ගොබේ හොඳයි සද්ධර්මය ලියවන්ඩ

ලේඛනය පිණිස තල්පත සකස් කිරීම

පහත ඇත්තේ මූණු පොතේ Ajith Jayawardana ගේ පෝස්ටුවකින් උපුටාගත් ලිපියක් බව ස්තුති පූර්වකව සටහන් කරනවා. කලින් ලිපියේ පැවසූ ලෙස ලිවීම සඳහා තල්පත නියම විදිහට පදම්කර සකස් කර ගැනීම පිළිබඳ විස්තර අහිමි විම නිසා පසුතැවෙමින් සිටිය දී  මෙම ලිපිය හමුවීම භාග්‍යයක් විය. මෙහි දැක්වෙන විස්තර සහ   අල්විස් ලේකම් මහතා පැවසූ විස්තර වල වෙනසක් නැති බැවින් ලිපිය එලෙසින්ම උපුටා දක්වා ඇත.ලිපියට යෙදූ  අනුමාතෘකා පමණක් SUGV විසින් යොදන ලද  බව සලකන්න

කිසිදා පුස්‌ නොකන
පුස්‌කොළ පොතේ වංශ කතාව

පුස්‌කොළ පොත කියූ සැණින් අපට සිහිවන්නේ මාතලේ අළු විහාරයයි. ඒ අන් කරුණක්‌ නිසා නොව වළගම්බා රාජ්‍ය සමයේ දී බුද්ධ ධර්මය පුස්‌කොළ පොත්වල ග්‍රන්ථාරූඪ කරනු ලැබුවේ අළු විහාරයේදී වීම නිසාය. නමුත් එතැනින් එහාට පුස්‌කොළ පොත් ගැන අප දන්නේ මොනවාද? ශ්‍රී ලංකාවට අනන්‍ය වූ පුස්‌කොළ ග්‍රන්ථ කලාව ඊටම විශේෂිත අභිචාර විධි, තාක්‍ෂණය හා සිරිත් විරිත් ගණනාවක ඵලයක්‌ වේ. මේ ලිපිය සැකසෙන්නේ ඒ කරුණු විමසීම සඳහාය.

පුස්‌කොළ සාදා ගන්නේ තාල වර්ගයේ ගසක්‌ වූ තල් ගසේ කොළවලිනි. නමුත් “පුස්‌” යනුවෙන් වැල් වර්ගයක්‌ ලංකාවේ වනාන්තරවල ඇති බවද අප වටහාගත යුතුය. තල් කොළය විශාලය. විද්‍යාත්මකව බැලූ විට එය තල් පත්‍රිකා විශාල ප්‍රමාණයකින් නිර්මාණය වූ සංයුක්‌ත පත්‍රයකි. වටාපතක හැඩය ගනී. එසේ පත්‍රය දිග හැරෙන්නට පෙර “ගොබය” අවධියේ දී කපාගෙන ඒවායින් පුස්‌කොළ සාදා ගත යුතුය.

කොල කපා ගැනීම

“තෝරා ගත්ත තල් ගොබේ කපා ගත්තෙ හඳ මෝරන කාලෙá ඒ කියන්නෙ පුර පක්‍ෂයේ දවසක සුබ වෙලාවක්‌ බලලා. අර තල් ගොබේ මුදුනෙන් ගොබේ මුලට, මැදට, අගට පොල් පට්‌ටා වළලු 2 ක්‌ 3 ක්‌ දාලා හිර කරනවා. මේ වෙන මොකකටවත් නෙවෙයි, තල් ගොබේ ඉහිරෙන ගතිය මඟහරවා ගන්න. ඉහිරුණොත් ඒක පුස්‌කොළ හදාගන්න සුදුසු නෑ. වළලු දාලා ඒවා හිර වෙන්න තවත් දවස්‌ දෙකක්‌ තුනක්‌ එහෙමම තියෙන්න හැරියා…”

මෙසේ පවසමින් අදත් කතාවට එකතු වූයේ සර්වාංග රෝග පිළිබඳ ආයුර්වේද වෛද්‍ය ඩී. ඒ. අමරවංශ මහතාය.

“දැන් ඔය තල් ගොබේ කපලා බිමට අත අරිනවද… නෑ ඒක පිත්ත විදලා කොහු ලණුවක්‌ මාර්ගෙන් බිමට බාන්න ඕන. නැත්තං බිම වැදිලා කොළ ඉහිරෙන්න පුළුවන්.”

මෙසේ බා ගන්නා ලද තල් ගොබයේ පත්‍රිකා වෙන්කර ඒවායේ ඉරටු ගලවා ඉවත් කරනු ලැබේ. ඊළඟට ඇත්තේ තල් කොළ පදම් කිරීමයි. ඒ සම්බන්ධව අමරවංශ මහතා මෙසේ පවසයි.

පදම් කිරීම

තල්කොළ පදම් කරන්න ගස්‌ලබු කොළ වගේම ගස්‌ලබු පෙති ගන්නත් පුළුවන්. ඒ හැරුණම බෝඹු, කැප්පෙටියා කොළ, අන්නාසි කොළ, කුරුඳු කොළ ගන්නවා…”

මුලින්ම ලොකු මුට්‌ටියක්‌ අරගෙන ඒකෙ අඩියට බෝඹු කොළ තට්‌ටුවක්‌ දමනවා. ඊට පස්‌සෙ තල් කොළ රවුම් වෙන්න ඔතලා ඒවායින් තට්‌ටුවක්‌ පුරවනවා. මේ තල් කොළ රවුම්වලට කියන්නෙ “වට්‌ටු” කියලා. ආයෙත් ඒක උඩින් ගස්‌ලබු කොළ තට්‌ටුවක්‌ මෙහෙම මාරුවෙන් මාරුවට අන්නාසි කොළ, කැප්පෙටියා කොළ තට්‌ටු අතරට තල් කොළ වට්‌ටු අතුරනවා. උඩින්ම දාන්නේ කුරුඳු කොළ තට්‌ටුවක්‌. කුරුඳුවල රසායනික ගුණ උරා ගත්තම පුස්‌කොළ දීර්ඝ කාලයක්‌ විනාශ නොවී තියාගන්න පුළුවනි. දැන් අපි මුට්‌ටිය ඇතුළෙ හරහට කෝටු කෑලි කීපයක්‌ ගහනවා. ඒ මොකද දන්නවද? මුට්‌ටියට වතුර දැම්මම ඒකෙ තියෙන ඒවා වතුරෙ පාවෙන එක වළක්‌වන්න…” (ලියුම්කරු හමුවන විටත් අමරවංශ මහතා මෙම කාර්යයෙහි නිරතව සිටියේය.) මෙසේ සකස්‌ කරගත් මුට්‌ටියට ජලය දමා පැය 4 ක්‌ 5 ක්‌ පමණ ගින්දර දමනු ලැබේ. පසුව ඉවතට ගෙන ජලය සිඳී යැම සඳහා තැබිය යුතුය. බොහෝ විට වැසි රහිත කාලයක්‌ තල් ගොබ කපාගැනීම සඳහා තෝරා ගන්නේ වේලා ගැනීමේ පහසුව වෙනුවෙනි. දින 2, 3 ක්‌ අව්වේ තබා වේලාගත් තල් කොළවල අග සිදුරක්‌ විද ඒවා වැලක එල්ලා රාත්‍රි සඳ එළියේ තබනු ලැබේ. උදය කාලයේදී ජලයෙන් සෝදා වේළීමට හැර දවල් 10 – සවස 2 අතර කාලයේ දැඩි අව්වේ වේළිය යුතුය. මේ ආකාරයට දින 10 ක්‌ පමණ සිදු කරනු ලැබේ. “දැන් මේ තල්කොළ පදම් කළාට පස්‌සෙ ඔප දමා ගන්න ඕනෙ…” අමරවංශ මහතා කියයි.

ලියන්නට සුදුසු පත්‍ර සකස් කිරීම

“ඒකට ගොඩක්‌ වෙලාවට ගන්නෙ මෝල් ගහක්‌ විතර මහත පුවක්‌ කොටයක්‌. නැත්නම් ගැඩුඹ හරි රුක්‌අත්තන වගේ ලීයක්‌. තල් කොළේ එක පැත්තක කිලෝ 9, 10 ක වගේ බරක්‌ එල්ලලා ලීය මතින් උඩට පහතට අදිනවා. මෙහෙම කරද්දි තල් කොළේ හොඳට මැදිලා දිලිසෙන ගතියක්‌ එනවා. පත්ඉරු, පත් කට්‌ටු වගේම පොත් ගෙඩිය හදා ගන්නත් මේ තල් කොළ ගන්න පුළුවනි.

“පත් ඉරුව කියන්නේ එක්‌ තල් කොළයකට. පත්ඉරු කීපයකින් පත් තට්‌ටුවක්‌ හැදෙනවා. පොත් ගෙඩිය කියන්නේ පත් ඉරු මිටියකටයි…”

පත් ඉරුවක පළල අඟල් එකේ සිට තුනක්‌ හතරක්‌ විය හැකියි. ඒවායේ දිගද අඟල් තුනේ සිට අඩි දෙකහමාරක්‌ දක්‌වා පරතරයක පවතී. විශේෂයෙන් හඳහන් පත්‍ර අඟල් තිහක්‌ පමණ දිගය. වෙද පොත්, මන්ත්‍ර පොත් ආදියේ පත්ඉරු එතරම් දිග නැත.

ඔප දමාගත් තල් කොළ පළමුව තුනට නමා දිග හැර නැවත හතරට නමා එහි හරි මැදින් සිදුරු කිරීමෙන් පසු දෙපසට ලී අච්චු දෙකක්‌ තබා සිර කළ යුතුය. ඉන්පසු තියුණු පිහියකින් වැඩිපුර කොටස්‌ කපාගත හැකිය. පොත් ගෙඩිය ලෙස අප හඳුන්වන්නේ ලිවීම සඳහා මෙසේ සකසා ගත් පත්ඉරු මිටියට.

තල් කොළවල ලිවීම සඳහා යොදා ගන්න උපකරණය පන්හිඳයි. මෙය ලෝහමය තුඩක්‌ සහිත පෑනක්‌ වැනි උපකරණයකි. එයින් සිදු කරන්නේ තල් කොළය මත ගැඹුරට අකුරු සටහන් වීම වේ.

“මේක ලේසි පහසු වැඩක්‌ නෙවෙයි. මොකද අපි ලියන්නේ මොනවද කියල අපටම පෙනෙන්නෙ නෑ. අනික ලියල ලියල අත හුරු වුණාට පස්‌සෙ තමයි පන්හිඳෙන් අකුරු ලියන්න වෙන්නෙ…”

කළු මැදීම

“මේ ලියපු අකුරු පෙනෙන්නෙ කළු මැද්දට පස්‌සෙ. ඒ කියන්නෙ මෙහෙමයි. ගැඩුඹ ලී පුච්චලා ගත්ත අඟුරු කුඩු කරලා ඒවා කැකුණ තෙලුයි දුම්මලයි එක්‌ක අඹරලා තල් කොළේ එක පැත්තකට ගාලා රෙදි කෑල්ලකින් පිස දමනවා. දැන් අර කැපිච්ච අකුරු අතරෙ මේ අඟුරු කුඩු ඇලිලා අකුරු පේන්න ගන්නවා…”

“මෙහෙම කළු මැදපු පත් ඉරුවලට කවචයක්‌ දාන එක තමයි ඊළඟ වැඩේ. අපි පොත් කම්බෙ කියලත් කියනවා. පොතක පිට කවරෙ වගේ තමයි. ගොඩක්‌ වෙලාවට කම්බෙ හැදුවෙ අරලිය අරටු වගේ සැහැල්ලු ලී ජාතියකින්. ඒවා පුළුවන් උපරිම විදියට අලංකාර කරන්න ඉස්‌සර පඬිවරු උත්සාහ කළා. ලියවැල් මෝස්‌තර, හංස පූට්‌ටුව වගේ විසිතුරු රූප යෙදුවා. ඊට පස්‌සෙ නියඳ කෙඳි හරි කපු කෙඳි හරි පාවිච්චි කරලා බැම්මක්‌ දාලා පුස්‌ කොළ පොත සම්පූර්ණ කළා. මේ සේරම කළේ පුදුම ගෞරවයකින්.

බොහෝ පුස්‌කොළ පොත් ගැටගසා ඇති මෙම ලණුවේ දෙකෙළවර රන්, රිදී, ඇත්දළ ආදියෙන් සාදා කැටයම් කළ බොත්තමක්‌ වැනි යමක්‌ දක්‌නට ලැබේ. අමරවංශ මහතා පවසන්නේ සකියාව (BEAD) ලෙස මේවා හඳුන්වන බවය. ගැට ගසන කුඩා ලණු පට “හුය” (STRING) නම් වේ.

අතීතයේ දී සෞභාග්‍යමත්ව පැවැති පුස්‌කොළ සාහිත්‍යය දැන් ඉතා අතළොස්‌සක්‌ පමණක්‌ භාවිත කරන මාධ්‍යයක්‌ බවට පත්වී තිබේ. වර්තමානයේ දී පුස්‌කොළ භාවිත කරන්නේ වේලාපත්කඩ සෑදීමේදී පමණකි. ඒ ද කලාතුරකිනි. බොහෝ දෙනකු වේලාපත්කඩ සෑදීම සඳහා ද කඩදාසිවලින් සෑදූ පොත් පාවිච්චි කරනු දැකගත හැකිය.

මීට අමතරව වර්තමාන සමාජයේ ශීඝ්‍ර තරගකාරිත්වයද ඊට බලපා ඇති බව පෙනෙන්නට තිබේ. ඉතා වෙහෙස මහන්සි වී පුස්‌කොළ පොතක්‌ සම්පාදනය කරනවාට වඩා කඩදාසි කොළ හෝ අභ්‍යාස පොත් භාවිතය පහසුය. ඉක්‌මන්ය. කියවීම වුවද පහසු කාර්යයකි. පුස්‌කොළ පොත් නිර්මාණය ගිලිහී යන්නට මෙය ප්‍රධාන හේතුවක්‌ බව ඉතාම පැහැදිලිය.

ගස්‌ නඟින්නන් ප්‍රමාණය ශීඝ්‍රයෙන් පහත වැටීමද තවත් හේතුවකි. තල් ගොබයක්‌ කපා ගැනීම සඳහා අඩු තරමේ වාර දෙකක්‌වත් ගසට නැඟිය යුතුය. මෙවැනි තත්ත්වයක්‌ යටතේ ගස්‌ නඟින්නකු ඊට පැකිලෙන්නේ නම් එය පුදුමයක්‌ නොවේ.

කෙසේ වුවත් ශ්‍රී ලංකාව සතුව ඇති අපගේ ඓතිහාසික සාහිත්‍ය ප්‍රබෝධයේ සාක්‍ෂියක්‌ බඳු පුස්‌කොළ ලේඛන කලාව හා ඒ ආශ්‍රිත තාක්‍ෂණය හා අභිචාර විධි විනාශ වන්නට නොදී රැක ගැනීමට දැන්වත් අපගේ අවධානය යොමුවිය යුතු කාලය එළැඹ තිබේ.

සැකසුම
වසන්ත විඡේරත්න

 

වැඩිදුර විමසුම පිණිස

1 http://www.silumina.lk/2012/08/26/_art.asp?fn=av12082618

2 http://www.divaina.com/2013/05/01/badada03.html

3 http://www.divaina.com/2012/01/25/badada04.html

4පුරාවිද්‍යා අධ්‍යයනය ස`දහා පුස්‌කොළ පොත්වල ඇති වැදගත්කම

7 thoughts on “ගොබේ හොඳයි සද්ධර්මය ලියවන්ඩ

  1. ඉතා වටිනා පැරණි පුස්කොල පොත් රාශියක්, නිසි සංරක්‍ෂණයකින් තොරව, විහාර, දේවාල, වැනි තැන්වල තිබෙනවා. ඒවා නොපමාව සංරක්‍ෂණය නොකලොත්, අනාගත පරපුරට විශාල දැනුමක් අහිමි වෙනවා.

    කැමතියි

    • ඇත්ත විචාරකතුමා ඒවා මේ ගැන නිසි සැලකිල්ල ඉතා කඩිනමින් යොමු විය යුතුයි. උග්ගල් අලුත්නුවර පමණක් මා දැනුවත්වමත් විවිධ පුද්ගලයන් සතුව පැවති පුස්කොල පොත් විශාල සංඛ්‍යාවක් විකුණා දමනු ලැබුවා. මිලදී ගත් අය මගින් ඒවා විදේශිකයන් අතට ගොස් ඇති බව ද සැල වුනා.

      කැමතියි

  2. මම හුඟක් විස්මයට පත් වන්නේ මෙන්න මේ වගේ කරුණු නිසා. // උඩින්ම දාන්නේ කුරුඳු කොළ තට්‌ටුවක්‌. කුරුඳුවල රසායනික ගුණ උරා ගත්තම පුස්‌කොළ දීර්ඝ කාලයක්‌ විනාශ නොවී තියාගන්න පුළුවනි// දැන් මේක හරියටම කොහොමද ඒ අය දන්නේ. කොපමණ පර්යේෂණ වෙනත් ජාති , කොළ, ද්‍රව දාල බලන්න ඇත්ද? ඔය නුවන නිකන් එන්නේ නැහැනේ. ඕවගේ දේ හරියට තියනවා පරණ ඉතිහාස කතාවල. දැනුම ගැබ් වෙච්ච් දේ.

    කැමතියි

      • ඒ දැනුමටත් දැන් හෙන ගහලා. අවුරුද්දකට අපේ රටෙන් මිල කල නොහැකි පුස්කොල පොත් කොච්චරක්නම් පන්නනවා ඇද්ද? අපිළඟ නැති පුස්කොල පොත් පිටරටවල කෞතුකාගාර වල තියනවා.

        කැමතියි

        • ඔව් විචාරකතුමා. පෘතුගීසි පාලන සමයේ ඔවුනට පුස්කොල පොත් වගේ දේවල් ගෙනයාම ගැන එතරම් දැඩි උවමණාවක් තිබුණාදැයි කිය නොහැකි නමුත් ලන්දේසින්ට යටත් වුන තැන් සිට ඉංග්‍රීසි යුගයද නිම වී නිදහස ලැබී ඇතැයි පවසන අද දක්වාමත් පුස්කොල පොත් රටෙන් බැහැරවෙමින් තියන බවට සාධක තිබෙනවා. 1870 පමණ තෙක් භූගෝලීය රැකවරණ යටතේ සැඟව පැවති උග්ගල් අලුත්නුවර, සොරගුණය, බොල්තුඹය වැනි ගම්මාන වල මේ දක්වා ඉතිරිව පවතින පුස්කොල පොතුත් ඉතා වේගයෙන් රටෙන් බැහැරවන බවට තොරතුරු ඕනෑ තරම් ලැබෙනවා.
          ප්‍රකටව නැති හොඳ උදාහරණයක් පෙන්වා දිය හැකියි.
          උග්ගල් අලුත්නුවරට ආසන්න පන්සලක 1990 ත් පැවතිබව සඳහන් උත්තරවිහාර වංශය ආචාර්ය ශිරාන් දැරණියගලයන් විසින්ද දුටු බවත් ඒ අනුව උත්තර විහාරවංශය හෙවත් උත්තර විහාරට්ඨ කතාව නැමති විශාල පුස්කොල පොත 1992 සිට නැවත කියවීමට හෝ සොයාගන්නට නොහැකි විය. එය රටෙන් බැහැර නූනා නම් ශිරාන් දරැණියගලයන් සහ තවත් බොහෝ දෙනකු සමග සොයන්නට ගත් උත්සාහය අසාර්ථක විය නොහැකියි.
          තවත් අවස්ථාවක උග්ගල් අලුත්නුවර පාරම්පරික වෛද්‍යවරයකු මා හමුවි තම පරම්පරාවෙන් ලැබී ඇති පුස්කොල වෛද්‍ය ග්‍රන්ථ පෙන්වා ඒවායේ අන්තර්ගත ප්‍රතිකාර සහ යන්ත්‍රමන්ත්‍ර ගැන විස්තරයක් කළා. මාස දෙකකට පසුව අනපේක්ෂිත ලෙස සිදු වු ඔහුගේ හදිසි අභාවයත් සමග ඒවා ද නැතිවී ඇති බව එම වෛද්‍යවරයාගේ භාර්යාවගෙන් දැනගන්නට ලැබුණා. දැන් ඉතිරව ඇත්තේ එදා සාකච්ඡාවේ වීඩියෝ සටහනක් පමණයි. තවමත් ඈත ග්‍රාමීය පන්සල්හි සහ පාරම්පරික වෛද්‍යවරුන් ළඟ ඇති පුස්කොල පොත් වල වටිනාකම ගැන අවබෝධකරවා ඒවා සංරක්ෂණයට හා පිටපත් ගැනීම පිණිස විධිමත් වැඩ පිළිවෙලක් රටට දැනෙන පරිද්දෙන් ක්‍රියාත්මක විය යුතුව තිබෙනවා.
          පාරම්පරික පුස්කොල පොත් වල පිටපත් තාවකාලිකව ලබාගෙන PDF බවට හරවා තබා ගැනීම සහ සංරක්ෂණය කිරීමේ වැඩපිළිවෙලක් කැළණිය සරසවියේ ක්‍රියාත්මක වන බව සැලයි. එම වැඩසටහන වඩා සාර්ථක අන්දමින් ක්‍රියාත්මක කරවීම පිණිස අවශ්‍ය අවශ්‍ය පරිදි ප්‍රතිපාදන යොමුකරවීම වැනි සුදුසු වැඩපිළිවෙලක් ඉතා කිඩිනමින් සැලසීම පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු වන්නේනමි ඉතාම වැදගත් !

          කැමතියි

  3. පින්ග්කිරීම: මඟුල් ලකුණු |

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )