මැද්දේගම් නුවර සොයා යාම

සීතාවක රජවරුන්ට රැකවරණය දුන් රහස් මාලිගය -මැද්දේගම් නුවර

ඇත්තටම මෙහෙම පුරාණ නගරයක් තිබුණ ද? උග්ගල් අලුත්නුවර ඉතිහාස තොරතුරු වල කියවෙන මැද්දෙගම් නුවර  මේ දක්වා සැඟව පවතින්නේද ? එය පිහිටි ඉසව්ව කොහේද ? යන්න නිවැරදිව නිශ්චය කරගතයුතු වෙයි.  මැදගම හෝ මැද්දෙගම යනුවෙන් හැඳින්වෙන  ස්ථාන කීපයක්ම දිවයිනේ විවිධ තැන්වල පවතී. පුරාණ ලියවිලි වල ද ඒ බව හමුවේ. එකක් සබරගමුවේ අටකලන් කෝරළේ පිහිටි  ඓතිහාසික විහාරයක්ද පිහිටි මැද්දේගම ය.   ඌවේ බිබිල ප්‍රදේශයේ  ඇති මැදගම තවත් ස්ථානයකි. බළන්ගොඩ පින්නවලට උතුරින් ඇති මැද්දේගම තවත් ස්ථානයකි.

උග්ගල් අලුත්නුවර දේවාලයේ ලේකම් මිටිය  හෙවත් පුරාණ ලේඛනයේ සඳහන් මැද්දේගම් නුවර  යනු මෙයින් එකක්ද නැතහොත් වෙනම ම ස්ථානයක් ද ?  පුරාණ ලේඛනයේ සඳහන්  උග්ගල් අලුත්නුවර මෙන්ම  මැද්දේගම්නුවර ද පිහිටියේ සබරගමුව පළාතේ දැනට භාවිතයේ නැති    එතරවා කෝරළය නම් වෙනත් කෝරළයක් තුළ බව පෙනී යයි. එවැනි කෝරලයක් දැනට භාවිතයේ නොමැත.   එහෙයින් මේ කියන මැද්දේගම් නුවර කුමක්දැයි තෝරා ගැනීම  වඩා ගැටළු සහගත වෙයි.

රාජකීය පණ්ඩිත පූජ්‍ය කිරිඇල්ලේ ඤාණවිමල හිමිපාණන් වහන්සේ ගේ “සපරගමුවේ පැරණි ලියවිලි” කෘතියේ  උපුටා දක්වන ලියවිලි කීපයකම  එතරවා කෝරළය ගැන සටහන්වන පැරණි ලිපි කීපයක්ම වන්නේය. ඒවා සලකා බලා උන්වහන්සේ එහි මායිම් ලෙස දක්වන්නේ

උතුරට

          -ඉදල්ගස්හීන්න කපොල්ල

නැගෙනහිරට

          -බිබිලේ හෙල ප්‍රදේශය

දකුණට හා බටහිරට

          -කුරුවිටි,නවදුන්, කඩවතුමැද

           කෝරලය

ලෙසිනි. කන්දපල්ල කෝරළය හා කඩවත කෝරළයේ කොටසක් ද එක්ව එය සකස් වී තිබී ඇති බව පෙනීයයි.   එහෙයින් එතරවා කෝරළයේ මැද්දේගම් නුවර යනු ඉහත පළමු ඡේදයේ කියන  ස්ථාන අතරින් අවසන් වරට දැක් වූ බළන්ගොඩ පින්නවලට උතුරින් පිහිටි මැද්දේගම බව පෙනේදෙවන රාජසිංහයන් විසින් මොරහැල අලහකෝන් මුදලිට දී ඇති තඹ සන්නසේ ද එතරවා කෝරළය ගැන කියවේ. මොරහැල පිහිටියේ  උග්ගල් අලුත්නුවර ආසන්නයේ ඊට උතුරු දෙසිනි.  පරංගි හටන හා කුස්තන්තීනු හටන කාව්‍ය වලද  එතරවා කෝරළය ගැන කියවේ. එතරවා කෝරලයේ පිහිටි මැද්දේගම් නුවරට පෘතුගීසීන් පැමිණ වැසියා සමූල ඝාතනය කර විනාශ කළ ආකාරය ගැන ද කියවේ. එතරවා කෝරළය මැකී ගොස් ඇත්තේ 2 රාජසිංහ අවදියේ  කන්දපල්ල කෝරළය  වෙන්ව ඌවට යාවීමෙන් හා කඩවත කෝරලය වෙන්වීමෙන්  බව  තවදුරටත් තොරතුරු හදාරන විට පෙනී යයි.a

බළන්ගොඩ පින්නවල ආසන්නයේ  පිහිටි  මැද්දේගම  ඇති ප්‍රාථමික පාසල  මැද්දේගම මායාදුන්නේ විද්‍යාලය නම් විය. මේ පාසලට මායාදුන්නේ විද්‍යාලය කියන්නේ ඇයි දැයි විදුහල්පති තුමා  විග්‍රහ කළේ පහත සඳහන් අන්දමිනි.

මේ ගම  මායාදුන්නේ රජතුමාට පෘතුගීසි උවදුරෙන් බේරී රැකවරණය පිණිස මාලිගයක් තිබූ නුවරක්. එතුමාගේ රහස්මාලිගාවක් තිබූ පුරාණ නගරයක්. යන විශ්වාසය ගමේ මුල් බැසගත් මතයක්. ඒ නිසයි “මේ නම පාසලට තැබිය යුතුය” යන සම්මතය ඇතිවෙලා තියෙන්නෙ. මැද්දේගම මායාදුන්න ප්‍රාථමික පාසලට ආසන්නයේ පිහිටි ඇටවක්වෙල රතනපාල විද්‍යාලය, කීරපත්දෙනිය විද්‍යාලය හා මැද්දේගම පියරතන විද්‍යාලය යන කණිෂ්ඨ ද්විතියක මට්ටමේ පාසල්වල සමාජ අධ්‍යයන විෂය භාර ගුරුතුමන්ලාගේ  අනුග්‍රහයෙන් සිසුන් ලවා තම ගම්මානයේ ඇති පුරාණ තොරතුරු පිළිබඳ කතා කවි ආදිය සොයා ගැනීමට උත්සාහ කළෙමි. පුරාණ විහාරස්ථාන, සහ විශේෂිත ගොඩනැගිලි, වලව් වැනි විශේෂිත ස්ථාන නාම ඇතිවීම පිළිබඳ කතා, නටබුන් ආදිය ගැන පැරැන්නන් විමසා තොරතුරු සොයා ලියන ලෙස දරුවන්ට දන්වන ලදී.

විශ්මයකි. ! ඉතා ඉක්මනින්ම උපකල්පනය කළ මතය තහවුරු කරන අන්දමේ තවත් තොරතුරු රාශියක්  ලැබිණි. එමගින් ලැබී ඇති විස්තර සාරාංශ කර පහත දක්වා ඇත.

 රන්මුදු ඇල්ල පිළිබඳ කතා –

  1. රන්මුදු ඇල්ලෙන් තමයි පත්තිනි දේවීයගේ රන් මුදු හෙවත් රන්හළඹ පහල වෙල‍ා තියෙන්නේ . ඒවා තැන්පත් කර හැදූ පත්තිනි දේවාල කීපයක් අවට තියනව. අලුත්නුවර තියෙන්නේත් ඒවා තැන්පත් කළ දේවාලයක්.  කෝට්ටයාකන්ද මේ ළඟමයි තියෙන්නේ එහෙ හිටපු වන්නිරාල තමයි රජ්ජුරුවන්ට රන් හළඹ ගිහින් දීල තියෙන්නේ. ඇල්ල වැටෙන වලේ හිටපු ආඳා ගෙන් තමයි මේ රන් හළඹ කෝට්ටයා කන්දේ වන්නිරාලට ලැබිල තියෙන්නෙ.

  2. රන්මුදු ඇල්ල කියල නම හැදිල තියෙන්නේත් මේ විදිහට පහළ වුන රන් හළඹ නැතිනම් රන්මුදු පහළ වීම නිසායි. රන්මුදු ඇල්ලේ මුදුනේ කුරුවිට රාලගේ වලව්ව තිබිල තියනවා. එතන තවමත් ගල්වලින් හදාපු ගඩොල් කොටස් තියනව.

  3. රන්මුදු ඇල්ල වැටෙන දිය ඇල්ලට මුවා වෙලා තියෙන්නේ විශාල ගල් දොරටුවක්. එහි පුරාණ යේ අකුරු කොටල තියනව. ඒව කියවන්න හොඳ නෑ. වස් වදිනවා. කාලෙකට උඩදි ගොවියන්ට ගොයම් කපන කාලෙට ඕනි දෑකැති රන්මුදු ඇල්ලෙන් ලැබුණ. ගොවියොත් ගොයම් වැඩ ඉවර වුනාම දෑ කැති ආපසු රන්මුදු ඇල්ලේ පහළ වුන තැනින් ගිහින් තිව්ව. පස්සෙ කාලෙකදි එක් කෙ‍නෙක් මේ විදිහට ලැබුණ දෑකැති ආපසු ගෙන ගිහින් තියල නෑ. ඊට පස්සෙ ඒ විදිහට දෑ කැති ලැබෙන එක නතර වුනා.

 ඇටවක්වෙල ගම පිළිබඳ කතා-

  1. මේ ගමේ තියන වෙල් යාය ලොකූ 8 (අටක) හැඩයට තියෙන්නේ. ඒ නිසයි අටවක්වෙල කියන්නෙ. මේ වෙල්යායෙ එක කුඹුරක නම කොටවීදියෙකුඹුර දිගම කුඹුරෙ නම දික්වීදි‍යේකුඹුර මේවට නිකංම කොටවීදිය, දික්වීදය  කියලත් කියනව. එහෙම කියන්නේ ඒ කුඹුරු අස්වද්දල තියෙන්නේ පුරාණ නගරයෙ තිබුණ වීදි වල නිසයි. එක කුඹුරක නම දාලවලෙ. ඒකේ මැටි තවමත් කළු පාටයි. එතන තමා පුරාණ විශාල මාලිගාවක් තිබිල තියෙන්නේ.  පරංගි කාරයො මේව සේරම ගිනිතිව්වලු. දවස්ගානක් තිබුණු ගින්න නිසා පොළවත් යටටම පිලිස්සීමෙන්  මේ විදිහට අදත් කළුපාට මඩ පස් ඇති වෙලා තියෙන්නෙ.

  2. අටවක්වෙල අපේ විද්‍යාලෙ ළඟම ලොකු ගල්පර්වතයක් තිබුණ. කව්රුත් ඒකට  කිව්වෙ හඳගල කියල.  ඒකේ ඉරයි හඳයි කොටල තිබුණ. 1978 වෙනකම්ම ඒ ගල තිබුණලු. ඒ කාලෙ නිවාඩු ඉවර වෙලා එන විට ඒ ගල්පර්වතය නෑ. ඒක නිදන් හොරුන් ගෙනිහින් කියල අපේ වැඩිහිටියො කියනව.

    3. ගෙපල් කපද්දි දැනුත් පුරාණ වළං වල කොටස් ලැබෙනව දිරාගිය ඊතල, පෙති පිළිම,  වගේ දේවලුත් සමහරුන්ට ලැබිල තියනව, හැඩයට කපාපු ගල් මැටි බට වගේ ඒව මේතැන්වල ලැබිල තියනව.

කණතිරියන්වෙල කොට බෝධිය  පිළිබඳ කතා –

  1. මෙය ශ්‍රී මහා බෝධියේ අෂ්ඨ ඵල රූහ ශාඛාවක්. දැනුත් අපට බොහොම පිහිට තියනව. විභාගෙට යද්දි අපේ ලොකුහාමුදුරුවො බෝධිපූජා තියල අපට ආශීර්වාද කරනව. හාස්කම් ගොඩක් තියන බෝධීන් වහන්සේ. බෝධිය වැඳල කියා හිටල යන ඔනිම යහපත් දේකට බෝධීන් වහන්සේගේ පිහිට ලැබෙනව කියල ප්‍රසිද්ධයි. ඒ නිසා කවුරුත් එතනට එනව.

  2. මේ බෝධීන්වහන්සෙ පරංගි ඇවිත් ගිනතියල තියනව. එයින් පසුව ඉතිරිවුන කොටය නැවත දළුදාල පැලවෙලා තමයි මේ විදිහට හැදුනෙ. මෙතනට කුවුරුත් වැඳුම් පිදුම් කරන්නේ ශ්‍රීමහා බෝධීය හැටියටමයි. ‍මේ බෝධීන් වහන්සේගේ අතු ඉති ලියලා ගිය පුරාණ විශාල බෝධියේ කොටස තවමත් දැකිය හැකිය. මෑතදී එය දිරාපත්වන ලකුණු පෙන්වූ බැවින් උද්භිද විද්‍යාඥ උපදෙස් පරිදි සිමෙන්ති ආවරණයක් යොදවා දිලීරනාශක බෙහෙත්ගල්වා බේරාගත් බව ස්වාමීන්ද්‍රයන් වහන්සේගෙන් දැනගන්ට ලැබිණි. උන්වහන්සේද දරුවන් කියන ලද පුවත් සනාථ කරති.

  3. පෘතුගීසි ආක්‍රමණ මගින් විහාරය පුළුස්සා දමා  වැනසුව ද පසු කාලයක නැවතත් ප්‍රතිසංස්කරණය කර පූජනීය සිද්ධස්ථානයක් වශයෙන් පවත්වා ගනිමින් බැතිමතුන්ට පිහිටවීමට ස්වාමීන්ද්‍රයන් වහන්සේ කැපවී සිටිති. ප්‍රදේශවාසීන් මෙන්ම වන්දනා කරුවන්ගේද නොමඳ වැදුම් පිදුම් ලබන ස්ථානයකි.

 එළුගාල පන්සල –

    • මෙය ලංකාවේ මධ්‍යකාලීන සමයට ගැනෙන පුරාණ ටැම්පිට විහාරයකි. ඒ සම්බන්ධ සලකුණු තවමත් පෙන්වයි. ඊට අදාල ගල් කුළුණු තවමත් විද්‍යමානය.

 

පොල්වත්තක් ඇති ගොඩැල්ල – 

    • ආසන්නයේ දක්නට ඇති උස්බිමක් මත පිහිටි  පොල්වවා ඇති  ප්‍රදේශය පුරාණ රජමාලිගාව තිබූ ස්ථානය සේ ජනශ්‍රැතියේ පවතින බව දරුවන් සොයාගත් කතා මගින් පැහැදිලි වෙයි. ආසන්යේ ගලා යන දෙනගං ඔයට බැසීම සදහා  එහි පුරාණ පඩි පෙලක් ඇති බව ද මේ කතාවලින් පැවසේ.

 පුරාණයේ ගමන් යන අයට ගව්වෙන් ගව්ව දිවමාලිග පහළ වනවාක් මෙන්  වැඩහිටින බෝධීන් වහන්සේලා-

  1. මැද්දේගම සිට ගව්වෙන් ගව්ව බෝධීන් වහන්සේලා සිටුවල තියනව. ඒව ළඟ පුරාණ වලව් වාගෙම අම්බලනුත් තිබුණ. දෙනගං ඔය අයින දිගේ පස්සරමුල්ල හරහා දෙතනගල කන්දේත් එතනින් එහාටත් තිබුණ. ඒ මග දිගේ  රජ්ජුරුවන්ට පෙනුම් කත් ගෙන එද්දි, පස්සරමුල්ලේ තියන බෝධිය ළඟ තමයි බත්මුල් ලිහාගෙන කාල සෑහෙන වෙලාවක් ගිමන් හැරියෙ. ඒකට හත්බෑව බෝධිය කියල දැන් කිව්වට,  ඒ නම කත් බෑව බෝධිය යි. එහෙම කියන්නෙ කත් කරුවො කත් බිමින් තියල සෑහෙන වෙලාවක් ගිමන් ඇරල තියෙන ස්ථානය නිසයි.

  2. පුරාණ යේ පාරවල් සොයාගන්න උදව් උනේ මේ බෝධීන් වහන්සේලා. ගව්වෙන් ගව්ව දිව්‍ය මාලිගා පහළ වෙන්න වාගෙ තමයි, අමාරුවෙන් මග ගෙවන අයට මේ බෝධීන් වහන්සේලා හමුවෙන එක. ඒවට වැඳුම් පිදුම් කරල පිනුත් රැස්කරගෙන තමයි කවුරුත් ගමන් බිමන් ගියේ.

  3. හත්බෑව බෝධිය  ළඟ වාගෙම  අනෙක් බෝධීන් වහන්සේලා ළඟත් වලව් තිබුණ. දැනටත් කීපයක්ම තියනව.

 බොල්තුඹය සමන් දේවාලය –

    • මෙය මැද්දේගමට උතුරින් පිහිටි දැනටත් තරණය කීරීමට  දුෂ්කර ගිරි පර්වත අතර දෙතනගල කදු පාමල පිහිටි හාස්කම් ඇති පූජනීය ස්ථානයකි.  මේ දේවාලය විශාල කර නැවත ගොඩ නගා  ඇත්තේ පලමුවන රාජසිංහයන් විසිනි. එසේ කර ඇත්තේ සබරගමු සමන් දේවාලයට සතුරු උවදුරක් පැමිණිය හොත් ආභරණ හා වස්තුවට රැකවරණය පිණිස බව කියවේ. එතුමා අනුමාන  කළ  පරිදිම පසු කලක පෘතුගීසි ආක්‍රමණ වලදී සබරගමු සමන් දේවාල ආභරණ ඇතුළු වටිනා වස්තුව රැක දී ඇත්තේද මෙහි බව මේ ජනපවාදයන් හා ලේඛන ගත සාක්ෂී අනුවද තහවුරු වේ.

මෙලෙස දක්වන ලද ලේඛනගත තොරතුරු, ජනකතා සහ දැනට අනාවරණය වී ඇති සහ තවමත් කැණිම්වලට ලක් නොවී සැඟව පවතින පුරාවිද්‍යාත්මක  සාධක ගණනාවක්ම ඇති බව පෙනෙන හෙයින් පැහැදිලිවන්නේ උග්ගල් අලුත්නුවර දේවාලයේ පුරාණ ලේඛනයේ සඳහන්  මැද්දේගම් නුවර  මෙය  බවය.b

පසු සටහන්

a. මෙහිදී සොරගුණය පවා ඌවට අයත් විය. මේ වෙනස්කර සොරගුණය පෙදෙස නැවත යා කර දෙන   මෙන් 1818 උඩරට මහකැරැල්ල නිමවීමෙන් පසුව රදලවරුන් ඉල්ලා සිටියද ඉංග්‍රීසීන්ගේ පරිපාලන පහසුව තකා එය ඉටු කර නැති බව පෙනේ.(උඩරට මහකැරැල්ල මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද බලන්න)

b.මේ කතා මිස හමුවූයේ යයි කියවෙන මෙවලම් පිළිබඳ ආදර්ශයක් ලේඛකයා වෙත ලැබී නැත.

8 thoughts on “මැද්දේගම් නුවර සොයා යාම

  1. පින්ග්කිරීම: මැද්දේගම රාජධානියේ ආරම්භය « sugv

  2. පින්ග්කිරීම: කුස්තන්තීනු හටන පවසන නව රාජධානියක උපත « sugv

  3. පින්ග්කිරීම: ලංකාවේ පෘතුගීසී පාලන ප්‍රතිපත්තිය හා ක්‍රියාකලාපය පැහැදිලි කරදෙන කදිම නිදසුන « sugv

  4. පින්ග්කිරීම: මැද්දේගම රාජජධානියේ නිමාව « sugv

  5. පින්ග්කිරීම: කෝට්ටයාකන්දේ වන්නිරාලට රන්මුදු ඇල්ලෙන් පහල වුනු හලඹ දෙනම | sugv

  6. පින්ග්කිරීම: මැද්දේගම රාජධානියේ නිමාව | sugv

  7. පින්ග්කිරීම: කුස්තන්තීනු හටන පවසන නව රාජධානියක උපත | sugv

  8. පින්ග්කිරීම: මද්දහනෙ ගිය කරල් පෙරහර | sugv

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )