දේවාල ගමක අවුරුදු සිරිත්

Advertisements

20 thoughts on “දේවාල ගමක අවුරුදු සිරිත්

  1. //..මළුවේ පෙරහර යනු දේවාල මාලිගය වටා පැදකුණු කරවමින් දේවාභරණ වැඩමවා ගෙන යාමය….//

    දේව රථයෙන්ද වැඩම කරවන්නේ එහෙමත් නැත්නම් ඇතා පිටේද ?

    //..එහෙයින්ම මහත් වගකීමෙන් යුතුව නැවත නැවත ගැන බලා අවරුදු නැකත් පත්‍ර පිළියෙල වෙයි….//

    මේ නැකැත් උග්ගල් අලුත් නුවරට පමණක් සීමා වෙන ඒවා නේද ?

    මේ නැකැත් වෙලාවන් පොදුවේ අනුමත කෙරුණු නැකැත් වෙලාවත් එක්ක වෙනස් වෙන්න පුලුවන් නේද ? මොකද මම පත්තරේක දැක්ක විදිහට අවුරුදු නැකැත් කමිටුව කියලා එකකින් තමා අවුරුදු නැකැත් හදන්නේ. ඒකේ ඉන්න සාමාජිකයන් රැස්වෙද්දී තම තමන්ගේ ගණනය කිරීම් අනුව නැකැත් හදාගෙන එනවා. ඒවා සාකච්ඡා කරලා පොදුවේ පිළිගන්න නැකැත් වෙලාවන් තමා සම්මත නැකැත් වෙලාව විදිහට ප්‍රකාශයට පත් කරන්නේ.

    //.. ඝන්ඨා නාදය එක්වී ස්වල්ප මොහොතකින් දේවාලයේ කාලතුවක්කුව පළාතම දෙදරුම් කවමින් හඩ නගයි…//

    මේ කාලතුවක්කුවේ ඡායාරූපයක් නැද්ද ? ඒක පත්තු කරන්නත් වෙනම නිලධාරියෙක් ඉන්නවද ? මේක දල්වන්න කරන කටයුතු ගැනත් විස්තරයක් කරන්න පුලුවන් නම් අගෙයි 🙂

    //..කක් හඳගලට බටහිර දෙසිනි. අනෙක නැගෙනහිර දෙසිනි. ලිප්මත එකතරමේ නැවුම් මුට්ටි දෙකකි…//

    මේකෙන් මොකක් හරි සංකේතවත් කරනවද ?

    //..කිරි ඉතිරවීමෙන් අනතුරුව සියල්ලෝම දරු මල්ලන්ද සමග බුදුන් වැදීම පිණිස චෛත්‍ය මළුවට පිවිසෙති. එහි දී ලොකුහාමුදුරුවන්ගේ කෙටි දේශනයට ද සවන් දී ආපසු ගෙවල් කරා ඇදී එති….//

    මේ කිරි ඉතිරිවීමේ කටයුතු කෙරෙන්නේ නොනගතයේ තියෙන පුණ්‍ය කාලයේදීද ? අනික දේවාල බිමේ ක්‍රීඩා කෙරෙනවාය කිව්වේත් ඒ වෙලාවේමද එහෙමත් නැත්නම් අවුරුදු උදාව වුණාට පස්සෙද ?

    අවුරුදු චාරිත්‍ර වෙලාවේදීත් දේවාලේ නිලකරුවන් බොහොමයක් දේවාලේ ඉදන් ඒ චාරිත්‍ර කිරීම හරි ඒවාට සහය දීම හරි කරන නිසා එයාලට තමන්ගේ පවුලේ උදවියත් එක්ක අවුරුදු සමරන්න අවස්ථාවක් නැහැ නේද ?

    හිසතෙල් ගාන්න නානු සකස් කරන්න දේවාලයේ නිලයක් තියෙනවාද ? දේවාලයේ හිසතෙල් ගාන්නත් විශේෂ ස්ථානයක් තියෙනවද ?

    ප්‍රශ්න ගොඩාක් මම අහලා නේද 😀

    කැමතියි

    • ඉතා වැදගත් ප්‍රශ්න කීපයකි. මෙහිදී විස්තර ඉදිරිපත් කර ඇත්තේ 1950- 1970 පමණ තෙක් පැවති තත්ත්වය අනුව බව සලකන්න. වර්තමාන තත්වය හා සසඳන විට වෙනස් කම් දැකිය හැකියි. මළුවේ පෙරහර යනු දෝලවල දේවාභරණ තැන්පත් ඛල දෝලි වැඩමවාගෙන මන්දිරය පැදකුණු කිරීම හා සාම්ප්‍රදායික නැටුම් හා ගායනා අනෙක් පෙරහර වල මෙන් තිබුනත් හස්තියා සහ දේවාභරණ රතය වැනි දෑ අඩංගු වන්නේ නැහැ. මෙහිදී පත්තිනි දේව මාලිගය වටා එම ආභරණ දෝලිය වැඩමවීමෙන් පසුව කතරගම දේව මාලිගය වටා එම දේවාභරණ දෝලිය වැඩමවීම සිදුවන බැවින් පෙරහර දෙකක් ස්ථාන දෙකක දී පැවැත්වෙන බවක් පෙනෙනවා.මේවා කෙරෙන්නේ පාගමණනින්.

      ඔව්.සකස් කරන නැකත් ඇතැමිව්ටක අලුත්නුවර පිහිටීමට අදාලව සකස් වන බව ලේකම් මහතා පැවසුවේ ඉර උදාව අනුව ගැන බැලූ විට එසේ වන බවයි. ඒ නිසා රටේ වෙනත් වේලාවක් යොදා ගනිද්දී දේවාලයේ ඊට මද වශයෙන් වෙනස් වූ වෙලාවක් භාවිත වුන බව sugv ටත් හොඳහැටි මතකයි. දේශාංශ ගත පිහිටීම අනුව ස්ථානීය වෙලාව යොදා ගැනීම නිසා එහි තර්කානුකූල බවක් තිබෙනවා නේද ? මෙහි නැකත් පිළිබඳ පවසන විස්තර අද සම්මත පිළිගැනීම අනුව නොගැලපුනත් 1950- 1970 පමණ තෙක් පැවතියේ මෙසේ ස්ථානීය වෙලාව අනුව සකස් කළ නැකත් පමණි. හසිත මේ දැන් අසා දැනගත් ආකාරයට වර්තමානයේ, මේ වසරේ පවා දේවාලයේ භාවිත කළ වේලාවන් සම්මත ලෙස ප්‍රකාශිත වෙල්වට වඩා සුළු වශයෙන් වෙනස් බව පෙනී ගියා. ස්ථානිය වේලාව අනුව සංශෝධනය කරගෙන ඇති බව පෙනීයයසකස් කළ බව සිතිය හැකියි.වට්ටෝරු පංගවේ නිළමේවරයෙක් පැවසූ ලෙස දේවාලයේ භාවිත කළ වෙලාව ලිත් වල පෙන්වා ඇති වේලාවට වඩා වෙනස් බව දැනගන්නට ලැබුණා.

      කාලතුවක්කුවේ ඡායා රූපයක් ඒක දැක්කේ නෑ නේද ? අපිත් දැක්කේ නෑ ! නමැති පෙර ලිපියක දමා තිබෙනවා. එහි කටයතු භාරව ඇත්තේ ගෙබෝරාල පංගුවටයි. දිය කැපීමේ උත්සවය සම්බන්ධ විස්තර හා පෙරහර ආරම්භය පිළිබද විස්තරවල කාලතුවක්කුව ගැනද යම් යම් විස්තර දක්වා තිබෙනවා. ඔබ යෝජනා කරන පරිදි කාලතුවක්කුව පිළිබඳවත් ඒ හා බැඳුන කටයුතු ඉදිරියේදී ලියන්නට සටහන් කර ගන්නවා.

      දේවාල දොරටුව ඇත්තේ දකුණු පසට මුහුණ දෙමින්. ඒ නිසා එහි දෙපසින් බඳින ලිප් වලින් එකක් බටහිර දෙසටත් අනෙක නැගෙනහිර දෙසටත් සිටින සේ සකස් වෙනවා. මෙහි කිසියම් තේරුමක් තිබේද යනුවෙන් විමසූ විට සිතා ගත හැක්කේ එය අනාගත පෙරනිමිති මොනවා දැයි බැලීමට යොදාගත් උපක්‍රමයක් බව පැහැදිලි වුනා.එය අං ඇදීමෙිදී යොදා ගන්නා උඩුපිල හා යටිපිල වගේය යි කපු මහතා කිව්වත් ඒ මුට්ටි දෙක දෙදෙනකුට අයත් බවක් පැවසුවේ නැහැ. (අං ඇදීමේදී පත්තිනි දෙවියන්ට උඩුපිල අයිති බවත් පාලඟ කුමරුන්ට යටිපිල අයිති බවත් අදාල අය පැවසුවත් මෙහි බටහිරට ඉදිකරන ලිප හා නැගෙන හිරට ඉදිකෙරෙන ලිප සම්බන්ධව එවැනි විශ්වාසයක් ඇතැයි හෙලි වුනේ නැහැ.) මේ පිළිබඳ තවදුරටත් විමසීම් කළයුතුව පවතී.
      කිරි ඉතිර වීම ඇරඹෙන්නේ සංක්‍රාන්තිය ආසන්නයේ හෙවත් සූර්යයා මීන රාශියෙන් සංක්‍රාන්ති වීමට පිවිසි පසුවයි.කිරි ඉතිරවීම නිමවන්නේ සංක්‍රාන්තිය නිම වීම හෙවත් සූර්යයා මේෂ රාශියට පැමිණියාට පසුවයි. (ඔබේ අනුමානය හරි මේ කිරි ඉතිරවීම සිදුවන්නේ පුණ්‍යකාලයේ තමා.එහෙත් එවැනි ලිප දැල්වීමක් හෝ කිරි ඉතිරවීමක් නිවෙස්වල සිදුවන්නේ නැහැ). මෙහි දි කපුමහතා පැවසුවේ හරියටම සංක්‍රාන්තිය සිදුවන මොහොතේම කිරි උතුරා යායුතු බවයි. එසේ වුවහොත් තමා පවසන නිමිත්තත් ඉන්තෙරුවෙනම් හරියන බවද පැවසිනි. උදාවන ඉදිරි කාලයේ පලඵල අනුව කිරි ඉතිරෙන වෙලාව වගේම උතුරායන දෙසත් වෙනස් වන බව ඔහුගෙන් පැවසුනා. එකල දේවාල බිමේ කුඩාවුන් හෝ සෙල්ලම් පටන් ගන්නේ දේවාලයේ කිරි ඉතිරවීමෙන් පසුව බවයි මගේ මතකය. ( එය චාරිත්‍රයක්ම නොවේ. බඩගිනි අරගලයට දරුවන් සූදානම් වීම වලකන්න අපව ක්‍රීඩාවට යොමු කළා විය හැකියි)
      ඇත්තෙන්ම රාජකාරි පවුල් වලින් දේවාලයට ගිය ඇත්තන්ට තම නිවෙස්වල චාරිත්‍ර මග හැරෙනවා. ඒත් ඒ අයගේ විශ්වාසය අනුව තමන් හෝ පවුලේ කෙනෙකු හෝ එසේ දේවාලයට ගොස් දෙවියන් සමගම සිටීම වරප්‍රසාදයක් ලෙස කල්පනා කරන බවක් පෙනෙනවා.
      දේවාලයේ හිසතෙල් ගාන නානු සකස් කරනුයේ ඇතුල් කට්ටලයේ වට්ටෝරු රාල සහ කපු මහතා ද විසිනි. ඒවාද රහස් රාජකාරි නිසා මීට වඩා විස්තර ලැබෙන්නේ නැහැ. හිසතෙල් ගානු ලබන්නේ කපු මහතා විසින් මහදොරටුව ඉදිරිපට සිටිමින්. ඒ බැතිමතුන් පඬුල්ලන්නට රැදී සිටින ස්ථානයේ මය.නැකත් වල නියම කර ඇති ලෙසට හිසට තබන කොල සහිත අතු ඉහළින් එල්ලා පයට නියමිත කොල අතුද තබමින් හිසතෙල් ගෑම සිදුවෙනවා. මෙහි දී ඇතැමකුට ගැටළුවක් වන්නේ දකුණ බලා සිටියයුතු බව නියමිතව ඇති වසරක දී බැතිමතාට ද දෙවියන්ට පිටු පා සිටින්නට වීමයි. එසේ සිටීමට බිය නිසා ඇතැම් අය වෙනත් තැනකට ගොස් හිසතෙල් ගා ගැනිමෙි සිරිතක් ඒ කාලයේත් තිබුණා.
      ඔබේ විමසීම මෙන්ම අදහස් ද ඉතාම වටිනවා. එයින් මට අලුතෙන් සොයන්න වගේම සිතන්නත් අවස්ථාවත් උදාවෙනවා. ස්තුතියි හසිත

      කැමතියි

  2. අවුරුදු කාත්තිය සහ පැරණි පොත්වල තිබෙන කාර්තිකෝත්සවය අතර සම්බන්ධය ඇද්දැයි සොයා බලන්න වටිනවා.

    දැන්නම් හාමුදුරුවරු කාන්තාවන්ගේ හිස තෙල් ගානවා මා දැක තිබෙනවා.

    කැමතියි

    • @ wicharaka විචාරක

      “අලුත් අවුරුදු සංක්‍රාන්තිය” කියන වදනින් බිඳුණු “අවුරුදු කාත්ති” කියන වදන යොදාගෙන අවුරුදු සංක්‍රාන්තිය සිදුවෙන කාලයේදී උග්ගල් අලුත් නුවර පෙරහැර පවත්වනවා වෙන්න ඕනේ.

      කොහොම වෙතත් අලුත් අවුරුද්ද සහ කාර්තිකෝත්සවය අතර කිසිම සම්බන්ධයක් නැහැ. නොක්ස්ගේ පොතේ අගේම ඩේවිගේ පොතෙනුත් ඒ බව පැහැදිලි වෙනවා.

      නොක්ස් සමහර තොරතුරු දක්වන ආකාරයට වඩා විධිමත් ආකාරයට ඩේවි තොරතුරු දක්වන නිසා ඩේවි කියන විස්තර දක්වන්නම්.

      ඩේවි දක්වන විදිහට අලුත් අවුරුද්ද එළඹෙන්නේ අප්‍රේල් මාසේ. කාර්ති මංගල්‍යය එහෙමත් නැත්නම් කාර්තිකෝත්සවය පැවැත්විලා තියෙන්නේ ඉල් මස පුර පසළොස්වක පොහොයට. මේ උත්සවයේදී පහන් දල්වන්න රාජකීය දෛවඥයා විසින් නැකතක් සකසනවා. දලවන්න පහන් සහ තෙල් මහ ගබඩාවේ ඉදලා නාථ දේවාලයට ගෙනවිත් යාතිකා කරලා පස්සේ ප්‍රධාන විහාර දේවාල, දළදා මාළිගාව, රව මාළිගාව ආදී ස්ථානවලට බෙදලා තියෙනවා. නැකැත් වෙලාවට පහන් දලවලා පස්සේ පෙරහැරක් පවත්වලා තියෙන්නේ. සම්පූර්ණයෙන්ම මාළිගා, දේවාල පහන්වලින් අලෝකමත් කරවලා තියෙන මේ උත්සවයේදී. නොක්ස් කියන විදිහට නම් රජ මාළිගාවේ තොරණ් බැදලා දෙව් විමනක සිරියෙන් තමා තිබිලා තියෙන්නේ 🙂

      කැමතියි

      • ඩේවිගේ සහ නොක්ස්ගෙ විස්තර කියවමින් සාම්ප්‍රදායික දැනමුත්තන් පවසන දෑ හා සසඳා බලද්දී කාත්තිය කිව්වේ “කාර්තුව“ද කියා ගැටළුවක් මා තුළ මතුවුනා.මෙහෙ රාජකාරි ඇත්තනුත් 1870 කොමසාරිස් ලේඛනයට සාක්කි දුන් රාජකාරි ඇත්තනුත් “කාත්ති තුනක්“ තිබෙන බව කියා තිබෙන බව පෙනෙනවා. කාත්ති තුනේදීම බස්නායක නිලමේ බැහැදැකීමට කොමසාරිස් ලේඛනයේ කළයුතු කටයුතු පිළිබඳ විස්තරවල ලේඛනගතව තිබෙනවා. මේ ලේඛන ගත විස්තර හා රාජකාරි ඇත්තන් පවසන විස්තර ද අනුව වැඩිදුර සිතා බලද්දී මාස දොලහ හතරෙන් බෙදුවාම එන්නේ “කාත්ති“ හෙවත් කාර්තු නොවේ දැයි මට සිතෙන්නට වුනා. ඒ අනුව රට පුරා සංචාරය කරද්දී සහ විස්තර සොයද්දී ඩේවිට ලැබුණේ වඩා විශ්වාසනීය සාක්ෂි දැයි සැක සිතෙනවා. ඔහු දක්වන “කාත්ති“ පිළිබද විස්තරය වරද්දා තේරුම් ගැනීම නිසා කෙරෙන්නක් දැයි මට සිතුනා. ඩේවි වඩා විධිමත් ලෙස විස්තර පවසන බව සැබෑවක් වුනත් ඔහු දක්වන තවත් විස්තර රොබට් නෝක්ස්ගේ විස්තර හා සම වීමෙන් නොක්ස් කියවමින් සටහන් ලිව්වා දැයි ඇතැම් විටක මට සිතෙනවා. ඉල්මහ කාත්තියට අවුරුදු කාත්තියේ මෙන් පෙරහර දින පහක් පවත්වා අවසන් දින රාත්‍රිෙය් දේවාලයේත් අවටත් පහන් දැල්වීම මේ දේවාලයේ අදටත් පවතින්වා. එමෙන්ම පහන් දැල්වීමට සියලුම රාජකාරි ඇත්තන් සහභාගී වෙනවා. (ඔවුන්ගේ විශ්වාසය වන්නේ යක්ෂ මාස නිම වී දෙවියන් විමන්වලට වඩින අවස්ථාව උදාවන බැවින් එසේ පහන් දල්වන බවයි. චෛත්‍යයට ද පහන් දල්වා බුදුන් පුදා දෙවියන්ට පින් පැමිණවීමක්ද මෙහි කෙරෙන බව පෙනෙනවා) හින්දු ආගමේ ශිව දේව උපත සැමරීමට දීපවාලි උත්සවයේ කරන පහන් දැල්වීම අනුවර්තනය කර ගනිමින් බෞද්ධ සිරිත් හා සංකලනය වෙමින් සංස්කරණය කර සම්මත වූ සිරිතක් දැයි සිතියි හැකියි නේද ?
        දේවාල ගමේ ඇත්තන් මාස දොලහ බෙදා තියෙන්නේ බුද්ධ මාස, දේව මාස සහ යක්ෂ මාස කියා ගොඩවල් තුනකට (මේ පිළිබඳ තව විස්තර සඳහා මීට පෙර ලියා ඇති පාරම්පරික ඥාන සම්භාරය 2012 මැයි 6 ලිපිය බලන්න) ඒ අනුව මේ අය අවුරුදු කාත්ති පෙරහර කර ඇත්තේ බුද්ධ මාස නිමවී දේව මාස ඇරඹෙන අවස්ථාව, ඇසල පෙරහර කාත්තිය කර ඇත්තේ දේව මාස නිමවෙන අවස්ථාව සහ ඉල්මහ කාත්තිය පෙරහර කර ඇත්තේ යක්ෂ මාස නිම වී දේව සමාගමට ගිය දෙවියන් ආපසු ගෙන්වන අවස්ථාව යන තුන් අවස්ථාවෙදී දැයි සිතන්නටත් හැකියිනේද ? නොක්ස් වගේම ජොන් ඩේවිත් කාත්ති විග්‍රහ කළ ආකාරය මතුපිටින් අතපත ගෑමක් බවක් මට සිතෙන්නට වුනත් එය සහාසික ලෙස සම්භාව්‍ය උගතුන් ඉක්මවා ගත්තු නිගමනයක් හෙම නෙවෙයි. තව දුරටත් සොයා විමසා බැලිය යුතුයි.
        මේ සෙවීමේදී නූතනයේ අප ලබාගත් අධ්‍යාපනයට ගරු නොකර තමන්ගේ පාරම්පරික දැනුමේ වැදගත් බව පවසන වයෝවෘද්ධ දැනමුත්තන්ගේ හිඟය පාඩුවක්. තම පාරම්පරික උරුමයේ සාඩම්බරයෙන් නිවහල්ව සිතා අභීත ලෙස අදහස් ප්‍රකාශයන් කළ මියගිය අල්විස් ලේකම් මහතා, අත්තනායක මොහොට්ටාල කරුණාරත්න මහතා, ඇල්පේනිස් වෙද මහතා සහ ඇස් වෙදකමේ විශේෂඥයකු වූ මැණික් අප්පු මහතා වැනි අයගේ වියෝ වීම මහත් දුෂ්කරතාවක් ඇති කර තිබෙනවා. මේ පැවසූ අදහස් ඔබ වැනි විද්‍යාර්ථීන්ගේ දැඩි විමසුමට ලක් වි ප්‍රතිචාර මගින් sugv ටද දැනුවත් වීමට අවස්ථාව ලැබේවායි පතනවා.

        කැමතියි

    • විචාරක තුමා පවසන පුවත වැදගත්. පුරාණ පොත්වල තිබෙන කාර්තිකෝත්සව අතර අවුරුදු කාත්තිය එකක් වියහැකි බව මටත් හිතෙනවා. මේ ඇත්තන් කාත්ති තුනක් ගැන කියනවා. අවුරුදු කාත්තිය ඇසල පෙරහර කාත්තිය ඉල්මහ කාත්තිය යනුවෙන් කාත්ති තුනක් ගැන කියන්නේ ඔබ පවසන දේම විය හැකියි. කාත්ති තුනටම බස්නායක නිලමේ බැහැදැකීමක් ගැන විහාර දේවාලගම් ආඥාපනතට අදාල ලේඛනයේත් ලියවී තිබෙන ස්ථාන ගැන දිටිය හැකියි
      දැන් හාමුදුරුවරුන් කාන්තාවන්ගේ හිසතෙල් ගෑම – සමහර විට සෙන් බෞද්ධ කතාවක දැක්වෙන පුවතේ සඳහන් ලෙසට හාමුදුරු කෙනෙකුට කාන්තාවක් කරේත් තියාගෙන යන්න පුළුවන් නම් අපි කාන්තාවකගේ හිසතෙල් ගෑවට මක්වෙනවද කියා තර්ක කරමින් සිතා ගන්නවා විය හැකියි නේද?

      කැමතියි

  3. ඇතැම් හාමුදුරුවරුන් අතින් හිස තෙල් ගල්වනු මා දැක තිබේ. ඇතැම් හාමුදුරුවරුන් එය සිදු කරන්නේ කොළ ඉත්තකින්. මේ දෙවන ක්‍රමයේ වරදක් නොවන බවයි මගේ හැගීම.

    කැමතියි

  4. ඕනෑම දෙයකට මුල් වන්නේ චේතනාව බව බුදු දහමේ ඉගැන්වීමයි. හාමුදුරුවො හිස තෙල් ගාන්නේ අතින් වුවත් චේතනාව යහපත් නම් වරදක් නොවෙයි. ප්‍රශ්නය වර්තමානයේ එවැනි යහපත් චේතනා ඇතිවනවාද යන්නයි. ප්‍රාතිමෝක්ෂය, සිඛවළද වැනි භික්ෂු විනය පිළිබද ලියැවී ඇති සෑම කෘතියකම දැක්වෙන්නේ චේතනාව මූලික වන බව. සර් සදහන් කරන සෙන් කතාවෙන් කියවෙන්නෙත් අයහපත් චේතනාවක් නොමැතිනම් වරදක් නොවන බවයි. එහි කර්මයක් සිදුව ඇත්තේ කාන්තාව කර තබාගෙන ගිය හාමුදුරුවන්ට නොවේ. ඒ පිළිබද සිතේ තබාගෙන සිටි හිමියන්ටයි

    කැමතියි

  5. දේවාලයේ අවුරුදු චාරිත්‍ර සදහා රටේ පවතින පොදු නැකැත් වේලාවන්ට පෙර වේලාවන් යොදාගන්නා බව කපු මහතා මා සමග පැවසුවා. මිනිසුන් ආහාර අනුභව කරන්නට පෙර දෙවියන් උදෙසා මුරුතැන් පූජා කළ යුතු බැවින් එසේ කරන බව ඔහු පැවසීය. අනෙකුත් චාරිත්‍ර ද දෙවියන් උදෙසා මුලින්ම කළ යුතු බව එතුමාගේ අදහස විය.

    කැමතියි

    • කපු මහතා පවසන පරිදි පොදුවේ සම්මත කරගෙන ඇති ලිතේ දැක්වෙන වේලාවට වඩා වෙනස් වේලාවක් තමා නිතරම භාවිත වී තිබෙන්නේ . මේ වෙනසට හේතුව ගැන විමසීමට වැදගත්ම පුදුගලයා වන්නේ දේවාලයේ නැකත් සාදන ගණිත පංගුව ප්‍රකාශ කරන අදහස් නේද ? කපුමහතා පවසන දේට වඩා වෙනස් හේතුවක් මෑතදී මියගිය දිවයින පුරා ප්‍රකට ව සිටි දේවාල ගණිත පංගුවට සම්බන්ධ දෛවඥ මහතා ඒ.ජී. අල්විස් නමැති පාරම්පරික විද්වතා පැහැදිලි කරන්නේ මෙසේය. “මේ ස්ථානයට ඉර උදාවන වේලාව අනුව නැකත සකස් වෙන්නෙ. මඩකලපුවට හරි කොළඹට හරි ඉර උදාවෙන වෙලාව අනුව නෙවෙයි. උග්ගල් අලුත්නුවර දේවාලයට ඉර උදාව සිදවන හැටි බලල ඒ අනුව ගැන බලා වේලාව සකස් කිරීමේදී රටේ පොදු සම්මතය ඉක්මවා ගොස් වේලාව යෙදෙන බව ඔහු විස්තර කළා. එසේ කලින් වේලාවක් යෙදෙන්නේ ඒ නිසා බවයි ඔහු පෙන්වා දී ඇත්තේ. ලිත් වලින් හා රජයෙන් ප්‍රකාශයට පත් කරන පොදු නැකත් වෙලාව සකස් වන්නේ මුළු දිවයිනම එක දේශාංශයක පිමහිටන බව සලකමින්. අල්විස් මහතා පවසන අදහස විද්‍යාත්මක වශයෙන් වඩා අර්ථවත් නේද ? උග්ගල් අලුත්නුවර දේශාංශ ගත පිහිටීම ගැන උග්ගල් අලුත්නුර භූගෝලීය පිහිටීම පිළිබඳ ලිපිය තුළින් බලන්න. නැතහොත් ඉහත දැක්වෙන ඒ සම්බන්ධ පිටුව බලන්න. ප්‍රියන්ජන් මහතා විසින් උඩුගන්වා ඇති විස්තර අනුව මේ ලින්ක් එකට යාමෙන් උග්ගල් අලුත්නුවර අක්ෂාංශ දේශාංශ ගත පිහිටීම පහසුවෙන්ම දැකිය හැකියි. http://lk.geoview.info/uggal_aluthnuwara_devalaya_1,30472379p උග්ගල් අලුත්නුවර දේශාංශගත පිහිටීම ලෙස එහි දේශාංශ අංශක 80°45’3.35″ ලෙස දැක්වෙනවා.දේවාලයේ පුරාණ ගණිතඥයා ද නැකත් වෙලාව ගණනය කර ඇත්තේ මේ ගැන සැලකීමෙන් බව පෙනෙනවා. ඒ කාලයේ මිනුම් ගැනීමට භාවිත කළේ කුමණ ක්‍රමයක්ද යන්න දැන් සෙවීමට නොහැකියි. තරමක් හෝ මේ ගැන විග්‍රහකරමින් පහදා දීමට හැතියාව තිබූ දේවාලයේ ගණිත පංගුවේ දෛවඥ ඒ.ජී. අල්විස් මහතා මෑතදී මිය ගියා. ඔහු සමගම ඒ දැනුමත් වැලලිලා ගියා. අපේ පාරම්පරික දැනුමට සිදුවෙමින් තිබෙන නස්පැත්තිය පෙනෙනවා නේද ? පාරම්පරික ඥාන සම්භාරය ඇත්තේ සැඟවිලා. වර්තමානයේ දේවාලයේ නැකත් සකස් කරන ගණිත පංගුවේ ඇත්තාටවත් ඔහුගේ උරුමයව පැවති සාම්ප්‍රදායික ක්‍රමයට මේ ගැනීම කරන්නට හැකියාවක් ඇති බවක් මගේ සෙවීම් වල දී පෙනී ගියේ නැහැ. ඒ නිසා ජාතික විද්වත් කමිටුවකින් පොදුවේ සම්මත කර ප්‍රකාශයට පත් කරන වේලාවට ස්වල්පයක් කලින් ඇති වේලාවක් යොදා ගැනීම කරනවා වියහැකියි නේද ? කපු මහතා විමසූ විට එවැනි පිළිතුරක් දෙමින් පහදා දුන්නේ ඇයි දැයි සිතිය හැකියි නේද ?

      කැමතියි

      • අවුරුදු කාර්තික මංගල්‍යයේ සිරිත් පිළිවෙළ සහ පෙරහැර පෙළගැස්ම, පෙරහැර ගෙවදීම ආදිය කෙටියෙන් හෝ සදහන් කරනවානම් හොදයි. ඒ වගේම බෙහෙත් දියර මංගල්‍ය නම් සිරිතක් ගැනත් මා අසා තිබෙනවා.ඒ ගැනත් දැනගන්න කැමතියි.
        මේ අවුරුදු නැකත් අනෙකුත් නැකත් මෙන් රහසිගතව තබා ගන්නේ නැද්ද?

        කැමතියි

  6. පින්ග්කිරීම: පොල් එක්ක කිතුල් හකුරු | sugv

  7. අවුරදු කාර්තික මංගල්‍යෙයේ දේවාලයේ පවතින විශේෂ සිරිත් ලිය වී නැතිද හිස තෙල්ගෑමේ චාරිත්‍රය කිල්ල පිළිබද සංකල්පයේ බලපෑම නිසා පුරාණයේ සිටම තිබී ඇත්තේ අද දක්නට ආකාරයෙන්ම ඇතැම් පිරිසකගේ සහභාගීත්වය මග හැරෙමින් බව පෙනී යනවා. ලිපි පෙළම කියවා බලා ගැටළු ඇත්නම් විමසන්න ඉන්දුකා

    කැමතියි

  8. සිරිත් ගැන ලියවී තිබෙනවා.මං ලිපි සියල්ලම කියෙවුවා. පෙරහැ‍ර ගැනත් ලියවී තිබෙනවා. එය පැවැත්වෙන ආකාරය ගැන මං විමසුවේ. ඒ කියන්නේ දේවාභරණ වැඩසිටින මාලිගයෙන් දිග්ගෙයට වැඩම වූ පසු නැවත ගෙවදින තුරුත් ඉන් පසුවත් සිදුකෙරෙන රාජකාරි ගැන. ඒ අංග ටික පිළිවෙලින් නම් කළත් ඇති. මේ පෙරහැර මා එක් දිනක් බැලුවත් ඒ ගැන විස්තර කරන්නට තරම් ඒ අංග ගැන මගේ අවබෝධය මදි.

    කැමතියි

    • මේ සම්ප්‍රදාය පිළිබඳව අංගසම්පූර්ණව විස්තර කරන්න යාම කෙතරම් වාරයක් නැරඹුවත් සංකීර්ණ කාර්යයක් දියණියනි. මළුවේ පෙරහර (අවුරුදු කාත්තිය හා ඉල්මහකාත්තිය ද මීටම සමානයි) අවස්ථාවල සිදුවන්නේ දෝලියට තැන්පත් කළ ආභරණය දේවාලයේ බටහිර පස මිදුලේ දී නවතා දැකුම් අත් නැටීම, නයයන්ඩි නැටීම හා කෝලම් නැටීම යන තේවාවලින් පසුව දේවාලය වටා පැදකුණ කරමින් පැමිණ ගෙවදීම හා ඉන්පසුව දිග්ගේනැටුම්, කවිගායනා සහ ආලත්ති තේවාව පැවැත් වීම හා මුළුතැන් බෑමෙන් නිම කිරීමයි. මෙහි වැඩමවනු ලබන්නේ රන් ඊය පමණක් බව සිතිය හැකියි. දෙවේලේ පෙරහර සම්බන්ධවත් මූලික රාජකාරි තේවා වෙනස්වන්නේ නැහැ. මහ පෙරහරේදී කෙරෙන පිළිවෙල යම්රමකින් හෝ ලියා තබන්ට උ්සාහ කළා. එහි අපැහැදිලි තැන් තිබේ නම් නැවත විමසන්න

      කැමතියි

  9. නැකැත් අන් අයට දැනුම් දෙන බවක් සදහන් වුවත් ඒවා රහසේ තබා ගන්නවාද යන ගැටලුව ඉදිරිපත් කළේ කාලතුවක්කු හඩ අසා සියලු සිරිත් කරන බව පැවසෙන නිසා සැකහැර දැනගන්න. මෙහිදීත් ආසන්න වෙලාව පවසනවාදැයි සිතුනා.

    කැමතියි

    • ඔව් දුව නැකත එළඹෙනතුරුම එය නිවැරදිවම දන්නේ ගණිත පංගුවේ හා කපු පංගවේ ඇත්තන් පමණක් බව පෙනී යන්නකි. අත්තනායක මොහොට්ටාල මළුවේ විදානේ වුවද දන්නේ ආසන්න වෙලාව පමණයි. ඇතැම් විටක අහවල් වෙලාවේ පෙරහර බහිමුදැයි විමසූ විටක හා හා ඒ වෙලාව හොඳනෑ යනුවෙන් පැවසූ අවස්ථා අත්දැක තිබෙනවා.

      කැමතියි

  10. පින්ග්කිරීම: “මේ අවුරුද්ද ගමට හොදයි…” | sugv

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )