක් සීතාවක හා පළමු රාජසිංහයන් පිළිබඳව අප දැන හඳුනාගන සිටි දැයට වඩා වෙනස් අමුතුම තොරතුරු සමූහයක්ම හමුවෙයි.

“සීතාවක රාජසිංහ රාජ්ජ කාලය – සීතාඩක සන්නස – මැදගොඩ දේවාල සන්නස – මානියම්ගම පුස්කොල ලිපිය – ටිකිරි රජ්ජුරු බණ්ඩාර ආස්තාන ගේ ජන්ම පත්‍රය – ශෙලේන්ද්‍රසිංහයන් ගේ පුස්කොල ලිපිය සහ දිවුනු පත්‍රය”[iii] යන මේ ඓතිහාසික ලියවිලි පළමු වරට අප හමුවට ලැබෙන්නේ එම ගවේශන හා පර්යේෂණ වල ප්‍රථිඵලයන් වශයෙනි. සාම්ප්‍රදායික සෙසු මූලාශ්‍ර සමග මේවා හා සසඳමින් කරන ලද පර්යේෂණ හා සොයා බැලීම් මගින් සීතාවක යුගයක් පිළිබඳව  වටිනා තොරතුරු සමූහයක්ම එතුමාගේ අනෙක් පර්යේෂණ ග්‍රන්ථය ද ඇසුරින් හඳුනා ගත හැකි වෙයි [iv]

 මේ සොයා ගැනීම් අනුව, ක්‍රි.ව.1599 දී ලියැවුන ක් වන ‘සීතාවක රාජසිංහ රාජජ්ජ කාලය’ උග්ගල් අලුත්නුවර කරවීම සම්බන්ධව ද  අපේක්ෂා කරන තොරතුරු ලැබෙන ප්‍රධාන ම මූලාශ්‍රය වෙයි. එය ලියා ඇත්තේ මානියම්ගම රජමහා විහාරයේ වැඩ සිටි සිටිනාමළුවේ ධර්මපාල හිමියන් විසිනි. මේ අනුව පමු රාජසිංහයන්ට තිබූ පීතෘඝාතක චෝදනාව ප්‍රතික්ෂේප වන අතර බුද්ධ ශාසන නාශක චෝදනාව ද  අර්ධ සත්‍යයක් පමණක් බව හෙලිවෙයි[v].

ඉහත කියන පුස්කොල ග්‍රන්ථයේ ‘කා’ පත් ඉරුවේ සඳහන් වන ලෙස මුල් කාලයේ නම ‘ටිකිරි රජ්ජුරු බණඩාර යාපා’ යනුවෙන් දැක්වෙයි. ‘කු’ පත් ඉරුව අනුව වීදිය බණ්ඩාර සමග කරන ලද දරුණු සටනක් වූ පළෑඳ  සටනින් ජය ලැබ මායාදුන්නේ හමුවට පැමිණි හමුදාව “එකල ලංකාවේ සේනාව රාජසිංහ නමි තැබුවා හ” යි සටහන් වෙයි. ටිකිරි රජ්ජුරු බණ්ඩාර යාපා කුමරුට රාජසිංහ නම භාවිත වන්නට වූයේ මෙලෙස එම සේනාව තුළ ඇති වූ මහත් උද්දාමය නිසා බව පෙනේ. ඔහුට ටිකිරි කුමරු යනුවෙන් සීතාවක අවට පෙදෙස් වල භාවිත වන්නට ඇතිවා සේ ම උග්ගල් අලුත්නුවර ඇත්තන් “යාපා” යන නම භාවිතා කරන්නට ඇතැයි ද සිතිය හැකියි.

මෙම පුස් කොල පොතේ ‘කෞ’ පත් ඉරුව පළමු රාජසිංහයන් මැදගොඩ පත්තිනි දේවලය කරවීම ගැන පවසන අතර “ශකවර්ෂ එක්වා දහස් පන්සිය හතරේ දි රාජසිංහ මහ රජාණන් උඩකට්ටුව විජේසුන්දර බණ්ඩාරට දී පහත කට්ටුවට සේන්දුව මසෙන් දෙවියන්ට මැදගම දේවාලයක් ද කළ බව දත යුතු යි” යනුවෙන් පවසයි. මැදගම යනු පසුව උග්ගල් අලුත්නුවර ඉදි වන්නට  කලින් ව්‍යවහාර වූ නමයි.  මහසෙන් දෙවි යනු  කතරගම දෙවියන්ට ව්‍යවහාර වන තවත් නමකි. මේ අනුව දේවලයේ පැරණි දැනමුත්තන් වෙතින් ඇසුන කතාව[vi] සැබෑවක් බවට තහවුරු වෙයි.

බොල්තුඹය හා සබරගමු සමන් දේවාලය

පළමුවන රාජසිංහයන් විසින් සබරගමු සමන් දේවාලය ප්‍රතිසංස්කරණය කර අලුතෙන් ද ගමි බිම් පුදා දෙල්ගමුව විහාරයේ තැන්පත් කර තිබූ දළදා වහන්සේ වර්ෂයක් පාසා එහි වැඩමවා වර්ෂයක් පාසා පෙරහර කර වූ බව කියවේ[vii]

මේ සමන් දේවාලයට සතුරු උවදුරක් පැමිණිය හොත් එහි තැන්පත් වස්තුව ආරක්ෂා කරනු පිණිස තමන් විසින් බොල්තුඹයේ ඉදි කරන සමන් දේවාලයට ගෙනවිත් තැබිය යුතු යයි නියමයක් ද කළ බවත් පසු කලක පෘතුගීසි ආක්‍රමණ අවස්ථාවේ ඒ නියමය ප්‍රයෝජන වත් වූ බවත් කියවේ.[viii]

බොල්තුඹය පිහිටා ඇත්තේ උග්ගල් අලුත්නුවරට කෙතරම් ළඟින් ද  යත් මෑත අතීතයේ නිසල රැයක එහි පෙරහර හේවිසි නාදය උග්ගල් අලුත්නුවරට ද ඇසුනි. ක්‍රි.ව. 1580 වන විට යාපනයත් හා කොළඹ පෘතුගීසි බල කොටුවත් හැරෙන විට දිවයිනේ අන් සියලු පෙදෙස් පළමු රාජසිංහ යටතේ තිබිණි. එම රාජධානිය පළමු රාජසිංහන් මිය යනුතුරුම පැවතිනි. මේ අනුව  වෙනත් යාපා මහ රජ කෙනෙකුට උග්ගල් අලුත්නුවර වැනි දැවැන්ත නිමැවුමක් හා සාම්ප්‍රදායික වත්පිළිවෙත්  පිණිස   සුදුසු කම් ලැබූ  කාර්ය මණ්ඩලයක් ස්ථාපනය කළ හැකි ද යන්න සිතා බැලිය යුතු වෙයි.

පසු සටහන

මහාචාර්ය රිසිමන් අමරසිංහයන්ගේ “ඓතිහාසික සීතාවක” කෘතිය

  • මහාචාර්ය සෙනරත් පරනවිතාන

“……… ලංකාවේ සීතාවක යුගයක් මේ තාක් ලියැවී නැත. මූලාශ්‍ර ද අප්‍රකට බැවිනි. එහෙත් අමරසිංහ සූරින් විසින් එම මූලාශ්‍ර ගවේශණය කර කරන ලද  ගැඹුරු ශාස්ත්‍රීය පර්යේෂණයෙහි ප්‍රතිඵල විසින් බිහි කරන ලද ඓතිහාසික සීතාවක දුහුනනට ද, ප්‍රවීණයනට ද එක සේ ප්‍රයෝජනවත් මහාර්ඝ ග්‍රන්ථ රත්නයයෙකි”

  • මහාචාර්ය ටී.බී.එච්. අබයසිංහ-අංශාධිපති, ඉතිහාස අංශය කොළඹ සරසවිය (1982 දෙසැම්බර් 10)

“……….. කෘතියෙහි ඇතුළත් වටිනා ඓතිහාසික ඓතිහාසික මූලාශ්‍ර මෙතෙක් කවර අයුරෙකින්වත් පළ නොකැරුණු ඒවා වීමත් එය පළමු වරට සොයා ගැනුණේ අමරසිංහ සූරීන් විසින් වීමත්ය. මේ මහාර්ඝ හස්තසාර වස්තුව රටට දීමෙන් අමිල සේවාවක් සලසන මහාචාර්ය රිසිමන් අමරසිංහ වියතාණනට සියලු උගතුන්ගේ කෘතගුණවේදී ප්‍රශංසාවද, ගෞරවය ද ස්තුතිය ද නොමදව ලැබිය යුතු යයි මම සලකමි”

—————————————————————-

[i] උග්ගල් අලුත්නුවර දේවාලයේ පුරාණ ලේකම් මිටියේ පැවති පුස්කොල ලේඛනය. මෙහි පිටපතක් කොළඹ කෞතුකාගාරයේ M 4 දරන සීමාසංකර විනොදනී පුස්කොල පොතේ අග පිටුවල ඇත.දේවාලය කරවූයේ ක්‍රි.ව. 1582 වර්ෂයේ බව “රාජසිංහ රාජ්ජ කාලය” ය ද පවසයි

[ii] බාලචන්ද්‍ර බ්‍රාහ්මණයන්ගේ ‘කන්දකුමාර සිරිතේ’ කාව්‍ය සංග්‍රහය- කොළඹ කෞතුකාගාරය විසින් පළ කරන ලද එවකට කෞතුකාගාර අධ්‍යක්ෂව සිටි පී.ඊ.පී. දැරණියගලයන් සංස්කරණය කළ ‘දේව වර්ණනා කාව්‍ය’ ග්‍රන්ථයේ මෙහි පිටපතක් දක්නට හැකියි.

[iii] මහාචාර්ය රිසිමන් අමරසිංහ – ඓතිහාසික සීතාවක – ඇස් ගොඩගේ සහ සහෝදරයෝ කොළඹ 1990 පළමු මුද්‍රණය

[iv] මහාචාර්ය රිසිමන් අමරසිංහ – සීතාවක රාජධානියේ උන්නතියේ ද අවනතියේ ද සමහර අංශ පිළිබඳ විමර්ශනයක් – කර්තෘ ප්‍රකාශනයකි.-1990

[v] මහාචාර්ය රිසිමන් අමරසිංහ – ඓතිහාසික සීතාවක කෘතියේ අන්තර්ගත ‘සීතාවක රාජසිංහ රාජ්ජ්කාලය’ පුස් කොල පොත – ඇස් ගොඩගේ සහ සහෝදරයෝ කොළඹ 1990 පළමු මුද්‍රණය

[vi]  උග්ගල් අලුත්නුවර සහ යාපා මහ රජු නමින් මීට පෙර ලියන ලද ලිපිය

[vii] රාජකීය පණඩිත පූජ්‍ය කිරිඇල්ලේ ඤාණවිමල හිමිපාණන් –  සපරගමුවේ පැරණි ලියවිලි – කොළඹ-1942

[viii] රාජකීය පණඩිත පූජ්‍ය කිරිඇල්ලේ ඤාණවිමල හිමිපාණන් –  සපරගමුවේ පැරණි ලියවිලි – කොළඹ-1942

 

 

Advertisements

12 thoughts on “උග්ගල් අලුත්නුවර කරවූයේ පළමු රාජසිංහ රජතුමාද?

  1. බොහොම ස්තූතියි. ඒ කියන්නේ යාපා කියන්නේ යුව රජු වගේ එකක්ද? ඔබ සඳහන් කරන පොත් දෙක කියවන්න ඕනේ වෙලාවක අරගෙන. ලිපිය නම් ඉතා සාර්ථකයි. මුලාශ්‍ර සමාගම් සටහන් කරන නිසා. උග්ගල් දේවාලය හැදුනේ 1580 න් පස්සේ නම් ඔය කියන යාපා දේවරාජ වෙන් විධිහක් නැහැ තමයි. ඒ නිසා මේ සීතාවක රාජසිංහ කියල තමා පිලි ගන්න වෙන්නේ.

    Liked by 1 person

    • ඓතිහාසික සීතාවක කෘතියේ තවත් මුද්‍රණයක් පිට වි තියන බව අන්තර්ජාලයේ සොයන විට පෙනෙනවා. අනෙක් ග්‍රන්ථය කර්තෘ ප්‍රකාශනයක් නිසා එතුමා ළඟ නැතිනම් විශ්ව විද්‍යාල පුස්තකාලයකින් සොයාගන්න ලැබේ යි සිතමි. වෙළඳ පොලේ මේ කෘතිය සොයාගන්න බැලුවත් හමු වුනේ නැහැ.මා එය කියවූයේ සබරගමු විශ්ව විද්‍යාල පුස්තකාලයෙන්

      කැමතියි

  2. /යාපා මහ රජතුමා විසින් ක්‍රි.ව.1582 දී යුද්ධයට යාමට පෙර ඒ වෙනුවෙන් ආසන්නයේ තිබූ කොස් පැලේ රන්පනම් 1000 ක පඬුරු පුදමින් බාර වූයේ මැදගම වනාන්තරය තුළ එවකටත් පැවති කතරගම දේවාලයටය// මොන යුද්ධයද ගැනද මේ කියන්නේ?

    Liked by 1 person

    • කදිම විමසීමක්. මේ මොන යුද්ධයද කියනඑක මා තවමත් සොයනවා. මී ලඟ ලිපිය දැනට මා ළඟ ඇති තොරතුරු ඇසුරින් ලිවිමට සටහන් කරගත්තා

      කැමතියි

      • 1582 සීතාවක රාජසිංහ යුද්ධයකට ගිය බවක් කොහෙවත් සඳහන් වී තිඑබෙනවද? 1583 තමා ගිහින් තියෙන්නේ. ඔහුගේ පිය මායාදුන්නේ මරුනේ 1581 අවුරුදු 80 පමණ ආයු වළඳා. එනිසා ඔහු පිය මැරුව කියන කතාව මම පිලි ගන්නෙත් නැහැ. ඒක ඔය අරිට්ට කිවෙන්ඩු ගේ උපදෙස් ගත්ත නිසා සංඝයා වහන්සේලා මවපු දෙයක් වෙන්නත් පුළුවන්. මැදගම දේවාලය හැදුනේ ඊට අවුරුදු 100-200 එහා 1300 සිය ගණන් වල ප්‍රාදේශීය රජෙක්. ගම්පොල රාජධානියේ.
        එතකොඅට උග්ගල් අලුත්නුවරදේවාලය දේවරාජා යාපා රජු හැදුව වෙන්නත් ඉඩ තිබෙනවා. මොකද ඔහුට රැකවරණය දුන්නේ මායාදුන්නේ සහ සීතාවක බවයි මගේ හැඟීම . ඔහු සිංහාසනයේ හතරවන උරුමක්කරු. සිත්වක රාජසිංහ වෙනුවෙන් ඔහු දේවාලය හැදුව වෙන්නේ පුළුවන්.

        කැමතියි

        • සීතාවක අවදිය, විශේෂයෙන් පළමු රාජසිංහයන් සටන් වදින්නට වූ තැන් සිට ඔහු මිය යන අවස්ඛාව දක්වාම සටන් අරගල කුමන්ත්‍රණ වලින් පිරුනු අවදියක් බව ප්‍රාථමික මූලාශ්‍ර සියල්ල එක්ව තබා විමසන විට පෙනී යන ලක්ෂණයක්. මගේ ලිවීමේ දුබලකම නිසා වැරදි තේරුම් යාමක් සිදුව ඇති බව
          නැවත කියවන විට පෙනෙනවා. මුල් වාක්‍ය කියවද්දී 1582 යුද්ධයක් ගැන පවසන බව තෙරුම් යතත් එය 1582 බාර වුන අවුරුද්ද ලෙස සටහන් විය යුතුව තිබෙනවා. බාර වීමෙන් පසුව සිදු වූ යුද්ධය ගැන දේවාල ලේකම් මිටියේ ඇති විස්තරවලට අමතරව වෙන කොතැනකවත් ලේඛනගත සාක්ෂි තවම හමු වී නැහැ. එහෙත් මේ සටන තිබූ බවට සාක්ෂි ලෙස පුරා කතා සහ පුරාවිද්‍යාත්මක වශයෙන් දැක්විය හැකි සලකුණු ලැබෙන බව පෙනෙනවා. මැදගම දේවාලය වසර 200 කට පෙර සූරිය මහ රජතුමා හැදවූ බවත් යාපා මහරජු එම දේවාලයට බාර වු බවත් කිය වෙනවා. මේ සූරිය මහ රජු නමැත්තකුද ජාතික ඉතිහාසය තුළ නිශ්චිතව හමු වී ලිය වී නැහැ. පුරාණ ලේඛනය අනුව සූරිය මහ රජු ශ.ව. 1304 (ක්‍රි.ව.1382) හෝ ඊට ආසන්න කාලය‍ේ මැදගම දේවාලය කළ බවක් සටහන්ව තියනවා. ඒ ගම්පල පස්වන බුවනෙක බාහු සමයයි. සමහර විට ඒ ඔහුම විය හැකි බවක්ද සිතිය හැකියි. රාජධානියට වඩා සුරක්ෂිත තැන් සොයමින් නිරිත දිගට සංක්‍රමණය වන්නට වූ රාජ්‍ය උරුම කරුවන් භූගෝලීය සාධක වලින් වඩා සුරක්ෂිත ස්ථාන වල තමන්ගේ වාසස්ථානය ඉදිකර ගෙන ප්‍රදේශාධිපත්යන් ලෙස සිටියාද විය හැකියි. ඒ අනුව සූරිය මහ රජු “සූරියමහනුවර” රජකමි කළ ප්‍රාදේශීය රජකෙනෙකු ද විය හැකියි. ඔබ පෙන්වා දෙන දේවරාජ කුමරු පිළිබඳව පසු කාලයේ තොරතුරු සැඟව ඇති බව පෙනෙනවා. මෙහි දී ගැටළුවක් වන්නේ ඒ ඔහුම නම් 1582 වන විට ඔහු සටනක් මෙහෙයවීමට යාමට අපහසු මට්ටමේ වයස්ගත පුද්ගලයකු වීමට ඉඩ ඇති බවයි. 1580 දී මායාදුන්නේ මහ රජු තමන් වයසට යාමෙන් දුබලව යමින් තිබෙන නිසා විවිධතලයන් හි ප්‍රභූන් කැඳවා ඔවුන් ඉදිරියේ දී රාජ්‍ය විචාරීමේ බලය පළමු රාජසිංහයන්ට පවරා ඇති බව කියවෙනවා.(සීතාවක රාජසිංහ රාජ්ජ කාලය ‘කො’ පත් ඉරුව අනුවය)

          පළමු රාජසිංහයන් තමන්ට ප්‍රතිපක්ෂව සිටි සියලු දෙනාටම බුරුලක් නොපෙන්වා කෲර ලෙස දඬුවම් කළ බව මේ අලුතෙන් හමුව ඇති පුස්කොල ලේඛන වලින්ද පැහැදිලි වනවා. එහෙත් අන්‍ය මූලාශ්‍ර වල දක්නට නැති සහ එම මූලාශ්‍ර සමග ගැටෙන තොරතුරු රාශියක්ද හමු වෙනවා. මේ ලේඛන හා පුුරාකතා සහ මේ දක්වාම දනන්තුඩ තුඩ පවතින ජනකවි ද හැර අන්‍ය ලේඛන සියල්ලක්ම ලිය වී ඇත්තේ රාජසිංහ රජුට ප්‍රතිවිරුද්ධ පාර්ශව වලට සම්බන්ධ අය විසින් බව වඩා විමසිලිමත්ව බලන විට පෙනී යන්නකි. අලකේශ්වර යුද්ධය රාජසිංහ අවදිය සම්බන්ධව විස්තර ලබාගත හැකි ප්‍රධාන මූලාශ්‍රයක් වුවත් එය ලියැවී ඇත්තේ පෘතුගීසීන්ට පක්ෂ එම සමය වැළඳ ගත්තකු විය හැකි බව එහි සංස්කාරක මහාචාර්ය සුරවීරයන් සේම මහාචාර්ය අමරසිංහයන්ද අනුමාන කරති. (ඓතිහාසික සීතාවක කෘතිය) රාජාවලිය ඇතුළු අනෙක් මූලාශ්‍ර ද රාජසිහයන්ගේ අඩන්තේට්ටම් වලට ලක් වූ පාර්ශ්වයන්ට හිතවත් දේශීය ලේඛකයන් මගින් ලියැ වී ඇති බව පෙනී යන කරුණකි.

          කැමතියි

  3. මායදුන්නේගේ පුත්‍රයා වූ ටිකිරි කුමරු සීතාවක රාජධානියේ බල වර්ධනය කෙරෙහි ඉතා විශාල දායකත්වයක් දැක්වූවෙක් ඔහුට උඩරට ද යටත් කරගැනීමට හැකිවුනා . එය සීතාවක රාජධානියේ බල වර්ධනයේ උච්චතම අවස්ථාවයි. මේ වනවිට කෝට්ටේ රාජධානියෙන් විශාල අභියෝගයක් එල්ලවුනත් එය මැඩපවත්වා ගැනීමට මොහුට හැකි උණා. මාස තුනක් කොලබ කොටුව වටලා සිටීමට තරම් මොහු ශක්තිවන්තයෙක් උණා. එම නිසා මොහු සුළුකොට නොතැබිය හැකි රජෙක්. ඒ නිසා ඔබේ තොරතුරු නිවැරදි වෙන්න පුළුවන් ඔබ ගෙනා නව කරුණු වලට බොහොම ස්තූතියි.
    විචාරක දියණිය

    Liked by 1 person

      • /දායකත්වයක් දැක්වූවෙක් ඔහුට උඩරට ද යටත් කරගැනීමට හැකිවුනා // සීතාවක රාජසිංහ රජු කන්ද උඩරට යටත් කරගෙන හිටියේ නැහැ. කරලියද්දේ බණ්ඩාර ප්රුතිගිසින් ගේ උදව්වෙන් බලනදී ඔහුව පරාජය කල . ඔහු සුළු කොට තැකිය නොහැකි බව නම් පිලිගන්නවා.

        කැමතියි

        • රාජසිංහ Military strategy විතරක් නෙමෙයි political strategy ගැනත් හොඳ දැනුමක් තිබුන පාලකයෙක්. මං හිතන්නෙ මායාදුන්නේ රාජසිංහටත් වඩා උපක්‍රමශීලී දේශපාලකයෙක්. අපි දැන් හිතන විදිහේ ජාතිය නිදහස් කරගැනීම වගේ 19/20 ශතවර්ෂවල political values වලට වඩා ඔවුන්ට තිබුනේ මධ්‍යතන යුගයේ සෑම රටකම වගේ පාලකයින් කල ප්‍රාදේශීය සහ හෝ රටේ බල අරගල. ඒ පියා හා පුතා ( මායාදුන්නේ සහ ටිකිරි බණ්ඩාර) එක් කාලයක වීදියේ බණ්ඩාර සමග පෘතුගීසින්ට විරුද්ධවත්, පෘතුගීසින් සමග වීදියේ බණ්ඩාරට විරුද්ධවත් උපායමාර්ගිකව ක්‍රියා කලා.
          පසු කාලීනව වයස හා ආගමික සහ මානසික ව්‍යාකූලතා නිසා රාජසිංහ පිරිහුණ නිසා ඔහු උඩරට යුද්ධයේදී කොනප්පු බණ්ඩාරට පරාජය වෙන්න ඇති. කොහොමවෙතත් කොනප්පු බණ්ඩාරත් මායාදුන්නේටත් වඩා උපක්‍රමශීලී දේශපාලකයෙක්.

          පෘතුගීසීන් හා පලමු රාජසිංහගෙන් පසු ක්‍රමයෙන් ලංකාවේ මධ්‍යතනයුගයට ආවේනික කෲර, ශාරීරික නිර්භීත, romanticized conflicts ගතිය වෙනස් වුනා මං හිතන්නෙ.
          ලංදේසි හා ඉන්ග්‍රීසි හා ඔවුන්ට මුහුණ දුන් ලාංකික පාලකයින්, පෘතුගීසින් හා ඔවුන්ගේ ලාංකික ප්‍රතිවාදීන් එක්ක බලනකොට සිත් ඇදගන්නා සුලු exciting නෑ.

          කැමතියි

          • පළමු වන රාජසිංහයන් පිළිබඳව ඉහත ලිපියේ දැක්වෙන පරිදි නවමු ප්‍රාථමික මූලාශ්‍රයන් මෙතෙක් තොරතුරු ලබාගත් සාම්ප්‍රදායික මූලාශ්‍ර සමග සසඳමින් පුරාවිද්‍යාත්මක සාධක ද ඇසුරු කරමින් නැවත අධ්‍යයනය කළයුතු බවක් පෙනීයයි. මෙහ දී ඒ සම්බන්ධව කර ඇති පළමු සොයා බැලීම ලෙස මට කියවන්නට ලැබී ඇත්තේ ඉහත ලිපියේ පාදක සටහන් iv යටතේ දැක්වෙන රිසිමන් අමරසිංහයන් සිය Ph.D. උපාධිය වෙනුවෙන් ඉදිරිපත් කළ පර්යේෂණ නිබන්ධය පමණි. එය කර්තෘ ප්‍රකාශනයක් ලෙස ප්‍රකාශයට පත්ව ඇත.

            කැමතියි

        • අලකෙශ්වර යුද්ධය හා රාජාවලිය ද ඇතුළු සාම්ප්‍රදායික මූලාශ්‍ර රාජසිංහයන් විසින් උඩරට යටත් කරගත් බවක් පවසන්නෙ නැත. එහෙත් ‘සිතාවක රාජසිංහ රාජ්ජ කාලය’ 1580 දී රාජසිංහයන් විසින් උඩරට යටත් කරගත් බව පවසයි. එහි ‘කෛ’ පත් ඉරුවේ අදාල පුවත දක්වා ඇත්තේ මෙලෙසිනි. “……එසේම ධර්මපාල රජුට කන්ද උඩරට අයිතිය පවරා දි ඇති බව සැල වූ වහාම කෝපයට පත් රාජසිංහ මහ රජු විශාල සේනාවක් ඇරගෙන ලා කන්ද උඩ හටනට පිටත්ව උඩකට්ටුවේ සමහර රදළ වරුන්ද පක්ෂ කරවා ගන ශක වර්ෂ එක්වා දහස් පන්සිය දෙවැන්නේ දී (ක්‍රි.ව.1580) කරලියැද්දේ රජු එළවා දමා පියා රාජ්ජය ලබාගෙන විජේසුන්දර බණ්ඩාර රජකමට පත් කළ වග දතයුතුයි.”

          කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )