සැඟවීගත් ඉතිහාසය 2.2 උග්ගල් අලුත්නුවර දේවාලය ඇසුරෙනි.

උග්ගල් අලුත්නුවර දේවාලයේ  “නානුමුර මංගල්‍යය”

(මීට පෙර ලිපිය යටතේ දැක්වෙන දේවාල කටයුතු පරිපාලන විධිවිධාන සම්බන්ධ  දෙවන කොටස  සේ සලකන්න)

දේවාලයේ දෛනික පිරිසිදු කම, සනීපාරක්ෂක සේවාව වැනි කර්යයන් වන අතුගෑම ගෙබිම ගොමපිරිමැද පවිත්‍ර කිරීම සහ මුළුතැන් බත් බෙදීම හා පිරිනැමීම සඳහා අවශ්‍ය කෙසෙලේ කොල සැපයීම වැනි ඉතා සුළු කාර්යයේ සිට දෙවියන් වැඩමවීම දක්වා වන උසස්ම කටයුතු දක්වා වෙන වෙනම  “රාජකාරි”  ස්ථාපනය වී තිබිණි.

සාමාන්‍ය පරිපාලනය පමණක් නොව ආදයම් පාලනය, මූල්‍ය විනය පවත්වා ගැනීම පිණිස දෛනිකව පියවීම හා වාර්ෂිකව විගණනය කිරීම වැනි අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පවා විධිවිධාන සැලසී ඇත්තේ විශ්මය ජනක අයුරෙනි. වර්තමාන ආයතනයක සිදුවන වාර්ෂික භාණ්ඩ සමීක්ෂණයකට සමානව සිදුවන අපූරු පිළිවෙතක් සේ අද පවා දැකිය හැකි පහත දැක්වෙන “පෙරසිරිත”   පිළිබඳ විස්තර විමසන විට පෙනී යයි.

මහ පෙරහරට පෙරදින රාත්‍රීය, එනම් දෙවේලේ පෙරහර අවසන් දිනය රාත්‍රිය, දේවාලයේ සියලුම රාජකාරි මණ්ඩලයේ ඇත්තෝ දවස පහන් වනතුරුම දේවාලයේම රැඳී සිටීම පෙර සිටම පවතින චාරිත්‍රයකි. මේ දිනය උග්ගල් අලුත්නුවර දේවාලයේ   “නානුමුර මංගල්‍ය දවස” වශයෙන් හැඳින් වේ. මේ රාත්‍රියේ දි පැවැත්වෙන  රහස් රාජකාරි අවස්ථාව හැරෙනවිට අන් සියල්ල ඕනෑම කෙනෙකුට දැක බලාගැනීමට අවසර තිබිණි. ඒ නිසා 1993 සහ 1995 දෙවේලේ පෙරහර අවසන් දින අවස්තා දෙකක මේ දවස ගත වූ ආකාරය පිළිබඳ අත්දකින්ට අවස්ථාව ලැබිණි. එහිදී නිරීක්ෂණය වූ දෑ  පහත සඳහන් පරිදි සාරාංශ කර දක්වා ඇත.

  1. දෙවේලේ පෙරහරේ රාත්‍රී පෙරහර නිමවීමෙන් අනතුරුව රාජකාරිමණ්ඩලයේ අයට  රාත්‍රී ආහාරය ලෙස පිරි නැමුණ මුළුතැන් බතම ප්‍රමාණවත් වූවා සේය. අත්තනායක මොහොට්ටාල නිළමේවරයා මෙන්ම සෙසු මොහොට්ටාල වරුද කපු නිළමේවරුද ඇතුළුව ඇතුළු කට්ටලයේ අය නිරන්තරවම දේවාලයේ රැඳී සිටියහ.

  2. පිට කට්ටලයේ රාජකාරි භාර ඇතැම් දෙනෙකේ  තම නිවෙස්වලට ගියමුත් ගිය විගසින් ආපසු පැමිණියහ. මේ දක්වා පැවති කුඹල් පෙරහර දේවේලේ පෙරහර ආදී අවස්ථාවන්හි   රාජකාරි පැවරී නොතිබුණ් සෙසු අයද ස්වල්ප වේලාවකින් දේවාලය කරා පැමිණෙන්ට වූහ. බස්නායක නිළමේවරයා තමාගේ නිළ නිවාසයේ රැඳී සිටි අතර ඔහුගේ ලියන මහතා දේවාලයට පැමිණ සිටියේය.

  3. රාත්‍රිය පුරා දේවාලය තුළ මෙන්ම මළුවේ ද බාහිර පරිශ්‍රයේද සියලු පහන් දල්වා තිබිණි. පරිශ්‍රයේ පෙරහර වීදි මාර්ග පසු දින සිට ආරම්භවන මහපෙරහර මහෝත්සවය සඳහා කටයුතු විධිවිධාන සැලසෙමින් තිබිණි. තාවකාලික කඩ පිල් ඉදිවෙම්න් නිමවෙමින් තිබිණි.

  4. අත්තනායක මොහොට්ටාල නිළමේ දේවාලය තුළ සියලු කටයුතු සම්පූර්ණව ඇද්ද යන්න විමසමින් ගැටළු නිරාකරණය කරමින් සිටී.

  5.  ස්වල්පවේලාවකින්  රත්නායක මොහොට්ටාල නිළමේවරයා විසින් දිග්ගෙයි පැවති “මහපෙට්ටගම” විවෘත කරන ලදී. අත්තනායක මොහොට්ටාල නිළමේගේ අධීක්ෂණය යටතේ සෙසු මොහොට්ටාලවරුන්ද කපු මහතාද පැමිණ පෙට්ටගමේ තිබූ සියලු දෑ පිටතට ගත්හ. මේ අවස්ථාවේ රැස්ව සිටි සියලු දෙනාම ඉදිරියේ සියලුම දේ අනාවරණය කෙරිනි.

  6. පසු දින සිට මහ පෙරහරට අවශ්‍ය විශේෂිත ආම්පන්න හා සලු පිළී ආදිය ඒ ඒ තැනැත්තා අතට පත් කරන ලදී. සුළු වශයෙන් අබලන්ව තිබුණු භාණ්ඩවල අලුත්වැඩියාවන් හා පිස දැමීම හා ඔප දැමීම ද යුහුයුහුව කරන්නට වූයේ ඒ ඒ අයම විසිනි.

  7.  මෙදින දක්නට හැකි වූ විශේෂිත භාරධූර කාර්යයකි. “නවන්දන්නා පංගුවේ” රාජකාරි ඇත්තාට දේවාලයේ ඇති පෞරාණික පිත්තල භාණ්ඩ ඇතුළුව සියලුම ලෝහ භාණ්ඩ ද පිටතට ගෙන භාර දෙන ලදි. ඔහු ඒවා එකිනෙක පරීක්ෂා කරමින් අඩුපාඩු ගැන පෙන්වා දෙමින් අළුත්වැඩියා කළ අතර සෙසු දෑ ඔපදැමීමේ කාර්යයේ පැය හයකට වඩා කාලයක් නිරත විය. ඒ කටයුතුවලට තමාගේ ඊළඟ හිමිකරුවීමට නියමිත පුතණුවන් මිස අන් කිසිවකුගේ උපකාරයක් හෝ හවුල්වීමක් ලබා ගත්තේ නැත. මේ ගැන ඇතිවූ කුතුහලය නිසා විමසිමේදි ඒවාට හවුල්වීමට හෝ අත තැබීමටවත් කිසිවකුට වරම් නැති බවත් යම් ලෙසකින් එසේ අත තැබුවත් එය දේව උදහසට හේතු වියහැකි බවත් කපුමහතාගේ පැහැදිලි කිරීම විය.

    මෙහිදී මෙතෙක් අබලන්ව තිබූ මහත් පෞරාණික වටිනාකමකින් යුතු ඇත්දළ වලින් නිර්මිත හොරණෑ කඳක් සැමගේම අවධානයට හා නිරීක්ෂණයට බඳුන් විය.

    ඒ සඳහා ඉදිරි කෝප්ය සකස් කිරීමට අවශ්‍ය රදී ලෝහ කැබලි අත්තනායක නිළමේ වරයාගේ අනුමැතිය යටතේ කපු මහතා විසින් ලබා දුන් අතර බස්නායක නිළමේවරයාගේ ද අනුමැතිය යටතේ පසු දිනම එය සාදා ඉිදිරිපත් කරන බවට පොරොන්දු විය. හොරණෑවේ පහටිය රත්රන් වලින් සකස් කිරීම අවශ්‍ය වූයෙන් ඒ සඳහා අවශ්‍ය රත්රන් තමා විසින්ම සපයා දෙන බවට හොරණෑ ශිල්පියා වූ සරනේරිස් මහතා කියා සිටින ලදී. ඒ අනුව කටයුතු සැලසිනි. දේවාලයේ පුරාණ ගව පට්ටියේ ගොණුන් කර බැඳි සොකඩ ද මෙහිදී කාගේත් නිරීක්ෂණයට හසු විය. ඒවා පරිහරණයෙන් බැහැරව ඇති බැවින් අළුත්වැඩියාවක් අවශ්‍ය නොවන බව තීරණය වූයෙන් නැවතත් පෙට්ටගමේ ම තැන්පත්විය. මේ සිදුවූ කටයුතු සියල්ල වර්තමාන රාජ්‍ය ආයතනයක සිදුවන සමීක්ෂණයකට සමාන  නොවන්නේ දැයි වමසා බලන්න.

  8. විධායකමණ්ඩලයේ ප්‍රධානියා  වූ අත්තනායක නිළමේවරයාගේ සහ සෙසු මොහොට්ටාලවරුන් හා කපුමහත්වරුන්ගේද උපදෙස් මත “සුද්දහළු” හා “රන්සළු” හෙවත් රත්නහළු පංගුවේ අය තමතමාට නියමිත ස්ථානයන්හි උඩුවියන් බැඳ සවිකිරීම දේවාලය තුළ රැලි පාලම් හා නව තිරවර්ග දැමීම ආදිය කළහ. (මහ පෙරහර වෙනුවෙන් බඳින ලද අරංගුව හෙවත් දේවාලය ඉදිරිපිට ඉදිකෙරෙන තොරණේ සැරසිලි කිරීම ද රාත්‍රියේම ඇරඹී තිබිණි.)

  9. තම කටයුතු අවසන් වූ ඇතැමුන් අල්ලාප සල්ලාපයේ යෙදෙමින් තමපංගුවලට නියමිත ස්ථානවල රැඳී සිටියහ.  එසේ සිට ඇරඹෙන පෙරහර කටයුතු පිළිබඳව හා දේවාලයේ සම්ප්‍රදාය පිළිබඳ ආවර්ජනයන් වීම අප වැනි අයට සවන්දීමට හා  හැදෑරීම පිණිස මඑවැනි සියලු සාකච්ඡා පසුදිනහෝපකාරී විය. යම් යම් විශේෂිත අවස්ථාවන් සේයා ගත කිරීමට ද අවසර ලැබිණි.

  10. මෙසේ ඉතා විවෘතව සියලු කටයුතු සිදුවෙමින් තිබුණත් එම රාජකාරි හැරෙන විට “දේවකාරි” හෙවත් බැතිමතුන් වෙනුවෙන් යාතිකා කිරීම් වැනි කටයුතු නවතා තිබිණි.

  11. මැදියම් රැය පසු වීම සමග “ගණිත පංගුවේ” හෙවත් නැකත් සංඥා කරන රාජකාරි ඇත්තා පෑතැටිය තබා ඒ ගැන විමසිලිමත්ව සිටිනු දක්නට හැකිවිය.

  12. හදිසියේ හේවිසි නාදය ආරම්භව වාදනය වෙමින් තිබිණි. නානුමුර මංගළ්‍ය අවස්ථාව කිට්ටු බව දැනමුත්තෝ කීහ. ඇතුල් කට්ටලයේ අය විසින් වැඩහිටින මාලිගයතුළ කරනු ලබන කිසිවක් අන් කිසිවකුට දක්නට අවසර නොවීය.වෛතාල වෙලාව නම් වූ අවස්ථාව එළඹෙන බව පිට කට්ටලේ දැනමුත්තකුගෙන් දැනගන්ට ලැබිණි.

  13. දේවාභරණ “ආරශාලාව” හෙවත් සමහර දෙනකු ව්‍යවහාර කරන අන්දමට අහරතලාව වෙත වැඩමවා ගෙන යනු ලැබිණි.

  14. මෙහි විශේෂත්වය වූයේ ඒ අවස්ථාවට වසරේ අන් කිසිම දිනක ඇතුලේ කටයුතුවලට සම්බන්ධ වීමට වරම් නොතිබූ “රන්සළු පංගුවේ” රාජකාරි ඇත්තාට සහ නවන් කරන පංගුව හෙවත් “නවන්දන්නා පංගුවේ” ඇත්තාද ඒ අවස්ථාවට සහභාගී කර ගැනීම  විය. මේ සිදුවන්නේ නානුමුර මංගල්‍යයයි.

නානුමුර මංගල්‍යය යනු කුමක්දැයි කුතුහලයෙන් විමසූ විට පිටත සිටි දැනමුත්තන්ගෙන් දැනගන්ට ලැබුණේ ඒවා “දේව රහස්” හා රහස්රාජකාරි බැවින් කිසිවක් ප්‍රකාශකළ නොහැකි බවය. එම රාජකාරි නිමවීමෙන් පසුව පිටතට පැමිණි කපුනිළමේ  සහ අත්තනායක නිළමේට ආයාචනා කර ඒ ගැන විමසමින් ප්‍රකාශයට පත්කිරීමට වරම් තිබෙන  දෙයක් වේනම් කියා දෙන ලෙස ආයාචනා කළෙමි. එහි ප්‍රතිඵලයක් වශයෙන් දැනගන්ට ලැබුණේ දේවාභරණ අහරතලාවේදී නිරාවරණය කර පරණ සුළු පිළි ඉවත් කර පැන් දෝවනය කරන බවත් ඉන් පසුව නව සළුපිලී පළඳා අලංකාර කරන බවය. ඒ අවස්ථාවට රන්සළු පංගුවේ රජකාරි ඇත්තාට සහ නවන් කරන පංගුවේ ඇත්තාට ද රාජකාරි ඇති බවත් දැනගන්ට ලැබිණි.

වසර පුරාම දේවාභරණ සම්බන්ධව සියලු කටයුතු පැවරී තිබුණේ ඇතුල් කට්ටලේ රාජකාරි කරන කපු නිළමේ අත්තනායක නිළමේ වැනි ඉහළම කුල වල කීප දෙනකුට  පමණි. මෙදින එම කුල වලට හාත්පසින් වෙනස් වූ වෙනත් කුල දෙකක ඇත්තන්ට ඒ සියල්ල දැක බලා ගැනීමට අවස්ථාව ලැබිණිත මේ වරම ලැබෙන්නේ  වසරකට වරකි. එය වාර්ෂික විගණනයක් වැනිය. ඇතුල් කට්ටලේ කිසියම් වරදක් සිදුවී තිබුණොත් එය ප්‍රකාශයට පත්වීම වැලකිය නොහැකිය.

මෙලෙස ඉතා සියුම්ව සිතා බලා සැලසුම් කළ විධිවිධාන රැසක්ම සංවිධානය කර තිබීම දේවාලයේ භෞතික ගොඩනැගීම් තරන්ම වැදගත් විවේක බුද්ධියකින් සැලසුම් කළ යුතුතකි. ‍

මෙලෙස කටයුතු සියල්ල සලසා වාර්සිකව ඇසළ මංගල්‍යය ඇතුළු සතර කාර්තික මංගළ්‍යයන් පවත්වන ලෙස නියම කර  ක්‍රි.ව. 1583 ඇසල මාසයේ කප් සිටුවා පළමු පෙරහර උත්සවයද පවත්වන ලදී. එසේ පළමු පෙරහර මංගළ්‍යය දින පහලවක් පවත්වා  දියකැපීමේ මංගල්‍යයද සිදු කර රජතුමා  උඩකට්ටුවේ “ජයසිංහසාසනය”ට  වැඩම කළ බව  පුරාණ ලේඛනය කියයි.

මේ තත්වයන් පිළිබඳ විමසිල්ලෙන් හදාරන කෙනෙකුට මේ කරත්ව්‍යය මහ රජතුමකු හැර සෙසු ප්‍රාදේශිය රජෙකු විසින් කරනු ලැබීමට ඉඩ ඇති කටයුත්තක්  නොවියහැකි බව නිගමනය කිරීම අපහසු නොවේ.

පුරාණ ලේඛනයේ සහ කන්දකුමාර සිරිතේ කවි වලද පැවසෙන්නේ යාපා මහ රජතුමා නමින් යුතු මහ රජකු ගැන‍ වුවද වෙනත් කිසිදු මූලාශ්‍රයක “යාපාමහරජ” නමින් ලංකාවේ සිටි මහරජ කෙනෙකු ගැන තොරතුරු නො‍ලැබේ. විශේෂයෙන් සීතාවක සමයේ යාපා නමින් මහරජකෙනෙකු ගැන තොරතුරු නොලැබේ. ඔහු විසින් කරනු ලැබූ මේ නිරිමාණය මෙන්ම එහි වත්පිළිවෙත් චිරාත් කාලයක් පැවතීම පිණිස යොදවා ඇති විධි විධාන හා පිටතින් ද ගෙන්වනු ලැබූ විෂය විශේෂඥ පිරිස් වෙත ගම්බිම් පවරා දී පදිංචි කරවීම වැනි කාර්යයන් සුළුපටු ඒවා නොවේ.

මේ රජතුමා එකල මහත් බලපරාක්‍රමයකින් යුතුව අණසක පැතිර වූ වකු බව සෑම ජන කතාවකින්ම ද  පුරාණ කවි වලින්ද කන්දකුමාර සිරිතේ පද්‍යාවලියෙන්ද පැහැදිලිවම අවධාරණය වෙයි. මේ දේවාලගම වාර්ෂික ඇසල මංගළ්‍යයකට සුදුසු වන අයුරින් සකස් කර දාගැබ, විහාර ගෙය, ප්‍රධාන දේවමන්දිරය  සහ පත්තිනි දේවාලය ද කරවා සතරකාර්තික මංගල්‍යයන් පැවැත්වීමට දැනටත් ඉතිරිව පවතින ඉහත දැකවූ  පෙරසිරිත නමින් අද හඳුන්වන   විධිවිධාන සලස්වා  සම්ප්‍රදාය චිරස්ථිතිය පිණිස කටයුතු යෙදූ   “යාපා මහරජු”  කිසිසේත්ම සුළුපටු කෙනෙකු විය නොහැකිය.

4 thoughts on “සැඟවීගත් ඉතිහාසය 2.2 උග්ගල් අලුත්නුවර දේවාලය ඇසුරෙනි.

  1. පින්ග්කිරීම: දියකැපූ තැනින් ලබා ගන්නා ශුද්ධ ජලය | sugv

  2. පින්ග්කිරීම: බත්තනරාල හිස මත තබාගත් ධාතු කරඬුව…….. | sugv

  3. පින්ග්කිරීම: තිදස කෙලපු ජය රණ කෙලි පෙරහර ! | sugv

  4. පින්ග්කිරීම: දේව විශ්වාසය හා අලුත්නුවර ඇත්තෝ 5 | sugv

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )