උඩරට සමයේ සාම්ප්‍රදායික තනතුරු

ගමරාල, ආරච්චි මහත්තයා , කෝරලේ මහත්තයා සහ රටේමහත්තයා

මේ වදන් ඇසෙන විට ඇතිවන හැඟීම කෙබඳු ද ?  මේවා ඇසූ සැනින් සිතේ ඇතිවන හැඟීම දෙස බලා සිටින්න. “ගමරාල” යන පදය ඇසෙන විට  උපහාසය මුසු හැඟීමකි. “ආරච්චි මහත්තයා” යන වදන නිසා  උපහාසය සමග වෛරය ද මිශ්‍ර වූ හැඟීමකි. “කෝරලේ මහත්තයා” සහ “රටේ මහත්තයා” යන වදන් අපහාසය, පිළිකුල හා වෛරය ද මිශ්‍ර වූ  හැඟීමක් බොහෝ දෙනකු තුළ ඇති කරවයි. මේ පද සමග හෝ මිශ්‍ර ව හෝ ඇතැම් විට තනිව භාවිත වූ “නිළමේ” යන වදන නිසා  ද විටක ඊට කිට්ටු හැඟීම් ඇති වෙයි.

උග්ගල් අලුත්නුවර දේවාල රාජකාරි වෙනුවෙන්  ඇත්තේ ද මෙවැනි සාම්ප්‍රදායික තනතුරු නාම වෙයි. වාසනාවට මෙන් එම තනතුරු ගැන සෙසු රාජකාරි ඇත්තන් හෝ ගම්වැසියන් තුළ ඇති ආකල්ප එතරම් දුරට විනාශ වී නැත. ඒ නිසා  ඒ අයට තවමත් කිසියම් අභිමානයකින් යුතුව කටයුතු වල නියැලීමට හැකිව පවතී.

ඉහත කී තනතුරු අතරින් ගමරාල හැර සෙසු ඒවා උඩරට රාජධානි සමයේ පැවති රාජ්‍යය සේවයේ  තනතුරු නාම වෙයි. කිසියම් ලෙසකින් වර්තමාන රාජ්‍ය සේවයේ තනතුරුවලට මේ  නාම යෙදවීමට ඉල්ලීමක් ඇති වෙතැයි සිහිනයෙන් වත් සිතිය හැකි ද ? ප්‍රාදේශීය ලේකම් තනතුරට,  කෝරලේ මහත්තයා හෝ රටේ මහත්තයා වැනි නාමයක් යොදා ගනිමු යැයි යෝජනාවක් එන බවක් සිතිය හැකිද ? ග්‍රාම නිළධාරී තනතුර මෙයින් පසුව ආරච්චි මහතා ලෙස හදුන්වමු යයි. යෝජනාවක් ඒවි ද ? කිසිදාක එවැනි යෝජනාවක් නොඑනු ඇත. උඩරට රාජධානි සමයේ තිබූ ඒ සම්භාව්‍ය තනතුරු නාම සියල්ල  උපහාසයට අපහාසයට භාජනය වෙමින් නින්දාවට ලක් වී  ඒ හැඟීම් ලාංකිකයන්ගේ ලේ, මස්, ඇට මිදුළු දක්වාම කිඳා බැස ඇතිවා සේය.

පුරාණ ගම්වල ගමරාල, විදානේ වැනි නාමයන් රජයෙන් පිරි නැමුණු ඒවා බවක් නො පෙනේ.   එහෙත් ඒවා  ගමේ ජනතාව අතරින් පැන නැගුණ ස්වාභාවික නායකත්ව තනතුරු ලෙස පැවතිනි. එකල “ගම” යන්න රජයේ පරිපාලන ඒකකයක් ලෙස සැලකුණු බවට සාධක නැත.  එහෙත් කෝරලය, දිසාව වැනි ඒවා රජයේ පරිපාලන ඒකක විය. එහෙයින් කෝරාල, රටේ මහත්මයා,  මොහොට්ටාල වැනි ඒවා රජය මගින් පත් කර තිබී ඇත. ඒවායේ භූමිකාව විමසා බලන විට  විධායක ශ්‍රේණියේ තනතුරු නාම බව පෙනේ. ඔවුහු යම් ප්‍රමාණයක අධිකරණ බලතල පවා හිමිව සිටි පිරිසක් බව පෙනී යයි.

ඒම තනතුරු නාමයන් නින්දාවට හා අපහසායන්ට ලක්වෙමින් නිගරුවට පත්ව ඇත්තේ ඇත්තේ කුමණ හේතු නිසා ද ?  කල්පනා කර බලා ඊට හේතු දෙකක් දැක්විය හැකිය.

1.තනතුරු මගින් තමා බැබලෙන්ට උත්සාහ කරමින් යුතුකම් අමතක කර දැමීමට උත්සාහ කරන  අයගෙන් පිරී යාම නිසා එවැනි තත්වයක් ඇති විය හැකිය. එසේ වන්නේ සුදුසු කම් නැති අය තනතුරුවලට පත්වීමෙනි.

උඩරට සමයේ කිසියම් පුද්ගලයකුගේ වරදක් නිසා රජය විසින් විසින් තනතුර අහිමි නොකරන ලද්දේ නම්,  පියාගේ ඇවෑමෙන් පුතුට එම තනතුරු හිමි විය.   ඒවා නිරායාසයෙන් හිමිවන බවක් මතු පිටින් පෙනුන ද එය එසේ වී නැත. තනතුරට අදාල සුදුසු කම් පරීක්ෂා කිරීමේ ලා කාලාන්තරයක් තිස්සේ සිදු වූ  නිරීක්ෂණයක් පැවතිනි. තනතුරු ප්‍රදානය හෙවත් එකල ව්‍යවහාරයෙන් තනතුරට වරම් දීම සිදුවී ඇත්තේ දරුවන් අතරින් වඩාම  ප්‍රතිපත්ති ගරුක, වඩාම  සිරිත් සම්ප්‍රදාය ගරු කිරීම හුරු කරගත් සේම වඩාම ඉහළ දැන උගත් කමින් පිරිපුන් හෙවත් බහුශ්‍රැත බවින් යුතු හොඳ ම දරුවාට ය.[i] එකල  පවුලකට දරුවන් බොහෝ ගණනක් සිටීම සම්පතක් ලෙස සැලකූ බැවින් දරුවන් සංඛ්‍යාව 10 ක් හෝ ඊටත් වඩා වැඩි ගණනක් විය. ඒ නිසා පියාගේ තනතුර ලැබීම පිණිස සුදුසුකම් සපුරා ගැනීමේ තරගයක් පුතුන් අතර ඉබ්ම ඇති විය. එකල තනතුර ලබාගත් තැනැත්තා තම දිවි දෙවෙනි කොට  තනතුර බැබලවූ බවට සාධක රාශියක් ඉතිහාසය තුළ පැහැදිලිව දක්නට හැකිය[ii].  ඉහත දැක්වූ පළමු හේතුව ඉතා කලාතුරකින් ඇති වූවකි. පවුලේ එකම දරුවකු වීම නිසා එවැනි ස්වභාවයක් ඇති විය හැකිය. එහෙත් පවුලක් එක ම දරුවකු සහිත විය හැක්කේ ඉතාම කලාතුරකිනි. එකල දරුවන් වැඩිගණනක් සිටීම සම්පතක් සේ සැලකුණ අතර එක ගෙයි කෑම බින්න බැහීම වැනි සිරිත් නිසා කිසියම් පවුලක දරුවන් ගණනාවක් සිටීම සාමාන්‍ය ලක්ෂණයක් විය.

2.අනෙක් හේතුව ලෙස දැක්විය හැක්කේ එම තනතුරු නම්  පිළිබඳ උපහාසය පිළිකුල හා වෛරය ඇතිවන ආකල්ප ජනිත කර වීමේ සංවිධානාත්මක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වීම ය.

මේ තනතුරු ධාරීන් පමණක් නොව එම තනතරු නාම පවා  හෑල්ලු කර දැමීම වෙනුවෙන්ම  හිතා මතාම ඇති කළ උපාය සහ උපක්‍රම රාශියක් ඉංග්‍රීසි අවදියේ පැවතුණා වැනිය. එම ආකල්ප වැළඳ ගත් මෙරැටියන් පසු කාලීන ව  නිෂ්පාදනය කළ, පොඩි දරුවන්ට කියා දුන්  කතන්දර මෙන්ම පොදු ජන වින්දනයට ඉදිරිපත් කළ  කලාකෘති වල ද මේවා උපහාසයට අපහාසයට පත් කළ චරිත බවට පත් වූ බවට උදාහරණ දැක්විය යුතු තරම් නැත.

එහෙත් ඒ බව පසු කාලීන ව ඉතිහාස රචනා ලියූ බොහෝ දෙනකුට හමු වී නැතුවා විය හැකි ය. 1815 උඩරටට ආ ඉංග්‍රීසීන් තම පරමාර්ථය ලෙස වචනයෙන් ප්‍රකාශ කළේ  කෲර රජකුගෙන් උඩරට වැසියන් බේරා ගැනීමට පැමිණි ගැලවුම් කරුවන් බවකි.  එහෙත් ගිවිසුම අත්සන් කරන්ටත් පෙරම ඉංග්‍රීසි කොඩිය එසවීමට තැත් කිරීම, අනතුරුව ගිවිසුමේ කොන්දේසි තුළින් රිංගා යමින්  මෙරට පාලන ප්‍රධානීන්ට තිබූ වරප්‍රසාද ඉංග්‍රීසී සොල්දාදුවන් වැනි පහළ ශ්‍රේණිවල අය විසින් පවා බලහත් කාරයෙන් භුක්තිවිඳීමට තැත් කිරීම. වැසියන් ලවා ඔසවාගත් දෝලාවල නැගී යාම, වැසියන් ලවා බලහත් කාරයෙන් වන්දවා ගැනීම වැනි අවස්ථා දක්නට හැකි විය. පන්සල්වලට තොප්පි පාවහන් සහිතව ඇතුළු වීම, ඒ සිද්ධස්ථාන හිතූ මතයට හාරා අවුස්සා බැලීම වැනි පූජනීය ස්ථාන කෙලෙසූ  සිද්ධින් ඉංග්‍රීසි පාලන  අවදියේ බහුලව දක්නට හැකිය. ඔවුන් විසින් පැවති සම්ප්‍රදායයන් නොසලකා “මුහන්දිරම්” වැනි තනතුරු වෙනත්  ජාතිකයන්ට පැවරීම වැනි අවස්ථාවන් ද විය. 1818 ජාතික විමුක්ති සටන ඇරඹෙන්නේද මෙසේ චිරාගත් සිරිත් සම්ප්‍රදාය සංස්කෘතිය නොසලකා ක්‍රියා කිරීමේ හේතුව නිසාය. එම සටන දයාවිරහිතව මර්ධනය කර දැමීමෙන් පසුව තමන්ට උඩරට ලබා දීමටත් රාජ්‍ය විරෝධී කැරැල්ලක් සේ හැඳින් වූ සටන මැඩපවත්වා වැසියන් සමූලඝාතනයට ද උපකාර කළ නිළමේවරුන් පවා පහත් කොට සැලකීම ඔවුන්ගේ ක්‍රමය වූ බව  එම නිළමේවරුන්ට කළ ගුණ සලකා ඇති ආකාරයෙන් ද පෙනේ. එය පදක්කමක් හෝ ගම්වරයක් දීම වැනි සුළු දෙයකට සීවා විය. මත් පැන් ගෙනවිත් දීම වැනි   පහත් ගනයේ අල්ලස් දෙමින් සලකා ඇති බවට උදාහරණ බොහෝය.[iii]

ඉහත කී ලෙස සෘජුවම ක්‍රියාත්මක කළ   හෑල්ලු කර දැමිමේ වැඩ පිළිවෙල එතෙකින් නැවතී නැත.  ලාංකික ජන ජීවිතය තුළට තමන්ගේ ම දේ පහත් කොට සසලකන පුරුද්ද කාවැද්දීමේ වැඩ පිළිවෙල එයින් නතර වී නැත. යටත් විජිත සමයේ ආරම්භ වූ පාසල් අධ්‍යාපනය හා පෙළ පොත් සහ කියවිම් පොත්වල මීට හොඳම උදාහරණ වෙයි. ස්වභාෂා පාඨශාල්වන්හි භාවිත වූ කියවීමේ පොත් පත්වල මේ තනතුරු හෑල්ලුවට යැවීම පිළිබද කතන්දර රාශියක් විය. ඒවා ජනකතා වශයෙන් හඳුන්වා ව්‍යාප්ත වූයේ ඉංග්‍රීසි ගැතිව වරප්‍රසාදලත් අය අතරින් පහළ වූ උගතුන් නිසා විය හැකිය. ඒ අතර එංගලන්තයේ රජ්ජුරුවන්ගේ උපන්දින සැමරුම, මෞලි මංගල්‍යය වැනි අවස්ථාවලපාසල්වල නිවාඩු දී ඉතා ඉහළින් සැමරීම, එංගලන්තයේ රජුට දිගාසිරිපතමින් දෛනික වැඩ ආරම්භ කිරීම වැනි අවස්ථා පාසල් අධ්‍යාපනය තුළ ක්‍රියාත්මක වූ ආකාරය පාසල් ලොග් පොත්වල  දැකිය හැකිය. ගමරාලවරුන් සම්බන්ධව පාසල් දරුවන්ට හා අකුරු කියවීමට හැකි වැඩිහිටියන්ට ද කියවන්ට ලැබුණේ ඔවුන්ගේ මෝඩ තකතිරු අමන කම් පිළිබඳව පමණි. ගමරාල දිවිය ලෝකේ ගියහැටි, ගමරාල පිට්ටු බෑ හැටි, ගමරාල ඌරාට වෙඩි තැබූ හැටි, වැනි උපහාසාත්මක අපහාසාත්මක කතා සහ කවි රාශියක්ම උදාහරණ ලෙස දැක්විය හැකිය. එහෙත් ගමට නායකත්වය දුන් ගමරාල කෙනෙකුගේ බුද්ධිමත් බවක් හෝ සූර බවක් හෝ පෙන්වන කතා කවි හමු නොවේ. පසු අවදිය වන විට වැඩිහිටියන් දරුවන් නින්දට යනතුරු කියා දීමට හුරු වූයේද එවැනි කතාවන් විය. රටේ ඇත්‍තන් ඒවාට හුරු වී තිබූ ප්‍රමාණය කෙතරම් ද යත් ඉතා මෑතක් වනතුරුම බිහි වූයේ ද එවැනි කතා සහ කවිමය.  අනගාරික ධර්මපාල වැනි විරුවන් ගත් වෑයමට රටේ ඇතැමුන්  විසින් නින්දා අපහාසයන්ට ලක් කරන ලද අතර එය  එතුමාට රටත් එපා වී පිටමං ව යාමට හේතු විය.  එමුත් එම වෑයමේ උණුසුම් ආශ්වාදය ලැබීම තුළින් විශාල පිරිසක් ගොඩ නැගී තිබිණි.  ටිබෙට්ජාතික එස්. මහින්ද හිමියන් මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් වැනි මහ සඟ රුවන පෙළ ගැසෙමින් ආකල්ප ගොඩ ගැනීමේ ව්‍යාපාරයක් පැවතියද එය ප්‍රමාණවත් වී නැති බව අද පවා ආකල්පවල තත්ත්වය විමසන විට පෙනීයයි.

ඇතැම් නිර්මාණ කරුවන් විසින් සකස් කෙරුණු  නාඩගම්, නාට්‍ය, ගුවන්විදුලි නාටක, චිත්‍රපටි පමණක් නොව අද පවා දකින්ට ඇති සමහර ටෙලි නාට්‍ය වලින් ඇති කෙරෙන්නේද  එම ආකල්ප වලට පොහොර දැමීමකි. එවැනි නිර්මාණ කරුවන් අතින් සිදුවන්නේ පරණ ඛේදවාචකයමය. මෝඩ තකතිරු කම් සහ දීන කම් කරන “කෝරලේ මහත්තයා” තමන්ගේම අය පාවා දෙන “රටේමහත්තයා” වැනි චරිත රැගත් නාටක තළු මරමරා රසවිඳිමින් රට වැසියෝ තවමත් දීන ලෙස තමන් දෙසම බලබලා සිටින්නෝ නොවෙත්ද ?

——————————————————–

[i] දේවාලයේ කපු නිළමේ රාජකාරිය පැවරීම පිණිස තෝරාගත්තේ පවුලේ වඩාම හොඳ පුතණුවන් බව භාරතරත්න කපු මහතා පවසයි. තම පියා විසින් සුදුසු නැකතක දී පළමුව වරම් දුනි. ඉන් අනතුරුව ර දෙවියන්ගේ වරම් ලබා දදීමේ අවස්ථාව විය. මේ සඳහා නා ගෙන දිය රෙදි පිටින් දේවාලයට පැමිණීමට නියම විය. එසේ පැමිණ මහ දොරටුව ඉදිරියේ දණගසා ගන්ට නියම කරන ලදී. තම පියා විසින් දෙවියන්ට යාතිකා කර තමා දෙවියන්ට භාර දී දේවාභරණ හිස පිට තබා සංඛනාද දවුල් හේවිසි තම්මැට්ටන් වාදනය ද සහිතව ඇතුල් කට්ටලයට වැඩම කර ගෙන යන්ට නියම කිරීමෙන් තනතුර ප්‍රදානය විය.

දැනට 85 විය ඉක්මවමින් සිටින අත්තනායක මොහොට්ටාල තනතුර දරන කරුණාරත්න බණ්ඩාර මහතා සිය පුතණුවරුන් අතරින් ධර්මසේන බණ්ඩාරයන්ට එම තනතුර දී ඇත්තේද වඩාම සුදුසු පුතණුවන් ඔහු වූ බැවින් යයි කියයි. අභාවප්‍රාප්ත කුලසේකර බණ්ඩාර මහතා එම තනතුර වර්තමාන කුමාරසිංහ බණ්ඩාර මහතාට  පවරා ඇත්තේද  එසේ වඩා සුදුසු තැනැත්තා තෝරාගැනීමෙන් බව කියවේ. අතපත්තු නිළය හා කිසියම් වසරක අත්තනායක නිළය යන නිළදෙකම දැරූ පුංචිබණ්ඩාර මහතා පුතුන් රාශිය අතරින් දෙදෙනකුට තම තනතුරු දෙක පවරා ඇත්තේ  බාල පුතණුවන්ට අතපත්තු නිළයත් වැඩුමහල් පුතණුවරුන් අතරින් වඩැ දැන උගත් පුතණුවන්ට අත්තනායක තරනතුරත් ලැබෙන පරිදි බව කියවේ. දේවාලයේ සෙසු නිළ රාජකාරි අදාල පුද්ගලයන්ට පවරා ඇත්තේ ද මේ සම්ප්‍රදාය එනම් පවුලේ වඩාම ප්‍රතිපත්ති ගරුක දැනකියා ගැනීමෙන් ඉහළම තලයක සිටින පුතණුවන් තෝරා ගැනීමෙන් බව කිය වේ.

[ii] ඇහැලේපොල කුමාරිහාමි මෙන්ම මද්දුම බණ්ඩාර  කුඩා දරුවා (ඇහැලේ පොල පුතණුවන්) හැසිරුනු ආකාරය වගේම  කැප්පෙට්ටිපොල නිළමේගේ උදාහරණය මීට හොඳම සාක්ෂි වෙයි. තමාට ලැබුණු ඉංග්‍රීසි රජයේ වරප්‍රසාද කෙල පිඬක් සේ ඉවත දමා තම රට දැය සමය වෙනුවෙන් ඉදිරිපත් වූයේ තමාට පෙර රට දැය සමය ගැන සිතූ හෙයිනි. එම සටනේදී පෙරමුණේ සිටිමින් රට වෙනුවෙන් දිවි පිදූ මොහොට්ටාලවරු නිළමේවරු මුහන්දිරම්වරු රාශියක් වෙති. ජාතික සටන සමූලඝාතනයෙන් අනතුරුව ජෝන් ඩේවිගේ චාරිකා වලදී හමුවූ උග්ගල් අලුත්නුවර නිළමේවරයාගේ ප්‍රකාශය කළුපහණදී හමුවුනු නිළමේවරයාගේ කටයුතු පිළිබඳ වාර්තා වන තොරතුරු අනුව ද මේ සාමුප්‍රදායික තනතුරු බැබලවූ අය පිළිබඳ තොරතුරු  උග්ගල් අලුත්නුවර හා තදාසන්නයේ දී  ද හමුවේ.

[iii] මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද ශූරීන්ගේ අගනා කෘතියක් වු  “උඩරට මහකැරැල්ල” බලන්න.

 

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )