එහෙම වෙන එක වලකාගම්මු

හරියටම  මේ  දවස් ටික  වාගෙමයි.

සුනාමියෙන් කැළඹුන  දවස් ටික !  එදත් ඔක්කොටම ඉස්සෙල්ල පිහිටට ගියෙ සාමාන්‍ය මිනිස්සු. රජයේ සේවකයොත් ගියා. ඒ ගියෙත් සාමාන්‍ය මිනිස්සු විදිහට මිසක් රජයෙ සේවකයො විදිහට නෙවෙයි.  සමහරු රස්සාවට හෙන ගැහිච්චදෙන් කියල යන හැටිත් දකින්ඩ ලැබුණ.!  2004 දෙසැම්බර් 26 දින සහ ඒ ආසන්න දිනවල දකින්ඩ ලැබුණ දේවලුත් මේ වාගෙමයි !!!  පහත උපුටනය බලන්නකො.[i]

 Naleen Dilruksha ඇතුළු මිතුරු පිරිස මූණු පොතේ කරන ඉල්ලීම

Naleen Dilruksha ඇතුළු මිතුරු පිරිසක් මූණු පොතේ කරන ඉල්ලීම

 “………මේ… විජහට ඇවිත් බලන්න කො ! උදේ නවයට විතර රූපවාහිනිය බලමින් හිටපු අය හදිසියෙ කැගහන්න වුනා. මේ පුදුමය මොකද්ද කියල කවුරුත් වට වෙලා බලා හිටියේ චුට්ට වෙලාවයි. රූපවාහිනිය කොච්චර දැඟලුවත් මිනිස්සු ඒක බලා හිටියෙ ඇත්ත බවට ඒත්තු යනකං විතරයි. උග්ගල් අලුත්නුවර මිනිස්සුන්ටත් දවල් 11 .00 ට පමණ වන විට අර අදෘශ්‍යමාන ආණ්ඩුවෙන් හදිසි නියෝග ලැබෙන්න වුනා. කාටත් වගේ දවල්ට කන්නත් එපා උනා. බොහොම දෙනෙක් කිව්වෙ තමන්ට බත් ගිලෙන්නෙවත් නැති බව. සමහරු “අපි කාල ඇයි පුතේ ? අනේ දෙයියනේ !” යි කියමින් විලාප තියන්න වුනා. වාහන තියන ඇත්තො  වෙන කවුරුත් කියන තුරු හිටියෙ නෑ. තරුණ ළමයි යන එක වලකන්න කවුරුවත් හිතුවෙත් නෑ.   “දැන් ඒ පැත්තට හදිසියෙන්ම ගෙනියන්න ඕන වතුර ! අනේ වතුරවත් නැතුව ඇති.” ඇතැමකු පල  කරන මතය අනුව ගෙවල් හැම එකේම තියන බූලිවල වතුර පුරෝල වාහන කීපයක පැටෙව්ව. තවත් වාහන වල කෑම පටවන්න ගත්ත. ඒ ගමන්ම ඉගිල්ලිලා වගේ වාහන වෙරළ බඩ දිහාට යන්න පටන්ගත්ත.  බළන්ගොඩ, ඕපනායක, පැල්මඩුල්ල, රත්නපුර පමණක් නොව රට මැද්දෙ තියන හැම ගමක්, නියම් ගමක්, නගරයක් පාසා මිනිස්සුන්ට පිස්සු හැදුනා වගේ.  එකතු කරගන්න තිබුණ දෙයක්  වෙරළ පැත්තට අරගෙන යන්න වුනා. සමහරු ගියෙ බඩගින්නෙ.

හරියටම හමුදාවක් ඇවිත් තුවක්කු එල්ල කරගෙන “මෙහෙම කරපල්ලා” කියමින්  පස්සෙන් පන්නනවා වගේ;  මිනිස්සු වෙරළබඩ දක්වා දුවයන්න උනා.  එහෙම මුලදි ගියේ විසිතුරු බලන්න නම් නෙවෙයි. පිහිට වෙන්න විදිහක් හිතමින්.  sugv ට හොඳටම මතක තියන තවත් සිද්ධියක් මෙහෙමයි. තම නිවසට නුදුරින් ඇති ප්‍රාදේශිය ලේකම් කාර්යාල නිල නිවසේ පදිංචිව සිටි සහකාර ප්‍රාදේශීය ලේකම් තුමා හදිසියෙ  දුවගෙන  නිවසට පැමිණියා.  මෙහෙම කියන්න උනා. “අයියයි අක්කයි, මගෙ දරුවයි නෝනයි ගැන ටිකක් බලන්න. නෝනට බබා ලැබෙන්න ඉන්නෙ. මොනව කරන්න ද ? රස්සාව නැති උනත් මාත් යනව  අර දුකට පත්වෙච්ච මිනිස්සුන්ට පුළුවන් විදිහකට පිහිට වෙන්න. අපේ කාර්යාලෙ කට්ටියකුයි ග්‍රාමනිලධාරි පිරිසකුයිත් මේ ගමන්ම යනව.

අර නොපෙනෙ ආණඩුවෙ බලය කෙතරම් ද ? දෘෂ්‍ය මාන ආණ්ඩුවෙ ආයතන සංග්‍රහය(AR) මුදල් රෙගුලාසි සංග්‍රහය(FR) කැලේට විසි වෙලාද දන්නෙ නෑ.  ඒ පමණක් නෙවෙයි මෙතෙක් ඇවිලෙමින් තිබුණ යුද්ධයත් හදිසියේම නැවතිලා ගියා ව‍ගේ . එදා වර්ග භේද, කුලභේද, දේශපාලන පක්ෂ භේද සියල්ලමත් කැළේ.  හමුදාවෙ හිටපු කොල්ලොත් තෝරා ගැනීමක් නොකර මිනිස්සුන්ව බේරගන්න උනා. මිනිසුන් අතර පැවති ජාතිභේද, කුල භේද, පක්ෂභේද පැත්තකට විසිවුනා ද?

මේ මොන පුදුමයක් ද වෙන්නෙ ? අදිසි ආණඩුවකින් මිනිස්සුන්ව මෙහෙයවනවා. පැය 48 ක් ඇතුලත වෙරළ බඩ දුකට පත්වුන මිනිසුන්ට කෑමත් වතුරත් ලැබී තිබුණ බවත් සුනාමියට අහුවෙලා නැතිවුන අය හැර ඉතිරි වෙලා හිටපු කිසි කෙනෙක් බඩගින්නේ මැරුණෙ නැති බවත් තහවුරු වුන වාර්තා තියනව. දෘශ්‍යමාන ආණ්ඩුව ගැටළුවට මැදිහත්වන විට අර නොපෙනෙන ආණ්ඩුව ක්‍රමයෙන් අයින් වුනා…….”

ඒ කාලෙ නලින්ල වගේ සිවිල් මිනිස්සු කරපු කැපවීම සුළුපටු නෑ. ඒත් ඒ ගැන විස්තර  බොහොම හිඟයි. මට වැඩියෙන්ම පුදුමය වෙලා තියෙන්නෙ මේ වගේ විපත් අවස්ථාවක දි තමන්ගෙ බත්පත විතරක් නෙවෙයි ජීවිතය පවා කැපකරන්න එදත් සූදානම් වුන මිනිස්සුන්ට [ii]  පහුවෙන කොට මොකද්ද  වුනේ කියල කියන්නයි.

එදා මහ ලොකුවට කයිය ගැහුවෙ “සියලු භේද අතෑරල, රට ගොඩ නගන්න එකතුවෙමු. මීට පස්සෙ නිවාඩු නොගෙන වැඩ කරමු. උදේම ඇවිත් හොඳටම හවස්වෙලා ගෙදර යමු. රාජකාරියට 8.00 ට එන්න නියම අය 7.00 ට එමු. 4.00ට යන්න තියනව නං  5.00 ට ගෙදර යමු. කර අරින්නෙ නැතුව පැවරෙන වැඩ හොඳට කරමු” කියලයි.

13254437_638262059660405_292238087273360616_n

ලහිරු බැබිලෙගොඩ ඇතුළු මිතුරු පිරිසක්  මූණූ පොතේ කරන ඉල්ලීම

සුනාමියෙ උණුසුම අවසන්වෙද් දි ඒ  තිබිච්ච; අනුන්ගෙ දුකේදි උණුවුන පපුව නැතුව ගියා. අනුංගෙ දේවල්, මහජන දේපල කොල්ල කෑම, ජීවිත දේපල විනාස කරදැමීම, වැඩ නොකර කර ඇරීම පරක්කුවෙලා ඇවිත් කලින් ගෙදර යාම ආයෙත් පටන්ගත්ත. තිබුණටත් වඩා හොඳට ඒව කරන්න වුනා. සුනාමියට දේස දීංකරේ හැමතැනින්ම ගලාගන  ආපු ආධාරත් මංකොල්ල කන්න උන බව පෙනෙනවා[iii]. මුළු රටම යකා නටන තැනක් උනා. මේ පාරවත් එහෙම නොවී මූණු පොතේ යාළුවො කියන්න වගේ අත්වැල් බැදගෙන කාටත් ආත්මගරුත්වයක් ඇති මිනිස්සු හැටියට ඉන්ඩ ලැබේවා! දැන්වගේම ඉදිරියෙදිත්  මිනිස්සු අනෙකාටත් මිනිසෙක් විදිහට සලකත්වා! කියල පතමු.

————————————————–

[i]මේ පෝසටුව බලන්න  මේක 2013 උඩු ගැන්නුවත් එහි අන්තර්ගතය; ඒ සුනාමිය තදාසන්න දිනයන්හි දෛනිකව තැබූ ප්‍රත්‍යාලෝකන සටහන්වල සංස්කරනයක් සේ සලකන්න

[ii] අරනායක සංවර්ධන නිලධාරියෙක් විදිහට වැඩකරපු තරුණයෙක් සාමසාර කන්ද කිට්ටුව ගමේ මිනිස්සුන්ට ඉවත්වෙන්න කියල කියන්න තමන්ගෙ මල්ලිත් එක්ක ත්‍රීවිල් එකේ යන බව තවත් යහළුවකුට කියා ඇති බවත්;  දින දෙදකට පසුව දුරකථන පණිවුඩය ලැබුණ මිතුරාට හා නෑයන්ට  දකින්ඩ ලැබුණෙ මඩට යටව ගිය එයාගෙ ත්‍රීවීල් එකේ කොටසක් පමණක් බවත් වාර්තා වී ඇත.  මේ අතර මාධ්‍ය වේදීන් පිරිසක් බේරී ඇත්තෙ සීයට අනූනවයෙන් බවද වාර්තාවී තිබෙනවා.

[iii] 2016.05.29 සත්හඬ පුවත් පත් වාර්තාව මේ පිළිබඳ කදිම උදාහරණයක් සපයා තිබෙනවා

 

 

 

 

8 thoughts on “එහෙම වෙන එක වලකාගම්මු

  1. ව්‍යවසනයක දී සිත කැළඹෙද්දී පැත්තකට වෙන ඊර්ෂ්‍යාව වැඩිකල් නොගිහින් ආයෙත් ඉස්සරහට එනව. කවුරු කොච්චරක් දුන්න ද කියල ඊර්ෂ්‍යාවෙන් පෙළෙන සිත් ගණන් හදන්න පටන් ගන්නව.

    කැමතියි

  2. මේ වගේ හිත හොඳ මිනිස්සු ටිකක් හරි මේ රටේ ඉන්න නිසාත්, ඒ මිනිස්සු සියල්ලට පළමුව මනුස්සකමට සලකන නිසාත් තමයි ගුණසිංහ මහත්තයෝ අපිට දිනපතා සුනාමි නොඑන්නේ.

    කැමතියි

    • ඔව් අප සියලු දොනගේ ගෞරවය පිරිනමමු. එකතුවුන මේ අය හා එකතුවන්නට නොහැකි තරම් බාධාවන්ට මැදිව සිටින අප වැනි අය වචනයකින් හෝ සහාය වීම ඉතාම වටිනා දෙයක්. අරූගෙ අඩවියෙ පොස්ටුවක් කාලයකින් දැක්කෙ නැහැ නේ. ආයෙත් බ්ලොග් ලෝකයට එන්ඩෝ

      කැමතියි

  3. නායකත්වය කියන දේ තමයි ඕන තැනක ආදර්ෂය වෙන්නේ. දැන් මේක මෙතනින් නවත්තන්න නරකයි. පසු විපරම උපරිමයෙන්ම තියෙන්න ඕන. සුනාමී වෙලාවේ නම් ලංකාවේ උන්නේ නෑ. මේ වෙලාවේ නම් ඇස් දෙකෙන්ම දැක්ක දේ තමයි රාජ්‍ය යාන්ත්‍රනය පට්ට ෆේල් කියන එක. ඒ වගේම මිනිස්සුන්ගේ බලු කම් වලත් අඩුවක් නෑ කියන එක.

    කැමතියි

    • මේ වතාවෙ මට දකින්න බැරිවුනා ඒත් සුනාමි අවස්ථාවෙ මම ඉතා හොඳ අත්දැකීම් ලැබුවා. එදා රාජ්‍ය යන්ත්‍රය පැහැදිලිවම මීටත් වඩා අසමත්. පසු විපරම් පසු වැඩසටහන් වෙනුවට පස්සෙ කාලෙ උඩරට දිහාවෙත් ආපු සුනාමි ටකරං සුනාමි ටෙන්ට් හෙම දකින්න ලැබුණා. සුනාමියෙන් බැටකාපි මිනිස්සුන්ගෙ ගෙවල් හැදුන හැදුව හැටි ඊටත් හපන්.
      මේ පාරවත් කිසියම් වෙනසක් ඇතිවුනොත් ඒකේ ගෞරවයෙන් විශාල කොටසක් අන්තර්ජාලයටත් එහි ඇති සමාජ ජාලවලටත් බ්ලොග්වලටත් හිමිවේවි. පසුවිපරම උපරිමයෙන් පවත්වා ගැනීමට අත්වැල් බැඳ ගැනීම ඉතාම වැදගත් කියන එක් මාත් අවධාරණය කරනවා

      කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )