උග්ගල් අලුත්නුවර, වයෝවෘද්ධම අත්තනායක මොහෙට්ටාල නිළමේ තුමාගේ අවසන් ප්‍රකාශය
අත්තනායක මොහොට්ටාල කරුණාරත්න බණඩාර නිළමේ තුමා සමග කළ අවසන් සාකච්ඡාව
උග්ගල් අලුත්නුවර සම්ප්‍රදාය බිහිවීමේ පසුබිම ගැන (මැද්දේගම රාජධානිය) ලියමින් සිටින අතර හදිසියේම ඊට වෙනස් මාර්තෘකාවකට පැමිනීමට සිදුව ඇත. මේ අසිරිමත්සම්ප්‍රදාය ලේඛනගතව ඇත්තේ ඉතා සුළු කොටසකි. මෙහි එතුමාගේ අත තිබෙන්නාකි වැනි පොතක නොලියවුනු දෑ බොහෝය. මේ විශිෂ්ට සම්ප්‍රදායේ අලිඛිත දෑ ගැන සොයමින් සිටින විට ලැබෙන දැනුම ගැන සැකහැර ගැනීමට හා ඔපවත් කර ගැනීමට මට තිබූ ප්‍රධානතම සම්පතක් වූයේ මේ නිළමේතුමාය. එතුමාගේ හදිසි අභාවය ගැන අසන්ට ලැබීම මහත් කම්පාවකට හේතුවකි. ගෞරව උපහාර පිදීම පිණිස ඒ අවසන් සාකච්ඡාවේදී ලබාගත් තොරතුරු මේ සමග ඉදිරිපත් කරන බව සලකන්න.
එතුමා පැතූ යම් ආකාරයකින් එතුමාට නිවන්සුව අත්වේවා !

පසුගිය සැප්තැම්බර් 18 වනදා මා ඇමතූ කරුණාරත්න බණ්ඩාරයන්ගේ පුතණුවන් සිය පියාණන් මා සමග කතා කිරීමට ආශාවෙන් සිටින බවත් හැකිනම් පැමිණ හමුවන ලෙසත් දැන්වීය. 19 දින එතුමා දකින්නට ගියෙමි. සැප්තැම්බර් 26 දින පහන් වූයේ මේ වයෝවෘද්ධ නිළමේතුමා හදිසියේ අභාවයට පතිව ඇති බව පිළිබඳ පණිවුඩයත් සමගය. එහි ගොස් කතා කළ දේවල් මට සිහිවෙයි. එදා මට දක්නට ලැබුණ නිළමේතුමා තුළ අමුතු ප්‍රභාවක් දකින්ට ලැබුණි. එතුමා වෙන කවර දාටත් වඩා නිරෝගී තරුණ පෙනුමකින් හා උද්‍යෝගිමත් බවකින් සිටියේය. මහත් සතුටින් සිනාවෙමින් මා වෙත බුලත් විටක්ද පිළිගන්වමින් “මහත්තයෝ පෙරහර පටන් අරගෙන නේද?” විමසිය ”ඔව් නිළමේතුමා” එතුමාට පිළිතුරු දුනිමි. මෙතැන් සිට මොහොට්ටාල නිළමේ ඇසූ සහ ප්‍රකාශ කළ දෑ “නිළමේ” යටතේද මා ඇසූ හෝ ප්‍රකාශ කළ දෑ “ශ්‍රා” යටතේද දැක්වෙන බව සලකන්න.
විශිෂ්ට උරුමය ගැන එතුමාගේ මතකය පරිදි කළ අවසන් අනාවරණයන්
නිළමේ - මහත්තයා දකින්ඩ හරිම ආසාවෙන් හිටියේ. අපේ මේ ළමයි පුරාණ ඇත්තන් වාගේ සැලකිල්ල මදි. ඉංගිරිස් කාරය හින්ද සංකර වෙලාද කොහේ ද. මේ බලන්න කො, දේව මාස ගිහින් යක්ෂ මාස වලයි පෙරහර කරන්න අරන් තියෙන්නෙ.
ශ්‍රා -මේ මාසේ විතර වෙනකම් පෙරහර කරන්න අවශ්‍ය දේවල් සලසා ගන්න අපහසු නේ. කාලෙක ඉඳල පෙරහර කෙරෙන්නේ මේ මාසවලම නේ. ඒක ඒ තරම්ම නරකද නිළමේ ?”
නිළමේ – මම ඒ ගැන දොසක් කියනවා නෙවෙයි. පරෙස්සම් වෙන්න ඕනි කියලයි. කියන්නෙ.
ශ්‍රා - එහෙම කියන්නෙ ඇයි ?
නිළමේ -මේ කාලෙ දේවාලෙ තියෙන්නේ දේව බලයට වඩා යක්ෂ ගොල්ලගෙ බලය. යන්තම් හරි දේව බැල්ම තියෙන්නේ කෙම්මුර දිනවල විතරයි. අනෙක් දවස්වල බැල්ම තියෙන්නෙ “කඩවර” නැතිනම් “සූනියම්” කියන අයගෙ. ඒ ගොල්ල කතරගම දෙවියන්ගේ වැඩකාරයෝ නැති නම් මුරට ඉන්න අය. ඒ හින්ද මේ කාලෙට ඒ අයගේ බැල්ම තමා වැඩි. ඒ අය දෙවියන් වෙනුවෙන් හිටියට පොඩ්ඩ බැරිවුනත් සමාව දෙනවට වඩා දඬුවම් දෙන්න බලන නිසයි එහෙම කියන්නෙ. අපේ පැරණි අය කියන විදිහට ඇසළ මාසෙ පහු උනාම දෙවියෝ දේව සමාගමට වඩිනව. දෙමළ ආගං කාරයො කියන්නේ දෙවියෝ නිදි කියලයි. (එතුමා දෙමළ ආගං ලෙස අදහස් කරන ලද්දේ හින්දු දේව විශ්වාස බව පෙනේ.) මහත්තය තව ඕනි දෙයක් අහන්න.
ශ්‍රා - ඔබතුමාගේ මතකය අනුව මෙහෙ හිටිය පැරණිම බස්නායක නිළමේ කවුද ? මට ඒ අය ගැන විස්තර ටිකක් කියන්නකො.
නිළමේ -අපේ මුත්තලා කියන්නේ දෙමෝදර මොහොට්ටාල ගැන. ඒ අපේ ආදිම මුත්තා. එයා මොහොට්ටාල විතරක් නෙමයි. බස්නායක නිළමෙත් විදිහට හටියේ. ඉංගිරිස්කාරයගෙන් බේරෙන්න බැරුව යටත් උනාලු. ඉංගිරිස්කාරය එතුමා පිටුවහල් කළා කියල තමයි අහල තියෙන්නෙ. මම නං ඇහින් දැක්ක පැරණිම බස්නායක නිළමේ ජයවර්ධන නිළමේ තුමා. මම එතකොට පුංචියි. එතුමා ආව කියන්නේ බළන්ගොඩ වලව්වෙ ඉඳල. ඔය කරව්කැටිය පැත්තෙ තමා ඒ වලව්ව. එතුමා ඇවිත් තමයි නන්නත්තාර වෙලා යන්ඩ පටන්ගත්තු රාජකාරි හොයල ඒව කරවන්න පටන් අරන් තියෙන්නේ. ඒත් දේවාලෙ ගරාවැටුන ගමන් තානායමත් අතු පැලක් විතරයි. එතුමාට සල්ලි ඒහැටි තිබුණෙවත් ඉංගිරිස් ආණඩුවෙ උදව් තිබුණෙවත් නෑ. දේවාලෙට ඉඩං වෙන් කරන්න ආණඩුවට ගිය වියදම වෙනුවෙන් ගෙවන්න වෙලා තිබුණෙත්. ඒ හින්ද පෙරහර ඔහේ රාජකාරි විතරක් කළා විතරයි. හැබැයි ඒව ගොඩගන්න උන්නැහැ බොහොම මහන්සිගත්ත බවක් අපේ තාත්තා කියනව මම අහගෙන. ඊට ඉස්සර පෙරහර අවුරුදු 7 ක්ම නැවතිලයි තිබුණෙ.
ශ්‍රා- පෙරහර නැතුව තිබුණා ! ඒ කොයි කාලෙද ?
නිළමේ – මමත් අහල තියන දෙයක් මේ කියන්නෙ. අපේ තාත්ත කියනව. “උඩපළාතේ උන්නැහැ” කියල කෙනෙක් බස්නායක කම කරද්දි කිසිම උවමනාවක් තිබුණෙ නෑලු. එයා හිටියය කියන්නේ පස්සරමුල්ලෙ ”හත්බෑව බෝධිය” ළඟ තිබුණ වලව්වෙලු. අපේ තාත්තල මුත්තල වාගේ රාජකාරි ඇත්තොත් ඔහේ දේවතෝත්තරේ කරල නිකං හිටියලු. බස්නායක පැත්ත පළාතේ ආවෙත් නෑලු. කන්කෙඳිරිය බැරි උන වෙලාවට ඇවිත් ගියා විතර ලු. ඒත් ආදයම ඔතු පංගු සේරම කෑවය කියනව. එයාගෙ අවසාන කාලේ බොහොම අවාසනා වන්ත උනා කියලයි කියන්නෙ. “අඩුක්කුවට උයා දෙන දේ කන්නවත් වාසනාව තිබුණේ නෑ” ය කියල අපේ තාත්තලා මුත්තලා කිව්වෙ. මේ දේවාලෙ එක්ක සෙල්ලං කරන්නනං හොඳ නෑ මහත්තය. දෙයියො ඇහට නොපෙනුනාට සැක කරන්න හොඳ නෑ. ඇහැට පේන්නැති කොච්චර දේ තියනවද? කණට ඇහෙන්නැති කොච්චර දේ තියනවද ? අපේ ළමයි ඒ ගැන සලකන්නේ නෑ. වගේ පෙනෙන නිසයි මට තියන කැක්කුම. අසුද්දෙන් දේවාලෙට යන්න එපා කව්වට අහනවද නෑ නේ. අසුද්දෙං එන නොදන්නා අය ඉන්නව නං නවත්තන්න ඕනි. ඒව සලකනවද ? නෑ නේ.
ශ්‍රා - ජයවර්ධන නිළමේ තුමා කොයි අවුරුද්දේ ආපු කෙනෙක්ද ?
නිළමේ -මට හරියට කියන්න තේරුමක් නෑ. හැබැයි මුස්ලිම් කෝලහාලෙට පස්සෙ කියන එක කියන්න පුළුවනි. (රාජකාරි පැවරුමක් වෙනුවෙන් ජයවර්ධන නිළමේතුමා 1920 දී නිකුත් කළ ලිපියක් මා ළඟ වන බැවින් එතුමාගේ අවදිය 1915 න් පසුව ඇරඹී එකක් බව පෙනේ.)
ශ්‍රා - දේවාලෙ පෙරහර කාලෙට බිත්තිවල රූප ඇන්ද වගක් මම අහල තියනව. ඒ මොනව ද ?
නිළමේ – ඔව්. ඉස්සර තිබුණෙ මැටි බිත්ති නේ. අවුර්ද්දෙන් අවුරුද් ගිල්මෙන් ගෙනාපු මැටි ගාල මට්ටං කරල පෙරහරට රූප අඳින රාජකාරියක් තිබුණ. දැලිගුරුඅරාව කියන්නේ ඒකට දැලි අඟුරු ගෙනාපු ගම. පට්ටිකාරපංගුවෙ අය තමා ඇන්ද බව මතක. දිග්ගෙයි බිමත් ගොම මැටිගාල අලුතු කරනව. ඒව කළේ ආලත්ති පංගුවෙයි දිග්ගේ පංගුවෙයි මනික්ක මහගේලා. ඊට වඩා දෙයක් මට මතක නෑ.
ශ්‍රා – දැන් දේවාලෙ බිත්ති හෙම හොඳට හදල තියනව. ඒ කොයි කාලෙද ?
නිළමේ – ඒ සේරම කෙරුවෙ සිඩ්නිඑල්ලාවල බණඩහමුදුරුවො. උන්නාන්සෙ තමයි දේවාලෙයි රාජකාරියි සේරම හොයල නැගිට්ටෙව්වෙ. දැන්වාගෙ මැණික් තිබුණෙ නෑ. මුත්තයිය මහත්තයා කුරේ මහත්තය වගේ උදව් කරපු පිට කට්ටියක්ම හටිය. දංගොමුවෙ උන්නැහැ ලංකාවෙ කලා සංගමේ සභාපති. උන්නැහැල කවුරුත් රටට ආදරේ කරපු තමංගේ නම්බුව වෙනුවෙන් සේවය කරපු ඇත්තො.
අත්තනායක මොහොට්ටාල පංගුවෙ ආරවුලක් ඇති වෙලා නඩුවක් තිබුණෙත් ඔය කාලෙ මට මතක හැටියට 1935 හරි 1936 වෙන්න ඕනි. මට මතකයි අපේ තාත්තල මහරෑ නැගිට ගෙන ඔය නඩුවට රත්නපුරේ උසාවි ගිය හැටි. පන්දම් පත්තු කරගෙන මෙහෙන් පිටත් වෙලා පැල්මඩුල්ල නැත්නං ලෙල්ලුපිටිය හරියත් පාස් කළාම තමයි ලු බස් එකක් හම්බ වෙන්නෙ. ලියො මහත්තයගේ බස් නේ ඒ කාලෙ තිබුණෙ. ඒ වෙනකං පයින්ම තමා ගිහින් තියෙන්නෙ.
සිඩිනිඑල්ලාවල උන්නැහැගෙ කාලෙ වෙන කොටත් ආණඩුවට ණය තිබුණ රු 17 ක්. ඒ කාලෙ රුපියල් 17 කියන්නෙ බොහෝම ලොකු ගානක්. ඒ ණය ගෙව්වෙ බණ්ඩාරහාමුදුරුවන්ගෙ පුද්ගලික සල්ලිවලින්. උන්නාන්සෙගෙ පුදුගලික් සල්ලිවලින් තමයි ඔය අඹ ගහයට තියන ශාලාව හැදුවෙ. ඒකට දැන් කියන්නේ සිඩ්නි ශාලාව කියල නේ. ඒ නම තිව්වෙ හේරත්හාමි. ඒ කාලෙ හිටපු ගංවිදානෙ. එයා චණඩියෙක්. සිඩ්නි එල්ලාවල නිළමෙතුමා මැරුණට පස්සෙ හේරත්හාමි ඔය නම ලිව්වෙ බලෙන්. මේ ක කවදාවත් මකන්න හෙම එපා කියල ගමටම ඇහෙන්න කියලයි.
ඒ කාලේ පෙරහර කෙරුවෙ ඇසල මාසෙමයි. ඇසළ මාසෙ මාසෙපෝය ගිය පෑලවියට කප්හිටවල පාලොස් දවසක් පෙරහර කරනව. දැන් ඉතින් ඒ පුරාණ සිරිත් වෙනස් කරනව. ඒක ගමට රටට හොඳ මදි. ඇසළ මාසෙ කප්හිටවල ඒගමන පෙරහර කරන්ඩ බැරනං පස්සෙ කළත් කමක් නෑ. හැබැයි අනිත් පෙර සිරිත් නියම විදිහටම පිළිපැදල. බොහොම පරෙස්සමින්!
සිය දිවි මග 84 වන විය පසු කරමින් සිටින වයෝවෘද්ධ නිළමේතුමා දැඩි වෙහෙසට පත්ව ඇත. මම එතුමාගෙන් සමුගතිමි.
පසු සටහන්
-
උග්ගල් අලුත්නුවර පෙරසිරිතේ අපූරුව මැයන් මෙහි කලින් ලියන ලද ලිපිය ලිවීමේදී මූලික වශයෙන් පාදක කරගත්තේ මෙතුමාසතු ලේඛන හා පවසන දෑය. එතුමා මේ පූජනීය ස්ථානය පමණක් නොව එහි උරුම සම්ප්‍රදාය පැහැදිලි කරදීමේ සුදුසු කම් ඇති අය අතුරින් ඒ වනවිට ජීවත්ව සිටි වයෝවෘද්ධම දැනමුතු නිළමේ වරයා විය. එතුමාගේ ප්‍රකාශයන් මීට පෙර සිටි දැනමුත්තන්ගේ ප්‍රකාශ හා සසඳන විට ඉවත් කළ යුතු දෙයක් නොවීය. මේ දේවාලය හා එහි සම්ප්‍රදායට හානියක් වේදැයි සැකයක් එතුමා තුළ ඇති වූ සෑම විටකම ඒ පිළිබඳ මහත් වේදනාවෙන් සිටි අයෙකු බව සාකච්ඡා කළ සෑම විටකම තේරුම් ගිය සත්‍යයකි.
-
දෙමෝදර මොහොට්ටාල නිළමේතුමා - ක්‍රි.ව. 1816 සිටි නිළමේවරයා බව මහාචාර්ය විමලානන්ද තෙන්නකෝන් ශූරීන්ගේ ”උඩරට මහකැරැල්ල” ග්‍රන්ථය අනුව පෙනේ. 1818 ජාතික විමුක්තිය වෙනුවෙන් සටනට එක්ව සිටි මෙතුමා සටන නිමාවෙනද්දී ඉංග්‍රීසීන්ට යටත්විය. ඉංග්‍රීසීන් විසින් පිටුවහල් කරනු ලදුව ඉන්දියාවේදී අභාවප්‍රාප්ත වී ඇති බව කියවේ.
-
උඩපළාතේ උන්නහැ – මේ බස්නායක නිළමේතුමා ගැන සෙසු අයගෙන් දැන ගත හැකිව තිබුණේද මේ තොරතුරුම පමණි.
-
ජයවර්ධන බස්නායක නිළමේතුමා- මෙතුමා 1920 ගණන්වල සිටි බව පැහැදිලිවන්නේ “දැකුම්අත් නැටුම් පංගුව” නමැති රාජකාරිය “මළපාළුව”ට ගොස් ඇති බැවින් පළිහවඩන පංගුවේ අයට එම රාජකාරිය පවරා දීමේ ලිපියක් හා එතුමා විසින් 1922 දී නිකුත් කරන ලද රාජකාරි කුවිතාන්සියක් ද අනුවය.
-
සිඩ්නිඑල්ලාවල බස්නායක නිළමේතුමා - මෙතුමා 1933 සිට 1965 දක්වා එකිගටම කටයුතු කර ඇති ප්‍රදේශවාසීන්ගේ ද මහත් සභාවනාවට පත් නිළමේ වරයා වෙයි.
Like this:
Like පුරණය වෙමින්...
ප්‍රතිචාරයක් ලබාදෙන්න
මේ ලිපි පෙළ දැක්කේ අදයි, ඉතාම විශිෂ්ට ලිපි පෙළක්, හරසුන් බ්ලොග් රාශියක් ඇති අතරේ මෙවැනි බ්ලොග් එකක් දැකීමත් සතුටක්, නිවාඩු පාඩුවේ මුල සිට කියවන්නම්, පුලුවන්නම් දින, මාස, අවුරුදු අනුව ලිපි දිස්වෙන ආකාරයේ කොටස සක්‍රීය කලානම් මුල සිට කියවීම ඉතාම පහසු වේවි
ඔබතුමාගේ ප්‍රතිචාරය මට ගෙන දෙන්නේ මහත් ධෛර්යයකි. ඔබ පෙන්වන දුබලතාවය මට පෙනෙනවා. කියවන්නාට ඉඩ ලැබෙන්නේ අග සිට කියවීමට මිස මුල සිට කියවීමට නොවේ. එය වලක්වාගත හැකි ක්‍රමයක් තවම නොදන්නා බැවින් මේ දුබලතාව ඇතිව පවතී. එය දැනගන්ට හැකි වූ වහාම එසේ නිවැරදි කරන බව දන්වා සිටිමි. එතෙක් ඔබ ඇතුළු සියලු පාඨකයන්ගේ සමාව අයැද සිටිමි. එසේ වී තිබීම මට ද මහත්ම වදයකි. කලින් ලිපි වල ඇති දෑ නැවත පහසුවෙන් බලන්නට නොහැකි නිසා, පසුව ලියන ලිපිවල පුනරුත් දෝෂ ද බහුල වීම වලක්වාගන්නත් අපහසු වී ඇත.
In wordpress admin panel go to appearance->widgets from left panel, Then you will see widget called ‘Archives’, drag it and drop in to the ‘Sidebar 1′ slot in right hand side and then check.
Thank you very much I will try
වැරදි නිවැරදි කිරීමකි- මොහොට්ටාල නිළමේතුමාගේ හදිසි අභාවය සිදුවූයේ සැප්තැම්බර් 26 යයි සඳහන්ව ඇත්තේ ප්‍රමාද දෝෂයකිනි. එය සැප්තුම්බර් 30 යනුවෙන් නිවැරදි විය යුතුය. අවසන් කටයුතු කරන ලද්දේ අද දින එනම් ඔක්තෝබර් 03 දින දීය.