අරුම පුදුම කොස්ගස- උග්ගල් අලුත්නුවර Marvelous jack tree – Uggal Aluthnuwra

අරුම පුදුම පූජනීය කොස් ගස උග්ගල් අලුත්නුවර Marvelous sacred Jack tree in Uggal Aluthnuwra  

උග්ගල් අලුත්නුවරට පිවිසෙනවාත් සමගම දැකිය හැකි ,   දේවාල මළුවට උතුරට බර  නැගෙනහිර දෙසින් ඊට මීටර් 75 ක පමණ නුදුරින්  පිහිටා ඇති පුරාණ කොස් ගසකි. මහ පෙරහර වතාවත් වල දී මේ වෘක්ෂයට විශේෂ වත් පිළිවෙත් නියම ව ඇති අතර මේ ස්ථානයට දේවාභරණ වැඩමවා තබා පූජා නැටුම් පැවැත්වීම ද පෙර සිරිත අනුව වර්තමානයේ ද  පවතී. මේ අවස්ථාව “කොස් උරුප්පය ට ගෙවැදීම” ලෙස  දේවාල රාජකාරි ඇත්තන්  විමසූ විට ලැබෙන පිළිතුරයි. 1870 විහාර දේවාල ගම් පනත යටතේ  ලේඛන ගත ව ඇති.   මේ ගස සම්බන්ධ රාජකාරි තේවාවක් ලේඛන ගත ව ද සටහන් ව ඇත.  එබැවින් එය පුරා ණයේ සිට ම පූජනීයත්වයේ ලා සැලකුම් ලබා ඇති  බව   නිගමනය කළ හැකියි.   මහා පෙරහර දේවාලයෙන් පිටව මළුව පැදකුණු කරමින්  මුල් වරට පැමිණෙන්නේ  කොස් උරුප්පයට ගෙවැදීම” සදහාය.   කොස්ගස ආසන්නයේ ඉදි කළ පත්තිරිප්පුවට*   දේවාභරණ වැඩමවන අතර එහිදී දෙවියන්ට ආසිරි පතමින් ඉටු කෙරෙන විශේෂ නැටුම් පූජාවන් ද වේ.  කෝලම් නැටුම් හා  සබරගමු නැටුමේ උග්ගල් අලුත්නවර සම්ප්‍රදාය යයි නම් කළ හැකි නයියන්ඩි නැටුම” හා  පෙරහර නිමවන දිනට පෙර දින රාත්‍රී ‍පේලි නැටුම” යන විශේෂාංගයන් නියම ව ඇත්තේ ද මේ ස්ථානයේ කෙරෙන වතාවත් අතරටයි[i].  දැනට පේලිනැටුම නොකෙරෙතත් සෙසු තේවා නිසි පරිදි පැවැත්වේ. පෙරහර  දිනවල කොස් උරුප්පයට වියන් බැදීම රන්සළු පංගුවට නියමිත රාජකාරියකි”. රන් සළු පංගුව හෙවත් රත්න හළු පංගුව යනු බුදුන් හා දෙවියන් උදෙසා පමණක් පියවිලි එලීම හා වියන් බැදීම වෙනුවෙන් පවතින අති විශේෂ රාජකාරියකි.  ඒ රාජකාරි පංගුවේ ශිල්පීන්ට කොස් ගස වෙනුවෙන් ද  වියන් බැදීමට නියම වී ඇත. වර්තමානයේ ගසට ඉහළින් වියනක් බැඳීමට නො හැකි තරමින් ගස උස්ව වැඩී ඇති බැවින් ඒ උඩු වියනක් වෙනුවට   සුදු පිරුවටයක් ගස වටා ඔතනු ලබයි.  

sacred Jack tree in Uggal Aluthnuwra

1991 ගත් සේයා සටහනකි

   

     ඒ ආකාරයට මේ වෘක්ෂය පූජනීය වූයේ ඇයි ද යන්න සොයා බැලීමේ දී    පුරාණ පුස් කොල ලියවිල්ලේ දැක්වෙන තොරතුරු[ii] හා ජනශ්‍රැතියේ පවතින පුරා කතා ද ඉවහල් කර ගත හැකියි. යාපා මහ රජු “තමා මුහුණ දීමට යන යුද්ධයෙන් ජය ලැබුනොත් මෙතැන දෙවියන් උදෙසා අලුතෙන් ම නුවරක් (උග්ගල් අලුත්නුවර ) ඉදි කර  අලුතෙන් දේව මන්දිරයක් සාදා දෙන බවට භාර වෙමින් සිහිල්බත් බැවිලේ කොස් පැලේ රන් පනම් දහසකින් යුතු පඬුරු පොදියක් “රජුගේ ශ්‍රී හස්තයෙන්ම බදින ලද බව යට කී ලේඛනයේ කියවෙයි. ප්‍රදේශයේ ඇති පුරා කතා මගින් රජතුමා තමා තරම් උස ඇති කොස් පැළයේ පඬුරු බැඳ යුද්ධයට ගියා යනුවෙන්  මේ සිද්ධිය විස්තර වෙයි.  

මේ අනුව යුද්ධයක් දිනා දීමට පඬුරු බැඳ දෙවියන් යැදි කොස්ගස අති පූජනීය වෘක්ෂයක්  ලෙස පසු කලක වන්දනා වන්ට ලක් වන්නට  ඇති බව සිතිය හැකිය.  පුස් කොල ලේඛනය ලියැවී ඇත්තේ මහනුවර සමයේ වීම[iii] ද පඬුරු බැදි වසර ශක වර්ෂ 1504 හෙවත් ක්‍රි.ව. 1582 ලෙස සටහන්වීම අනුව ද මෙම  කොස් ගස පුරා ණයේ සිට ම පූජාවට පාත්‍ර ව පැවති එකක් බව පෙන්විය හැකියි.   එවැනි ලේඛනගත කොස්ගසක් හෝ පුරාණයේ සිට වත්පිළිවෙත් නියමව ඇති, අදත් ඒවා නිසි පරිදි පවත්වන,  “කොස්ගසක්දිවයිනතුළ නොවීම මෙහි ඇති  වීශේෂත්වයයි.  අද පවා බැතිමතුන් සිය අපේක්ෂාවන් වෙනුවෙන් දෙවියන් අයැද භාරවීම් පිණිස මෙහි පඩුරු බැදීම සිරිතකි.   එක් අවස්ථාවක තද සුළගින් ගසේ ඉහළින් අඩි 12 ක පමණ කොටසක්  කඩා වැටුනි.  කොස් යනු පළවෙනි පන්තියට වැටෙන වටිනා දැව වර්ගයකි.   එහෙත් එම කොටස  එතැනම

පෙරහර අවස්ථාවේ කොස්ගස වටා සුදු පිරුවටයක් දැවටීම (උඩුවියන සංකේතවත් කිරීම) 2015 පෙරහර අවස්ථාවෙනි

පෙරහර අවස්ථාවේ කොස්ගස වටා සුදු පිරුවටයක් දැවටීම (උඩුවියන සංකේතවත් කිරීම) 2015 පෙරහර අවස්ථාවෙනි

දිරාපත්ව පොළවටම පස්වනතුරු කිසි‍වෙක් වෙනත් ප්‍රයෝජනයක් සදහා ගැනීමක් නොකළ බවම මේ පූජනීයත්වයට දෙස් දෙයි.  මෙම ගසේ අදත් ඵල දරයි. ‍ඒවා භක්තියෙන් යුතුව ආහාරයට ගන්නා නමුදු කිසිවිටක දැවමය ප්‍රයොජන සදහා අතු කපා ගැනීමක් හෝ වැටුනු අත්තක් හෝ ප්‍රයෝජනයට නොගැනීම ද සිරිත වෙයි. බැතිමතුන්ගේ මෙන්ම ගමේ ඇත්තන්ගේ ගෞරවාදරයට පාත්‍රවන මේ කොස්ගස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුමැතියද සහිතව  සංරක්ෂණයට අවශ්‍ය පියවර ගෙන ඇත.  ශ්‍රී මහා බෝධිය හැරෙන විට පුරාණයේ සිට රාජකාරිවත් පිළිවෙත් නියමව ඇති දිවයිනේ පවතින අනෙක් එකම වෘක්ෂය වන්නේද මෙයයි.  ගසේ පූජනීය වටිනාකම පිළිබද ඇති ප්‍රසිද්ධිය නිසා පිටස්තර බැතිමතුන්ගේ ද නොමද ගරු සත්කාරයට පාත්‍රව ඇත. එහි පඩුරු බැද භාරවීමෙන් අපේක්ෂාවන් නිසැකවම ඉටුවන බවට ඇදහීමක් බැතිමතුන් අතර වන බව ද පෙනී යයි.

මෙය පමණක් නොව ඕනෑම කොස්ගසක් පූජනීයත්වයේ  ලා සැලකිය හැකි බව පහත දැක්වෙන සාක්ෂි මත ද පෙනී යන්නකි

  1. කොස් ගසේ මුල් ගසේ කඳ,  අරටුව,  එළය, හෙවත්  නොමේරූ කොටස, පොතු, මුල්, ගස තුවාල කළ විට වෑස්සෙන කිරි හෙවත් කොහොල්ලෑ, සහ ගසේ  අතු   දක්වා කොටස් සියල්ල ජීවිතයේ විවිධ අවස්ථාවල ප්‍රයෝජනවත් කරගැනීමේ ක්‍රම පැරැන්නෝ දියුණු කරගෙන සිටියහ. කොස්මුල් සිවුරු වර්ණ ගැන්වීමේදී භාවිතව ඇත.  කොස් ලීය පළමු පන්තියේ දැව වර්ගයකි. වෑස්සෙන කිරි ලාටු වර්ග හා බදාම මිශ්‍රණ සංගටකයක්  ආහරයක් සේ භාවිතව ඇත. අතු සාම්ප්‍රදායික උත්සව අවස්ථාවල එනම් කප්සිටුවීම වැනි අවස්ථාවල ගන්නා අනිවාර්ය වූ පූජනීය කොටසකි
  2. කොස් දළු, මේරූ කොල සහ ඉදී වැටෙන කොල සහ කොළයේ නාරටිය ආහාර මෙන්ම ඖෂධයක් ද වෙයි.
  3. කොස් මල, මල මෝදුවී, සෑදෙන කුඩාම ගැටය, තරමක් විශාල වූ ගැටය, තවත් විශාලවූ කොස් ගැටය, නොමේරූ කොස් ගෙඩිය, පැසුන් කොස් ගෙඩිය සහ ඉදුනු කොස්ගෙඩිය
  4. කොස් ගෙඩියේ (නොඉදුනු හෝ ඉදී ඇති) මදුල හෙවත් මාංශල කොටස එහි ඇටය, මදුලු අතර ඇති ඉරි හෙවත් මාංශල කොටස් අතර ඇති කොටස්, එහි ඇටය ඇටය වසාගෙන ඇති සිවිඩ්ඩ හෙවත් ඇටයේ ආවරණය
  5. මේ සියලු කොටස් ආහාර නිෂ්පාදනය, සනිපාරක්ෂාව, මෙවලම් නිපදවා ගැනීම පමණක් නොව ආයූර්වේදයේ මෙන්ම හෙළ වෙදකමේ  ද ඔෂධීය කොටස් ද වෙයි.

මෙලෙස පැරැන්නන් ලබාගත් ප්‍රයෝජන සලකන විට කොස්ගස පුරාණයේ සිට වැඳුම්පිදුම් ලබන වෘක්ෂයක් බවට පත්ව තිබීමේ පුදුමයක් නොමැත්තේය.  එය ශ්‍රී ලංකාවේ පැරැන්නන්ට කල්ප වෘක්ෂයක්ව සෙත සලසා දී  ඇති එකකි. අදද සෙත සලසන්නකි.

  1. පෙරහර මහ දේවාලයේ පැමිණ සිංහාසනයට යාමට පෙර සම්ප්‍රදායිකව ව්‍යවහාර වන පරිදි  කොස් උරුප්පය ට ගෙවදීම  යනුවෙන් විශේෂ අවස්ථාවක් නිර්මානය වී ඇත්තේ මේ වටිනාකම්ද සැලකිල්ලට ලක්වීමෙන් විය හැකි බව සිතිය හැකිය.
  2. දිය කපා ගෙන එන පෙරහර මුලින්ම ගෙවදින්නේද කොස් උරුප්පයටය.
  3. දේවාභරණ හස්තියාමත ට වැඩමවා වල්ලි කෝවිලට හා එතැනින් දේවාලයට වැඩමවීම  සදහා නොයෙක් විසිතුරු සහිතව සැරසෙන්නේද කොස් උරුප්පයේ  සිටය.

කෙසේ වුවද ශ්‍රී මහා බෝධීන් වහන්සේ හැරෙන විට මෙසේ පුරාණයේ සිට චාරිත්‍ර නියම වී  වැදුම් පිදුම් ලබන වෙනත් ශාඛයක් පිළිබදව ලේඛකයාට සෙවිය නොහැකි විය. ඉතිහාසගත  ව ඇති වෙනත් වෘක්ෂ ද ඇතිමුත් වැදුම් පිදුම් ලබන වෘක්ෂ අතර ඇත්තේ ශ්‍රීමහා බෝධිය හා උග්ගල් අලුත්නුවර කොස්ගස පමණක් ද? වෙනත් එවැනි වෘක්ෂ දිවයිනේ පවතී නම් කියවන ඔබගේ කාරණික අවධාන යොමු කර ‍මා වෙත ද දන්වන මෙන් ඉල්ලමි.

කොස් උරුප්පයයනු කොස් රුප්පයවෙතින් බිදී ආ වදනකි.  කොස් වෘක්ෂය යන වදනින් කොස් රුප්පයයන්න සකස්ව ඇත. කොස්, හෙරලි, පනා සහ දෙමළ බසින් පෙලකා ලෙසද Jackfruit  යනුවෙන් ඉංග්‍රීසි බසින් හැදින්වන මෙම ශාකයේ විද්‍යාත්මක නාමය Artocarpus Heterophyllus Lam ලෙස දැක්වේ. ජන්ම භූමිය  ඉන්දියාවේ බටහිර ඝාටිස් ප්‍රදේශවල වන අතර ශ්‍රී ලංකාව,බ්‍රසීලය, මියන්මාරය, ඉන්දියාව , ඉන්දුනීසියාව, නේපාලය, මැලේසියාව,පිලිපිනය, තායිලන්තය, දකුණු අප්‍රිකාව සහ නැගෙනහිර ජැමෙයිකාවේ ද වැවෙන බව සදහන්ය.  එය බංග්ලා දේශයේ ජාතික වෘක්ෂය වශයෙන් ප්‍රනාමයට පාත්‍රව ඇති ශාකයකි.  කොස්  ගැන වැඩිදුර අධ්‍යයනය සදහා යෝග්‍ය සිංහ පුස්තකයක් වශයෙන් හෙරලිය වරුණ-චින්තක සී ගුණදාස 2007  නිර්දේශ කෙරෙන වටිනා නිබන්ධනයකි.

——————————–

 

* මෙතැන ඇති ගොඩනැගිල්ල වර්තමානයේ ද පත්තිරිප්පුව ලෙස පැරැන්නන් ව්‍යවහාර කරති.  1978 ටී. බී. වීරසේකර බස්නායක නිලමේ අවදියේ කරන ලද  ප්‍රතිසංස්කරණ වල දී පත්තිරිප්පුවේ පැවති කෙටි බැමි වහළ මට්ටම දක්වා උස්වන සේ ගොඩනගා  ගණදෙවි රුවක් තැබීම නිසා ගණදෙවි කෝවිලක් වශයෙන් ද වර්තමානයේ ව්‍යවහාර වෙයි.    

[i] ඒ.එම්.එස්.එම්. පුංචිබණ්ඩාර -1933 සිට 2004 දක්වා ම කටයුතු කළ අතපත්තු මොහොට්ටාල නිලමේ සහ නයියන්ඩිකාර පංගුවේ එන්.කේ. රපියෙල් මහතා  ඇතුළු ශිල්පීන් සමග පෙරහර සංවිධානය කළ යුතු ආකාරය පිළිබඳ  1991 දී කරන ලද සාකච්ඡාව

[ii] M4 දරණ සීමාසංකර විනෝදනී පුස් කොල පොත අග පිටු හය – ජාතික කෞතුකාගාරය කොළඹ

[iii]  රචනා ශෛලිය හා භාෂා විලාසය ද  මහනුවර සමයේ ලේඛන වලට සමාන බව නිගමනය කළ හැකියි(ලේඛනය ගැන ඉදිරි ලිපි)

One thought on “අරුම පුදුම කොස්ගස- උග්ගල් අලුත්නුවර Marvelous jack tree – Uggal Aluthnuwra

  1. පින්ග්කිරීම: “සිහිකලොත් මහත් වූ ගල්පරුවතයක්….” | sugv

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )