උග්ගල් අලුත්නුවර ඇසළ මහ පෙරහර -2016

මහා පෙරහර මහෝත්සවය

හරියටම තව මාසයකින්. දින 30 කින්. ඒ කියන්නෙ ඔක්තෝබර් මස 12 දින උග්ගල් අලුත්නුවර මහා පෙරහරේ පළමු දිනය උදාවන බව දේවාලයේ නිල ආරංචි  මාර්ග පවසයි. මේ පළමු දිනය යදින බැතිමතුන්ට විශේෂ වූවකි. විද්වතුන්ට අතිවිශේෂවූවකි. ඒ සාම්ප්‍රදායික පෞරාණික චාරිත්‍ර විධි කිසිදු අඩුවක් නොමැතිව ඉටුකරන්නට රාජකාරි ඇත්තන් අකුරටම වග බලාගන්නා බැවිනි.14117961_1235528319838433_2600526066394732513_n

මහ පෙරහරේ නවවැඳුම් වැඳිම හා ඒ ආශ්‍රිත අපූරු සිරිත් සමුදායය, මහබඹා නැටීම සහ කෝලක්කාර / නයියන්ඩිකාර පංගු රාජකාරි ඇත්තන් දෙවියන්ට නෝක්කාඩු කියමින් ඉදිරිපත් කරන දැකුම් අත් නැටීම වැනි විශේෂ චාරිත්‍ර  මේ පළමු දිනට පමණක් සීමා වී ඉටු කෙරෙයි.

සෙසු දිනවල හරියටම සුබ නැකත් මොහොත අකුරටම භාවිත කිරීම වෙනුවට සුබ හෝරාව භාවිතයට ගැනීම  වැනි ඇතැම්  සිරිත් විරිත් වල සුළු කොටස් සම්බන්ධව යම් අතපසුවීමක් ඇති වුවද දේව සමාව ලැබෙන බවක් අදහති. එහෙත්  පළමු දින සියලුම චාරිත්‍ර විධි නිසි සේ පැවැත්වීම අත්‍යවශ්‍ය බව රාජකාරි ඇත්තන්ගේ ඇදහිල්ලකි. ඒ සඳහා වගවීම තවමත් දිටිය හැකියි. මේ නිසාම පළමු දින රාජකාරි ඉටු කිරීමේදී යම් යම් තැන් අමතක වූ  අය සිටිත් නම් විටින් විට ඒවා සිහිපත් කරවමින් ඇතිවන වචන හරඹ දැකීමට ද ලැබෙයි. මෙවැනි අවස්ථාවල සාම්ප්‍රදායික ප්‍රධානීන්; එනම් මොහොට්ටාලවරු, කපු මහතා සහ විදානෙ වරු ආදීන්ගේ අවේගාත්මක ප්‍රකාශ ද දිටිය හැකියි. හැම වසරකම දක්නට හැකි ඒ තත්වය ද පෙරහර සිරිත පැවැත්වීමේ විධී ක්‍රමයක් වැනිය. එහෙත් එහි දී ඇතිවන තරහක් කල්පවත්නේ නොවේ. පෙරහර දියකපන දින එකිනෙකා ඇයි හොඳයි කියා ගනිමින් සමගිය වඩා තහවුරු කරගනිති. එය ද එක් කරන්නේ කිසියම් අලංකාරයක් බව සම්ප්‍රදාය හදාරන්නට වෑයම් කරන්නකුට දැකිය හැකිය.

පෙරහරේ ඓතිහාසිකත්වය

මේ පෙරහර  පළමු වතාවට පවත්වා ඇත්තේ ක්‍රි.ව. 1583 දී බව ඉතිහාසගත පුවත් සොයන විට පෙනී යයි.[i]. 1582 දී යාපා මහ රජු තමන්ගේ බාරය ඔප්පු කිරීම පිණිස දේවාලයට නව ගොඩනැගිලි කරවීම අරඹා  ඇත . එයමාස දහයකදී  නිමකර ඇති බවත් එයින් පසු එළඹුන ඇසල මාසයේ පෙරහර කළ බවත් ලේකම් මිටියේ ඇති පුරාණ ලේඛනයේ කියවෙන්නේ පහත සඳහන් අන්දමිනි.[ii]

“…………..නැවත ඇසල මස අව අමා මාසය ගතව පෑලවිය ලත් බ්‍රහස් පතින්දා අම්‍රත යෝග වූ පුසේ නැකතින් මෙම දින රෑ වූ විසිතුන් පැයට ඉඳුරු දෙසට අභිමුඛව ඉඹුල්පේ දෙවනැන්නැහැ අතින් මඟුල් කප ප්‍රතිෂ්ටාකර හිඳුවා පහලොස් දවසක් පෙරහර මඟල්ලය සිද්ධ කරවා වදාරමින් නිකිනි මස පුරපසලොස්වක ලත් බ්‍රහස්පතින්දා රෑපාන්දර සිකුරාදාට එලිවෙන වෛතාල වේලාවට නැගෙනහිරට අභිමුඛව සියකපන මඟල්ලය සිධ කොට ජලනිරෝහයෙන් වැඩමකර ආසිරිවාද මඟලං පවත්වා සමහර කළ සේක්වා…..”

එතැන් සිට පෙරහර අඛණ්ඩවම පැවති මුත් ඉතා මෑත දී, තමන්ගේ මුතුන් මිත්තන් පවසා ඇති ලෙසට, පළමුවතාවට, වසර හතක් පමණ පෙරහර පැවැත්වීමට නොහැකිව ඇත. 1920 පමණ පැමිණි ජයවර්ධන බස්නායක නිලමේතුමාගේ කාලයේ මෙය නැවත අරඹා ඇති බව පැරණි ඇත්තෝ පවසති. අනතුරුව 1933 පැමිණි සිඩ්නි එල්ලාවල බස්නායක නිලමේ තුමා සියලුම පැරණි රාජකාරි හා රාජකාරි පරම්පරාවන් සොයා පිදවිලි ගම්මානවලට පවා  ගොස් පැරණි තත්වය එලෙසින්ම නගාසිටවූ බව ද මෙහි පැරණියන්ගේ ඒක  මතික නිගමනයයි. එතැන් සිට පැමිණි සියලු බස්නායක නිලමේවරුන්ගේ අනුග්‍රහයෙන් මෙන්ම සහායයනේ මේ දක්වාම ඒ පුරාණ පෙරහර කෙරෙන බවත් මේ බිම යුද පිටියක්ව පැවති 1989 පවා පෙරහර කරන්නට තමන් සමත්වූ බවත් පැරැන්නෝ පෙන්වා දෙති.[iii]

මේ විස්තර අනුව දැනට වසර 433 ක් තිස්සේ මේ ඇසල උත්සවය පවතින බව පෙන්වා දිය හැකිය. එහෙයින් මේ පෙරහර උත්සවය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඓතිහාසික මහා පෙරහරකි.

සීමාසංකර විනෝදනියේ අරම්භක වසර පිළිබඳ විස්තර හා වෙනත්  සාක්ෂි  අනුව ද  මේ ඇසල පෙරහර උත්සවය  මහනුවර දළදා පෙරහරටත් වඩා දුරාතීතයක් ඇති බව පෙන්වයි. දළදා වහන්සේ මහනුවරට වැඩමවා ඇත්තේ 1605 දී පමණ වන අතර මහනුවර දළදා පෙරහර ඇරඹී ඇත්තේ ඉනුත් පසුව ය. එහෙත් පළමු රාජසිංහයන් මුළු ලක්දිවම තමා යටතට ගත් වසර වන 1582/83 යනු උග්ගල් අලුත්නුවර  දේවාලය කරවීම[iv] ගොඩනැගිලි කරවීමෙන් අනතුරුව පෙරහර ඇරඹීමත් කෙටිකලකට හෝ රට එකසේසත් වීමත් එකවිට සිදු වූවක් බව සීතාවක යුගය පිළිබඳ නවතම පර්යේෂණ ඇසුරින් අනාවරණය වන ඉතිහාස පුවත් විමසන්නකුට පෙනීයයි[iv]

පහත ඇති විනාඩි 11 වීඩියෝව පළමු දින මූලික චාරිත්‍රකොටසක් පෙන්වයි. එහි  2.36 විනාඩියේ සිට ඉහතින් කී නව වැඳුම් වැඳීම සහ ඒ ආශ්‍රිත සිරිත් සමුදායය නැරඹිය හැකිය (2015 පෙරහ‍රෙනි)

මෙහි දැන්වීමේ  03 සිට 11 දක්වා පැවැත්වෙන බව සඳහන්  මළුවේ පෙරහර සහ දෙවේලේ පෙරහර යන අවස්ථාවන් හි මේ දක්වා සුරක්ෂිත ඓතිහාසික උරුමය විදහා දක්වන අංග පැහැදිලිව දැක ගැනීම හා සවන් දීම  වඩා පහසුවෙයි.  මහා පෙරහර තුළද ඒ සෑම සාම්ප්‍රදායික අංගයක්ම  පවතී. එහෙත් වැඩි අවධානයක් පිටතින් ගෙන්වා සරසන නවාංගයන් විසින් ආකර්ශනය කිරීම නිසා ශාස්ත්‍රීය අධ්‍යයනයක දී දුෂ්කරතා මතු කරයි. එනමුදු මහා පෙරහරේ පමණක් පවතින සාම්ප්‍රදායික අංග විශේෂයක් ඇති හෙයින් ශාස්ත්‍රීය අධ්‍යයනයක නියැලෙන විද්වතකුට මේ දින පහලොවම ගත කිරීමට සිදුවේ. මෙහි මළුවේ පෙරහර යනු සාම්ප්‍රදායික රාජකාරි ඇත්තන් පවසන කුඹල් පෙරහර වන අතර දෙවොලේ පෙරහර යනුවෙන් දක්වා ඇත්තේ  දෙවේලේ පෙරහරම බව සිතිය හැකිය.

ගමේ  තරුණ පෙළ

තම නිජබිම වූ ගම්මානයේ සාඩම්බර උරුමයන් පිළිබඳ ඔවුහු නිතර සාකච්ඡා කරති. අදහස් හුවමාරු කරගනිති. මෙවර ද පෙරහර උත්සවය සාර්ථක කරන්නට බස්නායක නිලමේතුමාට සහ රාජකාරි මණ්ඩලයට ගමේ තරුණ පෙළ සිය සහායයන් සුපුරුදු ලෙස ලබාදෙමින් පාරම්පරික උරුමයේ සාඩම්බරය සුරකින්නට උරදෙනු ඇත.

සම්පූර්ණ මහා පෙරහර පැයකට පමණ කැටිකර දක්වන වීඩියෝ ක්ලිපය පහත දැක්වේ (2015 පෙරහරෙනි)

පෞරාණික පෙරහර සිරිත් රාජකාරි

මහා පෙරහරට වඩා නිරවුල්ව හා බාධා විරහිතව අනාදිමත් කාලයක සිට පැවතගෙන එන දේවාලයේ සිරිත් චාරිත්‍ර, නයියන්ඩි හා කෝලම් නැටුම්, කාන්තාවන්ගේ දිග්ගේ නැටුම් හා අලත්ති තේවා සහ පුරාණ ගායන විධි ද නැරඹීමට හා හැදෑරීමට  ප්‍රයෝජනවත් ඉඟියක් දිය හැකියි. මේ සඳහා පහත දැක්වෙන කුඹල් පෙරහර හා මහපෙරහර අවස්ථා ඉතා වැදගත් වෙයි.

  • කුඹල් පෙරහර( 03 සිට 07 දක්වා) :- දේවාල උඩමළුවේ දේවාලය වටා දක්ෂිනාවර්තව ගමන් ගන්න‍ෙමෙය පුන්කලස්පෙරටු කොට ගමන් ගන්නා පෙරහරකි.  පොල්මල් වලින් පුරවන ලද පුන්කලස සශ්‍රීකත්වය හඟවන පාරිශුද්ධ මංගල වස්තූන් සේ පිළිගැනීමක් උඩරට සමාජ උරුමයේ පවතී. මේ කලස් ගෙන යනු ලබන්නේ  සුදු පිරුවටයකින් ආවරණය කරමිනි.  “බඩහැල පංගුවේ රාජකාරි” ඇත්තන්   මේ කාර්යයේ දෙදෙනකු නිරතවෙති.
  • දෙවේලේ පෙරහර( 08 සිට 11 දක්වා :- වචනාර්ථයෙන්ම පෙනී යන පරිදි මේ දිනකට දෙවේලක් ගමන් ගන්නා පෙරහරකි. එකක් දවල් පෙරහර යනුවෙන් ව්‍යවහාර වන අතර අනෙක රාත්‍රී පෙරහර යනුවෙන් ව්‍යවහාර වේ. දවල් පෙරහර යනුවෙන් පැවසුවද එය දහවල් කාලයේ ගමන්ගන්නා පෙරහරක් නොව රාත්‍රිය එළඹුන පසුව වේලාසනින් ගමන් ගන්නා පෙරහරය. (මෙහි සංකේතාර්ථ කුමක්ද යන්න උග්ගල් අලුත්නුවර දේවපුරාණය සම්බන්ධ ලියවෙන මීළඟ ලිපිවල විස්තර වනු ඇත.)

විශේෂ පසු සටහන්

1.උඩමළුව,පූජනීය ගොඩනැගිලි හා පරිශ්‍රය

උග්ගල් අලුත්නුවර පරිශ්‍රය හා එය ගොඩනගා ඇති අන්දම පළමුවරට දකින්නකුට පෙනෙන සැටි මෙහි පැවසෙයි (තත්පර 19 ක වීඩියෝ ක්ලිපයකි) අමුත්තකුට එකවරටම පෙනී යන්නේ තැනි බිමක පස්ගොඩ කර ඒ වටා බැමිබැඳ කරවූ අපූරු නිර්මාණයක් බවකි. ( වඩා හොඳින් තතු සොයන්නකුට   උස්බිමක් වටා තිබූ සෙසු රළු බිම් කොටස් සතරවීදියක් ඇතිවන ලෙස මට්ටමි කරමින්  මැද්දේ ඇකි කඳු මුදුන වටා බැමි බැඳ මුදුනත මළුව සමබිම් කර නිර්මාණය කර ඇති බව පසක්වෙයි. මෙලෙස සකස් කළ බව පාදක සටහන්වල දැක්වෙන  [i] හා [ii] යටතේ දැක්වෙන  පුරාණ ලේඛනයේද කියවෙයි.  ඒ හැර උඩ මළුව පසුව ගොඩකල පසින් සැදුනක් නොව ,පිහිටි බිමක් බව  ඒත්තු  ගැනීමට  මුළුතැන්ගෙයට ආසන්නයේ  කනින ලද පුරාණ දේවාල ලිඳ හා එහි ඉවුරු පිළිබඳ   නිරීක්ෂණය කිරීම  ප්‍රමාණවත්ය.) එහෙත් ආගන්තුකයටකුට  බැලූ බැල්මට  පෙනී යන ස්වභාවය හා සුන්දරත්වයේ අපූරුව හිමිපාණන් වහන්සේ පැහදිලි කළ අවස්ථාව මෙහි දැක්වෙයි.

2.යාපා මහ රජු යනු කවුරුන්ද ?

අජිත් ධර්මයන් ගේ කොමන්ටුව විසින් මතු කරන  “යාපා රජු”  කවුද යන ගැටළුව මේ සටහනට මගපෑදූ බව ස්තුති පූර්වකව සටහන් කෙරෙයි .

උග්ගල් අලුත්නුවර, සොරගුණය, බොල්තුඹය සහ අම්මඩුව වැනි පුරාණ එතරවාකෝරළයේ පිහිටි දේවාල ගම්මානයන්හි තවමත් දනන් තුඩ තුඩ පවතින “යාපා මහ රජු” සම්බන්ධ විසිතුරු කතා පුවත් රාශියකි.  එහෙත් “යාපා රජු” යනුවෙන්  කෙනෙකු මෙතෙක් ලියවී ඇති ලංකා ඉතිහාසය තුළ හමු නොවේ. උග්ගල් අලුත්නුවර දේවාලයේ පුරා කතා මෙන්ම එහි දී නිතර ගැයෙන යාදිනි, කවිකාර මණ්ඩලයේ ගැයෙන ගී, දේවාල තේවා වලට ආවේනික  කෝලම් හා නයියන්ඩි නැටුම් වල දීද යාපා මහරජු යනුවෙන් අභිත රජකු ගැන කියවේ. මෙහි රාජකාරි ඇත්තන්  බස්නායක නිලමේවරයා යනු යාපා මහ රජුගේ සංකේතයක් වන බව අදහති. බස්නායක නිලමේවරයා දේවාලය අබියසට ගෙන එන්නේද  පෙරහරේ සියලු අංග දේවාලය ඉදිරිපසට පමුණුවාලීමෙන් අනතුරුවය. මේ ලක්ෂණය සොරගුණය,  අම්මඩුව හා බොල්තුඹය යන දේවාල වලදී පැහැදිලිව ම දක්නට හැකි වූවකි. මෙවැනි ජනශ්‍රැතියක්  ආවට ගියාට ඇති කරගත්  හිතළුවක් නිසා බිහි විය හැකිද යන විමතිය වසර ගණනාවක්ම පැවතිනි. මහාචාර්ය පුන්චිබණ්ඩාර ස්නස්ගල – සොරගුණු දේවාල පුවත – 1973- ලේක්හවුස් කොළඹ කෘතිය  කරද්දී  යාපා රජු යනු ප්‍රාදේශීය ප්‍රධානියකු විය හැකි බව ගඩලාදෙනි ලිපි අනුව අනුමාන කරයි. එහෙත් එම පොත විමසිල්ලෙන් කියවන්නකුට පුන්චිබණ්ඩාරයන්  තම මතය පළකරන්නේ දැඩි විශ්වාසයකින් නොවන බවක් පෙනීයයි. 

යාපා රජු යනු කවුරුන්ද යන්න පැහැදිලි කර දෙන නව මතයක් අනාවරණය කළ හැකිවන්නේ මානියම්ගම විහාරයීය පුස්කොල පොත හමුවීමෙන් අනතුරුවය.[iv]  මායාදුන්නේ ගෙන් ඇරඹී පළමු රාජසිංහයන් නිසා බැබලෙන්නට වූ සීතාවක කේන්ද්‍රකරගත්  රාජධානිය ලංකා ඉතිහාසයේ “සීතාවක යුගයක්” නිර්මාණය කරන බව පළමුවරට අනාවරණය කර ඇත්තේ 1990 දීය. මහාචාර්ර රිසිමන් අමරසිංහයන් අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව යෙදුන වේශනය ගැන ඓතිහාසික සීතාවක කෘතියේ හැඳින්වීමේ සටහනක් තරබන පරණවිතානයන් සහ මහාචාර්ය ටී. බී. එච්. අබයසිංහයන් ද එම සංස්කරණය හා ගවේශනය මහත් ප්‍රශංසාවට ලක් කරති. එම කෘතියේ උපුටා දක්වන, “සීතාවක රාජසිංහ රාජ්ජ කාලය” නම් වූ මානියම්ගම විහාරයෙන් ලැබුණ පුස්කොල පොත තුළින් 1582 දී ටිකිරි කුමරු විසින් මැද්දේගම මහසෙන්  දේවාලයක් කර වූ බව කියවේ.  මේ කුමරුවන්ට කඩුවෙල ප්‍රදේශයේ ව්‍යවහාර වූයේ “ටිකිරිකුමරු” යනුවෙන් වුවද ඔහුගේ සම්පූර්ණ  නම “ටිකිරි රජ්ජුරු බණ්ඩාර යාපා”  බව අදාල පුස්කොල පොත් අනුව පෙනී යයි. (ටිකිරි කුමරුට රාජසිංහ යන නම පට බැඳෙන්නේ මුල්ලේරියා වෙලේ සටනින් අනතුරුව ය.) මුල්ලෙරියා සටන තෙක් ජනතාව අතර කුමරුන්ට භාවිත වූයේ “ටිකිරි කුමරු” සහ “යාපා” වැනි නම් බව පෙනී යයි.

පෘතුගීසීන්ට විරුද්ධව අනවරත සටනක නිරත වූ මේ අභිත කුමරුවාට සීතාවකට අයත් රහස් මාලිගයක්  මැද්දේගම ගිරි ශිඛර අතර පිහිටා තිබිණි. එය අයත් වූයේ එතරවාය හෙවත් එතරවා කෝරළයටය. එහි වැසියන් අතර ටිකිරි කුමරු වෙනුවට ප්‍රසිද්ධ තිබුණේ යාපා  යන නම විය හැකිය. මේ පුවත භාරතරත්න මහතා පවසන ජනකතා අනුවද තහවුරුවෙයි.  රාජසිංහ ඇවෑමෙන් මේ රහස් අගනුවර හා රහස් ප්‍රදේශය තවදුරටත් පවතින්නට ගත් වෑයම හා එය සම්පූර්ණයෙන් විනාශකර දැමූ අන්දම 1620 ට ආසන්න කාලයේ ලියැවුනක් සේ ගැනෙන කුස්තන්තීනු හටන් කාව්‍යය   විසින් පෙන්වා දෙයි. මානියම් ගම විහාරයීය පුස්කොල පොතේ, පළමු රාජසිංහයන් විසින් මැදගම ප්‍රදේශයේ මහසෙන් දෙවියන්ට දේවාලයක් කරවූ බව ලේඛන ගතව ඇත. මහසෙන් දෙවි යනු කතරගම දෙවියන්මය. මැදගම යනු වර්තමාන උග්ගල් අලුත්නුවරම බැවින් යාපා මහ රජු යනුවෙන් මේ අය පැවසූ රජු පළමු රාජසිංහයන්ම බව පෙනීයයි. මේ අවදියේ පළමු රාජසිංහයන් හැරුනු විට වෙනත් අපරාජිත යුදවීරයකු සිටියේ නැති බැවින් නිසැකවම උග්ගල් අලුත්නුවර දේවාලයේ සිටි වයෝවෘද්ධ කපුමහතා වන භාරතරත්ත්තන  මහතා පවසන පුරාකතාවක  විස්තර සහ  දේවාල රාජකාරි තේවාවල  කවිකාර මණ්ඩලයේ කියවෙන විස්තර අනුව ඒ පළමු රාජසිංහයන්ම බව කිව හැකියි. 

එකල මැදගම වනාන්තර යේ පිහිටි කුඩාවට දිස්වූ ගොඩනැගිල්ල වෙනුවට  කතරගම දෙවියන් වෙනුවෙන් නව ගොඩ නැගිලි පමණක් නොව උග්ගල් අලුත්නුවර නමින් අලුතෙන් නිර්මිත පරිශ්‍රයක් ද ගොඩනැගීම ආදි කටයුතු සියල්ල කර ඇත්තේ මාස දහයක් වැනි කෙටිකලකදී බව ජනප්‍රවාදයේ මෙන්ම දේවාලයේ ලේකම් මිටියේ සෘජුවමද, 1712 රචනා කළ බව කියවෙන බාලචන්ද්‍ර බ්‍රාහ්මණයන් ගේ කන්දකුමාර සිරිතේ කාව්‍ය විස්තර අනුවද පෙනී යයි. (මේ පුස්කොල ලියවිල්ල මුද්‍රිත කෘතියක් ලෙස ආචාර්ය පී.ඊ.පී දැරණියගල සංස්කරණයක් ලෙස පළව තිබි අවධානය යොමුවන්නේ ද මෑතකදී ය)  මෙලෙස අලුතෙන්ම නුවරක් සහ දැවැන්ත විහාරයක් හා දේවාල ගොඩනැගිලි නිර්මාණයක් ප්‍රාදේශිය ප්‍රධානියකුට; 1582 වැනි පළමු රාජසිංහයන්ට මුළු රටම අවනත කරගත්  වකවානුවක, කළ නොහැකි බව පහසුවෙන් නිගමනය කළ හැකියි.  මේ යුගය පළමු රාජසිංහයන්ගේ ද සීතාවක රාජ්‍යයේද දීප්තිමත්ම අවදියයි. එහෙයින් මේ කියවෙන යාපා රජු යනු අන්කිසිවකු නොව පළමු රාජසිංහයන්ම බව නිගමනය කරන්නට හැකියි. (දේවාලයේ තොරතුරු සඳහන් පුරාණ ලේඛනය වු සීමාසංකර විනෝදනී අග පිටුවල  යාපා රජු සහ හීතාවක රජු අතර 1582 ට පෙර යුද්ධයක් වූ බව කියවෙතත් ඒ  පළමු රාජසිංහයන් බවක් හෝ ටිකිරි කුමරු බවක් නොකියවෙයි. එසේ නම් මේ ප්‍රතිවරුද්ධව සටන් කර හුණුවල පෙරැස් ඇල අසළ දී සමාදාන වු සටන කවුරුන් අතර විය හැකිද ? යන්නට පිළිතුර ඒ වීදිය බණ්ඩාරයන් විය හැකිය යනු අනුමාන කරන්නට හැකි වන්නේ ඔවුන් අතර පැවති සටන් පිළිබඳ විමසන විට දකුනට හැකියි. එකල පළමු රාජසිංහයන් සමග ප්‍රතිවරුද්ධව ගිය හා යාහැකි වූ එකම තැනැත්තා වීදිය බණ්ඩාරයන් පමණි. ඔහු ටිකිරිකුමරුගේ සොයුරියක් හා විවාහ වී සිටි බැවින් වීදියබණ්ඩාර සමග සටන් කර මරාදමනවාට වඩා සමාදාන වූ අවස්ථා කීපයක්ම හමුවෙයි.)

යාපා රජු යනු පළමු රාජසිංහයන්ම වන බව මෙහි දකුණු පස ලේඛනාගාරයේ මේ සමග දක්වන දින අනුව ඇති පොස්ටු වලින් වඩා විස්තරාත්මකව පෙන්වන්නට උත්සාහකර ඇත.   2012 .06. 13 – 2012 .08.05  – 2012.08.19 – 2012.08.27 සහ 2012.08.31 යන පොස්ටු විශේෂයෙන්ද 2012 ජුනි සිට නොවැම්බර් අවසන දක්වා පළ කර ඇති සියලු ලිපිද විමසන්න

 

විශේෂ වදන් හා ව්‍යවහාර විමසුම

  • නෝක්කාඩු කියමින් : මෙහි දී නැට්ටුවන්  සිය දකුණු අත දේවාලය ඉදිරිපසට පමුණුවා ඇති දේවාභරණ දෙසට දිගුකර කරමින් කරන ගායනයේ කියවෙන්නේ දෙවියන්ට දොස් පැවරීමක් වැනි කවියකි .  පහත ඇත්තේ එහි පදමාලාවය.(2015 පෙරහර අවස්ථාවෙනි)
රෑට තුන්යම යකඩ හුළු මිටි දහස් ගණනක් දා

ඊට නරලොව විඳින දහදුක මන්ද කරුණාවට

පාටරන්වන් මයුරවාහන නැගී මේලොව දිවස්

කාට කවදා පිහිට වෙන්න ද තවම කරබා වැඩ

නිවන්නේ

නොගන්නේ

ලන්නේ

හිටින්නේ

  • අව අමා මාසය ගතව පෑලවිය  : මාසපෝය ට පසු දිනය
  • දෙවනැන්නැහැ : දැනට දෙවනැන්නැහැ යන ව්‍යවහාරය දක්නට නැතත් එම ශබ්දයම ඇති “හෙවනැන්නැහැ” නමැති රාජකාරි පංගුවක් වෙයි. අතේ මුර ආයුධ දරාගෙන බාහිර පිරිස් හැසිරවීමේ බලය ලබන මේ අය හොව්යන් හෙවත් ආරක්ෂකයන් /යුද සෙබලුන් විය හැකියි. ඒ අනුව ඉඹුල්පේ දෙවනැන්නැහැ යනු එවැන්නකු දැයි සිතිය හැකි වුවද මගුල් කප හිදුවීමට ගෙන්වීමෙන් වාස්තුශිල්පීය හැකියාවක් තිබුණු කෙනෙකුදැයි අනුමාන කළ හැකි වෙයිත (දෙවනැන්නැහැ වදන සුමංගල ශබ්ද කෝෂයේ  හෝ ලේඛකයාට හමුවී නැත)  
  • ඇයි හොඳයි කියා ගැනීම : සෑම කෙනෙකුම එකිනෙකාට වැඳ ආචාර කරගැනීම මේ නමි
  • “සියකපන මංගල්ලය” යන යෙදුම ප්‍රමාද දෝෂයකි. එයදියකපන මඟල්ලය” සේ නිවැරදි විය යුතුය
  • ජලනිරෝහයෙන් : මේ වචනය ජල ක්‍රීඩාවක් විය හැකි බව මහාචාර්ය පුන්චිබණ්ඩාර සන්නස්ගලයන්ගේ නිගමනයකි.එහෙත් ජලය සමග කෙරෙන ක්‍රීඩාවක් වැන්නක් දියකපන අවස්ථාවේ දක්නට නැත. මේ ලේඛනයේ තවත් තැන්වල “නීරෝහී කෙළිය” යනුවෙන් ක්‍රීඩාවක් ගැන කියවෙයි. එය ආයුධ රහිතව කෙරෙන යුද හරඹ වැනි ක්‍රීඩාවක් විය හැකි බව මහාචාර්ය රිසිමන් අමරසිංහයන්ගේ මතය බව පාදක සටහන් [v] යටතේ දැක්වෙන කෘතියේ දැක්වෙයි.
  • ආසිරිවාද මඟලං : දෙවියන්ට ආශීර්වාද කිරීමේ ගායනා ඇතුළු චාරිත්‍ර සමූහයක්ම වර්තමාන දියකපන මංගල්‍ය අවස්ථාවේදී එම පොකුණ අසබඩ මෙන්ම ගෙවදින අවස්ථාවේදී දැනුදු පැවැත්වෙයි

 


[i] M4 – සීමාසංකර විනෝදනී පුස්කොල පොත අග පිටු – ලංකා කෞතුකාගාරය කොළඹ

[ii] M4 – සීමාසංකර විනෝදනී පුස්කොල පොත අග පිටු – ලංකා කෞතුකාගාරය කොළඹ

[iii] අභාවප්‍රාප්ත අත්තනායක මොහොට්ටාල වරුන වන ඒ.එම්. එස්. එම්. පුචිබණ්ඩාර මහත් එම තනතුරම දැරූ එමගේ කරුණාරත්න බණ්ඩාර මහතා. එමතනතුරම දැරූ එමගේ කුලසේකර බණ්ඩාර මහතා  සහ දැනටත් රාජකාරි තේවා ඉටුකරන දැනමුතු පැරැන්නන්   හා ගමේ සියලුම දැනමතුඇත්තන්

[iv] මහචාර්ය රිසිමන් අමරසිංහ සංස්කරණය – ඓතිහාසික සීතාවක – “සීතාවක රාජසිංහ රාජ්ජ කාලය” – මානියම්ගම පුස්කොල පොත –   ගොඩගේ පොත් සමාගම 1990

[v] මහාචාර්ය රිසිමන් අමරසිංහ –  සීතාවක උන්නතියේද අවනතියේද සමහර අංශ පිළිබඳ විවරණයක් – කතෘ ප්‍රකාශනය – 1990

19 thoughts on “උග්ගල් අලුත්නුවර ඇසළ මහ පෙරහර -2016

  1. හරිම අගෙයි ගුණසිංහ මහත්තයෝ හරිම අගෙයි. නොදන්නා දේවල් ගොඩාක් මේ වීඩියෝ දෙකෙන් ඉගෙනගත්තා. මේ වීඩියෝ දෙක ලංකාවේ ඉඳලා උඩුගන්වන්නට නම් සෑහෙන වෙහෙසක් දරන්න සිදුවෙනවා.

    මේ පැරණි චාරිත්‍ර ගැන අහලා තිබුනට, කරන්නේ කොහොමද කියන එක බොහෝ දෙනෙකු දන්නේ නැහැ. මෙවැනි සාංස්කෘතික කටයුතු පිලිබඳ අධ්‍යයනයක යෙදෙන, පර්යේෂණ කරන අයට, මේ ලිපියෙන් ලැබෙන්නේ මහඟු පිටිවහලක්.

    මෙන්න මේ වචන වල තේරුමත් කියලා දෙන්න.

    ඉඹුල්පේ දෙවනැන්නැහැ අතින් (මෙතැනදී දෙවැන්නැහැ කියන්නේ දෙවැනි ස්ථානයේ සිටින උන්නාන්සේ කියන තේරුමද?)

    සියකපන මඟල්ලය, ජලනිරෝහයෙන් වැඩමකර, යන යෙදුම්, තේරුම්කර දෙන්න.

    ඔබතුමා ලංකාවේ හිටියානම් පෙරහැර බලන්න මටත් එන්න තිබුණා.

    කැමතියි

    • මගේ අතින් ලොකු අතපසුවීමක් වෙලා තියෙන්නෙ. ඔබතුමාගෙ විමසීම නිසයි තේරුම් ගියේ පොස්ට් එකේ සංස්කරණයක් විදිහට අදාල වදන් විමසුම එක් කිරීමට අවසර දෙන්න. ඒ එක්කම ඔබතුමාට හසු වී ඇති “සියකපන මංගල්ලය” යන්න උපුටා ගැනීමේදී මා වෙතින් සිදුව ඇති අක්ෂර දෝෂයකි. එය දිය කපන මංගල්ලය ලෙස නිවැරදි විය යුතුය. අදාල වීඩියෝ පහසුවෙන් උඩුගැන්වීමට මෙහෙදි ඉඩ ලැබීම විශාල පහසුවක් උනා. අපේ රට කවදා මෙතැනට ඒවිදැයි සිතමින් දුක් වෙන්න සිදුවීම ලොකු කණගාටුවක් නේද විචාරකතුමා. මේ තමයි දශක හතරකට අධික කාලයක් තිස්සේ මග නොහැරී තිබී මෙවර මට මග හැරෙන පෙරහර උත්සවය විචාරකතුමා

      කැමතියි

    • ඉතාම වැදගත් ගැටළුවක් මතු කිරීම සම්බන්ධව ස්තුතියි අජිත් මේ ගැටළුව සම්බන්ධයෙන් දිය හැකි කෙටි පිළිතුර කුමක්ද කියන ගැටළුව විසඳා ගෙනම තව ස්වල්ප වෙලාවකින් සටහන් කරන්නට අවසර දෙන්න

      කැමතියි

      • යාපා රජු යනුවෙන් මේ කියවෙන්නේ ප්‍රාදේශිය රජකු විය හැකි බව පැරණි මතය විය. (මහාචර්ය පුන්චිබණ්ඩාර සන්නස්ගල මතයකි) යාපා රජු යනුවෙන් මේ කියවෙන්නේ පළමු රජසිංහයන් ය යනු නවතම මතයයි. (මහාචාර්ය රිසිමන් අමරසිංහයන් සීතාවක රාජධානිය ගැන කරඇති අනාවරණයන්) මේ පළමු රාජසිංහයන්ම බව උග්ගල් අලුත්නුවර දැනමුත්තන්ගේ කතාපුවත් හා මෙහි ඇති පුරාණ ස්තොත්‍ර ගායන්යන් අනුවද පෙනීයයි. මෙි පිලීබඳ වඩා විස්තර මේ පෝස්ටුවට එක්කරනු ලබන විශේෂ පසු සටහනක් ලෙස යොදන්නට අවසර දෙන්න

        කැමතියි

          • ඒ මතයට කිට්ටුවෙන් යනන්නක් තමා අජිත් පුංචි බණ්ඩාරයනුත් දැරූ බව පෙනෙන්අනේ . එහෙත් යාපහුව හා උග්ගල් අලුත්නුවරට අදාල ලේඛනගත විස්තර හා වාස්තු නිර්මාණ ලී කැටයම් ගල් කැටයම් ආදී පුරාවස්තු අනුව කාල වකවානු ගැලපී මේ දී ගැටළු මතු කරනවා. සොරගුණේ පුරාණ ලෙඛන, උග්ගල් අලුත්නුවර සහ වෙළඟේ විහාරය ආශ්‍රිතව ලැබෙන පුරාණ ලේඛන හා උක්ත නටබුන් වලින් පෙන්වන කාල වකවානු අපව යාපහුවෙන් ඈත් කරනවා.
            සීතාවක රාජසිංහයන් ගැන පවතින නව මතය මහත් පෙරලි කාරී එකක්. එකල මතුව තිබූ සංඝ භේදය යටතේ පළමු රාජසිංහයන් ගේ පක්ෂය ගත් සිටිනාමළුවේ ධම්මපාල හිමියන් ඇතුළු සංඝ පිරිසක් ගැන මානියම්ගම පුස්කොල පොතේත් සමකාලීන වෙනත් ලේඛනවලත් කියවෙනවා. රාජසිංහයන්ගේ රාජකීය අනුශාසනා සපයා ඇත්තේ මේ හිමියන් සහ තවත් “ගණවැසි ගණයා” යනුවෙන් සඳහන් මහණ පිරිසක්( පසු කලක ගණින්නාන්සේලා වූයේ මේ පිරිස?) බව කියවෙනවා. මේ අය පළමු රාජසිංහ පක්ෂයෙත් දෙවනගල රතනපාල හිමියන් ඇතුළු සංඝ පිරිසක් විජයසුන්දර බණ්ඩාර මුදලි ඇතුළු රදළ පිරිස පක්ෂයේසිටි බවත් මහාචර්ය රිසිමන් අමරසිංහයන් දර්ශනපති උපාධිය වෙනුවෙන් කළ පර්යේෂණ වාර්තාවෙ කියවෙනවා. ඒ අනුව මහසෙන් රජුට වංශ කතාවලින් සිදුවූ අසාධාරණය වැන්නක් වංශකතා මගින් රාජසිංහ රජුට ද සිදු වී දැයි සිතෙන තරම්.
            මධ්‍යකඳුකරයෙන් දකුණේ (අඩි 1000 සම උස රේඛාවෙන් දකුණු කොටස) මෑතදීත් කරනු ලබන පුරාවිද්‍යා ගවේශන හා පර්යේෂණ මගින් හමුවන ක්‍රි.පූ. 2 වන සියවසටත් ඈතට දිවයන ලෙන්ලිපි සහ කල්තොට ප්‍රදේශයේ කැනීම් වලින් අනාවරණය වන වෙනත් විස්තරත් වළවේ මිටියාවත දිගේම දක්නනට ඇති අතිවිශාල නටබුන් ගොඩනැගිලි නෂ්ටාවශේෂත් මොනවාදැයි හඳුනා ගැනීමට මහා විහරයීය වංශකතාවලින් ලැබෙන ආලෝකය ඉතාම හීනයි. ඔබ අසා තියනවා ඇති උත්තරවිහාර වංශය/උත්තරවිහාරට්ඨ කතාව වශයෙන් නම් කර ඇති, අභයගිරි විහාර පාර්ශවයෙන් ලියැවුන තවත් වංශකතා විශේෂයක් ගැන. උත්තරවිහාර වංශයේ පිටපත් දෙකක් උග්ගල් අලුත්නුවර ප්‍රදේශාසන්න කරගස්තලාව රජමහා විහාරය සහ කොට්ටිඹුල්වල රජමහා විහාරවලත් තිබ බව මහාචාර්ය ශිරාන් දැරණියගලයන් පවසනවා. එතුමාත් සමග අදාල කෘති සෙවීමේ වෑයමට මාත් 1990 වකවානුවේ සිට උත්සාහ ගත්තා. ඒත් අසාර්ථක වුනා. කොට්ටිඹුල්වල විහාරයේ තිබූ ලේඛනයේ පිටු දෙකක් පමණක් ඒ අවදියේ ශිරාන් දැරනියගලයන්ට ලැබී තිබුණ බව දැනගන්නට ලැබුණා. මේ සියලු කරුණු වලින් අපට අවධාරණය කරනුයේ ලංකා ඉතිහාසය සම්බන්ධ විද්වතුන් නැවත සමාලෝචනයක යෙදෙමින් ඉතිහාසය නැවත ලිවීම අවශ්‍ය බව නේද

            කැමතියි

  2. පින්ග්කිරීම: උග්ගල් අලුත්නුවර ඇසළ මහ පෙරහර -2016 | Nelum Yaya

  3. ඔබේ විස්තරය කියෙව්වා. ඔබට ඇති මුලාශ්‍ර අනුව යාපා කුමරු කියන්නේ සීතාවක රාජසිංහ හෝ ටිකිරි කුමරු. නමුත් මා කියවූ කිසියම් පොතක (නම මතක නැහැ) ටිකිරි කුමරු ගේ සොයුරිය කසාද බැන්දේ යාපා කුමරුන් බව කියවෙනවා. එනිසා මෙයට මට එකවරම එකඟ වන්නටබැහැ . මේක තවදුරටත් සොයා බලා කියන්නම්. කණගාටුවට වගේ මට පොතේ නම මතක නැහැ.

    කැමතියි

    • ලංකා ඉතිහාසය අනාවරණය කරගන්නා පර්යේෂණ තවමත් තියෙන්නෙ ඉතා ලාබාල අවදියක නේද ? පුරාවිද්‍යා පර්යේෂණ සිදුවුනා බොහොම මදියි. වඩා පුළුවල් පුරාවිදු පර්යේෂණ සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් වල ඉතා උග්‍ර හිඟයක් ඇති බව මූණු පොතේ රාජ්සෝම දේවයන් ගේ අනුමැතියෙන් ඇති පිටුව අනුවත් පෙනීයනවා.
      ඔබ පවසන පොත ගැන දැන ගන්න මා ඉතා නොඉවසිල්ලෙන් !
      දැනට මා සතුව ඇත්තේ යටකී වර්ගයේ පුරාකතාත් මහාචාර්ය රිසිමන් අමරසිංහයන්ගේ පර්යේෂණ වාර්තා සහ මානියම්ගම විහාරයේ 1599 දී ලියැවුනු බව කියවෙන “සීතාවක රාජසිංහ රාජ්ජ කාලය” නමැති පුස්කොල පොතේ විස්තරත් පමණයි. අදාල පුස්කොල පොතේ “කෞ ” පත්තිරුවේ “……….. ශක වර්ෂ එක්වා දහස් පන්සිය හතරේ දී රාජසිංහ මහ රජාණන් උඩකට්ටුව විජේසුන්දර බණ්ඩාරට දී පහත කට්ටුවට සේන්දුව මහසෙන් දෙවියන්ට මැදගම දේවාලයක්ද කළ බව දතයුතුයි” යනුවෙන් සටහන්ව ඇති බව පුස්කොල පොත ප්‍රකාශයට පත්කර ඇති කෘතියේ දැක්වෙනවා. පොතේ නම “ඓතිහාසික සීතාවක” – කතුවරයා රිසිමන් අමරසිංහ – ගොඩගේ ප්‍රකාශනයක්-1990 දෙසැමිබර්. මීට අමතරව රිසිමන් අමරසිංහයන්ගේ ප්‍රකාශනයක් ලෙසින් “සීතාවක උන්නතියේද අවනතියේද සමහර අංශ පිළිබඳ විවරණයක්” නමින් පීඑච්.ඩී උපාධියට (දර්ශන ශූරී උපාධියට) ඉදිරිපත් කළ පර්යේෂණ නිබන්ධනය පසුව ඉතිහාස ග්‍රන්ථයක් ලෙස කර්තෘ ප්‍රකාශනයක් සේ එළිදක්වා තිබෙනවා. ඒ පොත ගැන මහාචාර්ය රිසිමන් අමරසිංහ, රමිඳු මහල, උතුරු සීදූව, සීදූව. ලිපිනයෙන් විමසා බලන්නට හැකියි. එහි පළමු රාජසිංහ අවදිය ගැන 1990 දක්වා පැවති මත නිගමන ගැඹුරු විමර්ශනයට හා දැඩි විවේචනයට ද බඳුන්වෙනවා.එහි යාපා රජු යනු පළමු රාජසිංහයන් වියහැකි බව මහාචාර්ය අමරසිංහයන්ද අනුමාන කරනවා.
      මේ පෝස්ටුවේ අන්තර්ගතය ගැඹුරු අවධානයට ලක් කිරීම හා තවදුරටත් විමසුම පිණිස මාව මෙහෙයවීම ලොකු සතුටකි ! නැවතත් ස්තුතියි අජිත්

      කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.