ඇතා කලබල වෙලා !

අලි කුලප්පුව

මේ ලිපි කීපය ලියවෙන්නෙ sugv උග්ගල් අලුත්නුවර පෙරහරේ  ලැබූ අත්දැකීම් පාදක කරගනිමින්.   අලි කුලප්පු වූ විට හානිය අවම කරගැනීම සඳහා බොහෝ දෙනෙක් දැඩි අවධානය යොමු කරන තරමටම නැතත්  ඊට කිට්ටු  කළ හැකි  තරමින්   අවධානයක් යොමු වේවායි පතමින්.

අලිනැති පෙරහරක්, පෙරහරක් නෙවෙයි කියන තරමට  අලි ඇතුන් සිටිය යුතුම බව ජීර්ණය වෙච්ච ප්‍රාර්ථනාවක් ! ?   පෙරහරක් කිව්ව ගමන් අලි කීදෙනෙක් හිටිය ද? අහන එක අපේ ඇත්තන්ගෙ  සිරිතක් . “අලි හිටියෙ නෑ” කිව්වොත් මොනතරම් දේවල් තිබුණත්  ඒක හොඳ  පෙරහරක් විදිහට  සැලකන්නේ නෑ. ඒ හින්ද අලි නැතිව ප්‍රසිද්ධ පෙරහරවල් ඉදිරියේ දී හෝ  ඇති වේයයි සිතන්න අමාරුයි.  මෑත දී අසන්ට ලැබුණ පුවත් අතරින් පෙරහර කීපයක දීම අලිකුලප්පු වීම් ගැන වාර්තා ලැබෙනවා.¹මේ දවස්වල උග්ගල් අලුත්නුවර කුඹල් පෙරහර පැවැත්වෙනවා. ඒ නිසාම මේ ලිපි කාලෝචිත වේ යයි සිතනවා.

මේ පින්තූරය 2012 අලුත්නුවර සිද්ධියටම සමාන වුනත් ඒකෙ පින්තූරයක් නෙවෙයි. එදානම් කාටවත් පින්තූර ගන්න අමතක වෙලා. මේක වෙනත් අවස්ථාවක්.උපුටා ගත්තෙ මේ  වෙබ්සයිට්  එකෙන්

2012 උග්ගල් අලුත්නුවර පෙරහරෙ අත් දැකීම් 1

ඒ  2012 සැප්තැම්බර් 25 . රාත්‍රී 7.30ට පමණ . උග්ගල් අලුත්නුවර මහපෙරහර පස්වන දින රාත්‍රිය එළඹෙමින් පවතී. මිදුලේ තුරුවදුල යට  පුටු මත හිඳ  නිවසට  කලකින් පැමිණි  හිතවතුන් සමග පිළිසඳරේ යෙදෙමින් හිටියේ පෙරහර පටන්ගන්න තව ටික වෙලාවක් ගතවෙන නිසයි.  එහෙත්  මේ මොහොතේම ඉදිරිපස  ගේට්ටුව ආසන්නයේ මහ කලබලයක් ! මිනිස්සු අවසිහියෙන් මෙන් දුවනවා. ! හොඳටම බය වෙලා !!  බියපත්ව සිටි  අයට ඇතුළුවීමට  ගේට්ටුව විවර කරළා.

sugv:-ඇයි ? මොනවද වෙලා තියෙන්නේ ?

පිළිතුර:- ඇතා කලබල වෙලා මිනීමරනවා. කඩත් පොඩි කරනවා.

“බයවෙන්න එපා මෙහෙ ආරක්ෂාව තියනවා”යි  පවසමින් බියපත්ව ඇති අය අස්වසන්නට උත්සාහ කරමින්  “ඇතුළට එන්න” යි  කියන්න ඕනවුනේ නෑ. බලෙන්ම  කඩා බිඳගෙන ආවා. පාරට ගොස් බලනවිට හිස හැරුන හැරුන අත දුවන මිනිසුන්. ගමේ කීප දෙනකු ද සමග පෙරහර පරිශ්‍රයට යනවිට දක්නට ලැබුණේ බිහිසුණු තත්වයකි.  පෙරහර මග හරහා එමින් සිටි ඇතා ඒ වන විටත් කඩයක් කඩා දමා චප්ප කර තිබිණි. ඉදිරියට දුවඑමින් තමන්ට හසු වූ ත්‍රීවිල් රථයක් ඉහළට ගෙන කරකවා පොළවේ ගැසුවේය. තවත් එකක් පාගා කඩා දැමීය.

sugv:- මේ ධාතු කරඬුව වැඩමවන ඇතා නේද ? කෝ ඇත් ගොව්වා?

හස්තිපාලකයා :- ඇතා පන්නන්නෙ ඇත් ගොව්වා පාරෙ වෙන  ඇත්ගොව්වකුටවත් කිට්ටු වෙන්න බෑ. “අලිකුයිලෙ“• හින්දා.

“අලියා සමගම මිනිස්සු කුලප්පු වීම සාමාන්‍ය තත්ත්වයක්නේ. බයට පත්වන අය හිස හැරුනු අත දුවයනවා. ඈතින් සිටින  අය  අලි  කුලප්පුව බලන්න දුව එනවා. ආරක්ෂක අංශවලට වැඩ බහුලයි. අනාරක්ෂිතව අලියා සිටින දෙසට දුව එන අය වලකා ලීම, බියේ දුවන අය ආරක්ෂිත තැන්වලට යොමු කිරීම, ඇත්ගොව්වා නැති අලියා පාලනය කිරීමේ උපක්‍රම සොයා ගැනීම, අලිකුලප්පුව මුවාවෙන් ඇතිවිය හැකි හොරමැරකම් ගැන අවධානය යොමු කිරීම වගේ ගොඩක් වැඩ පැටවෙනවා”මේ හස්තීන් පාලනය පිළිබඳ අත්දැකීම් ඇති අලුත්නුවර ඇත්තකු ගේ මතයක්. මේ ගමේම සිටින ඇත්ගොව් පාලන පරම්පරාවලින් පැවත එන දැනුමැති තරණයා ක්‍රියාශීලී විය. වැඩේට බැස්ස මේ තරුණයා දිරිගන්වමින්  “කොහොම හරි පස්සෙන් ඇදෙන දම්වැල ගහකටවත්  දමල  ඔතන්න” යි අපි හඬගෑවෙමු.

එවන් අවස්ථාවක ඔවුනට  දිරිගැන්වීම, පිළිගැනීම, ඇගයීම අවශ්‍යය. මේ තම හපන්කම් පෙන්වීමට කදිම අවසථාවකි. “හරි  මම බඳින්නම්” කියමින් යුහුසුළුව ඇතාගේ මුහුණ මග හැර දුවයමින්  පසුපස ඇදෙන දම්වැල ගසකට දැමීමට පෙළඹුනේ තමන් අගය කරන කෙනෙකු ඇතැයි අැති වූ සතුට නිසා විය හැකිය.  ඒ වනවිටත්  වෙළඳ සැලකට හා ත්‍රීවීල් රථ දෙකකට ද නොගිනිය හැකි අලාභ හානි සිදුව තිබිණි.

ගස් දමා සිටි ඇතා පෙරහරේ ගෙනයාම පිණිස  බැමි මුදා හරිත්ම  ඇත්ගොව්වා පන්නා යමින් ඔහු යන  තැන් පවා විනාශ කරන්නට වී ඇත.  කඩය හා ත්‍රිරෝද රථ විනාශ වී ඇත්තේ ඔහු දුවයමින් ආරක්ෂාවට ගොඩවුන තැන් බැවින් බව පෙනෙනවා. මේ  නිසා එදින  පෙරහර නතර කර දමන්නට සිදුවුනා. පොලීසිය ස්ථානෝචිතව ක්‍රියා කිරීමෙන් මිනිස් ජීවිත වලට අනතුරක් වීම වලකා ගෙන ඇති බව පෙනී යයි. කිසිදු හොරකමක් පිළිබඳ වාර්තාවක් ද නැති බවද කියවේ.

මෙහෙම උනේ ඇයි? කාටත් ඇතිවුන පැනයකි. අලියා කුලප්පු  උනේ කාගේ වරදින්ද ? අසනීපයක් නිසා අලියා කලබල කළාද? අද්භූත හේතුවක් නිසා ඒ කියන්නේ දෙවියන් කෝපවීම නිසා කුලප්පු වුනාද?   සාමාන්‍ය අය ඉක්මණින්ම  බැසගත් නිගමනය  වුනේ දේව කෝපයක් නිසා අලියා කුලප්පු වුන.  දේවකෝපයක් ඇතිවුනේ කාගේ වරදක් නිසා දැයි සමහරු සොයන්නට වූහ. විවිධාකරර මත පළ වන්නට ඇත. කෙසේ හෝ අලියා බැඳ දැමීමෙන් පසුව නැවතත් වරක් සමහර අය එකිනෙකාට චෝදනා කරගනිමින් කුලප්පු වුන බවක් ද පෙනී ගියා.

 
වලක්වා ගැනීම ප්‍රතිකාර කරනවාට වඩා හොඳයි(prevention is better than cure)

  1. සිද්ධස්ථානයට සම්බන්ධව සිටින, පිටතින් ගෙන එන සියලුම හස්ති පාලකයන් සම්බන්ධීකරණය කරමින් මේ පෙරහරේ අලිඇතුන් ගමන් කරවීම සම්බන්ධ වගකීම දරන හස්තිපාලකවරයකු සිටීම.³
  2. සම්බන්ධිකරණ හස්ති පාලකවරයා  ගම හා එහි පිහිටීම මාර්ග රටාව ආදිය ගැන අවබෝධයෙන් යුතු අයෙකු වීම
  3. පෙරහරේ ගමන් කරවන හස්තියාගේ  පාද වලට නිසි ලෙස විලංගු යෙදීම
  4. එක් හස්තිපාලකයකුගේ සහායයට තවත් කෙනෙකු හෝ දෙනෙකු යොදවා තිබීම
  5. සෑම දිනකම ආරක්ෂක අංශවල නිරීක්ෂණයට හස්ති  පාලකයා මෙන්ම හස්තියාද යොමු කිරීම
  6. පෙරහරේ ගෙන යද්දී පාලකයා  මත්ද්‍රව්‍ය වලින් වැලකී සිටීම
  7. හස්තියගේ කම්මුල් තෙමි නැති බවට සහතික වීම
  8. හස්තියා අධික වෙහෙසට පත්ව නොසිටීම
  9. වෙනත් අසනීප තත්ත්වයකින් පෙළේ දැයි පරීක්ෂා කර සෑහීමට පත්වීම
  10. පෙරහරේ ගමන් ගනිද්දී හදිසි තත්වයක් උද්ගත වුවහොත් වහාම බැඳ දැමීමට හැකි උපක්‍රම මාර්ග ආසන්නයේ සලසා තීබීම
  11. සෑම  දිනයකම ගමන් කරවනු පිණිස  බැඳ ඇති ස්ථානයේ  මුදන්නට පෙර තත්ත්වය නිරී්ක්ෂණය කර සහීමට පත්වීම
  12. පෙරහරට  ගෙනැවිත් ඇති සියලුම අලි ඇතුන්ගේ තත්වය පිළිබඳ  දිනපතාම පරීක්ෂා කිරිම
  13.  මෙදින පෙරහරේ ගෙන යාමට සුදුසු බවට  සිද්ධස්ථානයේ හස්තිපාලකයා සම්පූර්ණයෙන් සෑහීමට පත්ව සිටීම
  14. සැක සහිත අලි ඇතුන් අදාල දින පෙරහරට නොගැනීම
  15. ගමන් කරන අතරදී අලියා දඟ කරන්නට සූදානම් වීමේ ලකුණු දුටු වහාම ආසන්නම ස්ථානයේ බැඳ දැමීම
  16. එක් අලියකු කලබල වීම සමගම එය අනෙක් අලි ඇතුන්ටද බෝවි යන ස්වභාවයක් ඇති බැවින්  ඒ මොහොතේම  උන්ගේ තත්වය සොයා බලා පිළියම් යෙදීම
  17. ගමන් කරවද්දී අනවසරයෙන් හස්තියාට කෑම දීම, අතපත ගෑම, ආදිය හස්ති පාලකවරයා විසින් වලක්වා ගැනීම
  18. හස්තියකු කලබල වන අන්දමට හදිසියේ වාහන නළා හැඬවීම වැනි දෑ නොකිරීම
  19. හස්තියාට අනතුරු දායකවන ලෙස ගිනිපන්දම් ළං නෙකිරිම
  20. ගමන් කරන මාර්ගයේ ගිනි අඟුරු වැටීම වැලැක් වීම
  21. මේ අතරමෙතැන ක්ලික් කිරීමෙන්    දක්නට ලැබෙන පුවත අනුව එස්එම්එස් මගින් කුලප්පුවන අලි පාලනය කරගැනීම ස්ම්බන්ධව අලුත්සොයා ගැනීමක් පිළිබඳ විස්තර දැක්වෙනවා.

මෙලෙස වලක්වා ගැනීමේ තවත් උපක්‍රම රාශියක් තිබිය හැකියි. වටිනා යෝජනා අදහස් sugv ටත් වඩා තිබෙන අය සිටිනවා.  එවැනි අදහස් හා යෝජනා එකතු කරන ලෙස  සියලු දෙනාටම sugv ඇරයුම් කරනවා.

කුලප්පුවීම් වලකා ගැනීමට පියවර ගත හැකිවූයේ නම්  කිසිම සාකච්ඡාවක් හෝ සිද්ධියක් ඇති නොවනු ඇත. අලින්ට පෙරහරේයාමෙන් ලැබෙන වටිනාකමක් හෝ සතුටක්  ඇති බව දැනගත නොහැකි වුවත්  මිනිසුන්ට බොහොම වටින බවක් කියවෙන නිසා අලියා පෙරහරකට අත්‍යවශ්‍යම අංගයක් වී ඇති බව පෙනී යනවා. ඒ නිසා කෙතරම් කුලප්පුවුවත් ඊ ළඟ පෙරහරේත් අලි පැමිණෙති. මිනිසුන්ද අලි බලන්නට එති.

අලි ඇතුන් කුලප්පුවීම් පිළිබඳ වාර්තා මෙවරද විවිධ පෙරහර උත්සව වලදී අසන්නට ලැබිණි.  මිනිසුන් කරදරයට පත් වූ අවස්ථාවන්ද රාශියකි. ආරක්ෂක අංශ හා නිර්වින්දන විශේෂඥයන් සිරුවෙන් සිටියත්  බොහෝ විට ඔවුනට හැකිවන්නේ කලබලයට පත් අලියාගෙන් සිදුවිය හැකි හානි අවම කරගැනීමට පමණි.

විශේෂ සටහන්

  • අලිකුයිලෙ:- හස්ති පාලක වරුන්ගේ මතයක්ව ඇත්තේ ඔවුන්ව වෙන් කොට හැඳුනා ගැනීමේ සුවඳක් අලින්ට ඇති බවකි. එය මේ අය හඳුන්වන්නෙ මෙලෙසය
  • හස්තිපාලකයා:-  ඇත්ගොව්වා යනු ද මීට සමාන පදයකි

1 මහනුවර දළදා පෙරහර, බෙල්ලන්විල හා මාතලේ පෙරහරකත් මෙවරත්  අලි කුලප්පු වීම් ගැන පුවත්පත් වාර්තා පළවී ඇත.

2.ගෙවීගිය 1980-90 දශකවල පෙරහර සංවිධානයට ළඟින්ම සම්බන්ධවෙමින් කටයුතු කළහෙයින් මෙවැනි අවස්ථාවන් පිළිබඳ අත්දැකීම් සහිතව සිටි අයෙකු වෙයි.

3.සිද්ධස්ථානයකට සම්බන්ධ විශේෂ හස්තිපාලකයකු මහනුවර මෙන්ම රත්නපුර මහසමන් දේවාලයේ ද සිටිති.උග්ගල් අලුත්නුවරද පෙර අවදිවල එවැනි අය සිටියහ. වර්තමානයේද එවැන්නකුගේ සේවය සලසා ගැනීම වැදගත් වේ. 2012 වසරේ  නිල වශයෙන් එවැනි කිසිවකු සිට නැත.

10 thoughts on “ඇතා කලබල වෙලා !

  1. අලි කුලප්පු එදත් අදත් වරින්වර සිදුවෙනවා. මහනුවර දළදා පෙරහරේ එක්දහස් නවසිය පනස් ගණන්වල සිදුවූ මහ විශාල හානියක් වූ අලි කුලප්පුව ගැන මගේ පියා මා කුඩා කාලයේදී මට කියාදී තිබෙනවා. එදා මගේ පියා කොහාටවත් නොදුවා සිටිය නිසා කිසිදු තුවාලයක් නොවී බේරී තිබෙනවා.

    මා හිතනවා හදිසියකදී අලි නිර්වින්දනය කරන තුවක්කු දෙකක්වත් අනිවාර්යයෙන් පෙරහැරක රැගෙනයාම සුදුසුයි කියා.

    Liked by 1 person

    • ඔබතුමා පවසන්නෙ දළදා පෙරහරේ 1959 ඇති වූ සිද්ධිය සම්බන්ධව නේද? 1959 දි විශාල හානියක් සිදු වූ බව වාර්තාවී තිබෙනවා. ජාතික තලයේ වාර්තා නොවූ හානි අවම කරගත් අලි කුලප්පු වූ අවස්ථා තවත් විශාල ගණනක් විවිධ පෙරහර උත්සව වල ඇතිව තිබෙනවා. අලි සමගම මිනිසුන් ද කලබල වීම නිසා විශාල හානි සිදුවීමේ ඉඩකඩ වැඩියි. විචාරක තුමණි. මෙහෙත් 1950 ගණන්වල පෙරහර කදි ඇති වූ අවසානාවන්ත සිද්ධියක් පිළිබඳ අත්දැකීම් ලැබී තිබෙනවා.

      කැමතියි

  2. ඔය සිද්ධිය අහන්නට ලැබුනා. එදා පෙරහැර බලන්නට යන්නට සිටියත් යන්නට නොහැකි වුනා. එක් වතාවක් දේවාලය ඉදිරිපස බැඳ සිටි අලියෙක්, ඌ ආසන්නයෙන් ගමන් ගත් ලොරියකට පහර දෙනව නම් දැක්ක. ලොරියෙ හෙඩ් ලයිට් වල ආලෝකයට ඌ කලබල වුනා වෙන්න ඇති. ඒක නම් යන්තමට වෙන්න ඕන වැදුනෙ. ලොකු හානියක් නම් වුනේ නෑ.

    වරක්, සමන් දේවාලයෙ පෙරහැරකදිත් අලියෙක් නැවතිලා, පාර හරස් වෙන විදිහට ඉස්සරහට යන්නෙ නැතුව හිටියා. ඌ නම් පාලනය කර ගන්න පුළුවන් වුනා ඇත් ගොව්වන්ට.

    කැමතියි

    • ඔව් චන්දන. සමන් දේවාල පෙරහරේ සියලුම අලිඇතුන් අධීක්ෂණය කරන්නට වෙනමම කෙනෙකු සිටින බව පැවසෙනවා. හදිසි අවස්ථාවක කබල වන අලියා බැඳ දමනු පිණිස පෙරහර මග දෙපසම ශක්තිමත් යකඩ කොකු සවිකර ඇති බව ද දැනගන්නට ලැබී තිබෙනවා. පෙර සූදානම දියුණු නිසා මෙවැනි සිද්ධි අවම වන බව පෙනෙනවා.

      කැමතියි

  3. මේ සටහන කියෙව්වට පස්සෙ අලි ඇතුන් සඳහා නිර්වින්දන කොහොමදැයි සොයා බැලුව. ආසියාවේ අලියන්ට වඩා වෙනස්ලු අප්‍රිකාවේ අලියන්ට දෙන නිර්වින්දන ප්‍රමාණය. ඒ වගේම වල් අලි ඇතුන්ට දෙන ප්‍රමාණයට වඩා වෙනස්ලු මෙවැනි පෙරහැරවල් වලට යොදාගන්න හීලෑ අලි ඇතුන්ටත් කළබල වුනාම දෙන ප්‍රමාණය. ලංකාවේ එහෙම පෙරහැරේ යද්දි කළබල වෙන අලින්ට නිර්වින්දන කරන්න සූදානමින් ඉන්න පශු වෛද්‍යවරු නැත් ද?

    කැමතියි

  4. මා සිතන්නේද ඔබතුමා පවසන දැයමයි.ස්ථිරවම නිර්වින්ද සේවයක් ඇත්තේ නුවර පෙරහරේ පමණ බවයි පෙනී යන්නෙ. පශුවෛද්‍ය හිඟය, අධික පිරිවැයක් ඒ වෙනුවෙන් දරන්ට සිදුවීම වැනි හේතූන් අනෙක් පෙරහර වල දි මේ සේවය ස්ථිරව ලබා ගැනීමට බාධාවක් වනවා ඇති නේද විචාරක තුමණි

    කැමතියි

  5. ප්‍රශස්ත තත්වය නම් අලින් කිසිදු පෙරහරකට යොදා නොගැනීමයි. එහෙත් එවන් තත්වයක් උදාවීම සිහිනයක් පමණක් වූ කල හදිසි තත්වයකදී හස්තියා නිර්වින්දනය උදෙසා පළපුරුදු පුද්ගලයින් කණ්ඩායමක් සංවිධානාත්මකව යෙදවීම කළ යුතුය.

    එක්දහස් නවසිය පණස් ගණන් වලදී ( ඒ 1959 වසර බව ගුණසිංහ මහතා පවසා ඇත ) නුවර පෙරහරේ අලියකු ප්‍රචණ්ඩව හැසිරීම මගේ අත්තම්මා සියැසින් දුටු වග ඇය මා හා පවසා ඇත. ඒ සිද්ධියෙන් සතියක් පමණ ගතවනතෙක් නුවර දළඳා වීදියෙහි දැනට බේක් හවුස් ආයතනය පවතින ස්ථානයෙහි හිස් ලූලූ අත දිවගිය මිනිසුන්ගේ පාවහන් මහත් රාශියක් ගොඩ ගසා තිබුණු බවද බොහෝ දෙනෙක් පැමිණ ඒ පාවහන් තෝරමින් රැගෙන ගිය බවද ඇයට මතකය.

    එදා ඒ ප්‍රචණ්ඩව හැසිරුණු හස්තියා පොලිස් වෙඩි පහරින් පසු ඇද වැටී මියගිය ස්ථානය පසුව අලි මුඩුක්කුව නමින් හැඳින්වූ බව මම අසා ඇත. ( ඔරලෝසු කණුව අසල වර්තමානයෙහි ලංකා බැංකු ගොඩනැඟිල්ල අසලින් වැටී ඇති පටු මඟෙන් පිවිසිය හැකි පටු වීථි වලින් සැදුම් ලත් පෙදෙස )

    කැමතියි

  6. 2014.08.17 සිළුමිණ පුවත්පතේ ත් 1959 නුවර පෙරහරේ අලිකුලප්පුව ගැන විස්තර තිබෙනවා.මේ එයින් උපුටාගත් කොටසක් – //ඒ 1959 අගෝස්තු මස 19 වැනිදාය. ඇසළ සඳ සොළොස් කලා පිහිටමින් අහසේ පායා තිබිණ. නුවර වීදි සියල්ලම සඳ කාන්තියෙන් නැහැවී තිබුණු ඒ මොහොතේ මෙවන් බියකරු ත්රාිසජනක සිදුවී මක් වෙතැයි කාටවත් සිතෙන්නට නැත. මහනුවර ඇසළ පෙරහරේ අවසන් රන්දෝලි පෙරහර සුබ නැකැතින් ගමන් ආරම්භ කැර තිබිණ. උඩරට, පහතරට, සබරගමු නැට්ටුවෝ උඩ කරණම් බිම කරණම් පනිමින් නොයෙක් කෙළි සෙල්ලම් පාන්නට වූහ. ජනප්රිතය නිවේදක කරුණාරත්න අබේසේකරයන්ගේ මනමෝහනීය ගැඹුරු ස්වරය මේ එක් එක් අවස්ථා මිනිස් මනසෙන් චිත්තරූප මවන ආකාරයට අපූරුවට විග්රරහ කරමින් තිබිණ.
    පෙරහර යටිනුවර වීදිය පසුකැර බ්ර වුන්රින් වීදිය හා වෝඩ් වීදිය හන්දියට පැමිණියා පමණි. හිටි හැටියේම කරඬුව ගෙන ගිය ඇතාට පෙර දෑලේ ගමන් ගන්නා එක් අලියෙක් කුලප්පු වී සොඬ කටේ ඔබාගෙන පෙරහර මැද කැරකෙන්නට වීය. …………සාමාන්ය යෙන් පෙරහරක අලි ඇතුන් කුලප්පු වීම සාමාන්යප සිද්ධියකි. එහෙත් මෙදින දළදා රන්දෝලි පෙරහරේ සිදු වූ අලි කුලප්පුව නිසා රට පුරා මහත් ආන්දෝලනයක් ඇතිවිය. ඒ බොහෝ මිනිසුනට ඉන් තුවාල හා ආපදා සිදුවූ අතර කිහිප දෙනෙක් මිය යාමයි. තරුණියන්, ළමා ළපැටියන් බොහෝ දෙනෙක් කලබල වූ ජනතාවට පෑගි පීඩාවට පත්වූ අතර සමහරුන් අතුරුදන් වීය…………………….අපට ආරංචි වූ ආකාරයට කුලප්පු වූ උඩුරාවණගේ හස්තියා මරා දැම්මේ සව් වෙළෙන්දෙක් පමණි. උගේ කලබලයට බලා සිටි මිනිසුන් ඊටත් වඩා කලබල වූහ. ඔව්හු හිස් ලු ලූ අත පලා ගියහ. ඔවුන් තෙරපී එකිනෙකාට පෑගි බරපතළ තත්ත්වයක් උද්ගත කළේය. පෙරහර රාජකාරි කරන ආරක්ෂක නිලධාරීනට හා අදාළ සේවකයනට අලියා බැඳ තබන්නට ඉඩ දී මිනිසුන් සිටි තැන්වලම සන්සුන් ව සිටියා නම් මෙවන් මහා ඛේදවාචකයක් නිර්මාණය වන්නේ නැත…//

    රවි අවධාරණය කරන තත්ත්වයන් කාගේත් අවධානයට වැදගත් වනවා. මෙවැනි අදහස් දැක්වීම් බොහෝ අයට ප්‍රයෝජනවත් වනු ඇත. ස්තුතියි රවි ට.

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )