පොල් එක්ක කිතුල් හකුරු

එතරවා කෝරළයේ හිස තෙල්ගෑමේ සිරිත් සම්ප්‍රදාය

“මේ කුඩා දරුවන්ගේ ක්‍රියාකරකමක්  වෙන්න ඇති” යි හිතුනත් වැඩිහිටියොත්  පොල්  එක්ක කිතුල් හකුරු හපන හැටි හිසතෙල් ගාන අවස්ථාවේ දකින්න පුළුවන්. මෙහි දී දැනෙන්නේ අමුතුම මිහිරි රසයක්.  උග්ගල් අලුත්නුවර වීදියකඩේ B Aමුදලාලිත්  මේ දවසට  විශේෂයෙන් සැරසෙනව.  වීදිය කඩෙන් නොමිලේම  පොල් කෑල්ලක් එක්ක කිතුල් හකුරු  ඕනෑම කෙනෙකුට හිසතෙල් ගාන වෙලාවෙදි ලැබෙනව. 1990 දී මුදලාලි නැති වුනා. ඊට පස්සෙ වීදියකඩේ හිසතෙල් ගාන එකත් නැවතුනා. කිතුල් හකුරු එක්ක පොල් කෑලි ලැබෙන එකත් නැති වුනා.

 

එතරවා කෝරළයේ අවුරුදු හැඩ වැඩ පවසමින් සිටියත් හිසතෙල් ගෑම පිළිබඳ විස්තර  ඉතිරිවුනා. අනෙක් අවුරුදු සිරිත් වාගෙම හිසතෙල් ගෑමේ පෙරසිරිත් සම්ප්‍රදාය තුළ ඇත්තේ ද ඉහත කී අන්දමේ අමුතුම විදිහක්.   දේවාලයේ  හිස තෙල්ගෑම සිදුවන්නේ ද  හේවිසි ඝන්ඨා වාදනය හා කාලතුවක්කු නාදයෙන් අනතුරුව ය. ඒ වෙලාවටම වීදියකඩේ මුදලාලි “සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතූ … ගාථාව කියමින් පළමුවම තමන්ගේ හිසේ තෙල් ගාගෙන කිතුල් හකුරු කෑල්ලක් එක්ක පොල් කෑල්ලක් කනව. ඊට පස්සෙ පැමිණෙන හැම කෙනේකගෙම හිසතෙල් ගාල පොල් කෑල්ලක් එක්ක කිතුල් හකුරු කෑල්ලක් දෙනව. වීදියකඩේ සිරිත නැතිව ගියත් දේවාලයේ  පෙර සිරිත ඒ විදිහටම පවතිනව.  ඒත්  ඊට සියලු දෙනාම  සහභාගී වෙන්නේ නැහැ. ඒ තත්ත්වය දේවභක්තිය අඩුවී යාමක් නිසා නොව  භක්තිය හා බිය වැඩි කම නිසා උදාවන්නකි.  මේ විස්තර  මේ ලිපියේ දැක්වෙන හිසතෙල් ගෑමට අදාල කෙටි ඡෙදය තුළ බලන්න. 

මතක සටහන් අනුව පමණක් විස්තර ලියනවාට වඩා නිදසුන් සහිතව ලියන්නට ලැබීම වාසනාවකි.  පොදුවේ කාටත් සහභාගීවීමට බාධාවක් නොමැති පුරාණයේ සිට මේ දක්වාම පෙරසිරිත සුරැකි තැනක් සොයා ගියේ එහෙයිනි. හිසතෙල් ගෑමේ පෙරසිරිත වඩා හොඳින්  ඉතිරිව පවතින තැනක් විය හැක්කේ සම්ප්‍රදාය සුරැකිව පවතින හෙළ වෙද මැදුරකය. වර්තමානයේ එවැනි ස්ථාන හිඟ බැවින් පුරාණ එතරවා කෝරළය පුරා සෝදිසි කරද්දී  “ගමකුඹුර හෙළ වෙද මැදුර”  හමුවිය. එය  කටින් කට යාමෙන් පමණක් ප්‍රකටව ඇති පුරාණයේ සිටම කීර්තිමත් වෙද ගෙදරකි. බොහෝ දෙනකුගේ ගෞරවයට පාත්‍රව ඇති පූජනීය ස්ථානයක් වැන්නකි.  හිසතෙල් ගල්වන අවස්ථාවේ  පැමිණ සිටි අය සමග සාකච්ඡා කරද්දී   මහත් දයාවෙන් වෙද හෙදකමේ නිරතවන වෛද්‍යවරයා පෙදෙස් වැසියන්ගේ ගෞරව ප්‍රනාමය ලබන්නේ දෙවියකු මෙන් බව පසක්වෙයි.

D-horzABC

වෙදමැදුරේ සේවය ප්‍රසිද්ධිය පතා සැලසෙන්නක් නොවන බැවින් විස්තර ලබා ගැනීම කෙසේ වෙතත් බ්ලොග් සටහනක ලියන්නට අවසර ගැනීම ගැටළුවක් විය හැකි බව පෙනිනි. විස්තර ලිවීම පමා වූයේ ද එම හේතුවෙනි.  වරත්මාන වෛද්‍ය තුමා නූතන තරුණ පරපුරේ අයකෙු වුවද  සිය පාරම්පරික සම්ප්‍රදාය රැකගනිමින් ඒ අනුව සේවා සැලසන්නේ  පින් සිතිවිල්ලෙනි.  ආත්මතෘප්තිය පමණක් පෙරදැරි කරගනිමිනි.   පළමුවම එතුමාගේ අවධානය sugv  පෙර සටහන් වලට  යොමු කරවා ගැනීමට තැත් කළෙමි. ඒවා කියවා  ප්‍රශංසා කරමින් අගය කළ ද  මෙසේ ලිවීම ගැන  කැමැත්ත ප්‍රකාශ කරන්නට පමා විය.  වරින් වර කළ ඇවිටිල්ල මත ඒ කාරුණික අවසරය ලැබීම මහත් අස්වැසිල්ලකි.  බළන්ගොඩ මොරහැල ගමකුඹුර හෙල වෙද මැදුර  තුළ හිසතෙල් ගෑමේ උත්සව විස්තර ලිවිය හැකි වූයේ ඒ අනුව බව ස්තුති පූර්වකව සටහන් කෙරේ.

වෙද මැදුරේ හිසතෙල් ගෑම

 

මෙහි සටහන් වන්නේ 1904  වසරයි. එය වෙදමැදුරේ හිසතෙල් ගෑමේ ඉතිහාසය පිළිබද පවසන නිහඬ සාක්ෂියක් බදුය

මෙහි සටහන් වන්නේ 1904 වසරයි. එය වෙදමැදුරේ හිසතෙල් ගෑමේ ඉතිහාසය පවසන නිහඬ සාක්ෂියක් බදුය

හිසතෙල් ගෑම සඳහා පැමිණීමට සීමා මායිම් නැත. කිසිදු  භේදයකින් තොරව පැමිණෙන කාටත්  සම අවස්ථාව ලැබෙයි.  හිසතෙල් ගෑමේ නැකත සංඥා කෙරෙන්නේ සාම්ප්‍රදායික නළාව හැඬවීමෙනි. ඒ සමගම දැල්වෙන රතිඤ්ඤා හඬිනි.   වෛද්‍යතුමා අතින් හිසතෙල් ගෑමෙන් පසුව තමන්ට කාලයක සිටම පැවති හිසරදයක් නිට්ටාවටම සුව වු බව එහි පැමිණ සිටි ඇතැමකුගේ මතයකි. අනෙක් අතට වෛද්‍යවරයා මගින් හිසතෙල් ගල්වා ගැනීම මහත් ආශීර්වාදයක් වන බව කාගේත් අදහස විය. කෙතෙක් පිරිසක් පැමිණ සිටියද, මහත් වෙහෙසට පත්ව සිටිද අපරිමිත දයාවෙන් මේ පෙරසිරිත වෛද්‍යතුමා විසින්ම ඉටු කරයි. වෛද්‍යතුමාගේ පවුලේ සියල්ලන් ඊට අතිරේක පහසුකම් සැලසන්නේ දයාවෙන් බරවය. මේ සියල්ල දෙස  sugv බලා සිටියේ පුදුමයෙනි.

හිසතෙල් ගල්වන ස්ථානය අසළට පැමිණි වෛද්‍යතුමාගේ වැඩිහිටියකු පන්සිල් ගෙන  මහා ජයමංගල ගාථා ගායනා 20140419-163130PIC_5625කරන්නට වෙයි. ගායනය අවසන්වන්නේ නැකත්වෙලාව ආසන්න වන අවස්ථාවේය. හස්තිරාජයකුගේ කුංන්චනාදයටසමාන හඬකින් නළාව හැඬවෙයි. ඒ අතර රතිඤ්ඥා වැල් ද පුපුරායමින් නැකත එළඹෙන බව පළාතට සංඥා කෙරෙයි.  අවට සිටින ඇත්තෝ වැල නොකැඩී වෙද මැදුර මිදුලට රස්වෙති.  වෛද්‍යතුමා සහ වැඩිහිටියන් විසින් හිසතෙල් ගාගන්නා අය ඉටු කළයුතු  පිළිවෙත් කෙටියෙන් නැවත සිහිපත් කර දෙනු ලබති. එය කුඩා දරුවන්ට අලුතෙන් දැන ඉගෙනීමට අවස්ථාවකි. 

1. සියලු දෙනා සන්සුන්ව පේලියට පැමිණෙන්න.

2. මේ අතු ( කොලොන් අතු) පයට පාගා ගෙන වෛද්‍යතුමා ඉදිරියේ දකුණු දෙස බලා සිටගන්න

3. හිසතෙල් ගැල්වීමෙන් පසුව පැදුරේ ඇති දිගාකර ඇති මෝල්ගස හා පොල්ගෙඩියට ඉහළින් පය තබා ඉදිරියට යන්න

4. ඒ අසන්නයේ මේසය මත තබා ඇති වතුර බේසමෙන් ස්වල්පයක් ගෙන හිසේ ගාගන්න

5. ඉන්පසුව ඇති මේස මතින් පොල්කැබැල්ලක් හා හකුරු කැබැල්ලක් ගන්න

6. ඒවා සපමින් අනෙක් මේසය මත දිගහැර ඇති ඇති පොතේ ස්වල්පයක්වත් කියවන්න

මේ උපදෙස් කීපය අවසන් වීමෙන් අනතුරුව නිරන්තරවම පහත සදහන් ආශීර්වාද ගාථාව වෛද්‍යතුමා මෙන්ම වැඩිහිටියන්ගේ මුවින් ගැයෙන්නට වෙයි.

20140419-163335 20140419-163158සබ්බීතියෝ විවිජ්ජන්තු

සබ්බරෝගෝ විනස්සතු

මා තේ භවත්තන්තරායෝ

සුඛී දිඝායුකෝ භව20140419-163209

පේලියට සැදී පැමිණෙන එකිනෙකා තමාගේ අවස්ථාවේ වෛද්‍යතුමා හමුවට පැමිණ වයසින් බාලයකු නම් වෛද්‍යවරයා ඉදිරියේ  දනින් වැටී නමස්කාර පවත්වා නැගිට දකුණු දෙසබලා හිටගෙන සිටිති. වෛද්‍යවරයා ඔහුගේ හෝ ඇයගේ හිසමත තම වමතින් කොහොඹ අත්තක් හිසමත තබයි.   එසේ කරමින් ඉහත ගාථාව කියවමින් දකුණු අතින් ලබා ගන්නා තෙල් ස්වල්පයක් ඔහුගේ/ඇයගේ හිස මත ගල්වයි. කෙතරම් පිරිසක් පැමිණියද සෑම දෙනාටම මේ ආශීර්වාදාත්මක ගාථාව ගයමින්ම  හිසතෙල් ගල්වයි.

වෛද්‍යතුමා දැඩිසේ මහන්සි වී ඇතත් ඒ මුහුණේ වෙහෙසක සේයාවකුදු නොපෙනේ. එතුමාගේ වැඩිහිටියන් මෙන්ම වයසින් වැඩි  සෙසු අය ද, සමවයසේ අය සහ  කුඩා දරුවන් ද සන්සුන්වපැමිණෙති. හිසතෙල් ගල්වා ගනිති.  මොල්ගසට හා පොල්ගෙඩිය උඩින් පැන ගොස් ගොස් බේසමෙන් අතට ගන්න ජලය ස්වල්පයක්ර හිසේ ගා ගනිති. ඒ සමග මේස මත තබා ඇති  පොල් කැබැල්ලක් සමග හකුරු කැබැල්ලක් ගෙන වළඳමින් ගොස් පොතේ දිග හැර ඇති පිටුව කියවති.

සාම්ප්‍රදායික අවුරුදු උත්සව හා නිමාව∗∗

 හිස තෙල් ගල්වන දිනය දක්වා එතරවාකෝරළයේ අවුරුදු පවතී. උදේ දවල් රාත්‍රීය නොබලා අවුරුදු වෙනුවෙන් කෙලි සෙල්ලම්. අසල්වැසි  පිරිස් බුලත් අත් සහ තෑගි ද (දැකම් පෙනුම්) රැගෙන එකිනෙක නිවස් වලට යති එති. සතුටු සාමීචියේ යෙදෙති.  දේවාල වීදියට පැන  සෙල්ලම් කරන්නේ කුඩාවුන් පමණක්ම නොවේ. වැඩිහිටියෝද චක්ගුඩු පැනීම ගුුන්ඩු ගැහීම, කට්ටි පැනීම හෙවත් තාච්චි පැනීම වැනි සෙල්ලම් වලට එක්වෙති. කරල් කැපූ වෙල්යායක ඉපනැල්ල ද සෙල්ලම් පිට්ටනි බවට පත්වේ.

වැඩිහිටි කාන්තා පක්ෂය තොරතොංචියක් නැතිව නිවෙස් ඉදිරිපිට රබන් වයති. නිදාගන්ට තැත් කරන අය කෙන්ති ගස්වමින් ගෙයින් ගෙට තරගයට බංකු රබන් වැයීමට අම්මාල දස්සියන්ව ඇත.ගැහැණු ළමුන්ගේ සෙල්ලම් ඔන්චිලි පැදීම, චක්කරං පැනීම වැනි ඒවාට සීමා වේ.

රාත්‍රි යේ පංච දැමීමට ගෙවල් කීපයක අය එක් නිවසකට එක්වෙති. ඊ ළඟ දිනයේ සියල්ලන්ම වෙනත් නිවසක එක්වෙති. මෙලෙස සෑම නිවසකම පාහේ පඤ්ච දැමීමට එක්වන අය වෙත එදා රෑ කෑම බීම  සංග්‍රහයන් ලැබෙන්නේ පඤ්ච දමන නිවසෙනි. ඇතැම් විටක  නෑගම් යාමට මග හැරුනකු පඤ්ච දමන  නිවසකට දැකම් පෙනුම් රැගෙන ගොස් එකිනෙකා බැහැදකිමින් ඇයි හොඳයි කියා ගැනීම සිදුවන දිනයක් සේද පඤ්ච දමන  දින යොදා ගනිති.

වෙදගෙදර, ගුරු ගෙදර වැනි ප්‍රභූ ගෙවල් වලට දැකුම් පෙනුම් සහිතව  නෑ ගමන් යාම කවුරුත් පාහේ කරති.   එසේ යන ඔවුන් කිසිම දිනක හිස් අතින් ආපසු පැමීණීමක් ද සිදු නොවේ. දැකුම් පෙනුම් ගෙන යන්නෝද  පඬුරු ලාභීන් ලෙස ආපසු එති. හිස තෙල් ගා රැකියාවට පිටත්වන නැකත්  දිනය පසුවන තුරුම මේ අසිරිය ගම්මාන පුරා පවතී.

විශේෂ සටහන්

20140419-163011-vertzzzzzzzzzzz

විස්තර ලබාදුන් ජී.කේ. අමරපාල මහත්මාණන් සහ නම සඳහන් නොකළ දැන උගත් වැඩිහිටි මහත්මා

මේ පෙර සිරිත් වල සංකේතාර්ථ විග්‍රහ කිරීම පමා කළේ සටහන කෙටි කිරීම පිණිසය. මෙහි දී අනුගමනකෛරෙන සිරිත් විරිත් පුරාණ එතරවා කෝරලයේ  හිසතෙල් ගෑම පිළිබඳ සම්ප්‍රදායේ අගනා ගුණ සුවඳ වහනය කරන්නකි. පෙරසිරිත පරිදි  පැවති “වෙද ගෙදරක   හිසතෙල් ගෑම” පිළිබඳ  විස්තර ලබා ගන්නටත් මෙසේ  ලියන්නටත් අවසර දුන් කීර්තිමත් වෙදපරම්පරා දෙකක පුතණු කෙනෙකු වශයෙන් හෙළ වෙදකමේ බලය එහි ගුණ සුවඳ විහිදුවමින් කීර්තිමත්ව  කාර්ය බහුල සේවාක යෙදෙන  ජයලත් වෛද්‍ය තුමාටත් එම පවුලේ සියලු දෙනාටත්   ස්තුතිය පිරිනැමේ.

මහා ජයමංගල ගාථා අතර දැක්වෙන 12 වන ගාථාව- ශ්‍රී රෝහණ පාර්ශ්වයේ මහනායක ධුරන්දර අත්තුඩාවේ සිරි රහල් මහානායක හිමිපාණන්වහන්සේ ගේ සම්පාදකත්වයෙන් සමයවර්ධන පොත්හල මගින් ප්‍රකාශිත පිරුවානා පොත්වහන්සේ අනුව සසඳා බලා නිවැරදිතාව තහවුරු කරගනිමින් සටහන් කර ඇත.

∗∗මේ විස්තර දක්වා ඇත්තේ 1970 තෙක් එතරවා කෝරළ ප්‍රෙද්ශයේ පැවති අවරුදු සිරිත් පිළිබඳ මතක සටහන් ඇසුරෙනි. වර්තමානය වනවිට මේ තත්ත්වයන් දක්නට ඇත්තේ   ඉතා ස්වල්ප ප්‍රදේශයකට පමණක් සීමා වෙමිනි.

 

 

 

Advertisements

8 thoughts on “පොල් එක්ක කිතුල් හකුරු

  1. හරිම වැදගත් දැනුමක් සහිත ලිපියක්…. එතෙරවා කෝරළයේ ඉතිහාසය එක් රැස් කරන එකනම් අගෙයි…

    ඔය වෙද මැදුර ඇල්ලෙඅරාවෙන් හැටන් පාරේ යන විට පාගල්ඕවිට නේද තියන්නේ.. යන එන විට දැක තියෙනවා.

    කැමතියි

  2. ඇත්තටම මීට කලින් මම අහලා තිබුණේ නැහැ මේ ආකාරයට හිසතෙල් ගෑමක්. අපි දන්නේ පන්සලේදී සිදුකෙරෙන හිසතෙල් ගෑම පමණයි.

    අර නලාව මටනම් බොහොම සමීපයි. ඒ තමයි හමුදා කඳවුරු වල දවසේ ඒ ඒ කාර්යයන් සඳහා මෙන්ම හමුදා උත්සව වලදී නාද කරන බියුගල් නලාව. මම ඒ ගැන ලියන ලද ලිපිය මෙතනින් බලන්න පුළුවන්

    මේ ලිපියේ දක්වා ඇති බියුගල් නලාව බොහොම දීර්ඝ ඉතිහාසයක් ඇති එකක් බව පෙනෙනවා. මෙය කෞතුක භාණ්ඩයක් වශයෙන් වටින බවත් පෙනෙනවා. මෙය ගැන ටිකක් හොයාබලන්න. මට හිතෙනවා මෙය සුද්දන්ගෙන් අල්ලාගත් එකක් හෝ සුද්දන් විසින් පරිත්‍යාග කල එකක් කියා. මෙන්න මෙතන තියනවා ඔය බියුගල් එක නිපදවා ඇති සමාගම පිලිබඳ විස්තර.

    කැමතියි

    • ඔබ දී ඇති විස්තර ඉතාම වටිනවා. විචාරක තුමණි, මේ වෙද මැදුරේ විස්තර ලියනවාට වෛද්‍යතුමා එතරම් මනාපයක් දැක්වූයේ නැහැ. එදා සිටම මහත්සේ ප්‍රනාමයට පත්ව සිටි වෛද්‍ය පරම්පරාවක් බැවින් ඔය නළාව සුද්දන් විසින් පරිත්‍යාග කළා විය හැකියි. කෙසේ වුවත් මේ ගැන පසුව තව විමසා බලන්න තීරණය කරගෙන ඉන්නෙ.

      කැමතියි

  3. ගුණේ මහත්තයෝ….බොහොම ආසාවෙන් ලිපිය කියෙව්වා. මේ වගේ චාරිත්‍රයක් තිබුනා කියලා දැනගන්නවත් ලැබුනේ මෙහෙමයි. පොල්කෑලියි, කිතුල් හකුරුයි වගේම මේ තොරතුරුත් හරිම වටිනවා. ඒ තොරතුරු ලබාදුන් සියළු දෙනාටත් ඔබටත් අපේ ගෞරවය!!

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )