අලිය කලබල කරනවා!

අලිකුලප්පුව 2

ඒ 1997 වසර. උග්ගල් අලුත්නුවර මහ පෙරහරේ දෙවන දින රාත්‍රිය එළඹෙද්දි  අත්විඳි අවස්ථාවකි. වෙලාව රාත්‍රී 8.00 ට පමණ ඇත. බොහොම ජයට පෙරහර සූදානම් වෙනවා.  රාත්‍රී 9.00 ට පසුව එළඹෙන සුබ වෙලාවකින් පිටත්වෙන්න නැකත හදල තිබුණ බව sugv ට හොඳටම මතකයි. ඒ අවදියේ සංවිධාන කටයුතු වලට ඉතා ළඟින් සම්බන්ධ වෙලා වගකීම් දරපු බැවින්  මේ සිද්ධිය කිසි දිනක අමතක නොවේවි.

wild_01මේපින්තූරය අරගත්තෙ Man killed in elephant attack – Worldnews.com වෙතින්

සාමාන්‍ය අපට අලි හැසිරෙන අන්දම ගැන හෝ ඇත්ගොව්වන්ගේ  සිතුම් පැතුම් ගැන කිසිදු අවබෝධයක් නැහැ. ඒත් පෙරහරට අලියා, ඇතා වගේම හස්තිපාලකයාත් සම්බන්ධ කරගතයුතුම අය. හස්තිපාලකයන් සමග සම්බන්ධතා පැවැත්වීමටත් පහසුකම් සලසා දීමටත් ඔෟසධහාමි මහතා ත් ඔහුගේ පුතණුවන් වූ පද්මසෙන මහතාත් ලෙස දෙදෙනෙකුම සිටියා.¹   (ඖසධහාමි මහතා මෑත දී අභාවප්‍රාප්ත විය)ඔවුන්ගේ  සේවය අැගයීම දේවාලයෙන් අතපසු නොවන  බැවින් වගේම ඔවුන් ගමේම අය ද වන බැවින් කටයුතු කළේ   විශ්වාසවන්තව, වගේම වගකීමෙන් යුතුව.   එදින රාත්‍රී හත වෙද්දි ඇත්ගොව්වන් විසින් අලින් ට විලංගු ලෑම, රෑන් ගැහීම සහ ඇඳුම් දැමීම වගේ කටයුතු පටන් අරන් ඇති බව ඒ අය වාර්තා කළා. ඊට ඔවුන් ද සම්බන්ධ වීම සාමාන්‍ය සිරිතක්. ඒ වන විට ඔවුන් බලන අලි ඇතුන් නොසිටියත් කාලයක සිටම අලි බැලීම සම්බන්ධව බොහොම පළපුරුදු අය. ඔක්කොම වගේ ඇත්ගොව්වන්වත් හඳුනනවා.

රාත්‍රී 8.30 පසුවෙනවත් එක්කම පද්මසේන මහතා හදිසියේ දුව එමින්  ඉදිරිපත් කළේ බරපතල්  පැමිණිල්ලක්.

පද්මසේන:-  හරියන් නෑ මහත්තය අර “………..” අලියා  උඩට අදත් අර බීපු මිනිහ නග්ග ගෙන. ඌ ඊයෙත් දඟලන්න ගිහින් මායි තාත්තයිත් ගිහින්  තුන්දෙනාම එක්ක අමාරුවෙන් මේච්චල් කර ගත්තෙ. පිට උඩ යන බීපු මිනිහ අලිබාස් කෙනෙක් නෙමෙයි. මොකුත් තේරෙන කෙනෙකුත් නෙමෙයි. ඒ අලිබාස්ගෙ යාළුවෙක් වෙන්න ඇති. නැහ්නං ඒ මිනිහගෙන් සල්ලි අරන් නග්ග ගෙන යනවා වෙන්න ඇති…. එක්කො අපි අද ඒ අලිය  නොගෙන ඉම්මු ද ? පෙරහරට පැමිණි ආගන්තුක  ඇත් ගොව්වන් තමන්ට  අවනත කරගන්න බැරිව මෙහෙම කියනවා වෙන්න ඇති යි sugv ඇතුළු අයගේ මුල්ම සිතිවිල්ල විය. ඒත් පුවතද නොසලකා හැරිය හැකි එකක් නොවේ.

sugv සහ තවත් අය එක්ව :- මේ පාර ඇවිල්ල තියන අලි මදි නේ පද්මෙ. නැටුම් කණ්ඩායම් ගොඩක් තියන හින්ද කොහොම හරි පාලනය කරල එයාව හදාගන්න. පොලීසියට මේක විශේෂයෙන් කියන්නම්.  බීපු මිනිස්සු අයින් කරාවි. අපිත් පහළට එන්නංකො. ඔෟසධ අයියත් එක්කත් කතා කරල පුළුවන් විදිහකට අලිය සම්බන්ධ කරගන්න උත්සාහ කරපං කොල්ලො.

අපි පින්සෙන්ඩු වීමු.

පද්මසේන :- ඕන්න මන්දන්නෑ. සමන්දේවාලෙන් අැවිත් ඉන්න ඇතත්  සැර එකෙක් නේ. අපේ තාත්ත එතනම ඉන්න ඕන. මං යන්නං පුළුවන් ඉක්මණට පහළ වීදියට එන්න එහෙනං.

තවත් කටයුතු රාශියක් ඇත. ඒවා  අතර දී පද්මසේන ගෙනා ආරංචිය අමතක වුනා වෙන්න ඇති. අපි ඒ වෙලාවෙ හිටියේ බොහොම කාර්ය බහුලව. බස්නායක නිලමේතුමා² තානායම ඇතුලෙ අන්දවනවා. වෙලාව නවයට ආසන්නයි. ධාතු කරඬුව  පහළ මළුවට වඩම්මන දළදා හේවිසි  ශබ්දය ඇසෙනවා.  හදිසියේම අමුතුම දර්ශනයක් ! ධාතු කරඬුව බදින්න සූදානම් කරමින් සිටි ඇතා රන්හිලි ගේත්  බැඳගෙනම   උඩවීදියට ගොඩ වී අපේ කාර්යාලය දිහාවට එන්නේ වේගයෙන්. ඇත්ගොව්වත් යුහුසුළුව ඇතා දක්කන නිසා වෙන්න ඕනි. රන්හිලි ගේ ඇතා පිට බඳිමින් හිටපු අබේසිංහ අයියාත් පිට උඩමයි. ! ඇයි මේ ? වැඩේ අවුල් වෙලා වගේ.  “ඇතා ඔය කොස් ගහට දාන්න. කොස්ගහට දාන්න”  යි ඇතා සමග එන ඇත්ගොව්වාට අණ දෙමින්, කෑ ගසමින් පද්මසේනත් පිම්මේ දුවගෙන එනවා.!!!

sugv:- ඇයි පද්මෙ ඇයි. ?

පද්මසේන :- මම කිව්ව එක කණකට ගත්තෙ නෑ නේ ! ඕනි එකක් කරගන්න එකයි ඇත්තෙ ඔන්න!! අර “…………” අලිය කලබලවෙලා!!!. අලිබාස් ටැට්ටරේ යටට රිංගුවා. තාත්ත අනික් අලි සේරම ගස් බඳින්න යවනවා. මම ආවෙ පණිවිඩේ කියන්න එක්කයි. ඇතා ගැන තමයි වැඩියම බය ඒකයි මෙතෙන්නට ගෙනාවෙ.

උද්ගතව ඇති තත්ත්වය පොලීසියට දන්වමින්  ශබ්ද විකාශන පද්ධතියේ වයර්  ක්ෂණිකව කපා දැම්ම. උඩවීදියේ මිනිස්සු තවම කිසි දෙයක් දන්නෙ නෑ.   පොලීසියත්, අපත්, ගමේ තරුණ පිරිසත්  එක්ව දේවාලය  ආසන්නයේ රැස්කමින් සිටි අය කලබල වන්නට පෙර  දේවාල මළුව උඩට යවන්නට පියවර ගත්තා. ඈතින් සිටි සහ පිවිසෙමින් සිටි අය  යුහුසුළුව ආරක්ෂිත තැන් කරා යොමු කරන්නටත් අවශ්‍ය පියවර ගැනුනා.

sugv:- හරි පද්මෙ සමාවෙයන් බොලේ . යමු අර අලියා මේච්චල් කරල බැඳගන්න එපායැ. යං පහළට.

පද්මසේන :- මටත් “අලි කුයිලෙ” තියනව. ගියොත්  මා පාරෙත් පන්නයි

sugv:-   මාවිඅරාව පාරේ කැළෑව පැත්තට අලියට කතා කර කර දුවන්න පුළුවන් නේ. ඒ පැත්තෙ මිනිස්සු  ඇවිත් ඉවරයි තවම එන අයට ආපහු දුවන්න කියමු . මමත් පස්සෙන් එනවා.  ඖසධ අයියත් එයි නේ.කොහොමෙන් හරි අලියව  ගස්දාගම්මු .

පද්මසේන දිරිගැන්වීමි  මේ එඩිතර තරුණයො මාත් ප්‍රේමරත්න ලියන මහතාත්³ සමගම දුවන්නට විය. ඒ වනවිට පහළ වීදියේ සිටින අලියා යකා නටමින් සිටී. ට්‍රැක්ටර් ටේලරයට යටට රිංගා සිටි ඇත්ගොව්වා පිටතට ඇද ගැනීම අලියාගේ අපේකෂාව විය. තව මොහොතකින් ටේලරයට පෙරලා දමාවි. ඈතින් අප වෙත එමින් සිටි ඖසධ හාමි මහතා ද දුටු පද්මසේන මහතා

“තාත්තේ මම අලියට කතා කරනවා. කියමින් හෙන්ඩුවක් ද  වනමින් දේවාභරණ රථය අසළට යමින් ” මෙහි දහ අලිය මෙහිදහ ! ” යි යටිගිරියෙන් කෑ ගෑ  වහාම රථයට මුවා විය.  අලියා එක පිම්මමේ රථය දෙසට එන්නට විය. ආ විගසින්  රථයට පහර දි  පෙරලා දැමීමට මෙන් පැත්තක් එසවීය.

“රථය පද්මෙ රථය !” ඒ  sugv යටිගිරියෙන් කෑ ගෑ හඬ !. “මූ මැරෙන්න යනවා.  යකෝ මෙහෙ ඉඳල කරන්න හම්බ වෙන්නේ නෑ දුවපං. මාවිඅරාව පාරෙ අර ලන්ද දිහාට දුවපන් !”. ඒ යටිගිරයෙන් කෑ ගෑවෙ ඖසධ අයියා.  පද්මසේන දුව යමින් අලියා පතහට වට්ටන්න මෙන් ඒ වටා දුවන්නට විය. අලියා එතරම් මෝඩයකු නොවේ.  පද්මසේන මහතා මාවිඅරාව පාර දිගේ දුවමින් අලියාට කතා කරන්නට විය .  ඒ වනවිට ට්‍රැක්ටරය යටින් එළියට පැමිණ සිටි හස්තිපාලකයා ඖසධ අයියාද සමග   අලියා පසු පස දිව යන්නට විය. පොලීස් නිලධාරී විශාල පිරිසක් ද ඒසමගම  දුවන්නට වූහ. .

මේ දක්වා කිසිවක් බස්නායක නිලමේතුමා නොදැන් විම ගැන මහත්සේ කෝප ව සිටියේය.  එය කණස්සල්ලකට වඩා ගෙන දුන්නේ සැනසිල්ලකි. එතුමා දැන ගත්තේ නම් අඳින ලද බස්නායක ඇඳුම පිටින්ම එන බව නිසැකය. එසේ වූයේ නම් එය මේ අසිරිමත් සම්ප්‍රදායයට කැලලක් හෝ නිගරුවක් වීය හැකි බව පෙන්වා දී  බස්නායක නිලමේතුමාගේ කෝපය පාලනය කර ගන්නට හැකි විය.

පැය ½ ක් පමණ යාමේදී ආරක්ෂිතව අලියා බැද දමන ලද බව තහවුරු විය.  සෙසු අලි ඇතුන් සම්බන්ධ කරගනිමින්  පෙරහර කළ හැකි බව පද්මසේන මහතා සහ ඖසධ හාමි මහතාත් සහතික කළහ.  ස්වාමීන්ද්‍රයන් වහන්සේ, දේවාලයේ අත්තනාය මොහොට්ටාල නිලමේ කපුමහතා ඇතුළු රාජකාරි මණ්ඩලයේ ද තීරණය වූයේ රාත්‍රී 11.30  පසුවන විට පෙරහර පිටත් කළ හැකි බවයි. ඉතා ශක්තිමත්ව නිමවා තිබූ රථයේ පැත්තක ලී පතුරක් පමණක් ගැලවී යාම හැර වෙනත් අලාභ හානියක් වී නොතිබිණි.

සාමූහිකව වැඩ සංවිධානයේ දී ඇතිවන විවිධ අභියෝග වලට මුහුණ දීම පිණිස කැපවීමෙන් මෙන්ම වගකීමෙන් යුතුව  සහාය දෙන විවිධ  විෂය විශේෂඳයන් සීටීම වැදගත් බව මේ අත්දැකීමෙන් ද පසක් විය.

 විශේෂ සටහන්

1 මේ දෙදෙනා මීට කලකට පෙර සිටි අලි ජේමිස් සහ තේගිස් පරපුරේ (අලින් මෙල්ල කිරීම පිළිබඳ   විශේෂඥ දැනුමක් සහිතව සිටි අය) ගේ   ගෝලයන් බව කියවෙනවා.  අලිජේමිස් යනු දිවයින පුරා ප්‍රකටව සිටි ඇත්ගොව්වකු මෙන්ම අලි වෙදකු බවත් කියවෙන අතර තේගිස් යනු 1950 ගණන්වල සිටි ඔහුගේ ගෝල බාලයා විය. ඔහු ද අලිජේමිස් මෙන්ම ප්‍රකටව සිටි හස්තිපාලකයකු  විය. ඖසධහාමි පද්මසේන වැනි අයත් සමග මේ සියල්ලන්ම එකම පරපුරක ඇත්තන් වන  බව පෙනී යනවා. මේ පරපුරේ පද්ම සේන හා කළුමල්ලී හටන්පල සුදා වැනි තරුණ පිරිස තවමත් සිටිති.

2.  කරවිට වලව්වේ හරිශ්චන්ද්‍ර තෙන්නකෝන් බණ්ඩාර මහත්මාණන්-එකල දේවාලය භාරව සිටි සිටි බස්නායක නිලමේ තුමා විය. ආරාධනා ලත්විගස දැනුදු  පෙරහර දිනවල එතුමා සම්ප්‍රාප්ත වීම සුපුරුදු දසුනකි.

3. ප්‍රේමරත්න ලියන මහතා – හරිශ්චන්ද්‍ර තෙන්නකොන් බස්නායක නිලමේ අවදියේ සිටි ලේකම් ලෙස කටයුතු කළ කරවිට ප්‍රේමරත්න මහත්මා , හරිශචන්ද්‍ර නිලමෙතුමා සමගම එතුමා ද පෙරහරට පැමිනීම සිරිතකි

විශේෂ වදන්

  • විලංගු ලෑම:- අලියාගේ ගමන පාලනය වන ලෙස දම්වැල් මගින් පාද ළං කර බැඳ දැමීම.

  • රෑන් ගැහිම :- මෙය ද අලියාගේ ගමන පාලනය කර ගැනීම පිණිස යොදන විශේෂ උපක්‍රමයක් බව පැවෙසේ මෙහිදී අලියාගේ පපු පෙදෙස හිරවන අන්දමින් කඹ දමා දිවිය නොහැකි ලෙස කරන අවහිර කිරීමකි. පවසන විස්තර අනුව මේ උපක්‍රමය මේ පරපුරේ රහසිගත එකක් බව පෙනීයයි.

  • ඇඳුම් දැමීම:– රෑනට පිටින් ඒවා වැසෙන සේ අලියා සැරසීම

  • මාවිඅරාව:- දේවාල පරිශ්‍රය ආසන්නයේ ඇති, අලුත්නුවරට ම සම්බන්ධව උස්බිමක් සහ ළඳු කැළෑවකින් සුන්දරව පවතින පෙදෙසකි.

  • මෙහි දහ :- අලියාට තමා දෙසට එන ලෙස කරන අණදීමේ දී භාවිතවන වදනකි

4 thoughts on “අලිය කලබල කරනවා!

  1. බොහොමයක් අලි කලබල වලදී මහජනතාව විසින් කරන අනවශ්‍ය හැසිරීම් කීපයක් තියනවා.

    1. අනවශ්‍ය ලෙස කලබලවීම සහ කෑගසමින් අරමුණකින් තොරව දිවීම. මෙයින් සිදුවන්නේ මහා කලබලයක් නිර්මාණයවීම සහ බරපතළ තුවාල සිදුවීම්, මාල කඩාගැනීම වැනි සොරකම්, ස්ත්‍රීන්ට කාමුක අතවර කිරීම්, වෙළඳසල් වලින් බඩු සොරකම් කිරීම, වාහන සොරකම් කිරීම වැනි දේ සඳහා අනුබලයක් ලැබීමයි.

    2. අනවශ්‍ය ලෙස අලියා පසුපස පන්නා යන පිරිස් එකතුවීම. ඔවුන් ද තම සිතැඟි පරිදි අර විදිහට කරන්න මේ විදිහට කරන්න ආදී වශයෙන් කෑගසමින් උපදෙස් දීම. මෙයින් සිදුවන්නේ අලියා පාලනය කරගැනීම සඳහා වෙහෙසෙන පිරිසට බරපතල බාධා ඇතිවීම සහ ප්‍රශ්නය තවදුරටත් උග්‍රවීම.

    3. පොලීසිය ගතයුතු ක්ෂණික පියවරක් වන්නේ බලය යොදවා පිරිස් පාලනය කිරීමයි. අනවශ්‍ය පුද්ගලයන් කුලප්පුවූ අලියා දෙසට ලංවීම වැලැක්විය යුතුයි. පෙරහරකට පෙර කිසියම් සැලැස්මක් සකස්කර තිබිය යුතුයි පෙර හැර ගමන් මාර්ගයේ විවිධ ස්ථාන පදනම් කරගනිමින් අලි කුලප්පුවකදී ක්‍රියා කළයුතු ආකාරය පිළිබඳව. මා නම් හිතන්නේ පෙරහරේ අලි නොගියත් කමක් නැහැ බේබද්දන්ට අලින් පෙරහරේ රැගෙන යාමට ඉඩ නොදී.

    Liked by 2 people

  2. ඔබතුමා පෙන්වා දෙන කරුණු සහ උපදෙස් ඉතාම වටිනවා. පසුගිය ලිපියේ පෙන්වා දෙන්නට උත්සාහගත් //වලක්වා ගැනීම// පිණිස වන විස්තරවලට මෙහි කොටස් ද අඩංගු විය යුතුයි. එමෙන්ම ඔබ පැවසූ ලෙසම අලියා කලබල කිරීම සමග මිනිසුන් කලබල වීම නැති ගැටළු ඇති කරනවා. මා අත්විඳි ඉහත අවස්ථා දෙකේ දීම පොලීසිය ඉතා ඥානාන්විතව තත්වය පාලනය කරගන්නට සමත් වුනා.ඒ නිසා අතුරු හානි කිසිවක් සිදු වුනේ නැහැ.

    කැමතියි

  3. ගුණසිංහ මහත්තයා….

    දැන් ආයෙමත් අපිට රසකතා ගොඩක් අහන්න පුළුවනි නේද?? පෙරහැර පටන් ගත්තා නේද??? ආයෙමත් අලුත්නුවරට අවුරුදු ආවා. මේ දවස් වල වෙනමම දැනෙන අමුතු දැනීමක් තියෙනවා. ඒක දැන් දැන් දැනෙනවා. වෙනසකට තියෙන්නේ වෙනදා වතුර කදුලක් නැතුව ගියාට මේ පාර වහිනවා. ඒත් ඇයි තානායම වෙනස් කරන්නේ. තානායම අලුත් කරනවා වගේ නේද?? ඒත් අර පරණ පෙනුම ඒකෙන් නැතිවෙනවා කියලයි අපිට හිතෙන්නේ. කොහොම හරි පෙරහැරට අපේ අඩවියේ හැමෝම එනවා. අපි එහෙදි හමුවෙමු. තව තවත් කතා කරමු……………………

    Liked by 1 person

    • //ආයෙමත් අලුත්නුවරට අවුරුදු ආවා. // අලුත්නුවර සිටින මිනිස්සු බොහොම පැරණි පරම්පරාවලින් පැවත එන ඇත්තන්. ගම්මුන් සියල්ලන්ගේම වාසගම් වලින් දේවාලයට ඇති ඒ පෞරාණික සම්බන්ධය හෙලි වෙනවා. ඔවුන් මහත්සේ සංවේදී වන්නේ දේවාලය සහ එහි සම්ප්‍රදායයන් නිසා . 2010 මාර්තු මසෙයේ 19 වනදායින් පසුව මේ ඇත්තන්ට එවකට පැවති මහ මැතිවරණය පවා අමතක වෙලා තිබුණ හැටි මට හොඳට මතකයි. ඒ මාර්තු 18 දින රෑ දේවාලය බිද හොරකමක් සිදුවී ඇතැයි සැකයෙන් මිනිසුන් එදා සංවේදී වෙච්ච තරම ! මා එවකට ගමේම සිටි නිසා දැක ගන්නට ලැබුණු අපූරු ස්වභාවයක්. මනාප සොයා ගමට පැමිණි අපේක්ෂකයන්ටත් මේ අවනඩුව පවසමින් මිනිස්සු කලබල කරන්නට උත්සාහ කළා.!! මේ ගමට අවුරුද්ද වගේම වැදගත් වෙන්නෙ මහ පෙරහර !!! ඒක හරි අපූරුවක් නොවේද ? අල්මඩිත්ත ගැන පබැඳුන නිර්මාණය මෙන් මේ ගැන ද ඔබේ ප්‍රතිභාව තුළින් මනහර කවි සංකල්පනා බිහිවෙතොත් ………………

      කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )