පෙරසිරිත සුරකින උග්ගල් අලුත්නුවර සම්ප්‍රදායේ අපූරුව

පසු බිම් තොරතුරු

ගම්මානයට ළඟා විය හැකි ආකාරය

ඔබ කොළඹ සිට පැමිණෙන අයකු නම්  මේ ගමට ළඟා වීමට   බදුල්ල මාර්ගයේ (A4  මාර්ගයේ) පැමිණිය යුතු ය. එසේ පැමිණෙන විට මුණ ගැසෙන  ආසන්නතම නගරය බළන්ගොඩ යි. බළන්ගොඩ පසු කර යන විට 151 කිලෝමීටර කණුව  සමගම උග්ගල් අලුත්නුවරට හැරෙන මං සන්ධිය හමුවෙයි. එහි දකින්ට ලැබෙන  තොරණ යටින් උග්ගල් අලුත්නුවරට ළඟා විය හැකි අතුරු මග හමුවෙ යි. එය ද කාපට් අතුරා මනාව සකස් කරන ලද්දකි.  එහි  මීටර් 430 ක් පැමිණි විට  තවත් කුඩා මං සන්ධියකි. එයින් දකුණට හැරී මීටර 120 ක් එන විට   ඔබට උග්ගල් අලුත්නුවර ආගමික ගොඩනැගිලි සංකීර්ණය සහිත නිර්මිත  පරිසරය   හමුවෙයි.  ( පිහිටීම ඇතුළුව විස්තරාත්මක  තොරතුරු සඳහා අදාළ පිටුව බලන්න) පහත ලින්ක් එක මගින් ගම්මානයේ පිහිටීම මෙන්ම දේවාලය හා පරිශයත් ගම්මානයත් පිළිබඳව විස්තර රාශියක් නැරඹිය හැකියි

https://www.google.com/maps/@6.6829255,80.7480521,3a,75y,237.63h,86.61t/data=!3m6!1e1!3m4!1sbo2nrHRYFTUcGE_S0EWDtg!2e0!7i13312!8i6656

 උස්බිම මත ඉදි කළ දේවාල මළුව පෙනෙන ආකාරය ගසක් මත නෑගී දැක ගන්නට ගත් උත්සාහයකි

උස්බිම මත ඉදි කළ දේවාල මළුව පෙනෙන ආකාරය ගසක් මත නෑගී දැක ගන්නට ගත් උත්සාහයකි

පෞරාණිකත් වය

මේ ගම්මානය  සීතාවක යුගයේ හෝ ඊට තදාසන්න අතීතයේ ඉදි වී ඇති බව  පුරාණ ලේඛනයක[i] සහ දේවාල කවිකාර පංගුවේ රාජකාරි අවස්ථාවල ගැයෙන කවියකින් ද  කියවෙයි. ලේඛන ගත වෙනත්  මූලාශ්‍ර හා ජනප්‍රවාද අනුව මේ ගම්මානයේ හා සිද්ධස්ථානයේ ඇරඹුම  ඊටත් වඩා ඈත අතීතයකට යන බවක් ද පෙනීය යයි[ii].  කෙසේ හෝ මෙය පුරාණ දේවාලයක් හා රජ මහා විහාරයක් බව ද ඒ වෙනුවෙන් ම ස්ථාපිත  පරිශ්‍රයකින් ද සමන්විත වූ වක් බව ද බැලූ බැල්මට ම තීරණය කළ හැකියි. ඈත අතීතයේ සිට ම වන්දනා මානයට පාත්‍ර වූ සිද්ධස්ථානයක් බව සති පිරිත් සජ්ඣායනා අවස්ථාවල කියවෙන   විහාර අස්න[iii] අනුව ද පෙනී යයි.

ශලුත් සකන් තුන්සිය වරුසෙට හිමි දුරුතු මසේ පුර සඳකාලේ
ගලුත් කඩා කටු කණු මුල් උදුරා සීමා පවුරකි මැද මාලේ
දිලුත් එරන්කොත් නවයක් තිබුණයි ශක්‍ර‍ර පුරය බඳු ඒ කාලේ
දිලුත් ඒ දික් පති සූරිය නෙරපති කෙරව්ව මැදගම දේවාලේ

මෙහි සරල තේරුම, ‍ශක වර්ෂ (එක්දහස්) තුන්සිය වර්ෂයේ [iv] ජනවාරි මස පුර සඳ නැගී එන සමයේ  කැලෑව එළි  කර එහි තිබූ ගල් පර්වත කඩා ඉවත් කර, සීමා පවුරු බඳවා, රන්කොත් නවයකින් යුතු ව ඉදි කළ මැදගම දේවාලය සක් දෙවිඳුන්ගේ පුරය බඳු විය. යනුවෙන් දැක්විය හැකියි.

ආගමික විශ්වාස  හා ඇදහිලි

උඩරට සමයේ ලංකා සමාජ සංවිධානය තුළ පැවති බෞද්ධ හා දේව ඇදහිලි, විශ්වාසය,  උත්සව හා සිරිත් විරිත් වලට නිදසුන් රැක ගත් අපේ ඇත්තෝ

සෙනසුරාදා, බදාදා සහ  සඳුදා දින ( කෙම්මුර දින)

කෙම්මුර දින යනු දේවාලය විවෘතව  තබන දින පමණක් නොව මහේශාඛ්‍ය දෙවියන් දිවස්ලන දින සේ පැරැන්නෝ තේරුම් කර දෙති. පුරා ණයේ දේවාලය  දිනපතා ම විවෘතව පැවති බව 1870 කොමසාරිස් ලේඛනයේ දැක්වෙන විස්තර අනුව ද, රාජකාරි මණ්ඩලයේ දැනමුත්තන් පවසන  විස්තර අනුව ද පැහැදිලි වෙයි.  මෑතක සිට  සෑම දිනක ම දේවාලය විවෘතව පවතී.  එය වසා තබන්නේ රාජකාරි මණ්ඩලයේ කෙනෙකුගේ අභාවයක් හෝ බර පතල “අසුද්දයක්” (දේවාල පරිශ්‍රය ආසන්නයේ මරණයක් වැනි අවස්ථාවක්) ඇත්නම් පමණි.

ඉහත කී ලෙස  “මහේශාඛ්‍ය දෙවියන් දිවස්ලා” සිටින දින වල සිටින දෙවියන්; එනම්  කතරගම , පත්තිනි , සමන්  විෂ්ණු වැනි දෙව්වරුන් මතු බුදු බව පතන අය ලෙස හඳුන්වා දීම මේ රාජකාරි ඇත්තන්ගේ සිරිත ය. මේ දිනවල  යහපත් අරමුණු වෙනුවෙන්  භාර හාර වීම් භාර ඔප්පු කිරීම් සහ දේව පිහිට යැදීම්  බැතිමතුන්ගේ දේව ඇදහිල්ල ය. මෙහි දී  කෙම්මුර දින අතරින් පුර පක්ෂයේ කෙම්මුර දින වඩා වැදගත් සේ සැලකේ.

මෙවන් අවස්ථාවල දේවාලයට යාබදව ඇති විහාරයට ගොස්  “තුන් බෝධිය” වැඳ මල් පහන් පුදා දෙවියන්ට පින් පමුණුවා, අනතුරුව දිග ගෙයට පිවිස දෙවියන්ට වැඳ පිහිට ඉල්ලීම සිරිත වෙයි.

කපු මහත්වරුන් ද දේව කන්න ලව් කරමින් බැතිමතුන් වෙනුවෙන් යැද, පරහඳ ගාන්නේ ද පළමු ව බුදුන් වැඳ කරණීය   මෙත්ත සූත්‍රය ගායනා කර දෙවියන්ට ආරාධනා කිරීමෙනි.

මෙලෙස ම පෝය දිනවල හා කෙම්මුර දිනවල ඇදහීම් සිරිත් වල දක්නට හැක්කේ අනුන් කෙරේ මෛත්‍රියෙන් පිරී ගිය ඇදහිලි විශේෂයකි. බෝධීන් වහන්සේ සෙවන ලබමින් සුදුසු තැනක හිඳ ඇතැම් විට හඬනගා මෛත්‍රී භාවනාව කරනු අසන්නට හැකි ය. “වනේ වන හතුරකුට වත් කරදරයක් නම් වෙන්න එපා” යනුවෙන් කියමින් බෝධි පූජා තබන අවස්ථා දකින්නට ද ලැබෙයි.

ප්‍රධාන ආගම

ඔවුන් ගෙන් ඔබේ ආගම කුමක්දැයි කිසිවකු විමසුවොත්  පාරම්පරික පවුල්වල සියල්ලෝ ම තමන්  බෞද්ධයන් බව පවසති. බොහෝ දෙනකු තම දරු පවුල් ද කැටුව පැමිණ, විශේෂයෙන් පෝය දින වල රජ මහා විහාරය වන්දනා කරති.   බොදු උත්සව සංවිධානය වී තිබෙතොත් ඒ වෙනුවෙන් මූලිකත්වය දී කටයුතු කිරීමට පෙළඹෙති. එම දිනයන් කෙම්මුර හෝ කෙම්මුර නොවන දින ලෙස වර්ග කරන තත්ත්වයක් නැත. උදාහරණ වශයෙන්  2011 වෙසක් පෝය දිනට එළඹී තිබුණු ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියේ 2600 වැනි වසර මහත් උත්සවශ්‍රීයෙන් බෞද්ධ වත් පිළිවෙතින් මුළු ගම බැබලවීමට ගැමියෝ පෙරමුණ ගත්හ. ඒ වෙනුවෙන්  සංවිධානය කළ බෞද්ධ උත්සව මාලාවක් මැයි මස 09 දිනෙන් ආරම්භ ව මැයි 24 දින දක්වා දිනපතා ම දේවාල මළුව තුළ පැවැත්විනි. ඒ කාලයේ  දින භේදය නො සලකා හැරිණි.Perahara

වෙසක් පෝය දිනය එනම් 17 දිනට දිනට පෙර දින සිටම සමහර ඇත්තෝ පෙහෙවස් සමා දන්ව සිටියහ. වෙසක් පෝය දින දන්සැල් හා චෛත්‍ය රාජයාණන් වහන්සේ සහ බෝධිරාජයාණන් වහන්සේ උදෙසා කප්රුක්වැසීමේ පින්කම්, වෙසක් පෙරහර පින්කම් ආදී බෞද්ධ වත් පිළිවෙත් රාශියක් ගැමියන් විසින් සිය සාම්ප්‍රදායික නායකයා වන බස්නායක නිළමේවරයාගේ  අවසරය හා අනුග්‍රහය ද සම්මාදන් කර ගනිමින් සංවිධානය කළහ. උත්සව මාලාව සඳහා සියල්ලෝ ම සහභාගී වූහ. ධර්ම දේශනා ධර්ම සාකච්ඡා රාශියක් වෙසක් දිනය පුරා පැවැත්විණි. වෙසක් දිනට පසුව සතියක් පුරා දිනපතා ම බෝධි පූජාවන්  හා ධර්ම දේශනා ද පැවැත්විනි. ඒවායින් රැස්කරගත් පුණ්‍ය සම්භාරය තමන්ගේත් ගමේ හා රටේත් මෙලොව දියුණුව හා ආරක්ෂාව දෙන ලෙස යදිමින් කතරගම දෙවියන් ප්‍රධාන දෙවිවරුන්ට  අනුමෝදනා කළහ.

මාසයේ සෑම  පසලොස්වක දින වලම මෙලෙස බෞද්ධ වත් පිළිවෙත් පුරණ බැතිමතුන්ගෙන් සිද්ධස්ථානය සැරසෙයි.

සිකුරාදා, අඟහරුවාදා සහ ඉරිදා දින‍ (කෙම්මුර නොවන දින)

ඉහත කියන විස්තර අනුව මේ දිනවල මහේශාඛ්‍ය දෙවිවරුන්ගේ දිවැස්ලීමක්  නැති බව මේ ඇත්තන්ගේ විශ්වාසයයි. මෙවැනි  දිනවල ඇත්තේ මේ ස්ථාන මුර කරන අල්පේශාක්‍ය දෙවිවරුන් ගේ බලය බව දැනමුත්තෝ පෙන්වා දෙති.  මේ දිනවල දිවස් ලා සිටින්නේ  අල්පේශෘඛ්‍ය දෙවිවරුන්ය. ඒ අය අර්ධ යක්ෂ ස්වරූපයකින් යුතු ය.  සූනියම්  කඩවර සහ කඩවර යටතේ සිටින  අය වන ඔවුහු  අව පක්ෂයේ දිනවල යක්ෂ ස්වරූපය ගනිති. වඩා බලවත් ව දේවාලයට අරක් ගෙන සිටිති.

2010 මාර්තු 30 දින අවලාද යැදීම් පූජා

2010 මාර්තු 30 දින අවලාද යැදීම් අවස්ථාවක්

මේ අනුව  දින තත්ත්ව අනුව ඔවුන්ගේ ආගමික විශ්වාස හා වත් පිළිවෙත් ද වෙනස් වෙමින් හැඩ ගැසී තිබෙන අපූරුව දැකිය හැකියි. මේ ඇදහිලි වතාවත් සහ යදින සැහැලි වල ඇත්තේ අනුන්ට විපත් පමුණු වා  දඬුවම් දෙන ලෙස කරන ඉල්ලීමකි. පුද පිළිවෙත් ද ඊට ම සරිලන ලෙස සකස් වෙයි රතු මල් අමු පලතුරු භාවිත වන බවක් පෙනෙන අතර “හඳගලේ ගොම ගෑම” නම් අපූරු සිරිතක් ද දකින්නට හැකි ය. “මට …..(අදාල විපත)…….කළ…..(තැනැත්තා)…….හැඳි ගෑවිලා ගොම ගෑවිලා ම පල” යනුවෙන් කරන ඉල්ලීම ඇතැම් විටක ශබ්ද නගා පිටවෙයි. තමාට සොර සතුරු කම් කළ පාඩු කළ අයට දඬුවම් දෙන ලෙස ඉල්ලා දෙවියන්  යැදීම ඇදහීම් සිරිත ලෙස දක්නට හැකියි. ඇත්තෙන්ම එය කඩවර වැනි යක්ෂයන් අදහීමකි.  එහෙත් මේ දිනයක පෝය දවසක් බවට පත්ව ඇත්නම් මෙහි විස්තර කෙරෙන අමුතු ඇදහිලි සඳහා කිසිවෙක් ඉදිරිපත් නොවෙති.    (විස්තරාත්මක තොරතුරු ඉදිරි ලිපි)

(මෙහි දී බ්‍රහස්පතින්දා දිනය වැටෙන්නේ කුමණ ගණයට දැයි දැනමුතු පැරැන්නන් විම සූ විට ලැබුණ පිළිතුරු වලින් එය කෙම්මුර ගණයට වැටේද නැතහොත් කෙම්මුර නොවන ගණයට අයත් ද යන්නට සතුටු දායක පිළිතුරක් නොලැබිණි. මේ දිනය මහේ ශාඛ්‍ය දෙවියන් බැල්ම හෙලත් ද යන්න නිශචිතව නොකියතිත කඩවර වැනි අර්ධ දෙවිවරුන් බැල්ම හෙලන බව ක් කිසිවිට නොකියති. එහෙනම් යහපත් දේකට බාර වෙන්න ගන්න දැයි විමසූ විට ලැබුණ පිළිතුර වූයේ ඉහත කියන කෙම්මුර දිනයක්  අරගන්න බැරිම නම් මෙදින යොදාගන්නා ලෙසය. වෙනත් අවස්ථාවක කඩවර දෙවියන්ට පුද පූජාතබන සරනේරිස් කටුටඩි මහතාගෙන් බ්‍රහස්පතින්දා කඩවර දෙවියන්ට පූජාවක් තියල කන්නලව් කරමුදැයි විමසන ලදුව ලැබුණේ ඒ දිනය සුදුසු නොවන බවය. ඒ අනුව බ්‍රහස්පතින්දා යනු මේ දෙපක්ෂයේම බැල්ම අඩු දිනයක් සේ සිතිය හැකියි. )

පුරාණ මතවාද හා පෙර සිරිතේ රහස් ය භාවය

අවුරුදු 400 කටත් අධික කාලයක සිට වසරක් පාසා පවත්වන පෙරහර උත්සවයට[i] ගමේ ඇත්තන් කියන්නෙ “ඇහැල මහ පෙරහර” කියලයි.  ඒ වෙනුවෙන් දෙවියන්ට පොරොන්දු  වෙමින් තබන මුල් ම සලකුණ වෙන්නෙ කප හිටවීමයි. ඇසල මාසයේ(ජුලි මාසය) මාසෙපෝය ගිය පෑලවිය දවසෙ වෛතාල වෙලාවට උදා වන සුබ නැකතින් තමා කප හිඳුවන්නෙ. මේ සඳහා කිරි වෑස්සෙන අඩි 5 ක පමණ ඍජු කොස් අත්තක් ලෙලි සහිත ව පොල් ගෙඩි දෙකක් ද ගොක් රැහැන් ද ගනිති.

පෞරාණිකත් වය නිසාම  උග්ගල් අලුත්නුවර පෙරහර ලංකාවේ මහනුවර සමයේ සාම්ප්‍රදායික චාරිත්‍ර විධි අනුව පැවැත්වෙන උත්සවයකට දැක්විය හැකි කදිම උදාහරණයකි.      එහි සේවා නිල කාර්යයන් බොහොමයක් “පුරාණ පරම්පරාවල ඇත්තන්” පෙර සිරිත අනුව දැනුදු පවත්වනු ලැබීම දක්නට හැකියි. දේවාලයේ චාරිත්‍ර සම්බන්ධව “ඒ ඇයි ? ඒ මොකක්ද ?”  වැනි ප්‍රශ්නයක් අහන ආගන්තුකයකුට ඕනෑම රාජකාරි  නිල කරුවකු ගෙන් ලැබෙන පිළිතුරු වන්නේ “ඒව රහස් රාජකාරි”  ඒ ගැන “කියන්න නාකයි” වැනි පිළිතුරක් පමණි. නැතහොත් අසන්නා නොමග යන තාලයෙන් කියවෙන මුසාවකි.  ඔහුට නො දැනී වෙනත් සමාන අයකුගෙන් විමසීමෙන් එය මුසාවක් බව ඒත්තු යයි.

මෙහි දී අපට කළ හැක්කේ සහභාගී නිරීක්ෂණයක යෙදෙමින් තේරුම් ගැනීම පමණක් බව sugv අත්දැකීමයි. පෙරහර දෙස බලා සිටීම හා එහි නාද මාලා සහ ගායනා අසා සිටීම මගින් ද අවබෝධය පුළුල් කළ හැකියි.  මේ පෙර සිරිත් ගැන  කුතුහලය ඇති කෙනෙකුට එම පවුලේ ඥාතියකුගෙන් විමසා දැන ගත හැකිවෙතැයි සිතතොත් එය ද මුලාවට යෑමකි. එක් එක් පරම්පරාව සතු  වැදගත් රාජකාරි රහස්  දන්නේ ඒ පවුලේ රාජකාරි වරම් ලැබූ  තැනැත්තා පමණක් වීමේ අපූරු ලක්ෂණය නිසා එසේ වෙයි.   තමන්ගේ කෙනෙකුට  රාජකාරි උරුමය පැවරීමේ දී  හෙවත්  රාජකාරි වරම් දීමේ දී  වචන වලින් නොපවසා පෙන්වා දීම පමණක් සිදු වන බව අසන්නට ලැබෙයි. ඒ සඳහා ඊ ළඟ උරුම කරුවා වැඩිහිටියා සමග රැඳී සිටිමින් අත් උදව් දීමෙන් දැක පුරුද්ද හා දැන පුරුද්ද ලබාගත යුතු ය; හදිසි අවස්ථාවල වැඩිහිටියාගේ නිරීක්ෂණය යටතේ අදාළ රාජකාරිය කිරීමෙන් කළ පුරුද්ද ලබාගතයුතුය. නවකයකු පුහුණුව ලබන්නේ මෙයාකාරයෙන් බව නිරීක්ෂණ සහ සාකච්ඡා මගින් දැනගන්ට ලැබිණි. මේ අනුව නවකයකුට ඉගැන්වීම හා ඉගෙනීම

දැක පුරුද්ද, දැන පුරුද්ද හා කළ පුරුද්ද අනුව රඳා පවතින බව පෙනීය යි. අනුකරණය මිස නව්‍ය කරනයට අවස්ථාව නො ලැබෙන බැවින් රාජකාරි සම්ප්‍රදාය වෙනස් වීම හෙමින් සිදුවන්නකි. එහෙයින්ම බොහෝ රාජකාරි මූල ස්වරූපයට කිට්ටු ආකාරයෙන් අද ද දක්නට ලැබෙන අවස්ථා පෙන්වීය හැකියි. (උදාහරණ සහිත විස්තර ඉදිරි ලිපිවල)

විශේෂයෙන්  රහස්‍ය රාජකාරි  තමන්ගෙන් පසුව ඒමට නියම කරගත් නවකයාට වුව ද වචන වලින් පැහැදිලි කර දීමක් නො කෙරේ.  කටයුතු දෑ රාජකාරි කරුවා විසින් තෝ රාගත් ඥාතියා  ගිය විට බලා හිඳ ඉගෙන ගත යුතු වෙයි.

දේවාල ගමේ උත්සව  සහ වසරේ කාල බෙදී යාම

වාර්ෂිකව පැවැත්වෙන ප්‍රධාන දේවාල උත්සව හතර කාත්ති හෝ කාර්තික මංගල්‍යයන් ලෙස නම් කෙරේ. වසරේ කාර්තු හතරට ප්‍රධාන මංගල්‍ය 4ක් නියමව තිබිණි. මේ අනුව කාත්තිය හෝ කාර්තිය යනු කාල යන අරුත ලැබෙන වචනයක් බව පෙනේ. එම ප්‍රධාන උත්සව නාමයන් මෙසේ ය

  1. අලුත් සහල් මංගල්‍යය(මේ දැනට අඛණ්ඩව නො පැවැත්වේ. 1870 කොමසාරිස් ලේඛනයේ සටහන අනුව එකල එය සාර්ථකව තිබූ බව පෙනී යයි. 2013 වසර සිට නැවත පැවැත්වීමට කටයුතු සැලසී ඇත.
  2. අවුරුදු කාර්තික මංගල්‍යය – සිංහල හින්දු අවුරුද්ද පිළිගන්නේ එය උදා වීමට ආසන්න දින පහක දී පැවැත්වෙන මළුවේ පෙරහර දින පහක් පැවැත්වීමෙනි. අනතුරුව අවුරුදු සිරිත් චාරිත්‍ර නැකත් අනුව දේවාලයේ ද වත් පිළිවෙත් පැවැත්වේ.
  3. ඇසළ මහා පෙරහර මංගල්‍යය ජුලි මස අමාවක පෝයට පසු දින කප් සිටවීමෙන් පසුව පැවැත්වීමට නියමිත විභූති මත් උත්සවයයි. වර්තමානයේ එය පැවැත්වෙන්නෙ සැප්තැම්බර් අග සහ ඔක්තෝබර් මලු කාලයේ බව පෙනී යයි.
  4. ඉල් මහ කාර්තික මංගල්‍යය හා පත්තිනි දේවාල පාන් මඩු උත්සවය නොවැම්බර් මාසයේ ද උඩ මළුවේ පෙරහර දින පහක් පවත්වා එය අවසන් දින රාත්‍රි පහන් දැල්වීම හා පත්තිනි දේවාලය අබියස පාන් මඩුව වෙනුවෙන් කප සිටුවනු ලැබේ. ඒ අනුව දුරුතු මාසය(ජනවාරි මාසය) එළඹෙන්නට පෙර පාන් මඩු උත්සවය පවත්වා ගමටත් රටටත් සෙත් ශාන්තිය සිදු කෙරේ.

ඉහත පරිදි කෙටියෙන් දැක්විය හැකි මෙම උත්සව අතරින් මහත් සේ අලංකාරයෙන් පැවැත්වෙන්නේ “ඇහල මහ පෙරහර” වශයෙන් මේ ඇත්තන් හදුන්වන ඇසල  පෙරහර උත්සවය ය.

ශිල්ප ශාස්ත්‍ර හා වෙද හෙද කම්

ගල්වඩු කර්මාන්තය හා ලී වඩු කර්මාන්තය ද වඩා දියුණු ලෙස පැවති බවට නිදසුන් දේවාල ගොඩනැගිල්ල හා බැමි සකස් කර ඇති ආකාරය අනුව පැහැදිලිව ම පෙනීය යි. 1950/60 දශක තරම් මෑත දී කර ඇති ඉදිකිරීම් ද මීට කදිම සාක්ෂි සපයයි. යකඩ වානේ වැඩ, මෙන්ම ගොඩනැගිලි කර්මාන්තය ද දියුණු අන්දමින් පැවති බවටත් කදිම උදාහරණ ඉදිරි ලිපිවල දී හමු වනු ඇත.

සර්වාංග වෙදකම මෙන් ම ඇස් වෙදකම, ගෙඩි වෙදකම, සර්ප වෙදකම කැඩුම් බිඳුම් වෙදකම සහ ගිනි වෙදකම ආදී විශේෂඥ දැනුම අවශ්‍ය වෙද කම් ද අලි ඇතුන්  සහ ගව ආදී සත්ත්ව වෙදකම ද පාරම්පරික වෛද්‍යවරුන් මගින් 1960 දශකයේ ද වඩා දියුණු  අන්දමින් පැවති නි. මේ අතරින් ජාතික තලයේ කීර්තිනාමයක් හිමි කර ගත් අය ද වූහ.  60 දශකයේත් දරු ප්‍රසූතිය පිණිස ගැබිනි මවක් රෝහල් ගත වුන අවස්ථා මේ ගැමියන් අතර දක්න ට හැකි වූයේ නැත. වඩා දැනුම් තේරුම් සහිත වින්නඹු මාතාවක් සහ ඇයට අත් උදව් දෙන කාන්තාවන් ද ගමේ ම සිටිය හ. යක්ෂ, ප්‍රේත උවදුරු අපල උප ද්‍රව වෙනුවෙන් බලි  තොවිල් ඇදුරන් ද  ගම්මානයේ ම වූහ. (ඉදිරි ලිපි)

කලා කරුවෝ

පාරම්පරික නැටුම් ගැයුම් වැයුම් වලින් ද මනාව පොහොසත් ව සිටි ඇතැම් කලාකරුවන් ලංකා ගුවන් විදුලියේ පාරම්පරික ගායනා සහ වාදකයන්  ද වූහ.(ඉදිරි ලිපි)

පන්සලේ ලොකු හාමුදුරුවන් සහ දේවාලයේ බස්නායක නිලමේ යනු ඔවුන් විශ්වාසය තැබූ නායකයන් වූ බැවින් එකල රටේ පැවති පාලනය හා පාලකයන් පිළිබඳ හැඟීම් පවා ලොකු හාමුදුරුවන් සහ බස්නායක නිලමේ ඉක්මවා ගියේ නැති බවට තොරතුරු 1960 දක්වා ම ලැබෙයි. (ඉදිරි ලිපි ) එකල ලොකු හාමුදුරුවන් හා බස්නායක නිලමේ  ද භේදයකින් තොර ව ගැමියන්ට මහත් දයාවෙන් කරුණාවෙන් සැලකූ බවට තොරතුරු හිඟ නැත (ඉදිරි ලිපි)

කාල වකවානු නම් කරමින් පැරැන්නකු පවසන කෙටි විස්තරයක්

    1.         “දුරුත්තේසිටබක්පටාරය ” (ජනවාරි සිට අප්‍රේල්) – “බුදුන් උදෙසාම වෙන් කර ඇති කාලයයි. මේ කාලයෙ පින් කරල දෙවියන්ට පින්දෙන්න ඕනි. ඉස්සර අලුත්සාල් මංගල්‍යය පවත්වල කිරි ආහාර පූජාවන් දීල දෙවියන්ට පින් දුන්න. එවිට දෙවියන් ගේ ආයුෂ වැඩෙනව. මිනිස්සු ගැන සතුටු වෙලා මෙලොවට පිහිට වෙනවා. අපටත් පින් සිද්ද වෙලා සම්පත් පහළ වෙනවා. අලුත් සහල් මංගල්ලෙ තිබුණෙත් මේ මාසවල මේවාට බුද්ධ මාස කියලත් අපේ මුත්තාලා කිව්ව”

<li>“වෙසක්මහේ ඉඳල ඇහැල මහ නිකින්න”(මැයි සිට අගෝස්තු ) – “දෙවියන්ගේ මාස මේ කාලෙ දෙවියන් දිවස්ලා වැඩහිටින බැවින් දේවතෝත්‍ර කරන මාස. දෙවියන්ට අපේ කන්නලවුව හරියට වැටෙන්න දේවතෝත්තරය මේකාලෙ කරනව නම් තමයි. දෙවියන් සතුටු කිරීම පිණිස උන්වහන්සේලාට දිගා සිරි පැතීම හා පිහිට යැදීමට මේ කාලය යොදා ගන්නෙ.මේවට දේව මාස කියල කියන්න පුළුවනි.”

  • “බිනර මහේ ඉදල උදුවප් මහ” ( සැප්තැම්බර් සිට දෙසැම්බර් ) – “යක්ෂයන්ගේ මාස මේ කාලෙට දෙවියො දේව සමාගමට වැඩල. උන්නාන්සේලාගේ ස්ථාන මුර කරන ඇමතියන් වගේ ඉන්න යක්ෂයන්ගේ බැල්ම තමයි ඒ කාලයට තියෙන්නෙ. ඒ කාලයෙ අපල උප ද්‍රව මග හරවා ගන්නෙ ඉල්මහකාත්තිය කරල පහන් දල්වල ආලෝක පූජා පවත්තලයි. ඉල් මහ කාත්තිය ඉවර උන ගමන් ම  තමයි පහන් මඩුවට පත්තිනි දෙවියන්ගේ දේව වීදියේ කප් හිටවන්නෙ. එයින් පත්තිනි මෑණියෝ අපව ලෙඩ දුක් වඳුරු වසන් ගත වලින් බේර ගන්නව. මේවා යක්ෂයන් අරක් ගන්නා මාස කියලත් කියනවා.”

මෙහි කාල බෙදීම පිළිබඳ හා ඒ සම්බන්ධ තොරතුරු දක්වා ඇත්තේ එම විස්තර ලබා දුන් දේවාලයේ දැනට සිටින වයෝවෘද්ධ අත්තනායක මොහොට්ටාල නිළමේතුමාගේම  වදන් වලිනි. එම විස්තර සෙසු පුරාණ අත්තනායක මෙහොට්ටාල නිළමේවරු කපු නිළමේවරු හා සෙසු දැනමුත්තෝ ද අනුමත කරති.

වසරේ මාස පිළිබඳ විස්තරය හොඳින් විමසා බලන්න. හින්දු සමයේ විශේෂ උත්සව එනම් තෛපොංගල්, දීපාවලී වැනි උත්සව පැවැත්වීමේ කාල වකවානු සහ හින්දු සමයේ මාස බෙදා නම් කර ඇති ආකාරයන් පිළිබඳ  විමසා බැලිය හැකියි. ඉල් මහ කාර්ති මංගල්ල‍යය පවත්වන්නේ නොවැම්බර් මාසයේ මාසෙ පෝය ගියපෑලවියටය.(අමාවක දින පසුව එන පළමු දිනය) කාර්ති මංගල්‍ය අවසන් වූ දින දේවාල පරිශ්‍ර‍ය පුරා පහන් දල්වා ආලෝක කිරීම සිරිත වෙයි. එය ළං වන්නේ දීපාවලී දිනයන්හි චාරිත්‍ර වලටයි.මෙහි දී එහි විශේෂතාව වන්නේ පහන් දල්වා, බුදුන් වන්දනා කර, දෙවියන්ට පින් දීමයි. හින්දු සමයේ ඇදහිලි වලට, බුදුන් වන්දනා කර දෙවියන්ට පින් දීමේ කොටස් ද එකතු වෙමින් අපූරු ඇදහිලි ක්‍රමයක් නිර්මාණය වී පවතින ආකාරය පසක් නොවන්නේද?

ඇසළ මාසයේ කප්සිටුවීම රුහුණු කතරගම මහ දේවාලයේ කප් සිටුවන දින දීම සිදු කෙරේ. එහෙත් 70 දශකයේ පමණ සිට මෙහි පෙරහර ආරම්භ වන්නේ සැප්තැම්බර් හෝ ඔක්තෝබර් මාසයේ අමාවක ගෙවී ලබන පුර පෑලවිය දිනයේ සිටයි.(මාසෙපෝය දිනට පසු දින) එහෙත් පැරැන්නන් ගේ මතය අනුව  මේ අවදියේ වැඩියෙන් පවතින්නේ කතරගම දෙවියන්ගේ ප්‍රධාන සෙන්පතියකු වූ කඩවරගේ බැල්ම බැවින් රජකාරි ඇත්තන්ට හිටි ගමන් කඩවර ආවේස වී පෙරලි කරන අවස්ථා ඇති විය හැකියි. යන නිගමනයක් පවතියි. රාජකාරි කරුවන් හෝ සෙසු ගැමියන් අතර යම් යම් මත ගැටුම් ඇතිවුවහොත් පැරණි දැනමුත්තෝ මේ  මතය පළ කරති. මේ නිසාම මත ගැටුම් වලට මැදි වන අයද ඒවා දුරදිග නො ගොස් නතර කර ගන්නවා වැනි ස්වභාවයක් දැකිය හැකියි. සියලු ම වාද විවාද පෙරහර දිය කැපීමත් සමග අවසන් ව සතුට හා සාමය පැතිරෙන අපූරු ස්වභාවයක් දකින්ට හැකියි. මේ ස්වභාවය දැනමුත්තන්ගේම වචනවලින් පවසන ආකාරය මෙසේයි.

“ඕවා සේරම දියකපපුවාම ඉවරයි. මොකද වැඩිය තියෙන්නෙ මේ කාලෙට දේව සෙන්පතියන්ගේ බැල්ම නෙව. තව පැත්තකට මේ පෙරහර කරන්නෙ සුර අසුර යුද්දය ජයගත් හැටි සිහි කරන්න. කොටසකට සුරයොත් තව කොටසකට අසුරයොත් ආරූඪ වෙනවා වෙන්න ඇති. ඒ හින්ද ඔය ඇතිවන ආරාවුල් ගැන කවුරුවත් කලබොල වෙන්න ඕනි නෑ. සේරම දිය කපනවත් එක්ක අමතක යි. ගරායකුම නටන වෙලාව වෙන කොට සේරම දෙනා යාළු යි.” (කඩවර වරදට සමාව නො දෙන වහා දඬුවම් දීමට සැරසෙන ස්වභාවය ඇති යක්ෂයකු බඳු දෙවියකු ලෙස සැලකේ )

පැරැන්නන් පෙන්වා දෙන  ඉහත කී මාස බෙදී යාමේ පිළිවෙලට ගැළපෙන අකාරයට “දේව මාසවල” පෙරහර පැවැත්වීම 70 දශකයේ පමණ සිට නතර ව ඇත.  රුහුණු මහ කතරගම, මහනුවර හා සබරගමුව සමන් දේවාලය වැනි ස්ථානවල පෙරහර නිම වනතුරු උග්ගල් අලුත්නුවර මහ පෙරහර සාර්ථකව පැවැත්වීමට අද පවතින කළමනාකරණ ගැට‍ළු නිසා නොහැකි වෙන බව ගමේ සියල්ලෝ ම ද පිළිගනි ති. අනුමත කරති. (වසර 30 කටත් අධික කාලයක් තිස්සේ  සහභාගී නිරීක්ෂණයෙන් ලබාගත් අත්දැකීම් ද පාදක කර ගනිමින් වඩා සවිස්තරාත්මක තොරතුරු සඳහා ඉදිරි ලිපි)

විශේෂ වදන් හා ව්‍යවහාර

  • අසුද්දයක් – කිල්ලක් හෙවත් කිලිටි බවක් ඉිදිරි ලිපි
  • මහේ ශාඛ්‍ය දෙවියන් – මහා දෙවි වරුන් – ඔවුහු බුදුබව පතන අය සේ පවසති ඉදිරි ලිපි
  • දිවස්ලෑම – දිව්‍ය ඇස්වලින් මනුෂ්‍ය ලෝකය දෙස කරුණාවෙන් බැලීම
  • අල්පේශාඛ්‍ය දෙවියන් – මහේ ශාඛ්‍ය දෙවියන් යටතේ සිටින ඔවුන්ගේ ආරක්ෂකයන් වැනි පිරිසකි. ඔවුන්ගේමතය අනුව මේ අය කෙම්මුර දිනවල කාරුණිකව දෙවියන් සේ සිටියද මහේශාඛ්‍ය දෙවිවරුනු නොමැති වෙලාවල හා දිනවල යක්ෂයන් සේ අකාරුණිකව සිටිති.
  • බැල්ම – මහේ ශාඛ්‍ය දෙවියන් දිවස් ලන බව පැවසුවද මේ අය කරන්නේ බැල්ම හෙලීම සේ පැවසෙයි
  • තුන් බෝධිය – ශාරීරික ධාතු නිධන් කර ඇති චෛත්‍යය – ශ්‍රී මහා බෝධි ශාඛාවකින් රෝපණය කරවා ඇති බෝධි වෘක්ෂය හා බුදු පිළිමය පිහිටි විහාරය යන ස්ථාන තුන මේ ඇත්තන්ගේ මතයයි

මේ සම්ප්‍රදාය පිළිබඳව කරුණූ හැදෑරීමට තැත් කරද්දී පිහිට වුනු පාරම්පරික දැනමුත්තන් රාශයක් වෙති. ඉදිරි ලිපිවල අදාල තන්හි ඔවුන් පිළීබඳ හැඳින්වීම් ද සහිතව විස්තර කෙරෙන බව සලකන්න. දේවාලයේ ප්‍රධාන වගකීම් පැවරෙන පාරම්පරික ප්‍රධානීන් සේම ඉතාම සුළු රාජකාරි වගකීම් සහිත ඇත්තන් ගෙන් ලැබී ඇත්තේ නොමඳ සහායයකි. ඔවුන් හැමට ස්තුතිය පිදේ.

—————————————————————–

[i] එම් 4 දරන සීමාසංකර විනෝදනී පුස්කොල පොතේ අග පිටු – ජාතික කෞතුකාගාරය කොළඹ

[i] එම් 4 දරන සීමාසංකර විනෝදනී පුස්කොල පොතේ අග පිටු – ජාතික කෞතුකාගාරය කොළඹ

[ii] රාජකීය පණ්ඩිත නාවුලලේ ධම්මානන්ද හිමි පාණන්ගේ අවසන් ලේඛනය- ටිකිරිබණ්ඩාර සීලොගම හා ඇත්තල පිටියේ නන්දසාර හිමි සංස්කරණය

[iii] පිරිත් පොත් වල සඳහන්ව ඇති දොරකඩ අස්න සහිත පිරිත් සඣ්ජායනාවලදී කියවෙන “විහාර අස්න” මෙයින් අදහස් වන බව සලකන්න. පුරාණයේ සිට පන්සල් පාසලේ පළමු කියවීම් පොත සේ භාවිත වූ “නම්පොත” හෙවත් “නම්ගම් පොත”  යනුවෙන් ඇත්තේද මේ විහාර අස්නමය. මෙය හයවන පැරකුම් සමයේ නිර්මාණය වක් බව බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය හිමිපාණන්ගේ මතයක් බව කියවෙන අතර අත්තරගම රාජගුරු බණ්ඩාරගේ කෘතියක් බව තවත් තැනක කියවෙයි. මේ ලින්ක් එක මගින් විකී පොත කියවන්න https://si.wikibooks.org/wiki/%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%9C%E0%B6%AD

[iv] එම් 4 දරන සීමාසංකර විනෝදනී පුස්කොල පොතේ අග පිටු – ජාතික කෞතුකාගාරය කොළඹ

Advertisements

4 thoughts on “පෙරසිරිත සුරකින උග්ගල් අලුත්නුවර සම්ප්‍රදායේ අපූරුව

  1. පින්ග්කිරීම: හමාර හේවිසියේ අරුමය | sugv

  2. පින්ග්කිරීම: මහ බඹාට මූණු දෙකයි | sugv

  3. පින්ග්කිරීම: අලුත් අවුරුද්‍ෙ බැහැදැකීම | sugv

  4. පින්ග්කිරීම: අරංගුව බඳින්නේ ඇයි ? | sugv

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )