බලන්න මේ දුයිෂෙන් දිහාත්…..

සූ වැන්නේ සයිමන් සහ ඩිංගිරි මැණිකා

සිංහල බ්ලොග් අතරට හදසියේ පැමිණ ඉක්මණින්ම පාඨයන් රැසක් ලබාගන්නට සමත්ව ඇති දුයිෂෙන්ගේ අඩවිය අහම්බෙන් හමුවුනේ. ඒ රසවත් පෝස්ටුව කියවද්දි   sugv ගෙ පැරණි මතකයනුත් ඇවිස්සුනා.  මේ  කියන්න හදන්නෙ 1950 දශකයේදි  උග්ගල් අලුත්නුවර ප්‍රදේශයට නෑකම් කියන තවත් හද්දා පිටිසර පාසලක[i] සිටි පැරණි  දුයිෂෙන් කෙනෙක් ගැන. ඔහු මේ කියන පාසලේ වැඩ බලන මුල්ගුරු විදිහට සටහන් කරල තියෙන්නෙ එවැනි පත්වීමක් තමන්ට නොදී තිබුණ නිසා වෙන්න ඇති. ඒත් ගමේ පැරන්නන් කිව්වෙ අපේ ලොකු ඉස්කෝල මහත්තය කියලයි. මේ එම  අල්විස් පෙරේරා දුයිෂෙන් වරයා  තැබූ සටහන් අතරින් දින දෙකක උපුටන. ඒවයින් ඔහු කවුද කියල හොඳ හැටි තේරුම් යාවි. ඒ  ඓතිහාසික සටහන් කියවද්දි ලබාගත් වීඩියෝ ක්ලිපය විනාඩි තුනයි. ඒක මෙතනට ගෙනාවෙ මං කියන දේවල බොරුව හැබෑව කොච්චරද කියල බලන්න.(බළන්ගොඩ ගුරු මධ්‍යස්ථානයේ ඉගෙනුම් සම්පත් අතරින් ලබාගත් බව ස්තුති පූර්වකව සටහන් කරනවා.) 

1958 පෙබරවාරි 21 දින සටහන

“වේලාව 9.30 විය.බාලාංශ පන්තියේ කුඩා ගැහැණු ළමයකු හඬනවා ඇසුනි.කාරණය සොයා බැලීමි. ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් “බඩගිනි” යයි ඒ කුඩා ගැහැණු ළමයා කීය. පළමුවැනි පන්තියේ සිටින පිරිමි ළමයාත්, තෙවැන්නේ සිටින ගැහැණු ළමයාත්, ඇගේ සහොදරයා සහ සහෝදරියයි.කනබොන කතා ඇසීම අනවශ්‍ය දෙයක් වුවත්මම ඇසීමි. උදේට ආහාර නොතිබුණ බව කීවෙන් මගේ සිත ඒ සදහා ක්‍රියාකරන්නට විය. තුන් සොහොයුරු දරුවෝ හොඳටම මලානිකව වූහ. සංවේගය. කෝපය හා ත්‍රාසය බිහි වූයේ “කුඩා ළමයින්ට බඩගින්නේ සිටින්නට පුහුණු කළ යුතුය” යන මවගේ අඥාන වදන් මා කණ වැටීමෙනි. කරමින් සිටි කටයුතු පසෙකින් තබා ඔවුන් තිදෙනාට වේලවට සුදුසු ආහාරයක් හාමත නිවා ගැනීම පිණිස සුදුසු ආහාරයක් පිළියෙල කර ගැනීම සඳහා සූ වැන්නේ සයිමන් සහ ඩිංගිරි මැණිකා යන ළමුන් දෙදෙනා යෙදවීමි. ආහාර ගැනීමට සිටි ළමුන් තිදෙනාත් ආහාර පිළියෙල කිරීම සඳහා යට සටහන් ළමුන් දෙදෙනාත් උදේ 9.40 සිට 10.15 වන තුරු පන්තියේ නොසිටියහ.”

1958 පෙබරවාරි 22 දින සටහන

“දහවල් 11.00 ට අසල කුඹුරක සිටි දැවැන්ත පොළඟකු මරාගත් මිනිස්සු කීප දෙනෙක් පාසලට පැමිණියෝය. විෂ සහිත සර්පයකු පෙන්වා ළමුන්ට කරුනු කියා දීමට අවස්ථාවක් වූයෙන් පොළඟා පරීක්ෂා කිරීම සඳහා පැය භාගයක් පමණ ඉඩ දුනිමි. කාල සටහනේ නියමිත වැඩ නතර කරන්නට සිදු විය. ළමෝ පොළඟාගේ විෂ දළ පරීක්ෂා කළහ. උගේ පාට, දිග, පරීක්ෂා කළහ. දිග අඩි 6½ ක් පමණ විය. අනතුරුව විෂ සහිත සහ විෂ රහිත සර්පයන් ගැන කරුණු කියා දුනිමි.”

අන්තර්ජාලයෙනි

අන්තර්ජාලයෙනි

ඉහත කියවෙන  සිසුන් සොයා ගන්න පුළුවන්ද බැලුවා. ඒ අය විතරක් නෙමෙයි. ගම්මානයේ අනෙක්  පැරැන්නන් ද අල්විස් මහතාව හඳුන්වා දුන්නේ ඒ කාලෙ මැලේරියාවෙන් පිරිච්ච   අපේ

අන්තර්ජාලයෙනි

අන්තර්ජාලයෙනි

පළාතට “මනුස්ස වේසෙන් ආපු දෙවිකෙනෙක්” විදිහට.

පෙබරවාරි 21 දින සිද්දියෙන් පස්සෙ එදාම සවස දෙමාපියන් පාසලට කැඳවා   කුඩා ළමුන් බඩගින්නේ සිටීමට පුහුණු කළ යුතුය කියාපු  අම්මාටයි සේරටමයි  තදින් බැණ වැදුන බව කිව්අවෙ බොහොම බැතිමත්වයි.

අල්විස් මහතාට දෙපාර්තමේන්තුවෙන් මුල්ගුරු තනතුරක් (විදුහල්පති තනතුරක්) දී නැති බැවින් වැඩබලන මුල්ගුරු ලෙස තමාව හඳුන්වාගනිමින් ලොග් පොත පවත්වා ගෙන පැමිණි බව පෙනී යනව. එයා ගැන තවත් විස්තර තියනව. ඒව පස්සෙන් පහු වෙලාවක.

ඒ දුයිෂෙන් සහ මේ  දුයිෂෙන් ඇරුනාම තවත් දුයිෂෙන්ලා සිටිත් ද ?

තවමත් ලංකාවෙ   බොහොමයක් පාසල්වල  දුයිෂෙන්ලා දෙතුන් දෙනකු හරි ඉන්න නිසා තමයි පාසල් අධ්‍යාපනය මුළුමණින්ම  බිමට සමතලා නූනෙ. ඒක අධ්‍යාපනය  බලතල ලබාගන ගුරුවරුන්ට ඉහලින් ඉන්න අය නිසාවත්,  දේශපාලන පළිගත්තා යි කියමින්  ගුරුවරයාව ආණ්ඩුමට්ටු කරන තැන්වලට යන්න දඟලන අය නිසා ඇති වුන එකක් නෙමෙයි. දුයිෂෙන්ලා කීප දෙනා හන්ද දකින්ඩ තියන හාස්කමක් විතරයි. 

—————————                                                                                                                                          [i] බළන්ගොඩ,කල්තොට, වර්තමාන මැදබැද්ද මහා විද්‍යාලය

 

14 thoughts on “බලන්න මේ දුයිෂෙන් දිහාත්…..

  1. මටනම් හිතෙන්නේ ගුණසිංහ මහත්තයෝ අර ලොග් පොත තියෙන්න ඕනේ ජාතික ලේඛනාරක්ෂණාගාරයේ. මේ අපේ ජාතික කවියකු වූ පී.බී.අල්විස් පෙරේරා මහතා නෙවෙයි නේද?

    //තවමත් ලංකාවෙ බොහොමයක් පාසල්වල දුයිෂෙන්ලා දෙතුන් දෙනකු හරි ඉන්න නිසා තමයි පාසල් අධ්‍යාපනය මුළුමණින්ම බිමට සමතලා නූනෙ. ඒක අධ්‍යාපනය බලතල ලබාගන ගුරුවරුන්ට ඉහලින් ඉන්න අය නිසාවත්, දේශපාලන පළිගත්තා යි කියමින් ගුරුවරයාව ආණ්ඩුමට්ටු කරන තැන්වලට යන්න දඟලන අය නිසා ඇති වුන එකක් නෙමෙයි. දුයිෂෙන්ලා කීප දෙනා හන්ද දකින්ඩ තියන හාස්කමක් විතරයි. //

    ඔබතුමාට හිසනමා ආචාර කරනවා මේ අතිශයින් කාලීන අදහස් ප්‍රකාශ කිරීම ගැන.

    1960 දශකයේ දුෂ්කර විදුහලක විදුහල්පති වරයකු වූ මගේ පියාත්, ඒ පාසලේම සේවය කල මගේ මවත්, තම සොච්චම් වැටුපෙන් මුදල් වියදම් කර දිළිඳු දරුවන්ට කෑම බීම ඇඳුම් පැළඳුම් අරන් දුන්න බවමා දැක තිබෙනවා.

    මට අහම්බෙන් හමුවුනා මේ අඩවියේ නමට ආසන්නයෙන් යන තවත් අඩවියක්. ඒකේ නම, ‘දෙයියන්ගෙ රටේ’. මේ අඩවියේ වගේ, ‘දෙයියන්නේ රටේ’ නෙවෙයි.

    මෙන්න තියනවා සබැඳියාව

    කැමතියි

    • 1960 දශකයේ අප ඉගෙනුම ලැබූ අවදිවල අපව පෝෂණය කරන්නට වෙහෙසුන දුයිෂෙන්වරු කොපමණ නම් හමු වුනාද විචාරකතුමා. ඔබතුමාගේ දෙමාපියනුත් අනිවාර්යයෙන්ම ප්‍රනාමයට පාත්‍රවුන ගුරු යුවලක් බව නිසැක කරුණක් එසේ නොවී නම් ඔබ වැනි දරුවන් හැදී වැඩෙන්න ඉඩක් නැහැ. මේ ැටේ කීර්තිමත් මිනිසුන් බවට පත් වූ බොහොමයක් දෙනාගේ දෙමාපියන් හෝ අඩු ගණනේ මා පිය දෙදෙනාගෙන් එක් තැනැත්තකු හෝ එවැනි කීර්තිමත් ගුරුවරු බව ඒ අවදියේ මා කළ ගවේශනවලදී හමු වුනා. ඔබතුමාගේ දිරි ගැන්වීමට ස්තුතියි !
      ලංකාවේ පාසල් වල ඇති පැරණි සටහන් අඩංගු ලොග් පොත් ලේඛනාගාරයට පවරාගෙන සංරක්ෂණය කරන්නට ඕන කියන අදහස ඉතාම වටිනා යෝජනාවක් සේ සලකමි

      කැමතියි

  2. දුයිෂෙන් ලා එකෙක් දෙන්නෙක් හරි හිටියේ නැත්නම් බොහෝවිට අපිත් අද මෙතන නෑ.. ස්තුතියි ගුණසිංහ මහතා මේ අපුරු ගුරුවරයා ගැන සටහන් කරාට..

    කැමතියි

    • ඔව් කල්‍යාණ මිත්‍ර සහතික ඇත්ත. මේ ගුරුවරයා දරුවන්ට පමණක් නොව දෙමාපියන්ටද ඉගැන් වූ බවත් ළමුන් පාසල් නොඑන විට නිවෙස් සොයා ගොස් දෙමාපියන්ට අවවාද කරමින් දරුවන් කැඳවා ගැනීමට කටයුතු කළ බවත් අසන්නට ලැබුණා. ගැමියන්ද තම ගැටළුවල දී පාසලට යාම පුරුද්දක්ව තිබූ බවත් ලොග් පොත බලද්දී පැහැදිලි වෙනවා

      කැමතියි

  3. බොහොම ස්තූතියි, ගුණසිංහ මහත්මා..අපූරු ලිපියක්…

    අපේ විචාරක තුමාගෙ පැණයට පිළිතුරක් ලබාගන්නට විදිහක් නැද්ද? මේ අර සුප්‍රසිද්ධ කවියා පී.බී. අල්විස් පෙරේරා මහතාමද කියල?

    මම විස්තර ටිකක් හොයල බැලුව. හැබැයි පී.බී. අල්විස් පෙරේරා මහත්මයා ගුරු වෘත්තියෙ යෙදුනයි කියල කොතනකවත් සඳහන් වෙලා තියන බවක් මම දුටුවෙ නම් නෑ.

    කැමතියි

    • මාත් සොයා බැලුවා ඒ පී.බී.අල්විස් පෙරේරා නෙවෙයි ගැමියන් අල්විස් අප්පුහාමි ලොකු ඉස්කෝලෙ මහත්තයා යනුවෙන් හැඳින්වීමේ සිරිතක් ද තිබුණා. ලොග් පොතේ දැක්වෙන්නෙ අල්විස් පෙරේරා නම පමණයි. මේ වෙනත් කෙනෙකු විය හැකියි.

      කැමතියි

  4. ඇත්ත ම කිව්වොත් මේ කමෙන්ටුව දමන මමත් (තුෂාර) පළවෙනියට ම දුයිෂෙන්ලා දැක්කේ අලුත්නුවරට ආවාට පස්සේ තමා…… සටහන අගෙයි….

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.